මැතිවරණයට මුදල් නොදීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

මැතිවරණයට මුදල් නොදීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට


මැතිවරණයට මුදල් නොදීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

(21.02.2023 – 16:59 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අය වැය තුළින් වෙන් කර තිබෙන මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත නිකුත් නොකිරීමට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු වග උත්තරකරුවන් ගෙන තිබෙන තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි සාමාජිකයින්, රජයේ මුද්‍රණාලයාධිපතිනිය ඇතුළු නව (9) දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන 2023 වසරේ අය වැය තුළින් වෙන් කර තිබුණ ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම මුදල් ප්‍රතිපාදන මුදා හැරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මැතිවරණ කොමිසමට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බවයි.

මේ හේතුවෙන් තැපැල් ඡන්ද විමසීම ද දින නියමයක් නොමැතිව කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

2023 වසරේ අය වැය තුළින් මැතිවරණ කටයුතු සඳහා පාර්ලිමේන්තුව මගින් මැතිවරණ කොමිසම වෙත රුපියල් බිලියන 10 ක මුදලක් වෙන් කර අනුමත කර දී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු එසේ වෙන් කළ මුදල් මැතිවරණ කටයුතු සඳහා මුදා නොහැර සිටීමට වගඋත්තරකරුවන්ට හැකියාවක් නොමැති බව ද පෙන්වා දී තිබෙනවා.

මේ තුළින් මහජනතාවට තම ඡන්ද අයිතිය භුක්ති විඳීමට තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙන්වා දෙන පෙත්සම්කාර රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා මේ තුළින් වගඋත්තරකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කර තිබෙන බවත් පෙන්වා දී තිබෙනවා.

එබැවින් පලාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කිරීමට බාධා පමුණුවන ආකාරයෙන් නිකුත් කර තිබෙන චක්‍රලේඛ අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට හා නීතිපතිවරයාට නියෝග නිකුත් කර ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන් ම තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය කරන ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් වෙත මුදාහරිණ ලෙස රජයේ මුද්‍රණාලාධිපතිනිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් තවත් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඊට අමතරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අයවැයෙන් වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන වෙනත් රජයේ කටයුතු සඳහා යෙදවීම වැළැක්වීමේ අතුරු නියෝගයක් මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට නිකුත්කර ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා ෴


ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළ යුතුයි – ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය

(21.02.2023 – 17:11 +0530 – hirunews.lk/sinhala)

ප්‍රජාතන්ත්‍රවාදයටත් ජනතා පරමාධිපත්‍යයටත් ගරු කරන්නේ නම් දේශපාලන වාසි නොබලා අනාගත මැතිවරණ දැක්මක් උදෙසා මෙරට ඡන්ද ක්‍රමය ‘ඩිජිටල්කරණය’ කළ යුතු බවත්, එමගින් මැතිවරණ සඳහා දැරිය යුතු අධික වියදම සහ කාර්ය මණ්ඩලය අවම වන බවත්, එය අනාගත ආයෝජනයක් මිස වියදමක් නොවන බවත් ‘ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය’ පවසනවා.

ඒ ඩිජිටල් මැතිවරණ ක්‍රමයක් උදෙසා ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමයේ කැදවුම්කරු අමන්ද රණසිංහ විසින් අද (21) දින පැවැත් වූ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමයේ කැඳවුම්කරු අමන්ද රණසිංහ :

“අපේ අරමුණ ඩිජිටල් ශ්‍රී ලංකාවක් බිහිකිරීම. තැපැල් ඡන්දයට අවශ්‍ය දිනයට ඡන්ද පත්‍රිකා ලබා දීමට නොහැකි වීමේ හේතුව මත මැතිවරණය අවුරුද්දකින් කල් යන බව රජයේ පාර්ශ්ව කියනවා.

මේ මැතිවරණයේ මුද්‍රණ වියදම විතරක් රුපියල් බිලියන 4.1 ක්. ඇයි අපට මැතිවරණය ඩිජිටල්කරණය කරලා ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමයකට යන්න බැරි? අයවැයෙන් මැතිවරණයට රුපියල් බිලියන දහයක් (10) වෙන් කළා. ඒකෙන් රුපියල් බිලියන 4.1 ක් ම මුද්‍රණ වියදම්. ප්‍රවාහන වියදම්, නිලධාරි වැටුප්, ආහාර, ආරක්ෂක වියදම් ඇතුළුව ලොකු වියදමක් යනවා. පළාත් පාලන මැතිවරණයකට ඒක ලොකු මුදලක්. මැතිවරණය ඩිජිටල්කරණය කළොත් අර තරම් වියදමක් යනව ද?

අපි රජයෙන් අහන්නේ 2048 සමෘද්ධිමත් රටකට යන්න නම් මේ වන විට මැතිවරණ, රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරන්න අරගෙන තියෙන පියවර මොනව ද? කියලා.

ලංකාවෙන් එපිට ඩිජිටල් මැතිවරණ පවත්වෙන්නේ කොහොම ද කියලා බලන්න. හොඳම උදාහරණය ඉන්දියාව. 2021 ‘මොබයිල් බේස්’ ඡන්ද ක්‍රමය ගෙනාවා. ඒක කළේ කොරෝනා වසංගතය කාලේ. පටන් ගත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ආබාධිත පුද්ගලයන් සහ ඉතා දුර බැහැර රාජකාරී කරන රජයේ සේවකයන්ගෙන්. කෙටියෙන් ම කිව්වොත් ඡන්දය දාන්න ඡන්ද පොළට එන්න බැරි පිරිස ඉලක්ක කළා. ඒක නියමු ව්‍යාපෘතියක් විදියට කළා. සියයට අනූ පහක් ම සාර්ථකයි. ඒ වගේ ම 1989 සිට ඡන්ද පොළ තදබදය අඩු කරන්න ඉලෙක්ට්‍රොනික් ඡන්ද යන්ත්‍රයක් භාවිත කරනවා. මේ වෙද්දී නැම්බියාව නේපාලය වගේ රටවල් පවා ඒක භාවිත කරනවා.

ඉන්දියාව ඒක කළා නම් මිලියන විසි දෙකක් (22) විතරක් ඉන්න අපේ රටට ඒක කරන්න බැරි ඇයි? එස්තෝනියාව 2005 සිට මැතිවරණය ඩිජිටල්කරණය කළා. හේතුව අවම වියදම සහ කාර්ය මණ්ඩලය. පද්ධතිය යාවත්කාලීන කිරීම පමණයි අවශ්‍ය. එහෙම නම් ඇයි ලංකාවට බැරි?

‘ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය’ විදියට අපේ යෝජනාව තමයි අපිට පුළුවන් විද්‍යුත් තැපැල් ඡන්ද ක්‍රමයක්, මොබයිල් ඡන්ද ක්‍රමයක් හෝ වෙබ් අඩවි පදනම් කරගන් ඡන්ද ක්‍රමයක් නිර්මාණය කරලා දෙන්න. අපට මේක පටන් ගන්නයි අවශ්‍ය. මේ ගැන පර්යේෂණ, නියමු ව්‍යාපෘති කරන්න වෙනවා. හැබැයි කොතනින් හරි පටන් ගන්න ඕනෑ. අද පටන් ගත්තොත් විතරයි මැතිවරණ පිළිබද අනාගත දැක්මක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ.

අපේ යෝජනාව තමයි ප්‍රධාන නගර තුනක් (3) තෝරා ගන්න. නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා බලන්න. අවශ්‍ය නීති අණ පනත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න. සංශෝධන අවශ්‍ය තැන්වල ඒ දේවල් කරන්න. එහෙම වුණොත් විතරයි ඊළග පියවරට යන්න පුළුවන්.

මේ ඉන්න නව පරම්පරාව ඩිජිටල් පරම්පරාවක්. ලෝකය ඉදිරියට යද්දී අපට විතරක් පිටුපස්සට යන්න බෑ. ඒ නිසා මේ විද්‍යුත්, ඩිජිටල් ඡන්ද ක්‍රමය රටට අරගෙන එන්න. පුරවැසියන්, දේශපාලනඥයන්, මාධ්‍ය විදියට මේවා කතා කරන්න, සංවාදයට විවෘත කරන්න. මැතිවරණය විතරක් නොවෙයි සෑම සේවාවක් ම ඩිජිටල් කරණය කළ යුතුයි.

කොළ නැති ප්‍රශ්නේ ඡන්දෙට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. පාසල් යන දරුවගේ අභ්‍යාස පොතට, රියදුරු බලපත්‍රයට ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට මේ ගැටලුව තියෙනවා. ඒ නිසයි අපි ඩිජිටල්කරණයට යා යුත්තේ. ඒක ආයෝජනයක්. ඒක ලෝකයත් එක්ක සන්සන්දනය කරලා බලන්න. සාකච්ඡා කරන්න. ඩිජිටල් මැතිවරණ අයෝජනය අනවශ්‍ය වියදමක් නෙවෙයි. දේශපාලන වාසි නොබලා මේ ආයෝජනය කරන්න. ප්‍රජාතන්ත්‍රවාදයට, ජනතා පරමාධිපත්‍යයට ගරු කරලා අනාගත මැතිවරණ දැක්මක් උදෙසා මේ අයෝජනය කරන්න.

+


සිමෙන්ති හා රබර් නිෂ්පාදනයයේ දී ඒවායේ ශක්තිය ඉහළ නැංවිය හැකි රසායනිකයන් නිපදවීමට දේශීය ආයතනයක් සමත් වෙයි

(21.02.2023 – 17:33 +0530 – hirunews.lk/sinhala)

සිමෙන්ති හා රබර් නිෂ්පාදනයයේ දී එහි ශක්තිය ඉහළ නැංවීමට අවශ්‍ය නව රසායනිකයක්, හඳුන්වා දීමට ‘බෝගල ග්‍රැෆයිට් සමාගම’ සමත් වී තිබෙනවා.

බෝගල ග්‍රැෆයිට් සමාගම මගින් නිෂ්පාදනය කර තිබෙන මෙම ‘ග්‍රැෆයින් ඔක්සයිඩ්’ (GRAPHENE OXIDE) නැමැති රසායනිකය අද (21) පෙරවරුවේ තාක්ෂණ අමාත්‍යාංශයේ දී තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ට හඳුන්වා දෙනු ලැබුවා.

බෝගල ග්‍රැෆයිට් සමාගමේ පාලනාධිකාරිය විසින් ග්‍රැෆයින් ඔක්සයිඩ් (GRAPHENE OXIDE) නම් රසායනිකය අමාත්‍යවරයාට හඳුන්වා දුන් අතර එම රසායනිකය යොදා සිදුකරන පර්යේෂණ නිෂ්පාදන සම්බන්ධයෙන්ද ඔහුව දැනුවත් කෙරුණා.

ග්‍රැෆයින් ඔක්සයිඩ් (GRAPHENE OXIDE) රසායනිකය, සිමෙන්ති, රබර්, ප්ලාස්ටික් නිෂ්පාදනයයේ දී අගය එකතු කළ නිෂ්පාදන ලෙස හඳුන්වා දීමට හැකි බව පවසන එම සමාගම වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, දැනට සිදුකරන පර්යේෂණ සාර්ථක උවහොත් මෙරට සිමෙන්ති නිෂ්පාදනයේදීත්, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදනයයේදීත්, එම රසායනිකය යොදා ගැනීමට හැකිබවයි.

අදාල රසායනිකය, GRAPHENE රසායනිකයට වඩා පහළ ශක්ති මට්ටමක පවතින රසායනිකයක් වන අතර GRAPHENE යකඩ මෙන් දෙසීය (200) ගුණයක් හා තඹ ලෝහය මෙන් සිය (100) ගුණයක විද්‍යුත් සන්නායකතාවය සහිත ශක්තිමත් රසායනිකයක් බවත් එම රසායනිකය සිමෙන්ති හෝ රබර් සඳහා මිශ්‍ර කිරීමට නොහැකි බවත් සමාගම පවසනවා.

එහෙත් බෝගල ග්‍රැෆයිට් සමාගම නිෂ්පාදනය කර තිබෙන්නේ ග්‍රැෆයින් ඔක්සයිඩ් (GRAPHENE OXIDE) රසායනිකයේ විශේෂත්වය වන්නේ සිමෙන්ති හෝ රබර් සමග මිශ්‍ර කිරීමට හැකි වීම බවත් එමෙන් ම එය සිමෙන්ති හා රබර් නිෂ්පාදනයයේ දී එහි ශක්තිය වැඩි කිරීමට ද යොදා ගත හැකි බවයි බෝගල ග්‍රැෆයිට් සමාගම පෙන්වා දෙන්නේ ෴


විනිසුරුවරුන්ගේ වැටුප් වලින් බදු අය කිරීම වළක්වාලමින් පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

(21.02.2023 – 18:56 +0530 – hirunews.lk/sinhala)

විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 24 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (21) නියෝග කළා.

මෙම පෙත්සම අද (21) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් අදාළ බදු අය කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී එම සංගම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සමට අදාළව කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ඊට අමතරව අදාළ බදු අය කිරීම වළක්වාලමින් දැනටමත් පනවා තිබෙන තහනම් නියෝගය දීර්ඝ කරන ලෙසත් ඔහු අයැද සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙස නියෝග කළා.

පෙත්සම්කාර විනිසුරු සංගම් කියා සිටින්නේ තමන් විධායකය නියෝජනය නොකරන ස්වාධීන පිරිසක් බැවින් තමන්ගෙන් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නෛතික බලයක් නොමැති බවයි.

එබැවින් තමන්ගෙන් අදාළ බද්ද අය කිරීමට අධිකරණ අමාත්‍යංශය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා ෴


හෙට (22) සිට ‘කළු සතියක්’

(21.02.2023 – 19:25 +0530 – hirunews.lk/sinhala)

රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය මෙන්ම වෘත්තියවේදීන් ලබන 01 වනදා සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඊට සමගාමීව හෙට (22) සිට ‘කළු සතියක්’ ප්‍රකාශයට පත් කිරීමටයි වෘත්තිය සමිති තීරණය කර ඇත්තේ.

ඒ අනුව හෙට (22) දහවල් 12 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් ද පැවැත්වෙනවා.

මේ අතර විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 24 වනදා දක්වා යළි දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (21) නියෝග කළා ෴


ගිනි තැබූ නිවසක ගින්නට මැදිවී සුනඛයෙකු මරුට

(21.02.2023 – 19:28 +0530 – hirunews.lk/sinhala)

ගිනි තැබූ නිවසක ගින්නට මැදිවී සුනඛයෙකු මියගිය පුවතක් පානදුර – අලු‍බෝමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

සුනඛයන්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි සංවාදයක් සමාජයේ පවතින මොහොතකයි මෙම සිද්ධියත් වාර්තාවන්නේ.

පිය-පුතු දෙපළක් විසින් මෙම ගිනි තැබීම සිදුකර තිබූ අතර, පිළිස්සී මියගොස් ඇත්තේ ‘ටිම්’ නැමති සුනඛයෙක්.

මෙම නිවස අදාළ පුතාගේ බිරිඳගේ නිවසයි. ඔවුන් මේ වනවිට පවුල් ආරවුලක් හේතුවෙන් වෙන්ව ජීවත්වනවා.

ගිනි තැබීමෙන් අදාළ නිවසේ දේපළ රැසක්ද විනාශ වී තිබුණා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ශිෂ්‍යාවකගේ සියලු‍ම පොත් පත් ද ගින්නෙන් දැවී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

සිද්ධියට සම්බන්ධ බව කියන ත්‍රිරෝද රථ රියදුරන් වන පිය-පුතු දෙපළ සිද්ධියට පෙර තමන්ට කිසියම් පිරිසක් පහරදුන් බවට පොලීසියට පැමිණිල්ලක් සිදුකර රෝහල්ගතවී තිබුණා.

පසුව අත්අඩංගුවට ගත් සැකකාර පියා සහ පුතා ලබන මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඔවුන් මේ වනවිටත් පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර, මාස 2 ක් පමණ වයසැති සුනඛ පැටවුන් දෙදෙනෙකු (2) මෝටර් රථයකට යටකර පලාගිය ගිය සිද්ධියක වීඩියෝවක් ද පසුගියදා සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, සිද්ධියට අදාළ කාන්තාව ඊයේ (20) අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරුණා ෴


ආරක්ෂක අංශ සනසන්න අධිකරණය සූදානම් නෑ – වසන්ත මුදලිගේ (21.02.2023)

+


නීතිවිරෝධී අයුරින් එකලස් කළ සුඛෝපභෝගී රථයක් හලාවතින් සොයාගනී

(21.02.2023 – 12:24 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් නීතිවිරෝධී අයුරින් එකලස් කර සකස් කරන ලද සුඛෝපභෝගී රථයක් හලාවත මැරවල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය පවසයි.

චැසි හා එන්ජින් අංක නීතිවිරෝධී අයුරින් ඇතුළත් කළ සුඛෝපභෝගී ජීප් රථයක් තිබෙන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතා ලද තොරතුරක් අනුව වැටලීම කළ බව පොලීසිය කියයි.

ජීප් රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී එය පරිහරණය කළ බව කියන පුද්ගලයා සතුව කිසිදු ලිපි ලේඛනයක් නොතිබූ බවත් පොලීසිය කියයි.

ජීප් රථය පරිහරණය කළ පුද්ගලයාගෙන් ඒ පිළිබඳව විමසීමේදී ඔහු පවසා ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මෙම ජීප් රථය මීට මාස 6 කට පමණ ඉහත දී මිළදී ගත් බවය.

ආදායම් බලපත්‍රය ලබාගැනීමට ගිය අවස්ථාවේ ද ඇති ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ඒ පිළිබඳව ජීප් රථය විකුණූ පුද්ගලයාට පැවසීමෙන් අනතුරුව එය සකස්කර දෙන බවට පොරොන්දු වී ඔහු සියලුම ලිපි ලේඛන ගත් බවට අනාවරණය වී යැයි පොලීසිය පැවසීය.

එම පුද්ගලයාට ජීප් රථය විකිණූ ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයා වාහන ජාවාරම්කරුවකු බවත් ඔහු වංචනික ක්‍රියා රැසකට පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

එම රථය මේ වනවිට හලාවත පොලීසිය භාරයට පත්කර ඇති අතර වැඩිදුර විමර්ශන පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් සිදුකරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *