පළාත් පාලන ඡන්ද විමසීමට මේ දක්වා රුපියල් ලක්ෂ 5,000 ක් වැය කර ඇති බව ‘පැෆ්රල්’ කියයි

පළාත් පාලන ඡන්ද විමසීමට මේ දක්වා රුපියල් ලක්ෂ 5,000 ක් වැය කර ඇති බව ‘පැෆ්රල්’ කියයි


පළාත් පාලන ඡන්ද විමසීමට මේ දක්වා රුපියල් ලක්ෂ 5,000 ක් වැය කර ඇති බව ‘පැෆ්රල්’ කියයි

(23.02.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළව මේ දක්වා රුපියල් ලක්ෂ 5000 කට වැඩි මුදලක් මැතිවරණ කොමිසම වැය කර ඇති බව ‘පැෆ්රල්’ සංවිධාන පවසනවා.

එම තත්ත්වය මත ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩුව කටයුතු කළහොත් එහි වගකීම දේශපාලන අධිකාරිය භාර ගත යුතු බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

මේ අතර, ප්‍රවීන රංගන ශිල්පිනී දමිතා අබේරත්න සමගි ජන බලවේගය පොළොන්නරුවේ ඊයේ (22) සංවිධාන කර තිබූ දේශපාලන රැලියකට එක්වුණා.

කෙසේ වෙතත්, ජාතික ජනබලවේගය ඊයේ (22) මහනුවර සංවිධාන කර තිබූ මැතිවරණ රැලියකදී එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ තම ආණ්ඩුවක් යටතේ මහජනතාවගේ දේපල ආරක්ෂා කිරීම සිය ප්‍රමුඛ වගකීම බවයි ෴


යුක්ක්‍රේනය ලේ විලක් කළ කුප්‍රකට ‘මයිඩාන්’ කුමන්ත්‍රණයේ මහ මොළකාරිය වූ වික්ටෝරියා නූලන්ඩ්ගේ මැදිහත් වීමෙන් ලංකාව ඇමෙරිකාවේ තිත්පොලක් කිරීමට දරණ උත්සාහය පා.ම. විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරයි (23.02.2023)

+


ගංජා තොගයක් සමග පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට

(23.02.2023 – 09:41 +0530 – hirunews.lk/sinhala)

යාල රක්ෂිතයේ, තම්මිටආර ප්‍රයේශයේ දී වියලි ගංජා කිලෝ ග්‍රෑම් 122 යි ග්‍රෑම් 200 ක් සමග පුද්ගලයින් 05 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔක්කම්පිටිය පොලිසියට ලද තොරතුරකට අනුවයි මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ.

පොලිසිය පවසන්නේ, පසුගිය 20 වැනිදා සිදුකළ මෙහෙයුමේ දී ගංජා කිලෝ ග්‍රෑම් 350 කට ආසන්න ප්‍රමාණයක් ගිනි තබා විනාශ කළ බවයි.

එමෙන්ම එහිදී සැකකරුවන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත පතරොම් තුවක්කුවක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 30 ත් 44 ත් අතර පසුවන සැකකරුවන් කුටිටිගල, තණමල්විල හා හම්බන්තොට ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් ඊයේ (22) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

+


රෝහල් සුළු සේවකයන් සේවයෙන් ඉවත් වෙයි

(23.02.2023 – 10:02 +0530 – hirunews.lk/sinhala)

අතිකාල දීමනා කප්පාදු කිරීම, ඖෂධ හිඟය අතුළු කරුණු 08 ක් මුල්කරගනිමින් දිවයින පුරා රෝහල් රැසක සුළු සේවකයන් අද (23) පෙරවරු 08 සිය දහවල් 12 දක්වා සේවයෙන් ඉවත්ව සිටියා.

මේ හේතුවෙන් රෝහල් වෙත පැමිණි රෝගීන් අපහසුතාවයට මුහුණදී සිටින අයුරු දැක ගැනීමට ලැබුණු බවයි ප්‍රදේශ රැසක හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම වර්ජනය රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම අපේක්ෂා රෝහල සහ කාසල් වීදීයේ කාන්තා රෝහල ඇතුළු රෝහල් 05 ක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වූයේ නැහැ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව සුළු සේවකයන් රෝහල ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේද නිරත වුණා.

මේ අතර, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැවතියද බාධා මධ්‍යයේ රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ ෴


බුත්තල සහ වැල්ලවාය භූ චලන ගැන විශේෂ අධ්‍යයනයක්

(23.02.2023 – 07:36 +0530 – hirunews.lk/sinhala)

බුත්තල – වැල්ලවාය ප්‍රදේශවල ඊයේ සහ පසුගිය දිනවල ඇතිවූ භූ චලන සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ස්ටෙරින් ප්‍රනාන්දු කියා සිටියේ අතීතයේ සිදුව ඇති භූ චලන මෙන්ම මෑතකාලයේ මෙරට ඇති වූ භූ චලන සිතියම් ගතකොට මෙම අධ්‍යයනය සිදුකරන බවයි.

ඊයේ (22) දිනයේ බුත්තල – වැල්ලවාය ආශ්‍රිත ප්‍රදේශයේ සුළු භූ චලනයක් වාර්තා වී තිබුණා.

එහි විශාලත්වයේ අගය රිච්ටර් පරිමාණයේ ඒකක 3.3ක් ලෙස සටහන් වුණා.

+


පොලිස් වෙඩි පහරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට

(23.02.2023 – 10:09 +0530 – hirunews.lk/sinhala)

කටුනායක – මඩවල ප්‍රදේශයේ දි ‘පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ’ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්වුණා.

‘බුද්ධික දිනේෂ් සෝමවංශ’ නමැති මියගිය සැකකරු 30 හැවිරිදි වියේ පසුවනවා.

සැකකරු පුද්ගල ඝාතන කිහිපයකට සහ විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවු අයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

අදාල චෝදනා සම්බන්ධයෙන් සැකකරු ඊයේ (22) මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ‘ඔහු සතුව ඇති ගිනි අවි කිහිපයක් පෙන්විම’ සදහා අද (23) උදෑසන මඩවල ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදියි ‘පොලිසියට අත්බොම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර ඇති’ බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා දැනට ඩුබායිහි සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ‘හීනටියන මහේෂ්’ නමැත්තාගේ සමීපතමයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර, රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අවි ගබඩාවෙන් සොරා ගෙන තිබූ ටී-56 ගිනි අවිය සහ ජීව උණ්ඩ 120 සහිත මැගසින් හතර (4) අඟුරුවාතොට – කෙසෙල් හේනාව ප්‍රදේශයේ එළවළු කොටුවක වල දමා තිබියදී පොලීසිය සොයා ගෙන තිබෙනවා.

ඒ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි එම ගුවන් හමුදා කඳවුරේ හමුදා සැරයන්වරයෙකු කරන ලද පාපොච්චාරණයකට අනුවයි.

මොහු මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩ සොරා ගත් බවට වාර්තා පළ වූයේ පසුගිය 20 වනදායි ෴


පාර්ලිමේන්තුවේ අදත් (23) විරෝධතාවක්

(23.02.2023 – 11:21 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් සභා ගර්භයේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් අදත් (23) ‘දියව් දියව් ඡන්දෙ දියව්’ යනුවෙන් සටන් පාඨ ප්‍රකාශ කරමින් සිය විරෝධතාව පළ කළා.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද අද (23) පාර්ලිමේන්තුවට පැමිණියා.

එහි දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ, මැතිවරණය පැවැත්වෙන දිනයක් පිළිබඳ මැතිවරණ කොමිසම මෙතෙක් නිල තීරණයක් ගෙන නොමැති බව යි.

+


රාජ්‍ය සේවකයන්ට රාජකාරී විදෙස් ගමන් සඳහා Economy Class විතරයි

(23.02.2023 – 11:49 +0530 – hirunews.lk/sinhala)

රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිල දී ගැනීමට රජයේ අරමුදල් භාවිතා කරනු ලබන අවස්ථාවල දී අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු හැර අනිකුත් සියලුම නිලධාරීන් පිරිමැසුම් පන්තියේ (Economy Class) ගුවන් ටිකට්පත් පමණක් මිල දී ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම් දී තිබෙනවා.

මීට අදාළව ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් යුත් චක්‍රලේඛයක් 2023 පෙබරවාරි 22 දිනැතිව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

ඒ අනුව යම් නිලධාරියෙකුට ව්‍යාපාරික පංතියේ (Business Class) ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම්, පිරිමැසුම් පංතියේ ගුවන් ටිකට්පතක් මිල දී ගැනීමට යන මුදල සහ ව්‍යාපාරික පංතියේ ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමට යන මුදල අතර වෙනස සිය පෞද්ගලික මුදලින් වැයකර ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට හැකියාව ලැබෙන බව එම චක්‍රලේකය මගින් වැඩි දුරටත් පෙන්වා දෙනවා.

මෙම චක්‍රලේඛයේ සඳහන් ආකාරයට යම් නිලධාරියෙකුට ඉහත විධිවිධානවලට පරිබාහිරව සුවිශේෂි හේතුවක් මත රජයේ අරමුදල් භාවිතා කර ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ පිළිබඳ ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර ජනාධිපති ලේකම්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු අතර අදාළ චක්‍රලේඛයෙහි සඳහන් විධිවිධාන 2023 මාර්තු 01 වන දින සිට බලාත්මක වන අතර, ඒ අනුව මෙම කරුණට අදාළව මීට පෙර නිකුත් කර ඇති චක්‍රලේඛ හෝ උපදෙස් ලිපිවල සඳහන් විධිවිධාන එදින සිට බලරහිත වන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩි දුරටත් දැනුම් දෙන්නේ.

වර්තමානයේ රටේ පවතින ආර්ථික හා මූල්‍ය දුෂ්කරතා මත රජයේ අරමුදල් අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා පමණක් ඉතා අරපිරිමැස්මෙන් යුතුව වැය කිරීමට ගෙන ඇති පියවර අනුව ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩි දුරටත් සඳහන් කරන්නේ ෴


මරණ දඬුවමට අත්සන් නොකිරීමට ජනපතිගෙන් තීරණයක්

(23.02.2023 – 12:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් විත්තිකරුවන්ට නියම කර ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

අදාල තීරණය නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතර (4) දෙනෙකුට පණවා තිබෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කිරීමට 2019 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (23) කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ විසින් එම දැනුම්දීම අධිකරණයට සිදු කළා ෴


දුම්රියේ ගමන් ගත් විදේශීකයාට සෙරෙප්පුවෙන් ගැසූ පුද්ගලයා අත්අඩංගුවට

(23.02.2023 – 13:00 +0530 – hirunews.lk/sinhala)

දුම්රියෙන් ගමන් ගන්නා විදෙස් සංචාරකයෙකුට සෙරෙප්පු ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු බණ්ඩාරවෙල පොලීසිය මගින් අද (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු 28 හැවිරිදි වියේ පසුවන බණ්ඩාරවෙල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

දුම්රිය මාර්ගයෙන් පිටත සිටින පුද්ගලයෙකු, විදේශිකයෙකුට සෙරෙප්පු ප්‍රහාරයක් එල්ල කිරීමට අදාළ දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

ඒ අනුවයි මේ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කරනු ලැබුවේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙළි වී ඇත්තේ පෙරේදා (21) උදෑසන බදුල්ල බලා කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කල දුම්රියේ සිටි විදෙස් සංචාරකයෙකුට බණ්ඩාරවෙල කාලි කෝවිල පිටුපසදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි ෴


විසිතුරු ශාක පත්‍ර සඳහා විදේශ වෙළඳපලේ විශාල ඉල්ලුමක්

(23.02.2023 – 13:09 +0530 – hirunews.lk/sinhala)

මෙරට විසිතුරු ශාක පත්‍ර සඳහා විදේශ වෙළඳපලේ විශාල ඉල්ලුමක් පවතින බැවින් එවැනි ශාක වගා කර මුදල් උපයා ගන්නැයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

එවැනි පත්‍රයක් රුපියල් 3 කට පමණ අලෙවි කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙලෝමි ක්‍රිෂ්ණරාජා සඳහන් කළේ.

විසිතුරු මල් අපනයනය කිරීම ද සිදුකරන අතර, කුඩා හා මධ්‍යම පරිමාණ වගාකරුවන්ගේ මල් අපනයනය කිරීම සඳහා ද දෙපාර්තමේන්තුව වැඩපිළිවෙලක් දියත් කර ඇති බව ඇය සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 081 238 8307 දරණ අංකයට ඇමතීමෙන් ලබාගත හැකි බවයි උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය තවදුරටත් කියා සිටියේ ෴


නෙළුවේ දී අතුරුදන් වූ පාසල් සිසුන් දෙදෙනා (2) සොයා ගැනේ

(23.02.2023 – 14:50 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – නෙළුව – මාවිට ප්‍රදේශයේ පදිංචිව සිටියදී අතුරුදන්වූ පාසල් සිසුන් දෙදෙනා අද (23) දහවල් මාතර – කිරිමැටිමුල්ල ප්‍රදේශයේ රැදි සිටියදී පොලිසිය සොයා ගෙන තිබෙනවා.

ඒ දෙමාපියන් විසින් පොලීසියට ලබා දුන් තොරතුරකට අනුවයි.

නෙළුව ජාතික පාසලේ 7 සහ 8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන අවුරුදු 12 සහ 13 යන වයස්වල පසුවන මෙම සිසුන් දෙදෙනා (2) ඊයේ (22) පාසල නිමවී නෙළුව නගරයට පැමිණ ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පසුව ඔවුන් දෙදෙනා (2) නෙළුව ප්‍රධාන බස් නැවතුම් පලට පැමිණ රිය සහායකයෙකුගෙන් මොරවක නගරයට යාම සඳහා බස් ගාස්තු කෙසේ දැයි විමසා ඇති බව වාර්තා වනවා.

එම අවස්ථාව වනවිට පාසල් නිල ඇදුමින් සැරසී සිටි මොවුන් වෙනත් ඇදුමකින් සැරසි බස් රථයක නැග මොරවක නගරයට ගොස් ඇති බව ද මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, තමන් මාතර තෙලිජිජවිල කිරිමැටිමුල්ල ප්‍රදේශයේ රැදි සිටින බවට දරුවන් දුරකථන ඇමතුමකින් අද (23) උදෑසන දෙමාපියන්ට දැනුම්දී තිබෙනවා.

ඉන් අනතුරුවයි පොලිසිය ඔවුන් සොයා ගෙන ඇත්තේ.

දැනට පොලිසිය අනාවරණය කර ගෙන ඇත්තේ දරුවන් ඊයේ (22) පස්වරුවේ මොරවක නගරයට පැමිණීමෙන් පසු මාතර නගරයට ගොස් ඇති බවයි.

එහිදි ඔවුන් පා පැදියක් ද සොරා ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *