සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් හෙට (08) වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් හෙට (08) වර්ජනයේ


සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් හෙට (08) වර්ජනයේ

(07.03.2023 – 19:59 +0530 – hirunews.lk/sinhala)

ඉහළ යන ජීවන වියදමට සරිලන දීමනා ලබා නොදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිය සමිති කිහිපයක් හෙට (08) එක්දින වැඩ වර්ජනයක් දියත් කිරීමට සැළසුම් කර තිබෙනවා.

පෙරවරු අටට (08:00) ආරම්භ වන මෙම වර්ජනය හේතුවෙන් රෝහල්වල බාහිර ප්‍රතිකාර, සායනික, රසායනාගාර කටයුතු ඇතුලු අනෙකුත් සේවාවන්ට බලපෑම් එල්ලවිය හැකි බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා, අදාළ වෘත්තිය සමිති සමඟ අද (07) සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

එහිදී සාධනීය පිළිතුරක් නොලැබුණු බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න කියා සිටියේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු වෘත්තිය සමිති 40 ක් නියෝජනය කරමින් සැදුම්ලත් වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුවද අද (07) එම ශ්‍රවණාගාරයේදී රැස්වී තීරණය කළේ අනිද්දා (09) සිට වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමටයි.

මේ අතර ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අද (07) ප්‍රවෘත්ති සාකච්ඡාවක පවත්වනු ලැබුවා.

සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව තීරණය කරන දිනයකදී දැවැන්ත වැඩවර්ජනයක් පැවැත්වීමට එහිදී තීරණය කර තිබෙනවා.

+


ඉතාලියේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින්ට අවස්ථාව

(07.03.2023 – 21:55 +0530 – hirunews.lk/sinhala)

ඉතාලි රාජ්‍යයේ රැකියා සඳහා යුරෝපීය නොවන රටවලින් සේවකයින් බඳවා ගැනීමට 2023 මාර්තු 27 වන දින සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීමට එරට රජය විසින් කටයුතු සූදානම් කර ඇති බව ඉතාලියේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු දැනුම් දී තිබෙනවා.

ඒ අනුව කාලීන රැකියා (Seasonal Workers), කාලීන නොවන රැකියා (Non-Seasonal Workers) හා ස්වයං රැකියා (Self Employed) යන කාණ්ඩ ත්‍රිත්වය ඔස්සේ ට්‍රක් රථ රියදුරන්, ඉදිකිරීම් ක්ෂේත්‍රය, හෝටල් ක්ෂේත්‍රය, යාන්ත්‍රික හා විදුලි කාර්මික, විදුලි සංදේශ, ආහාර කර්මාන්තය, නාවික ක්ෂේත්‍රය, සංචාරක හා කෘෂි වගා ආදී ක්ෂේත්‍රවල රැකියා සඳහා සුදුසුකම් ඇති පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

මෙම වැඩසටහන යටතේ රැකියා අවස්ථා 82,702 ක්, ශ්‍රි ලංකාව ඇතුළු බංගලාදේශය, කොරියානු ජනරජය, ඊජිප්තුව, පිලිපීනය, ජපානය, ඉන්දියාව, කොසොවෝ, නයිජීරියාව, පාකිස්ථානය, යුක්රේනය හා යුරෝපා නොවන කාණ්ඩයේ තවත් රටවල් කිහිපයකට හිමි වී තිබෙනවා.

ඉන් රැකියා අවස්ථා 38,705 ක් හිමිවන්නේ ස්වයං රැකියා හා කාලීන නොවන රැකියා අවස්ථා (Non- seasonal) සඳහා වන අතර ඉතිරි රැකියා අවස්ථාවන් 44,000 කාලීන රැකියා (seasonal) යටතේ හිමි වෙනු ඇති.

ඒ අනුව 2023 මාර්තු මස 27 දින පෙරවරු 09:00 සිට
https://www.anpal.gov.it/assumere-lavoratori-non-comunitari-anno-2023
යන වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම රැකියා සඳහා අයදුම් කළ හැකියි.

මේ පිළිබඳ වැඩි විස්තර, ඉතාලි රජයේ පහත සඳහන් වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබාගත හැකියි.

http://www.gazzettaufficiale.it/eli/id/2023/01/26/23A00232/sg

මෙම රැකියා අවස්ථා සඳහා අයදුම්කරුවන්ට පෞද්ගලිකවම අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි අතර, මේ වැඩසටහනට අනුව ඉතාලියේ රැකියා ලබාගැනීම සඳහා කිසිවෙකුට මුදල් ලබා නොදෙන ලෙසත්, තමාගේ පෞද්ගලික මැදිහත්වීම මත මෙම රැකියා අවස්ථාව උදාකර ගන්නා ලෙසත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ සඳහා උනන්දු අයවලුන්ගෙන් ඉල්ලා සිටිනවා ෴


පොලිසිය සමඟ ගැටුම් ඇති කර ගත් හත් දෙනා රක්ෂිත බන්ධනාගාරයට

(08.03.2023 – 08:39 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට – වීරකැටිය – අත්තනයාය ප්‍රදේශයේදී පොලිසිය සමඟ ඇතිවූ ගැටුමකදී අත්අඩංගුවට ගත් එකම පවුලේ හත්දෙනා (7) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඊයේ (07) මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මව, පියා, පුතුන් සිව්දෙනා (4) සහ දියණියයි.

වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පියා සහ පුතුන් සිව්දෙනා (4) ඉදිරිපත් කළ අතර, තුවාල ලබා ප්‍රතිකාර ලබන මව සහ දියණිය අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ.

වැටලීමකට ගොස් යළි එමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් මහමග සිටි මෙම පිරිස පරීක්ෂා කිරීමේදී බහින්බස්වීමක් දුරදිගයාමෙන් පෙරේදා (06) අදාළ පහරදීම සිදු කර තිබුණා.

එහිදී තුවාලැබූ වීරකැටිය පොලිසියේ නිලධාරීන් 6 දෙනෙකු, සිවිල් ආරක්ෂක භටයින් දෙදෙනෙකු (2) ද රෝහල් ගත කිරීමටයි පියවර ගැනුණේ.

එක් පොලිස් නිලධාරියෙකුගේ කන් දෙකම (2) සපා කා ඇති අතර, ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා ෴


15 වැනි දා මහා වැඩ වැරුමක්

(08.03.2023 – 08:46 +0530 – hirunews.lk/sinhala)

ඉහළ යන ජීවන වියදමට සරිලන දීමනා ලබා නොදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිය සමිති කිහිපයක් අද (08) පෙරවරු අටේ (08:00) සිට එක්දින (1) සංකේත වර්ජනයක් ආරම්භ කරනවා.

ඒ හේතුවෙන් රෝහල්වල බාහිර ප්‍රතිකාර, සායනික, රසායනාගාර කටයුතු ඇතුලු අනෙකුත් සේවාවන්ට බලපෑම් එල්ලවිය හැකි බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා, අදාළ වෘත්තිය සමිති සමඟ ඊයේ (07) සාකච්ඡාවක් පැවති අතර, එහිදී ගැටළුවලට සාධනීය පිළිතුරක් නොලැබුණු බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් එම වර්ජනයට වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් එක්වන්නේ නැහැ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු වෘත්තිය සමිති 40 ක් නියෝජනය කරමින් සැදුම්ලත් වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව ඊයේ (07) රැස්වී තීරණය කළේ හෙට (09) සිට වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමටයි.

මේ අතර බදු ඉහළ නැංවීම, ජීවන වියදම ඉහළ යාම ඇතුලු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් වෘත්තිය සමිති රැසක් අද (08) දිනයේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ප්‍රකාශ කළා.

කොළඹදී ඊයේ (07) එම වෘත්තිය සමිති අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කමිටු සාමාජික වසන්ත සමරසිංහ කියා සිටියේ එළඹෙන 15 වනදා වනවිට වර්ජන ක්‍රියාමාර්ග දැඩි කරන බවයි ෴


පළා යාමට උත්සාහ කළ රැඳවියකුට වෙඩි

(08.03.2023 – 08:58 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියෙකු ඉන් මිදී පළායාමට උත්සහ කළ අවස්ථාවේ දී බන්ධානාගාර නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ අද (08) අළුයම මෙම රැදවියා රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පළායාමට උත්සහ කර ඇති බවයි.

අවුරුදු 33 ක් වයසැති මොහු ඉඹුල්ගොඩවත්ත මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩි වැදී තුවාල ලබා සිටි මෙම පුද්ගලයා බන්ධනාගාරයට නුදුරින් පිහිටි නගර සභා ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි ඉඩමක වැටී සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

+


සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන 18 වැනිදා

(08.03.2023 – 09:33 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය එළඹෙන 18 වැනිදා පෙරවරු 09:00 සිට පස්වරු 12:10 දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,269 ක දී පැවැත්වෙනවා.

ඒ, 2019 සිට 2022 වසරවලට අදාළවයි.

මෙම විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර හා පාසල් පැමිණීමේ ලේඛන තැපැල් මගින් එවනු නොලබන අතර රජයේ පාසල් සහ පෞද්ගලික පාසැල් විදුහල්පතිවරුන් හරහා අදාළ බාගත කිරීම කරගත යුතුයි. ( https://www.doenets.lk/ )

අපේක්ෂකයින්ගේ නම්, මාධ්‍ය, ජාතික හැදුනුම්පත් අංක සහ ස්ත්‍රී – පුරුෂ සංශෝධන තිබේ නම් එම වෙබ් අඩවිය තුළින්ම සිදු කර ගත හැකි අතර එම සංශෝධන මේ මස 12 වැනි දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා ෴


තැපැල් ඡන්ද විමසීම ලබන 28 වැනිදා ඇරඹේ

(08.03.2023 – 09:58 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීම ලබන 28 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර දීම ලබන 21 වැනිදා සිදුකරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ.

පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් විසින් නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර, රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කළේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස ඉල්ලා අද (08) දිනයේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකරන බවයි.

මුද්‍රණ කටයුතු සඳහා මිලියන 400 කට අධික මුදලක් ඇස්තමේන්තු කර තිබූ නමුත්, නව ඇස්තමේන්තුවට අනුව එම අගය මිලියන 600 ඉක්මවා ඇති බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා.

මුදල් අමාත්‍යාශයේ ප්‍රතිචාරය මත ඡන්ද පත්‍රිකා මුද්‍රණය යළි ආරම්භ කරන බවයි ඇය කියා සිටියේ.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තේරීම්භාර නිලධාරින් අනිද්දා (10) දිනයේ මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබෙනවා.

එහිදී මීට පෙර මැතිවරණයට අදාළ කටයුතු අත්හිටුවූ දිනයේ සිට යළි කටයුතු ආරම්භ කිරීම පිලිබඳව උපදෙස් ලබාදීමට නියමිත බවයි එම කොමිසම සඳහන් කළේ ෴


‘හරක් කටා’ අත් අඩංගුවට ගත් බව සීෂෙල්ස් මහ කොමසාරිස් කාර්‍යාලයය විදේශ අමාත්‍යාංශයට දැනුම් දෙයි

(08.03.2023 – 10:35 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු මැඩගස්කරයේ ඉවාටෝ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව සීෂෙල්ස් – වික්ටෝරියා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

‘හරක් කටා’ සහ ‘සළිඳු’ ඇතුළු 8 දෙනෙක් අත් අඩංගුවට ගැනුණු බව ජාත්‍යන්තර මාධ්‍යය විසින් වාර්තා කර තිබුණේ, පෙරේ දා (06) දිනයේ යි.

ඔවුන් පෞද්ගලික ජෙට් යානයකින් මැඩකස්කර් ගුවන් තොටුපොළට පැමිණ සිට නැවත පිට ව යාමට සූදානම් වූ අවස්ථාවේ දී යි අත් අඩංගුවට ගැනුණේ.

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටි හරක් කටා සතු ව, අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී රුපියල් මිලියන 32 ක් තිබුණු බව සඳහන් ෴


ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 4.5% කින් වැඩි වෙයි

(08.03.2023 – 10:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 4.5% කින් වැඩි වී තිබෙනවා.

ඒ අනුව, 2023 ජනවාරි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 2,121 වූ ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් මෙම වසරේ පෙබරවාරි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 2,217 දක්වා වැඩි වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙයට චීන මහජන බැංකුවේ ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක හුවමාරු පහසුකම ද ඇතුළත් වෙයි ෴


ඩොලරයට සාපේක්ෂ ව රුපියල සක්‍රීය වෙයි

(08.03.2023 – 11:41 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව ගෝලීය වශයෙන් ක්‍රියාකාරී ම මුදල් ඒකකය රුපියල බව ‘බ්ලූම්බර්ග්’ වාර්තා කරනවා.

රුපියල මේ වන විට දැවැන්ත ආර්ථික අර්බුද තත්ත්වයෙන් මිදෙමින් පවතින බව යි සඳහන් වන්නේ.

මේ අතර, 30% ක භාණ්ඩාගාර අනුපාතයක් සමඟින් ඇමරිකානු ඩොලරයට එරෙහි ව ඉතා සක්‍රීය ලෙස රුපියල හැසිරෙන බවත් එහි සඳහන්.

එමෙන්ම මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 313.77 ක් ලෙස දැක්වුණු අතර, විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 331 ක් ලෙසයි.

තවද, ඊයේ (07) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.30 ක් ලෙස දැක්වුණු අතර, විකුණුම් මිල රුපියල් 335.75 ක් ලෙස සටහන් වුණා ෴


ඝාතන සිද්ධියකට 5 දෙනෙකුට මරණ දඩුවම

(08.03.2023 – 12:54 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල පළාත්බද මහාධිකරණය විසින් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් චූදිතයින් 5 දෙනෙකුට අද (08) මරණ දඩුවම නියම කර තිබෙනවා.

ඒ, කෑගල්ල – දේවාලගම – කහගල්ල ප්‍රදේශයේ නිවසක මීට වසර 9 කට පමණ පෙර පැවති සාදයක් අතරතුර දී සිමෙන්ති ගලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *