කිලිනොච්චිය ‘අරවියල් නගර්’ දුම්රිය ස්ථානය අසලදී බසයක් දුම්රියේ ගැටී මෝටර් රථයකත් වැදිලා : තුනක් (3) රෝහලේ

කිලිනොච්චිය ‘අරවියල් නගර්’ දුම්රිය ස්ථානය අසලදී බසයක් දුම්රියේ ගැටී මෝටර් රථයකත් වැදිලා : තුනක් (3) රෝහලේ


කිලිනොච්චිය ‘අරවියල් නගර්’ දුම්රිය ස්ථානය අසලදී බසයක් දුම්රියේ ගැටී මෝටර් රථයකත් වැදිලා : තුනක් (3) රෝහලේ

(20.02.2023 – 14:25 +0530 – lankadeepa.lk)

කිලිනොච්චිය අරවියල් නගර් ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක් කන්කසන්තුරය සිට වවුනියාව දක්වා ධාවනයවූ ‘යාල් රාණී‘ දුම්රියේ ගැටී විසිවී තවත් මෝටර් රථයක ගැටීමෙන් අද (20) තිදෙනකු (3) තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.

එම දුම්රිය වවුනියාව බලා යළි ධාවනය කිරීමේදී ඕමන්ත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී තවත් මෝටර් රථයකද ගැටී අනතුරක් සිදුව ඇති බව ඕමන්ත පොලිසිය පැවසීය.

කිලිනොච්චිය ‘අරවියල් නගර්’ දුම්රිය ස්ථානය අසලදී සිදුවූ අනතුරින් ලංගම බස්රථයේ සිටි තිදෙනකු (3) තුවාල ලබා ඇති අතර කිලිනොච්චිය ඉංජිනේරු පීඨයට අයත් මෝටර් රථයක් බව ද පොලිසිය කියයි.

පොලිසිය පැවසූයේ අපරික්ෂාකාරි ලෙස බස්රථය දුම්රිය හරස්මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරටපත් බස්රථය පීඨාධිපතිවරයාගේ මෝටර් රථයේද ගැටී ඇති බවත්ය.

අනතුරින් පසු යළි ධාවනය කළ දුම්රිය ඕම්න්ත ආනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී තවත් මෝටර් රථයක ගැටී ඇති බවත් එම අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බවද පොලිසිය පැවසීය.

සිදුවූ අනතුරු සම්බන්ධයෙන් කිලිනොච්චිය රථවාහන පොලිසිය හා ඕමන්ත රථවාහන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

+++

++++++++++

+++

+


නාවික සෙබළාගේ පා පහරින් ගැබිණියගේ සිව්මස් (4) කලලය විනාශවේ

(20.02.2023 – 14:25 +0530 – lankadeepa.lk)

ගණේමුල්ල අමුණුගොඩ නිවසක පැවති උපන්දින සාදයක දී අතිවූ ගැටුමක් අතර ගැබිණි කාන්තාවගේ උදරයට පා පහර එල්ල කළ බව කියන නාවික හමුදාවේ සෙබළෙක් ගනේමුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

පා පහර කෑ සිවුමස් (4) ගැබිණියක බොරැල්ල ද සොයිසා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ කලලය පා පහරවැදීමෙන් විනාශයට පත්ව ඇති බවට එම රෝහලෙන් දැනුම් දී ඇති බවත් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සැකකාර නාවික හමුදා සෙබළාගේ සහෝදරියකගේ නිවසේ උපන්දින සාදයක් පවත්වා ඇති අතර එයට මෙම නාවික සෙබළා ද සහභාගි වී තිබේ.

මෙම නාවික සෙබළාගේ සහෝදරියගේ සැමියගේ සහෝදරයකු සහ නාවික සෙබළ අතර බහින්බස් වීමක් සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැකකාර සෙබළා ඔහුට ද පහර දී ඔහුගේ ගැබිණි බිරිඳගේ උදර ප්‍රදේශයට ද වැරෙන් පා පහරවල් කිහිපයක් එල්ල කර ඇතැයි එම පොලිස් නිලධාරියා කීය.

පා පහර කෑමට ලක් වූ සිවුමස් (4) ගැබිණිය බිම ඇද වැටී ඇතැයි ද පැවසේ ගැබිණි කාන්තාවට පා පහර එල්ල කළ බව කියන නාවික හමුදා සෙබළා සැකපිට අත්අඩංගුවට ගත් අතර ඔහු පුල්මුඩේ ප්‍රදේශයේ කඳවුරක රාජකාරි කරන අයෙකි.

ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ විශේෂ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ටි. ඒ. ඩී. ටී. සේනානායක මහතාගේ මෙහෙයවීම යටතේ ගනේමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. පී. එස්. ප්‍රියංග මහතාගේ ප්‍රධානත්වයෙන්මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි ෴


ඡන්ද නැත්නම් කොමිසමක් මොකටද?

(20.02.2023 – 13:23 +0530 – lankadeepa.lk)

පළාත් පාලන මැතිවරණය නිසි පරිදි පැවැත්වීමට නොහැකි නම් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉල්ලා අස්විය යුතු බව නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන, නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මැතිවරණ කොමිසමේ වගකීම ආණ්ඩුවේ චක්‍රලේඛවලට අනුව ඡන්දය මගහැරීම හෝ දින නියම කිරීම නොව ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්‍ෂා කිරීම බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රටේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාණ්ඩාගාරයේ මුදල් වෙන් කළ යුතු ආකාරය ගැන නිකුත් කර ඇති චක්‍රලේඛය මගින් නීතිය විකෘති කර ඇති අතර, ඔහු නීතිය සමඟ සෙල්ලම් කරන බව ද අලහප්පෙරුම මහතා කීවේය.

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ නිදහස් ජනතා සන්ධාන මාතර දිස්ත්‍රික් අපේක්‍ෂක වැඩමුලුව අමතමිනි.

මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව දක්වන උත්සාහය, මුලු මහත් ලෝකයටම ආණ්ඩුවේ නිරුවත පෙන්වීමක් බව සදහන් කල ඩලස් අලහප්පෙරුම මහතා, මීට පෙර ද අවස්ථා ගනණක දී මැතිවරණාය කල්දැමීම නිසා ඇති වූ භයානක තත්වයන් පිලිබදව ද පෙන්වා දුන්නේ ය ෴

++++++++

ගහපු ඡන්ද පත්‍රිකාවලට කරපු දේ

(20.02.2023 – 12:44 +0530 – lankadeepa.lk)

දිස්ත්‍රික්ක 22 ට අදාලව මුද්‍රණය කෙරුණු තැපල් ඡන්ද පත්‍රිකා ඉදිරියේ දී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කළ බවරජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

පළාත් පාලන මැතිවරණයට අදාළව මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි වෙනුවෙන් රුපියල් කෝටි 15 කට වැඩි මුදලක් දැනටමත් වැයවී ඇතැයිද ඇය සඳහන් කළාය.

මින් රුපියල් කෝටි 7 කට වැඩි වටිනා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවට බාරදී ඇතැයිද ඇය සඳහන් කළාය.

යම් විදියකින් හෝ පළාත් පාලන මැතිවරණය අවලංගු කළහොත් එම මුදල අපතේ යනු ඇතැයි දැනගන්නට ඇත.

මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබා නොදෙන බවට මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කිරීම සමග මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි මුද්‍රණය තාවකාලිකව නතර කර ඇත ෴


රුපියල් කෝටියක මත්ද්‍රව්‍ය දෙහිවලින් අල්ලයි

(20.02.2023 – 13:23 +0530 – lankadeepa.lk)

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු පුද්ගලයෙකු රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් (1,25,00,000) වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙහිවල කව්ඩාන ප්‍රදේශයේදී දෙහිවල පොලිස් අපරාධ අංශය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකරු (36) පදිංචි ස්ථාන වෙනස් කරමින් විවිධ ප්‍රදේශවල පදිංචිව සිටිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග මෙම ජාවාරමේ නියුතුව සිට ඇති බවත් අනාවරණය වී ඇතැයිද පොලීසිය කියයි .

සැකකරු මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධවී ඇති බවට හා තවත් පුද්ගලයන් මෙයට සම්බන්ධවී සිටීද යන්නත් පිළිබඳ සෙවීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රදවා තබා ගැනීමේ නියෝග මත පොලීසියො රදවා තබාගන දීර්ඝ වශයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන බවත් පොලීසිය කියයි.

වැඩිදුර විමර්ශනයට අනුව ඔහු රුපියල් එක්‌ලක්ෂ විසිපන්දාහකට (1,25,000) කුලී පදනම මත ලබාගන සිටි අධි සුඛෝපභෝගි නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී රහසිගතව නිවසතුල සගවාතිබූ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 84 ක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 36 ක් , හසීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 535 ක් , ඩාන්සින් ටැබ්ලට් 30 ක් , මත්ද්‍රව්‍ය කිරීමට ගන්නා ඉලෙක්ට්‍රොනික තරාදියක් , ආරක්ෂිත ඉටිකොල තොගයක් පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය කියයි ෴


කෝටිපතියෙක් විදෙස් කතුන් ලංකාවට ගෙන්වා බලෙන් ගණිකා වෘත්තියේ යොදවලා

(20.02.2023 – mawbima.lk)

සංචාරක වීසා මත විදේශ රටවලින් කාන්තාවන් මෙරටට ගෙන්වා බලහත්කාරයෙන් ලිංගික ශ්‍රමය ලබාගෙන මුදල් ඉපැයීමේ ජාවාරමක් කළ කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙහෙය වූ සුඛෝපභෝගී ගණිකා මධ්‍යස්ථානයක් වටලා ඉන්දුනීසියානු කාන්තාවක් ඇතුළු කාන්තාවන් දෙදෙනකු (2) හා එහි කළමනාකරු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කීය.

මෙම නිවස තුළ තිබී උපත් පාලන කොපු, මුදල් රුපියල් දස දහසක් හා මෙම ජාවාරම මෙහෙයවන කෝටිපති ව්‍යාපාරිකයාට මුදල් බැර කළ බවට සටහන් කර තිබූ බැංකු රිසිට්පත් තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

කොල්ලුපිටිය මල් පාරේ සුඛෝපභෝගී දෙමහල් නිවසක විදේශීය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ රහසිගත ව්‍යාපාරයක් කරන බවට පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරක් අනුව වැටලීම කර ඇත.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් පරීක්ෂක ජනිත, උපපොලිස් පරීක්ෂක සඳරුවන්ගේ මූලිකත්වයෙන් සැදුම්ලත් පොලිස් කණ්ඩායමක පොලිස් නිලධාරියෙකු උපාය දූතයෙකු ලෙස යොදවා එහි රැඳී සිටි ඉන්දුනීසියානු කාන්තාවක රුපියල් දස දහසක මුදලකට ලබාගෙන සුළු වේලාවකදී වැටලීම කළ බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් එම කාන්තාවගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක රැකියාවක් ලබා දෙන බව පවසා එහි කළමනාකරු, එහි හිමිකරු බව කියන කෝටිපති ව්‍යාපාරිකයා සමග එක්ව ගුවන්තොටුපොළේ සිට තමන් රැගෙන විත් බලහත්කාරෙන් මුදලට අලෙවි කළ බව ය.

අත්අඩංගුවටගත් කළමනාකරු වේයන්ගොඩ පදිංචිකරුවෙකි. මෙම ජාවාරම මෙහෙයවන කෝටිපති ව්‍යාපාරිකයාගේ බැංකු ගිණුමට දිනකට රුපියල් 55,000 ක මුදලක් බැර කර ඇති බව එහි තිබී සොයාගත් බැංකු රිසිට්පත්වලින් පැහැදිලි වන බව පොලිස් නිලධාරියෙක් කීය.

මෙම ගොඩනැගිල්ල කෝටිපති ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ තුනක මුදලකට මාසික කුලී පදනම මත ලබාගෙන ඇති බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ගණිකා මධ්‍යස්ථානය වෙත ප්‍රභූන් මෙන් ම දේශපාලනඥයන්, කාන්තාවන්ගේ පහස ලබා ගැනීම සඳහා නිරතුරුව ම පැමිණෙන බවට ද කළමනාකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිසිය කීය.

එම කෝටිපති ව්‍යාපාරිකයා මීට පෙර ද ගල්කිස්ස ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් මිලට ගෙන විදේශීය කාන්තාවන්ගෙන් බලහත්කාරයෙන් ලිංගක ශ්‍රමය ලබා ගැනීමේ ව්‍යාපාරයක් කර ගෙන යාම සම්බන්ධයෙන් විදේශීය කාන්තාවන් හත්දෙනෙකු (7) සමග අත්අඩංගුවට පත්ව නඩු පවතින්නෙකු බවත් පොලිසිය කියයි.

මෙම ජාවාරමේ නියුතු කෝටිපති ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත් පොලිස් නිලධාරියා වැඩිදුරට ත් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා (2) සහ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කොල්ලුපිටිය පොලිසිය වෙත භාර දී ඇත.

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර, ස්ථානාධිපති ඉන්දික වීරසිංහගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ජනිත, උපපොලිස් පරීක්ෂක සඳරුවන්, පොලිස් සැරයන් බටුවත්ත (1445), පොලිස් කොස්තාපල්වරුන් වන බාලසූරිය (78946), අශාන් (39940) යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් වැටලීම කළහ ෴


ගෙදරින් යන්න එපා කියද්දිත් සිරිපාදේ ගියා – සිදු වූ අනතුරකින් එකම පුතු මරුට

(20.02.2023 – 08:52 +0530 – hirunews.lk/sinhala)

සිරිපා වන්දනාවේ ගිය 17 හැවිරිදි තරුණයෙකු පසුගියදා (17) සිදු වූ රිය අනතුරක දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බෙරලපනාතර – උඩුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ‘තුෂාන් තරින්දක’ නමැති පාසල් ශිෂ්‍යයෙක්.

දෙමව්පියන්ගෙන් කළ දැඩි ඉල්ලීමකට අනුව මෙම තරුණයාගේ ආසාව ඉටු කිරීම වෙනුවෙන් සිරිපා කරුණා කිරීමේ අවස්ථාවට තම දරුවාට දුන් බවයි මියගිය සිසුවාගේ පවුලේ සාමාජිකයින් සඳහන් කළේ.

පවුලේ ඇති දැඩි ආර්ථික හිඟය හේතුවෙන් තම පුතුට සිරිපාදේ නොයන ලෙසට මව පැවසු අවස්ථාවේ දී දරුවා කියා ඇත්තේ තමන්ට වන්දනාවේ යාමට ඉඩ නොදුන්නොත් තමන් මැරෙන බවයි.

මේ හේතුවෙන් දරුවාට ඉතා අසීරුවෙන් වන්දනාවට අවශ්‍ය මුදල් ලබා දුන් බවත් මියගිය දරුවාගේ දෙමව්පියන් සඳහන් කරනවා.

සිරිපා නිමකර පැමිණෙන අතරමග දී සිදු වූ රිය අනතුරකින් මෙම දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු බෙරලපනාතර මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *