සමෘද්ධි බැංකුවලින් රුපියල් කෝටි 12 ක් පිල්ලි ගිහින්

සමෘද්ධි බැංකුවලින් රුපියල් කෝටි 12 ක් පිල්ලි ගිහින්


සමෘද්ධි බැංකුවලින් රුපියල් කෝටි 12 ක් පිල්ලි ගිහින්

(03.03.2023 – 13:41 +0530 – lankadeepa.lk)

සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල 2014 – 2018 වසර පහේදී (5) සිදුවී ඇතැයි පැවසෙන වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි 12 කට ආසන්න මුදලක් නාස්තිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ කාලයේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ සහ අක්‍රමිකතා සංඛ්‍යාව 135 කි.

බැංකු මුදල් මෙලෙස අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් දිවිනැඟුම ප්‍රතිලාභීන් සඳහා මුදල් යෙදවීමට බාධා ඇතිවී තිබු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් 2018 සහ 2019 විගණන වාර්තාවලින් පෙන්වා දී තිබුණද ඉහළ කළමනාකාරීත්වය ඒවා වළක්වා ගැනීමට නිසි පරිදි කටයුතු කර නැතැයිද වාර්තාවේ දැක්වේ.

මේ අතර ‘සමෘද්ධි එෆ්.එම්.’ අන්තර්ජාල රේඩියෝව වෙනුවෙන් ක්‍රියාත්මක විකාශන මධ්‍යස්ථානයේ උපකරණ සහ පාලන මැදිරියේ වියදම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 23 ක මුදලක් ගෙවා තිබුණද ගිවිසුම් කාලය අවසන්වීමෙන් පසු එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම නතරවී තිබූ බව විගණන කාර්යාලය පවසයි.

දුගී බව අවම කිරීමේ සංවර්ධන කාර්යයන්ට සහ අඩු ආදායම්ලාභී ජනකොටස්වල උත්සාහයන්ට උරදෙන සන්නිවේදන රටාවක් ගොඩනැගීම මෙම රේඩියෝවේ අරමුණ විය.

අන්තර්ජාල පහසුකම් නොමැති සමෘද්ධිලාභි අඩු ආදායම්ලාභීන්ට මෙවැනි අන්තර්ජාල ගුවන් විදුලි සේවාවකින් ඵලදායි හා කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීම හැකියාවක් පවතීද යන්න ප්‍රශ්න සහගත බව විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ අතර සමෘද්ධිය වෙනුවෙන් ඊ පුවත්පතක් එළි දැක්වීම සඳහා 2020 වර්ෂයේදී රුපියල් ලක්ෂ 53 කට වැඩි මුදලක් වැය කර ඇතත් එම පුවත් පත පරිශීලනය කර ඇති සමෘද්ධිලාභීන් සමෘද්ධිලාභීන් සංඛ්‍යාව පහළොස් දහස් දෙසිය හැත්තෑ නවයක් (15,279) බව පවසන විගණන අංශය එය මුළු සමෘද්ධිලාභීන්ගෙන් සියයට 0.86 ක් බවද පෙන්වා දෙයි ෴


ජරාව ඇහිලූ ඕ.අයි.සී ට මාරුවක්

(03.03.2023 – 12:32 +0530 – lankadeepa.lk)

ව්‍යාපාරිකයන්ට බලපෑම් කරමින් සුපිරි හෝටල් වලින් නොමිලේ ආහාරපාන ගෙන්වාගැනීම සහ සිය පෞද්ගලික මෝටර් රථයට ඉන්ධන හල් වලින් තෙල් ලබා ගැනීමේ ආදී ක්‍රියාවල නිරතව සිටී කොළඹට නුදුරු පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ස්ථානාධිපතිවරයා ගේ ස්ථානාධිපති ධූරය අහිමි කරමින් ඊ‌යේ (2) සිට කොළඹට නුදුරු පොලිස් කොට්ඨාසයක සාමාන්‍ය රාජකාරි සඳහා අනුයුක්ත කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වූ මෙම පොලිස් ස්ථානාධිපතිවරයා මීට මාස කිහිපයකට පෙරදී අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරට පත්ව ඇතැයි ද ඇතැයිද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ස්ථානාධිපතිවරයා අදාළ පොලිස් බල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට බලපෑම් කරමින් විවිධ ආහාරපාන ගෙන්වාගන්නා බවත්, ඔහුගේ පුද්ගලික මෝටර් රථයට ඉන්ධන හල් වලින් රුපියල් 5000 ට වැඩි මුදලකට නිතරම ඉන්ධන ලබා ගන්නා බවටත් පැමිණිලි ලැබී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ස්ථානාධිපතිවරයාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිලි අනුව විමර්ශනයක් සිදුකර මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇත ෴


හෙදියකට හිංසා කළ ප්‍රධාන SIගේ වැඩ තහනම්

(04.03.2023 – 07:58 +0530 – hirunews.lk/sinhala)

සේවය අවසන් කර සිය නිවස වෙත යමින් සිටි පුහුණු හෙද නිලධාරිනියක බස් රථයක් තුළදී හිංසනයට ලක් කළ බවට චෝදනා එල්ලවූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැඩ තහනමකට ලක්කර තිබෙනවා.

කළුතර ප්‍රදේශය භාර උසස් පොලිස් නිළධාරීයෙක් සඳහන් කළේ, විමර්ශන අවසන් වන තෙක් ඔහු මෙලෙස වැඩ තහනමකට ලක් කළ බවයි.

මෙලෙස වැඩ තහනමට ලක් වුණේ, දොඩංගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙසින් රාජකාරි කල 54 හැවිරිදි නිලධාරියෙකුයි.

චෝදනා ලැබ සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබෙනවා.

ඉකුත් 27 වනදා මගී බස් රථයක ගමන් කරමින් සිටියදී මෙම හෙද නිධාරීණිය මෙලස හිංසනයට ලක්ව තිබුණා ෴


යතුරු පැදියෙන් ඇවිත් දරුවාගේ පංචායුධය කපා ගෙන යයි

(03.03.2023 – 21:12 +0530 – lankadeepa.lk)

අපල උපද්‍රව මඟහැරීමට එකොළොස් (11) හැවිරිදි දරුවකුට පලඳා තිබූ රන් පංචායුධයක් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු (2) පිහියකින් කපා ගෙන පලාගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි.

මෙම දරුවාගේ මව විසින් මේ බව පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.

පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි කරවීමට මව මෙම දරුවා රැගෙන පා ගමනින් ගමන් කරමින් සිටි අතරවාරයේ යටගම ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු (2) මව සහ පුතා අසල නතර කර ඇතැයි පොලිසිය කියයි.

යතුරුපැදියේ පිටුපස අසුනේ වාඩි වී ආ පුද්ගලයා එයින් බැස ඇවිත් ඔහු අත තිබූ පිහිය කින් රන් පංචා යුධය ගැටගසා තිබූ නූල කපා පංචායුධය පැහැරගෙන යතුරුපැදියේ නැගී පලාගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම පැහැර ගැනීම සිදු කළ අය ගැන තවම තොරතුරු පොලිසියට ලැබී නොමැත ෴


හබරාදූවේ දී ‘කුෂ්’ එක්ක විදේශිකයන් 4 ක් අත්අඩංගුවට

(04.03.2023 – 08:32 +0530 – hirunews.lk/sinhala)

හබරාදූව – හිටියනගල – තල්පේ සහ පිටිදූව ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝ 16 කට අධික ප්‍රමාණයක් සමඟ විදේශිකයින් 4 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හබරාදූව පොලිසිය ඊයේ (03) සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අවුරුදු 21 ත් 46 ත් අතර පසුවන්නන් බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් අද (04) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


පොලී අනුපාත ඉහළ දැමීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

(04.03.2023 – 09:32 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රජය බැංකු පොලී අනුපාතය යළි ඉහළ දැමීම මේ මොහොතේ ගත යුතුව තිබූ ක්‍රියාමාර්ගයක් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් සඳහන් කළේ මෙරට උද්ධමනය පාලනය සඳහා ගෙන යන වැඩසටහනට එය මහත් රුකුළක් වනු ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා රජය උද්ධමන පාලනය කිරීම සඳහා ගෙන යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැසසුමට ලක් කර තිබෙනවා.

මේ අතර ඊයේ (03) දිනය වනවිට ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී ඇත්තේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 4.9 කින් අතිප්‍රමාණ වීමකින්.

එමෙන්ම යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 5.4 කින් ද, ජපාන යෙන් ඒකකයට සාපේක්ෂව සියයට 8 කින් ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 5.6 කින් ද, ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 4.4 කින් ද රුපියල අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකු දත්ත පෙන්වා දෙන්නේ.

+


ලෝක ස්ථූලතා දිනය අදයි (04) – 2035 වන විට දරුවන්ට හා තරුණයින්ගේ සෞඛ්‍ය අවදානමේ !

(04.03.2023 – 13:50 +0530 – hirunews.lk/sinhala)

සෑම වසරකම මාර්තු 04 වන දිනය ලෝක ස්ථූලතා දිනය සමරනු ලබනවා.

මෙවර ස්ථූලතා දින තේමාව වන්නේ ‘දැනුවත් වෙමු – ස්ථුලතාවයෙන් මිදෙමු – නිරෝගී වෙමු’ යන්නයි.

ලෝකයේ වැඩිහිටියන්ගෙන් එනම්, වයස අවුරුදු 18 සහ ඊට වැඩි කාන්තාවන් සහ වැඩිහිටි පිරිමින්ගෙන් බිලියන 1.9 කට වැඩි ප්‍රමාණයක් අධිබර පුද්ගලයින් ලෙසට වාර්තා වී තිබෙනවා.

එම සංඛ්‍යා මිලියන 650 ක්ම අධික තරබාරු බවින් පෙලෙන්නන් බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව ලෝක ජනගහනයෙන් සියයට 39 ක් එනම් තුනෙන් එකක් (1/3) අධිබර පුද්ගලයන්.

මේ අතර, 2035 වනවිට ලෝක ජනගහනයෙන්, සියයට 51 ක් ස්ථුලභාවයෙන් පෙලෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

2015 වසරේදී සිදුකළ සමීක්ෂණයකින් ශ්‍රි ලංකාවේ පුරුෂයන්ගෙන් සියයට 22 ක් තරබාරු පුද්ගලයින් ලෙසට හදුනාගත් අතර, 2021 වසරේ සිදුකළ සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී ඇත්තේ එය සියයට 30 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන කියා සිටියේ කාන්තාවන්ගෙන් සියයට 34 ක් 2015 දී බරවැඩි පිරිස ලෙස වාර්තා වන අතර එය 2021 වසරේදී සියයට 47.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

වැඩිවශයෙන් ස්ථුලභාවයෙන් පෙලෙන්නන් දක්නට ලැබෙන්නේ අප්‍රිකා සහ ආසියානු කලාපවලින් වීම ද විශේෂත්වයක්.

විවිධ හේතුන් මත ලොව මරණයට පත්වන පිරිසෙන් පස්වන ස්ථානය අධික ස්ථුලතාවයෙන් සිදුවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වසරකට මිලියන 2.8 ක් මියයන බව සදහන් ෴


ආයුර්වේද ඖෂධ වර්ග 130 ක හිඟයක්

(04.03.2023 – 14:19 +0530 – hirunews.lk/sinhala)

ආයුර්වේද ඖෂධ වර්ග 130 ක පමණ හිඟයක් පවතින බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ආයුර්වේද වෛද්‍ය පී. හේවාගමගේ කියා සිටියේ ඖෂධ වර්ග සැකසීමේදී ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍යවල පවතින හිඟය හේතුවෙන් මෙම ගැටලු‍ව මතුව ඇති බවයි.

ඇතැම් ආයුර්වේද ඖෂධ සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දියාව, චීනය වැනි රටවලින් ආනයනය කරනු ලබනවා.

නමුත් සැපයුම්කරුවන්ට ඒවා ගෙන්වීමෙදී මුහුණදීමට සිදුව ඇති ගැටලු‍ හේතුවෙන් අමුද්‍රව්‍ය ගෙන්වීම අඩාල වී ඇති බවයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති ආයුර්වේද වෛද්‍ය පී. හේවාගමගේ වැඩිදුරටත් සදහන් කළේ ෴


දකුණු පළාතේ ‘ස්පියර්-ෆිෂිං’ යළිත් සිදුවන බවට චෝදනා

(04.03.2023 – 14:21 +0530 – hirunews.lk/sinhala)

‘ස්පියර්-ෆිෂිං’ හෙවත් මසුන් විද මරා දැමීමේ ක්‍රීඩාව මෙරට තුළ තහනම් කර තිබෙන අවස්ථාවක නැවත එය සිදුවන බවට පුවත් කිහිපයක් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසනවා.

මෙම ‘ක්‍රීඩාව’ හේතුවෙන් සාගරයේ සිටින දුර්ලභ මත්ස්‍යයින් වඳ වී යාමේ තර්ජනයකට මුහුණපාන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

‘ස්පියර්-ෆිෂිං’ හෙවත් ‘මසුන් විද මරා දැමීමේ ක්‍රීඩාව’ නිසා මත්ස්‍යයින් දැඩි ලෙස තුවාල වී පීඩාවට පත්ව මරණයට පත්වීම හේතුවෙන් 2017 වසරේදී ධීවර කටයුතුවල දී උල්කරන ලද කූරු සහ උල් යන්ත්‍ර භාවිත කිරීම තහනම් කෙරුණු බවයි පරිසරවේදී ජගත් ගුණවර්ධන කියා සිටියේ ෴


මහාචාර්ය ජී.එල්. පීරිස් පොහොට්ටුවේ සභාපතිකමෙන් දොට්ට

(04.03.2023 – 14:28 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් සදහන් කළේ පක්ෂයේ විධායක සභාව ඒකමතිකව මෙම තීරණය ගත් බවයි.

ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ලෙස කටයුතු කල පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර සභාගය ඇතුළු පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් එක්ව හෙලිකොප්ටරය ලකුණින් පිහිටුවා ගත් නිදහස් ජනතා සන්ධානය සමග එක්වුණා.

පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමට සහභාගි වන ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබුණ ද ඔහු ඊට සහභාගි වී නොමැති බව පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළා.

ඒ අනුව, නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ඉදිරි සතියේදී විධායක සභාව යළි රැස්වන බවයි පක්ෂයේ මහලේකම්වරයා කියා සිටියේ ෴


බෙහෙත් නැත්නම් පළාතේ පොලිසියට දැනුම්දෙන්න – වෛද්‍ය වෘත්තීය සමිති

(04.03.2023 – 14:59 +0530 – hirunews.lk/sinhala)

තමන්ට අයත් පළාත්වල රෝහල් තුළ ඖෂධ හිඟයක් පවතින්නේ නම් ඒ පිළිබඳ වහා පොලිසියට පැමිණිලි කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඖෂධ හිඟය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව මානව හිමිකම් කොමිසම හමුවට කැඳවූ අවස්ථාවේදී ඊට එක් වූ වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් මානව හිමිකම් කොමිසම වෙත පසුගිය පෙබරවාරි 15 වැනිදා මෙරට රෝහල්වල ඖෂධ හිඟය හේතුවෙන් ජනතාවට වන අපහසුතාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඊට පිළිතුරු ලබාගැනීමට ඊයේ (03) සෞඛ්‍ය බලධාරීන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා.

එම අවස්ථාවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියා.

+


ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක්

(04.03.2023 – 14:59 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි වසර දෙකක (2) කාලය සඳහා ශ්‍රී ලංකාවට මූල්‍යමය වශයෙන් සහාය දීමට ලෝක බැංකුව එකඟ වී තිබෙනවා.

ඒ අනුව ඊට අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ කළමනාකාරීත්වය එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

එම මුල්‍ය ප්‍රදානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කරගෙන ඇති ගනුදෙනුව අවසන් වූ වහාම සිදු කෙරෙනු ඇති.

ලෝක බැංකුව විසින් එම මූල්‍ය ප්‍රදානය පියවර කිහිපයක් යටතේ සිදු කිරීමට අපේක්ෂා කෙරෙන අතර, පළමු මුදල් ලබාදීම අයි.එම්.එෆ්. ගනුදෙනුව අවසානයේ දී සිදු වනු ඇති බව ද තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට දැඩි ආර්ථික අවපාතයක් නිර්මාණය වී ඇති පසුබිමකදියි ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙලෙස ලෝක බැංකුවෙන් ප්‍රදානයක් සිදුවන්නේ.

මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් වන සාකච්ඡා අවසන් අදිරයක පවතින අතර, ඊයේ (03) දිනයේ දී මෙරට රජය විසින් බැංකු පොලී අනුපාතය පවා යළි ඉහළ දැමීමට තීන්දු කිරීම පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසීමට ලක්වුණා.

එය ආර්ථිකය සවිමත් කිරීම උදෙසා රජයක් විසින් ගතයුතුම තීරණයක් බවයි ඔවුන් සඳහන් කළේ.

මෙරට උද්ධමනය පාලනය සඳහා ගෙන යන වැඩසටහනට එය මහත් රුකුළක් වනු ඇති බවත්, ඊයේ (03) දිනය වන විට ශ්‍රී ලංකා රුපියල ද අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 4.9 කින් අතිප්‍රමාණය වීමක් ද දීර්ඝ කාලයකට පසුව සිදුව තිබෙන අයුරු දක්නට ලැබුණා.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික පසුගාමීත්වයක් යම් තරමකින් වර්ධනයක් පෙන්නුම් කරන මොහොතකදියි ලෝක බැංකුවෙන් මෙවැනි මූල්‍ය සහායක් හිමිව ඇත්තේ.

එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නැවුම් බලාපොරොත්තුවක් පවා ඇති කරවිය හැකි බවත් වාර්තා වනවා ෴


ගමනාගමනයටවත් පිළිසරණක් නොලද වැසියෝ

(04.03.2023 – 15:06 +0530 – hirunews.lk/sinhala)

දශක 5 කට වැඩි කාලයක් පුරා තමන් ජීවත්වන ගම්මානයට නිසි මාර්ගයක් නොමැතිකම හේතුවෙන් පීඩාවට පත්වී සිටින පිරිසක් පිළිබඳ පුවතක් පොළොන්නරුව බටහිර කදුරුවෙල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

ගම්මානයට නිසියාකාර මාර්ගයක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් කොතෙකුත් ඉල්ලීම් කළ ද, එය බීරි අලින්ට වීණා වැයීමක් බවට පත්වී ඇතැයි ගම්වැසියන් පවසනවා.

පොළොන්නරුව බටහිර කදුරුවෙල 28 කණුව ගම්මානයේ ජීවත්වන පවුල් 25 ක් පමණ සිය ගම්මානය සඳහා නිසියාකාර මාර්ගයක් නොමැතිකම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

ගම්මානය හා කදුරුවෙල ප්‍රධාන මාර්ගය යාකෙරෙන එකම මාර්ගය වැටී ඇත්තේ කුඹුරු යායක් හරහා වන අතර ඒ හේතුවෙන් ප්‍රවාහන කටයුතුවලදී තමන් මහත් අපහසුතාවයකට පත්වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කුඹුරු සහ ගොඩඉඩම් වගාව තුළින් ජීවනොපාය සරිකරගන්නා ගම්වැසියන්, වසර 50 කට වැඩි කාලයක් පුරා දේශපාලාඥයින් ඇතුළු බලධාරීන්ගෙන් තමන්ට නිසි මාර්ගයක් ලබා දෙන ලෙස ඉල්ලීම් කළද තවමත් ඒ සඳහා කිසිදු අවධානයක් යොමු නොවූ බවටයි ඔවුන් මැසිවිලි නගන්නේ.

ගම්මානයට අවශ්‍ය යටිතල පහසුකම් නොලැබීමේ පසුබිම මත විශාල පිරිසක් ගම්මානය හැරදමා වෙනත් ප්‍රදේශ වෙත පිටව ගොස් තිබෙනවා.

මාර්ග පහසුකම් නොමැතිකම හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ පාසල් ළමුන්.

බටහිර කදුරුවෙල 28 කණුව ගම්වැසියන්ට මාර්ග පහසුකම්වලට අමතරව, සිය දෛනික අවශ්‍යතා සඳහා පානීය සපයා ගැනීමට දැඩි ගැටලුවක් වී තිබෙනවා.

සංවර්ධනයේ අරුනළු පොළොන්නරුව නගරයට වැටෙද්දී ඒ ආසන්න ගම්මානයක් වන බටහිර කදුරුවෙල 28 කණුව ගම්මානය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුනොවීම කනගාටුවට කරුණක්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *