මාර්තු 15 සියලු පාසල් කටයුතු නවතීද ? – හෙට (13) පළාත් 4 ක වෛද්‍යවරුන් වර්ජනයේ

මාර්තු 15 සියලු පාසල් කටයුතු නවතීද ? – හෙට (13) පළාත් 4 ක වෛද්‍යවරුන් වර්ජනයේ


මාර්තු 15 සියලු පාසල් කටයුතු නවතීද ? – හෙට (13) පළාත් 4 ක වෛද්‍යවරුන් වර්ජනයේ

(12.03.2023 – 19:37 +0530 – hirunews.lk/sinhala)

ලබන 15 වනදා ගුරු-විදුහල්පති වර්ජනය ස්ථීරව පැවැත්වෙන බව ‘ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය’ පවසනවා.

ඒ අනුව දිවයින පුරා පාසල්වල සියලුම ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු, උපකෘත පාඨශාලා ගුරුවරු සහ ගුරු උපදේශකවරු එම වර්ජනයට එක්වන බවයි එම සන්ධානය ප්‍රකාශ කළේ.

වැඩිකළ බදු සහ ඉහළ බැංකු පොලී අනුපාත ඇතුළු කරුණු මුල්කරගනිමින් මේ මස 15 වනදා වෘත්තීය සමිති රැසක් වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීරණ වනවා.

‘ජල සම්පාදන හා ජලාපවාහන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ’ සම කැඳවුම්කරු උපාලි රත්නායක කොළඹ අද (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ජල සැපයුම අඩාල නොවන පරිදි සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කරන බවයි.

එමෙන්ම ‘විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ’ උප සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ 15 වනදා ඔවුන්ද අසනීප නිවාඩු වාර්තාකරමින් වර්ජනයට සහාය පළකරන බවයි.

‘විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය’ ද පසුගිය 09 වනදා සිට අධ්‍යයන කටයුතුවලින් බැහැර වූ අතර අනෙකුත් වෘත්තීය සමිති සමඟ එක්ව හෙට (13) සිට වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිකිරීමට තීරණය කර තිබෙනවා.

15 වනදා ඒකාබද්ධ වර්ජනයට සමඟාමීව ‘රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය’ ද හෙට (13) දිනයේ බස්නාහිර, දකුණ, මධ්‍යම, නැගෙනහිර යන පළාත්වල වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළා.

එමෙන්ම බැංකු සේවකයින්ද හෙට (13) සිට කලු ඇදුමෙන් සැරසී සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි ලංකා බැංකු සේවක සංගමය කියා සිටියේ.

+


රාජපක්ෂලා ඉවරටම ඉවර වුණ හේතු මෙන්න – විමල් වීරවංශ

(12.03.2023 – YouTube : Wimal Weerawansa)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දරුවෝ 60 ක් හිටියානම් මේ රටට වෙන දේ හිතා ගන්නටවත් බැරි බවත් ලංකාවේ LNG බලාගාරය ඇමෙරිකාවට විකිණීමේ පිටුපස තනිකරම සිටින්නේ බැසිල් රාපක්ෂ බවත් පා.ම. විමල් වීරවංශ පවසයි.

මෙම තොරතුරු ඇතුළු රට මෙතෙක් නොදැන සිටි සමීප තොරතුරු රැසක් පා.ම. විමල් වීරවංශ විසින් හෙළි කර සිටියේ හෙලිකොප්ටරයේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක සහ ක්‍රියාකාරී හමුවේදීය.

එම හමුව 2023.03.12 දින අම්බලන්තොට කමත හෝටල් පරිශ්‍රයේදී පැවැත් විය.

+


මැතිවරණ කොමිසම ජනපතිගෙනුත් මුදල් ඉල්ලයි

(12.03.2023 – 19:32 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත්කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකළ බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා කියා සිටියේ.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රතිපාදන නිකුත් කිරීම සඳහා සෘජු තීරණ ගැනීමට නොහැකි බවත් ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි විය යුතු බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පසුගියදා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණා.

ඒ අනුව ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බවයි නීතිඥ නිමල් පුංචිහේවා කියා සිටියේ.

මුදල් ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් මේ මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වනදා දක්වා කල්දමනු ලැබුවා.

මේ අතර අලුතින් පිහිටුවීමට නියමිත මැතිවරණ කොමිෂන් සභාව සඳහා තමාද අයදුම්පත්‍රයක් යොමුකළ බව එහි වත්මන් සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා. තම අයදුම්පත්‍රය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමුකිරීමටයි ඔහු කටයුතු කර ඇත්තේ.

මීට පෙර මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය සඳහා මැතිවණ කොමිසමේ හිටපු සභාපති වූ මහින්ද දේශප්‍රියද අයදුම්පතක් යොමුකර තිබෙනවා.

+


පුංචි ශමෙල්ගේ ජීවිතය රැක ගන්න ඔබත් දායක වන්න

(12.03.2023 – 20:40 +0530 – hirunews.lk/sinhala)

මේ ඉන්නේ ශමෙල්. ශමෙල්ගේ දෙමව්පියන්ටත් ශමෙල් වෙනුවෙන් වෛද්‍ය විද්‍යාව එක්ක වගේම මුළු මහත් ලෝකයක් එක්කම සටන් කරන්නට සිදුවෙලා.

තවමත් මේ ලෝකෙ ගැන හරි හැටි තේරුමක් නැති පුංචි ශමෙල්ට වයස අවුරුදු එක හමාරක් (1½) වනවිට මුහුණ දීමට සිදුවෙලා තිබෙන්නේ සිය ජීවිතය සම්බන්ධයෙන් සුළුප ටු අභියෝගයකට නොවෙයි.

සාමාන්‍ය ක්‍රියාකාරී දරුවෙක් විදියට පුංචි ශමෙල් මේ ලෝකෙට ආවත් මාස අට (8) පසු කරද්දී ශමෙල්ගේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් දක්නට ලැබුණා.

පුංචි පුංචි අඩි තියමින් දුවපැන ඇවිදින්න හීන දකින පොඩි දරුවන් අතරේ ශමෙල්ට ආධාරකයක් හෝ දෙමව්පියන්ගේ උපකාරයක් නැතිව හිඳ ගැනීමටවත් අවස්ථාවක් ලැබී නැහැ.

ඔහු, මේ වනවිට කොඳු ඇට පේළියෙහි මාංශ පේශී ක්ෂය වීමේ රෝගී තත්ත්වයෙන් පීඩා විඳිනවා.

ශමෙල් පීඩා විඳින ‘ස්පයිනල් මස්කියුලර් ඇට්‍රෝෆී’ නම් රෝගී තත්ත්වය අති දුර්ලභ රෝගී තත්ත්වයක්.

වෛද්‍ය විද්‍යාවට අනුව එම රෝගී තත්ත්වයට කාලයක් තිස්සේ ප්‍රතිකාරයක් සොයා ගැනීමට අසමත් වුවත් ශමෙල්ගේ වාසනාවට, ඒ සඳහා මේ වනවිට ප්‍රතිකාර කළ හැකි තරමට වෛද්‍ය විද්‍යාව දියුණු වී තිබෙනවා.

ඒ සුබ ආරංචිය ශමෙල්ගේ මව්පියන්ට යම් අස්වැසිල්ලක් වුවත් ඔවුන්ගේ ඊළඟ අභියෝගය, ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමයි.

ශමෙල්ගේ සැත්කම සඳහා ලංකාවේ මුදලින් රුපියල් කෝටි 81 ක් පමණ වැය වනවා.

දරුවන් මෙලොවට බිහි කර මහ මග දමා යන දෙමව්පියන් සිටින සමාජයක,ශමෙල්ගේ දෙමව්පියන්, තමන්ගේ එකම දරු පැටියාගේ හුස්ම ටික රැක ගැනීම වෙනුවෙන් ඒ අභියෝගයත් භාර ගත්තා.

මේ වනවිට පරිත්‍යාගශීලීන්ගෙන් සහ හිතවතුන්ගෙන් සැත්කම සඳහා අවශ්‍ය මුදලින් 50% ක් පමණ සොයාගෙන තිබුණත්, හැකි ඉක්මනින් ශමෙල්ගේ සැත්කම කිරීමට නම් තවත් රුපියල් කෝටි 40 ක් පමණ අවශ්‍ය වී තිබෙනවා.

හයක් හතරක් නොතේරෙන මේ පුංචි ශමෙල්ගේ හුස්ම පොද රැක ගැනීම වෙනුවෙන්, ශමෙල්ගේ දෙමව්පියන්ගේ එකම බලාපොරොත්තුව පරිත්‍යාගශීලීන්ගේ උපකාර පමණයි.

ඒ සඳහා, පරිත්‍යාගශීලී ඔබට කළ හැකි උපකාරයක් වේ නම්, +659 095 9847 යන අංකය ඔස්සේ ශමෙල්ගේ මව හෝ පියා ඇමතියි හැකියි.

+


ඩොලර් සැඟවුයේ නැතිනම් සිදු වන දේ ගැන මහ බැංකු අධිපති කියයි

(12.03.2023 – 21:43 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකානු ඩොලර් සන්තකයේ තබාගෙන සිටි පිරිස් මහ බැංකුවෙන් ලබාදුන් ‘සමා කාලය’ තුළ එම විනිමය හුවමාරු කළේ නම් ඉහළ අගයක් ලබාගැනීමට හැකිව තිබූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

අද (12) කොළඹ පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධාන කළ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු ඒ බව සඳහන් කළා.

දෙදිනක් (2) පුරා පැවති එම සම්මන්ත්‍රණයේ පළමු දිනය පැවැත්වුණේ ‘අර්බුදයක් තුළ නීතියේ කාර්යභාරය’ යන තේමාවෙන්.

අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මෙරට අමෙරිකානු තානාපති ජූලී චන්ග් යන අය එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වූ හ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ :

“ඩොලර් විනිමය සඟවාගෙන සිටි අය දැන් ඒවා කළු වෙළෙඳපොළෙන් හුවමාරු කරගන්න උත්සාහ කළත් අවාසනාවන්ත විදියට ඔවුන්ට ලැබෙන්නේ අඩු අනුපාතයක්. ඩොලර් රැස් කරගෙන සිටි අපනයනකරුවන්ට වගේම ඩොලර් රැස් කරන ආනයනකරුවන්ට, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයින් වැනි කළු වෙළෙඳපොළෙන් ඩොලර් රැස් කරන වෘත්තිකයින්ට ප්‍රශ්න කිරීමකින් තොරව එම ඩොලර් රුපියල්වලට හුවමාරු කරගන්න අපි මාසයක කාලයක් ලබාදුන්නා. ඒත් එක්රැස් වුණේ ඩොලර් මිලියන 30 ක් පමණයි. අපට ඇහුම්කන් දුන් අපනයනකරුවන්ට එම කාලසීමාවේදී ඩොලරයකට රුපියල් 365 ක් රුපියල් 370 ක් විතර ලැබුණා.

ඒ නිසයි අපි වෙළෙඳපොළට මැදිහත් වුණේ. ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසාම දැන් කඩිමුඩියේ ඩොලර් හුවමාරු කරනවා රුපියල්වලට. සමාකාලය තුළ ඩොලර් මිලියන 30 ක් පමණක් රැස්වුණත් ඔවුන් දින 07 ක් තුළ ඩොලර් මිලියන 500 ක් වෙළෙඳපොළට ගෙනැවිත් තිබෙනවා.

එහිදී ඩොලර් වෙළෙඳපොළ කඩාවැටීමක් ඇති වුණත් අප මැදිහත් වීම නිසා එය තවදුරටත් කඩාවැටීම වැළකුණා. වෛද්‍යවරුන්, බැංකුකරුවන්, රාජ්‍ය සේවයේ ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් විරෝධය පාන්නේ ඔවුන්ට උපයා ගන්නා විට බදු ගෙවීමට සිදුව ඇති නිසා. මම හිතන්නේ නීතිඥවරුන් විරෝධය නොපාන්න හේතුවක් තිබෙනවා ඇති. විනිසුරුවරුන් ඒ සම්බන්ධයෙන් තර්කයක් ගෙනැවිත් තිබෙනවා. ඔවුන්ගේ ආදායම සැඟවිය නොහැකි ප්‍රකාශ කළ යුතු නිසා. නීතිඥයින් දන්නවා බදු මඟහරින විදිය. ඔවුන් ගනුදෙනුකරුවන්ගෙන් ලබන ආදායම ප්‍රකාශ කරන්නේ නැහැ.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *