රටේ තත්වය ගැන විපක්ෂය ඉල්ලූ විවාදයට ආණ්ඩුව බෑ කියයි

රටේ තත්වය ගැන විපක්ෂය ඉල්ලූ විවාදයට ආණ්ඩුව බෑ කියයි


රටේ තත්වය ගැන විපක්ෂය ඉල්ලූ විවාදයට ආණ්ඩුව බෑ කියයි

(21.02.2023 – 19:33 +0530 – hirunews.lk/sinhala)

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජන සන්ධානය ඉල්ලු විවාදය ආණ්ඩු පක්ෂය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අද (21) දහවල් කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදියි.

එම විවාදය සදහා ඉල්ලිම සිදුකරනු ලැබුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල විසින්.

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාගේ නියමයන් අනිද්දා (23) විවාදයට ගැනීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදි තීරණය වි තිබෙනවා.

මේ අතර, මුදල් පිළිබද කාරක සභාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවට සිය මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුලත් නොකීරීම සම්බන්ධයෙන් ‘උත්තර ලංකා සභාගය’ විපක්ෂ නායකවරයාට සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට චෝදනා එල්ල කරනු ලැබුවා.

ඒ එම කාරක සභාව සදහා වන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නම් කථානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟයි.

මේ අතර,ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් අද (21) ජනාධීපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවැත්වුණා.

ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහභාගි වී ඇති අතර, එහිදි වැඩිදුරටත් සාකච්ජා කර ඇත්තේ හෙට (22) විවාදයට ගැනීමට නියමිත වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝගයන් සම්බන්ධයෙන්.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීම නියමිත දිනට පවත්වන ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භය මැදට පැමිණ විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුව හෙට (22) පෙරවරු 09:30 දක්වා කල් තබනු ලැබුවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල ඡන්ද විමසීම පිළිබද කථානායකවරයාගෙන් ප්‍රශ්න කිරීමත් සමග සභාවේ ඇතිවුයේ සංවදාත්මක තත්ත්වයක්.

විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු මහලේකම්වරයා අසුන් ගන්නා ස්ථානයට පැමිණ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධාතාවයේ නිරත වූයේ සභාවේ කටයුතු වලට බාධා එල්ලකරමින්.

+


මැති සබයට ගිය කිඹුලාවල ‘ස්ට්‍රීට් ෆුඩ්’ ගැටළුවට විසඳුමක් – පැය 11 ක් වෙළඳාමට ඉඩ

(21.02.2023 – 19:39 +0530 – hirunews.lk/sinhala)

තලවතුගොඩ – කිඹුලාවල ප්‍රදේශයේ ‘වීථි ආහාර’ හෙවත් ‘ස්ට්‍රීට් ෆුඩ්’ අලෙවිසැල් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ මතුව ඇත්තේ පුළුල් සංවාදයක්.

විදෙස් සංචාරකයන්ගේද ආකර්ෂණයට ලක්වී ඇති එම ස්ථානයේ වෙළදසැල් 33 ක් පවතින අතර ඒ හරහා පවුල් 150 කට වැඩි පිරිසක් සිය ජීවනෝපාය සරිකරගනු ලබනවා.

මෙම අලෙවිසැල් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ (20) හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයෙන් පසු මාර්ග සංවර්ධන අධිකාරිය එම තීරණය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී. එස් වීරකෝන් කියා සිටියේ.

‘වීථි ආහාර අලෙවිසැල්’ පවත්වාගෙන වෙළඳසැල් හිමියන් ‘හිරු ප්‍රවෘත්ති’ වෙත කියා සිටියේ, තම වෙළඳසැල් දින තුනක් (3) තුළ ඉවත්කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය මීට පෙර දැනුම් දුන් බවයි.

මේ සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී ද අවධානය යොමුවුණා. තලවතුගොඩ – කිඹුලාවල ප්‍රදේශයේ ඇති වීථි ආහාර අලෙවිසැල් කිසිවිටකත් ඉවත් නොකරන බවත් එම ක්‍රමවේදය දියුණු කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග එහිදී ප්‍රකාශ කළා.

ඒ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින්. එම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ ජේ.සී. අලවතුවල ද එක්වුණා.

මෙවැනි පසුබිමක මෙම වෙළඳසැල් පවත්වාගෙන යන ස්ථානය අවට පදිංචිකරුවන් චෝදනා කරන්නේ මෙම වීථි ආහාර වෙළඳසැල් හේතුවෙන් අද (21) වන විට තමන්ට දැඩි අපහසුතාවන්ට ලක්වීමට සිදුව ඇති බවයි.

තම නිවෙස් ඉදිරිපිට මෙම වෙළඳසැල්වලින් ආහාර ගැනීමට පැමිණෙන පිරිස්වල වාහන නවතා යන බවත්, වීථි ආහාර සකස්කිරීමේදී පිටවන දුම තම නිවෙස්වලටද ඇතුළුවන බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.

රාත්‍රියේ ඇතැම් පිරිස් එම ස්ථානයේ මත්පැන් භාවිත කරමින් හැසිරෙන බවටත් ඔවුන් චෝදනා එල්ල කළා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ නාගරික සංවර්ධන අධිකාරියේදී සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊට වීථි වෙළඳසැල් හිමිකරුවන් සහ එම ප්‍රදේශයේ ප්‍රදේශවාසින්ද එක්ව සිටි බවයි වාර්තාවන්නේ.

එහිදී තමන්ට සිදුව අපහසුතා සම්බන්ධයෙන් ප්‍රදේශවාසින් අමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර එළඹෙන සිකුරාදා (24) සිට පස්වරු 03:30 ට අලෙවිසැල් විවෘත කර අලුයම 02:30 දක්වා විවෘත කර තබා අලෙවිසැල් එම ස්ථානයෙන් ඉවත්කර ගත යුතුයි.

අලෙවිසැල් පවත්වාගෙන යන ස්ථාන පිරිසිඳු කිරීමේ වගකීම වෙළඳ සංගමයට පැවරෙන අතර, වෙළඳසැල් ඉදිරිපිට පාරිභෝගිකයින්ගේ වාහන නැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බවටද එහිදී කොන්දේසියක් පැණවුණා.

එමෙන්ම ජංගම අලෙවිසැල් පවතින ප්‍රදේශය පිරිසිඳු කිරීම අනිවාර්ය බවත් පිරිසිඳු කිරීමේ වියදම් ඇතුලු සියලු වගකීම් වෙළඳ සංගමය දැරිය යුතු බවටත් අද (21) පැවති සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය සහ අදාළ වෙළඳ සංගමය අතර අවබෝධතා ගිවිසුමකටද අත්සන් තබා ඇති අතර, එය මාස 3 ක කාලයකට ක්‍රියාත්මක බවයි නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

එම ගිවිසුම උල්ලංඝනය කළහොත් මෙම අලෙවිසැල් පවත්වාගෙන යෑම සඳහා විකල්ප ස්ථානයක් හඳුන්වා දීමටද පියවර ගෙන තිබෙනවා.

++++++

+


සභාවේ දී වියරු වැටුණු පොහොට්ටු මන්ත්‍රීවරයා ජවිපෙ මන්ත්‍රීට මයික් එකෙන් කණ පැලෙන්න ගහලා

(21.02.2023 – 19:47 +0530 – hirunews.lk/sinhala)

හබරාදුව ප්‍රාදේශිය සභාවේ අද (21) පැවති මාසික රැස්විම අතරතුර දී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු විසින් ඔහුගේ මේසය මත සවිකොට තිබු මයිකපෝනය ගලවා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට පහර දී තිබෙන බවට වන පුවතක් වාර්තා වනවා.

මෙලෙස පහර කා ඇත්තේ හබරාදුව ප්‍රාදේශිය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි තක්ෂිත රවිෂාන් ගමගේ වන අතර ඔහුට පහර දී ඇත්තේ එම ප්‍රදේශීය සභාවේ ම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන මන්ත්‍රි චමිල ප්‍රියංග නැමති අයෙක්.

කෙසේ වෙතත් මේ වන විට පහර කෑ මන්ත්‍රීවරයා ට සිදු වූ තුවාල හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති අතර පහර දුන් බවට කියන පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරයා අහංගම ගෙන්නගහහේන රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළු වී තිබෙනවා.

හබරාදුව ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීම වැඩබලන සභාපති බන්දුපාල අබේකොන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කොට ඇති අපේක්ෂකයකු සම්බන්ධයෙන් ඇති වු මතගැටුමක් දුර දිග යාමෙන් මෙම පහරදිම සිදු වී ඇති බවටයි කරුණු වාර්තා වන්නේ.

පහරකැමට ලක්වු මන්ත්‍රිවරයාගේ හිසට හා කණට තුවාල වි ඇති අතර ඔහුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙනවිත් ඇත්තේ හබරාදුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂනායක ලයනල් ඉප්පලවත්ත සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු පිරිසක් විසින් ෴


ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ වීසා මධ්‍යස්ථානයට පැන්න කාන්තාවක් ඇතුළු 05 ක් අත්අඩංගුවට

(21.02.2023 – 21:42 +0530 – sinhala.adaderana.lk)

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් (01) ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය පවසයි.

එම වීසා මධ්‍යස්ථානයේ ප්‍රධාන දේශීය නියෝජිතවරිය රාජකාරි කටයුතු සඳහා පරිහරණය කළ ලැප්ටොප් පරිගණකය ඇතුළු තවත් දේපළ කිහිපයක් එහිදි සොරකම් කර තිබුණි.

ඒ අනුව පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණකයක්, ටැබ් යන්ත්‍රයක් සහ DVR යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකාරිය එම වීසා මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතවී සිටි තැනැත්තියක් බවත් සැකකරුවන් අතර සැකකාරියගේ අනියම් ස්වාමි පුරුෂයා සිටින බවත් පොලීසිය කියයි.

ඉකුත් 15 වනදා අලුයම් කාලයේදී ත්‍රීරෝද රථයකින් පැමිණ තිබූ තිදෙනෙකු (3) ගෙන් යුත් කණ්ඩායමක් මෙම සොරකම සිදුකර පළාගොස් තිබුණි.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරුවන් සොරා ගෙන තිබූ DVR කොටස් දෙකෙන් (2) කිරුළපන සරණංකර ප්‍රදේශයේදී ඇළකට විසිකර තිබියදී එකක් සොයාගත් බවය.

විසා මධ්‍යස්ථානයට ලැබී තිබූ මුදල් සොරාගැනීමේ අදහසින් සැකකරුවන් පැමිණ ඇතැයි ද එය ව්‍යර්ථ වූ පසු මෙම දේපළ සොරාගෙන ගොස් ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් කිරුළපන, වැල්ලවත්ත ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

++++

+


‘ඒජාප’යේ 1137 කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

(21.02.2023 – 20:01 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන ආයතනවලට තේරී පත් වී වෙනත් පක්ෂවලට සහාය දැක් වූ පක්ෂ සාමාජිකයන් රැසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ගෙන ඇති මෙම තීරණය සමග එලෙස ක්‍රියා කළ සාමාජිකයන් 1137 කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වී යනු ඇති ෴


ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය නිෂ්පාදන බෙදාහැරි ගබඩාවක් වටලයි

(21.02.2023 – 21:16 +0530 – sinhala.adaderana.lk)

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩාවක් තුළ තිබියදී රූපලාවන්‍යාගාර සඳහා භාවිතයට ගන්නා ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග, බෙහෙත් වර්ග ආදී කාණ්ඩ 58 ක පමණ විශාල භාණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් වැටලීම සිදුකර ඇත.

ඒ අනුව එහි තිබී ප්‍රමිතියෙන් තොර ලිංගික උත්තේජන ආලේපන වර්ග රැසක් ද සොයාගෙන තිබේ.

සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වසර 04 ක් තිස්සේ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම භාණ්ඩ අලෙවිකරණයේ නිරතවී ඇති බවය.

ඒ අනුව මෙම ආයතනයේ හිමිකරුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

මෙම කටයුතු සිදුකළ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් 03 ක් පිළිබඳ තොරතුරු වාර්තාවී ඇති අතර මෙම භාණ්ඩ ජර්මනියේ නිෂ්පාදන බවට හැඟවෙන ස්ටිකර් අලවා අලවි කිරීම සිදුකරගෙන ගොස් තිබේ.

ප්‍රධාන වශයෙන් කුරියර් සේවාවක් මගින් භාණ්ඩ බෙදාහැරීම සිදුකර ඇති බවත් හෙළිවී ඇත ෴


හෙට (22) කොළඹට එනවා – වෘත්තීයවේදීන්

(21.02.2023 – 20:34 +0530 – sinhala.adaderana.lk)

රජයේ බදු සංශෝධනයට එරෙහිව ක්ෂේත්‍ර 40 ක වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් හෙට (22) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබේ.

ඒ අනුව ක්ෂේත්‍ර 40 ක වෘත්තීයවේදීන් හෙට (22) කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇත.

ඒ පිළිබඳ අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා :

“සියලුම ක්ෂේත්‍රවල වෘත්තියවේදීන් දහස් ගණනක් හෙට (22) කොළඹට රැස්වෙනවා. මේ තව සංඥාවක් විතරයි. මෙම සියලු ක්ෂේත්‍ර තමන්ගේ රාජකාරීවලින් ඉවත් වුණොත් මේ රට අකර්මන්‍ය වෙන්නත් පුළුවන් කියන කාරණය ආණ්ඩුව මතක තියාගත යුතුයි.”

+


උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම කල් යයි ?

(21.02.2023 – 15:39 +0530 – sinhala.adaderana.lk)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසූවේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු හෙට (22) ආරම්භ කිරීමට නියමිතව තිබූ බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා :

“අවසන් වූ උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම ආරම්භ වෙන්න තිබුණේ 22 වනදා. එම ක්‍රීයාවලිය දින නියමක් නොමැතිව කල්දමලා තියෙනවා. උත්තර පත්‍ර ඇගයීම් ක්‍රීයාවලිය කල්යනවා කියන්නේ ඉදිරි විභාගවලට ඒවා බරපතළ ලෙස බලපානවා. උදාහරණයක් ලෙස අපි ගත්තොත් ගිය අවුරුද්දේ උසස් පෙළ විභාගය තමයි මේ අවුරුද්දේ තිබුණේ. කොරෝනා ව්‍යාප්තිය නිසා විභාග කල් ගියා, ඉන්ධන අර්බුදය නිසා විභාග කල් ගියා. දිගටම විභාග කල්යාමක් තමයි තියෙන්නේ. එතකොට මේ තිබ්බේ 2022 වසරට අදාළ විභාගය. ඉදිරියේදී සාමාන්‍ය පෙළ විභාගය තියෙනවා; උසස් පෙළ විභාගය තියෙනවා; ශිෂ්‍යත්ව විභාගය එනවා. මෙතනදී ඇගයීම් ක්‍රීයාවලිය කල් ගියාම සමස්ත විභාග පද්ධතියටම මේක බලපානවා. මොකද ඇගයීම විතරක් නෙමෙයි කරන්න තියෙන්නේ ප්‍රායෝගික පරීක්ෂණත් තියෙනවා. මේ කල් යාමේ හේතුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මොකුත් කතා කරන්නේ නැහැ. සත්‍ය වශයෙන්ම වෙලා තියෙන දේ තමයි ඇගයීම් ක්‍රියාවලියට අවශ්‍ය ගුරුවරුන්ගෙන් ප්‍රමාණවත් පිරිසක් අයදුම්කරලා නැහැ. අයදුම් කරලා නැත්තේ මේ ඇගයීම් ක්‍රියාවලියට දෙන මුදල ප්‍රමාණවත් නැතිවීමයි.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *