පොලිස් ආරක්ෂාව මැද 15 වනදා කාර්යාල දුම්රිය 13 ක් වැඩ

පොලිස් ආරක්ෂාව මැද 15 වනදා කාර්යාල දුම්රිය 13 ක් වැඩ


පොලිස් ආරක්ෂාව මැද 15 වනදා කාර්යාල දුම්රිය 13 ක් වැඩ

(14.03.2023 – 22:31 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය සේවාවන් හරියාකාරව පවත්වා ගැනීම සඳහා සහ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමට අඛණ්ඩව දුම්රිය සේවාව පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය කඩිනම් පියවර ගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

ඒ අනුව 15 වනදා උදෑසන කාර්යාල හා මගී ප්‍රවාහන පෙරවරු 5.00 සහ පෙරවරු 5.45 ට අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා දුම්රිය දෙකක්ද, අලුයම 4.50 සහ 5.50 හලාවත සිට කොළඹ දක්වා දුම්රියන් දෙකක් ද ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

තවද රඹුක්කන සිට පෙරවරු 5.25 ට හා පෙරවරු 5.57 ට දුම්රියන් දෙකක්ද, ගනේවත්තෙන් අලුයම 3.55, මහවින් පෙරවරු 4.45 සහ මහනුවරින් පෙරවරු 5.00 ට ත් කොළඹ දක්වා දුම්රිය ධාවනය සැලසුම් කර තිබෙනවා.

මේ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත සිට අලුයම 4.15 ට, ගාල්ල සිට පෙරවරු 5.00 ට, අලුත්ගම සිට පෙරවරු 6.00 ට සහ දකුණු කලුතර සිට පෙරවරු 7.00 ට කොළඹ දක්වා දුම්රිය ගමන්වාර සිදු කිරිමට නියමිතයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් දිවයින තුළ මහජන සාමය පවත්වාගෙන යාමටත් කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමටත් අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් පියවර ගනු ලබන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ඒ අනුව කොට්ඨාශ භාර නිලධාරීන් විසින් තම කොට්ඨාශ බල ප්‍රදේශය තුළ, සෑම දුම්රිය ස්ථානයක් ම ආවරණය වන පරිදි ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීම සහ ප්‍රධාන දුම්රිය ස්ථාන වලට වගකිවයුතු පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙකු සමග නිලධාරී කණ්ඩායම් යෙදවීම සිදු කළ යුතු බවත්, සේවයට වාර්තා කරන දුම්රිය සේවකයන් රාජකාරි වාර්තා කිරීම, රාජකාරි යෙදී සිටීම සහ රාජකාරියෙන් බැහැරව වන අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහාත්, දුම්රිය ධාවනය වන අවස්ථාවේදී එයට බාධා කිරීම සඳහා ගල් ගැසීම හෝ වෙනත් කඩාකප්පල් ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහාත් පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න විසින් නියෝග ලබාදී තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ 14 වනදා මධ්‍යම රාත්‍රියේ සිට සියළු ප්‍රදේශ ආවරණය කරමින් ක්‍රියාත්මක කෙරන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ෴


ගුවන් ගමන් ප්‍රමාදයකින් මුම්බායිවල රැඳී සිටි ‘හරක් කටා-කුඩු සළිඳු’ අද (15) මෙරටට

(15.03.2023 – dinamina.lk)

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ව ඊයේ (14) අලුයම මෙරටට රැගෙන ඒමට නියමිතව තිබුණත් ගුවන් ගමන් ප්‍රමාදයක් හා ගුවන්යානය මඟහැරීම හේතුවෙන් ඔවුන් දෙදෙනාව (2) මෙරටට ගෙන එන්නේ අද (15) දිනයේ බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

ඒ අනුව මැඩගස්කරයේ සිට ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ මෙරටට රැගෙන එමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ටත් මැඩගස්කර පොලිසියේ නිලධාරීන් දෙදෙනාටත් (2) ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ට දැඩි ආරක්ෂාවක් ලබා දෙමින් ඊයේ (14) දිනයේ රැඳී සිටීමට සිදුව ඇත්තේ ඉන්දියාවේ මුම්බායිහිය.

ඒ සඳහා මුම්බායි පොලිසියෙන් විශාල සහායක් ලැබී ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය. එම සහාය ලබාගෙන ඇත්තේ ජාත්‍යන්තර පොලිසිය මඟිනි.

මාර්තු 01 වැනිදා සිට මැඩගස්කර ආරක්ෂක අංශ භාරයේ සිටි ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ මෙරටින් ගිය සිව් (4) දෙනකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් භාරගෙන ඇත්තේ පසුගිය 13 වැනිදාය. ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ව මෙරටට රැගෙන ඒමේ කටයුත්තට මැඩගස්කර පොලිසියේ නිලධාරීන් දෙදෙනකු (2) ද සම්බන්ධ වී සිටියි. එම නිලධාරීන්ගෙත් ආරක්ෂාව සහිතව මැඩගස්කරයේ සිට මෙම අපරාධකරුවන් දෙදෙනාව (2) ගුවන් මඟින් මුලින්ම රැගෙන ගොස් ඇත්තේ කෙන්යාවට බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

කෙන්යාවේ සිට ඩුබායි ගුවන්තොටුපොළ ඔස්සේ ඔවුන් දෙදෙනාව (2) මෙරටට රැගෙන ඒමට මුලින් සැලසුම් කර තිබුණත් ඔවුන් දෙදෙනාට (2) ඩුබායිහි රැඳී සිටීමට වීසා ඇති බැවින් සහ තවත් සුවිශේෂ කරුණු කිහිපයක් මත අවසාන මොහොතේ සැලසුම් වෙනස් කර ඉන්දියාවේ මුම්බායි සිට මෙරටට රැගෙන ඒමට තීරණය වී ඇති බවද ආරංචි මාර්ග අනාවරණය කළේය. ඒ අනුව කෙන්යාවේ සිට පෙරේදා (13) ඉන්දියාවේ මුම්බායි වෙත ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ව රැගෙන ගොස් තිබිණි. කෙන්යාවේ සිට මුම්බායි පැමිණි ගුවන්යානය අනපේක්ෂිත ලෙස ප්‍රමාද වීම හේතුවෙන් මුම්බායි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන්යානය මෙම පිරිසට මඟහැරී ඇති බවද එම තොරතුරු අනාවරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවට මුම්බායි සිට පැමිණීමට නැවත ගුවන් ගමනක් සැලසුම් කිරීමට සිදුවී ඇති බවද විශ්වාස කටයුතු තොරතුරු අනාවරණය කළේය.

මෙම ගුවන් ගමන් ප්‍රමාදය හේතුවෙන් ඊයේ (14) අලුයම් කාලයේදී මෙරටට රැගෙන ඒමට නියමිතව සිටි ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ව රැගෙන එනු ලබන්නේ අද (15) දිනයේදී බවද එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය ෴


මහනුවර අනතුරින් 14 දෙනෙක් රෝහලේ – නගරාන්තර බසයේ රියදුරාට අසාධ්‍යයි

(14.03.2023 – 07:01 +0530 – sinhala.asianmirror.lk)

මහනුවර කටුගස්තොට මාර්ගයේ විද්‍යාර්ථ විදුහල අසල සිදුවූ රිය අනතුරකින් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව එම ප්‍රදේශවාසීහු පවසනවා.

මහරගම සිට මහනුවර දක්වා ධාවනය වෙමින් පැවති නගරාන්තර බස් රථයක් සහ මහනුවර සිට හල්ලොලුව දක්වා ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක් 14 දින පස්වරු 04:45 ට පමණ ගැටීම හේතුවෙන් එම අනතුර සිදුව තිබෙනවා.

පෞද්ගලික බස් රථයේ රියදුරා මාර්ගයෙ නවතා තිබූ ලංගම බස් රථයකට අපරික්ෂාකාරී අයුරින් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ලංගම බස් රථයේ ගැටුණු බව සිද්ධිය දුටු ප්‍රදේශවාසීහු පවසනවා.

නගරාන්තර බස් රථයේ රියදුරා ඉතා දරුණු ආකාරයෙන් තුවාල ලැබ අසාධ්‍ය තත්වයෙන් සිටි බව ජනතාව සඳහන් කරන අතර ඔහු මෙන්ම තුවාල ලද බස් රථ දෙකේ ගමන්ගත් මගීහුද මහනුවර ජාතික රෝහල වෙත යැවීමට පියවර ගත් බව එම ප්‍රදේශවාසීහු සඳහන් කරනවා.

බස් රථයේ රියදුරා හදිසි ප්‍රතිකාර ඒකකයට යොමුකොට ඇති අතර අනෙක් මගින් සාමාන්‍ය ප්‍රතිකාර ඒකක සඳහා යොමු කළ බව මහනුවර ජාතික රෝහල ප්‍රකාශකයෙකු පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි.

+


පෞද්ගලික හා ලංගම බස් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවට නිවේදනයක් – දුම්රිය 20 ක් සාමාන්‍ය පරිදි

(15.03.2023 – 07:12 +0530 – hirunews.lk/sinhala)

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (15) ක්‍රියාත්මක වර්ජනයට පෞද්ගලික බස් රථ මෙන්ම ඇතැම් දුම්රිය වෘත්තීය සමිති සහ ශ්‍රී ලංගම වෘත්තිය සමිති සහය පළ නොකරන බව ඊයේ (14) ප්‍රකාශ වුණා.

කෙසේ වෙතත් දුම්රිය සේවකයින් පිරිසක් ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වර්ජනයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

කොළඹින් බැහැර ස්ථාන දහයක (10) සිට කොළඹ දක්වා කාර්යාල දුම්රිය සේවා දහතුනක් (13) අද (15) ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (14) නිවේදනය කළේ.

කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ කියා සිටියේ සැලසුම් කළ ගමන් වාරවලින් දෙකක් (2) පමණක් අද (15) පෙරවරුවේ අවලංගු කෙරුණු බවයි.

කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු ඊයේ (14) සිට අවලංගු කර තිබෙනවා.

ඒ අනුව අද (15) සේවයට වාර්තා නොකරන සියලු නිලධාරින්ගෙන් නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එම දෙපාර්තමේන්තුවේ සියලු ප්‍රධානීන් වෙත දැනුම් දුන්නා.

මේ අතර ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමඟ ඊයේ (14) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ මෙම වර්ජනයට දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය පාලක සංගමය සහ දුම්රිය නියාමක සංගමය එක්නොවන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පොදුජන ප්‍රවාහන සේවක සංගමයේ සභාපති නුරාර්ජිත් සිං ප්‍රකාශ කළේ සංගම් 5 ක් මෙම වර්ජනයට සහය නොදක්වන බවයි.

එමෙන්ම, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද මෙම වර්ජනයට එක්වන්නේ නැහැ.

රජයේ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල සංශෝධනය, රෝහල්වල බෙහෙත් නැති වීම, ප්‍රතිව්‍යූහගත කිරීම ආදී ප්‍රතිපත්තිවලට විරෝධය දැක්වීම සඳහා දීප ව්‍යාප්ත ව ක්‍රියාත්මක වන වර්ජන මාලාව අදත් ක්‍රියාත්මක යි.

වෛද්‍ය වර්ජනය ද තවදුරටත් ක්‍රියාත්මක වන නමුත්, බාහීර රෝගි අංශය හා සායනික අංශය හැර සෙසු සියලු ම අංශ පාහේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව වෛද්‍ය වෘත්තීය සංගම් පවසනවා.

මේ අතර, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නො තකා දුම්රිය සේවකයින්ගේ කැප වූ සේවයේ ප්‍රතිඵලයක් ලෙස අද (15) උදෑසන 08:00 වන විට මගීන්ගේ පහසුව සඳහා දුම්රිය 20 ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව තහවුරු කරනවා ෴


අපි වර්ජනයේ – සෞඛ්‍ය, වරාය, විදුලි, ජල, දුම්රිය, අධ්‍යාපන ඇතුළු වෘත්තීය සමිති කියයි

(15.03.2023 – 07:46 +0530 – hirunews.lk/sinhala)

රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් වරාය, ජල, විදුලි, තෙල්, සෞඛ්‍ය, අධ්‍යාපන, දුම්රිය, බැංකු සහ තැපැල් ඇතුලු වෘත්තිය සමිති 40 කට වැඩි සංඛ්‍යාවක් අද (15) ඒකාබද්ධ වැඩවර්ජනයක නිරත වනවා.

පෙරේදා (13) සිට පළාත් මට්ටමින් වර්ජනවල නිරත වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (15) දිනයේද දිවයින පුරා රෝහල්වල වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියා සිටියේ මෙම වර්ජනයට සහයෝගය නොදක්වන බවයි.

එමෙන්ම වරාය සහ ජල සම්පාදන වෘත්තිය සමිති අද (15) පැවැත්වෙන දීපව්‍යාප්ත වැඩ වර්ජනයට සහය පළ කරමින් සේවයෙන් ඉවත්වන බව ප්‍රකාශ කළා. එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුලු අනෙකුත් වෘත්තිය සමිති ද ලෙඩ නිවාඩු වාර්තා කරමින් වර්ජනයට සහය දක්වනවා.

තැපැල් සේවය ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් අත්‍යවශ්‍ය මහජන සේවයක් බවට පත් කළද තැපැල් වෘත්තීය සමිති සැළසුම් කළ පරිදි ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට සිය වර්ජනය ආරම්භ කළා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අනධ්‍යයන සේවක මණ්ඩලයද මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට සහය පළ කරන බව ප්‍රකාශ කළා. එමෙන්ම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද (15) පාසල් නොපැමිණෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ කියා සිටියේ අද (15) දිනයේ ක්‍රියාත්මක වර්ජනයට සහභාගි නොවන බවයි.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පාසල් නොපැමිණීම හේතුවෙන් රටපුරා ජාතික පාසල්, පළාත් පාසල් සහ ආධාර ලබන පාසල්වල අද (15) පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි (3) වාර විභාගයට අයත් විෂයන් කල් දැමූ බව පළාත් අධ්‍යක්ෂවරුන් නිවේදනය කළා.

මේ අතර සමෘද්ධි හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කිත්සිරි ගමගේ කොළඹ ඊයේ (14) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අද (15) පැවැත්වෙන වර්ජනය සඳහා සිය සහයෝගය ලබා නොදෙන බවයි ෴


නීති විභාගය ඉංග්‍රීසියෙන් විතරක් එපා – අධිකරණ උපදේශක සභාව කියයි

(15.03.2023 – 07:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට නීති අධ්‍යයන සභාව ගත් තීරණයට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය හිමිව නැහැ.

එම කාරක සභාව අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එහිදී නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමේ අරමුණ කුමක්දැයි කාරක සභාවට පැමිණ සිටි නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායකගෙන් මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර තිබුණා.

එසේම තම මව් භාෂාවෙන් විභාගවලට මුහුණදී සමත්වීම සිය වෘත්තිය නිපුණත්වය ප්‍රකට කිරීමට බාධාවක් නොවන බවද මන්ත්‍රීවරුන් මෙහිදී ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ප්‍රාථමික අධිකරණවල කටයුතුවලදී ප්‍රධාන වශයෙන් සිංහල සහ දෙමළ භාෂාව භාවිත කරන බව කාරක සභා සාමාජිකයන් පෙන්වා දුන්නා.

ග්‍රාමීය ප්‍රදේශවල ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ අඩුවක් පවතින බවත් ඉංග්‍රීසි භාෂාවෙන් විභාග අනිවාර්ය කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් මන්ත්‍රිවරුන් එහිදී ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව ශිෂ්‍යයෙකුට තම මව් භාෂාවෙන් විභාගයට මුහුණ දීමේ නිදහස අවශ්‍ය බව කාරක සභාවේ අදහස වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *