උසස් පෙළ ප්‍රතිඵල පමා වෙයි – මේ අවුරුද්දේ විභාගයත් කල් යන ලකුණු

උසස් පෙළ ප්‍රතිඵල පමා වෙයි – මේ අවුරුද්දේ විභාගයත් කල් යන ලකුණු


උසස් පෙළ ප්‍රතිඵල පමා වෙයි – මේ අවුරුද්දේ විභාගයත් කල් යන ලකුණු

(09.03.2023 – 11:04 +0530 – hirunews.lk/sinhala)

2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම කල් පමා වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (08) පාර්ලිමේන්තුවට පැවසුවා.

එහි දී අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, අදාළ කල් පමාව සිදු වීමට හේතුව ගුරුවරුන් විසින් ක්‍රියාත්මක කරමින් පවතින වෘත්තීය ක්‍රියාමාර්ග බවත් ඒ හේතුවෙන් පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතුවලට එල්ල වී ඇති බාධාවන් ද ප්‍රතිපල නිකුත් කිරීම ප්‍රමාදයට හේතුවක් බවයි.

මේ අතර එම කල් පමාව සඳහා වගකිවයුතු බව පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ගුරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය දිගට ම ක්‍රියාත්මක වුව හොත් 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ දින වකවානු නැවත අලුත් කිරීමට සිදු වන බව යි.

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා කෙරෙන දීමනාව වැඩි කරන ලෙස ගුරුවරුන් විසින් ඉල්ලා සිටින අතර එය පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ දීමනාව වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණත් අදාළ දීමනාව වැඩි කිරීම ප්‍රමාණවත් නො වන බව යි ගුරු සංගම් කියා සිටින්නේ.

මේ අතර උසස් පෙළ පිළිතුරු පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමිවූ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද (09) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වීම ප්‍රමාද වුවහොත් ඉදිරි විභාග කාල සටහනට ද එය අහිතකර ලෙස බලපානු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර විශ්වවිද්‍යාල උද්ඝෝෂණ විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීම සම්බන්ධයෙන් ද අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් පළවුණා ෴


වැඩියෙන් දුම් දාන වාහන ගැන පැමිණිලි කරන්න අංකයක්

(09.03.2023 – 11:56 +0530 – hirunews.lk/sinhala)

අධික ලෙස දුම් පිට කරන වාහන සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායූ විමෝචන අංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව, එම දැනුම් දීම් ‪070 350 0525‬ යන ‘වට්ස්ඇප්’ දුරකථන අංකය ඔස්සේ ලබා දිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය හමුවක දී කියා සිටියේ, සෑම මසක ම අවසාන සතියේ දී කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් රථවල දුම් පරීක්ෂාව සිදුකරන අතර පසුගිය මස සිදුකරන ලද පරීක්ෂාවෙන් බස් රථ 40% කට වැඩි ප්‍රමාණයක් දුම් පරීක්ෂාවෙන් අසමත් වී ඇති බවයි.

පසුගිය වසර කිහිපය තුළ සිදුකළ නිරීක්ෂණවලින් දුම් පිටකරන වාහන ප්‍රමාණය වැඩි වී තිබෙන බව එම දෙපාර්තමේන්තුවේ වායූ විමෝචන අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අයි.ජී. දසුන් ජනක අදාල මාධ්‍ය හමුවේ දී කියා සිටියේ, දුම් පරීක්ෂණයෙන් අසමත් වන වාහන සඳහා පළමු නියෝගය අනුව වේරහැර ප්‍රධාන කාර්යාලය වෙත පැමිණියේ නැත්නම් සිහිකැඳවීමක් කරන බවත් එයටත් අනුගත නැත්නම් සාමාන්‍ය ක්‍රමවේදයට අදායම් බලපත්‍රය ගත නොහැකි වන අයුරින් අසාදු ලේඛන ගත කරන බවයි.

මේ අතර අධික ලෙස දුම් පිට කරන වාහන ලෙස විශේෂයෙන් ම පෞද්ගලික බස් රථ, ලංකා ගමන ගමන මණ්ඩලයේ බස් රථ, රජයේ වාහන මෙන් ම පොලීසියේ වාහන සම්බන්ධයෙන් ද එලෙස පැමිණිලි රැසක් ලැබී ඇතැයි ද වාර්තා වනවා ෴


රුපියල තවත් ශක්තිමත් වෙයි

(09.03.2023 – 12:51 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල අද (09) දිනයේත් ශක්තිමත් වුණා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 307.36 ක් ලෙස දැක්වුණු අතර, විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 325 ක් ලෙසයි ෴

+++++++

317 ට බැස්ස ඩොලරය අවුරුද්ද අන්තිමේ දී 390 ට නගී! – ‘ෆිච්’ වෙතින් ආන්දෝලනාත්මක පුරෝකථනයක්

(09.03.2023 – 13:55 +0530 – hirunews.lk/sinhala)

කඩිනමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පොරොන්දු වූ අරමුදල් ලැබෙතැයි බලා සිටින ශ්‍රී ලංකාවේ රුපියල මේ දිනවල යම් ශක්තිමත් වීමක් පෙන්නුම් කළ ද මෙම වසර අවසානය වන විට යළි පහත වැටීමේ අවදානමක් පවතින බව Fitch Solutions පුරෝකථනය කරනවා.

2023 වසරේ මෙතෙක් ලොව හොඳ ම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත් වෙමින් ශ්‍රී ලංකා රුපියල පසුගිය බදාදා ඩොලරයට සාපේක්ෂව 3% කින් ශක්තිමත් වූ නමුත් 2023 වසර අවසන් වන විට ඩොලරයට සාපේක්ෂව එහි අගයෙන් පහෙන් එකක් අහිමි විය හැකි බව Fitch Solutions පවසයි.

ඒ අනුව 2023 වසර අවසාන වන විට අමෙරිකානු ඩොලරයක් සඳහා වන ශ්‍රී ලංකා රුපියලේ අගය 390 ක් වනු ඇතැයි Fitch Solutions පුරෝකථනය කරන අතර එසේ වුවහොත් එය මෙරට ඉතිහාසයේ විශාලත ම මුදල් අවප්‍රමාණය බවට පත් වනු ඇති.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් Fitch Solutions හි අවදානම් විශ්ලේෂක ෂෙහ් වැන්ග් ටින් (Seh Wang Ting) පැවසුවේ, 2023 වසරේ දෙවැනි කාර්තුවේ මුල දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙත ලබා දීමට එකඟ වී ඇති පැකේජයේ ලැබීම් ලැබෙනු ඇතැයි තමන් සුබවාදී බලාපොරොත්තුවක සිටින බවයි.

එහි දී ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, පළාත් පාලන මැතිවරණයක මුවවිටේ සිටින ශ්‍රී ලංකාවේ දුර්වල වන ආර්ථිකය මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල සමඟ ඉදිරියට යාම ශ්‍රී ලංකාවේ බලධාරීන්ට අභියෝගයක් විය හැකි බවයි.

දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාව එයින් මිදීමේ ක්‍රියාමාර්ගයක් ලෙස පසුගිය සැප්තැම්බරයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්‍ය මණඩල මට්ටමේ එකඟතාවකට එළඹුණු අතර, එහි දී අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ශ්‍රී ලංකාව වෙත ප්‍රධානය කිරීමට එකඟතාව පළ වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදාල ණය පහසුකම ලබා ගැනීමට අවශ්‍ය කෙරෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී අභියෝගයක්ව පැවති චීන එක්සිම් බැංකුවේ සහතිකය පසුගිය දා (06) රාත්‍රියේ රජයට ලැබුණු බවත් මහ බැංකු අධිපතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව එදිනම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යැවූ බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජීවා ‘ට්විටර්’ පණිවිඩයක් මගින් සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකාව ඇතිකරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව එළැඹෙන 20 වැනිදා එහි විධායක මණ්ඩලය වෙත යොමු කරන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සැපයීමට එකඟ වී ඇති අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමේ පළමු (1) කොටස කඩිනමින් ලැබෙතැයි අපේක්ෂාවෙන්.

පසුගිය දා එකී අපේක්ෂාව පාර්ලිමේන්තුව වෙත පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ කෙසේ නමුත් 2029 දක්වා සෑම වසරක ම සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 6 සිට ඩොලර් බිලියන 7 දක්වා වූ විදේශ ණය ආපසු ගෙවිය යුතු බවයි.

එවන් තත්ත්වයක් යටතේ ‘ෆිච්ට සොලූෂන්’ පවසන්නේ ගෝලීය මූල්‍ය කොන්දේසි දැඩි කිරීම මගින් ඇතිවන ප්‍රතිවිපාකයක් ලෙස ශ්‍රී ලංකා රුපියල ද පීඩනයට ලක්විය හැකි බවයි.

මේ අතර පසුගිය දා අමෙරිකානු ෆෙඩරල් සංචිතයේ සභාපති ජෙරොම් පවෙල් සෙනෙට් බැංකු කමිටුවට පැවසුවේ පොලී අනුපාතවල අවසාන මට්ටම කලින් බලාපොරොත්තු වූවාට වඩා වැඩි විය හැකි බවයි ෴

++++++

රුපියල ශක්තිමත් වීමෙන් තේ වෙළෙඳපොළට බලපෑම්

(09.03.2023 – 14:25 +0530 – hirunews.lk/sinhala)

රුපියල ස්ථාවර වීම හේතුවෙන් තේ වෙළඳපල පහත වැටී ඇති බව තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සමස්ත අපනයන කර්මාන්තයටම එය බලපෑම් එල්ල කර ඇති බැවින් තේ වෙළඳපලට ද එය ඍජු ලෙස බලපා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ.

අමු තේ දළු සඳහා ගෙවනු ලබන අමතර ගෙවීම් නතර කිරීමට සිදුවන අතර, විදුලිබිල ඉහළ යාම නිසා කර්මාන්තශාලා වියදම ද වැඩි වී ඇති බවයි තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ ෴

++++++

පවුම රුපියල් 39,000 කින් බහියි

(09.03.2023 – 16:04 +0530 – hirunews.lk/sinhala)

මේ මස ආරම්භයේ දී මෙරට රන් වෙළඳපොලේ කැරට් 24 රන් පවුමක සටහන් වූ මිලට වඩා රුපියල් 39,000 කින් අද (09) වන විට කැරට් 24 රන් පවුමක මිල ගණන් අඩුව තිබෙනවා.

ඒ මෙම මස ආරම්භයේ දී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ කැරට් 24 ක රන් පවුමක මිල ලෙස සටහන් වූ රුපියල් 184,000 කට සාපේක්ෂව අද (09) කැරට් 24 ක රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 145,000 ක් ලෙසයි.

මේ අතර මේ මස මුල දී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක මිල ලෙස සටහන් වූ 170,000 ට සාපේක්ෂව අද (09) පැවතියේ රුපියල් 134,000 ක මිලක් ෴

++++++

සුඛෝපභෝගී වාහනවල මිල ඉහළ යාමක්

(09.03.2023 – 13:26 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල උච්ඡාවචනය වීම හේතුවෙන් සුඛෝපභෝගී වාහනවල මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ කියා සිටියේ, පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් වාහන මිල දී ගැනීම ද පහත ගොස් ඇති බව යි ෴


උපයන විට අය කරන බද්ද ගැන අධිකරණයෙන් නියෝගයක්

(09.03.2023 – 16:18 +0530 – hirunews.lk/sinhala)

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා විනිසුරු සංගම් දෙකක් (2) විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම් විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස ඉදිරිපත් වී ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 16 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (09) නිවේදනය කර තිබෙනවා.

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් දැනටමත් පනවා තිබෙන තහනම් නියෝගය ද ලබන 16 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙසත් අභියාචනාධිකරණය මෙහිදී වැඩිදුරටත් නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ලබා දුන්නා.

අදාළ පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සම් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමයේ සහ ශ්‍රී ලංකා මහාධිකරණය විනිසුරුවරුන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් විසින් විරෝධය පළ කරනු ලැබුවා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම පෙත්සම් සලකා බැලීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස පෙත්සම්කාර විනිසුරු සංගම් විසින් කර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 16 වැනිදා ප්‍රකාශයට පත් කරන බවත් නිවේදනය කළා.

මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව සලකා බැලීම සඳහා කඩිනම් දිනයක් නියම කරන මෙන් ඉල්ලීමක් කළා.

එම ඉල්ලීමට විනිසුරු සංගම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විරෝධය පළකර සිටියා.

මෙහිදී අභියාචනාධිකරණය සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කළේ ලබන 16 වනදා තම අධිකරණයේ නියෝගය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන බවයි.

පෙත්සම්කාර විනිසුරු සංගම් කියා සිටින්නේ විනිසුරුවරු යනු විධායකය නියෝජනය නොකරන ස්වාධීන පිරිසක් බැවින් ඔවුන්ගෙන් අදාළ බද්ද අය කිරීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට බලයක් නොමැති බවයි.

එබැවින් විනිසුරුවරුන්ගේ වැටුප්වලින් අදාළ බද්ද අය කිරීම නීති විරෝධී යැයි තීන්දු කොට එම තීරණය බලරහිත කිරිමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර විනිසුරු සංගම් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා ෴


සමේ ගැටිති වැළඳුණු ගවයින් ගණන 350 දක්වා ඉහළට

(09.03.2023 – 13:14 +0530 – hirunews.lk/sinhala)

සමේ ගැටති රෝගය වැළදුණු උතුරු පළාතේ ගවයින් සහ මීගවයින් සංඛ්‍යාව මේ වන විට 350 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් උතුරු පළාතෙන් වෙනත් පළාත්වලට ගවයින් ප්‍රවාහනය තාවකාලිකව අත්හිටවූ බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සඳහන් කළේ.

කිනිතුල්ලා, මැක්කා සහ මදුරුවන් වැනි සතුන්ගෙන් මෙම වෛරසය පැතිරයන අතර ගවයින්ට තද උණ, සමෙහි ගැටති මතුවීම මෙහි රෝග ලක්ෂණයි.

කෙසේ වෙතත් ගවයින්ගෙන් වෙනත් සතෙකුට හෝ මිනිසුන්ට මෙම වෛරසය ආසාදනය වන්නේ නැහැ.

2020 වසරේදී උතුරු පළාතෙන් මුල්වරට මෙම රෝගය හදුනාගත් අතර ගවමස් හෝ එළකිරි පරිභෝජනය ගැටලුවක් නොවන බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල වැඩිදුරටත් කියා සිටියේ ෴


වාහන තදබදයක් පිළිබඳ කොළඹ රථවාහන පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

(09.03.2023 – 13:40 +0530 – hirunews.lk/sinhala)

මරදාන පොලිස් වසමේ ආර්නෝල්ඩ් රත්නායක මාවතේ ගිණි නිවන හමුදා මූලස්ථානය දෙස සිට සුදුවැල්ල හන්දිය දෙසට ඇති මාර්ගයේ කොටසක් ගිලා බැස තිබෙනවා.

එහි අලුත්වැඩියා කටයුතු කොළඹ මහනගර සභාව විසින් සිදු කරන අතර, ඒ හේතුවෙන් අද (09) අදාළ මාර්ගවල යම් වාහන තදබදයක් ඇති විය හැකි බව කොළඹ රථවාහන පොලිසිය පවසනවා.

මේ හේතුවෙන් ඇති විය හැකි අපහසුතාව මඟ හරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස යි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴


වී අස්වනුවලට සාධාරණ මිලක් ඉල්ලා ප්‍රදේශ රැසක ගොවීන් විරෝධතාවයක

(09.03.2023 – 14:15 +0530 – hirunews.lk/sinhala)

මහ කන්නයේ වී අස්වැන්න නෙළා අවසන් වුවද තවමත් ඊට සාධාරණ මිලක් නොලැබෙන බවට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් මැසිවිලි නගනවා.

ගොවීන් ඉල්ලා සිටින්නේ වී කිලෝවක් සඳහා රුපියල් 140 ක මිලක් වත් ලැබිය යුතු බවයි.

එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවීන් පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පොලොන්නරුව රෝහල හංදියේ සිට හබරණ පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ විරෝධතාවේ නිරත වූයේ සිය වී අස්වනුවලට සාධාරණ මිලක් ඉල්ලමින්.

මේ අතර පොළොන්නරුව කිරිමැටිපිටිය සහ මින්නේරිය දම්සෝපුර ප්‍රදේශවල වී ගොවීන්ද සිය අස්වැන්නට නිසි මිලක් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටිනවා.

අස්වනු නෙලීම ආරම්භ වීමත් සමග වී මිළ ඉතා විශාල ලෙස පහළ බැසීම හේතුවෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින්නේ පෞද්ගලික වී මෝල් හිමියන් වී කිලෝවක් රුපියල් 70 ක් 80 ක් වැනි ඉතා අඩු මිළකට මිළදී ගැනීම හමුවේයි.

අස්වනු නෙලීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබූ පසුබිමක තමන් මේ වනවිට දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි ගොවීන් පවසන්නේ.

තවද කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන මගින් අනුරාධපුර, මොණරාගල, බදුල්ල යන දිස්ත්‍රික්කවල බඩ ඉරිඟු ගොවීන් පන්දහසක් (5000) සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 418 ක් වටිනා කෘෂි උපකරණ ලබා දීම කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුකෙරුණා.

මේ අතර පොහොර හා ඉන්ධන මිල ඉහළ යාම, සේවක වැටුප් ඉහළ යාම වැනි හේතුන් මත ප්‍රදේශ කිහිපයක අන්නාසි වගාකරුවන් දුෂ්කරතාවට පත්ව සිටිනවා.

ඔවුන් පවසන්නේ අන්නාසි වගාකිරීමට වැයවන පිරිවැය ඉහළ ගොස් තිබුණද සිය අස්වනු සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

මේ හේතුවෙන් බොහෝ පිරිසක් මේ වනවිට අන්නාසි වගාවෙන් ඉවත්ව සිටිනවා.

+


තොරතුරු තාක්ෂණ අංශයේ 63 දෙනෙකු අගයමින් සම්මාන

(09.03.2023 – 15:01 +0530 – hirunews.lk/sinhala)

2030 වසරවන විට මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ ශක්තිමත් සංධිස්ථානයක් ඇතිකිරීම සඳහා සැළසුම් සකස්කරමින් සිටින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරන ඊ-ස්වාභිමානි සම්මාන ප්‍රදානෝත්සවයට ඊයේ (08) එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

2020, 2021 වසරවලට අදාළව අංශ 10 ක් ඔස්සේ නව යෙදවුම් නිර්මාණය කළ තොරතුරු තාක්ෂණ අංශයේ පුද්ගලයින් 63 දෙනෙකුට මෙහිදී සම්මාන ප්‍රදානය කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *