දුම්රිය වාර රැසක් අවලංගුවීමේ අවදානමක්

දුම්රිය වාර රැසක් අවලංගුවීමේ අවදානමක්


දුම්රිය වාර රැසක් අවලංගුවීමේ අවදානමක්

(06.03.2023 – 07:26 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය සේවය පවත්වා ගෙන යාමට අත්‍යාවශ්‍ය වයස අවුරුදු 60 ඉක්මවූවන් වසරක (1) කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙතෙක් අනුමැතිය ලබා නොදීම හේතුවෙන් දුර ගමන් සේවා, ඉන්ධන ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය රැසක් අඩාල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

වයස අවුරුදු 60 ඉක්මවූවන් පසුගිය ජනවාරි පළමු (01) වනදා සිට විශ්‍රාම ගැන්වීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයත් සමඟ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වීම හමුවේ, ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළේ, කොන්ත්‍රාත් පදනම මත වසරක (1) කාලයකට සේවා අවශ්‍යතාව මත වසය අවුරුදු 60 ඉක්මවූවන් යළි සේවයට බඳවා ගන්නා බවයි.

එහෙත් එම තීරණය මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුල වයස අවුරුදු 60 ඉක්මවූ දුම්රිය රියදුරන් 20 කට අධික සංඛ්‍යාවක් සේවය අවසන් කිරීමට කටයුතු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම තත්වය හමුවේ මේ වනවිට අනුරාධපුර, වව්නියාව, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ බදුල්ල යන ගමනානන්ත බලා ධාවනය වන දුර ගමන් සේවා දුම්රිය රැසක් අවලංගු වී ඇති අතර ඉන්ධන ප්‍රවාහන දුම්රිය කිහිපයක්, භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 2 ක් සහ ත්‍රිකුණාමලය බලා ධාවනය වූ තිරිඟු පිටි ප්‍රවාහන දුම්රිය ද අවලංගු වී තිබෙනවා.

මීට ආසන්නතම සිද්ධිය වාර්තා වූයේ කොළඹ කොටුව සහ මඩකලපුව අතර ධාවනය වන ‘උදයදේවී’ ශීඝ්‍රගාමී දුම්රිය පෙරේදා සිට ධාවනය නොවීමයි.

දුම්රිය ඉතිහාසයේ පළමු වරට මෙම දුම්රිය ධාවනය නොවූ අතර රියදුරන් නොමැති වීම හේතුවෙන් අද (06) දිනයේත් එය ධාවන නොවන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

මෙම දුම්රියේ සේවය කළ රියදුරු පසුගියදා විශ්‍රාම යාමෙන් පසුව කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට එක්ව ඇති නමුත් ඉදිරි කාලය සඳහා ඔහුට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් තීරණයක් නොමැතිවීම හේතුවෙනුයි දුම්රිය ධාවන කටයුතු අඩාල වී ඇත්තේ.

දුම්රිය දෙපාර්තමේන්තුව කරනු ලැබූ ඉල්ලීමකට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබුණේ, දුම්රිය සේවාව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වයස අවුරුදු 63 ට අඩු සේවකයින් පමණක් එලෙස කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීමට අවසර ලබාදීම සඳහා සලකා බලන බවයි.

එහෙත් දුර ගමන් සේවා දුම්රිය ධාවනය සිදු කරන වයස අවුරුදු 60 ත් 63 ත් අතර දුම්රිය රියදුරන් සිටින්නේ හතර දෙනෙකු (4) පමණක් වන අතර බහුතරය 60 ත් 65 ත් අතර වයසේ පසුවන්නන් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+

+

+


හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමෙන් මෙහෙයුම් වාර්තාවක්

(06.03.2023 – 07:37 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම මෙහෙයුම් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

දැනට දිනකට ජාත්‍යන්තර මුහුදේ 300 කට වැඩි නෞකා ගමනාගමනයක් සිදුවන අතර, ඊට අවශ්‍ය පහසුකම් මෙම වරායෙන් සපයනු ලබනවා.

හම්බන්තොට වරාය ඉන්දියාව, දකුණු කොරියාව සහ ජපානය වැනි රටවලින් ගෙන්වන වාහන දකුණු අප්‍රිකාව, මෙක්සිකෝව, චිලී යන රටවලට ප්‍රති අපනයනය කරනවා.

මගී නෞකා මෙහෙයවීම, බන්කරින් පහසුකම් සැපයීම, තොග භාණ්ඩ පහසුකම් සැපයීම, දියඹට ගොස් නැංගුරම් ලා තිබෙන නෞකාවලට පහසුකම් සැපයීම ද මෙම වරාය මගින් සිදු කරනු ලබනවා ෴

+


18 වංගුව නිරීක්ෂණයට විශේෂ කණ්ඩායමක්

(06.03.2023 – 08:21 +0530 – hirunews.lk/sinhala)

මාර්ගයට ගල් පෙරළීමෙන් වාහන ධාවනයට බාධා මතුවූ 18 වංගුව ප්‍රදේශය නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක් අද (06) පෙරවරුවේ එම ස්ථානයට ගොස් තිබුණා.

පෙරේදා (04) රාත්‍රියේ වසා දැමුණු මාර්ගයේ එක් මංතීරුවක් වාහන ධාවනයට විවෘත කෙරුණේ ඊයේ (05) පස්වරුවේ සිටයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිලක සඳහන් කළේ මාර්ගය සම්පූර්ණයෙන් විවෘත කිරීම පිළිබඳ නිර්දේශ කඩිනමින් ලබාදෙන බවයි.

වසා දමා ඇති මංතීරුව ඉදිරි දින කිහිපයේදී විවෘත කිරීමට කටයුතු කරන බව මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා ෴


+


+


‘බූරු මූණා’ට සහය දුන් නාවික සෙබළෙකු අත්අඩංගුවට

(06.03.2023 – 10:21 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපල පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගිය අපරාධ කරුවෙකු වන ‘රවිදු වර්ණරංග’ හෙවත් ‘බූරු මූණා’ට සැඟව සිටීමට සහය දුන් නාවික හමුදා සෙබළෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුවරඑළිය ප්‍රදේශයේ සැඟව සිටිය දී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘සී සී ටී වී’ දර්ශන උපයෝගී කරගනිමින්.

35 හැවිරිදි සැකකරු අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු ‘බූරු මූණා’ට මෙරටින් පලායාමට ව්‍යාජ ගමන් බලපත්‍ර සෑදීම සඳහා මුදල් ලබාදී ඇති බවට ද අනාවරණ වී තිබෙනවා ෴

+


මාරාන්තික වසූරිය රෝගයකින් පැය 48 ක් තුළ ගවයින් 67 ක් මරුට

(06.03.2023 – 10:24 +0530 – hirunews.lk/sinhala)

2000 වසරේ දී කිලිනොච්චියේ ප්‍රදේශ කිහිපයක් පුරා පැතිර ගිය මාරාන්තික ‘ගව වසූරිය’ යළිත් වරක් එම පළාත්වල පැතිරයාමේ අවදානමක් පවතින බවත්, එම රෝගයෙන් දින දෙකක් තුළ ගවයින් 67 දෙනෙකු මියගොස් තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, අද (06) පෙරවරුවේ දී මෙම රෝගයෙන් දැනට මියගොස් ඇති නිශ්චිත සංඛ්‍යාව පිළිබඳ කිලිනොච්චිය පශු වෛද්‍ය කාර්යාලය පැවසූ බවයි.

මෙම රෝගී තත්ත්වයෙන් වැඩිම සංඛ්‍යාවක් ගවයින් මියගොස් ඇත්තේ පුනරීන්, කරච්චි,පලෛ, උරුතිරපුම් සහ නිවීල් යන ප්‍රදේශවලයි.

වයසින් බොහෝ සෙයින් අඩු ගවයින් මෙම මාරාන්තික රෝගයට ගොදුරුව ඇති අතර, මියගිය සතුන්ගේ සිරුරුවල විශාල බිබිලි හටගෙන, පසුව උණ වැළඳීමෙන් මරණ සිදුව තිබෙනවා.

2000 වසරේ දී මෙම වසූරිය රෝගයෙන් ගවයින් 3347 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තාවනවා.

මෙම වෛරසයේ රෝග වාහකයින් බවට පත්ව ඇත්තේ මැස්සන්, මදුරුවන් ආදී සතුන් බවත් පශු වෛද්‍ය අංශ හෙළි කරනවා.

මෙතරම් සෞඛ්‍යමය ගැටලුවක් හටගෙන තිබුණ ද රජය විසින් ඊට කිසිදු සොයා බැලීමක් හෝ සිදු කර නොමැති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

අදාළ රෝගයට ලබාදෙන කිසිදු ඖෂධයක් පශු වෛද්‍ය රෝහල්වල ද නොමැති බවයි කිලිනොච්චියේ පශු වෛද්‍ය නිලධාරින් සඳහන් කරන්නේ.

කරච්චි,කල්මුඩ, පෙරියමඩු, රාමනාදපුරම් ආදී ගම්මානවලට ද මෙම රෝගී තත්ත්වය වැළඳෙමින් ඇති බැවින් මේ වනවිට එම ගව පට්ටිවල කිරි දෙවීමේ කටයුතු සම්පූර්ණයෙන් ම නවතා දමා තිබෙනවා.

පසුගිය සමයේ හටගත් අධික සීතල කාලගුණ තත්ත්වය හේතුවෙන් ද කිලිනොච්චියේ ගවයින් 3000 කට ආසන්න සංඛ්‍යාවක් මියැදුණා.

+

උතුරු පළාතේ ගවයින් අතර වැළදී ඇති රෝගී තත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් මෙම තත්වය වැඩි වශයෙන් වාර්තා වන අතර රෝගය හේතුවෙන් ගවයින් 10 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

කිනිතුල්ලන්ගෙන් සහ මැස්සන්ගෙන් මෙම රෝගය ගවයින් වෙත වැඩි වශයෙන් පැතිර යන බව පශු වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

කෑම අරුචිය, උණ සහ ගවයින්ගේ ශරීරයේ ඇතැම් ස්ථානවල ගෙඩි හටගැනීම මෙහි රෝග ලක්ෂණයි ෴


ප්‍රමාද වී පැමිණි ගිනි නිවීම් ඒකකවලට කොටගල දී විරෝධයක්

(06.03.2023 – 11:07 +0530 – hirunews.lk/sinhala)

හැටන් – කොටගල නගරයේ ගෘහභාණ්ඩ අලෙවිසැළක ඇතිවූ ගින්නක් පාලනය කිරීමට නිසි පියවර නොගත් බවට චෝදනා කරමින් අද (06) කොටගල නගරයේ වෙළඳුන් සිය වෙළඳසැල් වසා දමා විරෝධතාවක නිරත වුණා.

ඊයේ (06) රාත්‍රියේ ඇතිවූ මෙම ගින්න පාලනය කිරීමට හැටන් – දික්ඔය නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ පැමිණිය ද එය ප්‍රමාදවූ නිසා වෙළඳසැල විනාශ වූ බවටයි විරෝධතාකරුවන් චෝදනා කළේ ෴

+


මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුලු රාජ්‍ය ආයතන 4 ක් කෝප් කමිටුව හමුවට

(06.03.2023 – 13:08 +0530 – hirunews.lk/sinhala)

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට මෙම සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් කැඳවා තිබෙනවා.

ඒ අනුව හෙට (07) දිනයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් කැඳවා ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම අනිද්දා (08) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ 09 වැනිදා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ද කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

9 වන පාර්ලිමේන්තුවේ 4 වන සභා වාරය විවෘත කිරීමෙන් අනතුරුව පත් කරන ලද කෝප් කමිටුව පළමු වරට පසුගිය සතියේ රැස්වූයේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර හෙට (07) පෙරවරු 09:30 ට පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වන අතර එහිදී මෝටර් වාහන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍ර කිහිපයක නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *