අන්තරේ වසන්ත මුදලිගේ ඇතුළු 57 ක් අත්අඩංගුවට

අන්තරේ වසන්ත මුදලිගේ ඇතුළු 57 ක් අත්අඩංගුවට


අන්තරේ වසන්ත මුදලිගේ ඇතුළු 57 ක් අත්අඩංගුවට

(23.02.2023 – 16:23 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළු වී කලහකාරිව හැසිරීමේ චෝදනාව මත අන්තර් විශ්වවිද්‍යාලයීයශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 57 දෙනෙකු අද (23) අත්අඩංගුවට ගත්තා.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළි විවෘත කරන්නැයි ඉල්ලා ඔවුන් අද (23) පස්වරුවේ එම අමාත්‍යාංශය වෙත පැමිණ විරෝධතාවයක නිරතවූ අතර පසුව අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වුණා.

අත්අඩංගුවට පත්වූවන් අතර භික්ෂූන්වහන්සේ 48 නමක් ද සිටිනවා.

එහිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

පසුව පොලීසිය අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් බස් රථයකින් තලංගම පොලිසිය වෙත රැගෙන ගියා.

සිද්ධිය සිදුවන අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ සිටි ගුරුවරුන් දෙදෙනෙකු (2) ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවටයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් මෙම විරෝධතාව අද (23) පැවැත්වුණේ හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබන සදුදා (27) විවෘත කිරීමට සැලසුම් කර තිබෙන පසුබිමකයි ෴

+

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භික්ෂුන් වහන්සේලා හා අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කැඳවුම්කරු සමග තවත් කණ්ඩායමක් විසින් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී කලබලකාරී තත්වයක් ඇති කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ගැටලුව සම්බන්ධයෙන් පසුගිය සතියේ භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක සභාවත්, විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයත්, අධ්‍යාපන අමාත්‍යවරයා හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

එහි දී පාලක සභාව විසින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත පියවර පිළිබඳ ව දැනුම්වත් කළ අතර එම විශ්වවිද්‍යාලයේ කටයුතු සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීම සඳහා පාලක සභාවට බලය පැවරී ඇති බව ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශ විසින් දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව හැකි ආසන්න ම දිනයක දී එම විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසත් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට නොමැති බවත් පැවති සාකච්ඡාවේ දී පාලක සභාව වෙත වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

පාලක සභාව දැනුම් දුන්නේ සති අන්තයේ පිරිත් සජ්ඣායනා කර අනතුරු ව 27 වැනිදා සඳුදා සිට අදියරයන් යටතේ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දැනුම්දී තිබෙනවා.

ශිෂ්‍යයන් කීප දෙනෙකුගේ පන්ති තහනම් කිරීම සිදු කර ඇත්තේ පාලක සභාව මගින් වන අතර ඒ අනුව පාලක සභාව මගින් ගනු ලබන තීරණ වෙනස් කිරීමට අමාත්‍යාංශයට බලයක් නොමැති බවත් එම තීරණයේ යම් වෙනසක් සිදු කරයි නම් එය කළ යුත්තේ පාලක සභාව මගින් බවත් අමාත්‍යාංශයට ඒ සඳහා කිසිදු මැදිහත්වීමක් සිදු කළ නොහැකි බවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙනවා.

කරුණු එසේ තිබිය දී මෙරට ලක්ෂ 42 ක් දරුවන්ගේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ව කටයුතු කරන අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට කිසිදු පූර්ව දැනුම්වත් කිරීමකින් තොර ව බලහත්කාරයෙන් ඇතුළු වී කලබලකාරී ලෙස හැසිරීම නිසා පොලීසිය විසින් අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණ අදාළ විරෝධතාකරුවන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත් බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

+

+

+

+

+


සුදු මැස්සා මර්දනය සඳහා සතියක වැඩසටහනක්

(23.02.2023 – 14:48 +0530 – hirunews.lk/sinhala)

පොල් වගාව ආශ්‍රිතව මේ වනවිට සුදු මැස්සා රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවී යන බවට හඳුනාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් පොල් ඵලදාවට මෙන්ම අනෙකුත් වගාවන් සඳහාද දැඩි බලපෑමක් සිදු වන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඊයේ (22) සිට සතියක කාලයක් සුදු මැස්සා මර්දන සතියක් ප්‍රකාශයට පත් කිරීමට පොල් පර්යේෂණායතනය පියවර ගෙන තිබෙනවා.

වගාවට හානි කරන ආක්‍රමණශීලී කෘමි සත්ත්වයෙකු වන සුදු මැස්සා උවදුරු පිළිබඳ 1980 ද‍ශකයේ සිට වාර්තා වු‍ණත් පොල් වගාව ඉන් දැඩි බලපෑමට ලක්වීම පිළිබඳ මුල් වරට මෙරටින් වාර්තා වුණේ 2019 වසරේදීයි.

කෙසේ වුවත් 2020-2021 වසරවලදී මෙම උවදුරු ශී‍ඝ්‍රයෙන් ව්‍යප්ත වී ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව කෑගල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 2019 වසරේදී මෙම කෘමින් මුල් වරට වාර්තා වී තිබෙනවා.

පොල් කොළයේ යටි ප්‍රදේශයේ මෙම කෘමි සත්ත්වයා බිත්තර දැමීම හේතුවෙන් ඉන් පිටවන ශ්‍රාවය පොල් කොළය පුරා පැතිර ගොස් ප්‍රභාශංස්ලේෂණ ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ල වන අතර එමගින් පොල් ඵලදාවට ද එල්ල වන්නේ දැඩි බලපෑමක්.

එමෙන්ම මෙම කෘමි සතා ව්‍යාප්තව සිටින පොල් ඉඩම්වල සෙසු ශාකවලට ද සුදු මැස්සාගෙන් දැඩි බලපෑම් එල්ල වන අතර කෙසෙල්, පේර, දෙළුම් ඇතුළු පලතුරු ඒ අතරින් ප්‍රධානයි.

ඒ අනුව මෙම සුදු මැස්සා රෝගය තුරන් කිරීමේ දින 100 ජාතික වැඩ සටහනටක් මේ වනවිට අරඹා ඇති අතර ඊට සමගාමීව සුදු මැස්සා මර්දන සතියක් ද ඊයේ (22) සිට ප්‍රකාශයට පත් කෙරු‍ණා.

ඊට සමගාමීව ගම්පහ දිස්තික්කයේ වැඩසටහන දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කේන්ද්‍ර කරගනිමින් කොටදෙනියාව දොන් බොස්කෝ අධ්‍යාපනයක ආයතන පරිශ්‍රයේදී ආරම්භ වුණා.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වල්පිට, මරදගහමුල සහ බඩල්ගම යන ගොවිජන සේවා මධ්‍යස්ථාන බල ප්‍රදේශ 03 තුළ පළමු (1) අදියර යටතේ පොල් ගස් තිස් දහසක් (30,000) සඳහා සුදු මැස්සා රෝගය ඉවත්කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි.

සුදු මැස්සා මර්දන සතියට සමගාමීව විවිධ ප්‍රදේශවල වැඩසටහන් දියත් කෙරුණා.

+


විදුලි බල මණ්ඩලයේ අලාභයට හේතුව ගැන ඕමල්පේ සෝභිත හිමිගෙන් පැහැදිලි කිරීමක්

(23.02.2023 – 14:49 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලයේ අලාභයට, විදුලිබල මණ්ඩලයේ ම ප්‍රධානීන් වගකිවයුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහජන සභාව නියෝජනය කරමින් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, විදුලි බිල වැඩිකිරීම නිසා ජනතාවට සිදුව ඇති පීඩාවට එරෙහිව ‘ලංකා ජනතා පක්ෂයේ’ සාමාජිකයින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබුනා.

මේ අතර විදුලි බිල වැඩි කිරීමට විරෝධය පළකරමින් විවිද ප්‍රදේශ වල ඊයේ (22) රාත්‍රියේද ‘පන්දම් විරෝධතා’ සංවිධාන කර තිබුණා.

+


ඊශ්‍රායලයේ රැකියා දෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(23.02.2023 – 14:53 +0530 – hirunews.lk/sinhala)

ඊශ්‍රායලයේ රැකියා දෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය ඊයේ (22) සමත් වුණා.

ඒ, එම වංචාවට හසු වූ කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුවයි.

සාත්තු සේවිකාවන් ලෙස කාන්තාවන් ඊශ්‍රායලය වෙත යොමු කරන බවට පවසමින් සිදු කරන මහා පරිමාන මුදල් වංචාවක් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිල්ලක් ලැබී තිබුණා.

අදාළ වංචා සහගත රැකියා ඒජන්සිකරු කාන්තාවන් පිරිසකට බත්තරමුල්ල දියත උයන ප්‍රදේශයට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ බවටද තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව මෙම වැටිලීම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් ඒකකයේ කළමණාකාර කපිල කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පිරිසක් එම ස්ථානයට පැමීණ සිටියා.

එහිදී විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලදාරීන් අදාල පුද්ගලයාගේ මොටර් රථයද පරීක්ෂා කළා.

එහිදී රාජ්‍ය ලාංජනය සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලාංජනය ව්‍යාජව භාවිත කරමින් සැකසූ අයදුම් පත් අතුලු ලිපි ලේඛණ ද සොයා ගත්තා .

මෙම ජාවාරමට සම්බන්ධ තවත් අයෙක්ද පසුව අත් අඩංගුවට ගත් බව සඳහන්.

+


මත්ද්‍රව්‍ය කිලෝ 3000 ක් විනාශ කිරීමේ තීරණයක්

(23.02.2023 – 15:29 +0530 – hirunews.lk/sinhala)

දැනට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතින මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3000 ක් දහනය කර විනාශ කිරීමට නව නිත්‍යානුකූල විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ විදේශීය රටවල්වල සිටිමින් මෙරටට මත් ද්‍රව්‍ය එවනු ලබන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උපරිම දඩුවම් ලබාදීමට ද පියවර ගන්නා බවයි ෴


හොරොයින් භාවිත කළ රෝහල් සේවකයන් දෙදෙනෙකු ඇතුළු 04 ක් අත්අඩංගුවට

(23.02.2023 – 16:12 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් භාවිත කිරීමේ චෝදනාව මත කොළඹ ජාතික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු (2) ඇතුළු පුද්ගලයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල පොලිසිය විසින් වනාතමුල්ල ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර රෝහල් සේවකයන් දෙදෙනා (2) හිඟුරග්ගොඩ සහ ගල්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

අනෙක් සැකකරුවන් දෙදෙනා (2) වනාතමුල්ල ප්‍රදේශ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස 06 ක කාලයකට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමුකර තිබෙනවා ෴


ජපානයේ රිය අනතුරකින් ලාංකික තරුණයන් දෙදෙනෙකු (2) මරුට

(23.02.2023 – 16:16 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ ඉබරාකි ප්‍රාන්තයේ සිදුවු රිය අනතුරකින් ලාංකිකයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වසර 06 ක කාලයක් එරට රැදී සිටි මොවුන් දෙදෙනා (2) මිතුරන් වන අතර ඔවුන්ගේ මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී පසුව විදුලි කණුවක ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරෙන් පසු බරපතල තුවාල ලැබූ තරුණයන් දෙදෙනා (2) රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගියදා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 26 සහ 27 යන වයස්වල පසුවන මාතර හා ආරච්චිකට්ටුව යන ප්‍රදේශවල පදිංචි අවිවාහක තරුණයන් දෙදෙනෙක් ෴


රේගුවේ හිර වූ අපේක්ෂා රෝහලේ උපකරණ නිදහස්

(23.02.2023 – 19:41 +0530 – hirunews.lk/sinhala)

මහරගම අපේක්ෂා රෝහලේ යන්ත්‍රයක් අළුත්වැඩියා කිරිම සඳහා ආනයනය කර රේගුව මගින් රඳවාගෙන තිබූ උපකරණ තොගය, මුදා හැර තිබෙනවා.

ඊයේ (22) පාර්ලිමේන්තු සභාවාරයේදි මේ සම්බන්ධයෙන් අදහස් පළවූ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (23) කියා සිටියේ එලෙස රඳවා ගැනීම සිදුකර ඇත්තේ ආනයනය කළ ආයතනයේ ප්‍රමාදයක් මිස රේගුවේ ප්‍රමාදයක් නිසා නොවන බවයි.

මේ අතර හෙරොයින් භාවිත කිරීමේ චෝදනාව මත කොළඹ ජාතික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු (2) ඇතුළු පුද්ගලයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල පොලිසිය විසින් වනාතමුල්ල ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර රෝහල් සේවකයන් දෙදෙනා (2) හිඟුරක්ගොඩ සහ ගල්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *