‘හරක්කටා’ සහ ‘කුඩු සලිදු’ දිවයිනට රැගෙන එයි

‘හරක්කටා’ සහ ‘කුඩු සලිදු’ දිවයිනට රැගෙන එයි


‘හරක්කටා’ සහ ‘කුඩු සලිදු’ දිවයිනට රැගෙන එයි

(15.03.2023 – 08:05 +0530 – hirunews.lk/sinhala)

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (2) වන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ සහ ‘සලිදු මල්ෂිත’ හෙවත් ‘කුඩු සළිදු’ ගුවන් මගින් අද (15) මෙරටට රැගෙනවිත් තිබෙනවා.

ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ අද (15) උදෑසන 07:10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 142 දරන යානයෙන් මුම්බායි නුවර සිට මොවුන් මෙරටට රැගෙන ආ බවයි.

ඒ, පසුගියදා එරටට පිටත්ව ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්.

හතර (4) දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු (2) ද ඇතුලත් වුණා.

පෞද්ගලික ජෙට් යානයකින් ‘හරක්කටා’ සහ ‘කුඩු සළිදු’ ඇතුළු තවත් පිරිසක් පෙබරවාරි මස 12 වනදා මැඩගස්කරයට පැමිණ තිබූ අතර ඔවුන් ඉවොටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කර තිබූ ‘රතු වරෙන්තුව’කට අනුව යි.

මොවුන් අත්අඩංගුවට ගත් බව එරට ආරක්ෂක අංශ, විදේශ කටයුතු අමාත්‍යංශයට පසුගියදා දැනුම් දුන් අතර අනතුරුව යි ‘හරක්කටා’ සහ ‘කුඩු සළිදු’ මෙරටට රැගෙන ඒම සඳහා පොලිස් කණ්ඩායමක් මැඩගස්කරය බලා පිටත්ව යනු ලැබුවේ ෴

++++++++++

කුඩු සලිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

(15.03.2023 – 13:34 +0530 – hirunews.lk/sinhala)

මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශික හෙවත් ‘කුඩු සළිඳු‘ අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඔහු සිය මව හරහා ජීවිත ආරක්ෂාව සහතික කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.

එම පෙත්සම පිළිබඳ ස්ථාවරය ලබන 20 වැනිදා දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට අද (15) නියෝග කළා ෴

+


පාසැල්වලට දරුවන්ගේ පැමිණීමේ අඩුවක්

(15.03.2023 – 08:45 +0530 – hirunews.lk/sinhala)

වර්ජනය හේතුවෙන් අද (15) දිනයේ ක්‍රියාත්මක වන්නේ කාර්යාල දුම්රිය 10 ක් පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

කාර්යාලයීය දුම්රිය 13 ක් අද (15) දිනයේ ධාවනය කිරීමට සැලසුම් කර තිබුණද ඉන් දෙකක් (2) අවලංගු කෙරුණු බවයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අද (15) පෙරවරුවේ ප්‍රකාශ කළේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ, දුම්රිය ස්ථානය ආරක්ෂා තර කර ඇති නමුත් මේ වන විට එහි පාළු ස්වභාවයක් පවතින බවයි.

සෙසු දුම්රිය ස්ථානවලටද ආරක්ෂාව ලබා දී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් පෞද්ගලික බස් රථ සහ ලංගම බස් රථ නියමිත පරිදි ධාවන කටයුතු සිදු කරනවා.

එමෙන්ම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අද (15) පාසල්වලට වාර්තා නොකරන බවට පෙර දැනුම් දීමත් සමඟ දරුවන් පාසැල්වලට පැමිණීමද කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා.

කොළඹ ප්‍රධාන පෙළේ පාසල් අසල සිටින අප වාර්තාකරුවන් සඳහන් කළේ, වෙනත් දිනවලට කාර්යබහුල ස්ථානයක් වන පාසල් අසල මේ වන විට පාළු ස්වභාවයක් ගෙන ඇති බවයි.

සෙසු පළාත්වලද එම තත්ත්වය දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ ෴


වර්ජනයෙන් ක්ෂේත්‍ර රැසක් අඩාලයි

(15.03.2023 – 09:28 +0530 – hirunews.lk/sinhala)

වර්ජනයක් පැවතියත් අද (15) පෙරවරු 8 වනවිට කාර්යාල දුම්රිය ගමන් වාර 20 ක් ධාවනය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා තහවුරු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

කෙසේවෙතත් වෛද්‍ය, වරාය, විදුලි, ජල, තැපැල්, බැංකු සහ අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක වැඩවර්ජනය මේ වනවිට දීප ව්‍යාප්තව ආරම්භ වී තිබෙනවා.

වෛද්‍ය වර්ජනයෙන් රෝහල්වල දෛනික කටයුතු අඩාල වී ඇති බවයි ප්‍රදේශ රැසක හිරු වාර්තාකරුවන් කියා සිටියේ.

මේ අතර ගුරු විදුහල්පති වර්ජනයෙන් බොහෝ පාසැල්වලට සිසු සිසුවියන් පැමිණ නැහැ.

නැගෙනහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා අකීලා කනගසූරියම් කියා සිටියේ තමාට වාර්තා වූ ආකාරයට පාසැල්වල ගුරුවරුන්ගේ සහ ළමයින්ගේ පැමිණීම අවම මට්ටමක පවතින බවයි.

එමෙන්ම උතුරු පළාතේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ පැමිණීම සියයට 10 ක මට්ටමක පැවති බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

එමෙන්ම වව්නියාව දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල් අද (15) උදෑසන ඉබි යතුරු දමා වසා දමා තිබූ බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.

ඇතැම් පාසල්වල ළමයින් කිහිප දෙනෙකු පැමිණ සිටියද ගුරුවරුන් නොමැති වීම හේතුවෙන් ඔවුන්ට යලි නිවෙස් බලා යාමට සිදු වුණා ෴


සුද්දන්ට විකුණා හිතවතුන්ට නිකං දුන් තලවතුගොඩ ‘කුෂ්’ ජාවාරම්කරු

(15.03.2023 – 11:03 +0530 – hirunews.lk/sinhala)

විදේශ රටකින් ගෙන්වන ලද ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවකු, දික්වැල්ල පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු මෙම මත්ද්‍රව්‍ය විදේශිකයන්ට අලවි කිරීමේ ජාවාරමක නිරත ව සිට ඇති අතර, සැකකරු මොස්තර නිරූපණ ශිල්පියකු බව යි වාර්තා වන්නේ.

අත් අඩංගුවට ගන්නා විට සැකකරු සතු ව ‘කුෂ්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් හා ඒවා ඔතා පානය කිරීමට භාවිත කරන කඩදාසි පැකට්ටු 14 ක් ද තිබුණු බව සඳහන්.

සැකකරු, දික්වැල්ලේ පිහිටි නිවාඩු නිකේතනයක සිටිමින් මෙම ජාවාරම සිදු කර ඇති බව වාර්තා වනවා.

මේ අතර, සැකකරු විසින් අදාළ මත්ද්‍රව්‍ය තම ප්‍රදේශයේ පුද්ගලයන්ට නොමිලේ ලබා දීමට ද කටයුතු කර ඇති බව යි සඳහන් වන්නේ.

සැකකරු වයස අවුරුදු 35 ක තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ෴


ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

(15.03.2023 – 11:48 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන කාර්යාලය ඇතුළු ශාඛා 265 ක් සහ සියලුම අංශ සාමාන්‍ය පරිදි මහජනතාවට බැංකු සේවා සැපයීම සඳහා ක්‍රියාත්මක වන බව ලංකා බැංකුව පවසනවා.

ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මේ බව නිවේදනය කළා.

මේ අතර, මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ක්ලයිව් ෆොන්සේකා තහවුරු කළේ මහජන බැංකු ශාඛා 340 න් ශාඛා 272 ක් පූර්ණ ලෙස ක්‍රියාත්මක වන බව යි ෴


දුම්රිය ස්ථානවල ආරක්ෂාව තර කෙරේ – ගුවන් පාලකවරුත් වෘත්තීය ක්‍රියාමාර්ගයක

(15.03.2023 – 11:52 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ක්‍රියාත්මක වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් සියලුම දුම්රිය ස්ථානවලට පොලිස් සහ හමුදා ආරක්ෂාව යොදවා ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම, රාජ්‍ය ආයතනවල සේවකයින් පැමිණීමේ අඩුවක් ද දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර, වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ සියලුම රෝහල්වල සායනික සහ ඖෂධ නිකුත් කිරීම ඇතුලු රසායනාගාර කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

මෙම වර්ජනය ක්‍රියාමාර්ගයට ශ්‍රී ලංකා ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය ද එක්ව සිටිනවා.

එම නිසා කටුනායක ගුවන්තොටුපලෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටත්වන ගුවන් යානාවල සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි එම සංගමයේ සභාපති තිසර අමරනන්ද සඳහන් කළේ.

කෙසේ වෙතත්, හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා, වෛද්‍ය ආධාර සහ රෝගීන් රැගෙන යන යානා සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴


මෙරට ශ්‍රමිකයින්ට තවත් මැලේසියානු රැකියා දස දහසක් (10,000)

(15.03.2023 – 13:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා මේ වසරේ තවත් මැලේසියානු රැකියා දස දහසක් (10,000) ලැබී ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

කොළඹ ඊයේ (14) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ මැලේසියාව අනුමත කළ රැකියා දසදහසක (10,000) කෝටාවට අමතරව නව රැකියා දස දහස (10,000) ලැබී ඇත්තේ මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා බවයි ෴


අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

(15.03.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ පැවැති තත්ත්වය මත අනුයුක්ත කරන ලද ගුරුවරුන් සඳහා ගුරු මාරු මණ්ඩලය මඟින් ලබා දෙන ස්ථාන මාරු ක්‍රියාත්මක වන බැවින්, ලබන 24 න් පසු අනුයුක්ත කිරීම තවදුරටත් දීර්ඝ නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

තව ද, මාර්තු 24 දින දක්වා ගුරුවරුන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් අදාළ උපදෙස් විධිමත් ලිපියක් මගින් පළාත් හා කලාප අධ්‍යක්ෂවරුන් දැනුම්වත් කිරීම සිදුකරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ ෴


ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙයි

(15.03.2023 – 14:04 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය වීමක් අද (15) දිනයේ දක්නට ලැබුණා.

ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 327.59 ක් ලෙස දැක්වුණු අතර, විකුණුම් මිල සටහන් වූයේ 344.66 ක් ලෙසයි ෴


මැතිවරණ මුද්‍රණ කටයුතුවලට මුදල් ඉල්ලා මුද්‍රණාලයාධිපතිනියගෙන් මහා භාණ්ඩාගාරයට යළිත් ලිපියක්

(15.03.2023 – 14:47 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ මුද්‍රණ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ඉල්ලා මහා භාණ්ඩාගාරයට යළිත් ලිපියක් යොමු කළ බව, රජයේ මුද්‍රණාලය පවසනවා.

මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, මහා භාණ්ඩාගාරයේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අදාළ ලිපිය යොමු කළ බවයි.

එහි පිටපතක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ද යොමු කළ බව ඇය ප්‍රකාශ කළා.

මුද්‍රණාලයාධිපතිනිය පැවසුවේ, මුද්‍රණ කටයුතු වෙනුවෙන් මුදල් ඉල්ලා මීට පෙර මුදල් අමාත්‍යාංශයට යොමු කළ ලිපියට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ෴


විදුලි ගාස්තුවට එරෙහිව ගොනුකළ රීට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා පෙත්සමක්

(15.03.2023 – 15:19 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ගොනුකළ රීට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ, විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ඔවුන් සිය පෙත්සමෙන් සඳහන් කර ඇත්තේ පසුගියදා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි බවයි ෴


චීනයෙන් පොලීසියට නිල ඇඳුම් පරිත්‍යාගයක්

(15.03.2023 – 16:59 +0530 – hirunews.lk/sinhala)

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු පොලිස් නිල ඇඳුම් රෙදි තොගයක් පොලිස් දෙපාර්තමේන්තුව වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (15) ජනාධිපති කාර්යාලයේ දී සිදුකෙරුණා.

එම පරිත්‍යාගයට අදාළ ලිපි ලේඛන මෙරට චීන තානාපති චී ෂෙන් හොන් විසින් ජනාධිපතිවරයා ඉදිරියේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් වෙත භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මීට පෙර චීනය විසින් මෙරට පාසල් සිසුන් සඳහා නිල ඇදුම් තොගයක් ද පරිත්‍යාග කරනු ලැබුවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *