13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීමේ බෙදුම්වාදී මෙහෙයුම මෙරට ක්‍රියාත්මක වන්නේ කෙසේද? – වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි

13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීමේ බෙදුම්වාදී මෙහෙයුම මෙරට ක්‍රියාත්මක වන්නේ කෙසේද? – වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි


13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීමේ බෙදුම්වාදී මෙහෙයුම මෙරට ක්‍රියාත්මක වන්නේ කෙසේද? – වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි

(21.02.2023 – 08:33 +0530 – lankaleadnews.com)

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම තුළින් ඉන්දියාවටත් වඩා එහා ගිය ෆෙඩරල් ක්‍රමයක් මෙරට නිර්මාණය වන බවත්, ඉතිහාසයේ සිටම ටිකෙන් ටික මෙම අරමුණ ඉටුකර ගැනීම සදහා බෙදුම්වාදීන් කටයුතු කළ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා හෙළිකරයි.

සමාජ මාධ්‍ය නාලිකාවක් ( youtube.com/@asianmirrorlk ) සමග පැවති සාකච්ඡාවක දී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා ලෙස පත්වීම, ජාත්‍යන්තරයෙන් එල්ලවූ බලපෑම උච්චතම අවස්ථාවකට එළඹ තිබීම හා බෙදුම්වාදීන්ගේ මාර්ග සිතියම පියවරෙන් පියවර ක්‍රියාත්මක වීම යන සියල්ල රට බෙදීමේ දිශාවට තල්ලුකර දමන ප්‍රධාන කාරණා බවට වර්තමානයේ පත්වී ඇති බවයි.

ඉන්දියාවේ බලපෑම මත 13 වැනි සංශෝධනය ජාතික ගැටලුවට විසදුමක් ලෙස මෙරටට බලහත්කාරයෙන් ගෙන එනු ලැබූවද එය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට විරුද්ධව එදා සමාජයෙන් එල්ල වූ බලපෑම හමුවේ ව්‍යවස්ථා බාධක ප්‍රමාණයක් සමග සම්මත වීමෙන් බෙදුම්වාදයට අවශ්‍ය දේ සිදු නොවූ පසුබිමක වර්තමානයේ කෙසේ හෝ එය ලබාගැනීමට බෙදුම්වාදීන් සැලසුම්කර ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

පොලිස් හා ඉඩම් බලතල මෙන්ම තවත් ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වූ ව්‍යවස්ථා බාධක රැසක් තිබීම නිසා පළාත් සභාවල ආණ්ඩුකාරවරයාගේ බලතල මහඇමතිට පැවරීම මගින් පරිපාලනමය වශයෙන් රට ෆෙඩරල් කිරීමේ මෙහෙයුම පිළිබදවද ඒ මහතා මෙහිදී හෙළිකරයි.

පළාත් සභා කිසිදා මෙරට ජනතාවගේ අවශ්‍යතාවන් සැපිරීමට කටයුතු නොකළ බවද, දෙමළ නායකයන් පළාත් සභා හරහා තම ජනතාවගේ ප්‍රශ්න විසිදීමට කිසිදා උත්සාහ නොකළ බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැහැදිළි කරයි.

ගෝඨාභය ජනාධිපතිවරයා පළවා හරින්නේද මෙම බෙදුම්වාදී න්‍යායපත්‍රය සම්පූර්ණකර ගැනීමට බවත්, ඔහුව ජනාධිපති මන්දිරය තුළම ඝාතනය කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හරහා එම ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීමට ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තරය සහ ඉන්දියාව මෙන්ම දෙමළ ඩයස්පෝරාවද දැඩි උත්සාහයක මේ මොහොතේ නිරත වන බවයි වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ.

ඇමරිකානු මෙරට තානාපතිනියගෙන් මේ සදහා ඔවුන්ට ලැබෙන සහාය ද සුළුපටු නොවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

සවිස්තරාත්මක වීඩියෝව :

+


13 A තිරිංග අවභාවිතා කරනවනම් විධායකයට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනආයුතුයි – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස

(21.02.2023 – 07:14 +0530 – lankaleadnews.com)

මෑතකදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ වශයෙන් බලාත්මක කිරීම පිළිබඳව ජවිපෙ හා ජාජබේ පරස්පර විරෝධී ප්‍රකාශ පිළිබඳව ‘ලංකා ලීඩ් නිවුස්’ වෙබ් අඩවියේ පර්යේෂණ අංශය කළ විමසීමේදී ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා පැවසුවේ 13 A තිරිංග අවභාවිතා කරනවනම් විධායකයට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනායුතු බවය.

එතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ :

“13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජවිපෙ සහ ජාජබේ මත දෙකක (2) ඉන්න බව පහුගිය දිනවල දකින්නට ලැබුන. ජවිපෙ සහ ජාජබේ ඉන්නෙ කවුද කියල කවුරුත් දන්නව. සමහරවිට හරිණි මහත්මිය ජවිපෙක් නොවන්න පුළුවන්. ජාජබේට සහය දෙන වෘතිකයෙක් හැටියටනෙ ඇයව සළකන්නෙ. හෙළිකොප්ටරෙත් විවිධ මත තියෙන බව රාජාසන කතාව පිළිබඳව පහුගිය පාර්ලිමේන්තු විවාද වලදි දකින්නට ලැබුන. 13 ක් ගැන රාජාසන කතාවෙදි නොකියවුන නිසා ඒ පිළිබඳව බෙදීමක් නොවුනත් සැවොම, විශේෂයෙන්ම 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කරන්න එපා කියන අය, අමතක කළ කොටසක් තමයි රාජාසන කතාවේදී සඳහන් කළ ප්‍රඥප්ති පිළිබඳව කොටස. මේ ප්‍රඥප්ති නොවෙයිද රුපියල් මිලියන 22 ක මුදලක් අයකරමින් සියල්ල ගසා දමා කඩිමුඩියේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට පෙර ජයම්පතී වික්‍රමරත්න ප්‍රමුඛ බෙදුම්වාදයේ බෑණාවරුන් විසින් සම්පාදනය කරේ? මේ පිළිබඳව ප්‍රමාණාත්මකව විවාද සිදුවුනාද?

අනිත් කරුණ තමයි ’13 න් වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමක්’ පිළිබඳව අපේ වියතුන්ද සැමවිටම සඳහන් කිරීම. 13 ආවෙ අර කියන තිරිංග පහත් (5) සමගනම්, 13 මේ වෙනකොට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරල නෑ කියන්නෙ කෙසේද? ජේ.ආර්. එදා 1987 දී ඉංදියාවත් සමග එකඟවුන සහ ලංකාවේ ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වනවිට සියයට සියයක් රජය පැත්තෙන් ක්‍රියාත්මක කරල ඉවරයි. ඉවරවෙලා නැත්තෙ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලාපොරොත්තු වූ බෙදුම්වාදය නැවැත්වීමට නොහැකි වීම පමණයි. එනම් කරුණු දෙකක් මත 13 න් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථකයි. පළමුවැන්න (1) බෙදුම්වාදය නැති කිරීමට අසමත්වීම. දෙවැන්න (2) බෙදුම්වාදයේ අභිලාෂය පරාද කිරීමට අසමත්වීම. බෙදුම්වාදයේ අභිලාශය 13 A හි අන්තර්ගතව තිබීම හා එම අභිමතය ඉටුනොකිරීමට තිරිංග යොදා තිබීම පරස්පරයක් වුවද, 13 A කියන්නේ ඒ දෙකේ සමස්ථයයි.

මෙම තත්ත්වය තේරුම් ගැනීමත් පරලෝසැපත් විනිශ්චයකාර රාජා වනසුන්දර මහතා පැවසූ දෙයට සමානව කෙස් ගහකින් වෙනස්ව තිබෙන කරුණු දෙකක්. එමනිසයි කනගාටුවෙන් වුවද පැවසීමට සිදුවෙන්නෙ අපේ විද්වතුන්ද පවසන 13 A සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට විරුද්ධයි කියන ‘ස්ලෝගන්’ එක වැරදියි කියල. තිරිංග යොදා නිශ්පාදනය කරනු ලැබූ 13 A මේ වෙනවිට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරල ඉවරයි. ආයෙ ජයශංකර්වත් වෙන ශංකර් කෙනෙක්වත් කියන්න අවශ්‍ය නෑ 13 A සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න කියල. ඒ කියන කාට උනත් අපිට කියන්න හැකියාව තියෙනව 13 A සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරලයි තියෙන්නෙ කියල. තිරිංග අයින් කරන්න ඕනෙනම් ඒක 13 A නොවෙයි දැන් තියෙන හැටියට 22 A වෙනව. 22 A එකක් ගෙනත් නොගෙන හොරපාරෙන් තිරිංග ගැලවීම බුරුල් කිරීම නීති විරෝධීයි. ඒක ජනාධිපතිට දී ඇති විධායක බලය ක්‍රියාත්මක කිරීමක් නොවෙයි. ඒක නීතිය හා එහි පාදක කරුණු නොසළකා හැර නීතිය අවභාවිතා කිරීමක්. 87 දී ජේ.ආර් පාදක කරගත් ස්ථාවරය උනේ ඒකීය රාජ්‍යයක්. එබැවිනුයි ඔහු ඉන්දියාවෙන් ‘අන්ඩර් ඩියුරස්’ ආනයනය කරනලද 13 A කරත්තෙට තිරිංග දැම්මෙ. ඒ තිරිංග ඉංදියාවේ පවතින තිරිංග වලට සමානයි. අසමාන වෙන්නෙ ඉංදියන් පාර්ලිමේන්තුවට හැකි උනත් සරළ බහුතරයකින් පලාත් සභාවක මධ්‍යම රජයේ බලයට එරෙහිවෙන පනතක් වළක්වන්න අපේ පාර්ළිමේන්තුවට ඒසඳහා 2/3 ක ඡන්දයක් අවශ්‍යයි. මෙය බරපතල වරදක්සේ දැකිය හැකියි. එසේනම් ජනාධිපතිගේ එම ප්‍රකාශයම ඇති ඔහුට විරුද්ධව දෝශාභියෝගයක් ගෙන ඒමට. 13 A වලට තිරිංග දැම්මෙ ඒ තිරිංග වලින් රට බෙදීමට අදාලවන ක්‍රියාමාර්ග වැළක්වීමට නම් තිරිංගයක අඩුපාඩුවක් හේතුවෙන් තිරිංග වලින් ලිස්සා යෑම ආබාධයක් ලෙස සැළකිය යුතුයි. කෙටියෙන්ම කියන්න තියෙන්නෙ, එසේනම් අසාර්ථක 13 A සහමුලින්ම ඉවත්කරනු, ඉන් පසුව කලින් කලට පත්වීමට ඉඩ ඇති ජනතා පරමාධිපත්‍යයට පටහැණිව ක්‍රියා කිරීමට හැකියාව තිබෙන විධායක ජනාධිපති ක්‍රමයද වෙනස් කරනු, කියා තමයි.

පළාගිය ජනාධිපති ගෝඨාභයව 69 ලක්ෂයක ජනතාව පත්කළේ රනිල් ප්‍රමුඛ බෙදුම්වාදයට රුකුල් දෙන යහපාලන රජයට විරුද්ධවයි. ගෝඨාභය පළාගියේ ඇතිවූ දරුණු ආර්ථික ගැටළුව නිසි ආකාරව කළමණාකාරණය නොකළ නිසයි. ‘බෙදුම්වාදී න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීම’ සහ ‘ආර්ථික ගැටළුව විසඳීම’ යන්න වෙනස් කාරණා දෙකක්. 13 A සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම යන්න හුදු ව්‍යාකූලත්වයක් නිර්මාණයක් පමණයි. එබැවින් ජවිපෙ සහ ජාජබේ පරස්පරයට පෙර අපගේ විද්වතුන්ගේ පරස්පරය නැතිකරගත යුතුයි. එනම්, මේ වනවිට ’13 A සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට විරුද්ධයි’ යන වැරදි තේමාවෙන් ඉවත්ව ’13 A මගින් අවුරන ලද දේ දීමට විරුද්ධයි’ කියා සටන්පාඨය වෙනස් කරගත යුතුයි” ෴


සබරගමුව සරසවිය තුළ නීතිවිරෝධී ව රැඳී සිටින සියලු සිසුන්ට ඉවත් වන්නැ යි දැනුම් දීමක්

(21.02.2023 – 09:20 +0530 – hirunews.lk/sinhala)

දින නියමයක් නොමැතිව වසාදැමුණු සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරිමට නම් විශ්වවිද්‍යාල භුමියේ රැදී සිටින සියලු සිසුන් ඉවත්විය යුතු බව එහි උපකුලපති මහාචාර්ය උදය රත්නායක පවසනවා.

කළමණාකරණ පිඨයේ පළමු (1) වසරේ සිසුන් පිරිසක් හා එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් අතර ඇතිවු ගැටුමකින් අනතුරුවයි පසුගිය 16 වනදා සබරගමුව විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසාදැමුණේ.

කෙසේ වෙතත් අධ්‍යයන කටයුතු ආරම්භ කිරිමට නම් සිසුන් විශ්වවිද්‍යාලයේ පවතින අවම නීති හෝ පිළිපැදිය යුතු බවයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මාහාචාර්ය උදය රත්නායක කියා සිටියේ ෴


ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

(21.02.2023 – 10:19 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීම නියමිත දිනට පවත්වන ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භය මැදට පැමිණ විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුව හෙට (22) පෙරවරු 09:30 දක්වා කල් තබනු ලැබුවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල ඡන්ද විමසීම පිළිබද කථානායකවරයාගෙන් ප්‍රශ්න කිරීමත් සමග සභාවේ ඇතිවුයේ සංවදාත්මක තත්ත්වයක්.

කෙසේ වෙතත්, අනතුරුව කථානායකවරයා විසින් දිනට නියමිත යෝජනා පිලිබද දැනුම්දීම ආරම්භ කිරීමත් සමඟ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ‘දියව් දියව් ඡන්දේ දියව්’ ආදි වශයෙන් සටන් පාඨ කියමින් පුවරු අතැතිව විරෝධතාවයේ නිරතවුණා.

අනතුරුව ඔවුන් කථානායකවරයාගේ අසුන පහල පිහිටි පාර්ලිමේන්තු මහලේකම්වරයා කටයුතු කරන ස්ථානයට පැමිණ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධාතාවයේ නිරත වුණේ සියලු කටයුතුවලට බාධාවන ආකාරයටයි.

එහිදි වාසුදේව නානායක්කාර, විමල් විරවංශ, නලින් බණ්ඩාර, තුෂාර ඉදුනිල් අමරසේන ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් පාර්ලිමේන්තු කටයුතු සජීවව විකාශය සදහා යොදාගන්නා කැමරා රූප රාමු වලට හසුවන සේ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරනු දක්නනට ලැබුනා.

කෙසේ වෙතත්, ජාතික ජන බලවේගයෙන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඇතුලු මන්ත්‍රිවරුන් තුන්දෙනා (3) මෙම විරෝධතාවය ද සදහා එක්ව නොසිටි බවයි පාර්ලිමේන්තු වාර්තා සදහන් කළේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවය හමුවේ කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කළ අතර එහිදි අමාත්‍ය රමේෂ් පතිරණ විසින් ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ නියෝග හතරක් සහ සමාගම් පනත යටතේ නියෝග කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

කෙසේවෙතත් විපක්ෂයේ මන්ත්‍රිවරුන් විරෝධතාවයේ නිරතව සිටියද අමාත්‍ය රමේෂ් පතිරණ ඉදිරිපත් කළ නියෝගවලට එරෙහිව ඡන්දයක් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා ඉල්ලා සිටියා.

ඒ පිළිබදවද ඇතිවු විරෝධතා හමුවේ සභාවේ කටයුතු තවදුරටත් සිදුකර ගෙනයා නොහැකි බැවින් කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුව හෙට (22) දිනය පෙරවරුව දක්වා කල් තැබන බව දැනුම් දුන්නා.

මේ අතර, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් මුදල් පිළිබද කාරක සභාවට සහ පාර්ලිමේන්තු කටයුතු පිළීබද කාරක සභාවට පත්කළ විපක්ෂයේ සමාජිකයින්ගේ නාම යෝජනා කතානායකරයා විසින් අද (21) සභාවට ඉදිරිපත් කළා.

ඊට සිය මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුලත් නොකීරීම සම්බන්ධයෙන් ‘උත්තර ලංකා සභාගය’ විසින් විපක්ෂ නායකවරයාට සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා චෝදනා එල්ල කරනු ලැබුවා.

කෙසේ වෙතත්, මේ සියලු කරුණු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අද (21) පස්වරු 2 ට පක්ෂ නායක රැස්වීමක් කැදවීමටයි කටයුතු කරනු ලැබුවේ.

+


නිරාගමික මිසදිටු සේපාල් අමරසිංහ කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි

(21.02.2023 – 10:52 +0530 – sinhala.adaderana.lk)

= සේපාල් අමරසිංහ කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි =

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල් අමරසිංහ මහතා විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.

එම පැමිණිල්ල අද (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සැකකාර සේපාල් අමරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මහනායක හිමිවරුන් ගෙන් හා බෞද්ධ ප්‍රජාවගෙන් කොන්දෙසි විරහිතව සමාව අයැඳ සිටින බව දන්වා සිටියේය.

එවැනි කොන්දේසි විරහිතව සමාවක් අයැඳ සිටින්නේ නම් නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා දන්වා සිටියේය.

එමෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිලිකාර බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූඡ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු පිරිසගෙන් ද ඔහු සමාව අයැඳ සිටියේය.

ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමට ද අධිකරණය තීන්දු කළ අධිකරණය සැකකාර සේපාල් අමරසිංහ මුදා හැරීමටද නියෝග කළේය.

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සේපාල් අමරසිංහ පසුව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

+


QR ක්‍රමය මාස තුනකින් (3) අහෝසියි

(21.02.2023 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන සඳහා දැනට ක්‍රියාත්මක කිව්.ආර්. ක්‍රමවේදය ඉදිරි මාස තුනෙන් (3) පසු අහෝසිකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

‘හිරු ටීවී සළකුණ’ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ රටේ ආර්ථික තත්ත්වය යහපත්වීමත් සමඟ ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් ලබාදීමට හැකිවෙතැයි පුරෝකථනය කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි මාස තුනෙන් (3) පසුව පෙර පරිදි තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය පිරවුම්හල්වලින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ ෴


අඹන්පොල ග්‍රාමනිලධාරි ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

(21.02.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala)

අඹන්පොල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට පොලීසිය මඟහැර සැඟව සිටි ප්‍රධාන සැකකරු මාතලේ – උකුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අඹන්පොල – කයිලගම ප්‍රදේශයේ පදිංචි මෙම ග්‍රාම නිලධාරිවරයා ඝාතනයට ලක්වුණේ 2021 වසරේ අගොස්තු මස 04 වනදායි.

ඉඩම් ආරවුලක් මුල් කර ගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථාන භාර නිලධාරියෙකු විසින් රුපියල් ලක්ෂ 5 ක මුදලකට මෙම ඝාතනය කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එම මුදලින් රුපියල් 1,80,000 ක් ලබාගෙන මෙම ඝාතනය සිදුකර ඇති බවද වාර්තාවනවා.

ඝාතනය සිදු කළ දිනයේ සිට මෙම පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිට ඇති අතර, පසුව ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ සැකකරු මාතලේ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කරන බවටයි.

ඒ අනුව, මාතලේ කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරු අද (21) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 45 හැවිරිදි හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනයට අදාළව කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයා ඇතුලු තිදෙනෙකු (3) මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *