ආදායම් බද්දට විරුද්ධයි.. සතියකින් පසු මුළු රටම අකර්මණ්‍ය වන වෘත්තීය ක්‍රියාමාර්ග අරඹනවා… – GMOA

ආදායම් බද්දට විරුද්ධයි.. සතියකින් පසු මුළු රටම අකර්මණ්‍ය වන වෘත්තීය ක්‍රියාමාර්ග අරඹනවා… – GMOA


ආදායම් බද්දට විරුද්ධයි.. සතියකින් පසු මුළු රටම අකර්මණ්‍ය වන වෘත්තීය ක්‍රියාමාර්ග අරඹනවා… – GMOA

(28.02.2023 – 15:50 +0530 – lankacnews.com)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

= මාධ්‍ය නිවේදනය =

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහි දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (28.02.2023) දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ හදිසි මධ්‍යමකාරක සභා රැස්වීමේ තීරණ.

ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කරන අසාධාරණ සහ අයුක්තිසහගත බදු ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට වෘත්තීයවේදීන්, සේවා නියුක්තිකයින් මෙන්ම සමස්ත ජනතාවම පීඩාවට පත්ව ඇති බව යළි යළිත් තහවුරු වෙමින් පවතී.

ජන පීඩක බදු ප්‍රතිපත්තියට එරෙහිව රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි සියලුම සේවා නියුක්තිකයින්ගේ සහ වෘත්තිය සමිති වල සහභාගිත්වයෙන් හෙට (01.03.2023) දින පැවැත්වෙන දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට උපරිම සහයෝගය ලබාදීමට අද (28.02.2023) දින පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය කරන ලදී. ඒ අනුව නැවුම් සහ ශක්තිමත් ප්‍රවේශයකින් හෙට (01.03.2023) දිනයේ දී අප සාමාජිකයින් තම සහයෝගය ලබා දෙනු ඇත.

ජනාධිපතිවරයා සහ වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අතර පැවති සාකච්ඡාවේදී ද නැවතත් සනාථ වූ පරිදි, මෙම ගැටළුවට සාධාරණ විසඳුමක් ලබාදීමට පාලකයින් තවමත් සූදානම් නැත. එබැවින් මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තිය පරාජය කිරීම සඳහා සියලු පාර්ශව එක්කරගනිමින් සටන් ක්‍රියාමාර්ග වඩාත් ප්‍රබල සහ තීව්‍ර කළ යුතු බවද අද (28.02.2023) දිනයේදී මධ්‍යම කාරක සභාව තීරණය කරන ලදී.

සෞඛ්‍ය සේවාව යනු අතිශය සංවේදී ක්ෂේත්‍රයකි. සැබෑ වෛද්‍ය වැඩ වැඩවර්ජනයකදී රෝගීන්ට සිදුවන බලපෑම අතිමහත්ය. අප සැමවිටම උත්සාහ කරනුයේ රෝගීන්ට අවම බලපෑමක් සිදුවන පරිදි වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි යෙදීමටය. ඒ අනුව හෙට (01.03.2023) දිනයේදී ද රෝගීන්ට සහ ජනතාවට සිදුවන බලපෑම අවම වන පරිදි වෘත්තිය සමිති කටයුතු වල යෙදීමට තීරණය කරන ලදී.

රෝහල් වල හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වා ගනිමින් හෙට (01.03.2023) දිනයේ දී රට පුරා පැවැත්වෙන උද්ඝෝෂණ මාලාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ උපරිම සහභාගිත්වය ලබාදෙනු ඇත. එමෙන්ම එම උද්ඝෝෂණයන් සඳහා සහභාගී වන සාමාජික වෛද්‍යවරුන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පූර්ණ වෘත්තිය සමිති රැකවරණය ලබාදීමට ද තීරණය කරන ලදී.

හෙට (01.03.2023) දින මෙරට සියළු ක්ෂේත්‍ර සහ වැඩබිම් ආවරණය කරමින් පැවැත්වෙන දැවැන්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හමුවේත්, අසාධාරණ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට ආණ්ඩුව නම්‍යශීලී නොවන්නේ නම් සියලු පාර්ශව එක්කරගනිමින් එළඹෙන සතියක කාලයෙන් පසු ඕනෑම මොහොතක මුළු රටම අකර්මණ්‍ය විය හැකි දැඩි ක්‍රියාමාර්ග කරා යොමුවන්නට කිසිසේත් පසුබට නොවන බව යළිත් අවධාරණය කරමු.

වෛද්‍ය හරිත අලුත්ගේ,
ලේකම්

+++++++++

හෙට (29) දිනයේ සියලු ම බැංකු කටයුතු අකර්මන්‍ය වෙයි ද?

(28.02.2023 – 13:54 +0530 – hirunews.lk/sinhala)

ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරන බැංකුවල වර්ජනයක් ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.

ඒ, හෙට (29) දිනයේ සිදු වීමට නියමිත දීප ව්‍යාප්ත වැඩවර්ජන මාලාවට සමගාමී ව යි.

මේ අතර, එම සංගමය නියෝජනය නො කරන බැංකු ද මෙම වර්ජනයට එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව යි එහි සභාපති චන්න දිසානායක අවධාරණය කළේ.

අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, එහි දී සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, හෙට (29) දිනයේ දී දිවයිනේ සියලු ම බැංකුවල බැංකු කටයුතු අකර්මන්‍ය වනු ඇති බව යි.

රජයේ ආසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහි ව මෙම වර්ජනය ක්‍රියාත්ක කරන බව සඳහන් කළ සභාපතිවරයා, තවත් ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් මෙම වර්ජනය සඳහා එක් වන බව ද පවසා සිටිනවා ෴

++++++++

වැඩවර්ජනයක් ඉදිරියේ ජනපතිගෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

(28.02.2023 – 14:08 +0530 – hirunews.lk/sinhala)

වරාය, ගුවන් තොටුපළ සහ ප්‍රවාහන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි තවත් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙසට නම් කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් හෙට (01) දිනයේ දීප ව්‍යාප්ත එක්දින (1) වැඩවර්ජනයක් ඇතුළු වෘත්තිය ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක යි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සේවාවන් සැපයීමෙහි නිරත වන ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින්, සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන බව යි.

එකී සේවාවන්ට අවහිරයක් වන හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් ඇතුළු සේවා සපයන ශාඛාවකින් සපයනු ලබන සේවා කිහිපයක්ම අත්‍යවශ්‍ය සේවාවන් ලෙස අදාළ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම සේවාවන් වන්නේ මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා, වරායක් ඇතුළු වූ යාත්‍රාවලින් ආහාර පාන ද්‍රව්‍ය හෝ රට අගුරු, තෙල් හෝ ඉන්ධන හෝ බෑම, ගෙනයෑම, ගොඩබෑම, ගබඩා කිරීම භාරදීම හෝ ඉවත් කිරීම, මංමාවත්, පාලම්, බෝක්කු, ගුවන් තොටුපලවල්, වරායවල්, සහ දුම්රිය මාර්ග ඇතුළුව මංමාවත්, දුම්රිය මාර්ග හෝ ගුවන් මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාමයි.

මීට අමතරව පසුගිය සතියේදීද ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනයක් මගින් විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල් , සාත්තු නිවාස, බෙහෙත්ශාලා සහ වෙනත් සමා ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

මෙලෙස අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත් කර ඇත්තේ බදු සංශෝධන ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් මුල්කරගනිමින් වෘත්තිය සමිති රැසක් වෘත්තිය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකයි.

+


‘රාජ්‍ය දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදල’ක් ස්ථාපිත කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

(28.02.2023 – 11:11 +0530 – hirunews.lk/sinhala)

2016 ජනවාරි මාසයෙන් පසු රාජ්‍ය සේවයට බඳවා ගත් සේවකයින් සඳහා නව ‘රාජ්‍ය දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදල’ක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය සේවකයෙකු සේවයට බැදීමෙන් අනතුරුව මූලික වැටුපෙන් සියයට 8 ක් සහ සේවායෝජකයාගේ දායකත්වය යටතේ සියයට 12 ක් මාසිකව මෙම අරමුදලට බැරවිය යුතු යි.

මෙම යෝජිත දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදල කළමනාකරණ මණ්ඩලයක් මගින් පාලනය වන අතර එය ස්වාධීන ආයතනයක් ලෙස පිහිටවනු ඇති.

මේ අතර මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීමට නීතිපතිවරයාගේ නිශ්කාෂණ ලැබී තිබෙනවා.

එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිවූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ෴


ජාතික ජනබලවේගයේ අපේක්ෂකයාගේ දේහය සම්බන්ධයෙන් නියෝගයක්

(28.02.2023 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජනබලවේගයේ විරෝධතාවට එක්ව සිටිය දී මියගිය නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරිගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙසත් අනතුරුව එය ඔහුගේ පුත්‍රයාට භාරදෙන ලෙසත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළා.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා මහේස්ත්‍රාත්වරයා අද (28) කොළඹ ජාතික රෝහලට පැමිණි අතර එහිදී නියෝග කළේ සිරුර භූමදානය කරන ලෙසයි.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු සුදුසු නියෝගයක් නිකුත් කිරීමට නඩුව ලබන 13 වැනිදා කැඳවීමට ද එහිදී නියෝග කෙරුණා ෴


මැතිවරණ කොමිසමට ගිය මාලිමාව මැතිවරණයට ළඟම දිනයක් ඉල්ලයි

(28.02.2023 – 13:19 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් අද (28) මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි නියෝජිතයින් හමුවී පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වුණා.

එහිදී මාර්තු 03 වැනිදා කොමිසම රැස්වී ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමේ දී ළඟම දිනයක් ප්‍රකාශයට පත්කරන ලෙස තමන් ඉල්ලා සිටි බවයි සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ.

මේ අතර රට ගොඩනැගිය හැකි එකම බලවේගය සමගි ජනබලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කුලියාපිටියේ ඊයේ (27) පැවති ජන හමුවකට එක්වෙමින්.

+


මත්ද්‍රව්‍ය තොගයක් සමග බොලිවියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට

(28.02.2023 – 14:26 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 23 ක් පමණ වටිනා කොකේන් තොගයක් සමග බොලිවියානු ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (28) පෙරවරු 08:30 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඩුබායි සිට මෙරටට එම කාන්තාව පැමිණ ඇති බව සදහන්.

එහිදී ඇගේ ගමන් මළු පරීක්ෂා කිරීමේ දී ‘කොකේන් ද්‍රාවණයෙන් යුත් තෙතමනය සහිත රෙදි’ තිබූ බව ගුවන්තොටුපල රේගුව සඳහන් කළා.

එම රෙදි තුළ තිබූ කොකේන් ප්‍රමාණය, කිලෝ 4 යි ග්‍රෑම් 600 ක්.

26 හැවිරිදි මෙම කාන්තාවගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

+

+


පළාත් පාලන ඡන්ද ගැන සාකච්ඡා කිරීමට විපක්ෂය කතානායක හමුවෙයි

(28.02.2023 – 15:00 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ මුදල් වෙන් කරගැනීම ඇතුළු විශේෂ කරුණු තුනක් (3) මුල්කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්, සහ නියෝජිතයින් පිරිසක් අද (28) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන හමු වී තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තුවේ කථානායකතුමාගේ කාර්යාලයේ දීයි.

එහිදී විපක්ෂ නායකතුමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ 2023 අයවැයෙන් මැතිවරණ පැවැත්වීම සඳහා වෙන්කර ඇති මුදල් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නිදහස් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට යෝජනා කෙරුණා.

කතානායකවරයා ද ඊට සිය එකඟතාවය පළ කර තිබෙනවා.

මැතිවරණය උදෙසා මුදල් නිදහස් නොකිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය ලේකම් ගෙන්වා ප්‍රශ්න කරන ලෙසත්, පවත්නා බරපතළ තත්ත්වය මහපාරට පැමිණ ඇති අතර පසුගිය දා මැතිවරණයක් ඉල්ලා විරෝධතාවයට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පලාත් පාලන අපේක්ෂකයෙකු මියගොස් ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා, එය ඉදිරියේ දී තවත් උග්‍රවිය හැකි බව ද අවධාරණය කළා.

එමෙන්ම, වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ද විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියා.

පාර්ලිමේන්තුවේ බලතල ප්‍රකාරව සම්මත කරගත් මුදල් බලය විධායකයේ බලයකින් යටපත් කරනවා නම් පාර්ලිමේන්තුව කුමකට ද කියා ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා, මැතිවරණ කොමිසමේ පස්දෙනාම (5) එකග වී මැතිවරණය ප්‍රකාශ කළ බවත්, ගැසට් හරහා ද දින වෙන් කළ බවත් කී විපක්ෂ නායකතුමා ජනාධිපතිවරයා මේ සූදානම් වන්නේ ඒකාධිපතිත්වය උදෙසා ගමනකට බවත් පැවසුවා.

තවද පාර්ලිමේන්තුව සතු බලය හෑල්ලු කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත්, කතානායකවරයා මේ තත්ත්වය වෙනස් කිරීමේ බලය සතු නියෝජිතයා බවත් එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසුවා.

එමෙන්ම එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසුවේ, පළාත් සභා මේ වන විට නිෂ්ක්‍රීය බවත් ජනාධිපතිවරයාගේ නියෝනියෝජිතයෙකු අතේ එහි බලය ඇති බවත්, ඉදිරියේ දී පළාත් පාලන ආයතන ද ජනාධිපති නියෝජිතයෙකු අතට පත්වෙන බවත්, ඒ හරහා මහජන නියෝජිතයින් ජනාධිපතිවරයාගේ අත්අඩංගුවට ලක්වනු ඇති බවයි.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (01) පක්ෂ නායක හමුවක් කැදවා ඉදිරි කටයුතු පිලිබඳව එහිදී තීන්දු කළ හැකි බවත් කතානායකවරයා පවසනවා.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුලු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ද අද (28) මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය යුතු බවට ඉන්දියාව හරහා ලක් රජයට බලපෑම් කරන බව ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් පවසනවා.

වව්නියාවේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *