‘ලිස්ටීරියා’ ආසාදිත පාසල් සිසුවෙක් දැඩි සත්කාරේ

‘ලිස්ටීරියා’ ආසාදිත පාසල් සිසුවෙක් දැඩි සත්කාරේ


‘ලිස්ටීරියා’ ආසාදිත පාසල් සිසුවෙක් දැඩි සත්කාරේ

(17.03.2023 – 20:04 +0530 – hirunews.lk/sinhala)

ලිස්ටීරියා බැක්ටීරියාව ආසාදනය වූ බවට සැකකෙරෙන 15 හැවිරිදි පාසල් සිසුවෙකු බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවට වාර්තා වනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් සහ බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්ෂ සඳහන් කළේ එම සිසුවා දැඩි සත්කාර ඒකකයේ මේ වන විට (17) පසුවන බවයි.

ශ්‍රී පාද වන්දනාවේ නිරත ඇතැම් පිරිස් අතර රෝගී තත්ත්වක් සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ වාර්තා පළ වී තිබුණා.

එම වාර්තාවල දැක්වුණේ මේ මස මුල් සතියේ ශ්‍රීපාද වන්දනාවේ ගිය පුද්ගලයන්ට වමනය, හිසරදය, උණ හෝ ශ්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවිය යුතු බවටයි.

අදාළ තොරතුරුවල සත්‍යය අසත්‍යතාව පිළිබඳ අදහස් පළකරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සඳහන් කළේ මෙය ලිස්ටීරියා නම් බැක්ටීරියා ආසාදන තත්ත්වයක් බවට හදුනාගෙන ඇති අතර එක් මරණයක් වාර්තා වී ඇති බවයි.

එලෙස මියගොස් තිබුණේ එරත්න ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන කාන්තාවක්. ඇයට එය ආසාදනය වූ ආකාරය පිළිබඳ සහ ඇයගේ ආශ්‍රිතයින් අතර එම බැක්ටීරියාව ව්‍යාප්තව ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ වසංගත රෝග විද්‍යා අංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම පරීක්ෂණවලට සමඟාමීව ශ්‍රී පාද – හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ගඟුලතැන්න දක්වා පිහිටි වෙළඳසැල් සහ ආපනශාලාවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාර ද්‍රව්‍යවල මෙන්ම ජලයේ සාම්පල ලබාගැනීම අද (17) සිදුකෙරුණා.

ඒ මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්.

එමෙන්ම ශ්‍රී පාද රජ මාවතේ වෙළඳසැල්වලින්ද ආහාර නියැදි ලබා ගැනීම සිදු කෙරෙනු අතර ඒවා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකරන බවයි රත්නපුර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.ඒ.පී. බොරලැස්ස සඳහන් කළේ.

මේ අතර හැටන් සහ ඒ අවට ඇතිවී තිබෙන සෞඛ්‍ය තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එම ප්‍රදේශයේ රාජකාරි සඳහා ප්‍රමාණවත් සෞඛ්‍ය නිලධාරින් පිරිසක් යෙදවීමට සෞඛ්‍ය බලධාරින් කටයුතු නොකිරීම බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ චෝදනා කළා ෴

+

+


වෘත්තීයවේදීන් අතුරු සහනයක් ඉල්ලයි

(17.03.2023 – 20:06 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ලේකම්වරයා සමඟ අද (17) පැවති සාකච්ඡාවේදී සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණු බව වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ඒ අනුව ඉදිරියේදී ලබාදෙන ස්ථිර විසඳුම ලබාදීම සඳහා ගතවන කාලසීමාවට පෙර අන්තර්වාර විසඳුමක් අවශ්‍ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ජනාධිපති කාර්යාලයේ අද (17) පැවති සාකච්ඡාවට වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයන් එක්ව සිටියා.

එහිදී දෙපාර්ශ්වයේ යෝජනා සම්බන්ධයෙන් කරුණු හුවමාරු කරගෙන තිබූ අතර, වෘත්තිකයන් එහිදී රජයේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ඔවුන් මුහුණපාන අපහසුතා සම්බන්ධයෙන් කරුණු පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්ද අද (17) ආරම්භ කළා.

කෙසේ වෙතත්, ලබන සතියේදී ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී සිය ගැටළුවලට විසඳුමක් අපේක්ෂා කරන බවයි වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ ෴


ගුරු මාරු මණ්ඩලය විසුරුවා හැරේ

(17.03.2023 – 19:57 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර ඇති අතර ඒ අනුව එම ගුරු මාරු මණ්ඩලයේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුරුවරුන් 12,500 කගේ පමණ සියලු මාරුවීම් අහෝසි වී යන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ ෴


මීනගයා බිළිඳා මව්පියන්ට භාරදෙයි – විවාහ කරවන බවටත් පොරොන්දුවක්

(17.03.2023 – 19:53 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ මීනගයා දුම්රියේ වැසිකිලියක දමාගොස් තිබියදී සොයා ගත් බිලිඳාගේ මව සහ පියා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත අද (17) මුදාහැරුණා.

එසේම දරුවා ඔවුන්ට භාරදුන්නේ දැඩි අවවාද සහ කොන්දේසි මතයි.

ඔවුන් අද (17) කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කළ අතර ඇප ලබාදීමෙන් පසු දෙමාපියන් විවාහ කර දෙන බව ද බිළිඳාගේ මව සහ පියා වෙනුවෙන් පෙනී සිටී නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියා.

බිළිඳා මවට භාරදීමට සුදුසු බවට නිර්දේශ කරන බවයි මෙහිදී පරිවාස නිලධාරියා අධිකරණයට දන්වා සිටියේ.

ඒ අනුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් කෙරුණේ බිළිඳා මවට භාරදෙන ලෙසයි.

එසේම ලබන 21 වනදා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා බිළිඳා සමඟ මව සහ පියාට රජයේ රස පරීක්ෂක හමුවට යොමුවන ලෙස ද අධිකරණය නියෝග කළා.

මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ දරුවාට කිසිදු අනතුරක් සිදු නොකළ යුතු අතර පරිවාස නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ දරුවා දෙමාපියන් භාරයේ සිටිය යුතු බවයි.

මේ අවස්ථාවේ දරුවාගේ පෝෂණය පිළිබඳ අධිකරණයේ අවධානය යොමුවන බවත්, දරුවා බැලීමට මව්කිරි අත්‍යවශ්‍යය බවත් ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට අවවාද කළ අතර දැඩි කොන්දේසි මත දරුවා භාරදෙන බවයි කියා සිටියේ.

පරිවාස නිලධාරි වාර්තා සඳහා නඩුව ජුනි 02 වනදා යළි කැඳවීමට නියමිතයි ෴


සල්ලි දුන්නොත් ඡන්දෙ තියෙනවා ද? – පැෆ්රල්

(17.03.2023 – 17:41 +0530 – sinhala.adaderana.lk)

එළඹෙන මාර්තු 19 වනදා මධ්‍යම රාත්‍රියෙන් නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන 340 ක සභිකයන් සඳහා දැනට ගෙවනු ලබන දීමනා මාර්තු පළමු (01) වනදා සිට මාර්තු 19 වනදා දක්වා පමණක් ගෙවීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පැවැත්වූයේ 2018 ඔක්තෝබර් 11 වනදා බැවින් එම ප්‍රාදේශීය සභාවේ නිල කාලය අවසන් වන්නේ ලබන ඔක්තෝබර් පළමු වනදාය.

19 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන පළාත් පාලන ආයතන පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණය යටතේ ව්‍යවස්ථානුකූලව කොමසාරිස්වරුන් හා ලේකම්රුන්ගේ පාලනයට යටත් වෙයි.

එම ආයතනවල දැනට ධුරයේ සිටින නගරාධිපතිවරුන් හා සභාපතිවරුන් යටතේම පවත්වාගෙන යාමට විවිධ පාර්ශ්ව යෝජනා කළ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අනුව ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම නගරාධිපතිවරුන්ට සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට ලබාදී ඇති නිල වාහන මාර්තු මස 18 වනදා යළි භාරදිය යුතු බවද රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

මේ අතර පැෆ්රල් සංවිධානය විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමුකරමින් ප්‍රශ්න කිහිපයක් යොමුකර තිබේ.

එහි එක් පැනයක් ලෙස ඔවුන් විමසා ඇත්තේ ඡන්ද විමසීම පැවැත්වීමට ප්‍රධාන බාධකයක් ලෙස රජය පෙන්වාදෙන මූල්‍ය ගැටලුවට විසඳුමක් කිසියම් පාර්ශ්වයක් විසින් සපයනු ලබන්නේ නම් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය සූදානම්ද යන්නය.

අදාළ ලිපියෙන් අගමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න පහතින් :

01 ඡන්ද විමසීම පැවැත්වීමට ප්‍රධාන බාධකයක් ලෙස රජය පෙන්වාදෙන මූල්‍ය ගැටලුවට විසඳුමක් කිසියම් පාර්ශ්වයක් විසින් සපයනු ලබන්නේ නම් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය සූදානම්ද ?

02 දැනටමත් අරඹා ඇති සීමා නීර්ණය හාරහා කොට්ඨාස ප්‍රමාණය හා සභිකයන් අඩු කිරීම සමග ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මැතිවරණ ක්‍රමය කුමක් ?

03 එම නව සභික ප්‍රමාණය 50% ක් පමණ එනම් 4,000 ක් හෝ 5,000 ක ප්‍රමාණයක් දක්වා අඩු කරනවිට දැනටමත් ඇති කාන්තා කෝටාව හා සම්මත කිරීමට නියමිත තරුණ කෝටාව යන දෙකම 25% බැගින් ඇතුළත් කරන්නේද?, ඒ සඳහා අවශ්‍ය එකඟතා ලබාගෙන තිබේද ?

04 දැනටමත් ආරම්භ කර ඇති ජන සභා වැඩසටහන මෙයට අන්තර්ගත කරන්නේද ? ඒ සඳහා වැඩපිළිවෙලක් තිබේද ?


කිතුල් පැණි, කිතුල් හකුරු දියවැඩියාව ඇතුළු රෝග ගණනාවකට ගුණයි… – කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

(17.03.2023 – 06:20 +0530 – lankacnews.com)

කිතුල් ආශ්‍රිත සාම්ප්‍රදායික කර්මාන්තයත් , සංචාරක කර්මාන්තයත් ප්‍රවර්ධනය කරමින් ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම ‘ කිතුල් සංචාරක සත්කාරක ගම්මාන’ ක්‍රියාත්මක කිරීමේ අරමුණ බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ කිතුල් සංවර්ධන මණ්ඩලය විසින් රුහුණු සංචාරක කාර්යංශය, නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සිංහරාජ සුමිතුරෝ ස්වෙච්ඡා සංවිධානය එක්කොට ගෙන ආරම්භ කරන ලද ‘කිතුල් සංචාරක සත්කාරක ගම්මාන’ වැඩසටහනේ ලංකාගම මුල්කොටගත් ක්‍රියාත්මක ව්‍යාපෘතිය නිරීක්ෂණයට එක්වෙමිනි.

එම නිරීක්ෂණ චාරිකාවේදී දැනට පවතින ප්‍රගතිය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට හා සමාලෝචනයට ලක්වූ අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ගම්වාසීන්ට මතුවූ ගැටලු සහ අභියෝග පිළිබඳවත්, ඒවා ජයගත හැකි ආකාරය පිළිබඳවත්, අමාත්‍යවරයා විසින් ගම්වාසීන් සමග පුළුල්ව සාකච්ඡා කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් කතිකා කරමින් කිතුල් ආශ්‍රිත නිෂ්පාදනයන්හි ස්වාභාවිකත්වය ආරක්ෂා කරගනිමින් ඒවා වානිජමය වශයෙන් සංචාරකයන් හට ප්‍රවර්ධනය කළයුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම මේවනවිට දියවැඩියාව ඇතුළු රෝග ගණනාවකට ගුණදායි ආහාරයන් ලෙසින් ලෝකය තුළ කිතුල් පැණි , කිතුල් හකුරු හදුනාගෙන තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා කිතුල් පැණි , කිතුල් හකුරු වලට අමතරව දැනට කිතුල් පිටි කැද, කිතුල් පිටි තලප, කිතුල් පිටි දොදොල්, කිතුල් පිටි වෙල්ලවැහුම්, කිතුල් පිටි වණ්ඩු ආප්ප ආදි ආහාර වර්ග රැසක්ම කිතුල් ආශ්‍රිතව නිෂ්පාදනය කෙරෙන නිසා ඒවාත් මේ ආශ්‍රිතව ප්‍රවර්ධනය කළ හැකි ආකාරය පිළිබඳවද විමසා බැලිණි.

එමෙන්ම මෙහිදී අමත්‍යවරයා උපදෙස් දුන්නේ විදේශීය සංචාරකයන් දැඩි කැමැත්තක් දක්වන ස්වාභාවික පරිසරය මුල්කොටගත් ‘මානසික සුවතා’ ක්‍රියාකාරකම් මෙම ව්‍යාපෘතිය හරහා ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව විමසා බලන ලෙසයි.

අවසාන වශයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ මෙම ව්‍යාපෘතිය හරහා ස්වභාවික සම්පත් මුල්කොට ගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයටත්, කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනයටත් අවස්ථාව උදාවී ඒ ඔස්සේ ලංකාගම ආශ්‍රිත ග්‍රාමීය ආර්ථිකය වැඩි වර්ධනය වෙමින් අවසානයේ එය රටේ ආර්ථිකය ප්‍රවර්ධනය උදෙසා හේතුවන බවයි.

කැරියෝටා යුරේනස් (Caryota urens) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන කිතුල් ශාකය මුල්කොට ගෙන ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික කිතුල් කර්මාන්තයේ ප්‍රමුඛතම ගම්මානයක් වන ලංකාගම ලෝක උරුම සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිතව පිහිටා ඇති නිසා මෙම ‘කිතුල් සංචාරක සත්කාරක ගම්මාන’ ක්‍රියාත්මක කිරීමේදී එහි සාර්ථකත්වය උදෙසා වැඩි විභවයක් සහිතවෙයි.

මෙම අවස්ථාවට ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල, මහාචාර්ය සුනිල් කාරියකරවන, කිතුල් සංවර්ධන මණ්ඩලයේ සභාපති නීතිඥ ගිහාන් පෙරේරා, රුහුණු සංචාරක මණ්ඩලයේ සභාපති චන්න සාලිය, නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින්, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ හා කර්මාන්ත අමාත්‍යංශයේ නිළධාරින්, සිංහරාජ සුමිතුරෝ සමාජිකයන්, ගම්වාසීන් ඇතුළු රැසක් එක්ව සිටියහ ෴


සිව් (4) වසරකට අදාළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය හෙට (18) පැවැත්වෙයි

(17.03.2023 – 21:44 +0530 – hirunews.lk/sinhala)

2019, 2020, 2021 සහ 2022 වර්ෂවල 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය හෙට (18) දිනයේ දී පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (18) එනම් සෙනසුරාදා දිනයේ උදෑසන 09 සිට දහවල් 12:10 තෙක් විභාගය පැවැත්වෙනු ඇති.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3269 ක දී මෙම විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බවත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම විභාගය සඳහා විභාග දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ පාසල්වල අයදුම්කරුවන් සඳහා මෙම වසරේ 12 වැනි ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා තම පාසල් මගින් අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව සැලසෙනු ඇති.

+ https://cdn.hirunews.lk/Data/news_uploads/202303/333333_1.jpg


රාජපක්ෂ පවුල රට හොරාකන්න ඉඩ දුන්නා – හිටපු ජනපතිනිය චන්ද්‍රිකා

(17.03.2023 – 21:29 +0530 – hirunews.lk/sinhala)

රට යළි ගොඩනැගීමට නම් සොරකම නැවැත්විය යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

ඇය මෙම අදහස් පළ කළේ ‘නව ලංකා නිදහස් පක්ෂයේ’ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේදී පැවති තරුණ හමුවක් අමතමින්.

රාජපක්ෂ පරපුර යනු හොරකම වෙනුවෙන් ඉඩ දුන් පිරිස බවයි ඇය සඳහන් කළේ.

+


වාහන ආනයනයට අවසර දෙන්න – මහබැංකු අධිපතිට ඉල්ලීමක්

(17.03.2023 – 22:32 +0530 – hirunews.lk/sinhala)

මෙරටට බලපෑ ඩොලර් අර්බුදයත් සමඟ වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය කටයුතු කළේ 2021 වසරේ මැයි මස 24 වැනිදායි.

ඒ අනුව මාස 22 කට ආසන්න කාලයක් කිසිදු වාහනයක් මෙරටට ආනයනයට අවසර හිමිවුණේ නැහැ.

මෙවන් පසුබිමක වාහන ආනයනය සඳහා නැවත අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් වාහන ආනයනකරුවන්ගේ සංගමය මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමඟ සාකච්ඡාවකට එක්වුණා.

එහිදී පවතින තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතත් නැවත වාහන ආනයනට මහබැංකුවේ අනුමැතිය නොලැබුණු බවයි ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති එස්. කේ. ගමගේ පැවසුවේ.

එමෙන්ම, භාවිත කළ රථවාහන වෙළෙඳපොලට සහන ලැබෙන පරිදි ණය පොලී අනුපාත පහළ දැමීමට ද මහබැංකු අධිපතිවරයා මෙම සාකච්ඡාවේදී එකඟතාව පළ කර තිබෙනවා.

මේ අතර රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහබැංකු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියැයි තීන්දු කරන ලෙස ඉල්ලමින් ජාතික ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.

ජාතික ජනබලවේගයේ වසන්ත සමරසිංහ මහතා විසින් ගොනු කරනු ලැබූ මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි.

යෝජිත මහබැංකු සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධානවලින් එහි ස්වාධීනභාවයට බරපතල අනතුරක් සිදුවන බව පෙත්සමෙන් පෙන්වා දි තිබෙනවා.

මේ හරහා මහබැංකුව පාර්ලිමේන්තුවේ බලයෙන් මිදෙනු ඇති බවත් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සමේ සඳහන්.

එබැවින් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, ඩොලරයේ මිලට සමානුපාතිකව ගුවන් ටිකට් පතක මිල ගණන් 20% කින් පමණ අඩු කිරීමට ගුවන් සේවා සමාගම් කටයුතු කර තිබෙනවා.

ඒ, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඔවුන්ගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

කෙසේවෙතත්, නැවත වරක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (17) දිනයේ රුපියල් 350 ක් බවට පත්වුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *