සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතු අඩාලයි

සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතු අඩාලයි


සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතු අඩාලයි

(08.03.2023 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ඉහළ යන ජීවන වියදමට සරිලන දීමනාවක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් දියත් කර ඇති වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

අද (08) උදෑසන 8 ට මෙම එක්දින වර්ජනය ආරම්භ කළ අතර, අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය, රසායනාගාර, ඖෂධවේදීන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට අයත් සේවකයින් වර්ජනයට එක්ව සිටිනවා.

මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි කටයුතු ද අඩාල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත්, අද (08) වර්ජනයට සහය නොදක්වන නමුත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි අද (08) උදෑසන කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ කියා සිටියේ.

+


පිංකෑල්ල ප්‍රදේශයේ දී මිය ගිය දැරිය සම්බන්ධයෙන් ඇගේ මව සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

(08.03.2023 – 13:13 +0530 – hirunews.lk/sinhala)

පානදුර – හිරණ – පිංකෑල්ල ප්‍රදේශයේ අවුරුදු 6 ක ගොලු දැරියක් නිවසක් තුළ සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධියට ඇයගේ මව සහ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (07) දහවල් එම දැරියගේ සිරුර නිවසේ තිබිය දී පොලීසිය සොයා ගනු ලැබුවේ ලද තොරතුරකට අනුවයි.

දැරිය මියයන විට මව සහ අනියම් සැමියා නිවසේ පදිංචිව සිට ඇති අතර, දැරිය දින කිහිපයක සිට අසනීප තත්ත්වයෙන් සිට ඇති බව සඳහන්.

දැරියගේ සිරුරෙහි ඉදිමීම් සහ තැලීම් දක්නට ලැබෙන අතර, මව සහ ඇගේ අනියම් සැමියා පහරදීම් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගත් දැරියගේ මව 25 හැවිරිදි වියේ පසුවන අතර, ඇගේ අනියම් පුරුෂයා 29 හැවිරිදි වියේ පසුවන බවයි පොලීසිය සඳහන් කළේ ෴


වරප්‍රසාද කඩ වීම ගැන රෝහිණී කවිරත්නගෙන් ප්‍රකාශයක්

(08.03.2023 – 13:39 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්නගේ වරප්‍රසාද ප්‍රශ්නය පිළිබඳ අදත් (08) පාර්ලිමේන්තුවේ දී අදහස් පළ වුණා.

මන්ත්‍රීවරිය ඒ බව සිහිපත් කළේ, ‘කාන්තා දිනය’ දවසේ එවැන්නක් ගැන සාකච්ඡා කිරීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද පවසමින්.

+


විසඳුම IMF නො වේ – උදය ගම්මන්පිල

(08.03.2023 – 13:41 +0530 – hirunews.lk/sinhala)

IMF ණය ආධාර ලබා ගැනීම මගින් ආණ්ඩුව උත්සාහ කරන්නේ, තවත් වසර 05 කින් රට මීට වඩා ණය උගුලකට පත් කිරීමට බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල චෝදනා කරනවා.

නිදහස් ජනතා සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනු යි ඔහු මේ බව සඳහන් කළේ.

+


කොළඹ සරසවි සිසුන්ගේ විරෝධතා පාගමනකට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

(08.03.2023 – 13:50 +0530 – hirunews.lk/sinhala)

කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද (08) දහවල් ආරම්භ කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීම පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

විරෝධතාකරුවන් තුම්මුල්ල මංසන්ධියේ සිට පාගමනින් පැමිණෙමින් සිටිය දී කොළඹ ජාතික කෞතුකාගාරය ආසන්නයේ දී ඔවුන් විසුරුවා හැරීම මෙලෙස කටයුතු කෙරුණු බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (07) දියත් කළ විරෝධතා පාගමනට කොළඹ විශ්වවිද්‍යාලය ආසන්නයේ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කිරීමට විරෝධය පළ කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එම විරෝධතා පාගමනක සංවිධානය කර තිබුණා.

විරෝධතා පාගමන හේතුවෙන් තර්ස්ටන් විද්‍යාලය ඉදිරිපිටින් දිවෙන මාර්ගයේ රථ වාහන තදබදයක් ද හට ගත්තා ෴

+

+

+

+

+

+

කොළඹ සරසවියේ ආරක්ෂක නිලධාරියා මිය ගියේ කඳුළු ගෑස් නිසා ද?

(08.03.2023 – 16:53 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (07) සංවිධානය කොට තිබූ විරෝධතාවක් විසිරුවා හැරීමට පොලීසිය විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාරයට නිරාවරණය වූ එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක් මිය ගිය බවට වන පුවතක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

විරෝධතාව විසිරුවා හැරීම සඳහා පොලිසිය සහ කැරලි මර්ධන ඒකකය විසින් අදාල කඳුලු ගෑස් ප්‍රහාරය එල්ල කරන ලද අවස්ථාවේ දී පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ පිවිසුම් දොරටුවේ රාජකාරි කටයුතුවල නිරතව සිටි ආරක්ෂක නිනිලධාරියෙක් මෙලෙස මිය ගොස් ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

කඳුළු ගෑස් ප්‍රහාරයට නිරාවර්ණය වූ අදාල තැනැත්තා ඒ අවස්ථාවේ දී එහි වූ වැසිකිලියට පිවිසි බවත්, ඔහුට වතුර ලබා දීමට අන් අය උත්සහ කළත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කළ බවත්, කෙසේ නමුත් ඔහු එම වැසිකිලිය තුළ ම මිය ගොස් සිටි බවත්, එම විශ්වවිද්‍යාලයේ ම කථිකාචාර්‍යවරියක් සඳහන් කළ බවට වන ප්‍රකාශයක් ද එම සමාජ මාධ්‍ය වාර්තා දැක්වෙනවා.

මිය ගොස් ඇති තැනැත්තා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි ව සිටි මැදි විය නොයික්ම වූ අයෙක් බවයි එම වාර්තාවල වැඩි දුරටත් දැක්වෙන්නේ.

කෙසේ නමුත් අදාල තැනැත්තා මිය ගියේ කඳුළු ගෑස් ප්‍රහාරයට නිරාවරණය වීමෙන් ඇති වූ සංකූලතාවක් හේතුවෙන් දැයි තවමත් නිල වශයෙන් තහවුරු වී නැහැ ෴

+


පාන් මිල අඩු කෙරේ

(08.03.2023 – 14:00 +0530 – hirunews.lk/sinhala)

තිරිඟු පිටි ආනයනය කරනු ලබන සමාගම් දෙක (2) පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 15 කින් අඩු කිරීමත් සමග බේකරි හිමියන් පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් පහත දමා තිබෙනවා.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන කියා සිටියේ අද (08) මධ්‍යම රාත්‍රියේ සිට නව මිල ගණන් ක්‍රියාත්මක බවයි.

තිරිඟු පිටි ආනයනය කරනු ලබන සමාගම් පිටි මිල පහත දමනු ලැබුවේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම ශක්තිමත් වීම හේතුවෙන්.

ඒ අනුව, මේ වනවිට වෙළඳපලේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 දක්වා පහත වැටී තිබෙනවා.

මේ හේතුවෙනුයි ග්‍රෑම් 450 ක් බරැති පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කර ඇත්තේ.

ඒ අනුව, ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක්, රුපියල් 150 ත් 170 ත් අතර මිලකට අලෙවි කළ යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළා.

මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම නිසා ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල සියයට 10 කින් පමණ පහත වැටී ඇති බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ.

ඒ අනුව, සීනි, පරිප්පු, ළුෑණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 30 කින් පමණ පහත වැටී ඇති බවයි ඔහු කියා සිටියේ ෴


ඉන්ධන QR කේතයේ වෙනසක්

(08.03.2023 – 15:21 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඉන්ධන අවසරපත්‍ර QR කෝටාව අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම අඟහරුවාදා දිනකම මධ්‍යම රාත්‍රියේ දී සතිපතා යාවත්කාලීන වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඒ අනුව අද (08) උදෑසන ද සියළු ගිණුම් යාවත්කාලීන වී ඇති බවයි වාර්තා වෙන්නේ.

තවද අමාත්‍යවරයා පවසන්නේ, ඉන්ධන කෝටාව නොවෙනස්ව පවතිනු ඇති බවයි.

මෙලෙස ඉන්ධන කෝටාව යාවත් කාලීන කිරීමේ දින වෙනස් කිරීමට හේතු වූයේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්තාවේ සහ ඛනිජ තෙල් තොග පර්‍යන්තයේ මෙහෙයුම් වියදම අවම කිරීමට බව කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන්.

මෙම නව වෙනස් කිරීමත් සමග අදාල ආයතන දෙකෙහිම (2) සති අන්තයේ මෙහෙයුම් කටයුතු අඩු කර ගැනීමට සැලසුම් කර ඇති බවත් එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් ෴


රුපියල් 200 ක් අල්ලස් ගත් අයෙක් අත්අඩංගුවට

(08.03.2023 – 17:20 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 200 අල්ලස් මුදලක් ලබා ගත් කල්මුණේ බස් නැවතුම්පොළේ ස්ථාන භාර නිළධාරියා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්මුණේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයක ධාවන සටහන් පත්‍රය අත්සන් කර බාධාවකින් තොරව බස් රථය ධාවනය කිරිමට අවශ්‍ය කටයුතු සලසාදීම සඳහායි ඔහු විසින් සැම දිනකම රුපියල් 200 අල්ලස් මුදලක් ලබාගෙන ඇත්තේ ෴


කැලණියේදීත් සරසවි සිසුන්ට කඳුළු ගෑස්

(08.03.2023 – 21:51 +0530 – hirunews.lk/sinhala)

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පැවැත් වූ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

අත්අඩංගුවේ පසුවන කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂන නිදහස් කරන ලෙසට ඉල්ලායි විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණේ ෴

+

+


ගැට කපන්නෙකුගේ පිහි පහරින් තරුණයෙකුට බරපතළ තුවාල

(08.03.2023 – 22:29 +0530 – sinhala.adaderana.lk)

පෞද්ගලික මගී බස් රථයකදී ගැට කපන්නෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් බරපතළ තුවාළ ලැබූ තරුණයෙකු රෝහල්ගතකර තිබේ.

අදාළ සිදුවීම වාර්තා වන්නේ පිළියන්දල ප්‍රදේශයෙනි.

පිළියන්දල සිට කහපොල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයේ ගමන්ගත් ගැට කපන්නන් දෙදෙනෙකු (2) කොටගෙදර ආසන්නයේදී මගියෙකුගේ ගේ මුදල් පසුම්බිය සොරා ගැනීමට උත්සාහ කිරීමේදී එය දුටු කොන්දොස්තරවරයා ඊට විරෝධය දක්වා ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එක් ගැට කපන්නෙකු විසින් සඟවාගෙන සිටි පිහියකින් කොන්දොස්තරවරයාට පහරදීමට උත්සාහ කර ඇති බවය.

එහිදී ඔහුගේ සහායට ඉදිරිපත් වූ තරුණයෙකු එම ප්‍රහාරයට ලක්ව ඇත.

බරපතළ තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

මෙහිදී කෝපයට පත් බස් රථයේ සිටි සෙසු මගීන් විසින් ගැට කපන්නන් දෙදෙනාට (2) පහරදී ඇති අතර එක් අයෙකු ඔවුන්ගෙන් මිදී පලාගොස් ඇති අතර අනෙක් සැකකරු අල්ලා පොලීසිය වෙත භාරදී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති අතර පිළියන්දල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *