ෂාෆ්‍ටර්ගේ මරණයට හේතු සෙවීමට විශේෂඥ කමිටුවක්

ෂාෆ්‍ටර්ගේ මරණයට හේතු සෙවීමට විශේෂඥ කමිටුවක්


ෂාෆ්‍ටර්ගේ මරණයට හේතු සෙවීමට විශේෂඥ කමිටුවක්

(22.02.2023 – 15:51 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්‍ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා පත් කිරීමට නියමිත විශේෂඥ පංච (5) පුද්ගල වෛද්‍ය කමිටුවේ සාමාජිකයින් විනිවිදභාවයකින් යුතුව පත්කිරීමට තමන් අපේක්ෂා කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (22) විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (22) අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවා.

මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ ඇය කියා සිටියේ මීට පෙර අධිකරණය කළ නියෝගයට අනුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ හා වෝහාරික විශේෂඥයින්ගෙන් සමන්විත නම් ලැයිස්තු අධිකරණය වෙත එවා ඇති බවයි.

එය විශ්ලේෂණය කොට විනිවිදභාවයෙන් පංච (5) පුද්ගල විශේෂඥ කමිටුවේ සාමාජිකයින් තමන් විසින් නම් කරන බව මහේස්ත්‍රාත්වරිය කියා සිටියා.

මෙහි දී ඇය වැඩිදුරටත් සඳහන් කළේ පසුගියදා තමන් කළ නියෝගයට අනුව, දිනේෂ් ෂාෆ්ටර් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සිදුකළ ප්‍රතිකාර පිළිබඳව වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ අනුව එම වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත ඇය සිහිකැඳවීමක් සිදුකළා ෴


රජයේ රෝහල්වලට ඉන්ධන සැපයීමට ජපානයෙන් ඩො.මි. 46 ක මානුෂීය ආධාර

(22.02.2023 – 16:26 +0530 – hirunews.lk/sinhala)

රජයේ රෝහල් සඳහා ඩීසල් ඉන්ධන සැපයීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් වටිනා මානුෂීය ආධාර සැපයීමක් කර තිබෙනවා.

2022 වර්ෂයේ දී ජපානය විසින් මෙරටට ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් මිලියන 104 ක ආධාර ප්‍රදානයේ කොටසක් ලෙසින් ලැබුණු මෙම මානුෂීය ආධාර ප්‍රධානය අද (22) ජපානයේ ශ්‍රී ලංකා තානාපති මිසුකොෂි හිදෙකි විසින් මහා භාණ්ඩාගාරයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන වෙත භාර දී තිබෙනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් පවතින ඉන්ධන හිඟය හේතුවෙන් දිවයින පුරා පිහිටි රජයේ රෝහල් 1,180 කට විදුලිය විසන්ධි කිරීමේ දී සහ හදිසි වෛද්‍ය මෙහෙයුම් නොවන අවස්ථාවලදී වෛද්‍ය සේවා අත්හිටුවීමට සිදුව තිබෙන පසුබිමක ජපාන රජය විසින් මෙම මානුෂීය අධාරය ශ්‍රී ලංකාව වෙත පිරිනමන්නේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවාවන් තිරසාර අන්දමින් පවත්වාගෙන යෑම සඳහා වන සහයක් ලෙසයි.

මෙම මානුෂීය සහයෝගය හරහා රජයේ රෝහල් වෙත ඩීසල් ඉන්ධන ලීටර් මිලියන 20 ක් ලබා දෙනු ලබනවා ෴


විදුලි සංදේශ කුළුණුවලින් ශ්‍රී මහා බෝධියට වන හානිය හොයන්න කමිටුවක්

(22.02.2023 – 17:55 +0530 – hirunews.lk/sinhala)

ඵෙතිහාසික ජය ශ්‍රි මහා බෝධින් වහන්සේට බලපෑම් වන අයුරින් ස්ථාපිත කර ඇති දුරකථන සංඥා කුළුණු පිළිබඳව සොයා බලා වාර්තා කිරිම සඳහා පංච (5) පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම කමිටුව පත් කර ඇත්තේ අටමස්ථානධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් කළ ඉල්ලිමකට අනුවයි.

බෝධින් වහන්සේට, ඒ ආසන්නයේ ස්ථාපිත කර ඇති දුරකථන සංඥා කුළුණු වලින් බලපෑම් වන බවට මීට පෙර වාර්තා පළ වි තිබුණා.

මෙම කමිටුවට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය නෙරංජන් ගුණවර්ධන, එහි අතිරේක අධක්ෂ ජනරාල් එච්. රණතුංග, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධක්ෂ ජනාරාල් ආචාර්ය එස්. ඒ ක්‍රිෂ්ණරාජා සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජානක ජයසුන්දර ඇතුළත් ෴


බොදු පාලියේ සත්‍යග්‍රහයට කඳුළු ගෑස්

(22.02.2023 – 19:26 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

++++++++

+


හෙට (23) වැටුප කැපුවොත්, වර්ජනයක් – වෛද්‍ය සංගමය අනතුරු අඟවයි

(22.02.2023 – 20:06 +0530 – hirunews.lk/sinhala)

රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තියවේදීන් අද (22) දහවල් කෑම පැයේදී විරෝධතාවක නිරත වුණා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයට කළු ඇඳුමින් සැරසී ඔවුන් පැවැත්වූ විරෝධතාවය නිසා ඕල්කට් මාවතේ ගාලුමුවදොර දෙසට වන මංතීරුව අවහිර වුණා.

විරෝධතාකරුවන්ට මුදල් අමාත්‍යාංශයට, ජනාධිපති කාර්යාලයට, ජනාධිපති මන්දිරයට සහ ගාලුමුවදොර භූමියට ඇතුළුවීම වළක්වාලමින් තහනම් නියෝගයක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කරනු ලැබුවේ කොටුව පොලීසිය සිදුකළ ඉල්ලීමකට අනුවයි.

එහි වගඋත්තරකරුවන් ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති 8 ක නියෝජිතයින් නම් කර තිබුණා.

මේ අතර, කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස කියා සිටියේ හෙට (23) ලබාදෙන වැටුප, සෞඛ්‍ය ලේකම්වරයාගේ චක්‍රලේඛයකට අනුව කප්පාදු කර තිබුනහොත් කොන්දේසි විරහිතව වර්ජනයකට යොමුවන බවයි ෴


අදානි සමඟ සුළං විදුලි ව්‍යාපෘති ගිවිසුමකට අත්සන් තැබේ

(22.02.2023 – 20:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ඉන්දියාවේ අදානි සමූහය බලශක්ති ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව මෙගාවොට් 250 ක ධාරිතාවකින් යුතු මන්නාරමේ ඉදිකෙරෙන සුළං විදුලි ව්‍යාපෘතියකට සහ පූනරීන් ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙගාවොට් 100 ක ධාරිතාවකින් යුතු සුළං විදුලි ව්‍යාපෘතියකටයි මෙලෙස අනුමැතිය ලබා දී ඇත්තේ.

එම ආයෝජනයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 442 ක් බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේ ෴

+


නීති විරෝධීව ගෙන් වූ දුම්වැටි මිලියන 3 ක් හමුවෙයි

(22.02.2023 – 21:56 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි මිලියන තුනක් (3) අඩංගු බහාලුමක් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශය විසින් සිය භාරයට ගනු ලැබුවා.

එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් මිලියන 487 ක් පමණ පමණ වනවා.

මෙම දුම්වැටි තොගය ඔරුගොඩවත්ත ‘රෑන්ක්’ බහාලුම් පර්යන්තයේ දී සිදු කරන ලද පරීක්ෂාවක් අතරතුර දී සොයාගෙන තිබෙනවා ෴


ණය කළමනාකරණය කරන අලුත් ම සැලැස්ම මුදල් ‍රාජ්‍ය ඇමති හෙළි කරයි

(22.02.2023 – 23:17 +0530 – hirunews.lk/sinhala)

2023 වසරේ සංවර්ධන බැඳුම්කර සඳහා ගෙවීමට ඇති ඩොලර් මිලියන 755 ක ණය හා පොලිය ගෙවීමට ඩොලර් නොමැතිවීම හේතුවෙන් ‘සංවර්ධන බැදුම්කර’ නැවත නිකුත් කර ණය කළමනාකරණය කිරීමට රජය කටයුතු කරන බව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

විදෙස් ණය ගෙවීම සදහා අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අප කළ විමසිමක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ ඉදිරි මාස 6 තුළ විදෙස් ණය ගෙවීම සදහා ඩොලර් මිලියන 2609 ක් අවශ්‍ය බවයි.

තව ද චීනය මෙරටට ලබා දී ඇති ද්විපාර්ශ්වික ණය 2022 හා 2023 යන වසර දෙක (2) සඳහා අත්හිටුවීමට ගෙන ඇති තීරණය කෙටි කාලීන විසඳුමක් බවත් ශ්‍රි ලංකාව සමග සුහද සාකච්ඡාවකින් පසු එය මධ්‍ය හා දීර්ඝ කාලීන විසඳුමකට යාහැකි බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ‘වැන්ග් වෙන්බින්’ පවසනවා.

එමෙන් ම ශ්‍රී ලංකාවේ බහුපාර්ශ්වීය ණය හිමියන් ද ණය පිරියම්කරණය ට එකඟතාව දැක්වීම තුළින් ද්විපාර්ශ්වික ණය හිමියන් ගේ දායකත්වයට සහය පළ කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ යටතේ ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර හිමියන් ද ඇතුළුව වාණිජ ණය හිමියන් වෙත ‘චීන එක්සිම් බැංකුව’ දිගින් දිගටම ඉල්ලීම් කරන බවත් ඔහු පැවසුවා ෴


ශ්‍රී ලංකාවේ භූ කම්පන ඉතිහාසය

(22.02.2023 – 22:09 +0530 – sinhala.adaderana.lk)

ඉතිහාසයේ මෙරට සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 2000 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

ආසන්න දින කිහිපයකදීම මෙරට එකම කලාපයෙන් භූ චලන වාර්තා වීම පිළිබඳ අද දෙරණ කළ කරුණු විමසීමකදී භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා :

“ත්‍රිකුණාමලයේ ඉඳලා ලංකාවේ මධ්‍යම කඳුකරයට දකුණින් තියෙන පහත් කලාපය අතරතුර තියෙනවා රේඛාවක්. ඒ කලාපය විශ්වාස කරන්නේ භූමි ප්‍රදේශයක් හරහා ගමන්කළ තල මායිමක් කියලා. අද ඒක අක්‍රීයයි. එතකොට මේ අවට තමයි ලංකාවේ සිදුවන සියලු භූ කම්පන වාර්තාවෙන්නේ. ලංකාවේ භූ කම්පන සිතියම ගත්තොත් ඒ සිතියමේ තියෙනවා විශාල භූ කම්පන සිදුවූ බවට වාර්තා. ඒ කියන්නේ 1615 දී වගේ භුමි කම්පාවක් සිදුවෙලා තියෙනවා කොළඹ ප්‍රදේශයේ. මිනිස්සු 2000 ක් මැරිලා තියෙනවා. පසුගිය අවුරුදු 20 ක හා 30 ක් කාලයේ කරපු පර්යේෂණවලින් පේන්නේ භූමි කම්පා සාමාන්‍යයෙන් මේ ප්‍රදේශවල කම්පන සිදුවෙන්න පුළුවන් 3.5 ක සහ උපරිම 4 වගේ දක්වා කම්පන සිදුවෙන්න පුළුවන් බවයි.”

බුත්තල ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක ආසන්න දින කිහිපයකදීම භූ චලන සිදුවීම රටේ කතාබහක් ඇති කළ මාතෘකාවක් බවට පත්වුණි.

ආසන්නතම පළමු (1) සිදුවීම වාර්තාවූයේ පසුගිය 10 වනදාය.

මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකින්ම එදින දහවල් 12:11 ට පළමු භූ චලනය වාර්තා වුණි.

එහි අගය දැක්වුණේ රික්ටර් මාපාංක 3 ක් ලෙසය.

ඉන් මිනිත්තු තුනක (3)ට පසුව එනම් දහවල් 12:14 ට ද තවත් භූ චලනයක් සිදුවූ අතර එය සටහන් වූයේ රික්ටර් මාපාංක 3.5 ක් ලෙසින් වාර්තා විය.

එම භූ චලනය නිසා බුත්තල, උනාවටුන බෞද්ධාලෝක මහ පිරිවෙන් විහාරස්ථානයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොතෙහි කොටසක් ද කඩා වැටුණි.

එම භූ චලන ද්විත්වය සිදුවී පැය 24 ක් ගතවීමටත් පෙර පසුගිය 11 වැනිදා අලුයම 3 ට පමණ වැල්ලවාය නැගෙනහිර ප්‍රදේශයේ පොළව අභ්‍යන්තරයේ රික්ටර් මාපාංක 2.3 ක සුළු භූ කම්පනයක් සිදුවූ බවට වාර්තාවුණි.

ඉන් දින 11 කට පසු අද (22) පෙරවරු 11:44 ට ද යළිත් බුත්තල සහ වැල්ලවාය අතර කලාපයේ තවත් භූ චලනයක් වාර්තාවුණි.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළ පරිදි එහි අගය රික්ටර් මාපාංක 3.3 කි.

මේ අතර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය යළිත් පවසන්නේ මෙම භූ චලන පිළිබඳ ජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැති බවය.

+


සොරකමේ ගිය චාටර් බට්ටා සිය පවුල සමඟ කොටුවෙයි

(22.02.2023 – 21:38 +0530 – sinhala.adaderana.lk)

සිය බිරිඳ සමග එක්ව සොරකමේ නිරත වූ පුද්ගලයෙකු සහ අදාළ බිරිඳ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල ප්‍රෙද්ශයේ පදිංචි ‘චාටර් බට්ටා’ නමැති පුද්ගලයෙකි.

සැකකරු විසින් වෙළඳසැල්වල ඇති විවිධ භාණ්ඩ මෙන්ම යතුරුපැදි සොරකම් කිරීමේ නිරතව ඇති බව අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයා තම බිරිඳ සමඟ එක්ව දරුවාද රැගෙනගොස් සොරකමේ නිරතවන අයුරු සීසීටීවී කැමරාවලද පටිගතව ඇත.

හොරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

+


බූරු පොළේ සිටි අම්මයි දුවයි ඇතුළු 11 ක් අත්අඩංගුවට

(22.02.2023 – 15:27 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල දැල්තර ප්‍රදේශයේ තාප්පයකින් වටවූ සුවිසල් නිවසක මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි කාන්තාවන් සිව් (4) දෙනෙකු ඇතුළු 11 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පැවසීය.

බූරු පොළේ තිබී රුපියල් 73,940 ක මුදලක් සහ බූරු කුට්ටම ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර නිවෙස් හිමි කාන්තාව, ඇයගේ ඥාති දියණියක් සහ එකම පවුලේ මවක් හා දියණියක් ද වන බව පොලීසිය කියයි.

මෙම නිවස වටලන අවස්ථාවේ දී එහි ප්‍රධාන ගේට්ටුව අසල ඔත්තු බැලීම සඳහා පුද්ගලයන් දෙදෙනකු (2) රඳවා සිටි බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

පොලිස් නිලධාරීන් ඔවුන්ට නොදැනෙන්නට නිවස පිටුපස තාප්පයෙන් නිවසට ගොස් මෙම වැටලීම සිදුකර තිබුණි ෴


ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය ගැන රාජකීය ලණුවක් දී ඇත්තේ ගොඩපෙරකදෝරුවෙක් – ගම්මන්පිල කියයි

(22.02.2023 – 16:43 +0530 – lankaleadnews.com)

ජනාධිපතිවරයා පුංචි ඡන්දය කල් දමන්නේ නොවැම්බර් 18 දාට ජනපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමේ බලාපොරොත්තුවෙන් බව ඇතැමුන් පැවසුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතා ඡන්දයන් පත් නොවුණු අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට වසර හතරෙන් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ නොහැකි යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

නොවැම්බර් 18 ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි බවට ජනාධිපතිවරයාට රාජකීය ලණුවක් දී ඇත්තේ ව්‍යවස්ථාව හරි හැටි නොකියවූ ගොඩ පෙරකදෝරුවෙක් විය යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ දී අද (22) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන රජයේ සේවකයන් නාමයෝජනා දින සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන දින දක්වා වැටුප් රහිත නිවාඩු ලබා ගත යුතු නමුත්, නාමයෝජනා දින සිට සති 7 ක් ඇතුලත මැතිවරණය පවත්වනු ඇතැයි අපේක්‍ෂාවෙන් ඡන්දය ඉල්ලන රාජ්‍ය සේවකයන්ට මාස ගණනක් වැටුප් රහිතව සිටීමට සිදුවීම අසාධාරණයක් බවත්, මැතිවරණය කල් දැමූ ආණ්ඩුව වහාම ඇමති මණ්ඩල තීන්දුවක් හරහා මැතිවරණ අපේක්ෂක රජයේ සේවකයින්ට වැටුප් ගෙවිය යුතු බවත්, එසේ නොකළොත් ආණ්ඩුවට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසයි.

+

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *