විදුලියේ වැඩිවීම නිසා ජල බිලත් වැඩිවේ

විදුලියේ වැඩිවීම නිසා ජල බිලත් වැඩිවේ


විදුලියේ වැඩිවීම නිසා ජල බිලත් වැඩිවේ

(19.02.2023 – 13:53 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ ජල බිලද ඉහළ දැමීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය පවසනවා.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියල් පද්මනාථ කියා සිටියේ.

එමෙන්ම විදුලි බිල ඉහළ යාමත් සමඟ ඉදිරියේදී කම්බි සහ පී.වී.සී. බටවල මිල ගණන් ද ඉහළ යනු ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසනවා.

කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් සුපුන් අබේසේකර කියා සිටියේ මේ වනවිටත් සිමෙන්ති මිල රුපියල් 200 කින් ඉහළගොස් ඇති බවයි.

මේ අතර විදුලිබිල ඉහළ දැමීම හේතුවෙන් ජල ගාස්තුවද ඉහළ දැමීමට සිදුවනු ඇති බව ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොන්ඩමන් පවසනවා.

මාතලේ නගර ශාලාවේ අද (19) පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ ෴


කිරින්ද පොලිස් ස්ථානාධිපතිගේ නිල රථයේ ගැටී යතුරුපැදිකරුවෙකු රෝහලේ

(19.02.2023 – 13:56 +0530 – hirunews.lk/sinhala)

කිරින්ද පොලිස් ස්ථානාධිපතිවරයා පැදවූ නිල රථය, යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු රෝහල්ගතකර තිබෙනවා.

ඊයේ (18) රාත්‍රි 09 ට පමණ අදාළ ජීප් රථය තවත් මෝටර් රථයක් පසුකර යාමට උත්සහ කළ අවස්ථාවේ යතුරුපැදියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා දෙබරවැවව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හම්බන්තොට මහරෝහල වෙත මාරුකර යවා තිබෙනවා. අනතුරෙන් යතුරුපැදිකරුගේ පාදයට බරපතළ තුවාල සිදු වී ඇති බව සඳහන්.

අනතුරෙන් පසු ජිප්රථය පැදවූ කිරින්ද පොලිස් ස්ථානාධිපතිවරයාද හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

+


බිංදුවෙනුත් පහළට වැටෙන ඉදිකිරීම් ක්ෂේත්‍රය

(19.02.2023 – 14:09 +0530 – hirunews.lk/sinhala)

විදුලි බිල වැඩි කිරීමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් නියැළෙන පිරිස දැඩි අර්බුදයකට පත් ව සිටින බව ජාතික ඉදිකිරීම් සංගමයේ ලේකම් සුපුන් අබේසේකර පවසනවා.

මෙම පසුබිම හමුවේ සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ඉහළ යාමේ අවදානමක් ඇති බවයි ඔහු සඳහන් කළේ.

කම්කරුවන්ට හෝ වෙළෙන්දන්ට බොර දියේ මාළු නොබා, සහනයක් කඩිනමින් සලසන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

+


බාධක මැද ලොවක් සිතුවමින් දිනන්ට යත්න දරන ‘අංජලී’

(19.02.2023 – 14:20 +0530 – hirunews.lk/sinhala)

සහජයෙන් උරුම වන දක්ෂතා ඔප්නංවා ගැනීමට, දිළිඳුකම ආදී කරුණු කිසිසේත් බාධාවක් වන්නේ නැහැ.

ඒ අතරම සමාජයේ යුතුකම වන්නේත් එවැනි දක්ෂතා ඇති අයට උදව් උපකාර කරමින් ඔවුන් තවදුරටත් දිරිමත් කිරීමයි.

එවන් දරුවෙකු පිළිබඳව මේ තොරුතුරු අපට වාර්තා වුණේ පොළොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයෙන්.

මේ පොළොන්නරුව, වැලිකන්ද, කාලිංගවිල ගම්මානයේ පදිංචි ‘කේ.ජී. කාව්‍යා අංජලී’.

නගරයේ ළමුන්ට ඇති බොහෝ පහසුකම් නොමැති වුවත් අංජලී සතු චිත්‍ර ඇඳීමේ නිසඟ හැකියාවට ඉන් විශාල බාධාවක් එල්ල වී නැහැ.

වන අලි ගැටලුවෙන්ද පීඩා විඳින ගම්මානයක පදිංචි මේ පවුලේ ප්‍රධාන ආදායම වන්නේ අංජලීගේ පියා එදිනෙදා නිරත වන වැඩකින් ලැබෙන කුළිය පමණයි.

වැලිකන්ද අසේලපුර විද්‍යාලයෙන් මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අංජලී, පාඩම් වැඩවලට අමතරව චිත්‍ර ඇඳීම සඳහා වේලාවක් වෙන් කිරීමටත් අමතක කරන්නේ නැහැ.

බාධක රැසක් මැද අංජලී සිය පිංසලින් පන පෙවූ නිර්මාණ කිහිපයක් අපට පෙන්වූවා.

සිය හැකියාව දේශීයව මෙන්ම විදේශීයවද ඇගයීමට ලක්වීම පිළිබඳව මැය තුළ ඇත්තේ අහිංසක ආඩම්බරයක්.

චිත්‍ර ඇඳීමට අමතරව නිවස ආසන්නයට පැමිණෙන වන අලින් එළවා දැමීමේ කාර්යභාරය පැවරී ඇත්තේද අංජලීටයි.

කෙතරම් අඩු පාඩු පැවතියත් එය තම හැකියාවට බාධාවක් කර නොගෙන සිත්තම් කලාව තුලින් ලොව ජය ගන්නට වෙරදරන කාව්‍යා අංජලී මුළු සමාජයටම ලබා දෙන්නේ මහඟු ආදර්ශයක් නොවේද ?

+


වීරකැටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

(19.02.2023 – 14:29 +0530 – hirunews.lk/sinhala)

වීරකැටිය – ගුරුගොඩැල්ල, හකුරුවෙල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

අද (19) පෙරවරු 10 ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු සිය පුත්‍රයා සමඟ නිවස ඉදිරිපිට තණකොළ කපමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු (2) මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


මගීන්ගේ ජංගම දුරකථන සොරාගත් තැනැන්තෙකු අත්අඩංගුවට

(19.02.2023 – 15:24 +0530 – hirunews.lk/sinhala)

රාගම දුම්රිය ස්ථානයේ දුම්රිය මගීන්ගේ ජංගම දුරකථන සොරකම්කළ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ 36 හැවිරිදි රාගම, දඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු සතුව තිබී ජංගම දුරකථන 10 ක් ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

රාගම දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන්ගේ ජංගම දුරකථන සොරාගන්නා බවට පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි විමර්ශන සිදුකරනු ලැබුවේ.

මොහු සොරාගන්නා ලද ජංගම දුරකථන පසුව මාලිගාවත්ත ප්‍රදේශයේ වෙළඳසැල්වලට රැගෙනගොස් අලෙවිකර ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා ෴


දරු දෙදෙනා (2) ළිඳට තල්ලුකර මවත් දිවි නගහන්න හදලා

(19.02.2023 – 16:15 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – කුරුවිට, කරපිංචාවත්ත ප්‍රදේශයේ මවක් සිය දරුවන් දෙදෙනා (2) ළිඳට තල්ලුකර ඇය ද සියදිවි හානිකර ගැනීමට තැත්කර ඇති බව පොලිසිය පවසනවා.

ළිඳට දැමූ දරුවන් දෙදෙනා (2) ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඔවුන් අවුරුදු හතහාමාර (7½) සහ එකහාමාර (1½) වයස්වල පිරිමි දරුවන්.

39 හැවිරිදි මව මේ වන විට රත්තනපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඇය කිසියම් ඖෂධයක් අධි මාත්‍රාවෙන් පානයකර සියදිවි නසාගැනීමට උත්සහකර ඇති බවටයි වාර්තා වන්නේ.

දරුවන්ගේ පියා සමඟ ඇතිකර ආරවුලක් මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුවන්නට ඇති බවට සැක පළකරනවා ෴


හග්ගල දී ඩීසල් බවුසරයක් පෙරළෙයි – ප්‍රදේශවාසීන් ඉන්ධන ලහි ලහියේ ඩීසල් රැස් කරලා

(19.02.2023 – 16:27 +0530 – hirunews.lk/sinhala)

ඩිසල් ප්‍රවාහනය කළ බවුසර් රථයක් නුවරඑලිය හග්ගල ප්‍රදේශයේ දි මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වෙයි; බවුසර් රථයේ ඉන්ධන කාන්දුවක්.

නුවරඑලිය සිට කැප්පටිපොල සහ වැලිමඩ දක්වා ඩිසල් ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථයක් නුවරඑලිය හග්ගල මහ වංගුව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්ව තිබෙනවා.

ඒ හේතුවෙන් බවුසර්යේ රියදුරා සහ රිය සහයකයා තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මේ අතර පෙරලුණු බවුසර් රථයේ ප්‍රවාහනය කළ ඉන්ධන කාන්දු වී තිබෙන බව නුවරඑලිය පොලිසිය පවසනවා.

කොලොන්නාවේ සිට නුවරඑලිය දක්වා ඩිසල් ඉන්ධන ප්‍රවාහනය කළ අදාල බවුසරය නුවරඑලිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නිකුත් කිරිමෙන් අනතුරුව කැප්පටිපොල සහ වැලිමඩ යන ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නිකුත් කිරිම සඳහා යමින් සිටි අවස්ථාවේ දීයි අදාල අනතුර සිදුව ඇත්තේ.

ඊයේ (18) රාත්‍රී 12 ට පමණ අධික බැවුමක් සහ වංගුවක් සහිත ‘මහ වංගුව’ ප්‍රදේශයේ දී මෙම බවුසර් රථය රියදුරු පාලනයෙන් මිදි මිටර් 20 ක් පමණ ප්‍රපාතකට පෙරළී තිබෙනවා.

ඒ හේතුවෙන් බෑවුම කෙලවර පිහිටි පිහිටි වගා භුමියකට ද හානි වී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සිදු වන අවස්ථාවේ බවුසර්යේ ඩිසල් ලිටර් 13,000 පමණ තිබූ බවත්, බවුසර් රථයෙන් ඉන්ධන කාන්දු වූ බවත්, කාන්දු වූ ඉන්ධන ප්‍රදේශවාසින් බූලි සහ කෑන්වලට රැස් කර රැගෙන ගොස් ඇති බවත්, තවත් ඉන්ධන තොගයක් පරිසරයට කාන්දු වි ඇති බවත් නුවරඑළිය පොලිසිය පවසනවා.

+

+


16-02-2023

+


19-02-2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *