ජාතික ජනබලවේග විරෝධතාව අතරතුර අනතුරට ලක් වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ජාතික ජනබලවේග විරෝධතාව අතරතුර අනතුරට ලක් වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට


ජාතික ජනබලවේග විරෝධතාව අතරතුර අනතුරට ලක් වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(27.02.2023 – 15:23 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජන බලවේගය කොළඹ දී සංවිධාන කළ විරෝධතාව අතරතුර ඇතිවු නොසන්සුන්තාවයෙන් පසු රෝහල්ගත කෙරුණු පළාත් පාලන ඡන්දයට එම පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සදහන් කළේ රත්නපුර – නිවිතිගල ප්‍රාදේශීය සභාවට තරඟ වදින නිමල් අමරසිරි නැමැති 61 ක් හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව ‘විරෝධය කොළඹට’ යන මැයෙන් විහාර මහාදේවි උද්‍යානය අසලින් ඊයේ (26) මෙම විරෝධතාව ආරම්භ කළේ ඊට එරෙහිව පොලිසිය අධිකරණ නියෝග 2 ක් ලබා ගෙන තිබු පසුබිමකයි.

අනතුරුව පාගමන පුරහල ප්‍රදේශයට පැමිණ කොටුව දෙසට ගමන් කිරීමට උත්සහ කිරීමත් සමග පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

ඉන් අනතුරුව ඇතිවු උණූසුම් තත්ත්වය හමුවේ පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා ඇතුලත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි.

ඒ අතරින් එක් (1) අයෙකු ජිවිත්ක්ෂයට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ පක්ෂ මුලස්ථානයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසුවේ අදාළ මරණය සම්බන්ධ වැඩිදුර තොරතුරු ප්‍රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව බවයි.

මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදයට සහ මුලික මිනිස් අයිතිවාසිකම්වලට එරෙහිව එල්ල කළ ප්‍රහාරයක් බවයි.

කිසිදු නායකයෙකු හෝ පක්ෂයක් සෑම විටම සහමුලින් නිවැරදි වී නැති බවත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඩවල් ඉවසා සිටිය යුතු බවත් විපක්ෂනායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

මේ අතර, ජාතික ජන බලවේගය සංවිධානය කළ සාමකාමි විරෝධතා පාගමන ආණ්ඩුවේ ආරක්ෂකයින් විසින් මැඩපැවත්වු ආකාරය මුළු ලොවටම නිරුවත්ව දර්ශනය වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කලා.

පසුගිය සතියේ සමගි ජන බලවේගයට මුහුණ දීමට සිදුවුයේද ආණ්ඩුවේ විසකුරු ප්‍රතික්‍රියාවන්ට බවයි ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පෙන්වා දෙන්නේ මෙම විරෝධතා පාගමන කොම්පඤ්ඤ වීදිය පොලිස් බල ප්‍රදේශයේ යුනියන් පෙදෙසේ ක්‍රියාත්මක වන අවස්ථාවේ විරෝධතා පාගමන් තහනම් කරමින් අධිකරණ නියෝග නිකුත් කර නොතිබු බවයි.

එවන් පසුබිමක ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත්, පුද්ගලයන් 28 දෙනෙකු තුවාල ලැබීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවද මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙනවා.

ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් පැය 24 ක් ඇතුළත පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙසයි මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දි ඇත්තේ ෴

++++++++

ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය ගැන පැය 24 ක් ඇතුළත පොලිස්පතිගෙන් වාර්තවක් ඉල්ලයි

(27.02.2023 – 16:53 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජන බලවේගය ඊයේ (26) දින ජාතික ජන බලවේගයේ විරෝධතා පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එම කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ පැය 24 ක් ඇතුළත අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලබාදෙන ලෙසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දකවමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කර ඇත්තේ පා ගමන කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ යූනියන් පෙදෙස ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් තිබියදී එම ප්‍රදේශය විරෝධතා පා ගමන් පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝග නිකුත් කර නොතිබූ තත්ත්වයක් තුළ මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකිරීම සමබන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුව ඇති බවයි ෴

++++++++

අපි කබලබ වෙන්නෙ නෑ.. ආණ්ඩුවේ මර්දන වියරුව නතර කරන්න සියලු ක්‍රියාමාර්ග අපි ඉදිරියේදී ගන්නවා – ටිල්වින් සිල්වා

(27.02.2023 – 18:02 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට ඊයේ (26) පහර දී සිදුකළ ඝාතනයේ වගකීම රනිල් වික්‍රමසිංහ විසින් භාර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (27) කැඳවූ මාධ්‍ය හමුවක් අමතමින්.

එම මාධ්‍ය හමුව අමතමින් ඔහු මෙසේ ද පැවසීය :

“අපි ඊයේ (26 දා) මැතිවරණ අයිතිය ඉල්ලා ඉතාමත්ම සාමකාමී උද්ඝෝෂණය් සිදුකළේ. ඒ උද්ඝෝෂණයට රනිල් වික්‍රමසිංහලා අධිකරණ තුනකින් (3) වාරණ නියෝග ගත්තා. ඉන්පසුව ම්ලේච්ඡ ආකාරයෙන් පහරදීමෙන් 28 දෙනෙකුට තුවාල සිදුවී රෝහල්ගත කළා. එයින් දෙදෙනෙකු (2) ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ සිටියා.

මේ වනවිට එම දෙදෙනා (2) ගෙන් එක (1) අයෙක් වන රත්නපුරයේ නිමල් අමරසිරි සහෝදරයාගේ ජීවිතය අහිමිවී තිබෙනවා. ඔහු නිවිතිගල ප්‍රාදේශී සභාවේ අපේක්ෂකයෙක් ලෙස සිටි සහෝදරයෙක්. මේ ජීවිතය අහිමිවීමේ වගකීම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව බාරගත යුතුයි. අපි ගියේ ජනතාවගේ අයිතියක් වන මැතිවරණය පැහැර ගැනීමට විරුද්ධව සාමකාමී ලෙස විරෝධය පෑමටයි. නමුත් රනිල් වික්‍රමසිංහ තමන්ගේ ඒකාධිපති වියරුව මුදාහරිමින් පාලනය ආරක්ෂාකර ගන්න උත්සාහ කරනවා.

මැතිවරණය පවත්වන්න සල්ලි නැහැ කියන්නේ බොරුවක්. මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙන පළාත් පාලන මැතිවරණය යම් නීතියකින් හෝ අධිකරණයෙන් නතර කර නැහැ. මැතිවරණ නීතිය පැත්තකට දමා නිලධාරීන්ට බලපෑම් කර, මුදල් දීම නවත්වා මැතිවරණ කොමිසමට පසුගිය අයවැයෙන් අනුමත කළ මුදල නොදී උමතු හැසිරීමක් ජනාධිපතිවරයා ප්‍රදර්ශන කරනවා.

පිනට ලැබුණු ජනාධිපතිකම, අතේ තියාගෙන තමන්ගේ සාමකාමී උද්ඝෝෂණය අයිතිය අනුව ක්‍රියාකරන ජනතාවට පහරදීමේ ක්‍රියාවලිය ඉතා ඉක්මනින් නතර කළ යුතුයි. ඒකාධිපති ක්‍රියාමාර්ගවලට ගමන් කරන්න උත්සාහ කරනවා නම්, ජාතික ජන බලවේගය ඊට එරෙහිව ගත හැකි සියලුම ප්‍රජාතනත්ත්‍රවාදී ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. මේ උද්ඝෝෂණයේදී ජීවිතය අහිමි වූ අපේ සහෝදරයා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කණගාටුව ප්‍රකාශ කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කිසිවෙකුගේ ජීවිත අහිමි විය යුතු නැහැ. නිමල් අමරසිරි සහෝදරයා උද්ඝෝෂණයට එක්වුණේ පොදු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්. තමන් කැමති පාලනයක් පිහිටුවා ගැනීමේ අයිතිය වෙනුවෙන්. ඒ නිසා මේ සටන අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා ගෙනයන බව අපි සහතික කර ප්‍රකාශ කරනවා.

ජනතාව පාරට බැස්සේ අපට තිබුණු අයිතිය නැති කරපු නිසයි. මාර්තු 09 වැනිදා ඡන්දය පවත්වන බව ප්‍රකාශ කළේ ස්වාධීන මැතිවරණ කොමිසම. අපි ඒ මැතිවරණ ක්‍රියාවලියට අනුව කටයුතු කරගෙන ගියා. අන්තිම මොහොතේ වෙන දහංගැට ගහලා මැතිවරණය නවත්වන්න අනීතිකව සිදුකරන බලපෑම් නවත්වන්න බලකිරීම සඳහායි අපි ලිප්ටන් වටරවුමට පැමිණියේ.

මේ පළාත්පාලන මැතිවරණය ගිය වසරේ පවත්වන්න තිබුණේ. මැතිවරණ නීතියට අනුව සහ ව්‍යවස්ථාවට අනුව මේ මාර්තු මාසයේදී පළාත්පාලන මැතිවරණය පැවැත්විය යුතුමය. ජනාධිපති කැමති දිනයක් දක්වා මැතිවරණ කල්දැමීම අපේ රටේ සම්ප්‍රදායක් කර ගත හොත් ඊට පසු ලැබෙන්නේ පවතින ආණ්ඩුවට දිනන්න පුළුවන් මැතිවරණ විතරයි. ඒ නිසා මේ ක්‍රියාමාර්ග පටන් ගත්තැනම පරාජයට පත් කළ යුතුයි. එය පරාජයට පත් කරන්න අධිකරණය ඉදිරියේ නඩු පැවරීම, ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කිරිම සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම සිදුකරමින් යන අතරතුරයි සාමකාමී, උද්ඝෝෂණයක නිරත වූනේ.

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මළගමට ගෙනයන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට ඉඩදිය යුතු නැහැ. මේ ආණ්ඩුවටත් ජනාධිපතිටත් කිසිම ජන වරමක් නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ පිනට ලැබුණු ජනාධිපතිකම යොදාගෙන උමතුවෙන් කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකතු කළ හැකි සියලුම බලවේග එකතු කර මේ තත්වය පරාජය කළ යුතුයි.

මැතිවරණය පවත්වන්න සල්ලි නැහැ කියන ජනාධිපති විශාල මුදලක් වියදම් කර, නිදහස් දින උත්සවයක් පැවැත්වූවා. ජනරජ පෙරහරක් පැවැත්වූවා. ඊට අමතරව තව විශාල නාස්තිකාර වියදම් සිදුකරමින් යනවා. ජනතාවට දරාගත නොහැකි විශාල බදු බරක් පටවමින් ඔහු ඇතුළු කණ්ඩායමේ සතුට වෙනුවෙන් ක්‍රියාකරමින් ඉන්නවා.

ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ අරගලයක් අපට තිබෙනවා. ආණ්ඩුවේ මේ හැසිරීමෙන් පේන්නේ ජනාධිපති ඇතුළු ආණ්ඩුව බියට පත්වී සිටින බවයි. ආණ්ඩුවේ අත්තනෝමතික ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පරාජයට පත් කරන්න, ආණ්ඩුවේ වියරු මර්දනය නතර කරන්න සියලු ක්‍රියාමාර්ග අපි ඉදිරියේදී ගන්නවා.

ඒ වගේම අපි කලබල වෙන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම අපි දන්නවා. මිනිස් ජීවිතවල වටිනාකම අපි දන්නවා. දස දහස් ගණනින් ජනතාව එක්වී ඉතාමත් සාමකාමීව සහ විනයගරුකව විරෝධය දැක්විය හැකි එකම බලවේගය ජාතික ජන බලවේගයයි. ආණ්ඩුව පහර දුන්නේ එවැනි ජනතාවකට. අපිට අපේ සහෝදරයා පිළිබඳව හදවතේ කණගාටුවක් තිබෙනවා. නමුත් අපි පස්සට යන්නේ හෝ සැලෙන්නේ නැහැ” ෴

+

+


පෞද්ගලික බැංකු තුනකට (3) ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරු පහසුකමක්

(27.02.2023 – 19:16 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආනයන ඇතුළු ආර්ථිකයේ සියයට 30 ක පමණ ප්‍රතිශතයක මූල්‍ය ගනුදෙනු මෙහෙයවන පෞද්ගලික බැංකු තුනකට (3), ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ඩොලර් මිලියන 400 ක විදෙස් මුදල් හුවමාරු පහසුකමක් ලබාදී තිබෙනවා.

මෙම පහසුකම හිමිවී ඇත්තේ කොමර්ෂල්, නේෂන්ස් ට්‍රස්ට් සහ සම්පත් යන බැංකු වෙතයි.

ආහාර, ඖෂධ සහ පොහොර ආනයනය සඳහා අදාළ පහසුකම් ලබාදෙන බව එම මූල්‍ය සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමගින් මුහුණ දී ඇති දුෂ්කරතා අවම කරගනිමින් කිසියම් ලෙස ආර්ථිකය යථාවත් කරගැනීමට හැකිවනු ඇති බව එම නිවේදනයේ සඳහන්.

මේ අතර ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හමුවේ ලබාදිය හැකි සියලු සහය ලබාදීමට පැරිස් ආධාර කණ්ඩායම තුළත් ඉන් පිටතත් ප්‍රංශය සූදානම් බව මෙරට ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රෑන්ක්කොයිස් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ වරාය හා නාවික, ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමඟ ඊයේ (26) පැවති හමුවකට එක්වෙමින්.

+


සහල් කර්මාන්තකරුවන්ගෙන් අයකරන බද්ද ඉවත්කරන්නැයි ඉල්ලීමක්

(27.02.2023 – 19:18 +0530 – hirunews.lk/sinhala)

සහල් මිල වැඩිනොකර ගොවීන්ට වී කිලෝවක් සඳහා රුපියල් 140 ක මිලක් ලබාදීම සඳහා කර්මාන්තකරුවන් වෙත සහන කිහිපයක් ලබාදෙන ලෙස සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේෂ්වර රජයෙන් ඉල්ලීමක් කරනවා.

සෑම රුපියල් සියයක් (100) සඳහා සහල් කර්මාන්තකරුවන් ගෙන් අයකරන රුපියල් 2.50 ක විශේෂ බද්ද ඉවත්කිරීම සහ වී තොග රැස්කිරීම සඳහා අයකරන පොලිය අඩු කිරීම ඇතුළු යෝජනා තුනක් (3) ඊට ඇතුළත් බවයි කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.

මේ අතර ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 130 දක්වා ඉහළ යෑමත් සමඟ දොදොල් ඇතුළු රසකැවිලි කර්මාන්තයේ නිරත කර්මාන්තකරුවන් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා.

ගාල්ල – ගෝනපුර සහ බලගොඩ යන ප්‍රදේශවල රසකැවිලි කර්මාන්තයේ නිරත කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ පොල්මිල අඩු කිරීම සඳහා රජය විසින් මැදිහත්වීමක් සිදුකළ යුතු බවයි.

+


රුපියල් ලක්ෂ 50 ක ඇත්දළ දෙකට (2) මන්ත්‍රී ගාමිණී ලොකුගේ අයිතිවාසිකම් කියයි! අකුරැස්සේ වලව්කාරයෙකුත් අයිතියට මැදිහත් වෙයි

(27.02.2023 – 19:50 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 50 ක මුදලකට අලෙවි කිරීමට ගිය අවස්ථාවේ දී මාතර – පිටබැද්දර ප්‍රදේශයේ දී සැකකරුවෙකු සමඟ පසුගිය දා පොලිස් භාරයට ගත් ඇත්දළ යුගලයට හිමිකම් පෑමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ සහ අකුරැස්ස ප්‍රදේශයේ වංශවත් පුද්ගලයෙකු ඉදිරිපත්ව තිබෙනවා.

අදාල ඇත්දළ යුගලය පානදුර – වලාන දූෂණ මර්දන ඒකකය විසින් උපාය දූතයෙකු යොදවා පසුගිය 12 වැනිදා සැකකරුවෙකු ද සමඟ අත්අඩංගුවට ගනු ලැබුවේ එය රුපියල් ලක්ෂ 50 ක මුදලකට අලෙවි කිරීමට සැරසුනු අවස්ථාවේදියි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ සහ අකුරැස්ස ප්‍රදේශයේ වංශවත් පුද්ගලයෙකු අදාල ඇත්දළ යුගල සඳහා හිමිකම් ප්‍රකාශ කර තිබෙනවා.

මෙහි දී ඇත්දළ යුගලය සඳහා හිමිකම් පාමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ පවසා ඇත්තේ පසුගිය වසරේ මැයි මස 09 වැනිදා රට තුළ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර තම නිවසට පහර දී ගිනි තැබූ අවස්ථාවේ අස්ථානගත වූ ඇත්දළ යුගලය මෙය බවයි.

මීට වසර කිහිපයකට පෙර විදේශගත වූ තමාගේ ඥාතියෙකු එය තමන් වෙත ලබාදී තිබූ බවටයි ඔහු පොලිසියට සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් අකුරැස්ස – දීගල වලව්වට නෑකම් කිය පුද්ගලයෙකු ද මෙම ඇත්දළ යුගලයට හිමිකම් කීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමටයි පානදුර – වලාන දූෂණ මර්දන ඒකකය කටයුතු කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *