දැදුරු ඔයේ වැලි විකිණූ පොලිසිය ගැන පොලිසියෙන් විමර්ශන ඇරඹෙයි

දැදුරු ඔයේ වැලි විකිණූ පොලිසිය ගැන පොලිසියෙන් විමර්ශන ඇරඹෙයි


දැදුරු ඔයේ වැලි විකිණූ පොලිසිය ගැන පොලිසියෙන් විමර්ශන ඇරඹෙයි

(27.02.2023 – 14:45 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස දැදුරු ඔයෙන් ගොඩ දමන ලද වැලි තොගයක් සිය භාරයට ගත් පොලිස් නිලධාරීන් පිරිසක්, ඉන් කොටසක් හොර රහසේ විකුණා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කර කර ඇත්තේ, සිද්ධිය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කර ඊට සම්බන්ධ පොලිස් නිලධාරීන් ඇතුලු සියලු පාර්ශ්වයන්ට එරෙහිව පියවර ගන්නා ලෙසයි.

වැල්ලව පොලිස් බල ප්‍රදේශයට අයත් තිස්සව ප්‍රදේශය හරහා ගලා බසින දැදුරු ඔයෙන් මෙම වැලි තොගය නීති විරෝධි ලෙස ගොඩ දමා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව කුරුණෑගල පොලිස් කොට්ඨාසයට අයත් විශේෂ විමර්ශන ඒකක නිලධාරීන් පිරිසක් එම වැලි තොගය සිය භාරයට ගෙන තිබෙනවා.

ප්‍රදේශයේ විහාරස්ථානයක ධර්ම ශාලාව ඉදි කිරීම සඳහා බවට සඳහන් කරමින් පෞද්ගලික ඉඩමක් හරහා කියුබ් 35 කට ආසන්න වැලි තොගයක් ගොඩ දමා තිබුණා.

කෙසේ වෙතත් පසුව අනාවරණ වූයේ එම වැලි තොගය ලොරි කීපයක පටවා වැල්ලව පොලීසිය වෙත රැගෙන එමින් සිටියදී එම ලොරිවල ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙකු හෝ කීපදෙනෙකු එක්ව හොර රහසේ වැලි විකුණා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කර ඊට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියමයෙන් විමර්ශන ඇරඹූ වැල්ලව පොලීසිය විසින් වැල්ලව රංගම ප්‍රදේශයේ පදිංචි වැලි ව්‍යාපාරිකයෙකුට විකුණා තිබූ වැලි තොගයක් සොයාගත්තා.

එම ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ පොලිස් නිලධාරියෙකු රුපියල් පහළොස් දහසක (15,000) මුදලකට එම වැලි තොගය තමන්ට විකිණූ බවයි.

මෙලෙස පොලිස් භාරයට ගත් කොපමණ වැලි ප්‍රමාණයක් පිටස්තර පුද්ගලයන්ට විකුණා ඇද්දැයි සෙවීම සඳහා වැල්ලව පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කෙරෙනවා ෴


දස (10) වසරක් හාම් පුතුගෙන් ගුටි කෑ කතක් කටඅරියි

(27.02.2023 – 14:46 +0530 – hirunews.lk/sinhala)

කුවේට් රාජ්‍යයේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් වසර 10 ක් පුරා සිය හාම්පුතුන්ගෙන් පීඩාවට පත්ව මෙරටට පැමිණි කාන්තාවක් පිළිබඳව කොබෙයිගනේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නදීෂා සංජීවනී නම් මෙම කාන්තාව පවසන්නේ තමන්ට සිදු වූ අසාධාරණයන් සම්බන්ධයෙන් රජයෙන් හෝ විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් කිසිදු සාධාරණයක් මේ දක්වා ඉටු නොවුණු බවයි.

මීට වසර 10 කට පෙර නීත්‍යානුකූලව විදේශ සේවා නියුක්ති කාර්යංශය මාර්ගයෙන් කුවේට් රාජ්‍යය බලා පිටත් වූ තමන්ට රැකියා ස්ථානවලදී විවිධ දුෂ්කරතාවලට හා පීඩාවන්ට මුහුණ දීමට සිදු වූ බව ඇය සඳහන් කළා.

තමන් වසර 10 පුරාවටම සිය හාම්පුතුන්ගේ ක්‍රියාකලාප හේතුවෙන් පීඩාවට පත්වූ බවත් වරක් සිදු කළ පහරදීමකින් මාස දෙකකට (2) වැඩි කාලයක් රෝහල් ගතව සිටි බවත් නදිශා පැවසුවා.

ඇය සඳහන් කළේ සිදු නොකළ වරදකට තමන් සිරගතවීමටද සිදු වූ බවයි.

වසර 10 ක් ගතවීමෙන් අනතුරුව මෙරටට පැමිණි තමන් වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් කිසිදු සාධාරණයක් ඉටු නොවුණු බවට නදීෂා චෝදනා කරනවා.

කුවේට් දේශයේදි අසරණ වු තමන් නැවත ශ්‍රී ලංකාවට යවන බවට පවසමින් වසර පහක් (5) පුරා සිය වැටුප් ලබාගත් මෙරට කාන්තාවක් සම්බන්ධයෙන් නීතිය ඉටුකර දෙන ලෙස ද නදීෂා සංජිවනී ඉල්ලීමක් කළා.

+


බොන්න වතුර ටිකක් දෙන්න – වාකරේ වැසියෝ අයදිති

(27.02.2023 – 14:48 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට යටිතල පහසුකම් සැපයීමේ දී නාගරික ජනතාව මෙන්ම ග්‍රාමීය ජනතාව කෙරෙහි ද ඉහළ අවධානයක් යොමු කිරීම බලධාරීන්ගේ වගකීමක්.

නමුත් බලධාරීන්ගේ දෑසට ලක් නොවූ පිරිසක් පිළිබඳව මේ තොරතුරු වාර්තා වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන්.

මඩකලපුව දිස්ත්‍රික්කයේ, වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මදුරන්කේනිකුලම්, කුච්චවේලි, කුඥ්ඥංකුලම්, කිරිවිච්චිය යන ගම්මානවල ජනතාවට ප්‍රවාහන මෙන්ම ජල පහසුකම් ආදී යටිතල පහසුකම් නිසි ලෙස නොමැති වීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

මෙම ගම්මාන අනරින් කිරිවිච්චිය ගම්මානයේ පමණක් පදිංචිව සිටින ආදිවාසී පවුල් සංඛ්‍යාව 75 කට ආසන්නයි.

අදාළ ගම්මානවල ජනතාවට පානීය මෙන්ම කෘෂිකාර්මික අවශ්‍යතා වෙනුවෙන් ඇති ඌත්තෝඩෙයි වැව මේ වනවිට දැඩි හානියකට ලක්ව ඇති අතර, එය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස බලධාරීන්ට අවස්ථා රැසකදී දැනුවත් කළත් කිසිදු ප්‍රතිඵලයක් මේ දක්වා ලැබී නැහැ.

පානීය ජලය සපයා ගැනීමට පවතින දැඩි දුෂ්කරතා හේතුවෙන් කිරිවිච්චිය සහ මදුරන්කේනිකුලම් ගම්මාන කේන්ද්‍ර කර ගනිමින් පානීය ජල යෝජනා ක්‍රම 2 ක් ආරම්භ කර තිබෙනවා.

ඒ අතරින් රුපියල් කෝටි එකහමාරක (1½) පමණ පිරිවැයක් දරමින් ඉදිකිරීම් ඇරඹූ කිරිවිච්චිය ජල යෝජනා ක්‍රමය මෙතක් අවසන් කිරීමට බලධාරීන් අපොහොසත් වි ඇත්තේ ඒ සඳහා වැය කළ මුදල් මෙන්ම උපකරණ ද විනාශමුඛයට යවමින්.

ඊට අමතරව මදුරන්කේනිකුම් ගම්මානයේ ස්ථාපිත ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වුවත්, එමගින්ද දිනකට පැය බාගයකට (½) ආසන්න කාලයක් පමණක් ජලය ලැබීම සිය ජල අවශ්‍යතා සපුරාලීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ජනතාවගේ සුබසෙත සලසන බවට පාරම්බාමින් ඇතැම් බලධාරීන් ආරම්භ කරන මෙවැනි ව්‍යාපෘති හරහා එම ජනතාවට අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීමත්, මහජන මුදල් කාබාසිනියා කිරීමත් පමණක් සිදුවන්නේ නම් එය කෙතරම් ඛේදජනක තත්ත්වයක් ද ?

+


රේගු භාරයේ පවතින රූපලාවන්‍ය උපකරණ ප්‍රසිද්ධ වෙන්දේසියේ

(27.02.2023 – 15:36 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වීම හේතුවෙන් රේගු භාරයේ පවතින රූපලාවන්‍ය උපකරණ තොගයක් ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

දෙහිඕවිට ප්‍රදේශයේ අද (27) පැවති වැඩසටහනකින් අනතුරුව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා ෴


කෘෂිකර්ම අමාත්‍යංශයට විශේෂ විමර්ශන ඒකකයක්

(27.02.2023 – 15:38 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම අමාත්‍යංශය තුළ විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කිරීමට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබාදී තිබෙනවා.

දැනට එම අමාත්‍යංශය තුළ විමර්ශන ඒකකයක් නොමැති හෙයින් එය ස්ථාපිත කරන ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

කෘෂිකර්ම අමාත්‍යංශය සහ ඒ යටතේ ඇති අනුබද්ධ ආයතනවල නිලධාරින්ගෙන් හා කාර්යමණ්ඩලවලින් වාර්තාවන අක්‍රමිකතා මෙන්ම අනෙකුත් තීන්දු තීරණ ගැනීමේ දී ඇතිවන ප්‍රමාදයන් පිළිබඳ විමර්ශන සිදුකිරීම මෙම ඒකකයෙන් සිදුකෙරෙනවා ෴


වසන්ත මුදලිගේ ඇතුළු පිරිසට ඇප

(27.02.2023 – 16:54 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 62 දෙනා අද (27) ඇප මත මුදාහැරුණා.

ඒ ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් ශානීකා විජේබණ්ඩාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙලෙස ඇප නියමවූවන් අතර භික්ෂුන් වහන්සේ 48 ක්ද ඇතුළත්.

හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළි විවෘත කරන ලෙස ඉල්ලා පසුගිය 23 වනදා මෙම පිරිස අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වුණා.

කලහකාරිව හැසිරෙමින් පොදු දේපළවලට අලාභහානි සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටි මොවුන් අද (27) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි පියවර ගැනුණේ.

අද (27) ඔවුන් යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එක් (1) අයෙකු රුපියල් ලක්ෂයක (1) බැගින් ශරීර ඇපයක් මත මුදා හැරීමටයි කඩුවෙල මහේස්ත්‍රාත් ශානිකා විජේබණ්ඩාර නියෝග කළේ.

මේ අතර පසුගිය 23 වනදා අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළු වූ අවස්ථාවේදී තමන්ට අමානුෂික ලෙස පහරදුන් බවට පවසමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (27) පෙරවරුවේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන්ට විශ්වවිද්‍යාල භූමිය තහනම් කලාපයක් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම පීඨයේ පීඨාධිපතිවරයා සඳහන් කළේ අද (27) දහවල් 12 වනවිට එම පීඨයේ සියලුම සිසුන්ට නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙසට දැනුම් දුන් බවයි.

විශ්වවිද්‍යාලයේ පිරිමි නේවාසිකාගාරයේ සිසුන් පිරිසක් නේවාසිකාගාරයේ ශාලාධිපති සිර අඩස්සියට ගැනීමෙන් පසු ඇති වු තත්ත්වය මත මෙම තීරණය ගත් බවයි රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුභාෂ් ජයසිංහ සඳහන් කළේ.

මේ අතර හෝමාගම, පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අද (27) පළමු (1) වසරේ සිසුන් සඳහා විවෘත කෙරුණද නේවාසිකාගාර වෙත පැමිණ සිටියේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ ඇතුළු 20 කට ආසන්න පිරිසක් පමණක් බව එහි උපකුලපති මහාචාර්ය, මහෝපාධ්‍ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමි සඳහන් කළා ෴


පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

(27.02.2023 – 17:48 +0530 – hirunews.lk/sinhala)

2023 වර්ෂයේ අය වැය ලේඛනයට අනුව මැතිවරණය සඳහා වෙන් කළ රුපියල් බිලියන 10 ක මුදල මැතිවරණය සඳහා නිදහස් කරන්න ලෙස ‘පැෆරල් සංවිධානයේ’ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ඉල්ලා සිටිනවා.

මුදල් අමාත්‍යවරයා විසින් මෙම මුදල් නිදහස් කිරීම දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටින බවයි ඔහු පවසන්නේ.

පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය පිළිබඳව නැවත වරක් දේශපාලන නායකයින්ට සිහිපත් වීම සඳහා මැතිවරණයට ප්‍රධාන වශයෙන් බාධකයක් වී තිබෙන අරමුදල් සම්පාදන ගැටලුව විසඳා ගැනීමට සියලූ දේශපාලන පක්ෂ එකතු වී යෝජනාවක් සම්මත කරන ලෙස පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා යෝජනා කරනවා.

ඔහු පවසන්නේ, ආගමික උත්සව, නිදහස් උත්සව වැනි උත්සව පැවැත්වීමට අරමුණ වුයේ රටේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව ජනාධිපති පැවසුව ද, ජනතාවගේ ඡන්ද අයිතිය බැහැර කරන රටක් ලෝකය ඉදිරියේ ප්‍රතිරූපය ඉහළ නංවන්නේ කුමන ආකාරයට දැයි ගැටලුවක් ඇති බවයි.

තවද ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය :

“පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ නිල කාලය මාර්තු මාසේ විසි වෙනිදා (20) අවසන් වෙනවා. ඊට පස්සේ සිදුවන කාරණය තමයි මේක නිලධාරී පාලනයකට යනවා. පළාත් සභාවේ මහජන නියෝජිතයෝ නැහැ. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ ග්‍රහණයේ තිබෙන්නේ. ඔහුට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් තියෙනවා. තනි පුද්ගලයෙක් වටා මේක කේන්ද්‍ර ගත වෙනවා. මෙහි බරපතළ කාරණය තමයි පළාත්පාලන මැතිවරණය කල් ගියොත්, ආණ්ඩුව නැවතත් නව නාම යෝජනා ගැනීමේ තැනකට ආණ්ඩුව මේක ගෙනියනවා. සීමා නිර්ණය අවසන් කරලා නාමයෝජනා කැඳවන තැනකට මේක ගෙන්න පුළුවන්. දින නියමයකින් තොරව කල් යෑමට හැකියාව තිබෙනවා. සමාලෝචන කමිටුවක් සීමා නිර්ණ වාර්තාවත් එක්කම තවත් කල් යා හැකියි. මෙතෙක් නීතියට පිටින් ගිය මේ කටයුතු නීතියට අනුව අවුරුදු දෙකකට (2) විතර මැතිවරණ කල් යෑමේ අවදානමක් දැන් තිබෙනවා” ෴


තමුත්තේගම සිදු වූ මාරක අනතුරකින් පුද්ගලයෙකු මරුට

(27.02.2023 – 17:54 +0530 – hirunews.lk/sinhala)

අද (27) දින තමුත්තේගම පොලිස් වසමේ පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ඒරියාගම ප්‍රදේශයේ දී අනුරාධපුර සිට කළුතර දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක පිටුපස භාණ්ඩ පටවන ලද කොටසට පුද්ගලයින් දෙදෙනකු (2) විසින් භාණ්ඩ පටවමින් සිටියදී අනුරාධපුර දෙස සිට තමුත්තේගම දෙසට ධාවනය වූ කැබ් රථයක් බස් රථය හා භාණ්ඩ පටවමින් සිටි පුද්ගලයින්ගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ එම පුද්ගලයින් දෙදෙනා (2) තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේ දී එක් (1) පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙසේ මියගිය මරණකරු වයස අවුරුදු 30 ක් වූ ඒරියාගම මල්වානේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය තඹුත්තේගම රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරෙන් පසුව කැබ් රථයේ රියැදුරු පලා ගොස් ඇති අතර පසුව ඔහු පොලිස් ස්ථානයට පැමිණ බාරවී තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ජනතාව සූදානම් නෑ – පුබුදු ජයගොඩ

(27.02.2023 – 17:55 +0530 – hirunews.lk/sinhala)

දෙන දෙයක් කා වෙන දෙයක් වන තුරු බලා සිටීමට මෙරට ජනතාව සූදානම් නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පවසනවා.

ඒ, ඊයේ (26) දිනයේ කැඳවා තිබූ ජන හමුවක දී අදහස් දක්වමින්.

ආණ්ඩුව, ජනතාවගේ ආර්ථික අයිතීන් සහ දේශපාලන අයිතීන් සියල්ල උදුරා ගනිමින් සිටින බව ද පුබුදු ජාගොඩ අවධාරණය කරනවා.

‘අලුත් මාවතක් – සටනට පක්ෂයක්’ තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට සහාය දැක්වීමේ රැස්වීම අමතමින් ඔහු තවදුරටත් මෙසේ පවසනවා.

“ඉස්සර අනූව දශකයේ මුල විහිළු කතාවක් තිබුණා. ඒ කතාවට අනුව නැගෙනහිර ජර්මනියේ බල්ලෙකුයි බටහිර ජර්මනියේ බල්ලෙකුයි බර්ලින් තාප්පය ළඟදී හමු වෙනවා. නැගෙනහිර ජර්මනියේ බල්ලා කියනවා මේ පැත්තේ අපට ඕන තරම් කන්න තියෙනවා ඒත් බුරන්න දෙන්නේ නෑ කියලා. එතකොට බටහිර ජර්මනියේ බල්ලා කියනවා අපිට නම් ඕන තරම් බුරන්න නිදහස තියෙනවා කන්න තමයි නැත්තේ කියලා. මේ කතාවට ලංකාවේ බල්ලෙක් අද එකතු කළොත් කියන්න වෙන්නේ මෙහේනම් අපට කන්නත් නෑ බුරන්නත් තහනම් කියලා. රනිල් – රාජපක්ෂ පාලනය ජනතාවගේ ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍ර හැම එකකම හැම අයිතියක්ම උදුරා ගන්නවා.

මේ වනවිට ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 59 ක් ආහාර හිඟයෙන් පීඩාවට පත්වෙලා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා. බඩු මිල බදු බර අහස උසට නැගලා දරන්න බෑ. ආර්ථික අර්බුදයේ මුලු බර පටවා තියෙන්නේ පොදු ජනතාව මත. ධන කුවේර සමාගම් බදු වංචා කරනවා. ඒවාට නීතිමය ක්‍රියාමාර්ග නෑ. ඒ ගැන ජනතා මතය ප්‍රකාශ කරන්න මැතිවරණ තියන්නේත් නෑ. ආණ්ඩුව අයුක්තිසහගතව මැතිවරණ කල්දමමින් ජනමතය යටපත් කරන්න හදනවා. මැතිවරණ කල් දැමිමට එරෙහිව ජාතික ජන බලවේගය පැවැත්වූ උද්ඝෝෂණයටත් අද පහර දුන්නා. අපි මේ තිරිසන් මර්දනය පිලිකුලෙන් හෙලා දකිනවා. පෙබරවාරි 04 වැනිදා කොහේ තියෙන නිදහසක්ද කියලා පුවරු අතැතිව මරදානේ සත්‍යග්‍රහ කළ අයටත් පහර දුන්නා. රනිල් රාජපක්ෂ ජුන්ටාව මේ කියන්නේ උඹලාට ආර්ථික අයිතීන් දෙන්නෙත් නෑ, මැතිවරණය ඇතුළු දේශපාලන අයිතීන් දෙන්නේත් නෑ, ඒවා ඉල්ලා අරගල කරන්න දෙන්නේත් නෑ කියලා. ඒ කියන්නේ කෑම කන්න කට අරින්න තියෙන අවස්ථා නැති කරලා ඒ ගැන කතා කරන්න කට අරින්න තියෙන අයිතියත් උදුරා ගන්නවා. මේ අත්තනෝමතික පාලනය අවසන් කරන බලය තියෙන්නේ ජනතාව අතේ. ඔය කොයි ඒකාධිපතියත් ජනබලය ඉදිරිපිට කුරා කුහුඹුවෝ වෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ අත්තනෝමතිකත්වයට එරෙහිව ජනතා අයිතීන් වෙනුවෙන් පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩ නගන්න එකතු වෙන්න කියලා” ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *