කඳුකර කොටියෙකුගේ පහර කෑමෙන් වතු කම්කරුවෙකු රෝහලේ

කඳුකර කොටියෙකුගේ පහර කෑමෙන් වතු කම්කරුවෙකු රෝහලේ


කඳුකර කොටියෙකුගේ පහර කෑමෙන් වතු කම්කරුවෙකු රෝහලේ

(01.03.2023 – 16:49 +0530 – hirunews.lk/sinhala)

සුනඛ දඩයමේ පැමිණි කඳුකර කොටියෙකු වතු කම්කරුවෙකුට පහර දී බරපතල ලෙස තුවාල සිදු කර ඇති බව බගවන්තලාව ටින්සින් වතුයායේ වතු පාලන අධිකාරිය පවසනවා.

බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ තේ කර්මාන්ත ශාලාව අසල තේ වත්තේ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදමින් සිටි වතුකම්කරුවෙකුට මෙසේ කඳුකර කොටියා පහර දී තුවාල සිදු කර ඇත්තේ.

තේ වත්තේ වැඩ කරමින් සිටි තුවාලකරු සුනඛයෙකු කෑගසන ශබ්දය ඇසිමත් සමග එය සොයා බැලිමට ඒ අසලට ගිය අවස්ථාවේ සුනඛයෙකු ගොදුරු කරගෙන සිටි කඳුකර කොටියා වතු කම්කරුවාට පහර දි තුවාල සිදු කර පලාගිය බවයි තුවාල ලැබු වතු කම්කරුවා සමග තේ වත්තේ වැඩ කරමින් සිටි සෙසු වතු කම්කරුවන් පවසන්නේ.

අද (01) උදැසන 10 ට පමණ මෙම පහර දිම සිදු වු බවත්, පහර කැමෙන් බරපතල ලෙස තුවාල ලැබු වතු කම්කරුවා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා ෴


රහස් පොලිසියෙන් යැයි කියා නිවසකට ඇතුළු වී පවුම් 38 ක ස්වර්ණාභරණ කොල්ල කාලා

(01.03.2023 – 17:02 +0530 – hirunews.lk/sinhala)

රහස් පොලීසියේ නිලධාරීන් යැයි කියමින් යාපනයේ කෝපායී උදයන්කාඩු ගම්මානයේ නිවසකට ඇතුලු වූ පුද්ගලයින් දෙදෙනෙකු (2) වයෝවෘද්ධ අඹුසැමියන් දෙදෙකෙකු (2) රවටා පවුම් 38 ක ස්වර්ණාභරණ පැහැර ගෙන ගොස් ඇති බවට පුවතක් වාර්තා වනවා.

සැකකරුවන් දෙදෙනා (2) විසින් අදාල නිවසේ දොරට තට්ටු කොට ඔවුන්ගේ පුතා ව රහස් පොලීසියෙන් රැගෙන ගොස් ඇති බැවින් කට උත්තරයක් ලබා ගැනීමට අවශ්‍ය බව කියමින් නිවසට ඇතුලු වී මෙම කොල්ල කෑම සිදු කොට තිබෙන බවයි ඊයේ (28) කෝපායි පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

කොල්ලකරුවන් නිවසට පැමිණෙන විට නිවසේ සිට ඇත්තේ වයෝවෘද්ධ යුවල පමණක් බවයි වාර්තා වන්නේ.

කෝපායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනවා ෴


මාස හතක් (7) බිල් නොගෙවීමෙන් පානීය ජල ව්‍යාපෘති 24 ක විදුලිය විසන්ධි කරලා

(01.03.2023 – 17:23 +0530 – hirunews.lk/sinhala)

මාස හතක (7) කාලයකින් විදුලි බිල්පත් ගෙවා නොමැති නිසා වවුනියාවේ පානීය ජල ව්‍යාපෘති 24 ක විදුලිය විසන්ධි කර තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට එම මධ්‍යස්ථානවලින් පානීය ජලය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි එම ගම්මානවල වැසියෝ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැමිණිලි කොට තිබෙනවා.

වවුනියාව ප්‍රදේශයේ පවතින උග්‍ර වකුගඩු රෝගය හේතුවෙන් ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණින් මෙම ජල මධ්‍යස්ථාන ස්ථාපිත කොට ඇති අතර ඒවායෙහි විදුලි බිල්පත් ගෙවනු ලබන්නේ වකුගඩු රෝග නිවාරණ කටයුතු සම්බන්ධයෙන් වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින්.

එම බලකාය විසින් අදාල පළාත්වල ප්‍රාදේශීය ලේකම්වරුන්ට මුදල් ප්‍රතිපාදන ලබා දීමෙන් පසුව එම නිලධාරීන් විසින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු මුදල පියවන අතර මාස හතකින් (7) ප්‍රාදේශීය ලේකම්වරුන්ට මුදල් නොලැබීම නිසා විදුලි බිල්පත්වල හිගයක් පවතින බව ජල මධ්‍යථානවල පාලකවරු සදහන් කරනවා.

ඇතැම් ජල මධ්‍යස්ථානවල රුපියල් ලක්ෂයකට වඩා හිඟ විදුලි බිලක් ඇති අතර එම ජල මධ්‍යස්ථානවලින් බොහොමයක් ක්‍රියාත්මක වන්නේ පාසල් ආසන්නයේ පාසල් ළමුන්ට පිරිසිදු පානීය ජලය බෙදා හැරීමේ අරමුණ ඇතිවයි ෴


දැරියගේ පියාගේ මල්පෝච්චි පහරින් අතවර චෝදනා ලද කුරුණෑගල විහාරාධිපති වල්සාදු මරුට

(01.03.2023 – gossiplankanews.com ඇසුරෙන්)

කුරුණෑගල හෙට්ටිපොල අංගමුව මගුලාගම ශ්‍රී සුගතාරාම විහාරස්ථානාධිපති එළුවාපොල වංගීරථන (70) වල්සාදු ඊයේ (28) ඝාතනයට ලක්ව ඇතැයි වාර්තාවී තිබේ.

පුද්ගලයෙකු විසින් ඊයේ (28) සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මෙම ඝාතනයට මුල්වී ඇත්තේ වයස අවුරුදු 08 ක දැරියකට අතවර කිරීමට අදාළව මෙම විහාරාධිපති වල්සාදු චෝදනාවන්ට ලක්ව තිබුණ පසුබිමකය.

විහාරාධිපති වල්සාදුට පහරදී ඝාතනය සිදු කර ඇත්තේ එම අතවරයට පත්වූ බව කියන දැරියගේ පියා බවට හඳුනාගෙන ඇත.

දැරිය කාලයක් තිස්සේ මෙම වල්සාදු අතින් අතවරයට ලක්ව ඇති බවත් ඒ සම්බන්ධ පැමිණිල්ලක් විභාග වෙමින් පැවති බවත් පැවසිණි.

සැකකාර වල්සාදු අත්අඩංගුවට ගැනීම සඳහා හෙට්ටිපොල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර මාස 2 ක පමණ කාලයක සිට මෙම දැරිය අපයෝජනයට ලක්කර ඇති බව හෙළිව තිබුණි. මෙම චෝදනා මත වල්සාදු අත්අඩංගුවට ගන්නට සොයමින් සිටියදී පලාගොස් සැඟවී වාසය කරමින් සිට ඇත.

ඊයේ (28) සවස විහාරස්ථානයට පැමිණි එකී දැරිය හා ඇගේ මව මිදුල ඇමදීමට ගිය අවස්ථාවේදී වල්සාදු එක්වරම පන්සලෙන් මතුව ඇති අතර දැරිය තනිවන වේලාවක් බලා එතැනට ගොස් දැරියගේ මුහුණ සිප ගන්නට උත්සාහ කර තිබේ.

දැරියගේ මවට සිද්ධිය සැලවී දැරියගේ පියාට එම සිදුවීම දුරකථනයෙන් දැනුම්දීමෙන් අනතුරුව පියා පැමිණ ආවේගාත්මක ලෙස වල්සාදුට පහර දී ඇතැයි වාර්තා විය. මල්පෝච්චි හා පොලුවලින් පහර කෑමට ලක්වී බරපතල තුවාල ලැබූ වල්සාදු ගිලන් රථයකින් කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර පසුව ඊයේ (28) රාත්‍රී රෝහලේ ප්‍රතිකාර ලබන අතර තුර ජීවිතක්ෂයට පත්විය.

පහරදීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය විමර්ශන සිදු කරයි.


වර්ජනය කළ වෘත්තීය සංගම් රජයට සතියක් කල් දෙයි

(01.03.2023 – 19:49 +0530 – hirunews.lk/sinhala)

වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති රැසක් අද (01) ක්‍රියාත්මක කළ වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් ක්ෂේත්‍ර රැසක කටයුතුවලට සැලකිය යුතු මට්ටමේ බලපෑමක් එල්ල වුණා.

කෙසේ වෙතත්, ක්ෂේත්‍ර රැසක කටයුතු ජනතාවට පීඩාවක් නොවන ආකාරයට ක්‍රියාත්මක වන ආකාරයද දැකගත හැකිවුණා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ඔවුන් දියත් කළේ රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින්.

වෘත්තීය ක්‍රියාමාර්ග අතරතුර ඇතැම් ක්ෂේත්‍රවල සේවකයන් දහවල් කෑම පැයේදී විරෝධතාවලද නිරත වුණා.

වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළේ ලබන සතිය ඇතුළත බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදුනොවුනහොත් අනතුරුව අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවයි.

සෞඛ්‍ය, ඉන්ධන, විදුලි, ජල, වරාය, සරසවි ඇතුළු ක්ෂේත්‍ර රැසක දෛනික කටයුතුවලට ඒ ඒ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති ආරම්භ කළ ක්‍රියාමාර්ග හේතුවෙන් බලපෑම් එල්ල වුණා.

ඉන්ධන, විදුලි සහ ජල ක්ෂේත්‍රවල වෘත්තීය සමිති සිය විරෝධය පළ කිරීම සඳහා තෝරාගෙන තිබුණේ අසනීප නිවාඩු වාර්තා කිරීමයි.

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 22 ක සාමාජිකයින් ලෙඩ නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටියා.

ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ, අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (01) දිනයේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධා එල්ල වූ බවයි.

මේ අතර, රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව දියත් කර ඇති සංකේත වැඩ වර්ජනය සාර්ථක බව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ කියා සිටියා.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති සිදු කළ විමසීමක දී වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් සඳහන් කළේ, සුළු ප්‍රමාදයන් පැවතියද වරාය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක්ද අද (01) වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වුණා.

ද සොයිසා කාන්තා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, වකුගඩු රෝහල ආදී අත්‍යාවශ්‍ය සේවා සපයන ස්ථාන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණා.

දිවයිනේ රෝහල් රැසක බාහිර රෝගී අංශවලට පැමිණි රෝගීන් අපහසුතාවයට පත්ව තිබූ අතර, ඇතැම් රෝහල්වල එම කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණා.

අද (01) ක්‍රියාමත්මක වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පොදු ප්‍රවාහනයට බලපෑමක් එල්ල වූයේ නැහැ.

පෞද්ගලික බස් රථ සංගම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ නොකරන බව ඊයේ (28) දිනයේම ප්‍රකාශයට පත් කළ අතර, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ කියා සිටියේ දුම්රිය ධාවනයද සාමාන්‍ය පරිදි සිදුවූ බවයි.

කෙසේ වෙතත්, දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වී තිබූ අතර, ඇතැම් දුම්රිය ප්‍රමාද වී ධාවනය කෙරුණා.

මේ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටි අතර, ඇතැම් පාසල්වල ගුරුවරුන් කළු ඇඳුමින් සැරසී පාසල් වෙත පැමිණ සිටියා.

එමෙන්ම, වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් බැංකු කටයුතුවලට බාධා එල්ල වී තිබුණා. ලංකා බැංකු සේවක සංගමයේ ලංකා බැංකු ශාඛාවේ සභාපති අනුරාධ නිරාජ් පීටර් කියා සිටියේ තම වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථක බවයි.

මේ අතර, රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් දියත් කළ වෘත්තිය ක්‍රියාමාර්ගවලට රජය යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඉදිරියේදී ක්‍රියාමාර්ග දැඩි කරන බව වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළා.

+


අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම ගැන විශේෂ තීරණයක්

(01.03.2023 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට වෘත්තීය ක්‍රියාමාර්ග බාධාවක් වන්නේ නම් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීමට අවසර ලබාදීමට විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

මෙම තීරණය ගෙන තිබෙන්නේ අද (01) පැවති විශේෂ කැබිනට් රැස්වීමේදීයි ෴


‘සැමට ජලය’ දෙන්න දෙපාරක් නළ එළපු වැලිගම ව්‍යාපෘතිය

(01.03.2023 – 22:00 +0530 – hirunews.lk/sinhala)

වැලිගම මීරුප්ප ප්‍රදේශයේ ජල අවශ්‍යතාවය සඳහා දින කිහිපයකට ඉහත දී එලන ලද ජල නල පද්ධතියක් ඉවත් කොට නැවත ඒ සඳහා වෙනත් ජල නල එළිමට කටයුතු කළ පුවතක් වාර්තා වනවා.

ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය මගින් ‘සැමට ජලය’ ව්‍යාපෘතිය යටතේ වැලිගම මීරුප්ප ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා වැඩසටහනක් ආරම්භ කොට තිබූ අතර මෙහි ජල නල එලීම පෞද්ගලික සමාගමක් වෙත පවරා තිබුණා.

කෙසේ නමුත් දින කිහිපයකට ඉහත දී අදාළ පෞද්ගලික සමාගම මගින් ජල නල එළිම සිදුකොට එහි කටයුතු අවසන්ව කොට තිබූ අතර පසුව එම මාර්ගයේ එලන ලද ජල නල පද්දතිය යන්ත්‍ර සූත්‍ර මගින් නැවත ඉවත් කොට එම නල වෙනුවට ප්‍රමාණයෙන් විශාල වෙනත් ජල නල පද්ධතියක් එළිමට පියවර ගෙන තිබෙනවා.

මේ පිළිබඳව ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ රජය විසින් ව්‍යාපෘති භාර දිය යුත්තේ පිළිගත් සහ වගකිය යුතු ආයතන වෙත බවත් එසේම එක ම කාර්ය දෙපාරක් කිරීමෙන් එම සමාගමේ නොහැකියාව වඩාත් ඉස්මතු වන බවයි.

තවද මේ හේතුවෙන් මාර්ගයට මෙන්ම ප්‍රදේශයේ ජනතාවට මහත් හිරිහැරයක් සිදු වී ඇති බවත් ප්‍රදේශවාසීන් පවසනවා ෴


අතුරුදන්වූ ගිනි අවිය හමුවූ තැන

(01.03.2023 – 17:44 +0530 – sinhala.adaderana.lk)

ගුවන් හමුදාවට අයත්ව තිබී අතුරුදන් වූ ගිනි අවියක් සමග ගුවන් හමුදාවේ සෙබළෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සීගිරිය ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටි සෙබළෙකි.

පසුගිය වසරේ නොවැම්බර් මස 04 වනදා එම කඳවුරේ තිබූ ටී 56 ගිනි අවියක් අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඒ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මනුෂ්‍ය ඝාතන කොට්ඨාසය වෙත භාරදී ඇත.

එහිදී සිදුකළ දීර්ඝ විමර්ශනයකට අනුව අදාළ ගිනි අවිය එම කඳවුරේම රාජකාරියේ නිරතව සිටි දඹුල්ල ප්‍රදේශයේ පදිංචි සෙබළෙකු විසින් සොරකම් කර ඇති බවට අනාවරණය වී තිබේ.

අනතුරුව දඹුල්ල රිදියගම ප්‍රදේශයේ සඟවා තිබූ අදාළ ගිනි අවිය සහ එම ගිනි අවියට අයත් මැගසින් දෙකක් සහ උණ්ඩ මෙලෙස සොයාගැනීමට සමත්ව ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මනුෂ්‍ය ඝාතන කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


පොලිස් කොස්තාපල්වරියකට පහරදුන් කොස්තාපල් අත්අඩංගුවට

(01.03.2023 – 09:03 +0530 – sinhala.adaderana.lk)

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය පොලිස් කාර්යාලයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

කඩවත ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක ආරක්ෂාවට යොදවා සිටි කොස්තාපල්වරියක් මෙලෙස පහරකෑමට ලක්වී ඇති අතර පහරදුන් කොස්තාපල්වරයා ඇයගේ ඇයගේ ජංගම දුරකථනය ද පැහැර ගෙන ඇති බව වාර්තා විය.

මෙම සිද්ධියෙන් පසු සැකකාර කොස්තාපල්වරයා වැඩ තහනමකට ද ලක්කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම කොස්තාල්වරයා ඉකුත් 25 වනදා රාත්‍රියේ රාජකාරියට වාර්තා කර සාමාන්‍ය ඇඳුමෙන් සැරසී කිසිවකුටත් නොදන්වා කඩවත ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් බැලීමට ගොස් ඇත.

එහිදී සංගීත ප්‍රසංගයේ ආරක්ෂාව වෙනුවෙන් නිල ඇඳුමෙන් සිටි බියගම පොලීසියේ ආධුනික කොස්තාපල්වරිය සමග ඔහු බහින්බස්වී අනතුරුව ඇයට අතින් පයින් පහරදී තුවාල සිදුකර ඇයගේ ජංගම දුරකතනය ද පැහැරගෙන ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්තාපල්වරිය කළ පැමිණිල්ලකට අනුව කැලණිය පොලිස් අධිකාරීවරයෙකු යටතේ විමර්ශනයක් කර කොස්තාපල්වරයාව පෙරේදා (27) අත්අඩංගුවට ගෙන වැඩ තහනමකටද ලක් කර ඇත ෴


මිනිසුන් අන්ධ කරමින් ඇමරිකාව සලිත කළ අක්ෂි බිංදු රහස අනාවරණය කරගනී

(01.03.2023 – gossiplankanews.com)


නොමිල පිළිකා බෙහෙත රුපියල් 20,000 ට විකුණූ ‘අපේක්ෂා’ ඖෂධවේදියාගේ ගෙදර බෙහෙත් ගබඩාවක්

(01.03.2023 – gossiplankanews.com)

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත භාරයේ සිටින ඖෂධවේදියා සතුව තිබූ රුපියල් කෝටි තුනකට (3,00,00,000) ආසන්න වටිනාකමකින් යුත් ඖෂධ තම රෝහලේ පිළිකා රෝගීන්ට බාරදෙන ලෙස මහරගම අපේක්ෂා රෝහල ඉල්ලීමක් කර ඇතැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ ඊයේ (28) කරුණු ඉදිරිපත් කළේය. මහරගම අපේක්ෂා රෝහලෙන් පිළිකා රෝගීන් සඳහා නොමිලේ නිකුත් කරන ‘කාබොෆැටීන්’ නමැති ඖෂධය ලබාදීමට රුපියල් විසිදාහක (20,000) අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගත්තැයි කියන එම රෝහලේ ඖෂධවේදියා සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අල්ලස් කොමිසම ඊයේ (28) මෙම කරුණු ඉදිරිපත් කිරීම කළේය.

මෙම සිද්ධියේදී සැකකරුගේ නිවසේ තිබූ රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් බෙහෙත් ද්‍රව්‍ය තම භාරයට ගෙන ඒවා මේ වනවිට අධිශීතකරණවල තැන්පත් කර ඇතැයි ද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. සැකකරු ඔහුගේ නිවසේ ඖෂධ ගබඩා කර ගැනීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ බලපත්‍ර ලබාගෙන නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දැක්වීය. මෙහිදී සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ රංජිත් හීල්ලගේ මහතා සඳහන් කර සිටියේ එම බෙහෙත් තම සේවාදායකයාගේ ෆාමසියේ තිබූ ඒවා බවත් එම බෙහෙත් ලබා දෙන්නේ කුමන කරුණක් හේතුවෙන් දැයි යන්නය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන සඳහා රෝහලේ අධ්‍යක්ෂ හා ඖෂධ නියාමන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුළු කිහිප දෙනකුගේ ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බව අල්ලස් කොමිසම එහිදී අධිකරණයට දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය. මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ 35/3, දෙවන මාවත, අඹගහපුර, මහරගම පදිංචි අපේක්ෂා රෝහලේ ඖෂධවේදී ‘මිස්සක උදයංග කන්දමුල්ලගේ’ නමැත්තාය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *