කරන්නාගොඩ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර බෙදුම්වාදය පරාජය කළ යුතුයි – යසස් ධර්මදාස

කරන්නාගොඩ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර බෙදුම්වාදය පරාජය කළ යුතුයි – යසස් ධර්මදාස


කරන්නාගොඩ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර බෙදුම්වාදය පරාජය කළ යුතුයි – යසස් ධර්මදාස

(01.03.2023 – 17:14 +0530 – lankaleadnews.com)

= කරන්නාගොඩ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර බෙදුම්වාදය පරාජය කළ යුතුයි – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස =

මැයි 09 වන දින අරගලය හමුවේ නිවාස ගිනිතැබීම් පිළිබඳව කරන්නාගොඩ කොමිසමෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ෂවේන්ද්‍ර සිල්වා මහතා හට චෝදනා කර තිබීම පිළිබඳව ‘ලංකා ලීඩ් නිවුස්’ වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා ප්‍රකාශකර සිටියේ ෂවේන්ද්‍ර සිල්වා මහතාට වෙනත් විකල්පයක් නොමැති වන්නට ඇති බවයි.

යසස් ධර්මදාස මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන් වේ :

“අප 2017 වසරේ මාර්තු 12 වෙනි දින සිට, ‘ජිනීවාහි මානව හිමිකම් කොමිසම 2015 ජූනි මාසයේ 27 වන දින සිට ප්‍රඥප්ති 30/1 යටතේ, අපේ රණවිරුවන් යුද අපරාධකරුවන්‍ වන්නේය යනුවෙන් පිළිගෙන තිබීම නිශ්ප්‍රභා කර අපේ රණවිරුවන් යුද අපරාධ චෝදනා වලින් නිදොස් කරගත යුත්තේය’ යන්න පළාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පවසා සිටි නමුදු එතුමා ඒ පිළිබඳව කටයුතු නොකරන ලදී.

එයට හේතුව විය යුත්තේ නීතිය පිළිබඳව එතුමාට ප්‍රමාණාත්මක දැනුමක් නොතිබීම, එතුමාගේ නීති උපදේශකයින් පවසන මතය පමණක් දැඩිව පිළිගැනීම සහ වෙනත් මතයන්ට විශේෂයෙන්ම කරපටිධාරීන් නොවන කණ්ඩායම්වල මතයන්ට ඇහුම්කන්දීමේ ඌනතාවය යැයි සඳහන් කළ හැක.

2017 අප එසේ ආරම්භ කළ ‘අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් නොවේය’ යන්න ලෝකයට කියා පෑමේ අවසාන උත්සාහය 2021 වසරේ ජනවාරි 11 දින පළාගිය ජනාධිපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක කවුන්සිලයෙන් අවසන් කිරීමට අපට සිදුවිය.

එදින අප බාගතකරනලද යුද අපරාධ චෝදනා පත්‍ර ඇතුලත් ‘බොක්ස් ෆයිල්’ දෙකක් (2) ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කරනලදී. අපේ නියෝජිතයින් එහිදීද සැලකර සිටියේ යුද අපරාධ චෝදනා නිශ්ප්‍රභාකර, චූදිතයින්ට ස්වභාවික යුක්තිය ඉල්ලා, චෝදනාවලින් නිදොස් කරගෙන ඳඬුවම් වලින් වලක්වා ගත යුතු බවයි.

එහිදී ෂවේන්ද්‍ර සිල්වා සහ ජී.එල්. පීරිස් යන මහතුන්ගේ උපදෙස වූයේ ඒ කිසිවක් නොකර ඳඬුවම්වලින් බේරීමට ‘මධ්‍යස්ථ මතධාරී දෙමළ ඩයස්පෝරාව ‘එන්ගේජ්’ කරගත යුතු’ බවයි.

එසේ ‘එන්ගේජ්’ කර ගැනීම සඳහා අධික මිළක් ගෙවීමට සිදුවිය හැකි බවත් එම මිළ රට බෙදීමේ ඉල්ලීම් ඉටුකිරීම දක්වා මාර්ග සිතියම විය හැකි බවත් අපේ නියෝජිතයින් පෙන්වා දෙන ලදී. රටේ අවාසනාවට මෙම කරුණු කිසිවක් ගෝඨාභය ඇතුලු ආරක්ෂක කවුන්සිලයට නොවැටහුනි.

ප්‍රාථමික වරිග සභාවක වුවද චූදිතයෙකුගේ මූලික අයිතිවාසිකමක් වන්නේ ඔහු හෝ ඇය විසින් තමා නිර්දෝශී නම් ඒ බව පැහැදිලි කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටීමයි. එසේ නොමැතිව චූදිත විසින් චෝදක සමග ඳඬුවම් වලින් ගැලවීම සඳහා ‘ඩීල්’ එකක් දමා ගැනීමට යොමුවන්නේනම් එයින් පිළිඹිබු වන්නේ චූදිත එම වරද පිළිගන්නා බව වේ.

මේ සංසිද්ධිය වටහා ගැනීමට නීතිය පිළිබඳව මහාචාර්ය දැනුමක් අවශ්‍යවන්නේ නැත. ඒ අනුව චූදිතයින් වරද පිළිගෙන ඇති බවට උපකල්පනය කළ හැක. තුන්වන පාර්ශ්වයක් ලෙස අප එම චූදිතයින් එම යුද අපරාධ නොකළ බවට කොපමණ කරුණු හා සාක්ෂි ඉදිරිපත් කළද ඒවා තවදුරටත් වලංගු නොවේ. මෙම ‘ඩීල්’ සරණ යෑමේදී චූදිතයින්හට විවිධ ආකාරයට චෝදකගේ තීරණ වලට යටත්වීමට සිදුවේ.

ඒ අනුව චූදිතයින් තමුන්ට කැමති ආකාරයට චෝදක සමග ‘ඩීල්’ වලට යෑම අපේක්ෂා කළ හැක.

ඉහත පෙන්වාදුන් පරිදි යුද අපරාධ චෝදනාවලින් රණවිරුවන් නිදොස් කරගැනීමට පළාගිය ජනාධිපති ගෝඨාභය මැතිතුමා සාධණීයව මැදිහත් නොවුන බව පෙන්නෙනට තිබෙන බැවින් පිටු 133 ක ‍යුද අපරාධ චෝදනා හිමිකරුවෙක වන ෂවේන්ද්‍ර සිල්වා මහතාට කෙසේ ක්‍රියාකරන්නේද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතුවීම වැළක්විය නොහැක. එම කරුණු පසෙක තබා කරන්නාගොඩ කොමිසමේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මහා චිත්‍රයේ වැදගත් කොටසක් මකා දැමීමක් වෙනු ඇත. එබැවින් දේශප්‍රේමී ජාතික සංවිධාන කරන්නාගොඩ කොමිශමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු අතර එහි පාර්ශව කරුවෙකුද විය යුතුවේ.

එසේ කිරීමෙන් මධ්‍යස්ථ දෙමළ ඩයස්පෝරාව ‘එන්ගේජ්’ කරගැනීමෙන් ඉදිරියට ගෙනයාමට සැළසුම් කර ඇති සියළුම බෙදුම්වාදී මාර්ග ඇහිරීමට සමස්ථ දේශප්‍රේමී ජනතාව පෙළගැස්වීමට හැකියාව ලැබෙනු ඇත” ෴


කුරුඳුමලේ චෛත්‍යය ළඟ ගජේන්ද්‍රකුමාර්ලා පරල වෙති

(28.02.2023 – divaina.lk)

සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා ගජේන්ද්‍රන් යන දෙදෙනා (2) තවත් පිරිසක් සමග 26 දා රාත්‍රියේ මුලතිව් කුරුඳුමලේ විහාරස්ථානයේ චෛත්‍යය ඉදිකෙරෙන ස්ථානයට ගොස් එහි ආරක්ෂාවට සිටින පොලිසියේ හා යුද හමුදාවේ පිරිස සමග බහින්බස් වී තිබේ.

මන්ත්‍රීවරුන් දෙදෙනා (2) එහි සිටි පිරිසට තර්ජනය කරමින් ඉදිකිරීම් වහාම නතර කරන ලෙස කෑකෝ ගසා ඇති අතර චෛත්‍යය ඉදිකිරීම නීති විරෝධී ක්‍රියාවක් බව ද ප්‍රකාශ කොට ඇත.

දෙමළ දේශපාලන පක්ෂ විසින් මුලතිව් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේදී යළි එම ස්ථානයේ නව ඉදිකිරීම් නොකරන ලෙස අධිකරණය නියෝගයක් ලබා දී තිබියදී කුරුඳුමලේ චෛත්‍යය ඉදිකිරීම නීතියට පටහැනි බව එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කොට තිබේ.

මන්ත්‍රීවරුන් දෙදෙනා (2) සමග පැමිණි කැමරාකරුවන් කීප දෙනකු මාධ්‍යවේදීන් ලෙස හඳුන්වා දී ඇති අතර ඔවුන් පොලිස් නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් රැඳී සිටින බැරැක්කවලට සහ මුළුතැන්ගෙයට පවා ගොස් ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගෙන තිබේ.

නමුත් ඔවුන් මාධ්‍යවේදීන් නොව මන්ත්‍රීවරුන්ගේ කාර්යාලවල සේවය කරන පිරිසක් බවට තොරතුරු හෙළි වී තිබේ. මේ පිරිස කුරුඳුමලේ චෛත්‍යය වටා ඇවිදිමින් සියලු දෙනාටම බැණ වැදෙමින් පැයක් පමණ රැඳී සිට ආපසු ගොස් තිබේ.

දිනසේන රතුගමගේ


‘සල්ලි නැහැ’ කියමින් තවදුරටත් වංචා නොකර මහජන මතය ප්‍රකාශ කිරීමේ ‘සාමකාමී මාවත’ වහාම විවර කරන්න – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

(01.03.2023 – facebook.com/WimalWeerawansa.sl)

‘පුංචි ඡන්දයේ’ වැය බර මිලියන 1100 යි! – ‘සල්ලි නැහැ’ කියමින් තවදුරටත් වංචා නොකර මහජන මතය ප්‍රකාශ කිරීමේ ‘සාමකාමී මාවත’ වහාම විවර කරන්න -උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ ආණ්ඩුවට අවධාරණය කරයි.

රුපියල් මිලියන 1100 ක හෙවත් රුපියල් බිලියන 1.1 ක වැය බරකින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කර ඇති බවත් ඒ නිසා තවදුරටත් ‘සල්ලි නැහැ’ කියමින් වංචා නොකර, මහජන මතය ප්‍රකාශ කිරීමේ ‘සාමකාමී මාවත’ ආණ්ඩුව වහාම විවර කළ යුතු බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (28) කොළඹ, ඩාලි පාරේ පිහිටි නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ පැවසීය.

එහිදී නිදහස් ජනතා සන්ධානයේ නායකත්ව මණ්ඩලය නියෝජනය තවදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය :

“ඔබ කවුරුත් දන්නවා, නිදහස් ජනතා සන්ධානය බිහි වූයේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග. විවිධ අභියෝග ජය ගනිමින් අපි කඩිනමින් සන්ධානය ගොඩනඟා ගත්තා පමණක් නොවෙයි, පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂක කණ්ඩායම් ඉදිරිපත් කරමින්, ඔවුනට සක්‍රීය නායකත්වය දෙමින්, පුළුල් මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළක නිරත වෙමින් සිටියදී තමයි මැතිවරණය කල් දැමීමේ කටයුතු සිදු වන්නේ. මැතිවරණය කල් දැමීමත් සමග මේ රටේ ජනතාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඇති බලාපොරොත්තුව දිනෙන් දින හීන වෙමින් යනවා.

රනිල්ගේ විකට ජවනිකා

අද අපේ ජන සමාජය බරපතළ ආර්ථික පීඩනයකට ගොදුරු වී තිබෙනවා. බඩු මිල ඉහළ යන විට, විදුලි බිල 60% -70% කින් වැඩිවන විට, රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන් උපයන සෑම පුද්ගලයකුටම 30%-40% ක බද්දක් ගෙවන්න සිදු වන විට සමාජයේ සෑම තරාතිරමකම පිරිස් දැඩි ආර්ථික අහේනියකට ලක් වීම සිදුවෙනවා. එම ආර්ථික අහේනියට ලක් වෙලා ඉන්න ජන සමාජයට අද ඊට අමතරව ජනාධිපතිවරයාගේ කෝලම් බලන්නත් සිදු වෙලා තිබෙනවා. රටේ ජනාධිපති ජනතාව පත්වෙලා ඉන්න පීඩාවට විසඳුම් දෙනවා වෙනුවට, පාර්ලිමේන්තුවට ඇවිත් කලිසම් සාක්කුවල අත්දෙක ඔබාගෙන ‘ඡන්දයකුත් නැහැ – ඡන්ද තියන්න සල්ලිත් නැහැ’ කියමින්, කැරකි-කැරකි විකට ජවනිකා පෙන්වනවා. අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්න ජනතාව ඒ විකට ජවනිකා බලා ඉන්න සූදානම් නැහැ. අපි දන්නවා යුක්රේන ජනාධිපති වුණොත් විකටයෙක්. ඔහු විකට රංගන ශිල්පියෙක්. රනිල් වික්‍රමසිංහ මහතා රංගන ශිල්පියකු නොවුණාට අද පාර්ලිමේන්තුවට ඇවිත් රඟ දක්වන්නේ විකටයකුගේ චරිතයක්. එයාගෙ ප්‍රේක්ෂකයන් වී සිටින්නේ පාර්ලිමේන්තුවේ සිටින පොහොට්ටු මන්ත්‍රීවරුයි. එක විකට ජවනිකාවක් රඟ දක්වලා, තමන් පිටිපස්සේ ඉන්න ඒ ප්‍රේක්ෂකයන්ගේ සිනාමුසු ප්‍රතිචාර දිහා බලලා, ඉන් උද්යෝගයට පත්වෙලා, රනිල් වික්‍රමසිංහ මහත්තයා තවත් විකට ජවනිකාවක් රඟ දක්වනවා. පාර්ලිමේන්තුව කියන්නේ මහජන බදු මුදලින් නඩත්තු වන තැනක්. ඒ නිසා ‘ජනතාව ගැන අබමල් රොනක හෝ හැඟීමක් තිබෙනවා නම් පාර්ලිමේන්තුවට ඇවිත් විකට ජවනිකා රඟ දැක්වීම නතර කරන්න’ කියා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

බිලියන 1.1 වත් ලබා දෙන්න

අද (28) නිදහස් ජනතා සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා ඇතුළු අපේ නියෝජිතයින් පිරිසක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට සහභාගී වූවා. එහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් සඳහන් කොට තිබෙනවා, ‘අවම වශයෙන් රුපියල් බිලියන 1.1 ක් හෙවත් රුපියල් මිලියන 1100 ක් ලබා දුන්නොත් අපි මැතිවරණය පවත්වන්න ලෑස්තියි’ කියා. ‘රුපියල් මිලියන 1100 ක් මහා භාණ්ඩාගාරයේ නැහැ’ කියා කාටවත් විශ්වාස කරන්න බැහැ. භාණ්ඩාගාරය ඒ තරමටම හිඳිලා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා නඩත්තු කරන්නත් බැරි වෙන්න ඕනේ; ජනාධිපති වැය ශීර්ෂයේ මුදල් ටික දෙන්නත් බැරි වෙන්න ඕනේ. ඉහත සාකච්ඡාවේ දී අනාවරණය වී තිබෙන්නේ මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණය සඳහා වන වැය බර 60%-70% කින් පහළ දැමීමට කටයුතු කර ඇති බවයි.

වහාම සාමකාමී මාවතට යන්න!

ඒ නිසා ‘සල්ලි නැහැ’ කියමින් තවදුරටත් වංචා කරන්නේ නැතිව, මහජනයාගේ ඇත්ත මතය ප්‍රකාශ කිරීමේ සාමකාමී මාවත විවෘත කරන්න, කියා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. ඡන්ද අයිතිය ඉල්ලන විරෝධතාවලට ‘පහර දීලා-කඳුළු ගෑස් ගහලා’ නම් මේ ප්‍රශ්නය විසඳන්න යන්නේ, ලැබෙන්නේ කල්පවතින විසඳුමක් නොවෙයි. එසේ විරෝධතාවලට පහර දීලා, ජනතා මතය ඉදිරිපත් කිරීමට වැට බැඳීම අපි නිදහස් ජනතා සන්ධානය ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඒ වගේම මැතිවරණ තුළින් මහජනතාවට තම නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට තිබෙන අයිතිය උදුරා ගත්තොත් මේ රටේ එක වකවානුවක සිදු වුණා වගේ වෙනත් ‘හඬවල්’ පිට වෙන්න පුළුවන්. ඒවායින් අපේ ජන සමාජයට යහපතක් වන්නේ නැහැ.”

මෙම මාධ්‍ය හමුවට නිදහස් ජනතා සන්ධානයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-03-01

+


මේ මොන මෝඩ කතාද ? – ඡන්දය තිබ්බත් නැතත් පළාත් පාලන ආයතන වියදම් කරනවා – රනිල්ගේ බොරුව නාලක ගොඩහේවා හෙළිකරයි (02.03.2023)

+

+


පුතාට සිංදු කියන්න දුන්නැතැයි ඇමති බන්දුල දුම්රියක් තහනම් කරලා..?

(02.03.2023 – 14:10 +0530 – lankacnews.com)

දවසට රුපියල් ලක්ෂ 50 ක ආදායම ලැබෙන සංචාරක දුම්රිය ව්‍යාපෘතියක් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නතර කර ඇති බව දුම්රිය නගාසිටුවීමේ සංගමය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා පෙන්වා දෙන්නේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත්‍රයාට දෙසැම්බර් 31 වැනි දා රූපවාහිනී සංගීත ප්‍රසංගයේ දී ගායනා කිරීමට ඉඩ නොදීම හේතුවෙන් එය තහනම් කරන ලදැයි සැකයක් ඇතිවී තිබෙන බවයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවකදීය.

ලංකාවේ වටිනාම ඉඩම් ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට බවත් කොමිස් මුදල් බලාපොරොත්තුවෙන් කුණු කොල්ලයට ඒවා ලබා දී ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අද හිඟා කන තත්ත්වයට පත්ව ඇති බවත් හෙතෙම පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ කරන ලද්දේ ලලිතසිරි ගුණරුවන් විසින් බවත් සැහැල්ලු දුම්රිය ශ්‍රී ලංකාවට අහිමි කළේ ඔහු විසින් බවත් හෙතෙම තවදුරටත් කියා සිටී.

+


කුමරතුඟු මුනිදසුන්ගේ 79 වැනි ගුණ සමරුව අද (02) යි

(02.03.2023 – 07:10 +0530 – hirunews.lk/sinhala)

දෙස-බස-රැස නඟා සිටුවීම උදෙසා මහඟු වූ ශාස්ත්‍රීය හා සමාජමය සද්කාර්‍යභාරයක් ඉටු කළ කුමාරතුංග මුනිදාසයන්ගේ 19 වැනි ගුණ සමරුව අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් පැවැත්වෙන ගුණ සමරු උලෙළ අද (02) කොළඹ දී පැවැත්වීමට නියමිත බව ‘හෙළ හවුල’ නිවේදනය කරනවා.

ඒ අනුව කොළඹ,ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී සවස 03 ට මෙම උලෙළ පැවැත්වෙන අතර, ඒ සඳහා සහභාගි වන ලෙස යි හෙළ හවුල සියලු ම දෙනාට ආරාධනා කර සිටින්නේ.

හෙළ හවුල (නිල විබැඳුම්පොළ)

හෙළ හවුල (මුහුණුපොත)

+

https://fb.watch/j0ory0ht0r/

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *