විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්


විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

(05.03.2023 – 19:28 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිසමට ලිපියක් යොමුකර තිබෙනවා.

නීතියට අනුකූලව පළාත් පාලන ඡන්ද විමසීම මස 20 වනදාට පෙර පැවැත්වීමට දිනයක් නියම කරන ලෙස මෙම ලිපියෙන් ඉල්ලා තිබුණා.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ නියෝජිතයින් අනිද්දා (07) දින මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මුණගැසීමට පැමිණෙන බවටද දැනුම් දී තිබෙනවා.

මෙම ලිපියට සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ජාතික ජනබලවේගයේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු දෙමළ පක්ෂවල නියෝජිතයින්ද අත්සන් තබා තිබෙනවා.

+


අරගල මධ්‍යස්ථානයේ කාර්යාලයෙන් දේපළ සොරාගැනීමේ සිද්ධියකට අරගලයේම සාමාජිකයෙකු අත්අඩංගුවට

(05.03.2023 – 17:28 +0530 – hirunews.lk/sinhala)

අරගලකරුවන්ට අයත්ව තිබූ කොම්පඤ්ඤවීදියේ අරගල මධ්‍යස්ථානයේ කාර්යාලයෙන් මිලියන ගණනක දේපළ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් එම විමර්ශනයට අදාළව එක් පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම කාර්යාලයේ සේවකයෙකු වන බවයි පොලිසිය සඳහන් කළේ. අදාළ කාර්යාලයෙන් පාපැදි, ජංගම දුරකථන, පරිගණක ඇතුළු තවත් උපකරණ සොරාගෙන ඇති බවට පිරිසක් කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වූයේ මෙම කාර්යාලයට නිතර පැමිණි දෙදෙනෙකු (2) මෙම සොරකම්වලට සම්බන්ධ බවටයි.

එහිදී සිද්ධියට අදාළව එක් (1) පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු අරගල මධ්‍යස්ථානයේ කාර්යාලයේම සේවය කළ පුද්ගලයෙකු බවට පසුව අනාවරණය වුණා ෴


පිංවත්තේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට

(05.03.2023 – 23:04 +0530 – hirunews.lk/sinhala)

පානදුර – පිංවත්ත ටි. ඩිමන් සිල්වා මාවතේදී කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මස 28 වනදා මෙම වෙඩි තැබීම සිදුවූ අතර එහිදී සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුවයි සැකකරුවන් අද (05) දින තෙලිකඩ, ගිනිමැල්ලගහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වෙඩි තැබීම සඳහා යොදා ගත් ගිනිඅවියද පොලිසිය සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් අද (05) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබුණා ෴


සහෝදරයන් එකතුව කළ සොරකම

(05.03.2023 – 11:42 +0530 – sinhala.adaderana.lk)

මඩපාත එල්.එස්. වත්ත ප්‍රදේශයේ පෙදරේරුවකු සතුව තිබූ රුපියල් ලක්ෂයකට (1,00,000) ආසන්න වටිනාකමකින් යුත් විදුලි කාර්මික උපකරණ සොරාගත් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පවසයි.

ඩ්‍රිල් යන්ත්‍රයක්, හිල්ටි යන්ත්‍ර දෙකක් (2), ග්‍රයින්ඩරයක් හා පවර් ශෝ යන්ත්‍රයක් සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව පොලිස් භාරයට ගෙන ඇත.

තම කාමරයේ දොර කඩා ඇතුළු වූ කිසියම් පුද්ගලයකු යන්ත්‍ර සූත්‍ර කිහිපයක් සොරාගෙන ගොස් ඇති බවට එහි හිමිකරු වූ පෙදරේරුවා කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී ඒ ආසන්නයේම කාමරයක පදිංචිව සිටින එකම පවුලේ සහෝදරයන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ.

එහිදී සොරකම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා (2) විසින් සොරා ගත් එම විදුලි උපකරණ පන්නිපිටිය, දෙපානම හා මහරගම ප්‍රදේශවලට අඩු මුදලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා (2) කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴


+


+


+


https://www.youtube.com/watch?v=qhsIvc2yx8M#t=5

+


+


ඉංජිනේරුවරයාට දින 08 ක් තිස්සේ සිහිය නෑ – මාලිමා රැස්වීමට ගැසූ කඳුළු ගෑස් ගැන සැකයක්

(05.03.2023 – gossiplankanews.com)

පුද්ගලයෙකුට මරු කැඳවමින් පසුගියදා ජාතික ජන බලවේග විරෝධතාවයේ දී සිදුවූ කඳුළු ගෑස් ප්‍රහාරයේ රසායනික සම්බන්ධයෙන් මේ වනවිට සැකයක් මතුව තිබේ. මෙම පොලිස් ප්‍රහාරය නීතියට පටහැණි බවට විරෝධයක් පවතිනවා සේම කල් ඉකුත්වූ රසායනික බාවිත කර මානව හිමිකම් උල්ලංඝනයක්ද සිදු කර ඇතිද යන්න එම සැකයයි.

26 වැනිදා ටවුන්හෝල් අසල දී ජාතික ජන බලවේගයේ විරෝධතා ව්‍යාපාරයට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් දැඩිලෙස රොගාතුර වූ 46 හැවිරිදි වෘත්තීය ඉංජිනේරු අජිත් ගමගේ දින 8 ක් තිස්සේම දැඩි ලෙස අසාධ්‍යව සිහි මූර්ජා තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඔහු සම්බන්ධව අදහස් දක්වමින් නීතිඥ අකලංක උක්වත්ත ඊයේ (4) පැවසීය.

ජාතික ජනබලවේගයේ නීතිඥයින් ඊයේ (04) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ කාරණාව අනාවරණය කෙරිණි.

කැස්බෑව ප්‍රදේශයේ පදිංචි ඉංජිනේරු අජිත් ගමගේ දෙදරු පියෙකි. ඔහුගේ බිරිය වෘත්තීය වෛද්‍යවරියකි. ඔහු වයස අවුරුදු හතළිස් ගණනක අයෙකි.

මෙම කඳුළු ගෑස් ප්‍රහාරය මෙම තත්වයට හේතුවූ බවත් පෙන්වා දෙන නීතිඥ අකලංක උක්වත්ත නුසුදුසු කඳුළු ගෑස් ප්‍රමාණයක් පාවිච්චි කළාද යන සැකය නිසා රස පරීක්ෂකට එහි සාම්පල යවා තිබෙන බවද මතක් කළේය.

“මටත් අත්දැකීමක් තිබෙනවා. මගේ කටහඬ තවමත් වෙනස්. විශාල පිරිසක් සිටින තැනකට කඳුළු ගෑස් එවැනි ආකාරයෙන් එල්ල කිරීම ගැටලුවක්” ඔහු පැහැදිලි කළේය.

+


කැබිතිගොල්ලෑව ම කම්පා කළ ඛේදවාචකය – වැඩිමහල් පුතු මරුට

(06.03.2023 – 07:33 +0530 – hirunews.lk/sinhala)

මවක් සියදිවි හානිකර ගැනීමේ අරමුණින් සිය ආබාධිත පිරිමි දරුවන් දෙදෙනා (2) සමග ළිඳකට පැනීමේ පුවතක් කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශයෙන් වාර්තාවුණා.

මෙම සිද්ධියෙන් වැඩිමහල් පිරිමි දරුවා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර මව සමග අනෙක් දරුවා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අනුරාධපුර මහ රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (05) මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති දරුවාගේ වයස අවුරුදු 21 ක් වන අතර, මව 48 හැවිරිදි වියේ පසුවනවා.

අනෙක් දරුවා 09 හැවිරිදි වියේ පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.

සිවිල් ආරක්ෂක භටයකු වන දරුවන්ගේ පියා ඊයේ (05) රාජකාරියට ගොස් ඇති බවත් පසුව උදෑසන ආහාරය සඳහා නැවත නිවසට පැමිණෙන විට බිරිඳ සහ දරුවන් දෙදෙනා (2) නිවසේ නොසිටීම හේතුවෙන් ඔවුන් සම්බන්ධයෙන් සොයාබලා තිබෙනවා.

පසුව සිදුකළ පොලිසිය සිදුකළ විමර්ශනවලදී එක් (1) දරුවෙකු ළිඳ තුළ මියගොස් සිට ඇති අතර, මව සහ අනෙක් දරුවා එහි ගළක එල්ලී සිටියදියි ගොඩට ගෙන රෝහල්ගත කර ඇත්තේ.

ආර්ථික අපහසුතා නිසා ආබාධිත දරුවන් දෙදෙනාගේ (2) ප්‍රතිකාර කටයුතු සිදු කරගැනීමට මුදල් නොමැතිකම සහ මානසික ආතතිය හේතුවෙන් මෙම මව දරු දෙදෙනා (2) සමග ළිඳට පනින්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

මේ අතර ඌරගස්මංහන්දිය – පරුස්සගොඩ ප්‍රදේශයේදී බිරිඳ සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් ස්වාමි පුරුෂයා ඇයට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇති කාන්තාවගේ වයස අවුරුදු 34 ක් වන අතර, දෙදෙනා (2) අතර පැවති ආරවුල් හේතුවෙන් ඇය දරුවන් තුන්දෙනා (3) සමඟ තම මවගේ නිවසට ගොස් ඇති බවයි පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.

සැමියා පසුගිය 03 වනදා මොවුන්ව නැවත සිය නිවසට කැඳවාගෙන යාමට පැමිණි අවස්ථාවේදී ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ අවුරුදු 51 ක් වයසැති සැමියා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා ෴


අධිකරණ නියෝග නැත්නම් ගොවිපලට එන්න එපා – බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම්

(06.03.2023 – 07:29 +0530 – hirunews.lk/sinhala)

මෙරට කුකුළු ගොවිපොළවල පැතිර යන වසංගත රෝගය තත්ත්ව මේ වනවිට (06) සියයට 40 කින් පමණ ව්‍යාප්ත වී ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එමෙන්ම මින් පසුව උසාවි නියෝගයකින් තොරව වැටලීමට පැමිණෙන පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ගෙවිපොළවලවලට ඇතුළු කර නොගන්නා ලෙසට ද සිය සංගමය නිෂ්පාදකයින්ගෙන් ඉල්ලීමක් කරන බවයි එම සංගමයේ සභාපති සරත් රත්නායක කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා සිදුකළ වැටලීමකදී හල්මිල්ලවැව, අවුලේගම, ඉහළ කුඹුක්වැව සහ කොබෙයිගනේ යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය මහපරිමාණ ගොවිපළක් හා මධ්‍ය පරිමාණ ගොවිපළවල් 04 කට නීතිමය පියවර ගනු ලැබුවා.

ඒ අතර බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායකට අයත් ගොවිපළක් ද පැවති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

වැඩි මිලට බිත්තර අලෙවි කරන ගොවිපලවල් සොයායි මෙම වැටලීම සිදුකර තිබුණේ.

මේ අතර රජය විසින් සහතිකයක් ලබා දෙනතුරු ඉන්දියාවෙන් ගෙන්වූ බිත්තර පරිභෝජනයට නොගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන කේ.බී. ගුණරත්න, මහනුවර ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *