ලබන සදුදා (13) සිට රජයේ වෛද්‍යවරුන් වර්ජනයක

ලබන සදුදා (13) සිට රජයේ වෛද්‍යවරුන් වර්ජනයක


ලබන සදුදා (13) සිට රජයේ වෛද්‍යවරුන් වර්ජනයක

(10.03.2023 – 16:16 +0530 – hirunews.lk/sinhala)

ලබන සදුදා (13) සිට ‘රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය’ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

අද (10) රැස්වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන තිබුණා.

ලබන 15 වනදා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති ඒකාබද්ධ වෘත්තීය සමිති වැඩවර්ජන ක්‍රියාමාර්ගයට සහය පළකරමින් එය සිදු කරන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ අද (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

මේ අතර අද (10) පස්වරු 01 ට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමඟ ‘රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය’ සාකච්ඡාවක් පැවැත්වූ අතර ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

එමෙන්ම ‘සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ’ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර ද අද (10) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ ඉල්ලීම් 07 ක් මුල්කරගනිමින් තම සංගමය ද 15 වනදා වර්ජනයට එක්වන බවයි.

කෙසේ වෙතත් ‘රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ’ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද (10) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වර්ජනවලට තම සංගමය සහය ලබානොදෙන බවයි.

මේ අතර ලබන 15 වනදා වෘත්තිය සමිති රැසක් එක්ව ආරම්භ කිරීමට නියමිත වර්ජනයට ‘විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය’ ද සහාය පළකරන බවයි ‘විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ’ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් සඳහන් කළේ.

එසේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඊයේ (09) ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද (10) දෙවන (2) දිනටත් ක්‍රියාත්මකයි.

එමෙන්ම ලංකා ගුරු සංගමය ද 15 වනදා එක්දින (1) වර්ජනයක නිරත වන බවයි ප්‍රකාශ කරන්නේ.

කෙසේ වෙතත් ‘ප්‍රගති බැංකු සේවක සංගමය’ නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ වර්ජන ක්‍රියාමාර්ග හරහා රටේ ආර්ථිකයට සහ බැංකු පද්ධතියට සිදුවිය හැකි ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සහභාගි වීම සම්බන්ධයෙන් තම ස්ථාවරය ලබන 13 වනදා ප්‍රකාශයට පත්කරන බවයි.

මේ අතර වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වරාය සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වරාය වෘත්තීය සමිති අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවකට එක්වුණා.

මේ එම සාකච්ඡාවෙන් අනතුරුව ‘වරාය අධිකාරියේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ’ ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

මේ අතර සිසු විරෝධතාවක් අතරතුර කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ නාන කාමරයක් තුළ ඇදවැටී සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු මියගිය එහි ආරක්ෂක නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) සිදු කෙරුණා.

පොලිස් මෘත ශරීරාගාරයේදී එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු දේහය ඔහුගේ බිරිඳට භාරදුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර ‘සමාජවාදි තරුණ සංගමයේ’ ජාතික සංවිධායක එරංග ගුණසේකර අද (10) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ විරෝධතා විසුරුවා හැරීමේදී විෂ සහිත කදුළු ගෑස් යොදාගන්නා බව පවසමින්.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කදුළු ගෑස් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකළා.

මේ අතර ‘ආණ්ඩුවේ මර්දනයට එරෙහිව’ යන මැයෙන් ‘කොළඹ එක්සත් ජාතින්ගේ කාර්යාලය’ ඉදිරිපිට අද (10) දහවල් ඒකාබද්ධ විරෝධතාවක් පැවැත්වුණා.

ඊට ‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ’ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ‘පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ’ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, සමාජ ක්‍රියාකාරි ලහිරු වීරසේකර සහ ‘ලංකා ගුරු සංගමයේ’ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ද එක්ව සිටියා ෴

+


මවගෙන් මුදල් ගන්න දියණියට පහර දී වීඩියෝ යැවූ සුළු පියා අත්අඩංගුවට

(10.03.2023 – 17:02 +0530 – hirunews.lk/sinhala)

බාල වයස්කාර දැරියකට කෲර වධ හිංසා සිදුකළ සුළු පියෙකු බකමූණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පොලිසියට ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

අවුරුදු එකහාමාරක් (1½) පමණ වයසැති මෙම දැරිය වේයන්ගොඩ පිහිටි සිය මිත්තණියගේ නිවසේ වාසය කර ඇති අතර මව විදෙස්ගතවයි සිට ඇත්තේ.

කෙසේ වෙතත් මවගේ දෙවන (2) විවාහයේ සැමියා මෙම පුද්ගලයා අදාළ දැරිය රැගෙන ගොස්, අමානුෂික ලෙස පහර දී ඇති අතර ඔහු එම පහරදීම් වීඩියෝ ගතකර දැරියගේ මවට යවා මුදල් ඉල්ලා තිබෙනවා.

මව විසින් මිත්තණියට මේ පිළිබඳ දැනුම්දීමෙන් පසු මිත්තණිය කළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

30 හැවිරිදි සැකකරු හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴

+

+


පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කළ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩයක්

(10.03.2023 – 17:11 +0530 – hirunews.lk/sinhala)

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කළ හැටන් නගරයේ වෙළෙඳසැල් හිමියෙකුට රුපියල් ලක්ෂයක (100,000) දඩයක් නියම කර තිබෙනවා.

පාරිභෝගික සේවා අධිකාරිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු අද (10) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ඔහු වරද පිළිගෙන ඇති අතර දිසාවිනිසුරු ෆාරුක් ඩීන් විසින් සැකකරුට මෙලෙස රුපියල් ලක්ෂයක දඩයක් නියම කළා.

අදාළ වෙළඳසැල්හිමියා රතු බිත්තරයක් රුපියල් 52 කට සහ සුදු බිත්තරයක් රුපියල් 56 ක මිලකට අලෙවිකරමින් සිටිය දීයි අත්අඩංගුවට ගෙන තිබුණේ ෴


ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට කෝප් කමිටුවෙන් නිර්දේශ රැසක්

(10.03.2023 – 18:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට කෝප් කමිටුවෙන් නිර්දේශ රැසක් ලබා දුන් බව සඳහන් කරමින් සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මෙතෙක් ප්‍රමාද වී ඇති සියලු වාර්ෂික වාර්තා මාසයක (1) කාලයක් තුළ ඉදිරිපත් කරන ලෙසට කෝප් කමිටුවෙන් නිර්දේශ කර තිබෙනවා.

තවද රක්ෂණ සංස්ථාව යටතේ මාලදිවයිනේ සහ සීෂෙල්ස් දූපත්වල පිහිටුවා ඇති විශාල මූල්‍ය පාඩුවක් ලබා තිබෙන ශාඛා ද්විත්වය විධිමත් ආකාරයට වසා දැමීම සඳහා කෝප් කමිටුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත නිරීක්ෂණ යැවීමට පියවර ගන්නා බවයි සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම රක්ෂණ සංස්ථාවට අයත් දැනට ජනාධිපති ලේකම් කාර්යාලය භාවිත කරන ඉඩමට සහ ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම පිළිබඳව වාර්තාවක් සති දෙකක් (2) ඇතුළත ඉදිරිපත් කිරීමට රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා කෝප් කමිටුවෙන් උපදෙස් ලබා දුන්නා.

ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට සම්බන්ධ ව්‍යාජ තැරැව්කරුවන්ට එරෙහි අපරාධ විමර්ශන කොට්ඨාශයේ විමර්ෂණවල ප්‍රගතිය පිළිබඳව ද වාර්තාවක් සති දෙකක් (2) ඇතුළත ඉදිරිපත් කරන්නැයි ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට කෝප් කමිටුවෙන් උපදෙස් ලබා දී තිබෙනවා.

දිගු කාලීන රක්ෂණ ව්‍යාපාරය සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය වෙන වෙනම සමාගම් දෙකකට (2) වෙන් කිරිම සම්බන්ධව තීරණයක් කඩිනමින් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට කෝප් කමිටුවෙන් නි‍ර්දේශ ලබා දුන් බව ද එම නිවේදනයේ සඳහන්.

තවද රක්ෂණ සංස්ථාවේ ඉදිරි වෙළඳ ප්‍රවර්ධන උපායමාර්ගික සැලසුම් පිළිබඳ වාර්තාවක් හැකි ඉක්මනින් කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන විධායක නිලධාරි වෙත නිර්දේශ කර තිබෙනවා.

රක්ෂණාවරණ ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ නිසි පරිදි රක්ෂණ හිමියන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද කෝප් සභාපතිවරයා ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

සංස්ථාවේ පූර්ණ මානව සම්පත් විගණනයක් සිදු කොට වාර්තාවක් මාස හයක් තුළ කමිටුවට ඉදිරිපත් කරන ලෙස රක්ෂණ සංස්ථා සභාපතිවරයාට කෝප් කමිටුවෙන් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

එමෙන්ම ආයතනයේ ඉහළ කළමණාකාරිත්වයේ 93 දෙනෙක් සඳහා වැටුප් ගෙවීමට රුපියල් මිලියන 700 ක් වැය කෙරෙන ‘මැනේජ්මන්ට් සර්විස් රක්ෂණ සමාගම’ පිහිටුවා තිබීමේ අවශ්‍යතාව පිළිබඳ මතය දන්නවන්නැයි රක්ෂණ සංස්ථා සභාපතිවරයාට කෝප් කමිටුව යෝජනා කළා.

තවද ටෙන්ඩර් කැඳවීමකින් හා කැබිනට් අනුමතියකින් රක්ෂණ සංස්ථාව මගින් තනි පාර්ශවයකින් ලන්සු කැඳවා ඩොලර් 100 ක ලන්සු වටිනාකමකට විදේශසේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධ අරාබි රටවල විදේශ ශ්‍රමිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට අදාළ සංස්ථාවේ කාර්යභාරය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුවෙන් රක්ෂණ සංස්ථා ප්‍රධාන විධායක නිලධාරීවරයාට නිර්දේශ කර තිබෙනවා.


නීතීඥ ජේ.එම්. විජේබණ්ඩාරගෙන් ජනපතිට චෝදනාවක්

(10.03.2023 – 19:05 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාදවලට මුවාවෙලා විනිශ්චයකාරයෙකු වීමට උත්සාහ දරන බව නීතීඥ ජේ.එම්. විජේබණ්ඩාර පවසනවා.

ඒ, අද (10) පැවැති ජාතික ජන බලවේගයේ නීතිඥයෝ – මාධ්‍ය හමුවට එක්වෙමින්.

එමෙන්ම ලංකාවේ අරගලයකින් පස්සේ තමන්ව බලයට පත් කළ ජන බලය විසින්ම ඒ ජයග්‍රාහී මැතිවරණයේ ප්‍රතිඵලයක් ලෙස තේරී පත්වූ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලය මහජන විරෝධයකින් ඉවත් කිරීම යන මහජන ප්‍රතික්ෂේප කිරීමට ලක්වූ පාර්ලිමේන්තු බහුතරයක් විසින් ගනු ලැබූ තීරණවලින් අපි ඉතිරිවී සිටින්නේ පාර්ලිමේන්තු බහුතරය පමණක් බව ද ඔහු පවසනවා.

“සම්ප්‍රදානුකූල සහ සදාචාරාත්මකව, යුක්තිසහගතව කළ යුතුව තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නම් ජනතාව විසින් අපගේ බලය ශූන්‍ය කර තිබෙනවා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යෝජනාවක් සම්මත කර, නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලීම තමයි හොඳම විය යුතුව තිබුණේ. නමුත් පාර්ලිමේන්තුවේ බහුතරය විසින් තමන්ගේ පක්ෂයේ නොවන අයෙකු ව්‍යවස්ථාමය උපක්‍රමයකින් කිසිසේත් අපේක්ෂා නොකළ විධායක බලය සහිත ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා. මහජන බලය රූකඩයක ආකාරයෙන් නැටවීමේ ක්‍රියාදාමයක යෙදෙන විකෘති පාර්ලිමේන්තුවක් අපේ රටේ තිබෙන්නේ. අරගලයෙන් පසුව පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරණයක් පැවති මොහොතේ සිට රටේ පවතින තත්ත්වය දෙස බලන්න. අද රාජ්‍ය ආයතන එකිනෙකාට බැන ගන්නවා, එකිනෙකාට විරුද්ධව අධිකරණයට යනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව මැතිවරණය ප්‍රකාශ කිරීමේ බලය තිබෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමට. නමුත් පාර්ලිමේන්තුව තුළට යන ජනාධිපතිවරයා කියා සිටිනවා කරනවා ‘එහෙම ප්‍රකාශ කළ මැතිවරණයක් නැහැ’ යනුවෙන්. ඔහු පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාදවලට මුවාවෙලා විනිශ්චයකාරයෙකු වීමට උත්සාහ දරනවා. මැතිවරණ කොමිසම, මහජනතාවගේ බලය වෙනුවෙන් රටේ අධිකරණය වෙත කිසියම් දැනුම්දීමක් සඳහා නීතිඥයෙකුගේ සේවය ලබාගැනීම පිළිබඳවත් පාර්ලිමේන්තුව තුළ දී ජනාධිපතිවරයා විසින් හාස්‍යයට ලක්කරනවා. මැතිවරණ පත්‍රිකා මුද්‍රණය කිරීමේ කාර්යයේ දී මැතිවරණ නිර්දේශ තිබිය දී, ජනාධිපතිවරයා මුද්‍රණාලයාධිපතිනියට එය කළ නොහැකි බවට මහජනතාව ඉදිරියේ ප්‍රකාශ කර සිටියා. තවත් විටකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් වන්නේ මහමැතිවරණ, ජනාධිපතිවරණ, ජන මත විචාරණ පමණක් බව පවසමින් පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය නැති බවත් ප්‍රකාශ කරමින් විශාල මාධ්‍ය ප්‍රකාශයක් ගෙනයාමට උත්සාහ දැරුවා. මැතිවරණ කටයුතු සඳහා පොලිස් ආරක්ෂාව දීමට නොහැකි බව ප්‍රකාශ කළා. විධායකය, කැබිනට් ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු එකිනෙකාට දෝෂාරෝපණය කරමින් (විධායක නිල පැලැන්තිය,) මැතිවරණය දිනය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට රාජ්‍ය පාලනය අපභ්‍රංශයක් බවට පත්කර තිබෙනවා. විහිළුවකට, අවිනිශ්චිතතාවයකට පත්කර තිබෙනවා.

මෙවැනි අවස්ථාවක පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිලි අර්ථනිරූපණයක් ඇතිකර ගැනීමට අවශ්‍ය නම් යාමට ඇති එකම ස්ථානය ශ්‍රේෂ්ඨාධිකරණයයි. කිසිදු ආකාරයකින් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට යටත් නොවන ආයතනයක්. මැතිවරණයක් පවත්වනවාද නැද්ද කියන එක පිළිබඳව විධායකය හා විධායකය අතරත්, දේශපාලන පක්ෂ, පුරවැසියන් සහ මැතිවරණ කොමිසම සහ මුදල් අමාත්‍යාංශය අතර ආරාවුලක් ඇතිවී ඇත්නම් එය විනිශ්චය කිරීමේ බලය උත්තරීතර අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයයේ සතුව තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්තිවල සහ 3 පරිච්ඡේදයේ 17 සමග කියවිය යුතු 126 වගන්තියෙන් කියනවා මේ විධායකය මානව හිමිකම් නොතකා කටයුතු කරනවා නම්, පුරවැසියාට යා හැකි ස්ථානය ශ්‍රේෂ්ඨාධිකරණයයි” ෴

+

+


අද (10) රුපියලේ සුළු පහත වැටීමක් – රත්‍රං මිල නැවතත් ඉහළට

(10.03.2023 – 19:48 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (10) සුළු අවප්‍රමාණයක් පෙන්නුම් කළා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 311.62 ක් ලෙස දැක්වුණු අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 328 ක් ලෙසයි.

ඊයේ (09) ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල 307.36 ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල වූයේ 325.52 ක්.

මේ අතර, ශ්‍රී ලංකා රුපියල හමුවේ එක්සත් ජනපද ඩොලරයේ අගය ශීඝ්‍රයෙන් පහළ යාම පාලනය කිරීම සදහා මහබැංකුව මැදිහත්වී පසුගිය දින කිහිපය තුළ දී ඩොලර් මිලියන 500 ක් පමණ දේශීය විදේශීය වෙළදපොලෙන් මිල දී ගත් බව මහබැංකු වාර්තා පෙන්වා දෙනවා.

එමෙන්ම, විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් තීරු බදු සහනයක් සහිතව විදුලි වාහන ආනයනය කිරීමේ වැඩසටහන ඊයේ (09) සිට ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙත ගෙන්වන ලද වාහන රේගුව විසින් නිදහස් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ගත වූ මාස 13 ක කාලසීමාව තුළ ඉන්ධන අලෙවිය අඩු වී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව ඔටෝ ඩීසල් අලෙවිය සියයට 50 කින් සහ පෙට්‍රල් අලෙවිය සියයට 30 කින් අඩු වී ඇති බවයි එම සංස්ථාව නිවේදනය කළේ.

ඊට අමතරව භූමිතෙල් අලෙවිය ද සියයට 70 කින් අඩු වී තිබෙනවා.

මේ අතර රුපියල අද (10) අවප්‍රමාණය වීමත් සමග රත්‍රං මිල ගණන් ද අද (10) දහවල් සිට යළි වැඩිවීමක් පෙන්නුම් කළා.

සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ භාණ්ඩාගාරිය ආර්. සුබ්‍රමනියම් සදහන් කළේ මේ වනවිට කැරට් 24 පවුමක මිල රුපියල් 163,000 ක් වන බවයි.

මේ අතර රුපියල ශක්තිමත් වීමත් සමග කොළඹ ප්‍රධාන විනිමය හුවමාරු ආයතනවලට ඩොලර් හුවමාරු කිරීමට පැමිණෙන පිරිසගේ වැඩිවීමක් දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ ෴


අපරාධ කල්ලි සමාජිකයින් පිරිසක් රැගෙන ඒමට රහස් පොලිසිය හෙට (11) මැඩගස්කරයට

(10.03.2023 – 21:25 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් හෙට (11) මැඩගස්කරය බලා පිටත්ව යෑමට නියමිතයි.

ඒ, පසුගියදා මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගැනුණු ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා (2) මෙරටට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා යි.

නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සහ සළිඳු මල්ෂික නොහොත් ‘කුඩු සළිඳු’ නමැති මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා ඇතුළු 8 දෙනෙක් පසුගිය 01 වැනිදා මැඩගස්කාරයේ ඉවාටෝ ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත්වී තිබුණා.

විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේ අත්අඩංගුවට පත් පිරිස අතර ‘හරක් කටා’ගේ බිරිඳ ද සිටින බවයි ෴


බැංකු හරහා ඩොලර් එවූ අයට විදුලි කාර් රටට ඇවිත්

(10.03.2023 – dinamina.lk)

මෙරටට විදේශ මුදල් එවූ ශ්‍රමිකයන්ට තීරු බදු සහනයක් සහිතව විදුලි වාහන ආනයනය ඊයේ (09) සිට ආරම්භ විය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා මෙසේ පැවසීය:

“විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ නීත්‍යනුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට ගෙන ඒම දිරිමත් කිරීම සඳහා, ඔවුන් එවන විදේශ විනිමය ප්‍රමාණය මත පදනම්ව ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සඳහා අවසර දෙන කැබිනට් පත්‍රිකාවක් අප ඉදිරිපත් කළා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු වාහන ආනයනය සඳහා අවසර දෙනු ලැබුවා. තමන් රටට එවන මුදල් ප්‍රමාණයෙන් අඩකට සමාන සී.එෆ්.අයි. වටිනාකමක් සහිත වාහන ආනයනය කිරීමට තමයි මේ ආකාරයට අවසර දෙනු ලැබුවේ.”

ඒ වගේම ඉලෙක්ට්‍රික් වාහන ආනයනයේදී රජයට ගෙවිය යුතු බදු මුදල්ද විදේශ ව්‍යවහාර මුදල්වලින් ගෙවිය යුතු වුණා. ඒ අනුව රටට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ලබගැනීම අපේ ඉලක්කය වුණා. ඒ ඉලක්කය සාර්ථක කරගැනීමට අපට හැකියාව ලැබුණා.

නීත්‍යනුකූල ක්‍රම ඔස්සේ විදෙස්ගත ශ්‍රමිකයන්ට දුන් විවිධ වරප්‍රසාද අතුරින්, මේ වරප්‍රසාදයට හිමිකම් කියන විදේශ ශ්‍රමිකයන්ගේ වාහන මේ වන විට රේගුව මඟින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. විදේශ ශ්‍රමිකයන් මේ අවස්ථාව ඉතා හොඳින් භාරගත්තා. ඔවුන්ගෙන් අපට බොහෝ සුභවාදි ප්‍රතිචාර හිමිව තිබෙනවා.

මේ ආකාරයට නීත්‍යනුකූල ක්‍රම ඔස්සේ විදේශ ශ්‍රමිකයන් මුදල් එවීම මේ වන විට ඉහළ යමින් තිබෙනවා. පසුගිය වසරේ මුල් කාර්තුව අවසන් වන විට මසකට විදේශ ප්‍රේෂණ ලැබුණේ ඩොලර් මිලියන දෙසීය විසි පහක් (225) විතර. ඒත් අවුරුද්දේ අවසන් මාසය වන විට විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 475 දක්වා වර්ධනය කරගැනීමට අපට හැකියාව ලැබුණා. එසේ විදේශ ප්‍රේෂණ ඉහළ දමාගැනීමට හැකියාව ලැබුණේ මේ ආකාරයට විදේශ ශ්‍රමිකයන් මුදල් එවූ නිසයි.

සෑම විටම නීත්‍යනුකූල ක්‍රම ඔස්සේ විදේශ ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකාවට මුදල් එවන ලෙස අප නැවත නැවත ඉල්ලා සිටිනවා. ඒ වගේම නීත්‍යනුකූල මාර්ග ඔස්සේ මුදල් එවන ශ්‍රමිකයන්ට වාහන ආයනයන බලපත්‍ර දුන්නා වගේම තවත් බොහෝ වරප්‍රසාද දීමට අප කටයුතු කරමින් සිටිනවා” ෴

++++++

Ministry of Labour and Foreign Employment Circular No: 02/2022 – Scheme for granting permits licenses to import fully electric vehicles for Sri Lankans employed abroad

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *