අද (22) කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිට දවල් 12 සිට 1 දක්වා දැවැන්ත උද්ඝෝෂණයක්

අද (22) කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිට දවල් 12 සිට 1 දක්වා දැවැන්ත උද්ඝෝෂණයක්


අද (22) කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිට දවල් 12 සිට 1 දක්වා දැවැන්ත උද්ඝෝෂණයක්

(22.02.2023 – 08:35 +0530 – sinhala.adaderana.lk)

ආණ්ඩුව විසින් හඳුන්වාදී ඇති බදු සංශෝධනයට එරෙහිව අද (22) දිනයේ විරෝධතාවක් සංවිධානය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසන්නේ, එම විරෝධතාවට සෙසු වෘත්තීය සමිති නියෝජනය කරන පාර්ශව කිහිපයක් ද එක් වීමට නියමිත බවය.

“වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන, අසාධාරණ බදු සංශෝධන ආපසු හරවලා, ඒ වෙනුවට සාධාරණ බදු ප්‍රතිපත්තියක් ගෙන ඒමට බලකරමින් අද (22) දවසේ දී මේ රටේ සියලුම වෘත්තීයවේදීන්, ඒවගේම සියලුම කේෂ්ත්‍රයන්ට අදාළ අනෙකුත් සියලු වෘත්තීය කාණ්ඩවල නියෝජිතයින් දහස් ගණනක් කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිට ට දවල් 12 – 1 දක්වා පැවැත්වෙන දැවැන්ත උද්ඝෝෂණයට එක්වෙන්න නියමිතයි. අද (22) දවස ජාතික විරෝධතා දිනයක් ලෙස ද නම් කරලා තියෙනවා මේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට සහ මේ ආණ්ඩුවේ අසාධාරණ වැඩපිළිවෙලට එරෙහිව.”

මාස කිහිපයක සිට බදු සංශෝධන ඉවත් කර ගන්නා ලෙස කළ ඉල්ලීමට ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් එම උද්ඝෝෂණය සංවිධානය කරන බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනනායක මහතා පවසයි.

++++

22-02-2023

+


සිංහල මිනිස්සුන්ව අතුගාලම දායි – සිංහල මිනිස්සුන්ට මිනියක් වලදාන්නවත් සොහොන්බිමක් නෑ – මන්නාරමේ සිංහල මිනිස්සුන්ගේ අඳෝනාව (22.02.2023)

+


රාජ්‍ය අමාත්‍යවරුන් වාහන 239ක් ආනයනය කළ බවට කරන චෝදනා මුදල් රාජ්‍ය ඇමති ප්‍රතික්ෂේප කරයි

(22.02.2023 – 08:03 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් වාහන 239 ක් ආනයනය කර ඇති බවට විපක්ෂය එල්ල කරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

2021 වසරෙන් පසු මෙතෙක් කිසිදු වාහනයක් ආනයනය කිරීමට කිසිදු අවස්ථාවක සාකච්ඡාවක් හෝ සිදු කර නොමැති බවයි ඔහු කියා සිටියේ.

එසේම බදු නොගෙවීම හේතුවෙන් ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ආනයනය කළ ඖෂධ තොගයක් වරායේ රඳවාගෙන ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යය බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ ෴


උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කල් යයි

(22.02.2023 – 08:13 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද (22) ආරම්භ කිරීමට නියමිතව තිබුණත්, එය දින කිහිපයකට කල් යනු ඇති බව වාර්තාවනවා.

මේ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය සඳහා ගුරුවරුන් අයදුම්පත් යොමු කිරීමේ අඩුවක් පැවතීම හේතුවෙන් මෙලෙස පිළිතුරු පත්‍ර ඇගයීම දින කිහිපයක් කල් යනු ඇති බවයි.

ඒ අනුව පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබාදීම ජුනි මස අවසානය වනවිට සිදු කිරීමට අපේක්ෂා කරන බවයි විභාග කොමසාරිස්වරයා කියා සිටියේ.

මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ, පිළිතුරු ඇඟයීම් ක්‍රියාවලිය සඳහා ගුරුවරුන්ට ගෙවන දීමනාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇතැම් ගුරුවරුන් පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලිය සඳහා අයදුම්පත් කර නොමැති බවයි ෴


ගංජා හේනක් වටලා සැකකරුවකු අත් අඩංගුවට

(22.02.2023 – 10:13 +0530 – hirunews.lk/sinhala)

තනමල්විල පොලිස් වසමේ නිකවැව-දෙමෝදර වැව රක්ෂිතයේ පවත්වාගෙන ගිය ගංජා හේනක් වැටලීමෙන් සැකකරුවකු අත් අඩංගුවට පත් වී තිබෙනවා.

ඒ, ඊයේ (21) සිදු කළ වැටලීමකින්.

අක්කරයක (1) පමණ ප්‍රදේශයක මෙම ගංජා වගාව පවත්වාගෙන ගොස් ඇති අතර, එහි ගංජා ගස් 20,000 ක් පමණ තිබුණු බව යි වාර්තා වන්නේ.

සැකකරු වයස අවුරුදු 53 ක තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (22) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, තණමල්විල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහයවනු ඇති ෴


ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමසාරිස්ට ‘මනී ඕඩර්’

(22.02.2023 – 10:44 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන මැතිවරණය සදහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසම වෙත ලබා දීමේ අරමුණින් පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් පාදුක්ක තැපැල් කාර්යාලය හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ‘මනි ඕඩර්’ යැවීමේ සිද්ධියක් වාර්තා වනවා.

අද (22) දින පාදුක්ක තැපැල් කාර්යාලයේ දී එම අවස්ථාව පැවැත්වුණු බව යි වාර්තා වන්නේ.

මෙහි දී පාදුක්ක ප්‍රදේශයේ ඡන්ද දායකයන් පිරිසක් පාදුක්ක තැපැල් කාර්යාලය වෙත පැමිණ රුපියල් සියයේ (100) සිට රුපියල් පන්සියය (500) දක්වා මුදල් ඇණවුම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නමට යැවීම සිදු වුණු බව සඳහන්.

එම පිරිස පවසා ඇත්තේ මැතිවරණය යනු, ව්‍යවස්ථානුකූලව ජනතාවට ලැබී ඇති මූලික අයිකිවාසිකමක් බව යි.

එම මැතිවරණය පවත්වා ජනතා අයිතීන් රැක දීම රජයේ වගකීමක් වන බවත් එලෙස තම මූලික අයිතිය රැක දීමට රජයට මුදල් නොමැති බව පවසන බැවින් එම අයිතිය රැක ගැනීම වෙනුවෙන් තමන් විසින් ම උපයා ගත් මුදල් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යැවීමට කටයුතු කල බවත් ඔවුන් අවධාරණය කර තිබෙනවා ෴

+


බුත්තල ආශ්‍රිත ව සුළු භූ කම්පනයක්

(22.02.2023 – 12:56 +0530 – hirunews.lk/sinhala)

බුත්තල – වැල්ලවාය ආශ්‍රිත ප්‍රදේශයේ අදත් (22) සුළු භූ චලනයක් වාර්තා වුණා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කලේ පෙරවරු 11:45 ට පමණ සිදුවූ මෙම භූ චලනයේ විශාලත්වයේ අගය රිච්ටර් පරිමාණීය ඒකක 3.3 ක් ලෙස සටහන් වී ඇති බවයි.

මෙම භූ චලනය උණාවටුන, බුදුරුවගල, ඇතිලිවැව, වැල්ලවාය, පැල්වත්ත, කුඹුක්කන, සියඹලාගුණය, බඩල්කුඹුර, හඳපානාගල ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැනී තිබෙනවා.

සති දෙකක් (2) තුල ඇති වූ 4 වන භූ චලනය මෙය වන අතර, පසුගිය 10 සහ 11 වනදා ද මෙම ප්‍රදේශය ආශ්‍රිතව භූ චලන 3 ක් වාර්තා වුණා.

ඒවායේ විශාලත්වයේ අගය සටහන් වුණේ රිච්ටර් පරිමාණීය ඒකක 3.5 ත්, 3.0 ත්, 2.3 ක් ලෙසයි.

කෙසේ වෙතත්, මීට පෙර ඇතිවූ භූ චලන පොළොව මතුපිට සිට කිලෝමීටර් 40 ක් පමණ ගැඹුරින් හට ගත් නමුත්, අද (22) ඇති වූ භූ චලනය කිලෝමීටර් 7 ක් පමණ ගැඹුරින් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න කියා සිටියා ෴


බදු පනතට එරෙහි විරෝධතාකරුවන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්

(22.02.2023 – 13:03 +0530 – hirunews.lk/sinhala)

බදු පනතට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වන විරෝධතාකරුවන්ට මුදල් අමාත්‍යාංශයට, ජනාධිපති කාර්යාලයට, ජනාධිපති මන්දිරයට සහ ගාලුමුවදොර භූමියට පෙළපාලියකින් ඇතුළු වීම වළක්වාලමින් තහනම් නියෝගයක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබෙනවා.

ඒ කොටුව පොලීසිය සිදුකළ ඉල්ලීමකට අනුවයි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් ඇතුළු වෘත්තීය සමිති 8 ක් නම් කර තිබෙනවා.

මේ අතර, බදු පනතට එරෙහිව වරාය, ජල, විදුලි, ඇතුළු වෘත්තීය සමිති රැසක නියෝජිතයින් කොටුව දුම්රියපොල ඉදිරිපිට මේ වනවිට සිදුකරන විරෝධතාවය හේතුවෙන් කොටුව ඕල්කට් මාවතේ ගාලුමුවදොර දෙසට වන මංතීරුව එම ස්ථානයෙන් අවහිර වී තිබෙනවා ෴


රහසේ ම ඇවිත් ගිය ඇමෙරිකන් නියෝජිතයන් ගැන විමල්ගෙන් ප්‍රශ්නයක්

(22.02.2023 – 13:04 +0530 – hirunews.lk/sinhala)

රටේ වත්මන් තත්ත්වය පිලිබඳ ආණ්ඩුව විවාදයක් ලබාදීමට අකමැති වූ නිසා අද (22) පාර්ලිමේන්තුවේදී රටේ තත්ත්වය පිළිබඳ කතා කරන බව සමගි ජන බලවේගය ප්‍රකාශ කළා.

මේ අතර දිවයිනට හදිසියේ පැමිණ ගිය ඇමෙරිකානු නියෝජිතයින් පිලිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රශ්න කර සිටියා.

පාර්ලිමේන්තු ආරම්භයේදී පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවට නම් කළ සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණය කතානායකවරයාගේ නිවේදනය යටතේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ සභාවට ඉදිරිපත් කළා.

එමෙන්ම, ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුවට සහ තවත් කාරක සභා කිහිපයකට තේරීම්කාරක සභාව විසින් නම් කළ සාමාජික මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තු කිහිපයක් ද එහිදී සභාවට ඉදිරිපත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

තමන්ගේ නම මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යෝජනා කළ නමුත්, ඒ පිලිබඳ නිල දැනුම්දීමක් සිදුනොකරන්නේ ඇයි ද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මෙහිදී ප්‍රශ්න කර සිටියා.

ඊට ප්‍රතිචාර දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ එම තනතුර ආණ්ඩු පක්ෂය ලබාගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවයි.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග වලට අදාළ විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ ආරම්භ වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඊයේ (21) තමන් ඉල්ලා සිටි රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විවාදය ආණ්ඩුව ලබානොදුන් නිසා අද (22) විවාදයේදී සමගි ජන බලවේගය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කලේ.

+


පොළොන්නරුවේ වී ගබඩා සංකීර්ණයක් අතහැර දැමීමෙන් ගොවියන් අපහසුතාවක

(22.02.2023 – 13:47 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – වීරපුර ප්‍රදේශයේ පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා සංකීර්ණයක් වසර ගණනක සිට අතහැර දමා තිබීම හේතුවෙන් ඉන් ප්‍රයෝජනයක් ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ වී ගබඩා කිරීමට රජය සතු පහසුකම් ප්‍රමාණවත් නොවන පසුබිමක මෙවැනි ජාතික සම්පත් අත්හැර දැමීම විශාල අපරාධයක් බව යි.

මේ අතර, පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ගොවීන් වී සඳහා නිසි මිලක් නොමැති වීම ඇතුළු දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිනවා.

මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තඹාල, ඕනෑගම ප්‍රදේශයේ කුඹුරුවලින් ගොයම් කපන යන්ත්‍රවලින් ගොයම් කැපිමේදී ඉවත් වන වී රැස් කර ගන්නා පිරිසක් අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වූයේ ඒ අතරතුර යි.

කුරුල්ලන් ආදි සතුන් වෙනුවෙන් වෙන් කෙරෙන මෙම කොටස් එක්රැස් කර ගැනීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ, වෙහෙරගොඩ යාය ප්‍රදේශයේ පදිංචි තමන්ට එම ප්‍රදේශයේ පැවති කුඹුරු පසුගිය සමයේ රජය විසින් තහනම් කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

මෙම පිරිස් පසුගිය සමයේ වගා කළ කුඹුරුවලට අද වනවිට අත්ව ඇති ඉරණමයි මේ.

තහනම් කළ කුඹුරු නැවත ලබාදීමට හෝ එසේ නොමැති නම් වෙනත් විකල්පයක් හඳුන්වා දෙන ලෙසට මෙම පිරිස් ඉල්ලා සිටින්නේ.

මේ අතර, නෙළාගත් වී අස්වැන්නට නිසි මිලක් නොමැති වීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව පොළොන්නරුව, සුංගාවිල, ඕනෑගම ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙනවා.

මීට අමතරව අම්පාර උහන වී ගොවීන් ද මුහුණ දී සිටින්නේ වී සඳහා නිසි මිලක් නොමැති වීමේ ගැටලුවටයි.

ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වීරපුර ප්‍රදේශයේ පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් මේ වනවිට අතහැර දමා ඇති වී ගබඩා සංකීර්ණයයි මේ.

වී ගබඩා කිරීමට රජය සතු පහසුකම් ප්‍රමාණවත් නොවන පසුබිමක මෙවැනි ජාතික සම්පත් අත්හැර දැමීම අපරාධයක් බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

+


මැණික් පතලක් හේතුවෙන් සීතාවක-තල්දූව වැසියන් පානීය ජලය අර්බුදයක

(22.02.2023 – 13:50 +0530 – hirunews.lk/sinhala)

පිරිසිදු පානීය ජලය යනු මූලික මිනිස් අවශ්‍යතාවක්.

නමුත් බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හමුවේ එම අයිතිවාසිකම අහිමි වූ ප්‍රදේශවාසීන් පිරිසක් පිළිබඳ සීතාවක ප්‍රදේශයෙන් වාර්තා වනවා.

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් මායිම්වල පිහිටි අවිස්සාවේල්ල – සීතාවක ප්‍රදේශය මැණික් කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලන අතර මහා පරිමාණ මෙන්ම කුඩා පරිමාණයේ මැණික් පතල්ද බොහෝ ස්ථානවල දැකිය හැකියි.

එහෙත් එවැනි පතලක් හේතුවෙන් සීතාවක ගඟේ ජලය මෙන්ම ජල සම්පාදන මණ්ඩලය විසින් විසින් නිකුත් කෙරෙන ජලය භාවිතයට ගන්නා සීතාවක, තල්දූව, විද්‍යාල මාවත ආදී ප්‍රදේශවල ජනතාවට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, සීතාවක ගඟේ අතු ගංගාවක් වන ගැටහැති ඔයට යාබදව ඉඩමක පවත්වාගෙන යන මැණික් පතලක් හේතුවෙන් ගඟේ ජලය අපවිත්‍ර වී ඇති බව යි.

මේ පිළිබඳ අවස්ථා ගණනාවක දී බලධාරීන් දැනුවත් කළද මෙතෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

පවතින තත්ත්වය හමුවේ පිරිසිදු ජලය සපයා ගැනීම වෙනුවෙන් තමන්ට අතිරේක වැය බරක් දැරීමට සිදු ව ඇති බවටයි ප්‍රදේශවාසීන් මැසිවිලි නගන්නේ.

එබැවින් ගැටලුවට කඩිනමින් සහනයක් සලසන ලෙස මෙම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

+


ගල්වැව සිරිධම්ම හිමිගේ පෙස්සම විභාගයට නො ගෙන ප්‍රතික්ෂේප කෙරෙයි

(22.02.2023 – 15:15 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) නියෝග කළා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි උන්වහන්සේ මෙම පෙත්සම ගොනුකර තිබුණේ.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ එස්. තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින්.

සිරිධම්ම හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ජුනි මස 10 වනදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පැවසුවද ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා විමර්ශන සිදු කිරීම නීතියට පටහැනි බව පෙන්වා දුන්නා.

එය ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව මහමගට පැමිණි ජනතාව කුපිත කිරීමට පෙත්සම්කරු කටයුතු කර ඇති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.

ඉදිරිපත්වූ සියලු‍ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි, විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කරනු ලැබුවේ.

මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලද අරගලයේ ක්‍රියාකාරිකයකු වන හශාන්ත ජිවන්ත ගුණතිලක විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *