පළාත් හතරක (4) වෛද්‍යවරු අද (13) වර්ජනයේ – වෘත්තීය සමිති ව්‍යාපාරවලට එජාපයෙන් පාඩමක්

පළාත් හතරක (4) වෛද්‍යවරු අද (13) වර්ජනයේ – වෘත්තීය සමිති ව්‍යාපාරවලට එජාපයෙන් පාඩමක්


පළාත් හතරක (4) වෛද්‍යවරු අද (13) වර්ජනයේ – වෘත්තීය සමිති ව්‍යාපාරවලට එජාපයෙන් පාඩමක්

(13.03.2023 – 07:30 +0530 – hirunews.lk/sinhala)

වෘත්තියවේදීන් අනිද්දා (15) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ වර්ජනයට සමඟාමීව බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වල සියලු රජයේ රෝහල්වල අද (13) පෙරවරු 8 සිට එක්දින (1) වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ‘රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය’ ප්‍රකාශ කළා.

එමෙන්ම හෙට (14) වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව පළාත්වල මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

15 වනදා දිවයින පුරා ආවරණය වන පරිදි රජයේ රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ.

වර්ජන සමයේ හදිසි ප්‍රතිකාර සේවා අඛන්ඩව පවත්වාගෙන යන බවත්, ළමා, මාතෘ, පිළිකා, ත්‍රිවිධ හමුදා රෝහල් සහ වකුගඩු ප්‍රතිකාර ඒකකයන් මෙන්ම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙහි මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ‘රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ’ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියා සිටියේ වර්ජනවලට තම සංගමය සහය ලබානොදෙන බවයි.

එමෙන්ම බැංකු සේවකයින්ද අද (13) කලු ඇදුමෙන් සැරසී සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශක අනූප නන්දුල කියා සිටියා.

කෙසේ වෙතත් ‘ප්‍රගති බැංකු සේවක සංගමය’ නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ වර්ජන ක්‍රියාමාර්ග හරහා රටේ ආර්ථිකයට සහ බැංකු පද්ධතියට සිදුවිය හැකි හානිය සැලකිල්ලට ගනිමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සහභාගි වීම සම්බන්ධයෙන් තම ස්ථාවරය අද (13) ප්‍රකාශයට පත්කරන බවයි.

‘ජල සම්පාදන හා ජලාපවාහන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ’ සම කැඳවුම්කරු උපාලි රත්නායක ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ අනිද්දා (15) වර්ජනයට සමඟාමීව අද (13) සිට ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ග අරඹන බවයි.

එමෙන්ම ‘විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ’ උප සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ ද සඳහන් කළේ, හෙට (14) සිට ඔවුන් අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයද පසුගිය 09 වනදා ආරම්භ කළ අධ්‍යයන කටයුතුවලින් බැහැර වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම වෘත්තිය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක අතර, දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කළේ හෙට (14) මධ්‍යම රාත්‍රියේ සිට අනිද්දා (15) මධ්‍යම රාත්‍රිය දක්වා පැය විසි හතරක (24) සංකේත වර්ජනයක් ඔවුන්ද ක්‍රියාත්මක කරන බවයි.

+


ගැටුමක් ඇති කරගෙන පලා යමින් තිබූ මෝටර් රථයක රන් ආලේපිත ගිනි අවියක්

(13.03.2023 – 07:28 +0530 – hirunews.lk/sinhala)

ජා-ඇල නගර මධ්‍යයේදී අනතුරකට ලක් වූ මෝටර් රථයක් පරික්ෂා කර අවස්ථාවේදී එහි තිබී පාකිස්ථානයේ නිෂ්පාදිත ‘එම්.පී.5’ වර්ගයේ රන් ආලේපිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

ගැටුමක් හේතුවෙන් තුවාල ලබා පලා යමින් සිටි පුද්ගලයකු ගමන් කරමින් සිටි මෝටර් රථයක් ජා-ඇල නගර මධ්‍යයේ දී අනතුරකට ලක් වී තිබුණේ පෙරේදා (11) දිනයේයි.

එම අවස්ථාවේදී ජා-ඇල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරීන් පැමිණ මෝටර් රථය පරික්ෂා කිරීමේ දී කැපුම් තුවාල සහිතව එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) ගිලන් රථයක නංවා රෝහල්ගත කිරීමට පියවරගෙන තිබුණා.

අනතුරුව පොලිස් නිලධාරීන් මෝටර් රථය පරීක්ෂා කිරීමේදීයි මෙම රන් ආලේපිත ගිනි අවිය සොයාගෙන ඇත්තේ.

පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ පුද්ගලයින් කිහිප දෙනෙකු රාගම ප්‍රදේශයේදී මත්පැන් පානයකර කටුනායක ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් එහි ආරක්ෂක නිලධාරීන් සමග ගැටුමක් ඇති කරගෙන ඇති බවටයි.

පසුව ඔවුන් රාගම ප්‍රදේශයේට පැමිණ අදාළ ගිනි අවිය රැගෙන ගැටුම ඇති කරගත් සමාජ ශාලාවට ගොස් ගිනි අවි පෙන්වා ආරක්ෂක නිලධාරීන් බිය ගැන්වීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන් බෝතල්වලින් පහර දී තිබෙනවා.

පසුව බරපතළ කැපුම් තුවාල සහිතව ආපසු එමින් සිටියදී මෙම මෝටර් රථය මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ.

කෙසේවෙතත් ගිනි අවිය සොයා ගැනීමෙන් පසුව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම ගිනි අවිය විශ්‍රාමික නාවික හමුදා නිලධාරිවරයකුට පකිස්ථානයෙන් ත්‍යාග වශයෙන් ලැබුණු එකක් බවටයි.

වැල්ලම්පිටිය – කොටුවිල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු මීට පෙර අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී ඊයේ මෙම සිද්ධිය සැළසුම් කළ සහ අනුබලදුන් දෙදෙනෙකු කොටුවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීමට පැමිණි යතුරුපැදියේ පැදිකරු ඉහළ බෝමිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අවුරුදු 28, 30 සහ 34 යන වයස්වල පසුවන කොටුවිල, නවගමුව සහ ඉහළ බෝමිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් ෴


රුපියල් ලක්ෂ 65 ක රන් සමඟ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

(13.03.2023 – 07:36 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 65 ක් වටිනා රන් නිතිවිරෝධි ලෙස ඉන්දියාවට රැගෙන ගිය ශ්‍රී ලංකිකයෙකු බැංගලෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී සොයාගත් රන්වල බර කිලෝවකට (1) අධිකයි.

ගල්ෆ් ගුවන් සේවයට අයත් යානයකින් බහරේන් සිට පැමිණි 33 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔහු නිරන්තරයෙන් ඉන්දියාව සහ ගල්ෆ් කළාපීය රටවල සංචාරය කරමින් රන් ජාවාරම් කර ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

පසුගිය පෙබරවාරි 27 වනදා ද බැංගලෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී රුපියල් ලක්ෂ 25 ක් වටිනා රන්, මස්කට් නුවර සිට රැගෙන ආ සුඩාන ජාතික 42 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබුණා ෴


හුවමාරු නොකළ ඩොලර් මිලියන 500 ක් – පසුගිය සතියේ වෙළෙඳපොළට

(13.03.2023 – 07:37 +0530 – hirunews.lk/sinhala)

පොදු සමාකාලය තුළ හුවමාරු නොකළ ඩොලර් මිලියන 500 ක් පසුගිය සතියේ වෙළඳ පොළට පැමිණ ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සංවිධාන කළ සම්මන්ත්‍රණයකට කොළඹ දී ඊයේ (12) එක්වෙමින්.

දෙදිනක් (2) පුරා පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේ පළමු (1) දින තේමාව වූයේ අර්බුදයක් තුළ නීතියේ කාර්යභාරය යන්නයි.

මෙම සම්මන්ත්‍රණයට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මෙන්ම මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ද එක්ව සිටියා ෴


සුළං බලාගාර ව්‍යාපෘතිවල ධාරිතාව වැඩි කරන්න අදානි ඉල්ලයි

(13.03.2023 – 09:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ මෙගාවොට් 340 ක සුළං බලාගාර ව්‍යාපෘති ආරම්භ කිරීමට අවසර ලබා දී ඇති අදානි සමූහය අනුමත ධාරිතාව මෙගාවොට් 500 දක්වා වැඩි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබෙනවා.

මෙම යෝජනාව සලකා බලමින් සිටින බවයි ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පසුගිය සිකුරාදා (10) ව්‍යාපාරික සේවයට පැවසුවේ.

අදානි සමූහ ව්‍යාපාරය විසින් තමන්ගේම මෙගාවොටි 5.2 ක ටර්බයින දිවයිනට ගෙන එන බවත්, එහි මූලාකෘතියක් ගුජරාටයේ මුන්ද්‍රා හි වසරක් තිස්සේ ක්‍රියාත්මක වන බවත් වාර්තා වෙනවා.

අදානි සමූහය විසින් මෙම යන්ත්‍රය නිපදවා ඇත්තේ ජර්මනියේ W2E (Wind to Energy) GmbH තාක්‍ෂණයෙන්.

එය විනාඩියකට මීටර් 3 සිට 20 mps දක්වා සුළං වේගයකින් ක්‍රියා කළ හැකි අතර, 12 mps සුළං වේගයකින් එහි ප්‍රශස්ත බල නිෂ්පාදනය කරා ළඟා විය හැකියි.

ශ්‍රී ලංකාවට විශාල සුළං බල විභවයක් ඇති අතර එහි සමහර ස්ථානවල සුළගේ වේගය mps 75 ක්.

ජාතික පුනර්ජනනීය බලශක්ති රසායනාගාරයේ (NREL) ඇස්තමේන්තුවකට අනුව, ඇමරිකා එක්සත් ජනපදය මීට වසර ගණනාවකට පෙර, ශ්‍රී ලංකාවට ගිගාවොට් 45 ක් ලබා දීමට මුහුදු වෙරළේ සුළං විභවයක් සකසා තිබුණා.

නවීන යන්ත්‍ර පදනම් කරගෙන දැන් ඇස්තමේන්තුවක් සකස් කළහොත්, එම සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි වනු ඇති බවයි කර්මාන්තයේ ප්‍රවීණයන් පවසන්නේ.

ඔවුන් පෙන්වා දෙන්නේ රට තුළ වෙරළාසන්න සුළං විභවය ද අතිවිශාල බව යි.

ශ්‍රී ලංකාවටම එයින් අවශ්‍ය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් වන අතර සමහර විට 2030 දී GW 10 ක් විය හැකි බව විශේෂඥයෝ පවසනවා.

භූතානය සිදුකරන ආකාරයටම ලංකාවට අතිරික්තය ඉන්දියාවට විකුණා මුදල් උපයා ගත හැකියි.

අමාත්‍ය ඩී.වී. චානක පැවසුවේ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ සිට මදුරෙයි දක්වා ධාවනය කළ හැකි විදුලි සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතියක් ඉදිකිරීමේ ගිවිසුමක් ඇති බවයි.

ඉන්දියාව ද ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වනවා ෴


සාමාන්‍ය පෙළ විභාගය යළි කල්යාමේ අවදානමක් ගැන අධ්‍යාපන ඇමති පවසයි

(13.03.2023 – 11:08 +0530 – hirunews.lk/sinhala)

උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා සහය ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඉල්ලිම් කරනවා.

පසුගිය පෙබරවාරි 17 න් අවසන් වු උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා උත්තර පත්‍ර පරීක්ෂකවරු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇගයිම් කටයුතු සඳහා අයදුම් කිරීම ප්‍රමාද කරනු ලැබවේ ඒ සඳහා ලබාදෙන දීමනා ප්‍රමාණවත් නොවන බව පවසමින්.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යවරයා කොළඹ අද (13) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වුවහොත් සාමාන්‍ය පෙළ විභාගය කල්යනු ඇති බවයි.

මේ අතර, අද (13) පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර කියා සිටියේ උත්තර පත්‍ර පරික්ෂාව සඳහා ලබාදෙන රුපියල 500 යේ දීමනාව 2000 දක්වා ඉහළ දමා ඇති බවයි.

මේ අතර, කිලිනොච්චිය, ශාන්ත තෙරේසා විද්‍යාලයේ 11 ශ්‍රේණියට අදාළව පැවති වාර විභාගය සඳහා ඔවුන් අද (13) පංති කාමරවලින් පිටත අව් රශ්මියේ විභාග කටයුතු සිදු කළ බවයි හිරු වාර්තාකරු පැවසුවේ ෴


කුවේට් හි ගෘහ සේවයේ නියුතු ලාංකික කතකට නිවැසියන්ගෙන් ප්‍රහාරයක්

(13.03.2023 – 11:17 +0530 – hirunews.lk/sinhala)

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවකට අමානුෂික අන්දමින් ශාරීරික හිංසනයන්ට ලක් කර පහර දීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශය වෙත වාර්තා වී තිබෙනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ වසර 04 කට ආසන්න කාලයක සිට කුවේට් හි නිවසක ගෘහ සේවයේ නියුතු කාන්තාවකටයි.

එම නිවසෙහි හිමිකරුවන් වන කාන්තාවක් සහ ඇයගේ පුතුන් දෙදෙනා (2) විසින් මෙම කාන්තාවගේ ශරීරයට සහ හිසට එල්ල කරන ලද පහරදීම්වලින් බරපතළ තුවාල සහ තැලීම් සිදුව ඇති ආකාරය දැකිය හැකියි.

පස්වරු 4 ට පමණ මෙම කාන්තාවට නිවැසියන් එක්ව රාත්‍රී 10 පමණ වන තෙක් පහර දී කටට ගිනි අවිය තබා පවසා ඇත්තේ මේ ගැන කිසිම අයුරකින් පොලිසියට පැවසීම තහනම් බවටයි.

එසේ පවසා ඇයව වාහනයකින් කුවේට් හි පිහිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ ඥාති නිවසක් අසලට ගෙන ගොස් දමා පැමිණ ඇති බවත් පහරකෑමට ලක් වූ කාන්තාව සඳහන් කළා.

පසුව ඇයගේ ලාංකික හිතවතුන් එක්ව ඇයව රෝහල්ගත කර ඇති අතර, මේ සම්බන්ධයෙන් කුවේට් පොලිසිය ද දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් කුවේට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය කිසිදු පියවරක් ගෙන නැහැ ෴


විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක්

(13.03.2023 – 11:19 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (13) වරෙන්තු නිකුත් කළා.

ඒ, 2016 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ කොළඹ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් සිදුකළ උද්ඝෝණයක් සම්බන්ධයෙන් සිදුවන නඩු කටයුත්තකට අදාළවයි.

කුරුඳුවත්ත පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ එම නඩුව අද (13) කැඳවූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේ.

තවද එහිදී මෙම නඩුව ලබන ජූනි මස 19 දින යළි කැඳවීමට නියමිතයි ෴


පූජිත් සහ හේමසිරි නිදහස් කළ තීන්දුවට එරෙහිව ඇහෙන අලුත්ම කතාව

(13.03.2023 – 11:54 +0530 – hirunews.lk/sinhala)

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීරණයකට එරෙහි නීතිපතිවරයාගේ අභියාචනා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) දින නියම කළා.

ඒ අනුව ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම අභියාචනය අද (13) සළකා බැලූ අවසථාවේදියි.

ඒ අනුව විනිසුරු මඩුල්ල නියෝග කළේ ලබන ජුනි මස 04 වනදා සිට අදාළ පෙත්සම් විභාගය සිදු කිරීමටයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නිදොස් කොට නිදහස් කළේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වාගැනීමට කටයුතු නොකළ බවටයි හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා චෝදනා එල්ල වී තිබුණේ ෴


ආණ්ඩුවට ඡන්දය තියන්න බැරි ඇයි? කාදිනල් හිමියන්ගේ විශේෂ මාධ්‍ය හමුව (13.03.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *