සිරිපා වන්දනා නඩයක් රැගත් බස් රථයක් පෙරළෙයි – දෙදෙනෙකු (2) මරුට

සිරිපා වන්දනා නඩයක් රැගත් බස් රථයක් පෙරළෙයි – දෙදෙනෙකු (2) මරුට


සිරිපා වන්දනා නඩයක් රැගත් බස් රථයක් පෙරළෙයි – දෙදෙනෙකු (2) මරුට

(19.02.2023 – 23:18 +0530 – hirunews.lk/sinhala)

සිරිපා වන්දනාවේ ගොස් පැමිණෙමින් තිබූ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා.

නෝට්න් බ්‍රිජ් පොලිස් වසමේ ටැප්ලෝ නම් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර බස් රථය අඩි 100 ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි හිරු ප්‍රවෘත්ති වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

නෝටන් බ්‍රිජ් පොලිසිය ප්‍රදේශවාසින්ගේ සහාය ඇතිව තුවාලකරුවන් 30 ක් පමණ නාවලපිටිය, වටවල යන රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.

මෙම අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු (2) මිය ගොස් ඇතැයි රෝහල් වාර්තා සඳහන් කරනවා ෴

+++++++

+++++++

නෝට්න්බ්‍රිජ් අනතුරෙන් තවත් අයෙකු මරුට

(20.02.2023 – 10:05 +0530 – hirunews.lk/sinhala)

නෝට්න්බ්‍රිජ් – දියගල මාර්ගයේ සිදු වූ බස් රථ අනතුරෙන් පසුව අතුරුදන්ව සිටි බස් රථයේ පැමිණි තරුණයෙකුගේ මළසිරුර අද (20) උදෑසන සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව තුන (3) දක්වා ඉහළ යනවා.

ශ්‍රී පාද වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් තිබූ බස් රථයක් ඊයේ (19) රාත්‍රියේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු (2) මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලැබුවා.

කෙසේ වෙතත් බස් රථයේ පැමිණි අයෙකු අතුරුදන්ව ඇති බවට සැළවීමෙන් පසුව අද (20) උදෑසන යුද හමුදා භට පිරිස් සහ පොලිසිය එක්ව බස් රථය පරීක්ෂා කළ අවස්ථාවේදියි එහි සිර වී සිටි මෙම තරුණයාගේ සිරුර සොයාගත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 ක් වයසැති තරුණයෙක්.

අනතුරින් එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වූ කාන්තාවන් දෙදෙනා (2) වයස අවුරුදු 26 හා 30 පසුවන තෙලිජ්ජවිල හා බණ්ඩාරවෙල ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ.

මියගිය තිදෙනාගේ (3) සිරුරු මේ වනවිට වටවල රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නෝටන් බ්‍රිජ් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

+


මීදුම නිසා ගැරඬිගල අතරමං වූ 31 ක් බේරා ගැනේ

(19.02.2023 – 21:57 +0530 – hirunews.lk/sinhala)

නකල්ස් රක්ෂිතයට අයත් ගැරඬිගල කන්ද තරණය කිරීමට ගොස් අධික වර්ෂාව සහ මීදුම හේතුවෙන් අතරමං වූ තරුණ තරුණියන් 31 දෙනෙකු නිරුපදිතව බේරා ගෙන තිබෙනවා.

ඊයේ (18) ගැරඬිගල කන්ද තරණය කිරීමට පැමිණි මෙම පිරිස අතරමං වූ බවට උඩුදුම්බර පොලීසියට ලද තොරතුරක් මත මෙම පිරිස මුදා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම පිරිස මුදා ගැනීමේ මෙහෙයුමට පොලිසිය, වන සංරක්ෂණ නිලධාරින් සහ යුධ හමුදාව එක්ව ඇති අතර මෙලෙස අතරමං වූ පිරිස අතර මහනුවර, හෝමාගම, කොළඹ හා ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිටින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ ෴


කුසගින්නට කොස් ගෙඩියක් කැඩීමට ගිය මවක් ගසෙන් වැටී මරුට

(19.02.2023 – 20:00 +0530 – hirunews.lk/sinhala)

සිය දරුවන්ගේ කුසගිනි නිවීම සඳහා කොස් ගෙඩියක් කැඩීමට ගිය මවක් ගසෙන් ඇද වැටී දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගම්පොළ – නාරංවිට බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ශාන්ති කුමාරී නැමැති ඇය පනස් (50) හැවිරිදි වියේ පසුවන සිව් (4) දරු මවක්. ඇයට ගැහැණු දරුවන් සිව් (4) දෙනකු සිටින අතර ඉන් තුන් (3) දෙනෙකුම පාසල් යන වයසේ පසුවනවා.

දරුවන්ගේ පියා පුද්ගලික ආයතනයක කම්කරුවකු ලෙස සේවය කරන අතර ඔහු උපයන සුළු මුදල පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවන බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

නිවස අසල කොස් ගසේ ගෙඩියක් කඩාගැනීම සඳහා විවිධ උත්සාහයන් දරා ඇති නමුත් එය ව්‍යවර්ථ වීම හේතුවෙන් ඇය කොස් ගස අසල වෙනත් ගසකට නැඟ කොස් ගෙඩිය කැඩීම උත්සාහ කර තිබෙනවා ෴


යතුරු පැදිවල යන අයට දැනුවත් වීමට..!

(19.02.2023 – facebook.com/accident1stofficial/)

උදේ හවස බයික් පදින අයට වෙන වදයක් තමයි ‘කොස්සෝ’ කියන කෘමි විශේෂය ඇහැට යන එක. ඒකා ඇහැට ගියහම හරිම දැවිල්ලක් එන්නේ. ඒ වෙලාවට ඇහැ අතින් පොඩි කෙරෙන්නේ හිතා මතාම නොවේ.

කාලයක් ඉදලා මගේ ඇහේ වේදනාවක් දැනුනා , වෙලාවකට කඳුලු එනවා , වෙලාවකට ඇහැ කැවෙනවා වගේ. ගෙදර අයට බලන්න කිව්වහම ඒ අය කියන්නේ ඇහේ මුකුත් නැහැ කියලා. ඉතින් මමත් හිතුවේ කණ්නාඩියේ දෝෂයක් කියලා. ඒ වගේම නිතරම ෆෝන් එකේ ඉන්න එකත් මට ආව චෝදනාවක්. ඉතින් මගේ දෛනික වැඩ වලට මේ අපහසුතාවය එච්චර ගානක් උනේ නැහැ.

දැන් සතියක පමණ ඉඳලා ඇහෙන් කඳුලු එන එක වැඩි උනා. වේදනා ගතියත්, ඇහැ කැවෙන එකත් වෙනදාට වඩා වැඩියි. ඊයේ උදේ මම හොරණ ගිහින් ඒ ගමන් මල්ලිගේ ගෙදර ගියා. ඒ යනකොටත් ඇහේ කඳුලු. එයා ඒ ගැන විස්තර අහලා එයත් ඇහැ බැලුවා. එයාටත් පේන්න කිසි දෝෂයක් තිබුනේ නැහැ. කෝකටත් එයා එයාගේ ෆෝන් එකෙන් ඇහේ ෆොටෝ එකක් අරන් බැලුවා. ඒක දැක්කහම ඇගට හීන් දාඩිය දැම්මා. කලු ඉංගිරියාවේ කිනිතුල්ලෙක් වගේ සතෙක් ඉන්නවා.

එවෙලෙම හොරණ රෝහලේ අක්ෂි සායනයට ගියා. එතනදි එතන හිටිය වෛද්‍යවරයා ඇහැ හොදින් පරීක්ෂා කර එය කිනිතුල්ලෙක් නොවන බවත් ඇහැට ගිය කෘමියෙකුගේ ගැලවී ගිය පියාපතක් ඇහේ කලු ඉංගිරියාවට ඇලී එය මේ වන විට හාවී ඇති බවත් පවසා සිටියා. සියුම් සැත්කමකින් දැන් එය ඉවත් කර තියෙනවා.

මේක මම මේ තනි ඇහෙන් කෙටුවේ; තවත් කාට හරි මේ අත්දැකීම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන නිසා. විශේෂයෙන් බයික්වල යන අය ඇහැට ‘කොස්සෙක්’ ගියොත් බලාගෙන ෴


ජල බිල්පත් ඊමේල් මගින් ගෙන්වාගැනීමට …

(20.02.2023 – 07:25 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික පහසුව තකා ජල බිල්පත විද්‍යුත් තැපැල් (ඊමේල්) මාර්ගයෙන් ලබා ගැනීම සඳහා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් අවස්ථාව හිමිකර දී තිබෙනවා.

මණ්ඩලය සඳහන් කරන්නේ, තම ජල බිල්පතෙහි ගිණුම් අංකය හිස්තැනක් තබා සිය ඊමේල් ලිපිනය සඳහන් කර 071 939 9999 ට SMS පණිවිඩයක් යොමු කරන ලෙසයි.

ඉන් අනතුරුව පාරිභෝගික ඔබගේ ඊමේල් ගිණුමට ලැබෙන පණිවිඩයේ සඳහන් ‘Accept’ ක්ලික් කිරීම මගින් ඊ-බිල් සඳහා ලියාපදිංචි වී බිල්පත් ගෙවීමේ පහසුව ලබාගත හැකි බවත් ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරනවා.


දුරගමන් සේවා හා අධිවේගයේ මගී බස් රථවලට අනිවාර්යය නීතියක්

(20.02.2023 – 08:07 +0530 – hirunews.lk/sinhala)

හයිලෙවල් මාර්ගය ඔස්සේ ගමන් කරන සියලුම දුර ගමන් සේවා හා අධිවේගී මගී ප්‍රවාහන බස් රථ මාර්තු 01 වනදා සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මහාචාර්ය බන්දුල ගුණවර්ධන අදාළ පාර්ශ්ව වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ අනුව මේ වනවිට අවිධිමත් ලෙස කොට්ටාව නගරයේ විවිධ ස්ථානවලින් මගීන් බස් රථවලට නංවා ගැනීම වළක්වාලීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා ෴


සෞදියේ ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් පිරිසක් පිහිටක් බලාපොරොත්තුවෙන්

(20.02.2023 – 08:13 +0530 – hirunews.lk/sinhala)

රැකියා ලබා නොදී, පහර දී තමන් සිරකරගෙන සිටින බවත්, ඒ සඳහා මැදිහත් වී තමන් බේරාගන්නා ලෙසත් සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් අසරණ වී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් ඉල්ලීමක් කරනවා.

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් විදෙස් රැකියා නියෝජිත ආයතන තමන් මුලා කර ඇති බවයි සෞදි අරාබියේ සිට ‘හිරු ප්‍රවෘත්ති අංශය’ අමතමින් ඔවුන් සඳහන් කළේ ෴


අඟුලානේ දී තරුණයෙකු ඝාතනය කෙරේ

(20.02.2023 – 08:15 +0530 – hirunews.lk/sinhala)

තියුණු ආයුධවලින් පහර දී මොරටුව අගුලාන ප්‍රදේශයේ දී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.

ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් ඊයේ (19) මෙම පහරදීම සිදුව ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ‘සුදීර සම්පත්’ හෙවත් ‘උක්කුන්’ නමැති 26 හැවිරිදි පුද්ගලයෙක්.

පහර කෑමෙන් ඔහුගේ ඥාතියෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඔහු මේ වනවිට ලුණාව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඝාතනයට ලක්වූ තරුණයා අඟුලානේ පිහිටි සිය නිවස ඉදිරිපිට රැඳී සිටිය දී හතර (4) දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තියුණු ආයුධ රැගෙන පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


කැළණිය සරසවියේ අත්අඩංගුවට ගත් හිමිවරු ඇතුලු 6 දෙනා අද (20) අධිකරණයට

(20.02.2023 – 08:27 +0530 – hirunews.lk/sinhala)

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් එම සරසවියේ පිවිසුම් දොරටුව අසළින් ආරම්භ කර කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස පවත්වනු ලැබූ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලිසිය ඊයේ (19) රාත්‍රියේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළා.

පා ගමන අතරතුර නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීමේ වරදට භික්ෂූන් වහන්සේ සිව්නමක් (4) ඇතුලු හයදෙනෙකු (6) පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් අද (20) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ කහදූව, තුන්මෝදර, පිටබැද්දර සහ මිරිස්ස ප්‍රදේශවල විහාරස්ථානවල වැඩවාසය කරන අවුරුදු 23, 24, 25 සහ 26 යන වයස්වල පසුවන්නන්.

සිසුන් දෙදෙනා (2) අවුරුදු 23 ක් වන අගුරුවාතොට සහ කින්නියා ප්‍රදේශවල පදිංචිකරුවන්.

කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු අත්අඩංගුවට ගෙන සිටින සිසුන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පැවැත්වුණා.

සිසුන් සරසවිය ඉදිරිපිට මාර්ගය අවහිර වන ලෙස විරෝධතාවයේ යෙදී සිටියදියි මෙම ජල සහ කඳුළුගෑස් ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *