ඩයනාගේ පුරවැසිභාවය පිළිබඳ විමර්ශන සංකීර්ණ වූ හේතුව හෙළිවෙයි

ඩයනාගේ පුරවැසිභාවය පිළිබඳ විමර්ශන සංකීර්ණ වූ හේතුව හෙළිවෙයි


ඩයනාගේ පුරවැසිභාවය පිළිබඳ විමර්ශන සංකීර්ණ වූ හේතුව හෙළිවෙයි

(02.03.2023 – 19:04 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය හා විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව මේ දක්වා සටහන් කරගෙන තිබෙන සියලු ප්‍රකාශවල පිටපත් මේ මස 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එම නඩු කටයුතු සඳහා නීතිපතිවරයාගේ සහාය ලබාගැනීමට තමන් තීරණය කරන බව සඳහන් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඒ බව දන්වමින් නීතිපතිවරයා වෙත ලිපියක් යොමුකරන බවත් කියා සිටියේය.

නීතිපතිවරයාගේ සහාය ලබාගැනීම තුළින් එම නඩුකරයට සම්බන්ධ බොහෝ ගැටලු නිරාකරණය කිරීමට හැකි වනු ඇති බවත් මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ පැවසීය.

පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

එය පරීක්ෂාවට ලක් කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, “මෙම වාර්තාවේ නම් සඳහන් තැනැත්තිය විමර්ශන කටයුතුවලට තමන්ගේ විදේශ ගමන් බලපත්‍රය භාර නොදීම පරීක්ෂණවලට කරනු ලබන බාධා කිරීමක් නේද?” යනුවෙන් විමසුවේය.

“පරීක්ෂණවලට බාධා කරනවා නම්, පරීක්ෂණවලට සහාය දෙන්නේ නැත්නම් ඊළඟ දවසේ ඒ බව අධිකරණය හමුවේ ඉල්ලීමක් කරන්න. එතකොට අවශ්‍ය නියෝග ලබාදීමට අධිකරණය කටයුතු කරනවා” යනුවෙන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව පැමිණිලිකාර ඕෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

“ස්වාමීනි.. ඩයනා ගමගේ නමැත්තිය තමන්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය වසන් කරමින් ව්‍යාජ උප්පැන්න සහතික ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. එම විමර්ශනවලදී ඩයනා ගමගේ ඇමතිවරිය ආගමන හා විගමන පනතේ 45 (1) සහ 45(2) ඈ යන වගන්තිවල සඳහන් වැරදි සිදුකර තිබෙන බව අනාවරණය වී තිබෙනවා. එසේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුයි.” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

ඉන් අනතුරුව විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි එහි සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

“ඩයනා ගමගේ නමැත්තිය සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය වසන් කරමින් ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙන බව ඉදිරිපත්වූ පැමිණිල්ලට අනුව අපි විමර්ශන සිදුකරනවා. මේ සම්බන්ධයෙන් අපි ඩයනා ගමගේ ගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා. එම ප්‍රකාශයේ දී ඇය සඳහන් කළා තමන් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හැර ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් බව. ඇයගේ පුරවැසිභාවය පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස අප මෙරට පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කළා. එම තොරතුරු තමන් සතුව නොමැති බවත් එය බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටින ලෙසත් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය අපට දැනුම් දී තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය රජයෙන් අදාළ තොරතුරු ලබාගැනීම සඳහා අප විදේශ අමාත්‍යාංශය හරහා අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගන්නවා. ස්වාමීනි… පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි තිබිය යුතුයි. එසේ නොමැතිව අත්අඩංගුට ගැනීමක් කිරීමට හැකියාවක් නැහැ. මෙම තැනැත්තියගේ පුරවැසිභාවය පිළිබඳ තොරතුරු ලැබීමෙන් අනතුරුව විමර්ශන සම්බන්ධයෙන් තීරණයක් ගත හැකියි” යනුවෙන් සහකාර පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රශ්නයක් යොමු කරමින්,

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවේ සඳහන් වෙනවා ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා මේ තැනැත්තිය උප්පැන්න සහතික දෙකක් ඉදිරිපත් කර ඇති බව. මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් කළේ නැද්ද?” යනුවෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් සහකාර පොලිස් අධිකාරීවරයා,

“ස්වාමීනි මෙම උප්පැන්න සහතික සම්බන්ධයෙන් සංකීර්ණතාවයක් ඇතිවී තිබෙනවා. ඒ නිසයි විමර්ශන කටයුතු සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීමට කටයුතු කළේ. මෙම උප්පැන්න සහතිකයේ මුල් පිටපත ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නැහැ.” යනුවෙන් කියා සිටියේය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ,

“මුල් පිටපත විමර්ශන සඳහා අවශ්‍ය නැහැ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා භාරදෙන ලේඛන ස්කෑන් කර ගබඩා කරගන්නවා. මෙම නඩුව පවත්වාගෙන යාම සඳහා එවැනි ස්කෑන් පිටපතක් ප්‍රමාණවත්. එය ද්විතීක සාක්ෂියක් වශයෙන් යොදාගත හැකියි. ලිපි ගොනු අස්ථානගත කරලා තියෙනවා නං ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට සිදුවෙයි. නැත්තං ඒ වගේ දේවල් දිගින් දිගටම වෙන්න පුළුවන්.” යනුවෙන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.

ඩයනා ගමගේ මහත්මියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අගතියට පත් පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන සියලු කරුණු ප්‍රතික්ෂේප කරන බව කියා සිටියේය.

“ස්වාමීනි… මාගේ සේවාදායිකාවගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබෙනවා. එම නඩුවට අදාළව ආගමන හා විගමන පාලකවරයා විසින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළා. එම ප්‍රකාශයේ අන්තර්ගත කරුණු මේ නඩුවට පාදක වන කරුණුවලට සම්පූර්ණයෙන්ම පටහැනියි. දේශපාලනික වශයෙන් පළිගැනීම සඳහායි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාගේ සේවාදායිකාව වරදක් සිදුකළා කියලා තීරණය කරන්න බැහැ. ඒක තීරණය කළ යුත්තේ අධිකරණය විසින්.” යනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා දිගින් දිගටම කරුණු දක්වා සිටියේය.

නීතිඥ ප්‍රජාව වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා කියා සිටියේ, “ස්වාමීනි… බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් මෙරට පාර්ලිමේන්තුවේ අසුන්ගෙන මහජන මුදල්වලින් වැටුප් ලබනවා. මේක භයානක තත්ත්වයක්. ඇයව නඩත්තු කරන්නේ මෙරට මහජනතාව ගෙවන බදු මුදල්වලින්. ඇය ව්‍යාජ උප්පැන්න සහතිකයක් ලබාදී විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබෙනවා. එසේ නම් ඇය අත්අඩංගුවට නොගන්නේ ඇයි? සාමාන්‍ය පුද්ගලයෙක් මේ ආකාරයෙන් වරදක් කළොත් එවෙලේම අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඩයනා ගමගේ නමැත්තියට ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොමැති නම් ඇයව මෙරටින් පිටුවහල් කිරීමට කටයුතු කළ යුතුයි” යනුවෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සඳහන් කර සිටියේය.

එම නඩු විභාගය අතරවාරයේ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥවරුන් කණ්ඩායමක් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වු අතර මේ හේතුවෙන් නඩුවේ කරුණු සලකා බැලීම පසුවට කල්තැබීමට ද මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේය.

අනතුරුව පැමිණිල්ල ලබන 23 වනදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදින මෙම විමර්ශනයට අදාළව සටහන් කර ගත් සියලුම ප්‍රකාශවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය ෴

ඩයනා ගමගේ

කැනඩාවේ රැකියා දෙන බවට මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

(02.03.2023 – 15:06 +0530 – sinhala.adaderana.lk)

කැනඩාවේ රැකියා ලබාදෙන පවසා පුද්ගලයන්ගේ මුදල් වංචා කළ පුද්ගලයෙක් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා විසින් රැකියා ලබාදෙන බව පවසා මේ වනවිට පුද්ගලයන් 75 දෙනෙකුගෙන් මුදල් වංචා කර ඇත.

එමෙන්ම ඔහුට හසුවූ පුද්ගලයන් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 22 දක්වා මුදල් ප්‍රමාණයන්ගෙන් ලබා දී ඇති අතර, කැනඩාවේ රැකියා ලබාගැනීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 33 ක මුදලක් සැකකරු විසින් ඉල්ලා ඇතැයි ද අනාවරණය වුණි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සමග තවත් පුද්ගලයෙකු මෙයට සම්බන්ධ බවත් දේශපාලන බලවතුන්ගේ මැදිහත්වීම මත මෙය සිදුවන්නක් බවත් මුදල් වංචාවට හසුවු තරුණයෙක් ‘අද දෙරණ’ ට පැවසීය.

ඔහු සඳහන් කර සිටියේ, දිවයින පුරා සිටින මෙම මුදල් වංචාවට හසුවු පිරිස පොලිස් ස්ථානවලට ගොස් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කළ ද එම පැමිණිලි පොලීසිය විසින් භාරගෙන නොමැති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ එම තරුණයා,

“සම්පූර්ණ ගාන රුපියල් ලක්ෂ 33 යි. අපි දැනට 76 දෙනෙක් ගෘප් එකේ ඉන්නවා. ඒ අය දීලා තියෙනවා … ලක්ෂ 5 ගානේ මුලින් ඉල්ලුවා. ඒ ටික ඩිපෝසිට් කළා. ඊට අමතරව ටික ටික දීපු අය ඉන්නවා… ලක්ෂ 40 දීපු අයත් ඉන්නවා. ෆැමිලි වීසා හරහා. තංගල්ලේ කෙනෙක් 100% ක් වගකීම භාරගන්නවා කිව්වා. එයා අද මුකුත් කියන්නේ නෑ ඒ සම්බන්ධව. දැන් ඒ දෙන්නම අරගෙන ප්‍රශ්න කිරීම් කරනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්. මෙයා දෙසැම්බර් 12 ඉඳලා මඟ ඇරියා. වීසා ගහලා සම්පූර්ණයෙන් ඉවර කරනවා කිව්වා. ඒ වුණාට කිසිදෙයක් වුණේ නෑ. අපේ ෆෝන් කෝල් එකකටවත් ආන්සර් කළේ නෑ මෙයා. මෙයා මරදානේ හැංගිලා ඉඳලා තියෙන්නේ. ඒජන්සියක් කිසිම දෙයක් නෑ. අපි ගෙදරට ගියාම මෙයා දුවන්න හැදුවා. අපි ගේ වට කරගත්තා. මුකුත් හානියක් කළේ නෑ. අපි පොලීසිය සම්බන්ධ කරගෙන අත්අඩංගුවට ගත්තා.”

කෙසේවෙතත් එම පුද්ගලයා රුපියල් කෝටි 4 කට වැඩි මුදලක් වංචා කර ඇතැයි ද ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ වැඩිදුර පරීක්ෂණ මේ වනවිටත් පැවැත්වේ.

+++++++

+


අධික බීමතින් සිටි පොලිස් සැරයන් පැදවූ කැබ් රථය ගහක් කඩාගෙන කුඹුරට

(02.03.2023 – 11:20 +0530 – sinhala.adaderana.lk)

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ සිට හබරණ බලා ධාවනය වු කැබ් රථයක් යකල්ල, මෙගොඩවැව 16 කණුව ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබුණි.

අප වාර්තාකරු පැවසුවේ, රියදුරුට කැබ් රථයේ වේගය පාලනය කල ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ අසල තිබු ගසක ද ගැටී, අසල වූ කුඹුරට පෙරළී ගොස් ඇති බවය.

කැබ් රථය ගැටීමෙන් පසු ගස දෙකඩ වී ඇති අයුරු ද දක්නට ලැබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ දී කැබ් රථයේ රියදුරු පමණක් ගමන් කර ඇති අතර, ඔහු අධික බීමතින් සිටි බව වාර්තා වෙයි.

අනතුරින් කැබ් රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර, රියදුරුට කිසිදු හානියක් සිදුව තිබුණේ නෑ.

හබරණ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකු ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගි වී නැවත නිවස බලා එමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව තිබුණි.

+


පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වලිනුත් සල්ලි හොරකම් කරලා

(02.03.2023 – 09:52 +0530 – sinhala.adaderana.lk)

පිළිකා රෝගීන් දෙදෙනෙකු (2) රවටා ඔවුන්ගේ බැංකු ගිණුම්වලට අයුතු ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ තුනක (3,00,000) මුදලක් වංචා කරන ලද තරුණයෙකුට බරපතළ වැඩසහිත සිරදඬුවක් ‌නියම කර තිබේ.

හොරණ මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (01) නියම කළේය.

මරණයත් සමග අහිංසක පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා ඇති මුදල් වංචා කිරීම හේතුවෙන් විත්තිකරුට අදාළ දඬුවම් නියම කරන බව මහෙස්ත්‍රාත්වරයා, තීන්දු ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේය.

එම සිද්ධියෙන් අගතියට පත් පිළිකා රෝගීන් දෙදෙනාට (2) රුපියල් ලක්ෂයක (1,00,000) වන්දියක් සහ රුපියල් එක්දහස් පන්සියක (1500) දඩ මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියම කළ මහෙස්ත්‍රාත්වරයා වන්දි මුදලක් සහ දඩ මුදල් නොගෙවන්නේ නම අමතර මාස 6 ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්ද විත්තිකරුට නියම කර තිබේ.

මෙලෙස දඬුවම් නියම වුයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි අබ්දුල් එලීම් වසීමුල්ලා නොමැති විත්තිකරුවෙකුටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ සමාජ මාධ්‍ය ඒකකය මඟින් විත්තිකරුට එරෙහිව එම නඩුව පවරා තිබුණි.

පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ආධාර උපකාර කරන ලෙසට සඳහන් පුවපත් දැන්වීමකට අනුව දුරකථන ඇමතුම් ලබාදී පැමිණිලිකාර පිළිකා රෝගින් දෙදෙනාගේ (2) බැංකු ගිණුම්වලට ‘අයුතු ලෙස ඇතුළු වී’ (?) සැකකර මුදල් වංචා කර තිබෙන බව අධිකරයේදී අනාවරණය විය ෴


මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය නිලධාරීන්ව කල්ලියක් කොල්ලකෑමට තැත් කරයි

(02.03.2023 – 21:45 +0530 – sinhala.adaderana.lk)

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 35 කට ආසන්න මුදලක් කොල්ලකෑමට සිව් (4) දෙනෙකුගෙන් යුත් කල්ලියක් පැමිණ තිබේ.

කිදෙල්පිටිය බදුවිල මාර්ගයේදී සිදුවීමට ගිය මෙම කොල්ලය අහසට වෙඩිතබා කොල්ලකරුවන් මෙල්ලකර එයින් එක් (1) පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් සමත්වී ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරු හිටපු සිවිල් ආරක්ෂක සෙබළෙක් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු පැමිණි බව කියන යතුරුපැදියක් සහ සැකකරු සන්තකයේ තිබූ මන්නා පිහියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

රුපියල් ලක්ෂ 35 කට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් අලෙවි කිරීමට ගැණුම්කරුවෙකු සොයන බවට ගාල්ල බූස්ස හමුදා නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වැටලීමකට ගිය අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.

එම තොරතුරු ලබාදුන් බුද්ධි නිලධාරීන් මෝටර් රථයකින් පැමිණ ඇති අතර වැටලීම සඳහා පැමිණි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් වෑන් රථයකින් පැමිණ තිබුණි.

පසුව යතුරුපැදි දෙකකින් (2) එම ස්ථානයට පැමිණ තිබූ පුද්ගලයන් සිව් (4) දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ එක් (1) අයෙකු නිලධාරියෙක් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 35 කොල්ලකෑමට තැත් කර ඇත.

ඒ සමගම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියකු රාජකාරි ගිනි අවියෙන් අහසට වෙඩි තබා තිබේ.

පිරිස මෙල්ල කිරීමත් සමගම තිදෙනෙකු (3) යතුරුපැදියක නැගී පළාගිය බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු වන අතර වැල්මිල්ල මෛත්‍රී මාවතේ පදිංචි අවුරුදු 38 ක පුද්ගලයෙකි.

සැකකරු සමග පැමිණි අනෙක් පුද්ගලයන් ද හඳුනාගෙන ඇති බව පානදුර කොට්ඨාසයේ වැඩබලන පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න මහතා පැවසීය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *