නාමල් : බ්‍රොයිලර් කුකුළා… රාජපක්ෂලාගේ වරිග සභා දේශපාලනය

නාමල් : බ්‍රොයිලර් කුකුළා… රාජපක්ෂලාගේ වරිග සභා දේශපාලනය


නාමල් : බ්‍රොයිලර් කුකුළා… රාජපක්ෂලාගේ වරිග සභා දේශපාලනය

(15.03.2023 – 15:00 +0530 – hirunews.lk/sinhala)

ඡනාධිපති බලය යොදා දිය හැකි සියලු ‘ඉන්ජෙක්ෂන්’ දී නාමල් රාජපක්ෂ කෙටිකලකින් ‘උස් මහත්’ කොට පාර්ලිමේන්තු එවීමට සහ බැසිල් රාජපක්ෂ ද්විත්ව රටවැසියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට පාර්ලිමේන්තු එවීමට, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගත් අමනෝඥ තීරණ දෙක (2) අද රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ඉවරෙටම ඉවර කර ඇති බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අම්බලන්තොට ‘කමත’ හෝටල් පරිශ්‍රයේදී පැවැති නිදහස් ජනතා සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුව අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

නිදහස් ජනතා සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුවට එහි නායකයෝ වන නිදහස ජනතා සභාවේ සභාපති ඩලස් අලහප්පෙරුම, නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස්, නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල, ප්‍රජාන්තත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික ඩිලාන් පෙරේරා, උත්තර ලංකා සභාගයේ විධායක කමිටු සාමාජික වීරසුමන වීරසිංහ, නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික මහාචාර්ය චරිත හේරත්, නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික වෛද්‍ය උපුල් ගලප්පත්ති, නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු ද එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උත්තර ලංකා සභාගයේ නායකවරයා මෙසේද සඳහන් කළේය :

“හම්බන්තොට මෙවැනි ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් සංවිධානය කිරීම කළුගලක ඔළුව ගසා ගැනීමක් ලෙස සමහරු දකිනවා. කළුගලක වුණත් බය නැතුව ඔළුව ගහගෙන, කළුගල කුඩුපට්ටම් කළ හැකි තරමේ ශක්තියක් ගොනු කිරීමට ධෛර්යය තිබෙන, මෙම රැස්වීම සංවිධානය කිරීමට පුරෝගාමී වූ වෛද්‍ය උපුල් ගලප්පත්ති මැතිතුමා ප්‍රමුඛ සියලු සංවිධායකවරුන්ට නිදහස් ජනතා සන්ධානයේ නායකත්ව මණ්ඩලය වෙනුවෙන් අපි අපගේ ගෞරවය, ප්‍රණාමය හා ආචාරය පුද කර සිටිනවා.

මහින්ද – රනිල් සංවාදය

මම මේ රැස්වීමට එන අතරේ කල්පනා කළා ‘මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමයි, රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිතුමයි මුණගැහුණොත් කුමනාකාරයේ සාකච්ඡාවක් සිදු වෙයිද?’ කියා. මට හිතෙන්නෙ මුලින් මහින්ද රාජපක්ෂ මැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් අහයි ‘මචං රනිල් මොකද උඹ මත්තල වී ගොඩගැහුවේ?’ කියා. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියයි. ‘ඒවා අහන්න එපා බං. ඒවා පරණ කතානේ’ කියා. ආයෙත් ටික වේලාවකින් මහින්ද රාජපක්ෂ මැතිතුමා වත්මන් ජනාධිපතිවරයාගෙන් අහයි, ‘රනිල් මොකෝ බං උඹ අර හම්බන්තොට වරාය වික්කෙ?’ කියා. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියයි, ‘මගේ නම වික්කමසිංහනේ. විකුණුවාම තමයි මම සිංහයෙක් වෙන්නේ’ කියා. ඔහොම තව ටික වෙලාවකින් මහින්ද රාජපක්ෂ මැතිතුමා අහයි ‘එදා හම්බන්තොට වරාය විකුණන වෙලාවේ විරුද්ධව ආපු අපේ උන්ට ගැහුවෙ ඇයි? හිරේ දැම්මේ ඇයි?’ කියා. ‘ඕවා දැන් අහන්න එපා බං! පරණ සිද්ධිනේ’ කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියයි. මේ දෙන්නාට එකිනෙකා මුණගැහිලා කතා කරමින් ඉන්න වුණොත් කතා කරන්නේ ඔය වගේ දේවල් නොවෙයිද? අද වෙබ් අඩවි වාර්තා කරලා තියනවා, මත්තල ගුවන්තොටුපළ විදේශ ආයෝජකයකුට විකුණා දැමීමට කටයුතු කරනවා කියා, විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසූ බව. එහෙම විකුණුවාම මහින්ද මහත්තයාට වික්‍රමසිංහ මහත්තයා දෙන උත්තරය තමයි ‘මම ඉතින් වික්කමසිංහනේ’ කියන එක. මහින්ද රාජපක්ෂගේ දෛවයේ සරදම තමයි රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිකම යටතේ ඉන්න සිදු වුණු එක. රනිල් වික්‍රමසිංහගේ දෛවයේ සරදම තමයි පොහොට්ටුකාරයෝ ටිකක් වටකරගෙන ජනාධිපතිකම කරන්න සිදු වුණු එක.

ඉතිහාසයේ සරදම්

පොහොට්ටුවට රනිල් වික්‍රමසිංහ පිළිගන්න සිද්ධ වුණේ මහජන විරෝධයට මුහුණ දීම සඳහායි. මහජන විරෝධයට මුහුණ දීම සඳහා දාලා දුවපු ගෝඨාභය රාජපක්ෂ වෙනුවට ‘ගහල මනසක්’ සහිත රනිල් වික්‍රමසිංහ ඕනේ වුණා. රනිල් වික්‍රමසිංහ කියන්නේ බටලන්දේ තිබුණු පොහොර කර්මාන්ත ශාලාව යන්ත්‍රසූත්‍ර ටිකත් එක්ක විකුණලා, ඒක විකුණපු හාදයා යන්ත්‍රසූත්‍ර ටිකත් ගලවාගෙන ගියාට පසුව ඒ බටලන්ද ගොඩනැගිල්ලේ පොහොර හැදීම වෙනුවට වධකාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයායි. දැන් ඕනේ නම් මහින්ද රාජපක්ෂ මහත්තයාට අහන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ‘මොකද බං උඹ බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන ගියේ?’ කියලා. එතකොට රනිල් මහත්තයා කියයි ‘ජොලියට බං’ කියලා. ඒ තමයි ඉතිහාසයේ සරදම්.

IMF කොන්දේසි…

දකුණේ ඔබ ඡන්දය දුන්නේ දෑහිතකාමී ප්‍රතිපත්ති බල්ලාට දාලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්නද? රනිල් වික්‍රමසිංහ බලය ලැබුණු දවසේ ඉඳන් කියන්නෙ, ‘බරයි – බරයි, බර පටවනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ’ කියලයි. බලන්න ඇමරිකා එක්සත් ජනපදයේ බයිඩන් ජනාධිපතිතුමා බදු ප්‍රතිපත්තියක් ගෙනවිත් තිබුණා. ඉහළම ලාභ ලබන සමාගම් ටිකටයි එමගින් බදු බර පැනවෙන්නේ. මේ රටේ තිබෙනවා ඉහළම ලාභ ලබන සමාගම් ඕනෑ තරම්. ඒවායේ ලාභයෙන් පංගුවක් අරන් රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැකියි. නමුත් ඒ වෙනුවට සමාජයේ පහළම ස්තරවලට බර පිට බර පැටවීම තමයි ‘රනිල් – බැසිල් පොහොට්ටු හවුල’ අද සිදු කරමින් ඉන්නේ. දැන් මේ පාලකයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ කොන්දේසි සියල්ලම පිළිගෙන තිබෙනවා. ඒ අනුව තමයි විදුලි බිල 70% කින් පමණ ඉහළ ගියේ. තවත් එවැනි එක් කොන්දේසියක් අනුව තමයි මහ බැංකුව ස්වාධීන කරන්න යන්නේ.

‘නල්ලමලේ’ කෘෂිකර්ම ඇමති

ගොවි ජනතාව පොහොර ටික නැතිව දුක් විඳින රටක නල්ලමලේ කෘෂිකර්ම ඇමතියෙක් ඉන්නවා. එයා ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරු වෙලා රැවුල වෙනස්කර ගන්නා අයෙක්. රනිල් වික්‍රමසිංහ යටතේ පමණක් නොවෙයි, එයා ප්‍රභාකරන් වළෙන් නැගිටලා ඇවිත් ජනාධිපති වුණත් ඒ හැදෙන ආණ්ඩුවේ ඇමතිකමක් ගනීවි. එයා ඇමති කට්ටකට ඕනේම කුප්ප වැඩක් කරනවා.

බැසිල් සහ LNG

2019දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වෙලා, නව ආණ්ඩුවක් හදලා මාසයක් යනකොට ගෙනාවා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒක ගෙනාවේ බැසිල් රාජපක්ෂ ද්විත්ව රටවැසියාව පාර්ලිමේන්තුවට රැගෙන එන්න. එතැනදී අපි විරුද්ධ වුණා. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන ස්ථාවරයට පටහැනිව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන්න යනකොට අපි එකට විරුද්ධ වුණා. ඩලස් අලහප්පෙරුම මැතිතුමා විදුලිබල ඇමති විදිහට ඉන්නකොට LNG සැපයුමට අදාළ ටෙන්ඩරය ඉදිරිපත් කරනවා. ඒ ටෙන්ඩරය අනුව චීන – පකිස්ථාන හවුල් සමාගමක් තෝරා ගන්නවා. ටෙන්ඩරය අවසන් වීමටත් ප්‍රථම නව කැබිනට් පත්‍රිකාවක් එනවා LNG සෑපයුම හා බෙදාහැරීම ඇතුළු සියල්ල ඇමරිකානු සමාගමක් වන New Fortress Energy සමාගමට දෙන්න. විදුලිබල ඇමති නොවෙයි, මේ රටේ විදුලිබල උත්පාදනට අවශ්‍ය ස්වාභාවික ගෑස් සැපයීමට අදාළ තීන්දු ගන්නේ බැසිල් රාජපක්ෂ. විදුලිබල ඇමති විරුද්ධව මත දැක්වූවත් ඒකට ඇහුම්කන් දෙන්නවත් වුවමනාවක් තිබුණේ නැහැ. මේ දේවල් ජනතාව දැනුම්වත් වුවත් නැතත් අපි අපට පුළුවන් ආකාරයට ලැබුණු ජනවරමට අනුකූලව පාලනතන්ත්‍රය ඉදිරියට ගෙනයන්න මහන්සි ගත්තා.

ආණ්ඩුවෙන් එළියට…

ඊළඟට මේ ආර්ථික අර්බුදය එන්න මාස 6 කට පමණ පෙර සිට, විදේශ විනිමය හිඟය හේතුවෙන් බලශක්ති අඛණ්ඩව සැපයීමට නොහැකි වීම පිළිබඳව පෙන්වා දීලා කැබිනට් පත්‍රිකා දමන කොට ඒවා කැබිනට් එකට ගෙනෙන්නෙත් නැහැ. ඒ ගැන ඇහුවාම කියනවා ‘ජනාධිපතිතුමා කියනවා ඕවා කැබිනට් එකට දාන්නවත් එපා! මහජනතාව කලබල වෙයි!’ කියා. ඒ විදිහට කැබිනට් පත්‍රිකා සඟවමින් කටයුතු කරද්දී අපට ආණ්ඩුව ඇතුළේ ඉන්නම බැරි තත්ත්වයක් ආවා. ඊට පස්සේ තමයි අපි ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් තියලා එන්න නියමිත ආර්ථික අර්බුදයේ ගැඹුර පෙන්වා දෙමින්, එය අතික්‍රමණය කිරීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂට තිබෙන අසමත්කම පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ. ඒ ‘මුළු රටම – හරි මඟට’ නම් සම්මන්ත්‍රණය පැවැත්වූයේ 2022 මාර්තු 02 වැනිදා. අපිව කැබිනට් එකෙන් එළියට දාපු ලියුම මාර්තු 03 වැනිදා සවස එවනු ලැබුවා. අපි එකට ස්තූති කරලා ආණ්ඩුවෙන් එළියට ආවා.

පරමාධිපත්‍ය බලයට සමච්චල් කිරීම

අපි ‘අමරවීරලා’ නෙවෙයි. අපිට ඔය කැබිනට් ඇමති කට්ටක් තියාගෙන මහජනයාට හතුරු මෙහෙයුම්වල නිරත වෙන්න බැහැ. ඒක නොවෙයි අපට තිබෙන වගකීම. නිදහස් ජනතා සන්ධානය තුළ ඉන්නේ ආණ්ඩුව හරි මගට ගන්න උත්සාහ කරලා බැරි වුණාම රට හරි මගට ගැනීමට ජනතාවට නායකත්වය දීමට ආණ්ඩුවෙන් එළියට ආපු පිරිසයි. ඊයේ පෙරේදා අපි දැක්කා නාමල් බේබි ක්‍රිකට් ගහනවා. එයා රගර් වගේම තව තව ඒවාත් ගහනවා දැන් ක්‍රිකටුත් ගහනවා. මේ පැඟිරාට තේරෙන්නේ නැද්ද, ජනතාව මහා දුකකින් ඉන්න වෙලාවක මෙහෙම නොකළ යුතුයි, කියා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කරගෙන කටයුතු කරනවා වගේ නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ මන්ත්‍රීවරු දෙපිල බෙදාගෙන ක්‍රිකට් ගහනවා. ජනතාවට මේවා ලයිට් බිල වැඩිවීම, ජීවන බර වැඩිවීම දරාගන්නවාටත් වඩා දරාගන්න අමාරුයි. මේ කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට සමච්චල් කිරීම නොවෙයිද?

නාමල් : බ්‍රොයිලර් කුකුළා

නාමල් රාජපක්ෂ කියන්නේ හරියට මාස 02 කින් හදපු බ්‍රොයිලර් කුකුලෙක් වගේ. ජනාධිපති බලය පාවිච්චි කරලා, දෙන්න පුළුවන් ඔක්කොම ඉන්ජෙක්ෂන් දීලා තමයි එයාව මහත් කරලා, පුම්බලා පාර්ලිමේන්තුවට එව්වේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේ ඉරණමට ලක්වීමට වෙන්නේ නැහැ, එදා ඒ විදිහට නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු එවීමේ ඒ ගොන් අමන තීරණය නොගත්තා නම් සහ බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසියාට පාර්ලිමේන්තු එන්න පුළුවන් විදිහට ව්‍යවස්ථා සංශෝධන කරන්න නොගියා නම්. එහෙම නම් මීට වඩා ප්‍රගතිශීලී, සංවාදශීලී ආණ්ඩු පාලනයක් ගෙනයාමට තිබුණා. රාජපක්ෂලා ඉවරෙටම ඉවර කර ගැනීමට බලපෑ ප්‍රධාන හේතු දෙක මා ඉහත කී හේතු දෙකයි. නමුත් එයාලා අදටත් මේක පිළිගන්නේ නැහැ.

හතර, පහ වුණා

2015 දී පැරදුනාට පස්සේ අපි බොහොම අමාරුවෙන් කරේ තියාගෙන ඇවිත් ඔසවා තැබුවා. අපි හිතුවා වළකට වැටුණු නිසා මොළයට ලාභයක් කරගෙන ඇති කියා. 2015 දී යන්න වුණේ පවුල් පාලන චෝදනාවට. එදා කැබිනට් මණ්ඩලයේ හිටියේ රාජපක්ෂවරුන් හතරයි. නමුත් 2019 දී මේක බින්දුවට නැතත් එකට, දෙකට හෝ අඩු වෙයි, කියා අපි හිතුවා. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන ආකාරයට කැබිනට් ඇමතිවරු පහක් වුණා. ඊට අමතරව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වෙලා ශෂීන්ද්‍ර රාජපක්ෂ හිටියා. බාල පොහොර ගොවියාට දීලා, ඔහුව පීඩාවට පත් කිරීමට මූලික වගකිවයුත්තා ශෂීන්ද්‍ර රාජපක්ෂ. මේ රාජපක්ෂවරුන්ගේ වරිග සභා දේශපාලනය තමයි ඔවුන් අද මේ තත්ත්වයට ඇදවැටීමටත් රට දේශපාලන වශයෙන් අරාජික වීමටත් මූලික හේතුව.

දේශපාලන බලය නිර්ප්‍රභූ පැළැන්තියට

‘මේ විදියට ඉස්සරහට යන්න බැහැ’ කියලා අපි කියන්න ඕන හැම විදියකින්ම කිව්වා. ඒත් ඇහුවේ නැහැ ඉන්පසු අපි තීරණය කළා, ‘මේ රටේ ජනතාව මේ වරිග සභා දේශපාලනයෙන් ගලවලා නිර්ප්‍රභූ පැලැන්තියට, අපේ සාමාන්‍ය අම්මා තාත්තාගේ දූ දරුවන්ට මේ රටේ දේශපාලන බලය මාරු කරන්න ඕනේ. ඒකට අවශ්‍ය නායකත්වය කවර අභියෝග, දුෂ්කරතා මැද වුවත් ලබා දිය යුතුයි කියලා (අත්පොළසන්). මේ ආර්ථික අර්බුදය පැමිණෙන එක නතර කරගන්න අපටත් බැරිවුණානේ කියන පසුතැවීම අපටත් තිබෙනවා. ඒ පසුතැවීමෙන් නිදහස් වෙනවා කියන්නේ ‘මේ දීන දේශපාලන ක්‍රමය වෙනස් කරලා, අලුත් මාවතකට මේ රට රැගෙන යනවා’ කියන එක. ඒක අපි කරනවා.

මේක තමයි ජයග්‍රාහී මාවත

එදා 2015 දී මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදිලා දිනකට හෝ දෙකකට පස්සෙ මම මැදමුලනට ගියා. ඔහු සමග එදා කෑම කමින් කතා කරනකොට මම කිව්වා, ‘රටේ ජනතාව තුළ තියෙනවා ඔබතුමාගේ පරාජය පිළිබඳව කම්පනයක්. අපි හැකි ඉක්මනින් ජනතාව ඒකරාශී කරන්න රැලියක් පවත්වමු!’ කියලා. ‘පිස්සුද විමල් අපේ ශ්‍රී ලංකාකාරයා පැරදුනාම ලේසියෙන් නැගිට්ටවන්න බැහැ’ කියලා තමයි මහින්ද මහත්තයා එදා කීවේ. ‘අතීතයට අදාළව එහෙම වෙන්න ඇති. හැබැයි දැන් එහෙම නොවෙයි’ කියලා මම කීවා. ඉන්පසුව තමයි ‘විමල් – දිනේෂ් – වාසු – ගම්මන්පිල’ අපි හතරදෙනා එකතුවෙලා සාකච්ඡා කරලා 2015 පෙබරවාරි 18 වැනිදා නුගේගොඩ මහා රැලිය සංවිධානය කළේ. එහෙම දැවැන්ත රැලියක් කරන්න පුළුවන් කියලා මහින්ද මහත්තයාවත් විශ්වාස කළේ නැහැ. එතුමන්ගෙන් අපි ඉල්ලුවාම එදාට සිදු කරන ප්‍රකාශය ‘විමල්ම ලියාගන්න’ කීවා. අපිම ලියාගෙන බැලුවාම ඒක කියවන්නවත් කෙනෙක් හිටියේ නැහැ. අපට බැහැනේ ඒක කියවන්න. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අය බය වුණා, මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරලා අධිකරණ ක්‍රියාමාර්ග ගනී, කියලා. අන්තිමේදී දයාන් ජයතිලක මහත්තයා කැමැති කරවාගෙන ඒක කියවාගත්තා. අපි එවැනි අභියෝගවලට කර ගහලා තමයි ‘මහින්ද සුළඟ’ ජයග්‍රහණයෙන් කෙළවර කළේ. කවුරුහරි හිතනවා නම් අපි විවෘත කරන්නේ ජයග්‍රාහී නොවන මාවතක් කියලා, අපි ඔප්පු කරල පෙන්වනවා, මේක තමයි ජයග්‍රාහී මාවත කියලා.

SMART රටක් ගොඩනගන මාවත…

දැන් බලන්නකො බැසිල් රාජපක්ෂට අවුරුදු 70 යි. රට කාලා කාලා ඒත් මදි වෙලා, ඇමරිකාවේ ඉඳලා ආපහු එනවා රට කන්න. තවම මේ වරිග සභාවේ ඇත්තෝ, ඇත්ත තත්ත්වය තේරුම් ගෙන නැහැ. නමුත් ‘නිදහස් ජනතා සන්ධානය’ තුළ ඉන්න හැමෝම, මේ රට ගොඩනගන්න ආදර්ශය වපුරන්න ඕනේ, කියලා පිළිගත්තු නායකයෝ. මේ හොරකමට, පවුල්වාදයට නැවත නැගිටින්න ඉඩ නොදිය යුතුයි, කියලා විශ්වාස කරන නායකයෝ. තරුණ පරම්පරාව ඉල්ලන්නේ ස්මාර්ට් රටක්. ඒ ස්මාර්ට් රට හදන්න අපට පුළුවන්. ඒ රට හදන්න අවශ්‍ය ‘පවුල්වාදයට බරව හිතන්නෙත් නැති, හොරකමට බරව හිතන්නෙත් නැති, හොරු අපේක්ෂකයෝ හැටියට දාගෙන, හොරකම, හොරකම, හොරකම කියමින් ඉන්නෙත් නැති, අනෙක් පැත්තෙන් මෙලොව යකෙකුටවත් නොතේරෙන අන්ඩර දෙමළ කියවන්නෙත් නැති,’ ඒ මාවත තමයි අපි විවෘත කරන්නේ. මේක තමයි ඔබගේ දරුවාගේ අනාගතය ගොඩනගන මාවත. බිඳවැටුණු ආර්ථිකය, රට මහා පෞරුෂයකින් යුතුව ගොඩනගන මාවත.

වාලච්චේන කඩදාසි…

මේ රට හොඳ නිෂ්පාදන සංස්කෘතියක් තිබුණු රටක්. මම කර්මාන්ත අමාත්‍ය ධුරය භාරගන්නා අවස්ථාවේ ජාතික කඩදාසි සමාගමට අයත් වාලච්චේන කඩදාසි කම්හල අබලි යකඩවලට විකිණීමටයි තිබුණේ. අපි එක යන්ත්‍රයක් පිළිසකර කරලා එහි වැඩ කටයුතු යළි ඇරඹුවා. අද ලොතරැයි මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ලැබෙන්නේ ඒ වාලච්චේන කම්හලෙන්. ලංකාවේ වැඩිම අලෙවියක් සහිත ‘චූටි බබා’ පත්තරේ අතිරේකයට අවශ්‍ය කඩදාසි දැන් ලැබෙන්නෙත් වාලච්චේන කම්හලෙන්. ඇඹිලිපිටිය කඩදාසි කම්හල අපි රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය යටතට පැවරුවා. මම මෑතකදී ඒ ආයතනයේ ප්‍රධානියාට කතා කළාම ඔහු පැවසුවා, ‘චීන තාක්ෂණ ශිල්පීන් පිරිසක් ඇවිත් මුද්‍රණ යන්ත්‍ර අලුත්වැඩියා කර ගෙන යනවා. ලබන ජනවාරියේ සිට කඩදාසි නිෂ්පාදන කටයුතු ආරම්භ කරනවා’ කියා. මේවා කරන්න පුළුවන් වැඩ. ඩලස් අලහප්පෙරුම මැතිතුමා අධ්‍යාපන ඇමැති කාලයේ ගුරු වැටුප් විෂමතා ප්‍රශ්නය වැනි අවුරුදු ගණනාවක් ඇදුණු ප්‍රශ්න විසඳීමට සති දෙකෙන් කැබිනට් පත්‍රිකා ගෙනාවා.

මේ රට වෙනුවෙන් තමන් බාර ගත්තු වගකීම කැපවීමෙන් ඉෂ්ට කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. පසුගිය කාලයේ එහෙම මිනිහෙක් දැක්කාම ඔහුගේ ඇමතිකම වෙනස් කළා. වරිග සභා ගමන අවසන් කරලා, රට ගෙන යා හැකි ඉහළටම රැගෙන යමු. ඊට නායකත්වය දීමට හැකි පිරිසක් තමයි නිදහස් ජනතා සන්ධානයේ නායක මණ්ඩලයේ ඉන්නේ. ඡන්දය අනන්තයට කල්දාන්න බැහැනේ. ඡන්දය ඉදිරියේදී පවත්වන විට නිදහස් ජනතා සන්ධානයේ ශක්තිය පෙන්වීම සඳහා සංවිධානය වෙමු. හම්බන්තොටින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමු. ඒ සඳහා වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා ප්‍රමුඛ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙලිකොප්ටරයේ නියමුවන්ට ධෛර්ය ශක්තිය පතනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *