‘හරක් කටා’ හා ‘කුඩු සලිඳු’ දින 90 කට සී.අයි.ඩීයට

‘හරක් කටා’ හා ‘කුඩු සලිඳු’ දින 90 කට සී.අයි.ඩීයට


‘හරක් කටා’ හා ‘කුඩු සලිඳු’ දින 90 කට සී.අයි.ඩීයට

(15.03.2023 – 20:12 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගෙන අද (15) දිවයිනට ගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘නදුන් චින්තක’ නොහොත් ‘හරක් කටා’ සහ ඔහුගේ සහායක ‘සළිඳු මල්ෂික’ නොහොත් ‘කුඩු සලිඳු’ දින 90 ක රැඳවුම් නියෝග ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර විමර්ෂණ සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ට්ඨාසය පවසනවා.

විදේශයන්හි සිට මත්ද්‍රව්‍ය ඇතුළු මෙරට පාතාල කටයුතු මෙහෙයවමින් සිටි මොවුන් දෙදෙනා ඇතුළු පිරිසක් පසුගිය පෙබරවාරි 12 වැනි දා මැඩගස්කරයට ගොස් තිබුණේ පෞද්ගලික ජෙට් යානයකින්.

අනතුරුව අභ්‍යන්තර ගුවන් යානයකින් එරට තවත් ප්‍රදේශයකට ඔවුන් ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත්, මැඩගස්කරයේ දී සුපිරි ධනවතුන් ලෙස පෙනී සිටි ‘හරක් කටා’, ‘කුඩු සළිඳු’ ඇතුළු 08 දෙනෙකුගෙන් යුත් පිරිසක් එරට ඉවොටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුගිය දා සිව් (4) දෙනෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් මැඩගස්කරය වෙත බලා ගියේ හරක් කටා සහ කුඩු සළිඳුව මෙරටට රැගෙන ඒම සඳහායි.

කෙන්යාවේ සිට ඩුබායි ගුවේ තොටුපොළ ඔස්සේ ඔවුන් දෙදෙනාව මෙරටට රැගෙන ඒමට මුලින් සැළසුම් කර තිබුන ද පසුව එම සැලසුම වෙනස් කර සැකකරුවන් ඉන්දියාවේ මුම්බායි සිට මෙරටට රැගෙන ඒමටයි කටයුතු කර තිබුණේ.

ඔවුන් දෙදෙනා අද (15) උදෑසන 07:10 ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු .එල්-142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන ආවා.

පසුව ගුවන් යානය අසල සිට ගුවන් තොටුපළ ගුවන් භාන්ඩ පර්යන්තය ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමටයි පියවර ගෙන තිබුණේ.

+

මේ අතර, ‘සලිඳු මල්ශික ගුණරත්න’ හෙවත් ‘පානදුරේ කුඩු සලිඳු’ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ මව වන ‘ශිරානි මල්කාන්ති ප්‍රනාන්දු’ නැමැත්තිය ගොනු කර තිබු රීට් පෙත්සම අද (15) අභිචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එම පෙත්සම අද (15) කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මණ්ඩුල්ල හමුවේයි.

එහි දී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පොලිස් අත්අඩංගුටවට ගනු ලැබු ‘මාකඳුරේ මධුෂ්’ ඇතුලු සැකකරුවන් ආයුධ පෙන්වීමට යැයි පවසමින් රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කෙරුණු ආකාරයට එම ඉරණම තම පුත්‍රයාට ද අත්වනු ඇතැයි තම සේවාදායකයා බිය පළ කරන බවයි.

එම නිසා අත්අඩංගුවේ පසුවන සැකකරුගේ ජීවිත ආරක්ෂාව සහතික කරන ලෙසත් ඔහු මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට පමුණුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න එම රීට් පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදී ම ප්‍රතික්ෂේප කරන ලෙස විරෝධතා මතු කර සිටියා.

හුදෙක් උපකල්පන හා මාධ්‍ය වාර්තා පදනම් කරගනිමින් මෙම පෙත්සම ගොනු කර ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ප්‍රකාශ කළේ, සැකකරු අත්අඩංගුවට ගෙන පැය 24 ක් වත් ගත වී නොමැති හෙයින් වග උත්තරකරුවන්ගේ ක්‍රියාකලාපය පරීක්ෂා කිරීම සඳහා සාධාරණ කාලයක් ලබා දිය යුතු බවයි.

ඒ අනුව අදාල පෙත්සම ලබන 20 වැනි දා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණය එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ ස්ථාවරය දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කළා.

සැකකරු විමර්ශන කටයුතු සඳහා අත්අඩංගුවෙන් පිටතට රැගෙන යන්නේ නම් මහේස්ත්‍රාත්වරයෙකුට දැනුම් දී මහේස්ත්‍රාත්වරයාගේ සුපරීක්ෂාව යටතේ සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි පෙත්සම්කාරිය එසේ පිටතට රැගෙන යන අවස්ථාවල දී සැකකරු අත් සහ පාදවලට විලංගුලා රැගෙන යන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා ෴

+

මීට පෙර ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ගේ පියා සහ ‘සලිදු මල්ෂිත’ හෙවත් ‘කුඩු සළිදු’ගේ මව ‘මානව හිමිකම් කොමිසම’ වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ තම දරුවන්ගේ ආරක්ෂාව සහතික කර දෙන ලෙස ඉල්ලමින්.

මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගෙන අද (15) උදෑසන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (2) වන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ සහ ‘සලිදු මල්ෂිත’ හෙවත් ‘කුඩු සළිදු’ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුවනවා ෴


අපේම සුසන්තා චන්ද්‍රමාලි අක්කා වෙනුවෙන් – TALK WITH SUDATHTHA (15.03.2023)

+

+


රජයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් – වෘත්තීය සමිති රැසක් යළි සේවයට

(15.03.2023 – 22:31 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය, වරාය, ජල, විදුලි, අධ්‍යාපන සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජන ක්‍රියාමාර්ග හේතුවෙන් ජන ජිවිතයට අද (15) බලපෑම් එල්ල වුණා.

ඒ අතරින්, ජනතාව දැඩි අපහසුතාවයට පත්වූයේ වෛද්‍ය, දුම්රිය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල වෘත්තීය සමිති සිදුකළ වර්ජන ක්‍රියාමාර්ග හේතුවෙන්.

කෙසේ වෙතත් ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ වැඩි සංඛ්‍යාවක් අද (15) දිනයේදී ධාවනයට එක් කර තිබුණත් , මගී ජනතාවගේ අඩුවක් දක්නට ලැබුණා.

මේ අතර, බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල ත්‍රීව්‍රතාවය අඩු කිරීමට එම එකමුතුව අද (15) පස්වරුවේ ඒකමතිකව තීරණය කළා.

ඒ ඔවුන් ඉදිරිපත් කළ යෝජනාවලට ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිතව ලැබුණු ධනාත්මක ප්‍රතිචාරය සැලකිල්ලට ගනිමින්.

එසේ ම, එළඹෙන සතියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව ද කොළඹ අද (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළා.

එසේම, මෙම ක්‍රියාමාර්ගවලට සමගාමීව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය හෙට (16) පෙරවරු 8 ට තාවකාලිකව අවසන් කරන බවයි එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ.

වර්ජනය හේතුවෙන් රෝහල්වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් ද දැඩි අපහසුතාවයන්ට පත්ව සිටියා.

මේ අතර, අද (15) උදෑසන 8 ට ආරම්භ කළ වැඩ වර්ජනය හෙට (16) උදෑසන 8 ට අවසන් කිරීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබෙනවා.

මේ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ කියා සිටියේ සිය සංගමයේ විධායක සභාව හෙට (16) දිනයේ රැස්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණය කරන බවයි.

තමන් දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය පෙරමුණ ප්‍රකාශ කළා.

මේ අතර, සියලුම දුම්රිය ස්ථානවලට පොලිස් සහ හමුදා ආරක්ෂාව යොදවා තිබූ අතර වෙනදාට මගීන්ගෙන් පිරී පවතින දුම්රිය ස්ථාන අද (15) පාළු ස්වභාවයක් ගත්තා.

ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ සභාපති කේ.ඒ.යූ. කොන්තසිංහ කියා සිටියේ සේවයෙන් ඉවත්ව ආරම්භ කළ වර්ජනය සාර්ථක බවයි. හෙට (16) දිනයේදී දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ද ඔහු සඳහන් කළා.

දුම්රිය රියදුරන් ආරම්භ කළ වර්ජනයට දුම්රිය ස්ථානාධිපති සංගමය සහයෝගය පළ කළේ නැහැ.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ කියා සිටියේ වර්ජන ක්‍රියාමාර්ගය මධ්‍යයේ වුව ද දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනයට එක් කළ බවයි.

මේ අතර, අද (15) දිවයින පුරා ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය වනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් සඳහන් කළේ, මණ්ඩලයේ එක් වෘත්තීය සමිතියක් හැර සෙසු සියලු වෘත්තීය සමිති මෙම වර්ජනයට සහය නොදක්වන බවයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ වර්ජනය අසාර්ථක වූ බවයි. හෙටත් (16) වර්ජනය ක්‍රියාත්මක කරන ලෙස ඔහු දුම්රිය සේවකයින්ගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර, අද (15) දිනයේ දී ගුරුවිදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය හේතුවෙන් පාසල් රැසක කටයුතු සිදුකෙරුණේ නැහැ. පාසල්වලට දරුවන්ගේ පැමිණීම ද අඩු මට්ටමක පැවති අතර, ඊයේ (14) දිනයේදීම තීරණය කෙරුණේ අදට (15) නියමිත වාර විභාග නොපැවැත්වීමටයි ෴


ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් ලොව මවිත කරවන සොයා ගැනීමක්

(15.03.2023 – 23:01 +0530 – hirunews.lk/sinhala)

භෞතික ලෝකයට නව පෙරළියක් ඇතිකළ හැකි සුපිරි සන්නායකයක් සොයාගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

අමෙරිකාවේ නිව්යෝක් නුවර රොචෙස්ටර් සරසවියේ සහකාර මහාචාර්ය රංග ඩයස් සහ ඔහුගේ ශිෂ්‍ය කණ්ඩායමක් මෙම සුපිරි සන්නායක පදාර්ථය සොයාගෙන ඇති බවයි අමෙරිකාවේ නිව් සයන්ටිස් විද්‍යා සඟරාව ප්‍රකාශ කරන්නේ.

වසර 10 කට වැඩි කාලයක් සිදුකළ පර්යේෂණයකින් සොයාගත් මෙම සුපිරි සන්නායක ද්‍රව්‍ය නිර් මාණය කර ඇත්තේ හයිඩ්‍රජන්, නයිට්‍රජන් සහ ලුටිෂියම් යන මූලද්‍රව්‍ය මුසු කිරීමෙන්.

එය නයිට්‍රජන් මුසුකළ ලුටිෂියම් හයිඩ්රයිඩ් පදාර්ථය ලෙසින්ද හඳුන්වනවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ විදුලිය එක් තැනක සිට ශක්තියක් වැය නොකර ගෙන යාමට ඇති හැකියාව සහ චුම්භක ක්ෂේත්‍රය හරහා යැවීමේ දී එය පාවෙමින් ඝර්ෂණයකට ලක්නොවී ගමන් කිරීමෙන් ශක්තියක් වැය නොවීමයි.

මෙය යොදා ගත හැක්කේ, විදුලි හානියකින් තොර අධිබල විදුලි සම්ප්‍රේෂණය, ඝර්ෂණයකින් තොරව පොළොවට මදක් ඉහළින් ගමන් කරන අධිවේගී දුම්රිය, අඩු වියදම් MRI SCAN තාක්ෂණය සඳහායි.

නව සොයා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය රංග ඩයස් පවසන්නේ, “මම කිසි දවසක මේ වගේ වර්ණය වෙනස් කරන අමුද්‍රව්‍යයක් දැකලා නැහැ. එය පළමුව නිල්පාට වර්ණයෙන් දිස්වනවා. පසුව එයට පීඩනයක් යෙදීමෙන් දීප්තිමත් රෝස පැහැයක් ගන්නා අතර තවදුරටත් පීඩනයක් යෙදීමෙන් දීප්තිමත් රතු වර්ණයක් ගන්නවා. මම මගේ සිසුන්ට විහිළුවට කිව්වේ අපි එය ‘රතු පදාර්ථය’ ලෙස හඳුන්වමු කියලයි.” යනුවෙන්.

මෙම පදාර්ථය සොයාගැනීමට පරීක්ෂණ සිදුකළ මහාචාර්ය රංග ඩයස් කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය වොෂින්ටන් සරසවියෙන් ලබාගෙන තිබෙනවා.

හාවඩ් සරසවියේ පර්යේෂණවල නිරත වීමෙන් අනතුරුව රොචෙස්ටර් සරසවියේ ආචාර්යවරයෙකු ලෙස මේ වන විට කටයුතු කරනවා.

මහාචාර්ය රංග ඩයස් පීඩන භෞතික විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විද්‍යාඥයෙක්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *