වරාය, විදුලි, තෙල්, බැංකු, වෛද්‍ය, සරසවි ඇතුළු ක්‍ෂේත්‍ර රැසක් අද (01) වර්ජනයේ

වරාය, විදුලි, තෙල්, බැංකු, වෛද්‍ය, සරසවි ඇතුළු ක්‍ෂේත්‍ර රැසක් අද (01) වර්ජනයේ


වරාය, විදුලි, තෙල්, බැංකු, වෛද්‍ය, සරසවි ඇතුළු ක්‍ෂේත්‍ර රැසක් අද (01) වර්ජනයේ

(01.03.2023 – 08:57 +0530 – hirunews.lk/sinhala)

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සෞඛ්‍ය, වරාය, තෙල්, විදුලි සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති රැසක් අද (01) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.

මේ හේතුවෙන් එම ක්ෂේත්‍රවල කටයුතු අඩාල වනු ඇති බවයි ඊට සහය දෙන වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට නම් කරමින් ජනාධිපතිවරයා විසින් මේ වන විට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද සිය සහයෝගය දැක්වීමට ඊයේ (28) තීරණය කළා.

ඒ අනුව දිවයින පුරා රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර සේවා අද (01) දිනයේදී ක්‍රියාත්මක නොවනු ඇති.

එහෙත් මහරගම අපේක්ෂා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් රෝහල, වකුගඩු රෝහල් ඇතුළු රෝහල් කිහිපයක මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ.

සමස්ත ලංකා හෙද සංගමයද මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් අද (01) පෙරවරු දහයේ (10) සිට පස්වරු දෙක (02) දක්වා රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත ප්‍රකාශ කළා.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයද අද (01), කළු විරෝධතාවක් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අද (01) දිනයේදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කළු ඇදුමෙන් සැරසී, කළු පටි පැළඳ පාසල් වෙත පැමිණෙන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද අද (01) දිවයින පුරා සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවලින් ඉවත්වී සිය විරෝධය පළකරන බව ප්‍රකාශ කළා.

එමෙන්ම විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සම්පත් උදයංග නිවේදනය කළේ අද (01) දිනයේ ක්‍රියාත්මක වෘත්තිය ක්‍රියාමාර්ගවලට සහය පළ කරන බවයි.

එමෙන්ම තෙල්, විදුලි, ජල ක්‍ෂේත්‍රවල වෘත්තීය සමිති අද (01) දිනයේදී ලෙඩ නිවාඩු වාර්තා කරමින් සිය විරෝධතාව පළකිරීමට නියමිතයි. ඒ අනුව විදුලි සහ ජල ක්ෂේත්‍රවලට අදාළව හදිසි බිඳවැටීම් යථාවත් කිරීමට පමණක් සේවා සපයන බවයි එම වෘත්තීය සමිති සඳහන් කළේ.

වරාය වෘත්තීය සමිති ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටිනවා. ඒ හරහා භාණ්ඩ ගොඩබෑම්, නැව් පැමිණීම් සහ පිටවීම් සම්පූර්ණයෙන් අඩාල වනු ඇති බවයි එම වෘත්තිය සමිති සඳහන් කළේ.

මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් අද (01) දිනයේදී මහබැංකු සේවකයින්, රජයේ සහ පෞද්ගලික බැංකු ද වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වනවා. ඒ හේතුවෙන් අද (01) රාජ්‍ය සහ පෞද්ගලික බැංකු බොහොමයක කටයුතු අඩාල වනු ඇති බවයි වෘත්තීය සමිති පැවසූවේ.

කෙසේ වෙතත් උපරිම සේවාවක් සැලසීම සඳහා තම බැංකු සූදානම් බවට මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරුන් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අවධාරණය කළා.

මේ අතර දුම්රිය වෘත්තීය සමිති සන්ධානය, දුම්රිය රියදුරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති ගණනාවක්ම අද (01) වර්ජනයට එක්වන බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් අද (01) සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුවන බවයි අප කළ විමසීමකදී දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී.එස්. පොල්වත්තගේ කියා සිටියේ.

කෙසේ වෙතත් අද (01) ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සිය සහය පළනොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.

+


පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය සහ අලුත් කිරීමේ ගාස්තු ඉහළට

(01.03.2023 – 08:21 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචි සහ අලුත් කිරීමේ ගාස්තු ඉහළ දමා තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර ඇති අතර ඒ අනුව මෙවැනි ආයතනයක් මුල්වරට ලියාපදිංචි කිරීමේ දී මෙතෙක් අයකල රුපියල් 15,000 ගාස්තුව රුපියල් 50,000 දක්වා ඉහළ දමා ඇත්තේ, රුපියල් 35,000 කින්.

ඊට අමතරව ලියාපදිංචිය අලුත් කිරිමේ ගාස්තුව රුපියල් 10,000 සිට 25,000 දක්වා මෙමගින් ඉහළ දමා තිබෙනවා.

එසේම බලපත්‍රය කල් ඉකුත් වී යලි ලියාපදිංචිය අලුත් කිරීමේ දී අයකරන ගාස්තු ද ඉහළ දැමුණා ෴


කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

(01.03.2023 – 10:57 +0530 – hirunews.lk/sinhala)

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (01) පස්වරුවේ පැවැත්වෙනවා.

එහිදී පළාත් පාලන ඡන්දය පැවැත්වීම සහ ඊට මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය, ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (28) කතානායකවරයා හමුවී පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මුදල් වෙන් කිරීම සඳහා මැදිහත් වන්නැයි ඉල්ලීමක් කළා.

මේ අතර, මෙම සාකච්ඡාවට පෙර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්, කතානායකවරයා මුණ ගැසීමට නියමිත බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්, ඊ.පී.ඩී.පී. නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු පක්ෂ නායකයින් මෙම සාකච්ඡාවට එක්වනු ඇති.

මේ අතර, පවතින දේශපාලන තත්ත්වය සහ පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයන් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් අද (01) බත්තරමුල්ලේ නෙලුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයට කැඳවා තිබෙනවා.

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අනිද්දා (03) සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාකච්ඡාවක් සඳහා කැඳවා තිබෙනවා.

ඒ පළාත් පාලන මැතිවරණය සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහා සහ සීමා නීර්ණ කොමිෂන් සභාවට අයදුම්පතක් යොමුකළ බව එම කොමිසමේ
හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මැතිවරණ ඇතුළු කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පියවර ගත්තේ ඊට අදාළ කාලය පසුගිය 15 වනදායින් අවසන් විම හේතුවෙන්.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහා සීමා නීර්ණ කොමිෂන් සභාවට අයදුම්පතක් යොමුදළ බව එම කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

මේ වන විට සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කරනු ලබනවා.

අදාළ කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීම නුදුරේදීම අවසන් කරන බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ.

මේ අතර පළාත් පාලන ආයතන කොට්ඨාශ සීමා නිර්ණය සඳහා වු ජාතික කමිටුවේ කාලය තවත් මසකින් දිර්ඝ කරන ලෙස එම කමිටුව, ජනාධිපතිවරයාගෙන් සහ විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලා තිබෙනවා.

+


භූමිතෙල් මිල පහළට

(01.03.2023 – 12:01 +0530 – hirunews.lk/sinhala)

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් මිල පහත දමා තිබෙනවා.

ඒ අනුව, ‘ලංකා භූමිතෙල්’ ලීටරයක මිල රුපියල් 50 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 305 ක් බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.

ඊට අමතරව රුපියල් 464 ක්ව පැවති ‘ලංකා කාර්මික භූමිතෙල්’ ලීටරයක මිල රුපියල් 134 කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 330 ක්.


ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් පේරාදෙණිය සරසවියේ සිසුවියක් මරුට

(01.03.2023 – 13:27 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවියක් ඖෂධ අධි මාත්‍රාවක් ශරීර ගතවීම නිසා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පේරාදෙණිය පොලීසිය කියා සිටියේ මළලසේකර නේවාසිකාගාරයේ රැදී සිටි ඇය ඊයේ (28) රාත්‍රියේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් නිසා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, අද (01) අලුයම මෙම සිසුවිය මියගොස් තිබෙනවා.

‘මානසික ආතතිය’ට ඇය කලක් තිස්සේ ප්‍රතිකාර ලබාගෙන ඇති බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සිසුවියක් ෴


සුබසාධන දීමනා සංගණනය මේ මස 31 වැනිදා අවසන්

(01.03.2023 – 13:32 +0530 – hirunews.lk/sinhala)

සමෘද්ධි ඇතුළු අනෙකුත් සුබසාධන දීමනා සඳහා ඉල්ලුම් කර ඇති පවුල්වල සංගණනය මේ මස 31 වැනිදා අවසන් වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න පවසනවා.

තිස්හත් ලක්ෂ විසිදහසක් (37,20,000) සුබසාධන දීමනා සඳහා ඉල්ලුම් කර තිබූ අතර, නිවාස අසූ දහසකට (80,000) වැඩි ප්‍රමාණයක් මේ වන විට සංගණනය කර අවසන් බවයි ඔහු කියා සිටියේ.

සමෘද්ධි ඇතුළු අනෙකුත් සුබසාධන සඳහා ඉල්ලුම් කර නොමැති පුද්ගලයින්ට ඒ සඳහා යළි අවස්ථාවක් ලබාදෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴


පළාත් පාලන ඡන්දය කඩිනමින් පවත්වන්නැයි ඇමෙරිකාවෙන් ඉල්ලීමක්

(01.03.2023 – 13:38 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔවුන් සඳහන් කළේ මැතිවරණය තවදුරටත් ප්‍රමාද නොකර නිදහස් හා සාධාරණ අයුරින් එය පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි ෴


රුපියල ශක්තිමත් වෙයි

(01.03.2023 – 13:46 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබෙනවා.

ඒ අනුව, අද ඩොලරයක ගැණුම් මිල රුපියල් 353ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල දැක්වුණේ 363යි ශත 30ක් ලෙසයි.

ස්ටර්ලි පවුමක ගැණුම් මිල රුපියල් 421යි ශත 81ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වුණේ 438යි ශත 07ක් ලෙසයි ෴

ඒ අනුව 2022 මැයි මස 04 වනදාට පසුව ඩොලරයක් සඳහා ලැබුණු අවම රුපියලේ අගය මෙය ලෙස දැක්වෙයි (sinhala.adaderana.lk) ෴


පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක්

(01.03.2023 – 14:58 +0530 – hirunews.lk/sinhala)

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට විවධ රාජ්‍ය ආයතනවලින් ‍අවශ්‍ය බලපත්‍ර සහ අනුමැතියන් ලබා ගැනීමේ සහ එම ලබා ගෙන ඇති බලපත්‍ර දීර්ඝ කර ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම වෙනුවෙන් එම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ නියෝජිතයන් සමග හමුවක් අද (01) පැවැත්වුණා.

ඒ, අමාත්‍ය කංචන විජේසේකර ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් 2023 – 2026 සැලසුමට ඇතුලත් කර ඇති ව්‍යපෘති 330 ක් සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන ව්‍යාපෘති ප්‍රදේශ පිළිබඳව දැනුවත් කරන ලැබුවා.

ඒ අනුව එම ආයතන මගින් ලබා දීමට හැකියාව ඇති ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ අනුමැතියන් ලබා දිය නොහැකි ව්‍යාපෘති වෙනුවෙන් ලබා දී ඇති තාවකාලික බලපත්‍ර අහෝසි කිරීම සිදු කෙරෙුණා.

මේ අවස්ථාවට විදුලිබල අමාත්‍යංශය, විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, පරිසර අධිකාරිය, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ඉඩම් අමාත්‍යංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ධීවර අමාත්‍යංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය, පළාත් පාලන ආයතන ඇතුළු වතු සමාගම් නියෝජනය කරන නිළධාරීන් සහභාගී වුණා ෴


බදු ගෙවීම පැහැර හැරි අය සෙවීමට රජයේ අවධානය

(01.03.2023 – 15:04 +0530 – hirunews.lk/sinhala)

ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සඳහා කඩිනම් අවදානයක් යොමුකරන ලෙසයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත්තේ.

බදු ආදායම් රැස්කර ගැනීම සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ පැවැත්වුණා.

එහි දී ආදායම් බදු නිලධාරීන්ගේ හිඟය පියවීම සහ බදු එක්රැස් කර ගැනීමේ දත්ත පද්ධතිය සම්බන්ධයෙන් ද එහිදී කරුණු සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ බදු පැනවීම තුළින් ආදායම් රැස් කිරීම මෙන්ම බදු පැහැර හරින පිරිස් හඳුනා ගැනීම සම්බන්ධයෙන් ද දැඩි අවධානය යොමු කළ යුතු බවයි.

ඇතැම වෘත්තීන්වල නිරත පිරිස් සිය ආදායම නොපෙන්වා බදු ගෙවීම පැහැර හැර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඒ අනුව එම පිරිස් හඳුනා ගැනීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *