කොවිඩ් කාලේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය දරුණු ලෙස කඩාකප්පල් වෙලා

කොවිඩ් කාලේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය දරුණු ලෙස කඩාකප්පල් වෙලා


කොවිඩ් කාලේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය දරුණු ලෙස කඩාකප්පල් වෙලා

(17.03.2023 – 08:47 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් සමයේදී පාසල් වසා තැබීමෙන් මෙරට දරුවන්ගේ අධ්‍යාපන මට්ටම දරුණු පසුබෑමකට ලක්ව ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.

තුන්වන (3) ශ්‍රේණියේ දරුවන් යොදා සිදුකළ සමීක්ෂණයකට අනුව හෙළි වී ඇත්තේ ප්‍රමාණවත් සාක්ෂරතාවක් හෝ අංක පිළිබඳ දැනුමක් ලබාගැනීමට 90% ක සිසු පිරිසකට නොහැකි වී ඇති බවයි.

පසුගිය කොවිඩ් කාල වකවානුවේ පාසල් වසා තැබීම තුළින් දරුවන්ට සිදුවී ඇති අධ්‍යාපන බලපෑම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සංගණනයක් සිදුකර තිබෙනවා.

ඒ, 2021 දෙසැම්බර් සිට 2022 ජනවාරි දක්වා කාල පරාසය තුළයි.

මෙම සංගණනයට 3 වන ශ්‍රේණියේ දරුවන් නියැදියක් ලෙස 10,000 ක පමණ ප්‍රමාණයක් යොදා ගෙන තිබෙනවා.

සවන්දීම, කථනය, කියවීම, ලිවීම ඇතුළු අංශ කිහිපයක් ඔස්සේ මෙම සංගණනය සිදුකර තිබෙනවා.

එමගින් අනාවරණ වී ඇත්තේ සියයට 90 ක පමණ ප්‍රමාණයකට ප්‍රමාණවත් සාක්ෂරතාවක් හෝ අංක පිළිබඳව දැනුමක් ලබාගැනීමට නොහැකි වී ඇති බවයි.

සවන්දීමේ ප්‍රවණතාව නොමැති ප්‍රතිශතය සියයට 73 ක්.

කථන කුසලතාවය අසමත් ප්‍රතිශතය සියයට 80 ක්.

කියවීමේ කුසලතාව සාක්ෂාත් කර නොගත් ප්‍රතිශතය 63% ක් වන අතර ලිවීමේ හැකියාව නොමැති ප්‍රතිශතය 66% ක්.

+


උසස් පෙළ ලියූ සිසුන් ප්‍රතිඵල ඉල්ලයි

(17.03.2023 – 08:26 +0530 – hirunews.lk/sinhala)

පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාදවීමෙන් තම විශ්වවිද්‍යාල ප්‍රවේශය ඇතුළු උසස් අධ්‍යාපන කටයුතු අඩාල වීම නිසා තම අධ්‍යාපන අයිතිවාසිකම් උලංඝණය වී ඇති බවට උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් චෝදනා කරනවා.

පසුගිය පෙබරවාරි 17 වනදා උසස් පෙළ විභාගය අවසන් කෙරුණු අතර පිළිතුරු පත් ඇඟයීම් කටයුතු පෙබරවාරි 22 වනදා සිට ආරම්භ කිරීමටයි නියමිතව තිබුණේ.

උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාදය සාමාන්‍ය පෙළ විභාගයටද බලපා ඇතිඅතර, තවදුරටත් එය කල් යා හැකි පසුබිමකුයි මේ වනවිට නිර්මාණය වී ඇත්තේ.

විදුලි කප්පාදුව හමුවේ විභාගයට පෙනී සිටි සිසු දරු දැරියන් කිහිප දෙනෙකු උත්තරපත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ, වෘත්තීය නිපුණතා පාඨමාලා වෙත යොමුවීමට ද එය ඔවුනට ගැටළුවක් වී ඇති බවයි ෴


පළාත් පාලන ආයතන 340 ක කාලය අනිද්දායින් අවසන්

(17.03.2023 – 09:11 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අනිද්දා (19) අවසන් වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇතත්, රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ පවසන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මෙතෙක් මුදල් ලැබී නොමැති බවයි.

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අනිද්දා (19) අවසන්වීමත් සමඟ එම ආයතනවල ඉදිරි කටයුතු සිදුකිරීම සහ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පළාත් ආණ්ඩුකාරවරු අතර පසුගියදා සාකච්ඡාවක් ද පැවැත්වුණා.

පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන්ගේ පාලනයට යටත් කිරිම සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා වී ඇති බව සඳහන්.

මේ අතර නියමිත පරිදි පළාත්පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් ජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16) අවසර ලබාදුන්නා.

අදාළ පෙත්සම සළකා බැලුනේ ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි ෴


හොර රහසේ ආ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් ගැන ගම්මන්පිල තොරතුරු ඉල්ලයි

(17.03.2023 – 09:23 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පෙබරවාරි 14 වැනි දා ඇමරිකානු රාජතාන්ත්‍රිකයින් පිරිසක් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් කරුණු විමසමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරින් වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

‘සී 17 ග්ලෝබ්මාස්ටර්’ වර්ගයේ ගුවන් යානා දෙකකින් (2) මෙරටට පැමිණි ඇමෙරිකානු දූත පිරිස පිළිබඳ කරුණු 08 ක් ඔස්සේ තොරතුරු විමසමින් මන්ත්‍රීවරයා විසින් අදාළ ලිපිය යොමුකර තිබුණා.

ඒ අනුව, එම ගුවන් යානාවලින් පැමිණියේ කවුරුන්ද? ඒ අතර ඇමෙරිකානු එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි නියෝජිතායතනයේ අධ්‍යක්ෂ විලියම් සි බනේ ආගමන ගමන නිළධාරින්ගේ පරික්ෂාවට ලක්වුයේද ? යන්න එමඟින් ඔහු විමසා තිබෙනවා.

එසේ ම පැමිණි පිරිසේ ගමන් බලපත්‍ර ආගමන විගමන නිළධාරින් විසින් මුද්‍රා තැබුවාද? යන්න ආදී කරුණු 08 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් විමසා තිබෙනවා ෴


පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට

(17.03.2023 – 09:35 +0530 – hirunews.lk/sinhala)

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521 ක් ලැබී තිබෙන බව වාර්තා වනවා.

මෙම කරුණු අනාවරණ වුණේ මහාචාර්ය අර්ජුන පරාක්‍රම ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී ඊට අදාලව කළ කරුණු දැක්වීමකට අනුවයි.

පසුගිය ජනවාරි 20 වැනි දා ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ සිට මුදල් අමාත්‍යාංශය දක්වා පැවති වෘත්තිකයින්ගේ සාමකාමී පා ගමනේ දී ඊට පොලිසිය විවිධ අවස්ථාවල දී බාධා කිරීම් සිදුකළ බවත්, එමඟින් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ඔහු සිය පෙත්සමෙන් දක්වා තිබුණා ෴


වර්ජනයේ නිරත සරසවි ඇදුරන්ට ජනපති ලේකම්ගෙන් සාකච්ඡාවක්

(17.03.2023 – 13:30 +0530 – hirunews.lk/sinhala)

වර්ජනයේ නිරත සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති නියෝජිතයින් සහ ජනාධිපති ලේකම්වරයා අතර අද (17) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

මේ අතර වර්ජන ක්‍රියාමාර්ග හේතුවෙන් අද වන විට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම බිඳ වැටී ඇති බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පෙන්වා දෙන්නේ.

විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලින් බැහැරව ආචාර්යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනයට අදට (17) සතියක කාලයක් සපිරෙනවා.

කෙසේ වෙතත්, ජනාධිපතිලේකම්වරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කළේ.

+


ශ්‍රී පාද මගෙහි ඇති වෙළෙඳසැල්වල ආහාරපානවලින් සාම්පල ගැනේ

(17.03.2023 – 13:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී පාද හැටන් මාර්ගයේ වෙළෙඳසැල්වල කිරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍යවල සාම්පල ලබා ගැනීමට මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.

මෙම සාම්පල ලබා ගැනීම සිදු කර ඇත්තේ ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිට නල්ලතන්නිය සිට ගගුලතැන්න දක්වා පිහිටි වෙළෙඳසැල්වල සංචාරක හෝටල්වල කිරි ආශ්‍රිත නිෂ්පාදනවලයි.

අද (17) උදෑසන සිට දහවල් කාලය තෙක්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව අදාළ සාම්පල එකතු කිරීම සිදු කෙරුණේ පසුගියදා රත්නපුර – එරත්න ශ්‍රී පාද මාර්ගයේ ‘ලිස්ටීරියා’ රෝගියෙකු බවට සැක කෙරෙන අයෙකු හමුවීමත් සමගින්.

රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය සඳහන් කළේ ලබාගත් ආහාරවල සාම්පල කොටස් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කරන බවයි.

දැනට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහ සෞඛ්‍යාරක්ෂිත ආහාරපාන වෙළෙඳසැල්වලින් ලබාදීමේ දී පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානය යටතේ සිදු කෙරෙන බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

කෙසේවෙතත් මීට පෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලවලින් සතියකට වරක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පස්දෙනෙකු බැගින් අනුයුක්ත කළ ද එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මසකට ලබාදෙන අතිකාල දීමනා පැය 100 ක් කප්පාදු කිරීම හේතුවෙනුයි ඔවුන් සිය රාජකාරිවලින් ඉවත් කර ඇත්තේ.


සරසවි සිසුන්ට ශිෂ්‍ය ණයක්

(17.03.2023 – 14:12 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් සඳහා රාජ්‍ය බැංකු 3 ක් හරහා පොළී රහිත ණය පහසුකමක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

කෑගල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

+


‘බූරු මූණා’ අත්අඩංගුවට

(17.03.2023 – 14:27 +0530 – hirunews.lk/sinhala)

කටුනායන ගුවන් තොටුපළ පොලිසිය භාරයේ සිටිය දී පලා ගිය ඝාතන කිහිපයකට සම්බන්ධ ‘රවිදු වර්ණරංග’ හෙවත් ‘බූරු මූණා’ අවිස්සාවෙල්ල අධිකරණයට භාර වීමට පැමිණෙන අතරතුර දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය වසරේ හංවැල්ල – හරස් පාර ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ද වන මොහු ගාල්ල, බෝපේ – පෝද්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුව ඉකුත් පෙබරවාරි 24 වැනි දා රහසිගත ව විදේශගත වීමට උත්සාහ කිරීමේ දී කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන නිලධාරීන් මොහුව අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපල පොලිසිය වෙත භාරදී තිබූ අතර සැකකරු ඉන් පළා ගොස් තිබුණා.

මේ අතර මොහුව කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ රදවා සිටිය දී මුදාගෙන රැගෙන ගිය අවුරුදු 38 හා 41 යන වයස්වල පසුවන භික්ෂූන් වහන්සේ දෙනම බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය මගින් ඉකුත් (27) උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා ෴


රත්‍රන් මිල තවත් ඉහළ යාමේ අවදානමක්

(17.03.2023 – 14:36 +0530 – hirunews.lk/sinhala)

මෙරට රත්‍රං වෙළෙඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ යාමේ වැඩි හැකියාවක් පවතින බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ වටිනා ලෝක විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පැවසුවේ මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ද රන් මිල යළි ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර ඔහු වැඩි දුරටත් සඳහන් කළේ 2035 වසර වන විට ලොව ආකරවල පවතින සියලු ම රත්තරන් අවසන් වී යන බවත් මේ වන විටත් ඉන් 85% ක පමණ ප්‍රමාණයක් භාවිතයට ගෙන අවසන් වී ඇති බවයි.

+


දිවා ආහාරය ලබාදෙන පාසල් දරුවන් දෙගුණ (2) කිරීමට සැළසුම්

(17.03.2023 – 16:36 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් දිවා ආහාරය ලබා දුන් දරුවන් ලක්ෂ එකොළහක (11,00,000) සංඛ්‍යාව, ලබන පාසල් වාරයේ සිට දෙගුණයකින් (2) වැඩි කිරීමටත් ඒ අනුව සමස්ත පාසල් දරුවන්ගෙන් 51% ක් සඳහා දිවා ආහාර සැපයීමටත් සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා.

එසේම ජනවාරියේ පාසල් පෝෂණ වැඩසටහන ,වෙනුවෙන් අත්තිකාරම් ලෙස රුපියල් මිලියන 814 ඉක්ම වූ මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සඳහා නිකුත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

එසේම සහල්, පරිප්පු සහ සැමන් මෙන්ම ආහාර පිසීමට ගන්නා තෙල්ද ලෝක ආහාර වැඩසටහන හා ඇමරිකානු ආධාර යටතේ ප්‍රදානය කර ඇති අතර සතියේ දින පහේ (5) ම දරුවන්ට ලබා දෙන ආහාර වට්ටෝරු සඳහා බත් ඇතුළත් කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා ෴


රැකියා වංචාවකට දෙදෙනෙකු අත්අඩංගුවට

(17.03.2023 – 07:46 +0530 – sinhala.adaderana.lk)

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකළ පුද්ගලයින් දෙදෙනෙකු (2) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුවේට් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පල්ලම ප්‍රදේශයේ පුද්ගලයෙකු විමර්ශන නිලධාරීන් විසින් මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

අදාළ සැකකරු ගම්පොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් කුවේට්හි රැකියාවක් ලබාදෙන බව පවසමින් රුපියල් 4,50,000 ක මුදලක් ලබාගෙන තිබේ ෴


නන්දලාලුත් ගහන්නේ රනිල්ගෙ ගේමක්.. ඔයිට වඩා හොඳයි ඔය තනතුර දීපන් ළමයෙකුට – මංජු නිශ්ශංක (17.03.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *