වැඩි වූ විදුලි බිල නිසා අඩු ආදායම්ලාභීන් සියයට 50 කට වැඩි පිරිසකගේ විදුලි සබඳතා විසන්ධි කිරීමේ අවදානමක්

වැඩි වූ විදුලි බිල නිසා අඩු ආදායම්ලාභීන් සියයට 50 කට වැඩි පිරිසකගේ විදුලි සබඳතා විසන්ධි කිරීමේ අවදානමක්


වැඩි වූ විදුලි බිල නිසා අඩු ආදායම්ලාභීන් සියයට 50 කට වැඩි පිරිසකගේ විදුලි සබඳතා විසන්ධි කිරීමේ අවදානමක්

(26.02.2023 – 13:32 +0530 – hirunews.lk/sinhala)

ගාස්තු ඉහළ නැංවීම හේතුවෙන් ඉදිරියේදී අඩු ආදායම්ලාභී පවුල් සියයට 50 කට වැඩි ප්‍රමාණයක විදුලි සබඳතා විසන්ධි කිරීමේ අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පෙන්වා දෙනවා.

එහි සම ලේකම් ඉසුරු කස්තුරිආරච්චි කියා සිටියේ වැඩි වූ විදුලි බිල ඔවුන්ට ගෙවාගැනීමට නොහැකිවන නිසා මෙම තත්ත්වය ඇතිවිය හැකි බවයි.

මේ අතර අඛන්ඩ විදුලි සැපයුමක් ලබාදීමේ දී පවතින අභියෝග සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය සහ විෂයභාර අමාත්‍ය කංජචන විජේසේකර අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොමැතිවීම හේතුවෙන් මතුවිය හැකි තත්ත්වයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම මාර්තු 01 වනදා සිට ජල බිල්පත් නිකුත් කරන අවස්ථාවේදී ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් මගින් එම බිල්පත් ගෙවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා ෴


‘සීතාවක ඔඩිසි’ දුම්රිය අද (26) සිට සෑම ඉරු දිනකම

(26.02.2023 – 07:39 +0530 – hirunews.lk/sinhala)

‘සීතාවක ඔඩිසි’ දුම්රිය අද (26) සිට සෑම ඉරු දිනකම පෙරවරු 7 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරනවා.

ඒ සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම ‘ඊ-ටිකටින්’ සේවාව ඔස්සේ හෝ දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ සිදුකර ගැනීමේ හැකියාව පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
https://seatreservation.railway.gov.lk/mtktwebslr/

මෙහි පළමු (1) පන්තියේ ප්‍රවේශ පත්‍රයක ගාස්තුව රුපියල් 500 ක් වන අතර, දෙවන (2) පන්තියේ ප්‍රවේශ පත්‍රයක ගාස්තුව රුපියල් 300 ක්. තෙවන (3) පන්තියේ ප්‍රවේශ පත්‍රයක ගාස්තුව රුපියල් 200 ක් බව සඳහන්.

වග දුම්රිය ස්ථානයේ සිට සංචාරක ස්ථාන වෙත සංචාරකයින් බස් රථ මගින් ප්‍රවාහනය කරන අතර, ඒ සඳහා වායුසමනය කළ බස් රථයකින් එක් අයෙකු සඳහා රුපියල් 630 ක් අය කෙරෙනවා. සාමාන්‍ය බස් රථයකින් අය කෙරෙන ගාස්තුව රුපියල් 430 ක්.

එහිදී ලබුගම, කලටුවාව ජලාශය, රන්මුදු ඇල්ල, කුමාරි ඇල්ල නැරඹීමේ හැකියාව පවතිනවා.

එසේම, සීතාවක උද්භිද උද්‍යානය නැරඹීමේ අවස්ථාවද සංචාරකයන්ට පවතින අතර, ඒ සඳහා වැඩිහිටියෙකුගෙන් අය කරන ගාස්තුව රුපියල් 100 ක්.

අනතුරුව යළිත් පුවක්පිටියෙන් සීතාවක ඔඩිසි දුම්රිය පස්වරු 05:30 ට කොළඹ කොටුව බලා පිටත් වනවා ෴


ව්‍යාපාරිකයෙකු රවටා මුදල් වංචා කළ අයෙක් මහඔය දී අත්අඩංගුවට

(26.02.2023 – 09:32 +0530 – hirunews.lk/sinhala)

මැණික් ගල් ලබාදෙන බවට ව්‍යාපාරිකයෙකු රවටා මුදල් වංචා කළ සැකකරුවෙකු සහ ඔහුගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහඔය – 69 හන්දිය ප්‍රදේශයේදී මෙම ව්‍යාපරිකයාගෙන් මෙලෙස රුපියල් ලක්ෂ 15 ක් කොල්ලකා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

32 හැවිරිදි සැකකරු සහ 58 හැවිරිදි ඔහුගේ මව දෙහිඅත්නකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


යාපනය සරසවියේ ගැටුමක් – හයක් (6) රෝහලේ – එක් (1) සිසුවෙකුට බරපතළයි

(26.02.2023 – 10:21 +0530 – hirunews.lk/sinhala)

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් (2) අතර ඇති වූ ගැටුමක් නිසා ශාස්ත්‍ර පීඨයේ තුන්වන (3) වසරේ සිසුන් සිව් (4) දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.

එමෙන්ම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අදාළ සිසුන් හට ඊයේ (25) දිනයේ සිට විශ්වවිද්‍යාල භූමිය තහනම් ප්‍රදේශයක් ලෙස ද නම් කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ශාස්ත්‍ර පීඨයේ තෙවැනි (3) වසරේ සිසුන් පිරිසක් 24 වැනි දින රාත්‍රියේ පොලු රැගෙන ගොස් දෙවැනි (2) වසරේ සිසුන් හය (6) දෙනෙකුට පහර දී ඇති අතර, තුවාල ලැබූ එම සිසුන් යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහරකෑමෙන් එක් (1) සිසුවෙකුගේ හිසට හා උරහිසට තදබල ලෙස පහර එල්ල වී සිසුවා බරපතළ තත්ත්වයේ පසුවන බව ද රෝහල් ආරංචි මාර්ග පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


විදේශිකයෙකුගේ අස්ථානගත වූ මුදල් බෑගය සොයා දුන් ලාංකිකයා

(26.02.2023 – 11:54 +0530 – hirunews.lk/sinhala)

සංචාරකයට ශ්‍රී ලංකාවට පැමිණ වැලිගම ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි විදේශීය ජාතිකයෙකුගේ මුදල් ඇතුළු වටිනා ලියකියවිලි ඇතුළත් ගමන් බෑගයක් අසුලාගත් තරුණයෙකු එය නැවතත් අදාළ සංචාරකයාට පිරිනැමීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස සිය අත්‍යවශ්‍ය ගමන් මල්ල අස්ථානගත වී ඇත්තේ ඉතාලි ජාතිකයෙකුගේ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙරටට පැමිණි ඉතාලි ජාතිකයෙකු ඇතුළු පිරිසක් වැලිගම – ගන්දූව ආසන්නයේ මුහුදු තීරයේ විනෝද වෙමින් සිටින අවස්ථාවේදියි ඔහුගේ මුදල් සහිත බෑගය අස්ථානගතව ඇත්තේ.

පසුව එම ප්‍රදේශයේ ම සංචාරක කටයුතුවල නිරත වන නිරෝෂ් අමිල නමැත්තෙකුට මෙම බෑගය හමුවීමෙන් පසුව දැඩි පරිශ්‍රමයකින් අනතුරුව හිමිකරු සොයාගැනීමට ඔහු හැකිවී තිබෙනවා.

සිය අස්ථානගත වූ මුදල් සහිත බෑගය ලැබුණු ඉතාලි ජාතික ආටර් බ්‍රෙටිස්ලාව් පැවසුවේ, ශ්‍රී ලාංකිකයින් මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී ඇති මොහොතක වුවත්, මෙවැනි මුදල් සහිත බෑගයක් යළිත් කිසිදු අඩුවකින් තොරව මා හට ලැබෙන්නට සැලැස්වීම බොහොමත් ම වටිනා සිදුවීමක් බවයි.

එමෙන්ම තමන් හැමදාම ශ්‍රී ලංකාවටත්, ශ්‍රී ලාංකිකයින්ටත් ආදරය කරන අතර, මෙවැනි මිනිසුන්ගෙන් ශ්‍රී ලංකාව දියුණු වීමට ආදර්ශ සපයන බවත් හෙතෙම ප්‍රකාශ කළා ෴


වකුගඩු සහ අවයව බද්ධ කිරීමේ ප්‍රතික්‍රීයකවල හිඟයක්

(26.02.2023 – 13:52 +0530 – hirunews.lk/sinhala)

වකුගඩු සහ අවයව බද්ධ කිරීමේදි සිදුකරනු ලබන ගැළපීම් සහ සැසඳුම් පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රතික්‍රීයකවල හිඟයක් පවතින බව රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසනවා.

කෙසේ නමුත් වකුගඩු සහ අවයව බද්ධ කිරීමේ ශල්‍යකර්ම සම්පූර්ණයෙන් අත්හිටුවා නොමැති බවත් ප්‍රමුඛතාව අනුව එම පරීක්ෂණ සිදු කරන බවත් එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ කියා සිටියා ෴


කටුනායකදී පුද්ගලයෙකු පලායෑමේ සිද්ධියට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ විශේෂ විමර්ශනයක්

(26.02.2023 – 13:54 +0530 – hirunews.lk/sinhala)

මනුෂ්‍ය ඝාතන 19 ක් සිදුකර ඩුබායි වෙත පලායාමට උත්සාහ කළ පුද්ගලයෙකු ගුවන්තොටුපල පොලිස් භාරයෙන් මිදී පලා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ පොලිස්පතිවරයාගේ උපදෙස් මත බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ශන ක්‍රියාත්මක වන බවයි.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ගුවන් තොටුපල පොලිසියේ ස්ථානාධිපතිවරයා, සැරයන්වරයෙකු ඇතුළු සිව් (4) දෙනා ඊයේ (25) රාත්‍රියේ මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ස්ථානාධිපතිවරයා (1) සහ කොස්තාපල්වරුන් දෙදෙනා (2) ඇප මත මුදාහැරුණා.

අනෙක් සැරයන්වරයා (1) ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

අපරාධ කිහිපයකට සම්බන්ධ, විදෙස් ගමන් තහනමක් ද නිකුත් කර තිබූ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලින් විදේශ ගතවීමට තැත් කිරීමේදී ආගමන විගමන නිලධාරින් විසින් රඳවාගෙන කටුනායක පොලීසියට භාරදීමෙන් පසු පොලිස් අත්අඩංගුවෙන් මිදී පෙරේදා (24) රාත්‍රියේ පලා ගොස් තිබුණා.

එදින (24) පස්වරුවේ අදාළ පුද්ගලයා ව්‍යාජ නමකින් පෙනී සිටිමින් විදේශගතවීමට තැත් කර ඇති බව සඳහන් ෴

+++++

+


සරු නොවූ කවුඩුල්ලේ අස්වැන්න

(26.02.2023 – 14:25 +0530 – hirunews.lk/sinhala)

මැදිරිගිරිය, කවුඩුල්ල ගොවි ව්‍යාපාරයේ වී ගොවීන් සතු අස්වැන්න මිලදී ගැනීමට මධ්‍යස්ථානයක් නොමැති වීම හේතුවෙන් එම ගොවීන් පීඩාවට පත්ව සිටිනවා.

ගොවීන් චෝදනා කරන්නේ, මහා පරිමාණ වී මෝල් ව්‍යාපාරිකයන් විසින් තම අස්වැන්න ඉතා අඩු මුදලට මිල දී ගන්නා බවයි.

මැදිරිගිරිය, කවුඩුල්ල ගොවි ව්‍යාපාරයේ වී ගොවීන් සිය කුඹුරු අස්වැන්න නෙලීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

නමුත් ගොවීන් චෝදනා කරන්නේ විජේපුර , මැදිරිගිරිය , දියසෙන්පුර සහ දිවුලංකඩවල ප්‍රදේශයන් හි වගා කටයුතු සිදු කරන ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට අයත් කිසිදු ගබඩාවක් තවමත් විවෘත කර නොමැති බවයි.

මේ හේතුවෙන් තම වී අස්වනු ප්‍රදේශයේ සිටින මහා පරිමාණ වී මෝල් ව්‍යාපාරිකයන්ට කුණු කොල්ලයට විකුණා දැමීමට සිදුව ඇති බවයි ගොවීන් මැසිවිලි නගන්නේ.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුමුදුපුර ප්‍රදේශයේ මෙවර මහ කන්න යටතේ, කුඹුරු අක්කර 200 කට වැඩි ප්‍රමාණයක් අස්වද්දා තිබෙනවා.

මේ වනවිට එම අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ කර ඇතත් වී අස්වැන්න පවතින්නේ පහළ මට්ටමක බවයි ගොවීන් පවසන්නේ.

ගොයම් කහවීමේ රෝගී තත්ත්වය සහ නිසි කලට පොහොර නොලැබීම හමුවේ මෙම තත්ත්වය උද්ගතව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ වනවිට පෞද්ගලික වෙළෙඳුන් රුපියල් 80 ක් වැනි අඩු මිලක් යටතේ වී මිලදී ගැනීම තුළ තමන් තවදුරටත් අසරණ වී ඇති බැවින් රජය විසින් පනවා ඇති රුපියල් 100 යේ පාලන මිල 120 ක් දක්වා වැඩිකර දෙන ලෙසයි ගොවීන් ඉල්ලා සිටින්නේ.

මේ අතර අම්පාර ගල්ඔය වම් ඉවුර ජනපදයේ මහකන්නයේ අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා.

එම ප්‍රදේශයේ ගොවීන් ද චෝදනා කරන්නේ පෞද්ගලික වෙළෙඳුන් කුණු කොල්ලයට වී මිලදී ගන්නා බවයි.

වී කිලෝවක් සඳහා ඔවුන් ලබා දෙන්නේ රුපියල් 60 ක් – 70 ක් අතර මිලක් බව ඔවුන් පවසනවා.

කන්තලේ ප්‍රදේශයේ ද ගොඩ වී අස්වැන්න නෙලා අවසන් වී ඇති අතර මහයායේ අස්වනු නෙලීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

කෙසේ වුවත් තවමත් රජයේ වී මිල දී ගැනීම ආරම්භ වී නොමැති බවයි ගොවීන් පවසන්නේ.

+


පේෂකර්ම වැසියන් ගැන බලන්න ආ නැගෙනහිර ආණ්ඩුකාරවරිය

(26.02.2023 – 14:48 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාතේ පේෂකර්ම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත රැගෙන යාමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව, පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පවසනවා.

ආණ්ඩුකාරවරිය මේ අදහස් පළකළේ මරඳමුණේ ප්‍රදේශයේ සිදුකළ සංචාරයකදීයි.

නැගෙනහිර පළාත පුරා පේෂකර්මාන්තයේ නියැලෙන කර්මාන්තරුවන් 6,000 ක් පමණ සිටින අතර, ඔවුන් මුහුණ ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මරඳමුණේ පිහිටි එම කර්මාන්ත ශාලාවකට පැමිණියා.

මෙහිදී කර්මාන්තකරුවන් සමඟ සාකච්ඡාවක නිරත වූ ආණ්ඩුකාරවරිය පැවසුවේ, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළක් නිර්මාණය කිරීම සඳහා මේ වනවිට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.

+


කර්ණසංඛ සැත්කම් සැමරුම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී

(26.02.2023 – 14:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රවණාබාධ සහිත රෝගීන්ට සිදුකරනු ලබන කර්ණශංක බද්ද කිරීමේ ලෝක සැමරුම් දිනයට සමගාමීව සැමරුම් උත්සවයක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී පැවැත්වුණා.

ඒ, එම රෝහලේ කර්ණ සංඛ බද්ද සැත්කම් සඳහා භාජනය කෙරුණු දරුවන්ගේ විවිධ අංග ඇතුළත් ප්‍රසංගයක් ද සමඟින්.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 2018 වසරේදී ප්‍රථම කර්ණසංඛ බද්ධය සිදුකර ඇති අතර මේ වනවිට සිදුකර ඇති ශල්‍යකර්ම සංඛ්‍යාව 65 ක්.

ඒ, උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීවනී රූපසිංහ වෛද්‍යවරිය ඇතුලු කාර්යමණ්ඩලය විසින්.

මේ අතර වකුගඩු සහ අවයව බද්ද කිරීම සඳහා භාවත කරනු ලබන H.L.A. පරීක්ෂණ සඳහා අවශ්‍ය වන ප්‍රතික්‍රීයකවල හිඟයක් පවතින බව රුධිර පාරවිලන මධ්‍යස්ථානය පවසනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *