අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්

(17.02.2023 – 21:59 +0530 – hirunews.lk/sinhala)

2022(2023) අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම 2023 පෙබරවාරි පළමු වන දින සිට 2023 පෙබරවාරි 28 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් මේ වන විටත් සිදු කරමින් පවතිනවා.

2023 පෙබරවාරි 28 වන දින මධ්‍යම රාත්‍රී 12 න් පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ හැකි වන්නේ නැහැ.

එදින මධ්‍යම රාත්‍රි දොළහෙන් (12) පසුව මාර්ගගත ප්‍රවේශය වසා තබනු ලබන අතර කිසිඳු හේතුවක් මත අයදුම් පත් බාර ගැනීමේ දිනය වෙනස් කිරීමක් සිදු නොකරන බව අවධාරණය කර සිටිනවා.

එබැවින් අවසාන දිනට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්යය වනවා.

+ https://www.doenets.lk/

+


රුපියල් කෝටි පහක (5) හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(17.02.2023 – 22:10 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි පහකට (5,00,00,000) ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 500 ක් සහ ජංගම දුරකථන දෙකක් (2) සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් කඳාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත් කුඩු ඉතා සූක්ෂම ලෙස කිරිපිටි පැකට් තුළ අසුරා බෙදා හැර ඇති බවයි අණාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපාරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ඩුබායි ජුඩ්’ යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන පුද්ගලයෙකු බවටද අණාවරණය වී තිබෙනවා ෴


මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(17.02.2023 – 22:48 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් 30 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයෙකු බවයි පොලිසිය පැවුසවේ.

මිනුවන්ගොඩ, බොරගොඩවත්ත, රුවන් මාවත මංසන්ධියේදී මෙම වැඩි තැබීම සිදුකර තිබුණේ ඊයේ (16) රාත්‍රී කාලයේදීයි.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා ආඬිඅම්බලම, පීල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ‘ප්‍රභාත් ප්‍රියංකර’ හෙවත් ‘චන්දු’ නමැති 30 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

ඔහු යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අවස්ථාවේදී මාර්ගය අයිනේ සැඟව සිටි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මේ අතර ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව ජා ඇළ ප්‍රදේශයේ මාර්ගයක ගමන් කළ කාන්තාවක් නවත්වා පරික්ෂා කළ පොලිස් නිලධාරියෙකුට ඇය විසින් පහරදීමේ පුවතක් වාර්තා වනවා.

අදාළ කාන්තාව යතුරු පැදිය දමා එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර ඇයගේ ලිපියනය සොයා නිවස වෙත ගිය පොලිස් නිලධාරීන්ට නිවැසියන් ප්‍රකාශ කර ඇත්තේ ඇය කිසියම් මානසික ආබාධයකින් පෙළෙන බවයි.

මේ අතර පස්යාල නගරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු (2) විසින් ත්‍රිරෝද රථ රියදුරෙකුට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

පහරකෑමට ලක් වූ ත්‍රිරෝද රථ රියදුරාට රථය නවතන ලෙස පොලිසිය දැනුම් දුන්නත් එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය මෙලෙස කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ ෴


ඊයේ (16) අමරිකාවේ රහස් කණ්ඩායමක් ඇවිත් ගිහින් – ජනපති රාජ්‍ය ද්‍රෝහියෙක්?? – වාසුගෙන් සැර කතාවක් (17.02.2023)

+


අම්පිටියේ සුමනරතන හිමියන් ආරක්ෂාව ඉල්ලයි

(17.02.2023 – 22:27 +0530 – hirunews.lk/sinhala)

තමන්වහන්සේ ඉලක්ක කර පසුගිය දිනක එල්ලවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්වහන්සේ කම්පනයට පත්වී සිටින බව පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පවසයි.

එසේම නැගෙනහිර විහාරස්ථාන සඳහා සැපයෙන ආරක්ෂාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් තමන් වහන්සේට හැකි ඉක්මනින් ආරක්ෂාවක් සපයා දෙන ලෙසට ද උන්වහන්සේ බලධාරින්ගෙන් ඉල්ලා සිටී.

මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්, අම්පාර මංගලගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ කුටියක සැතපී සිටියදී පසුගිය දිනක රාත්‍රියේ එම කුටිය ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුවිය.

වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණේ එම කුටියේ ජනේලයකටය.

තම විහාරස්ථානයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදුනොවන බව අම්පිටියේ සුමනරතන හිමි පවසති.

උන්වහන්සේ පවසන්නේ, වෙඩිතැබූ පුද්ගලයා සෙවීමට පොලීසිය පියවර ගත යුතු බවය.

තමන්ට පොලිස් ආරක්ෂාවක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මේ වන තෙක් එම ඉල්ලීම ඉටුකර නොමැති බව අම්පිටියේ සුමනරතන හිමි වැඩිදුරටත් සඳහන් කළහ ෴


කොච්චර දැඟලුවත් ඡන්දයක් නෑ ඡන්දයක් නෑ ! – මම සති දෙකකට කලින් කිව්වනේ ඡන්දයක් නෑ කියලා (17.02.2023)

+


සූර්ය පැනල සහිත පෙට්ටියක් ඇඟට වැටී පුද්ගලයෙක් මරුට

(17.02.2023 – 20:50 +0530 – sinhala.adaderana.lk)

සූර්ය බලය ලබාගැනීම සඳහා භාවිත කරන සූර්ය පැනල සහිත අධික බරින් යුත් පෙට්ටියකට යටවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අද (17) සවස මෙම අනතුර සිදුවී තිබුණේ පානදුර මොරවින්න කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවකදීය.

කර්මාන්ත ශාලාවකට සවිකිරීම සඳහා කන්ටේනර් රථයකින් මෙලෙස සූර්ය පැනල් සහිත පෙට්ටි තොගයක් රැගෙනවිත් තිබෙන අතර ඒවා ඉන් පිටතට ගැනීමේදී පෙරළීයෑමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ එම කර්මාන්ත ශාලාවේ සේවය කළ පුද්ගලයෙකි.

පොලීසිය සඳහන් කළේ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය.

මෙසේ මියගොස් ඇත්තේ මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි රොෂාන් නමැති දෙදරු පියෙකි ෴


අපේක්ෂකයන් 80,000කගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමට දායක වන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට නිදහස් ජනතා සන්ධානයෙන් ලිපියක්

(17.02.2023 – 20:45 +0530 – lankaleadnews.com)

මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රමාණවත් පරිදි මුදල් නිකුත් නොකිරීම නිසා පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතවීම සම්බන්ධයෙන් ලේකම්වරයා ද ඝෘජුව වගකිවයුතු බවත්, එම වරද වහාම නිවැරදි කිරීමට කටයුතු නොකළොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ‘නිදහස් ජනතා සන්ධානය’ ඔහු වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබේ.

මෙම තත්ත්වය මත පළාත් පාලන මැතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කරමින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 80,000 කගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට ලේකම්වරයාද සෘජුවම සම්බන්ධ වී ඇති බවත්, ඔහුට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ පෙනී සිටීමට පියවර ගන්නා බවත් නිදහස් ජනතා සන්ධානය මගින් යොමුකළ එම ලිපියේ සදහන් වේ.

අදාළ ලිපිය පහළින් :


තැපැල් ඡන්දෙ කල්ගියේ මෙහෙමයි – රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ

(17.02.2023 – 17:31 +0530 – sinhala.adaderana.lk)

තැපැල් ඡන්දය සලකුණු කිරීම කල්දැමීමට සිදුවීමේ චෝදනාව තමන් වෙත එල්ල වුවද තමන් ඊට වගකිවයුතු නැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

අද (17) පැවති මාධ්‍ය හමුවකදී ඊට හේතු දක්වමින් ඇය සඳහන් කළේ නීතිය ඉදිරියේ කරුණු දැක්වීමට අවශ්‍ය නම් ඊට තමන් සූදානම් බවය.

“කිසිම වැඩකදී අපිට මේ වගේ චෝදනා එල්ලවෙලා නැහැ. අපි වැඩ කලේ නැහැ කියලා කතාවක් කිසි දවසක අහලා නැහැ. දැනුත් අපි වැඩ කරලා තියෙද්දි… තමයි මේ කතාව කිව්වේ… අපි කරලා.. එයා ඇහුවේ නැහැ.”

“පටන් ගැනීමේ සිට මිලියන 200 ක් ඉල්ලුවාම ලැබුණේ මිලියන 40 යි.”

“මැතිවරණ කොමිසමෙන් ඡන්ද පත්‍රිකාව අපේ ආයතනයට ගෙනාපු දවසේ ඉඳන් වැඩේ ඉවර වෙනකම් දවස් 28 ක් 30 ක් හෝ 40 ක් වෙන්නත් පුළුවන්.. ඒ අවසන් වෙනකම්ම පොලීසිය මෙහෙ රැඳී සිටිනවා.”

“මුළු ප්‍රෙස් එක පුරාම පොලිස් පොයින්ට් 25 ක් වගේ තියෙනවා. පළවෙනි ලියුමෙන්ම කියලා තියෙනවා පොලිස් ආරක්ෂාව දෙන්න කියලා. හැබැයි ඒ අය මට කවදාවත් කියලා නැහැ පොලිස් ආරක්ෂාව දෙන්න බැහැ කියලා. ආවේ නැති එකයි ප්‍රශ්නය. තාම ඉන්නේ හැමදාම ඉන්න දෙන්නා විතරයි.”

“තැපැල් ඡන්දය සලකුණු කිරීම කල්දැමීමේ චෝදනාව අපිට එල්ලවෙලා නම් මට දෙන්න තියෙන උත්තර තමයි අපිට පොලිස් ආරක්ෂාව තිබුණා නම් අපි නියමිත දිනයට ඡන්ද පත්‍රිකා ටික මුද්‍රණය කරලා දෙනවා.”

“මුදල් චක්‍රලේඛය ගැනත් මම උපදෙස් ඉල්ලලා තිබුණා. ඒ උත්තරය දුන්නේ ඊයේ පෙරේදා. ඒකේ කියනවා අත්තිකාරමක් දෙන්නේ නැහැ කියලා. හැබැයි හැමදාම අපි කරන වැඩේ වටිනාකමින් භාගයක් අත්තිකාරමක් හැටියට දෙනවා. මේ සැරේ අපිට හම්බුණේ මිලියන 40 යි.”

“දැන් දිස්ත්‍රික්ක 17 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා තියෙනවා. මුද්‍රණය කරපු ඔක්කොම අපිට නැවත පරීක්ෂාවකට ලක්කරන්න වෙනවා.”

“අපිට දැන් තිබෙන තත්ත්වය යටතේ තවත් දින 05 ක් වගේ ඇතුළත ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා අවසන් කරන්න පුළුවන් වෙයි. මැතිවරණ කොමිසම මගෙන් ඇහුවේ නැහැ. මට ලියුමක් එවලා තිබ්බා 17 දෙනවද කියලා. ඒකට උත්තරය මගෙන් ඇහුවේ නැහැ.”

“මට පේන්නේ මාව හිර කරන්න හදන්නේ. මම සූදානම් නීතිය හමුවේ කරුණු දක්වන්න. මැතිවරණ කොමිසම මේ වැඩේ දීපු දවසේ ඉඳලා අපිට ලැබුණු ප්‍රතිචාරය අනුව තමයි මේ දේ වුණේ කියලා මට පෙන්වන්න පුළුවන්. දැන් පොලිස් ආරක්ෂාව නැතුව අපිට ඉතුරු ටික කරන්න බැහැනේ.”

+


ජීවත්වීමට වැටුප මදිවී ත්‍රිවිල් සොරකම් කළ කොස්තාපල්

(17.02.2023 – 15:23 +0530 – hirunews.lk/sinhala)

පැහැරගත් ත්‍රිරෝද රථයක් කොටස්කර විකිණීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මෙම ත්‍රිරෝද රථය කොටස් කර විකිණීම සඳහා පයාගල ප්‍රදේශයට ගෙනැවිත් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්ත රියදුරෙකු ලෙස සේවය කරන අයෙක් බව අනාවරණය වී තිබුණි.

සැකකරු රැගෙන ආ ත්‍රිරෝද රථය පරික්ෂා කිරීමේදී ඔහු ඉදිරිපත් කළ ලිපි ලේඛන වලට ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය සමාන වී තිබුණි.

නමුත් එහි චැසි අංක සහ එන්ජින් අංක එම ලිපි ලේඛන සමග තවදුරටත් සැසදීමේදී එම තොරතුරු නොගැලපී ඇති අතර එය බණ්ඩාරවෙල ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් ත්‍රිරෝද රථයක් බවට අනාවරණය වී ඇත.

සැකකරු මෙම ත්‍රිරෝද රථයට සවිකර ඇත්තේ ඔහුට අයත් ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය බවත් රැගෙන ආ ලිපි ලේඛන ද එම රථයේ ම ලිපි ලේඛන බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ අදාළ එම පුද්ගලයාගෙන් ඒ පිළිබඳ විමසීමේ දී ඔහු පවසා ඇත්තේ ඔහුට අයත් මෙම ත්‍රිරෝද රථය වසරකට පෙරදී වාහන අත්පත් කරගන්නා පුද්ගලයන් යැයි පැවසූ පිරිසක් පැහැරගෙන ගිය බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ ලබාගන්නා වැටුප ණය ගෙවීම සඳහා වැය වූ පසු රුපියල් 5,000 ක් පමණක් ඉතිරි වන බැවින් මිතුරන් පිරිසක් සමග එකතුව සොරකම් කිරීම සඳහා යොමුවූ බවය.

පයාගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


CCTV කැමරාවේ පටිගත වූ QR ෆෝන් හොරු

(17.02.2023 – 12:20 +0530 – sinhala.adaderana.lk)

ඉන්ධන පිරවුම්හල්වල QR කේත පරීක්ෂා කිරීම සඳහා යොදාගන්නා ස්මාට් ජංගම දුරකථන සොරකම් කළ දෙදෙනෙකු (2) තලංගම පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකදී අත්අඩංගුවට තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 සහ 25 යන වයස්වල පසුවන හෝමාගම සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි (2).

සැකකරුවන් ප්‍රථමයෙන් යතුරුපැදියකින් පැමිණ බත්තරමුල්ලේ පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ජංගම දුරකතනයක් සොරකම් කර පලාගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව තලංගම පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

පසුගිය ජනවාරි මස 25 වනදා සිට සැකකරුවන් මහරගම, පිළියන්දල, කොට්ටාව සහ රාජගිරිය ඇතුළු පොලිස් වසම් 8 ක ඉන්ධන පිරවුම්හල් 12 කින් ජංගම දුරකථන 12 ක් සොරකම් කර පළාගොස් ඇති බව විමර්ශනයන් හිදී අනාවරණය වී තිබේ.

එම සැකකරුවන් තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත් විවිධ යතුරුපැදි යොදාගනිමින් මෙම සොරකම සිදුකර ඇති බවත් අනාවරණය වී ඇති අතර ඔවුන් අද (17) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරුවන් එම සොරකම්වල නිරත වූ අයුරු ඉන්ධන පිරවුම්හලක සවිකර තිබූ CCTV කැමරාවක පටිගතව තිබුණි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *