රට ම කැලඹූ වැඩ වැරුම් මාලාව පිළිබඳ සමාලෝචනයක්

රට ම කැලඹූ වැඩ වැරුම් මාලාව පිළිබඳ සමාලෝචනයක්


රට ම කැලඹූ වැඩ වැරුම් මාලාව පිළිබඳ සමාලෝචනයක්

(15.03.2023 – 14:50 +0530 – hirunews.lk/sinhala)

රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති 40 කට අධික සංඛ්‍යාවක් අද (15) ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් ක්ෂේත්‍ර රැසක සේවා කටයුතුවලට බලපෑම් එල්ල වුණා.

වර්ජනය ක්‍රියාත්මක වන්නේ, ප්‍රවාහන, වරාය, ජල, විදුලි, ඉන්ධන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු සහ තැපැල් ඇතුළු ක්ෂේත්‍ර රැසක් මුල් කරගනිමින්.

ජල සම්පාදන වෘත්තිය සමිතිද අද (15) පැවැත්වෙන දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට සහාය දක්වමින් සේවයෙන් ඉවත් වී තිබෙනවා.

වරාය සේවකයන් ද අද (15) පැවැත්වෙන වර්ජන ක්‍රියාමාර්ගයට සහාය දක්වන්නේ, ගෙවුණු දෙදින තුළ පැය 48 ක අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වූ පසුබිමක යි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු අනෙකුත් වෘත්තිය සමිති ද ලෙඩ නිවාඩු වාර්තා කරමින් වර්ජනයට සහාය දක්වනවා.

කෙසේ වුවත් කොළොන්නාව නිමාව ඉන්ධන පර්යන්තයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව යි වාර්තා වුණේ.

රජය විසින් පනවන ලද නව බදු ප්‍රතිපත්තිය, දීමනා කප්පාදුව, ජීවන වියදම ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක යි.

කෙසේ වෙතත්, අද (15) පෙරවරුවේ සිට දිවයින පුරා බස් ලංගම සහ පෞද්ගලික බස් රථ ප්‍රමාණවත් පරිදි ධාවනයට එක් කර තිබුණා.

මේ අතර, අද (15) පෙරවරුවේ කාර්යාල දුම්රිය ගමන් වාර 21 ක් ධාවනය කිරීමට හැකි වූ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.

දුම්රිය මගින් විශාල පිරිසක් කොළඹට පැමිණෙන ආකාරය මෙලෙස දක්නට ලැබුණා.

පිට පළාත්වල සිට පැමීණි දුම්රියවල දැඩි තදබදයක් ද දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

කෙසේ වෙතත්, කොළඹින් බැහැරට ගමන් කිරීමේ අපේක්ෂාවෙන් පැමිණි මගී ජනතාව දුෂ්කරතාවට පත්වූයේ දුම්රිය නොමැති වීම හේතුවෙන්.

මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය පොළ පාළු ස්වභාවයක් ගෙන තිබු අතර එහි ආරක්ෂාව තර කර තිබෙන ආකාරය ද දක්නට ලැබුණා.

මේ අතර, වර්ජන ක්‍රියාමාර්ගයට සමගාමී ව දිවයින පුරා පාසල්වලට දරුවන් සහ ගුරුවරුන් පැමිණීම අවම මට්ටමක පැවතුණා.

ගුරු විදුහලපති වෘත්තීය සමිති කිහිපයක් ද බොරැල්ල මංසන්ධියේ දී විරෝධතාවක නිරත වූයේ, වර්ජන ක්‍රියාමාර්ගයට සමගාමීව යි.

මේ අතර, දිවයින පුරා රජයේ රෝහල් රැසක වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු කාර්යය මණ්ඩල ද මෙම වැඩවර්ජනයට එක්ව සිටිනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, හදිසි ජීවිත බේරාගැනීමේ සැත්කම්, වකුගඩු ප්‍රතිකාර ඒකක, හෘද සැත්කම් ඒකක ඇතුළු අංශවල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව යි.

කෙසේවෙතත්, බාහිර රෝගී සේවා සහ සාමාන්‍ය සැත්කම් වැනි කටයුතු සිදු නොකරන බවත් ඔවුන් පැවසුවා.

වර්ජනය හේතුවෙන් අද (15) උදෑසන කොළඹ ජාතික රෝහලේ සහ අක්ෂි රෝහලේ දැකගත හැකි වූ තත්ත්වයයි මේ.

කොළඹ ජාතික රෝහලට හා අක්ෂි රෝහලට අමතරව මහනුවර ජාතික රෝහල, අම්පාර මහරෝහල, කුරුණෑගල මහරෝහල, බදුල්ල මහරෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල ඇතුළු සියලුම රජයේ රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක යි.

සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ, තමන් ද මෙම වර්ජනයට එක්ව සිටින බවයි.

මේ අතර, වර්ජනය සම්බන්ධයෙන් තවත් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් මාධ්‍ය හමු කැඳවමින් අදහස් පළ කළා.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව, දිවයින පුරා තැපැල් කාර්යාල 653 ක් , උපතැපැල් කාර්යාල 3610 ක් සහ කොළඹ තැපැල් මූලස්ථානය ඇතුළු පාලන කාර්යාල සියල්ලෙහිම සේවකයින් සේවයෙන් ඉවත් වී දීපව්‍යාප්ත වැඩ වර්ජනයට සහාය පළ කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සියලු තැපැල් කාර්යාල වසා දමා ඇති බව යි අප වාර්තාකරුවන් පැවසුවේ.

මේ අතර, පවතින වර්ජන ක්‍රියාමාර්ගයට සහාය පළ කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් වෘත්තිය සමිතිද වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර, පවතින වර්ජනය හේතුවෙන් දිවයිනේ බැංකු සේවකයින් බහුතරයක්ද සේවයට වාර්තා කර නොමැති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

කෙසේ වෙතත් මහජන බැංකු ශාඛා 340 න් 272 ක් පූර්ණ ලෙස ක්‍රියාත්මක වන බවත් පෙරවරු 10:30 වන විට කාර්ය මණ්ඩලයේ පැමිණීම 75% ඉක්ම වූ බවත් මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා තකහවුරු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

+

+

++++++++

අද (15) පස්වරුවේ දුම්රිය 9 ක් පමණක් ධාවනය කෙරේ

(15.03.2023 – 15:04 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් අද (15) පස්වරුවේ දුම්රිය 9 ක් පමණක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ප්‍රධාන සහ උතුරු මාර්ගයේ දුම්රිය 4 ක්, මුහුදුබඩ සහ පුත්තලම මාර්ගවල දුම්රිය 2 ක බැගින් සහ කැලණිවැලි මාර්ගයේ දුම්රියක් (1) එලෙස එම දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොළඹ කොටුවෙන් පස්වරු 2.25 ට රඹුක්කන, පස්වරු 5.10 ට මහනුවර, පස්වරු 4.40 ට ගනේවත්ත සහ පස්වරු 6.00 ට මහව දක්වා අදාල දුම්රිය පිටත්වීමට නියමිතයි.

මුහුදුබඩ මාර්ගයේ මරදානේ සිට පස්වරු 5.00 ට බෙලිඅත්ත දක්වා සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය සහ පස්වරු 5.25 ට ගාල්ල දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව, පුත්තලම මාර්ගයේ කොළඹ කොටුවේ සිට පස්වරු 4.30 ට සහ 5.30 ට හලාවත දක්වා ද, කැලණිවැලි මාර්ගයේ පස්වරු 5.00 ට අවිස්සාවේල්ල දක්වා ද, එම දුම්රිය ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ ෴

+

++++++++

වෛද්‍ය වර්ජනය හෙට (16) පෙරවරු 8 ට අවසන්

(15.03.2023 – 15:12 +0530 – hirunews.lk/sinhala)

බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල ත්‍රීව්‍රතාවය අඩු කිරීමට එම එකමුතුව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඒ ඔවුන් ඉදිරිපත් කළ යෝජනාවලට ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිතව ලැබුණු ධනාත්මක ප්‍රතිචාරය සැලකිල්ලට ගනිමින්.

එසේම, එළඹෙන සතියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව ද කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක දී වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළා.

එසේම, මෙම ක්‍රියාමාර්ගවලට සමගාමීව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය හෙට (16) පෙරවරු 8 ට තාවකාලිකව අවසන් කරන බවයි එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ ෴

++++++++

ලංකා බැංකු සේවක සංගමයේ වැඩ වර්ජනයත් හෙට අවසන්

(15.03.2023 – 15:32 +0530 – hirunews.lk/sinhala)

අද (15) උදෑසන 8 ට ආරම්භ කළ වැඩ වර්ජනය හෙට (16) උදෑසන 8 ට අවසන් කිරීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබෙනවා.

රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් අද (15) උදෑසන 8 ට මෙම වැඩවර්ජනය ආරම්භ කළේ ෴

+


දුරකථන යෙදුම් හරහා ‘පික්මී'(PickMe) කුලී රථ වෙන් කර ගන්නා මගීන්ට කටුනායක ගුවන් තොටුපොළේ නව පහසුකමක්

(15.03.2023 – 14:54 +0530 – hirunews.lk/sinhala)

ජංගම දුරකථන යෙදුමක් මත පදනම් වූ දේශීය කුලී රථ සේවාවක් වන ‘පික්මී’ කුලී රථ සේවාව (PickMe Sri Lanka) වෙත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) නිළ වශයෙන් ක්‍රියාත්මක වීමට අවසර ලබා දී තිබෙනවා.

මෙම නව පියවරත් සමග කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්ත පිවිසුමේ ඇති අනෙකුත් කුලී රථවලට සමානව ‘පික්මී’ කුලී රථ සේවාවට ද ක්‍රියාත්මක වීමට ඉඩ සැලසෙනවා.

මෙහි මූලික පියවරක් ලෙස ගුවන්තොටුපල බලධාරීන් විසින් ‘පික්මී’ කුලී රථ ගාල් කිරීමට සහ අදාළ මගියා පැමිණෙන තෙක් රැඳී සිටීමට නම්කර ඇති වාහන නැවැත්වීමේ ස්ථානයක් සලකුණු කර තිබෙනවා.

ඒ අනුව ජංගම දුරකථනය හරහා ‘පික්මී’ කුලී රථයක් වෙන්කර ගන්නා මගින් හට මෙම පොරොත්තු ස්ථානයේ සිට අදාළ ගමනාන්තය දක්වා සිය සංචාරය ආරම්භ කළ හැකියි.

‘පික්මී’ කුලී රථ සේවා සමාගම ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව තුළ දැරිය හැකි මිලකට ගමන් කිරීමට බලාපොරොත්තු වන දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළ ඉල්ලුම හේතුවෙන් මෙය කළ හැකි වූ බවයි ෴


කොළඹ උද්ඝෝෂණකරුවන්ට ගහන්න පොලිසිය රට වටේන් ම කැරළි මර්දන උපකරණ එකතු කරයි

(15.03.2023 – 18:13 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මැඩපැවැත්වීමට දිවයිනේ අනෙකුත් පොලිස් කොට්ඨාස සතුව ඇති කැරළි මර්දන උපකරණ තමා වෙත බාර දෙන ලෙස පොලිස් මූලස්ථානය විසින් හදිසි ඉලීමක් කර තිබෙනවා.

ඊයේ (14) මෙම ලිපිය දිවයිනේ පොලිස් කොට්ඨාස 12 ක කොට්ඨාසභාර නිලධාරින් වෙත යොමු කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සහායක සේවා) සජීව මැදවත්ත විසින් SDIG/SS/OUT/293/2023 යන ලිපි අංකය යටතේයි.

ඒ අනුව මහනුවර, අනුරාධපුරය, කුරුණෑගල, ත්‍රිකුණාමලය ඇතුළු පොලිස් කොට්ඨාස 12 කින් එම ඉල්ලීම කර තිබූ අතර ඒවා ඊයේ (14) රාත්‍රී 10 වන විට පොලිස් මූලස්ථානය වෙත බාර දෙන ලෙසත් එහි දන්වා තිබුණා.

ඒ අනුව අදාල කොට්ඨාස තුළින් ගෑස් මුහුණු ආවරණ 575 ක්, කැරලි මර්දන පළිහ 450 ක්, කැරලි මර්දන හෙල්මට් 505 ක් සහ රබර් උණ්ඩ 1050 ක් පොලිස් මූලස්ථානය වෙත ආරක්ෂිතව බාර දෙන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා (සහායක සේවා) අදාල ලිපිය මගින් ඉල්ලා තිබුණා.


හැමෝම අද වර්ජනය කරන්න හැබැයි….හදිසියේ live ආව නාගානන්දගෙන් විශේෂ පණිවිඩයක් (15.03.2023)

+


සහරාන්ගේ බිරිඳට ඇප

(15.03.2023 – 19:26 +0530 – hirunews.lk/sinhala)

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ‘සහරාන් හෂීම්’ගේ බිරිඳ වන ‘ෆාතිමා හාඩියා’ කල්මුණේ මහාධිකරණය විසින් දැඩි ඇප කොන්දේසි සහිතව මුදා හැර තිබෙනවා.

2019 පාස්කු ඉරිදා කතෝලික, ක්‍රිස්තියානි සහ තරු පන්තියේ සංචාරක හෝටල් ඉලක්ක කරමින් සිදු වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පසු වසර හතරක (4) කාලයක් ඇය රිමාන්ඩ් භාරයේ සිටියා.

‘අබ්දුල් කාදර් ෆාතිමා හාඩියා’ අත්අඩංගුවට ගනු ලැබුවේ 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීමෙන් පසුවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *