රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් හරි විසඳුමක් නොලැබුණහොත් දිගටම වර්ජනයේ

රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් හරි විසඳුමක් නොලැබුණහොත් දිගටම වර්ජනයේ


රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් හරි විසඳුමක් නොලැබුණහොත් දිගටම වර්ජනයේ

(24.02.2023 – 21:25 +0530 – hirunews.lk/sinhala)

රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් හෙට (25) දිනයේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුබද්ධ වෛද්‍ය සංගම් නියෝජිතයින් ප්‍රකාශ කළා.

බදු ගැටලුවට සාධාරණ හා පිළිගත හැකි විසඳුමක් නොලැබුනහොත් ඉදිරියේදී තම නියෝජිතයින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවයි ඔවුන් සඳහන් කළේ.

+


ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය දෙදෙනෙකු (2) රිමාන්ඩ්

(24.02.2023 – 17:37 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය, ගාලු පාරේ, ලියන්සෝ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය එහි කළමනාකාරිනී ඇතුළු වෘත්තියේ යෙදුණු කාන්තාව ලබන මාර්තු මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (24) නියෝග කළා.

කොල්ලුපිටිය පොලිසිය විසින් සෝදිසි වරෙන්තුවක් මත සිදු කළ පරීක්ෂාවක දී කළමණාකාරිනිය ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ.

පොලිස් උපාය දූතයෙකු යොදවා එම ගණිකා නිවාසය පරීක්ෂා කළ බවත් අත්අඩංගුවට ගත් කළමණාකාරිනියට පෙර වැරදිවලට අදාලව නඩුවක් සහ පවතින නඩු දෙකක් (2) ඇති බව පොලීසිය අධිකරණයට දන්වා සිටියා.

අධිකරණයට ඉදිරිපත් කළ එම ගණිකා නිවාසයේ සිටිය දී අත්අඩංගුවට ගත් අනෙක් කාන්තාවන් තිදෙනා (3) රුපියල් ලක්ෂ පහ (5) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර ඉදිරි දින අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කර තිබෙනවා ෴


තරුණියක් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවූ දෙදෙනෙකුට (2) දඩ

(24.02.2023 – 19:08 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් තුළ තරුණියක් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවීමට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ එහි සේවය කළ පුද්ගලයන් දෙදෙනෙකුට (2) දඩ නියම කර තිබෙනවා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදියි.

එහිදී සැකකරුවන් දෙදෙනාට (2) රුපියල් 6,50,000 බැගින් දඩ නියම කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

එමෙන්ම අදාළ තරුණියටද රුපියල් 3,50,000 ක වන්දියක් ලබාදෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා ෴


මුදල් කාරක සභාවෙන් මයන්ත ඉවත් නොවන ලකුණු – සංවාදයෙන් මැති සබය උණුසුම්

(24.02.2023 – 19:12 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ඉන් ඉල්ලා අස් නොවන බව වාර්තා වනවා.

ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඉල්ලා අස් නොවන බව ප්‍රකාශ කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල ද හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියා.

කෙසේ වෙතත් සභාපති ධුරයෙන් ඉවත්වීමට බලපෑම් පැමිණියහොත් මයන්ත දිසානායක විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව පවතින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පාර්ලිමේන්තුව අද (24) රැස්වූ අවස්ථාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයට මෙතෙක් කිසිවෙකුත් පත් කර නොමැති බවයි.

ඒ පිළිබඳව සළකා බැලීම පමණක් සිදුකර ඇති බවයි කථානායකවරයා සඳහන් කළේ.

රාජ්‍ය මුදල් කාරක සභාව සඳහා සභාපතිවරයා ලෙස විපක්ෂය විසින් හර්ෂ ද සිල්වා නම්කර තිබූ අතර, ආණ්ඩු පක්ෂය විසිනුයි මයන්ත දිසානායකගේ නම යෝජනා කර තිබුණේ.

මේ අතර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරයට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (24) වැඩි ඡන්දයෙන් තේරී පත්වුණා. ඒ, එම කාරක සභාවේ පළමු රැස්වීමේදියි.

එහිදී ආණ්ඩු පක්ෂය විසින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ නම යෝජනා කළ අතර, විපක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නම යෝජනා කරනු ලැබුවා.

අනතුරුව පැවති ඡන්ද විමසීමේදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට ඡන්ද 14 ක් හිමිවූ අතර, කබීර් හෂීම් මන්ත්‍රීවරයාට හිමිවූයේ ඡන්ද 7 ක් පමණයි.

++++++++

මයන්ත සභාපතිකමෙන් ඉල්ලා අස්වෙයි – තීන්දුව පක්ෂ මහලේකම්ට දැනුම්දෙයි

(25.02.2023 – 15:28 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය අද (25) දහවල් මන්ත්‍රීවරයා විසින් සිය පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත දැනුම්දෙනු ලැබුවා.

මයන්ත දිසානායක සිය සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කෙරුණේ ඊයේ (24) දහවල් මන්ත්‍රී හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී මයන්ත දිසානායක මන්ත්‍රීවරයාගේ පත්වීම සම්බන්ධයෙන් මතු කළ ගැටලුවක් හේතුවෙන්.

කෙසේවෙතත් ඊයේ (24) රාත්‍රිය වන විට ද මයන්ත දිසානායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලට ද ප්‍රකාශ කර තිබුණේ තමන් සභාපති ධුරයෙන් ඉවත් නොවන බවයි ෴


IOC ප්‍රධාන විධායක නිලධාරී මනෝජ් ගුප්තා ඇමති කන්චන සමඟ රහස් සාකච්ඡාවක

(24.02.2023 – 21:24 +0530 – hirunews.lk/sinhala)

පෙරේදා (22) දිනයේදී තරු පහේ හෝටලයක තුළදී මෙම සාකච්ඡාව සිදුව ඇති බවයි ‘මගෙන් රටට’ සංවිධානය චෝදනා කරන්නේ.

මෙම සාකච්ඡාව ඉතාමත් සැක සහිත බවත් ඉදිරියේදී IOC සමාගමත් කන්චන අමාත්‍යවරයාත් අතර කිසියම් ගනුදෙනුවක් ඇතිකර ගැනීමක් බවට පෙනී යනවා.

මේ වන විට වෙළඳපොලේ තෙල් බැරලයක් ඩොලර් 40 කින් අඩුවී ඇති අතර ගල් අගුරු මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 50 කින් අඩුවී තිබෙනවා.

එහෙත් ලංකාවේ විදුලි පාරිභෝගිකයින්ට මෙම අඩුවීමට පෙර සකස් කරන ලද මිල චක්‍රයකට අනුව විදුලි බිල ගෙවීමට සිදු වී තිබෙනවා.

මෙම රහස් සාකච්ඡාවේදී සිදුවූ කතාබහ ඉතා ඉක්මනින් මහජනතාවට අනාවරණය කළ යුතු බවට ‘මගෙන් රටට’ සංවිධානය අවධාරණය කරනවා.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 600 කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලිකකරණය කිරීමේ වැඩපිළිවෙළක් සිදුවෙමින් පවතින බව ‘ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව’ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියා.

එහිදී ඔවුන් කියා සිටියේ මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඉන්ධන පිරවුම්හල් 1200 ක ප්‍රමාණයක් ඇති බවත් එයින් හයසියයකට (600) අධික ප්‍රමාණයක් පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළක් ඇති බවයි.

ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා මෙය සිදු වුවත් ටෙන්ඩර් ක්‍රියාවලියෙන් ඉවත් වූ සමාගමකට නැවත එම අවස්ථාව ලබාදීම සිදු වෙමින් පවතින බව ඔවුන් කියා සිටියා.

ටෙන්ඩර් ක්‍රියාවලියෙන් හෝ එසේ නොමැතිව හෝ ඛනිජ සංස්ථාව පෞද්ගලීකරණය සිදු නොකරන ලෙස ඔවුන් මෙහිදී ඉල්ලා සිටියා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වනවිට මාස හයක් (6) තුළ රුපියල් බිලියන 20 ක ලාභයක් උපයලා තියෙනවා. එසේ ලාභ උපයා තිබේ දී ඇයි පෞද්ගලීකරණය කරන්න යන්නේ. කාගේ හෝ වුවමනාවකට කොමිස් කුට්ටියක් ලබා ගැනීමේ අරමුණින් මෙය සිදු කරනවාදැයි ප්‍රශ්නයක් තියෙන බව ඔවුන් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම මාර්තු මස අග වන විට මෙම ඉන්දන පිරවුම් හල් ලබාදීම සිදුවෙන බවද ඔවුන් වැඩිදුරටත් අනාවරණය කරා.

මේ වන විට ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති ඛනිජ නීතිගත සංස්ථාව මේ ආකාරයෙන් පෞද්ගලික කරණය සිදු නොකරන ලෙස ඔවුන් එහිදී වැඩිදුරටත් කියා සිටියා ෴

+


දරුවන්ගේ බඩගිනියි නිවන්න, අම්මා කොස් ගහට නැගලා වැටිලා මැරෙන රටක් මේක – මංජු නිශ්ශංක (24.02.2023)

+


මුරුතලාව නෙල්ලිගල මාර්ගයේ ස්ථානයකදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

(25.02.2023 – 15:22 +0530 – sinhala.adaderana.lk)

වන්දනා ගමනක නිරතවෙමින් සිටි කණ්ඩායමක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීගොස් තිබේ.

අද (25) පෙරවරුවේ සිදුවී ඇති එම අනතුරෙන් පුද්ගලයින් 25ක් පමණ තුවාල ලබා මේ වනවිට පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

අනතුර සිදුවෙන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයින් 48 ක් පමණ සිට ඇති අතර මුරුතලාව නෙල්ලිගල මාර්ගයේ ස්ථානයකදී එම අනතුර සිදුවී ඇත.

අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ මොරටුව ප්‍රදේශයේ පිරිසක් මෙම බස් රථයේ ගමන් කර ඇති බවය.

+

+

+

+

(25.02.2023 – 16:12 +0530 – hirunews.lk/sinhala)

නෙල්ලිගල විහාරස්ථානය ආසන්න මාර්ගයේදී බස්රථයක් අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔවුන් මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ.

අද (25) පස්වරුවේ මෙලෙස අනතුරට පත්ව තිබුණේ මොරටුව ප්‍රදේශයේ සිට නෙල්ලිගල විහාරස්ථානය වෙත ගිය 47 දෙනෙකු රැගත් බස් රථයක්.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *