පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අදින් අවසන්

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අදින් අවසන්


පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අදින් අවසන්

(19.03.2023 – 07:50 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අද (19) මැදියම් රැයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම ආයතනවල නගරාධිපතිවරුන්ට සහ සභාපතිවරුන්ට ලබාදී ඇති නිල වාහන යළි භාරදිය යුතු වනවා.

එමෙන් ම පළාත්පාලන ආයතනවල සභිකයින් සඳහා ගෙවන දීමනාවන්ද මාර්තු 19 වැනිදා දක්වා පමණක් ගෙවීමට ද තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීම ලබන 28 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර ප්‍රකාශ කළා.

ඒ අනුව, තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර දීම ලබන 21 වනදා සිදුකිරීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත්, දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා සඳහා මුදල් ගෙවීම් සිදු කරන තුරු තැපැල් ඡන්ද පත්‍රිකා භාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානී ලියනගේ මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබුණා.

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කළේ, තැපැල් ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි පැවැත්වීමට නම් ඉදිරි දින කිහිපය තුළ අදාළ ඡන්ද පත්‍රිකා ලැබිය යුතු බවයි.

පවතින තත්ත්වය හමුවේ තැපැල් ඡන්ද පත්‍රිකා හෙට (20) දිනය වනවිට කොමිසමට භාරදිය නොහැකි බවද මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළා.

කෙසේ වෙතත්, මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ අදාළ ඡන්ද පත්‍රිකා ලැබුනහොත් තැපැල් ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි පැවැත්විය හැකි බවයි.

එසේම, ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සදහා රුපියල් මිලියන 500 ක මුදලක් වැයවනු ඇතැයි මුද්‍රණාලය ඇස්තමේන්තු කර තිබෙනවා.

ඉන් රුපියල් මිලියන 200 ක් මුල් අවස්ථාවේදී ම ඉල්ලා සිටි බවයි මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේ.

අනතුරුව ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කෙරුණු අතර, ඒ අනුව රුපියල් මිලියන 200 ක පමණ මුද්‍රණ කටයුතු මේ වනවිට සිදුකර අවසන්ව ඇති බවද ඇය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඒ වෙනුවෙන් තවමත් මුද්‍රණාලයට ලැබී ඇත්තේ රුපියල් මිලියන 40 ක මුදලක් පමණක් බවයි මුද්‍රණාලයාධිපතිනිය කියා සිටියේ.

එසේම, මුදල් ප්‍රතිපාදන ලැබීමෙන් අනතුරුව ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු ඡන්ද විමසීමට අදාළ අනෙකුත් මුද්‍රණ කටයුතු සිදුකිරීම සඳහා දින 30 ක පමණ කාලයක් ගතවනු ඇති බවද මුද්‍රණාලයාධිපතිනි ගංඟානි ලියනගේ සඳහන් කළා.

+

+


දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු භූ කම්පන

(19.03.2023 – 07:59 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් සහ කිරින්ද – පලටුපාන ප්‍රදේශයෙන් සුළු භූ චලන දෙකක් (2) වාර්තාවනවා.

ත්‍රිකුණාමලය – තඹලගමුව – තිඹිරිවැව ප්‍රදේශයේ අද (19) අලුයම 03:30 ට පමණ රික්ටර් මාපකයේ 3 ක අගය ගත් සුළු භූ චලනයක් සිදුව ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ.

ඊයේ (18) පස්වරු 06:46 ට කිරින්ද – පලටුපාන ප්‍රදේශයෙන් වාර්තාවූ භූ චලනය රික්ටර් මාපකයේ 2.6 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

+++++++++

ශ්‍රී ලංකාව තුළ සක්‍රීය භූ පැළුම් නැහැ – මහාචාර්ය උදේනි අමරසිංහ

(19.03.2023 – 20:36 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ භූ කම්පන කේන්ද්‍ර ඇතිකරන සක්‍රීය භූ පැළුම් නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී ජ්‍යේෂ්ඨ මහාචාර්ය උදේනි අමරසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (18) කිරින්ද ප්‍රදේශයෙන් සහ අද (19) ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් සිදුවූ භූ චලන සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි.

ශ්‍රී ලංකාව තුළ රික්ටර් මාපාකයේ 4 ක අගය වැඩි අගයක භූ චලනයක් වාර්තා වන්නේ නම් පමණක් එහි අවධානමක් පවතින බව ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ සංජීව හෙට්ටිආරච්චි පවසනවා.

+


කොටහේනේ වෙඩි තැබීමක්

(19.03.2023 – 08:20 +0530 – hirunews.lk/sinhala)

කොටහේන – පරමානන්ද මාවතේ ඊයේ (18) පස්වරු 06:30 ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා.

ඔහු ප්‍රතිකාර සඳහා ඇතුළත් කළේ කොළඹ ජාතික රෝහලටයි.

රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ වෙඩි වැදුණු 40 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මෙම පුද්ගලයා ඔහුට අයත් ත්‍රීරෝද රථ අළුත්වැඩියා කරන ස්ථානයක සිටියදීයි වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දූව සඳහන් කළේ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ෴


දිස්ත්‍රික්ක 3 කට නායයෑම් අවදානම්

(19.03.2023 – 08:29 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදාළව නායයෑම් අවදානමක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ඊයේ (19) පස්වරු 6 ට පැනවූ එය අද (20) පස්වරු 6 දක්වා බලපැවැත්වෙන බවයි.

ඒ අනුව බදුල්ලේ – හල්දුම්මුල්ල, කෑගල්ලේ – රඹුක්කන, අරණායක, කෑගල්ල සහ මාවනැල්ල මෙන්ම කුරුණෑගල – මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම තත්ත්වය බලපැවැත්වෙනවා ෴


ශ්‍රී ලංකාවේ වර්ගඵලය වෙනස් වෙයි

(19.03.2023 – 08:44 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ වර්ගඵලය, දිග සහ පළල සම්බන්ධයෙන් නවතම දත්ත වාර්තාවක් මාස 02 ක කාලයක් තුළ එළිදැක්වීමට කටයුතු කරන බව මිනුම්පති එස්. සිවානන්දරාජා පවසනවා.

ඔහු කියා සිටියේ ඊට අදාළව සිතියම්ගත කිරීමේ කටයුතු පසුගිය වසරවල දී සිදුකෙරුණු බවයි.

ඒ අනුව සකස් කළ නව සිතියම් දත්ත අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් නව ගණනය කිරීම් සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය ඉදිකිරීම වැනි සුවිශේෂී තත්ත්වයන් හමුවේ මෙරට වර්ගඵලය, දිග සහ පළල වෙනස්වීම්වලට භාජනය වී ඇත්දැයි එහි දී කරුණු අනාවරණ වනවා.

උතුරු කෙලවරේ පේදුරුතුඩුවේ සිට දකුණු කෙලවරේ දෙවුන්දර තුඩුව දක්වා ශ්‍රී ලංකාවේ දිග කිලෝමීටර් 432 ක් පමණ වනවා.

බටහිර පිහිටි කොළඹ සිට නැගෙනහිර සංගමන් කන්ද තුඩුව දක්වා ශ්‍රී ලංකාවේ පළල කිලෝමීටර් 224 ක්.

ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 65,610 ක් වනවා.

ශ්‍රී ලංකාව වටා ඇති මුහුදු වෙරළේ දිග කිලෝමීටර් 1700 ඉක්ම වනවා ෴


නොරොච්චෝලේ හදිසියේ අඩපණ වෙයි

(19.03.2023 – 12:38 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ විදුලි බලාගාරායේ එක් (1) ජනන යන්ත්‍රයක් බිඳ වැටී තිබෙනවා.

අද (19) දහවල් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙලෙස බිඳ වැටී ඇත්තේ බලාගාරයේ තුන්වන (3) ජනන යන්ත්‍රය බවයි.

මෙම ජනන යන්ත්‍රය අප්‍රේල් මාසයේදී අලුත්වැඩියා කිරීමට සැළසුම්කර තිබූ බව ද අමාත්‍යවරයා සිය ට්විටර් ගිනුමේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

කෙසේවෙතත් නොරොච්චෝලේ එක් (1) ජනන යන්ත්‍රයක් බිඳ වැටුණ ද, කිසිදු අයුරකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

+


‘බූරු මූණා’ සඟවා තැබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය හංවැල්ලෙන් හමුවේ

(19.03.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala)

පාතාල වෙඩික්කරුවෙකු වන අත්අඩංගුවට ගත් ‘රවිඳු වර්ණ රංගන’ හෙවත් ‘බූරු මූණා’ රඳවාගෙන ප්‍රශ්න කිරීමේ දී අපරාධ සඳහා යොදාගැනීමට සඟවා තිබූ ‘සී ෆෝ’ වර්ගයේ පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 662 ක් හංවැල්ල ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

මීට පෙර බූරු මූණා ඝාතන සඳහා යොදාගත් ගිනි අවිය සහ යතුරු පැදිය මෙම ප්‍රදේශයේ තිබී සොයාගනු ලැබුවා.

පොලිසිය සඳහන් කළේ ඒ ආසන්නයේ ස්ථානයක තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමු වූ බවයි.

+


විදෙස් සංචාර සඳහා මහජන නියෝජිතයන්ට සහ නිලධාරීන් තවදුරටත් කොන්දේසි

(19.03.2023 – 13:27 +0530 – hirunews.lk/sinhala)

මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් විදෙස් සංචාර සඳහා යොමුවීමේදී පනවා ඇති සීමාවන් තවදුරටත් දැඩි කිරීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම තීරණය ගෙන ඇති අතර, දැනටමත් මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් විදේශ සංචාරවල නිරතවීමේ දී අනිවාර්යයෙන්ම භාණ්ඩාගාර ලේකම්වරයාගේ අනුමැතිය ලබාගත යුතුයි ෴


රජයේ සංවර්ධන කටයුතු ගෙවීම් හිඟය රුපියල් බිලියන 200 ක්

(19.03.2023 – 13:31 +0530 – hirunews.lk/sinhala)

පවතින ආර්ථික අර්බුදය හමුවේ රජයේ සංවර්ධන වැඩකටයුතු සඳහා පවතින ගෙවීම් හිඟය රුපියල් බිලියන 200 ක් බව ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික අනුකාරක සභාව සිය දෙවන (2) වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි රාජ්‍ය ආයතන සඳහා මෙම ගෙවීම් හිඟව පවතින බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.

එමෙන්ම ප්‍රාදේශීය මාර්ග සංවර්ධන ක්‍ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කළ කිලෝමීටර ලක්ෂයේ (1,00,000) ව්‍යාපෘතියේ අවසන් කර ඇත්තේ කිලෝමීටර 5,423 ක් පමණක් බව එම වාර්තාවේ සඳහන්.

එහි තවත් කිලෝමීටර 17,847 ක් සඳහා ටෙන්ඩර් ප්‍රදානය කර තිබෙනවා. එම ව්‍යාපෘතියේ හිඟව ඇති මුදල සටහන් වන්නේ රුපියල් බිලියන 54.7 ක් ලෙසයි.

රටේ උද්ධමනය සහ මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් දේශීය ඉදිකිරීම් කර්මාන්තය ද බරපතළ අර්බුදයකට ලක්ව තිබෙනවා.

තට්ටු නිවාස ඒකක 4,800 ක් පමණ ඉදි කිරීම් සම්පූර්ණ කරගැනීමට නොහැකිව හෝ විකුණාගත නොහැකිවීමෙන් අර්බුදයට ලක්ව ඇතැයි ජාතික සභා අනුකාරක සභාවේ දෙවන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ෴


ජාතික ජන බලවේගයෙන් විශේෂ ප්‍රකාශයක්

(19.03.2023 – 14:12 +0530 – hirunews.lk/sinhala)

කාගේ හෝ අවශ්‍යතාවයකට නීති ව්‍යවස්ථා වෙනස් කළ නොහැකි බවත්, අධිකරණයට අපහාස කිරීම බරපතල වරදක් බවත්, ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගන්න බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම එහිදී ඔහු මෙසේ ද පැවසීය :

“අද 2023 මාර්තු 19 වෙනිදා. අද මධ්‍යම රාත්‍රී 12:00 න් පස්සෙ සියලුම මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ධුර කාලය අවසන් වෙනවා. අද මධ්‍යම රාත්‍රී 12:00 න් පස්සේ මේ ආයතනවල නගරාධිපතිවරුන්ට, සභාපතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට තවදුරටත් මහජන නියෝජිතයන් හැටියට කටයුතු කරන්න බැහැ. ව්‍යවස්ථානුකූලව නිල කාලය අවසන් වෙනවා. ඒ නිසාම මැතිවරණය පැවැත්විය යුතුව තිබුණා මාර්තු මාසයේ 19 ට පෙර. නමුත් ආණ්ඩුව දිගින් දිගටම හිතාමතාම මේ මැතිවරණය කල් දැමුවා. මේ මැතිවරණය පවත්වීමට නියමිතව තිබුණේ ගිය වසරේ (2022) පෙබරවාරි අග හෝ මාර්තු මුල. ඇමතිවරයාගේ බලය පාවිච්චි කරලා වසරකින් කල්දැමුවා. මේ වසරේ මාර්තු 09 වැනිදා ඡන්දය පවත්වන්න මැතිවරණ කොමිසම දින නියම කළා. නමුත් අපි කවුරුත් දන්නවා ආණ්ඩුව මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසමට ලබා දුන්නේ නැහැ. ඒ නිසාම මැතිවරණය අප්‍රේල් 25 දක්වා කල්දමන්න මැතිවරණ කොමිසමට සිදුවුණා.

අද වන විට ඒ දිනයට මැතිවරණය පවත්වන්නත් බැරි තත්ත්වයක් උදාකර තිබෙනවා. තවමත් මුදල් අමාත්‍යාංශයෙන් මුද්‍රණාලයාධිපතිනියට, ඒ වගේම මැතිවරණ කොමිසමට අදාල මුදල් ලබාදී නැහැ. පසුගිය දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂ තීන්දුවක් ලබාදුන්නා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාටත්, මුදල් ඇමතිවරයා විදිහටත් රනිල් වික්‍රමසිංහටත්, මුද්‍රණාලයාධිපතිනියටත් ‘මැතිවරණය පැවැත්වීමට බාධා පමුණුවන්න එපා අවශ්‍ය කරන මුදල් ලබාදීමට සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට’. ඒ නිසා දැන් කැබිනට් මණ්ඩලයට කිසිදු අයිතියක් නැහැ පාර්ලිමේන්තුවෙන් වෙන් කරන ලද මුදල් ලබානොදී ඉන්න.

දැන් අලුත් ප්‍රශ්නයක් මතුකර තිබෙනවා. පාර්ලිමේන්තුවේ දොළවත්ත මන්ත්‍රීවරයා සහ සේමසිංහ මන්ත්‍රීවරයා, අධිකරණ තීන්දුව විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් ලෙස අර්ථ දක්වන්න උත්සාහ කළා. මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් නොවෙයි. පැහැදිලිවම අධිකරණ තීන්දුව විධායකයට නියෝගයක් ලබාදීම සිදුකර තිබෙනවා. මීට පෙරාතුවත් විවිධ අවස්ථාවල දී අධිකරණ තීන්දු කැබිනට් මණ්ඩලයට විරුද්ධව අරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත වූ එකක් කැබිනට් එකට වෙනස් කරන්න බැහැ. එසේ වෙනස් කරනවා නම් නැවත පාර්ලිමේන්තුවේ අනුමත විය යුතුයි. කැබිනට් මණ්ඩලය බැඳී ඉන්නවා පාර්ලිමේන්තුවේ සම්මත වූ මුදල් කොමිසමට ලබාදෙන්න. ඒක තනි පුද්ගලයෙකුට ඔළුවෙ අමාරුවක් නිසා වෙනස් කළ නොහැකියි. ඒ නිසා මැතිවරණයට අවශ්‍ය මුදල ලබාදිය යුතුයි. දොලවත්ත සහ සේමසිංහ මන්ත්‍රීවරුන් මතු කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් ලෙසට. අධිකරණ නියෝගයෙන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ බලය තවදුරටත් ශක්තිමත් කිරීමක්” ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *