මැතිවරණයක් නැති නම්, එජාපය ඇයි නාමයෝජනා දුන්නේ? – පුබුදු ජයගොඩ

මැතිවරණයක් නැති නම්, එජාපය ඇයි නාමයෝජනා දුන්නේ? – පුබුදු ජයගොඩ


මැතිවරණයක් නැති නම්, එජාපය ඇයි නාමයෝජනා දුන්නේ? – පුබුදු ජයගොඩ

(24.02.2023 – 10:57 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණය නීත්‍යනුකූල ව කැඳවා නැති නම්, එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයට අලියා ලකුණෙන් නාමයෝජනා භාර දුන්නේ කුමක් නිසා දැ යි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කරනවා.

මැතිවරණ කොමිසම මඟින් පළාත් පාලන මැතිවරණයක් කැඳවා නැති බවට ජනාධිපතිවරයා ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී පළ කළ අදහස් පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරමිනු යි පුබුදු ජයගොඩ මේ බව සඳහන් කළේ.

මුදල් නැති බව පවසමින් ඡන්දය කල් දැමීම යුක්ති යුක්ත නො වන බවත් එම තර්කයට අනුව ඕනෑ ම මැතිවරණයක් මෙසේ කල් දැමිය හැකි බවත් ඔහු පවසනවා.

මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන පරිදි මෙම ආර්ථික අර්බුදය විසඳීමට අවම තවත් අවුරුදු 10 ක් පමණ ගත වනු ඇති බව සඳහන් කළ පුබුදු ජයගොඩ පවසන්නේ, මුදල් නැතිකම මත ඡන්ද නො පවත්වන්නේ නම්, තවත් අවුරුදු 10 ක් පමණ යන තුරුත් මැතිවරණ පැවැත්විය නො හැකි බව යි.

ජනාධිපතිවරයා මූලිකත්වය ලබා දෙන්නේ, ආර්ථික අර්බුදයට පමණක් බව ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ අතර, එම ආර්ථික අර්බුදයට අවශ්‍ය දේශපාලන නායකත්වය තෝරා ගැනීමේ අයිතිය ඇත්තේ ජනතාවට බවත් පුබුදු ජයගොඩ සඳහන් කරනවා.

එසේ නොමැති ව එම අයිතිය ඇත්තේ, රනිල් වික්‍රමසිංහට නො වන බව යි ඔහු පවසන්නේ.

මේ අතර, ඇමරිකානු විප්ලවයේ සටන් පාඨය වූයේ, ‘නියෝජනයක් නැති නම් බදු ගෙවන්නේ නෑ’ යන්න බව අවධාරණය කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවසාන වශයෙන් අවධාරණය කරන්නේ, ලංකාවටත් එවැනි ස්ථාවරයකට එළැඹීමට කාලය පැමිණ ඇති බව යි.

+++++++

+

+


දීර්ඝ කාලීන විදුලි ජනන සැලසුම පාර්ලිමේන්තුවට

(24.02.2023 – 13:04 +0530 – hirunews.lk/sinhala)

දීර්ඝ කාලීන විදුලි ජනන සැලැස්ම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය වසර ආරම්භයේ සිට මෙම වසරේ ජනවාරි 31 වනදා දක්වා ඉන්ධන ආනයනය පිළිබඳ සවිස්තර වාර්තාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

රජයේ ප්‍රතිපත්තිය වන 2030 වසර වන විට පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ජනනය සියයට 70 ක් දක්වා ඉහළ නැංවීම, 2050 වන විට කාබන් උදාසීනත්වයට පත් කිරීම සහ නව ගල් අගුරු බලාගාර ඉදිනොකිරීම යන ප්‍රතිපත්ති මත පදනම්ව මෙම දීර්ඝ කාලීන ජනන සැලසුම ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු විසින් සිදු කළ බව කියන අයථා ක්‍රියාකාරකම් වෙනුවෙන් වැයවූ ඇමරිකානු ඩොලර් මිලියන 1.88 ක පමණ මුදලක් තමන්ට ගෙවන ලෙස ‘ස්ටර්ලින් සහ විල්සන්’ නැමැති ඉන්දියානු සමාගමක් විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම සමාගම විසින් විදුලිබල මණ්ඩලය වෙත යොමුකර ඇති ලිපියකට අනුව මෙම අයථා ක්‍රියාව සිදුව ඇත්තේ මෙරට මෙගාවොට් 50 ක ඩීසල් විදුලි බලාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට අදාළව බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

අදාළ සමාගම විසින් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද කොන්ත්‍රාත්තුවේ සදහන් කරුණු සැලකිල්ල‍ට ගෙන සිය ලංසුව ඉදිරිපත් කර තිබෙනවා.

එහෙත්, අදාළ ඉංජිනේරුවරයා ඇතුළු කණ්ඩායම කොන්ත්‍රාත්තුවේ සඳහන් නොවන අතිරේක කර්මාන්තශාලා සංචාර සහ විදේශීය කර්මාන්තශාලා පරීක්ෂා කිරීම් සිදුකිරීම හේතුවෙන් අමතර මුදලක් ලෙස ඇමරිකානු ඩොලර් 18,87,970 ක් වැය කිරීමට සිදුවූ බවයි අදාළ සමාගම සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් කිසිදු විධිමත් පරීක්ෂණයක් සිදුව නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඉංජිනේරුවරයාට ස්ථාන මාරුවීමක් පමණක් ලබාදී ඇති බවත් සඳහන්.

මේ අතර, කඩුවෙල – බෝමිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, පුජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළේ, පවතින ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට ඉහළ නැංවූ විදුලි බිල ගෙවීමේ හැකියාවක් නොමැති බවයි.

මේ අතර, විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රියේ ප්‍රදේශ කිහිපයක දී පන්දම් විරෝධතා පැවැත්වුණා.

+


ඡන්දයක් නොපවත්වන්නේ නම් නාම යෝජනා භාරදුන්නේ ඇයි? – සජිත් ප්‍රේමදාස

(24.02.2023 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ඡන්දයක් නොපවත්වන්නේ නම් එක්සත් ජාතික පක්ෂය ඒ සදහා නාම යෝජනා භාරදුන්නේ ඇයි දැයි විපක්ෂ
නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කර තිබෙනවා.

ඒ, යාපනය නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

සාමකාමී අරගලයකින් ඡන්ද අයිතිය දිනා ගන්නා බව එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවා.

+


මැයි 9 සිද්ධියේ පෙස්සමට අදාළ ව කමල් ගුණරත්නට අධිකරණයෙන් නියෝගයක්

(24.02.2023 – 14:06 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් මැයි මස 09 වනදා ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියේ ඇති වූ ගැටුම්වලින් අනතුරුව දිවයින පුරා මැති ඇමතිවරුන්ගේ නිවාසවලට ගිනි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා ආරක්ෂක ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය කල් ලබා දී තිබෙනවා.

මෙම පෙත්සම අද (24) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, මෙම නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මැයි මස 22 වනදා ගොනු කරන ලෙස යි.

ඒ සඳහා වග උත්තරකාර ආරක්ෂක ලේකම්, එවක යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති ඇතුළු පිරිසකට නියෝග කළ බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කල කරන්නාගොඩ කමිටු වාර්තාව අධිකරණය හමුවේ ගොනු කර තිබෙන බව ද අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

බන්දුල ගුණවර්ධන, කාංචන විජේසේකර ඇතුලු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු ඇතුළු දේශපාලකයින් පිරිසක් විසිමු යි මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලූ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මඟින් විමර්ශන පවත්වා වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව යි.

එම වාර්තාව මගින් යුද හමුදාව, පොලීසිය හා බුද්ධි අංශවල රාජකාරි පැහැර හැරීම් නිසා මෙම තත්වය උද්ගත වූ බව පෙත්සමේ සඳහන්.

එබැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු විත්තිකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබෙනවා ෴


පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිට ඇප

(24.02.2023 – 14:12 +0530 – hirunews.lk/sinhala)

නෙදර්ලන්තය, පුනරුත්ථාපන අමාත්‍යාංශයට භාරදුන් මෝටර් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කර, රජයට රුපියල් ලක්ෂ දහයක (10,00,000) පමණ අලාභයක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළා.

විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේ සැකකරු රුපියල් 25,000 ක මුදල් සහ රුපියල් ලක්ෂ දහයක (10,00,000) ශරීර ඇප දෙකක් (2) මත මුදාහැරීමටයි.

මන්ත්‍රීවරයාට විවෘත අධිකරණයේ දී අද (24) අධිචෝදනා භාරදුන් අතර, නඩු විභාගය අවසන් වනතුරු විදේශ ගතවීම ද තහනම් කෙරුණා ෴


පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනි දා නොපැවැත්වෙන බවට කොමිසමෙන් ප්‍රකාශයක්

(24.02.2023 – 15:28 +0530 – hirunews.lk/sinhala)

මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිත පළාත්පාලන ආයතන ඡන්ද විමසීම එදිනට නොපැවැත්වෙන අතර, එම ඡන්ද විමසීම පැවැත්වෙන දිනය පිළිබඳ මාර්තු 03 වනදා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, මැතිවරණ කොමිසන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් එදිනට ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ ඡන්ද විමසීමට අදාළ මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරය වෙතින් ලබාගැනීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලමින් කථානායකවරයා වෙත කොමිෂන් සභාව වෙතින් ව්‍යවස්ථාපිතව සිදුකළ කාර්යයන් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබාදීමටද තීරණය කළ බවයි.

අද (24) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අදාළ තීරණයට එළඹ ඇති බව සඳහන්. සාකච්ඡාවට මැතිවරණ කොමිසන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා, එහි සාමාජිකයන් වන එම්.එම්. මොහොමඩ්, එස්.බී. දිවාරත්න සහ කේ.පී.පී. පතිරණ ද එක්ව සිටියා.

මේ අතර මාර්තු 09 පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම සම්බන්ධව සහ එහි නීත්‍යානුකූලභාවය පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් මහජනතාව වෙත පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පළාත්පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත ප්‍රකාරව ගැසට් මගින් නිවේදනය කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව එහි දක්වා ඇත්තේ.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ පූර්ණ එකඟතාව මත නිකුත් කළ පළාත්පාලන ඡන්ද විමසීමට අදාළ ගැසට් නිවේදන 17 ක් සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිෂන් සභාව එහි පැහැදිළි කර තිබෙනවා.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හා ඊට අදාළ පළාත්පාලන ඡන්ද විමසීම් ආඥාපනතේ විධිවිධානවලට අනුකූලව පළාත්පාලන ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශ කිරීම, නාමයෝජනා භාරගැනීම සහ ඡන්ද විමසීම් දිනය ප්‍රකාශ කිරීම සිදු කර ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

+


දුම්රියේ ගිය විදෙස් කතකට සෙරෙප්පුවකින් පහරදුන් පුද්ගලයා රිමාන්ඩ්

(24.02.2023 – 15:41 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගමන් කරමින් සිටිය දී දුම්රිය මාර්ගයේ පිටත සිට විදේශීය කාන්තාවකට සෙරප්පුවකින් පහරදුන් සැකකරු ලබන මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔහු අද (24) බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් කෙනත් ඩී. සිල්වා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඇල්ල හා බණ්ඩාරවෙල පොලිස් ඒකකයේ සහය ඇතිව ඊයේ (23) ඔහු අත්අඩංගුවට ගැනුණා ෴


විනිසුරුවරුන්ගෙන් බදු අය කිරීමට එරෙහි තහනම් නියෝගය යළි දීර්ඝ කෙරේ

(24.02.2023 – 16:02 +0530 – hirunews.lk/sinhala)

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් ‘උපයන විට ගෙවීමේ බද්ද’ අය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය මාර්තු මස 01 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (24) නියෝග කළා.

මෙම පෙත්සම අද (24) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

පෙත්සම්කාර විනිසුරු සංගම් කියා සිටින්නේ තමන් විධායකය නියෝජනය නොකරන ස්වාධීන පිරිසක් බැවින් තමන්ගෙන් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නෛතික බලයක් නොමැති බවයි ෴


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නැගණිය, අනුරට එරෙහිව නීති මගට

(24.02.2023 – 17:15 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සොහොයුරිය වන දුලාංජලී ජයකොඩි විසින් තමාට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ 2017 වසරේ සිදු වූවා යැයි කියන මූල්‍ය ගනුදෙනුවකට අදාළව අනුර දිසානායක මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශවලට අදාලවයි.

විපක්ෂ නායකවරයාගේ නැගණිය නීතිඥයෙකු මාර්ගයෙන් එන්තර වාසියක් නිකුත් කරමින් පවසන්නේ මන්ත්‍රීවරයා විසින් ප්‍රසිද්ධ වේදිකාවේ දී කරන ලද චෝදනාව සම්බන්ධයෙන් තමන් මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි.

ව්‍යාපාරික ගනුදෙනුවකට අදාලව මුදල් ගෙවීමක් සිදු කිරීමේ දී ඒ සඳහා ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මුදල් දුලාංජලී ජයකොඩි වෙත භාරදීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු 2017 මැයි මාසයේ දී මහාධිකරණයේ දී වරද පිළිගෙන තිබුණ බවත් ඒ සඳහා විපක්ෂ නායකවරයාගේ නැගණිය වන දුලාංජලී ජයකොඩිට රුපියල් මිලියන 2 ක වන්දියක් ලැබුණ බවත් ඇයගේ නීතිඥයා විසින් අදාල එන්තරවාසියේ සඳහන් කරනවා.

මේ අතර අදාල එන්තර වාසිය මගින් ඇයගේ නීතිඥයා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට චෝදනා කරන්නේ, එම සිද්ධියට අදාළව අසත්‍ය තොරතුරු සහ අපහාසාත්මක ප්‍රකාශ සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ප්‍රචාරය කරමින් ජනතා මතය හසුරුවන බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *