අත්අඩංගුවේ පසු වූ සැකකරුවෙක් මුදාගෙන යාමට පැමිණි හිමිවරුන් දෙනමක් (2) පොලිසිය අත්අඩංගුවට

අත්අඩංගුවේ පසු වූ සැකකරුවෙක් මුදාගෙන යාමට පැමිණි හිමිවරුන් දෙනමක් (2) පොලිසිය අත්අඩංගුවට


අත්අඩංගුවේ පසු වූ සැකකරුවෙක් මුදාගෙන යාමට පැමිණි හිමිවරුන් දෙනමක් (2) පොලිසිය අත්අඩංගුවට

(27.02.2023 – 22:03 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ අත්අඩංගුවේ පසු වූ සැකකරුවෙක් (1) ඉන් මුදාගෙන යාමට පැමිණි බව පැවසෙන හිමිවරුන් දෙනමක් (2) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වුණේ හෙට්ටිපොළ රිට්ටාදෙනිය ශ්‍රී ජය ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ‘පොත්තේවල ඉන්දසාර’ සහ ‘දිවුල්වැවේ දීපානන්ද’ නම් හිමිවරු දෙනමක් (2).

විහාරස්ථානයේ වැඩවිසූ සාමනේර හිමිනමක් ද උන්වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් භාරයට ගෙන තිබුණා.

එමෙන්ම සැකකරු පලාගිය බවට පැවසෙන මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ අඹේවෙල කළුබෝවිටියන පදිංචි ‘කඹුරුගමුව වීරසිංහ ආරච්ච්ලාගේ දිලාන්’ නම් 27 හැවිරිදි තරුණයෙකුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් විහාරාධිපති හිමිනම පවසා ඇත්තේ ඩුබායිහි සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලලිත් කන්නන්ගර’ නැමැත්තාගේ ඉල්ලීම පරිදි තමන් ගුවන් තොටුපොළ පොලිස් ස්ථානයට ගිය බවයි ෴

++++++++

අත්අඩංගුවට ගත් මෝටර් රථය තුළ තිබී ඩුබායි රටට පලා යාම සඳහා පැමිණි සැකකරුට අයත් ගමන් මලු දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත ෴

++++++++

ගුවන්තොටුපළෙන් පැන්න ‘බූරු මූණා’ බෝට්ටුවෙන් ඉන්දියාවට ගියා දැයි සැක

(28.02.2023 – 08:20 +0530 – hirunews.lk/sinhala)

කටුනායන ගුවන් තොටුපළ පොලිසිය භාරයේ සිටියදී පලා ගිය ඝාතන කිහිපයකට සම්බන්ධ ‘රවිදු වර්ණරංග’ හෙවත් ‘බූරු මූණා’ මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැනගොස් ඇති බවට පොලිසිය සැක කරනවා.

මොහුව කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ රදවා සිටියදී මුදාගෙන රැගෙන ගිය අවුරුදු 38 හා 41 යන වයස්වල පසුවන භික්ෂූන් වහන්සේ දෙනම (2) බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය මගින් ඊයේ (27) උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවේ, හෙට්ටිපොල – රිට්ටාදෙණිය ප්‍රදේශයේ දී.

මෙම සැකකාර හිමිවරු දෙනම (2) රිට්ටාදෙණිය දහම් නිකේතනයේ වැඩවාසය කරන අතර විහාරස්ථානයේ රියදුරු වන 27 හැවිරිදි පුද්ගලයෙකු ද පොලිස් භාරයට ගැනුණා.

පොලිසියෙන් මිදී පළා ගිය සැකකරු පසුගිය වසරේ හංවැල්ල – හරස් පාර ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුද වනවා.

ගාල්ල, බෝපේ – පෝද්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරමින් සිටියදී පොලිසියට තොරතුරු ලැබී තිබුණේ ව්‍යාජ ලිපිනයක් යොදා සකස් කළ විදේශ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් විදේශ ගත වීමට සූදානමින් සිටින බවට යි.

ඒ අනුව පසුගිය 24 වනදා රහසිගත ව විදේශගත වීමට උත්සාහ කිරීමේ දී කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන නිලධාරීන් මොහුව අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපල පොලිසිය වෙත භාරදී තිබුණා.

කෙසේ වෙතත් අදාළ භික්ෂූන් වහන්සේ දෙනම (2) මෙම පොලිස් නිලධාරීන් මුලා කර සැකකරුව රැගෙන ගොස් ඇති බවටයි මේ වනවිට හෙළි වී ඇත්තේ.

මෙම සැකකරුට පළායාමට ආධාර අනුබල දීමේ චෝදනාවට එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකුද අත්අඩංගුවට ගැනුණා. මේ වනවිට හෙළි වී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ලලිත් කන්නංගර’ නැමැත්තාගේ ඉල්ලීමට අනුව මෙම භික්ෂුන් වහන්සේ දෙනම පොලිස් ස්ථානයට ගොස් ඇති බවයි.

මොහු පුද්ගල ඝාතන සිද්ධීන් 9 කට පමණ සම්බන්ධ වී ඇති බව හෙළි වී තිබෙනවා ෴

++++++

https://www.youtube.com/watch?v=q5cOFdz2hfc#t=6

+


හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ ගැන ඇමති ගත් තීරණය

(27.02.2023 – 22:16 +0530 – hirunews.lk/sinhala)

මාර්තු පළවෙනිදා (01) සිට හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන හරහා ගමන් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

බත්තරමුල්ල ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මෙම තීරණය ගැන කරුණු පැහැදිලි කරනු ලැබුවා.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා :

“කොළඹ නගරය ආශ්‍රිතව පවතින රථවාහන තදබදය හේතුවෙන් මගී ජනතාව හා වාහන හිමියන් දිගු කලක් තිස්සේ අපහසුතාවයන්ට රැසකට මුහුණ දී සිටිනවා. මෙම තදබදය වැළැක්වීම, ඉන්ධන පිරිමැස්මක් ඇති කිරීම, පරිසර දූෂණය වැළැක්වීම, මගීන්ගේ හා රථ වාහන වල ආරක්ෂාව තහවුරු කිරීම, මාර්ග හා බැඳුණු විනය පවත්වාගෙන යෑම ඇතුළු කරුණු රැසක් අරමුණු කරගනිමින් ඒ ඒ ක්ෂේත්‍ර වල විද්වතුන්ගේ අදහස් හා පර්යේෂණ ද සැලකිල්ලට ගනිමින් ජාතික ප්‍රවාහන සැලැස්මට බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථාන එක්කර තිබෙනවා.

ප්‍රධාන මාර්ග හතක් (7) ඔස්සේ දෛනිකව ලක්ෂ 5 කට අධික රථ වාහන ප්‍රමාණයක් කොළඹට ඇතුළු වනවා. එම රථ වාහන ප්‍රමාණය අවම කිරීම, බස් රථ හා දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම, මාර්ග අනතුරු අවම කිරීම, මගී ආරක්ෂාව තහවුරු කිරීම, පරිසර සංරක්ෂණය ඇතුළු කරුණු රැසක් අරමුණු කරගනිමින් රුපියල් මිලියන 2600 ක වියදමින් අති නවීන පහසුකම් සහිතව කොට්ටාව බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදි කර තිබෙනවා. එහි සාර්ථකත්වය පදනම් කර ගනිමින් මේ වන විට කඩවත ඉදිවන බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම්ද 90% පමණ අවසන්ව තිබෙනවා.

මෑතක සිට මගී ප්‍රවාහන බස් රථ විශාල ප්‍රමාණයක් කොට්ටාව බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය මගහැර ධාවනය සිදුකරමින් සිටිනවා. විශේෂයෙන් හයිලෙවල් මාර්ගයේ මෙම ප්‍රදේශයේදි මගින් නංවා ගැනීම හා බැස්වීම සිදු කිරීම නිසා මාර්ග අනතුරු වැඩි වීම හා මගින්ට අවදානම් සහිත තත්වයක් මතුව තිබෙනවා.

විවිධ අවස්ථාවල මේ පිළිබඳ ලැබුණු පැමිණිලි පිළිබඳව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, රථවාහන පොලිසිය, ජාතික ගමනාගමන කොමිසම ඇතුළු අදාළ පාර්ශවයන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව එළඹෙන මාර්තු පළමුවැනිදා (01) සිට සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්‍ය කිරීමේ තීරණයට එළඹ තිබෙනවා.

ඒ අනුව 1984 අංක 40 දරන මෝටර් රථ වාහන පනතේ 106-6 වැනි වගන්තිය ප්‍රකාරව හයිලෙවල් මාර්ගයේ කොට්ටාව බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගයේ අවිධිමත් හා නීති විරෝධී ලෙස මගීන් නංවා ගැනීම සහ බැස්වීම සඳහා වාහන නැවැත්වීම සපුරා තහනම් වනු ඇති. එම මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළට පැමිණ ඒ හරහා ගමන් කිරීම සිදුකළ යුතු බවට එමඟින් නියම කර තිබෙනවා. රජයේ සහ පුද්ගලික අංශයේ සියලුම බස් රථ වලට මෙම නීතිය බල පවත්වනු ලබන අතර ලංකා ගමනාගමන මණ්ඩලය වෙත මේ පිළිබඳව ලිඛිතව නිල වශයෙන් දැනුම්දී තිබෙනවා. එසේම ජාතික ගමනාගමන කොමිසම හරහා පුද්ගලික බස්රථ වෙත ද මෙම නීතිය පිළිබඳව දැනුම් දී තිබෙනවා.මෙම නීති රීතිවලට අනුකූල නොවන යම් අයෙකු වෙතොත් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර අදාල ගමන් බලපත්‍රය අහෝසි කිරීමට ද සිදුවන බව එමඟින් දැනුම් දී තිබෙනවා” ෴


වරාය, තෙල්, විදුලි, බැංකු වර්ජනයේ වෙනසක් නැහැ

(28.02.2023 – 08:09 +0530 – hirunews.lk/sinhala)

වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට නම් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (27) රාත්‍රියේ නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මගීන් හෝ බඩු ප්‍රවාහන සඳහා වූ පොදු ගමනාගමන සේවා, යම් වරායක් ඇතුළත වූ යාත්‍රාවලින් ආහාර හෝ පාන ද්‍රව්‍ය හෝ අගුරු, තෙල් හෝ ඉන්ධන හෝ බෑම, ගෙනයාම, ගබඩා කිරීම, බාරදීම හා ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවා වනු ඇති.

එමෙන්ම මංමාවත්, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළුව මංමාවත්, දුම්රිය මාර්ග හෝ ගුවන් මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබෙනවා.

මේ අතර වරාය, තෙල්, විදුලි සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක සේවකයන් හෙට (01) නියමිත පරිදි සංකේත වර්ජනයේ නිරත වන බව එම වෘත්තීය සමිති පවසනවා.

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් පැවැත්වෙන මෙම වර්ජනය සම්බන්ධයෙන් කොළඹ දී ඊයේ (27) වෘත්තීය සංගම් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

මේ අතර, මෙම වර්ජනයට එක්වනවාද නැද්ද යන තීරණය අද (28) දහවල් ප්‍රකාශයට පත්කරන බවයි ‘රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගයේ’ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් මෙම වර්ජනයට සහය දක්වමින් ‘සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ’ සියලු වෛද්‍යවරු හෙට (01) එක්දින වර්ජනයේ නිරත වන බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ෴


ළමයින් ගැන අවධානයෙන් සිටින්න – වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

(28.02.2023 – 08:03 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට බලපා ඇති උෂ්ණාධික කාලගුණ තත්වය හේතුවෙන් දරුවන් පිළිබඳව දෙමාපියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, පාසල් යනවිට ළමයින්ට අනිවාර්යෙන් වතුර බෝතලයක් යැවීමට පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම ආහාර ලබා දීමේ දී ඒ පිළිබඳව ද අවධානයෙන් සිටින ලෙසයි ඔහු දෙමාපියන්ට දැනුම් දුන්නේ ෴


මැයි 09 අරගළයේ දී නිවාස 180 ක් හා වාහන 100 ක් විනාශ වූ බවට හෙළිදරවුවක්

(28.02.2023 – 08:06 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ මැයි 09 වනදා පැවති අරගලය අවස්ථාවේ දී නිවාස 180 ක් සහ වාහන 100 ක් පමණ විනාශ වී ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙනවා.

කෙසේ වෙතත් මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති බවට දැනුම් දී ඇති බව යි නියෝජ්‍ය රස පරීක්ෂක පී.ජී. මඩවල කියා සිටියේ.

එමෙන්ම එවක අග්‍රාමාත්‍යවරයාගේ නිවස ගිනි තැබීම සඳහා කිසිදු අවස්ථාවක ඉන්ධන භාවිත කර නොමැති බවට ද අනාවරණය වූ බව නියෝජ්‍ය රස පරීක්ෂක පී.ජී. මඩවල සඳහන් කළා ෴


හෙදියකට ලිංගික හිංසන කළ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

(28.02.2023 – 08:15 +0530 – hirunews.lk/sinhala)

නිල ඇඳුමෙන් බස් රථයක ගමන් කරමින් සිටි පුහුණු හෙදියකට ලිංගික හිංසනයක් සිදු කළ බවට චෝදනා එල්ල වූ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ සිට අලු‍ත්ගම දක්වා ගමන් කළ බස් රථයකදීයි ඊයේ (27) පස්වරුවේ මෙම සිද්ධිය වාර්තා වුණේ.

25 හැවිරිදි මෙම පුහුණු හෙදිය කලබලයට හා අපහසුතාවයට පත්වනු දුටු එම බස් රථයේ ගමන්ගත් සිවිල් ඇඳුමෙන් සිටි අලු‍ත්ගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන තවත් පොලිස් සැරයන්වරයෙකු ඊට මැදිහත් වී තිබෙනවා.

පසුව සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු දොඩන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴


පාණදුර, පිංවත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට

(28.02.2023 – 09:00 +0530 – hirunews.lk/sinhala)

පාණදුර – පිංවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු (1) ජීවිතක්ෂය පත් වී තිබෙනවා.

මරණකරු මෝටර් රථයක ගමන් කරමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවට යි පොලිසිය වාර්තා කරන්නේ.

ඝාතකයා හා ඝාතනයට හේතුව පිළිබඳ නිශ්චිත තොරතුරක් තවම අනාවරණය වී නෑ.

මේ අතර, අම්බලන්ගොඩ – රොන්නදූව, කුලීගොඩ ප්‍රදේශයේ පෙරපාසලක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු (1) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (28) පෙරවරුවේ එම පුද්ගලයා සිය බිරිඳ රැකියා කරන ස්ථානයට ඇරලවා, යතුරුපැදියෙන් යළි නිවස කරා ගමන්කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) ටී 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අනතුරු ව ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයා 42 හැවිරිදි වියේ පසුවන අම්බලන්ගොඩ , උස්මුදුලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

+

පානදුර වෙඩිතැබීමට සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය සොයා ගැනේ

(28.02.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala)

පානදුර – පිංවත්ත – ටි. ඩීමන් සිල්වා මාවත ප්‍රදේශයේ දී අද (28) උදෑසන සිදුවූ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය වාද්දූව – වේරගම, සයිප්‍රස් උද්‍යාන මාර්ගය අසළ දමාගොස් තිබිය දී සොයාගෙන තිබෙනවා.

එමෙන්ම යතුරුපැදියේ අංක තහඩු දෙක (2) සහ ජැකැට්ටුවක්ද ඊට නුදුරින් වැටී තිබියදී හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වෙඩි තැබීමෙන් මියගියේ කඩවත – කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ව්‍යාපාරිකයෙක් ෴


වී මිළදී ගැනිම, සහල් නිෂ්පාදනය, සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස්

(28.02.2023 – 10:12 +0530 – hirunews.lk/sinhala)

වී මිළදී ගැනිම, සහල් නිෂ්පාදනය, සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කිරිමට අමාත්‍ය මණ්ඩයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, වී ගොවියාට සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් රජය විසින් නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 100 බැගින් මිල දී ගෙන අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

මෙම බද්ද පැනවීම හේතුවෙන් සෑම සහල් කිලෝග්‍රෑමයක් සඳහා නිෂ්පාදකයින්ට රුපියල් 06 ත් 07 ත් අතර මුදලක් වැයකිරීමට සිදුව ඇති බව සඳහන්.

එම තත්ත්වය මත වී ගොවියාට සාධාරණ මිලක් ලබාදීමට නොහැකි වීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *