වී කිලෝවකට රුපියල් 120-130 ක්වත් දෙන්න – ගොවීන්ගෙන් මැසිවිලි

වී කිලෝවකට රුපියල් 120-130 ක්වත් දෙන්න – ගොවීන්ගෙන් මැසිවිලි


වී කිලෝවකට රුපියල් 120-130 ක්වත් දෙන්න – ගොවීන්ගෙන් මැසිවිලි

(06.03.2023 – 13:39 +0530 – hirunews.lk/sinhala)

වී කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් 120 ත් 130 ත් අතර මිලක් රජය විසින් ලබා දිය යුතු බවට ගොවීන් ඉල්ලා සිටිනවා.

ඔවුන් පවසන්නේ රජය විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇති රුපියල් 100 ක සහතික මිල හෝ තමන්ට නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇති
බවයි.

මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීමේ කටයුතු මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ආරම්භ වී තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික්කයේ ද එම කටයුතු ක්‍රියාත්මක අතර, ගොවීන් චෝදනා කරන්නේ සිය අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබෙන බවයි.

ඒ හේතුවෙන් වී වගාව සඳහා දැරූ වියදම පවා පියවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

රජය ප්‍රකාශයට පත්කළ සහතික මිලවත් අස්වනු සඳහා නොලැබීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව ද ගොවීන් පවසනවා.

+


+


ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයෙන් පොලිසියට චෝදනාවක්

(06.03.2023 – 13:36 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර දී ගුරු මාරුවට පැමිණි ගුරුවරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රකාශ ලබාගැනීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය පවසනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ පිරිසක් පසුගිය 23 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළු වී උද්ඝෝෂණයක් නිරතවුණා.

එම අවස්ථාවේදියි මෙලෙස ගුරු මාරුවක් සඳහා අමාත්‍යාංශයට පැමිණ සිටි ගුරුවරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබුණේ.

ඔවුන් දෙදෙනා (2) ඇප මත මුදාහැර ඇති අතර, තවදුරටත් නිවෙස්වලට ගොස් විවිධ ප්‍රකාශ ලබාගනිමින් සිටින බවටයි රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ෴


ඔයට ඇලවුණු ලෑලි පාලමෙන් එගොඩ වන ජීවිත

(06.03.2023 – 13:40 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම ප්‍රමුඛතාව දිය යුතු කාර්යයක් වන්නේ එය ග්‍රාමීය ජන ජීවිතයට අත්‍යවශ්‍යම අංගයක් වීම හේතුවෙන්.

නමුත් එය එලෙස සිදු නොවීම හේතුවෙන් ජනතාවට මාරයා සමග ගමන් කිරිමට සිදුව ඇති පාලමක් පිළිබඳව ඌව පරණගමින් වාර්තා වනවා.

යටත් විජිත සමයේදී වැලිමඩ හා ඌව පරණගම මැතිවරණ කොට්ඨාසය යා කරමින් උමා ඔය හරහා ඉදිකර ඇති අත්වැල් පාලමේ වත්මන් තත්ත්වයි මේ..

සිය දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට යන ජනතාව මෙන්ම ප්‍ර දේශයේ පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක්ද දෛනිකව මෙම පාලම මතින් ගමන් කරනවා.

උමා ඔයට අඩි සියයකට (100) වඩා ඉහළින් ඉදිකර තිබෙන මෙම පාලම යකඩ කේබල් ආධාරයෙන් ඉදිකර තිබුනත්, ඒවා කිහිපයක්ම දිරා යාම හේතුවෙන් පාලම එක් පැත්තකට ඇලවී ඇති ආකාරය දැකිය හැකියි.

මෙහි අතුරා ඇති ලෑලි ද දිරා පත්ව අත්තේ ඒ මතින් යන ජනතාව දැඩි අවදානමකට හෙලමින්.

පවතින තත්ත්වය හමුවේ ජනතාව ඉල්ලා සිටින්නේ, ජීවිත අනතුරක් සිදුවීමට පෙර කඩිනමින් මෙම පාලම පිළිසකර කර දෙන ලෙසයි.

+


මැටි නිෂ්පාදන අනතුරේ – කර්මාන්තකරුවන්ගෙන් මැසිවිලි

(06.03.2023 – 13:42 +0530 – hirunews.lk/sinhala)

මෙරට සාම්ප්‍රදායික කර්මාන්තවලට බලධාරීන්ගේ වැඩි අවධානය යොමුවීමේ අවශ්‍යතාව පවතින්නේ, එය මෙරට ආර්ථික ක්‍රියාවලියට මෙන්ම රැකියා රක්ෂා ප්‍රශ්නයට පිළියම් සොයාදෙන බැවින්.

නමුත් එම අවශ්‍යතාව ඉටුනොවිම හේතුවෙන් පීඩාවට පත්වූ දේශිය කර්මාන්තකරුවන් පිරිසක් පිළිබඳව අපට වාර්තා වුණේ මිහින්තලේ ප්‍රදේශයෙන්.

මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කටුපොත හා ඇලප්පන්කුලම යන ගම්මානවල ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ මැටි ආශ්‍රිත කර්මාන්තයයි.

දශක ගණනාවක් තිස්සේ මොවුන් මැටි කර්මාන්තයේ නියැළුනත්, සිය නිෂ්පාදනවලට නිසි වෙළෙඳ පොළක් නොමැති වීම ඇතුළු හේතු මත කර්මාන්තය කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳව කෙතරම් දැනුවත් කළත් බලධාරීන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු වී නැති බවටයි කර්මාන්තකරුවන් චෝදනා කරන්නේ.

කර්මාන්තය කරගෙන යාමට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟය මෙන්ම, මෙම මැටි ආශ්‍රිත නිෂ්පාදනවලට ආදේශක භාණ්ඩ විදෙස්වලින් ආනයනය කිරිමද මැටි කර්මාන්තයේ පහළ බැසීමට හේතු වී තිබෙනවා.

මේ හේතුවෙන් සිය නිෂ්පාදනවලට නිසි මිලක් නියමකර ගැනීමට නොහැකි වාතාවරණයක් මතුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

සාමාන්‍යයෙන් මෙම නිෂ්පාදන රටේ වෙනත් ප්‍රදේශවලට රැගෙන ගොස් අලෙවි කිරීමට මොවුන් පියවර ගත්තත්, ඉන්ධන මිල ඉහළ යාම සහ නිෂ්පාදන වියදම ඉහළ යාම හමුවේ මෙම භාණ්ඩ ද වැඩි මිලට අලෙවි කිරීමට සිදුවීම ඇතුළු කරුණු හේතුවෙන් එය දැඩි ගැටලුවක් වී තිබෙනවා.

+


ඖෂධ මාෆියාව ගැන හෙළිදරව්වක්

(06.03.2023 – 13:48 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ ආනයනය කිරීමේ දී මාෆියාවක් ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණ කරනවා.

එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

+


සරත් ඒකනායක නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් ධුරයට

(06.03.2023 – 14:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පත්කර තිබෙනවා.

මෙම පත්වීම සිදුකර ඇත්තේ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්.

නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විදේශ ගතවීම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර ඇති බව සඳහන් ෴

+

+

රට ම දනියි – මං නොදනියි – මහැදුරු ජී.එල්. පීරිස්

(06.03.2023 – 14:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් තමන් ඉවත් කළ බවට මෙතෙක් ලිඛිත දැනුම්දීමක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

ඔහු අද (06) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ එලෙස දැනුම්දීමක් ලැබුණහොත් අවශ්‍ය පියවර ගැනීමට සූදානම් බවයි ෴


අහංගම මුහුදු තීරයට යළිත් කිඹුල් බියක්

(06.03.2023 – 15:26 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – අහංගම මුහුදු තීරයට අද (06) උදෑසන කිඹුලෙකු පැමිණීමත් සමඟ දෙස්, විදෙස් සංචාරකයින් බියට පත්ව තිබෙනවා.

එම අවස්ථාවේ වෙරළ තීරයේ සිටි ප්‍රදේශවාසින් කිඹුලා අල්ලා ගැනීමට උත්සහකළ ද එය ව්‍යවර්ථ වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මීට සති කිහිපයකට පෙරද අහංගම මුහුදු තීරයේ සිටි කිඹුලෙකු ප්‍රදේශවාසින් විසින් අල්ලා වනජීවි දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබුවා ෴


අතුරුදහන් කාන්තාවක් සොයාගන්න පොලිසිය මහජන සහය පතයි

(06.03.2023 – 16:51 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල පොලිස් වසමේ ලෙව්කේ උස්සාපිටිය ප්‍රදේශයේ කාන්තාවක් ජනවාරි 18 වන දින සිට අතුරුදහන් වී ඇති බවට ඇයගේ ඥාතියෙකු විසින් මාවනැල්ල පොලිස් ස්ථානයට කරලද පැමිණිල්ලක් මතය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම කාන්තාව වයස අවුරුදු 28 ක් වන ලෙව්කේ උස්සාපිටිය පෙදෙසේ පදිංචි ‘සවිත්‍රා ගීතාංජලිය ජයරත්න’ යන අය යි.

ඇය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බැවින් කාන්තාව සොයා ගැනීම සඳහා මාවනැල්ල පොලිසිය මහජන සහය පතනවා.

ඇය පිළිබඳව යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දුරකථන අංකයන් :

මාවනැල්ල පොලිසිය : 035 224 7222
ස්ථානාධිපති මාවනැල්ල : 071 859 1418


පිංවත්තේදී ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ඇල්ලූ දෙදෙනා (2) රිමාන්ඩ්

(06.03.2023 – 19:30 +0530 – hirunews.lk/sinhala)

පානදුර – පිංවත්ත, ටි. ඩීමන් සිල්වා මාවතේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළා.

රුපියල් ලක්ෂ 30 ක කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවටයි සැකකරුවන් පොලිසිය හමුවේ පාපොච්ඡාරණය කර ඇත්තේ.

ඊයේ (05) කළුතර අපරාධ දිසාවේ ස්ථානාධිපති තිලංග සංජීව ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අදාළ වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සහ යතුරුපැදියේ ඔහු රැගෙන පැමිණි පුද්ගලයායි. 34 සහ 40 යන වයස්වල පසුවන ඔවුන් ගාල්ල – තෙලිකඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

පසුගිය මස 28 වනදා උදෑසන සිය සුඛෝපභෝගි මෝටර් රථයෙන් ටි. ඩීමන් සිල්වා මාවතේ අලුතෙන් ඉදිකෙරෙන තෙමහල් ගොඩනැගිල්ල වෙත පැමිණෙමින් සිටියදී යතුරුපැදියෙන් පැමිණි මෙම සැකකරුවන් දෙදෙනා (2) වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

කෙසේ වෙතත් ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඝාතනය සැළසුම්කිරීම සඳහා වෙඩික්කරු පසුගිය 21 වනදා ද පිංවත්ත ප්‍රදේශයට පැමිණ ඇති බවයි.

57 හැවිරිදි එක්දරු පියෙකු මෙම ව්‍යාපාරිකයා බිරිඳගෙන් වෙන්වීම සඳහා මහර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද මේ වන විට පවරා තිබෙනවා.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහු කළුතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක ගුරුවරියක් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වමින් සිටියා.

එම කාන්තාව අදාළ ව්‍යාපාරිකයාගේ බිරිඳගේ ඥාතියෙකු වන අතර විවාහයේ දෙවන මනමාලියද වනවා.

ටි. ඩිමන් සිල්වා මාවතේ අලුතෙන් ඉදිකෙරෙන නිවස එම ව්‍යාපාරිකයා විසින් ඉදිකෙරෙමින් ඇත්තේ බිරිඳගෙන් දික්කසාද වීමෙන් පසු අදාළ කාන්තාව සමඟ එහි පදිංචි වීම සඳහායි.

ඒ අනුව දේපළ ලබාගැනීමේ අරමුණෙන් මෙම ඝාතනය සැළසුම්කර ඇති බවට මේ වන විට අනාවරණ වී තිබෙනවා.

ඒ සඳහා රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබාදීමට ඝාතනය සැළසුම්කළ පුද්ගලයින් එකඟතාවය පළකර ඇති අතර පළමුව ඉන් රුපියල් ලක්ෂ 10 ක් ඔවුන් විසින් වෙඩික්කරුට ලබාදී තිබෙනවා.

යතුරුපැදිකරු යුධ හමුදාවේ හිටපු සෙබළෙකු වන බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ. වෙඩික්කරු මීට පෙරද පුද්ගල ඝාතනයන් සඳහා සම්බන්ධ වී ඇත්ද යන්න සෙවීම සඳහා විමර්ශන සිදුකරන බව කළුතර අපරාධ දිසාව සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *