ගම්පොළ ඒ.ටී.එම්. යන්ත්‍ර මංකොල්ලය පිළිබඳ තවත් තොරතුරු එළියට

ගම්පොළ ඒ.ටී.එම්. යන්ත්‍ර මංකොල්ලය පිළිබඳ තවත් තොරතුරු එළියට


ගම්පොළ ඒ.ටී.එම්. යන්ත්‍ර මංකොල්ලය පිළිබඳ තවත් තොරතුරු එළියට

(16.02.2023 – 07:37 +0530 – hirunews.lk/sinhala)

ගම්පොළ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රය ගලවාගෙන යෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් (07) දෙනාගෙන් 04 දෙනෙකුම එකම පවුලේ සාමාජිකයන් බවත්, ඉන් දෙදෙනෙකු (02) නිවුන් සොහොයුරන් බවටද අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් (07) දෙනාගෙන් හය (06) දෙනෙකු පැය 48 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබාදුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඉන් එක් (01) සැකකරුවෙකු ඇපමත මුදා හැරීමට ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) නියෝග කර තිබෙනවා.

මේ අතර, බැංකුවෙන් කොල්ලකන ලද ඒ.ටී.එම්. යන්ත්‍රය සහ එහි කොටස් ගලහ – හල්වත්ත ප්‍රදේශයේ අඩි 200 ක පමණ ප්‍රපාතයකට දමා තිබියදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

කොල්ලකන ලද රුපියල් 1,870,000 ක්, කොල්ල කන ලද මුදල්වලින් මිලදී ගත් බවට සැක කෙරෙන වෑන් රථයක්, යතුරුපැදියක්, රන්මාල දෙකක් (2), රෙදි සෝදන යන්ත්‍ර දෙකක් (2), ජංගම දුරකතනයක් සහ රන් මුදුවක් සොයාගෙන තිබෙනවා.

දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ මොවුන් 2020 වසරේ දෙසැම්බර් 06 වනදා ගලහ ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක් කොල්ල කා එහි තිබූ සේප්පුව රැගෙන යෑමට උත්සාහ දරා ඇති බවයි.

එහෙත් එය ව්‍යර්ථ වී ඇති බැවින් එම මූල්‍ය ආයතනයේ තිබූ වෙනත් උපකරණ කිහිපයක් සොරාගෙන ගොස් තිබෙනවා.

එමෙන්ම, මොවුන් විසින්ම ස්වර්ණාභරණ මධ්‍යස්ථාන දෙකක් (2) ද කොල්ල කා ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ෴

++++++++

ATM යන්ත්‍රය ගලවාගෙන ගිය කල්ලියේ එකම පවුලේ සහෝදරයින් 4 දෙනෙක්

(15.02.2023 – 17:19 +0530 – sinhala.adaderana.lk)

ගම්පොළ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් සමග ATM යන්ත්‍රයක් ගලවාගෙන ගිය සැකකරුවන් 7 දෙනා අතර සිව් (4)දෙනෙකු එකම පවුලේ සහෝදරයින් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ඔවුන් අතරින් දෙදෙනෙක් (2) නිවුන් සහෝදරයින් බවය.

ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

ගම්පොළ ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙක් (2), ගලහ ප්‍රදේශයේදී සැකකරුවන් තිදෙනෙක් (3) සහ පුත්තලම ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙක් (2) එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් 6 දෙනෙක් ඝෘජුව මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන අතර සැක පිට අනෙක් (1) සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සියලුදෙනා වයස අවුරුදු 24 ත් 40 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් ය.

සැකකරුවන් කුලී වෑන් රථයක් රැගෙන ගම්පොළ ප්‍රදේශයට පැමිණ පෞද්ගලික බැංකුවකින් මෙම ATM යන්ත්‍රය ගලවාගෙන ගොස් තිබුණි.

රුපියල් 76 ලක්ෂයකට ආසන්න මුදලක් සැකකරුවන් අදාළ ATM යන්ත්‍රය තුළ තිබී ලබාගෙන ඇති අතර පසුව ATM යන්ත්‍රය ප්‍රපාතයකට විසිකර තිබේ.

පොලීසිය විසින් අදාළ ATM යන්ත්‍රය ද සොයාගෙන ඇති අතර සැකකරුවන් සතුව තිබූ පිස්තෝල ගිනිඅවියක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඉකුත් වසරේ මැයි 09 වනදා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතාගේ නිවසට ගිනිතබන ලද අවස්ථාවේදී නිවස තුළ තිබී පැහැරගත් ගිනිඅවිය සහ ඊට අදාළ උණ්ඩ 10 ක් එලෙස සැකකරුවන් සන්තකයේ තිබූ බවය.

කොල්ලකන ලද මුදල්වලින් රුපියල් 18,70,000 ක මුදලක් සැකකරුවන් සතුව තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.

එම මුදල්වලින් රුපියල් 13,50,000 ක් වියදම් කර සැකකරුවන් වෑන් රථයක් ලබාගෙන ඇති අතර එයද මේ වනවිට පොලීසිය විසින් සොයාගෙන තිබේ. තවද රුපියල් ලක්ෂ 02 ක් වියදම් කර යතුරුපැදියක් ද මිලදී ගෙන ඇති අතර එයද පොලීසිය භාරයේ පවතී.

මෙම මුදල්වලින් මිලදී ගත් රුපියල් 190,000 ක් පමණ වටිනා රන් මාලයක්, රුපියල් 150,000 ක් පමණ වටිනා තවත් රන් මාලයක්, රුපියල් 114,000 ක් පමණ වටින රෙදි සෝදන යන්ත්‍රයක්, රුපියල් 60,000 ක් පමණ වටින තවත් රෙදි සෝදන යන්ත්‍රයක්, රුපියල් 260,000 ක වටිනාකමකින් යුත් ජංගම දුරකතක 3 ක්, රුපියල් 33,000 ක් වටිනා රන් මුදුවක් සහ ගෑස් ළිපක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

ඊට අමතරව තවත් භාණ්ඩ රාශියක් සොයාගැනීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරුවන් විසින් මුදල් පියවීම් සහ බැංකුගත කිරීම් රාශියක් සිදුකර ඇති බවද පොලීසිය පවසයි.

මෙම සැකකරුවන් මීට පෙරත් ගම්පොළ ප්‍රදේශයේ බැංකුවකට ඇතුළුවී එහි සේප්පුවක් කඩා මුදල් කොල්ලකෑමේ සිද්ධියක් වාර්තාවී ඇති බවත්, තවත් රන් භාණ්ඩ වෙළෙඳසැල් දෙකක (2) රන් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් ද අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතය.

+++++++

(16.02.2023 – 00:02 +0530 – lankacnews.com)

පසුගියදා ගම්පොළ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ඒටීඑම් යන්ත්‍රයක් ගලවා ගෙන ගිය, අත්අඩංගුවේ පසුවන සැකකරුවන් 4 දෙනෙකු මෙරට ප්‍රබල වාමාංශික පක්ෂයක ප්‍රබල ක්‍රියාකාරිකයන් ලෙස කටයුතු කළ අයද බවද පොලිසිය කියා සිටී ෴

+


ජ’පුර සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

(16.02.2023 – 07:35 +0530 – hirunews.lk/sinhala)

‘ආදරවන්තයින්ගේ දිනය’ වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති සාදයක් අතරතුර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

විශ්වවිද්‍යාලයේ ගැටුමක් ඇතිවන බවට මිරිහාන පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුවයි නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (15) අලුයම එම ස්ථානයට පැමිණ ඇත්තේ.

එහිදී සිසුන් අතර ඇති වූ ගැටුම සමථයකට පත්කර ඔවුන් නේවාසිකාගාර වෙත යොමුකර තිබෙනවා.

පසුව යළිත් වරක් ඔවුන් නේවාසිකාගාරය තුළින් පිටතට පැමිණ ශාස්ත්‍ර පීඨය ඉදිරිපිට දී යකඩ පොළු හා මුගුරු රැගෙන ගැටුමක් ඇතිකරගෙන තිබූ අතර, එහි දී එක් සිසුවෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

තවත් සිසුන් කිහිප දෙනෙකු ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා අංශයේ සිසුන් පිරිසක් සහ කළමනාකරණ අංශයේ සිසුන් පිරිසක් අතරයි මෙම ගැටුම හටගෙන ඇත්තේ.

ගැටුමෙන් ශාස්ත්‍ර පීඨයේ ගේට්ටුවට සහ ගොඩනැගිල්ලක වීදුරු කිහිපයකට අලාභ හානි සිදුව තිබෙනවා.

මේ අතර සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 9 දෙනෙකු තුවා ලබා තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ නේවාසිකාගාරය තුළ රැදී සිටින සිසුන් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගැටුමට මුල්වූ සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව සමනල වැව පොලිසිය ප්‍රකාශ කළා ෴

++++++

+


පයාගල කතුන්ට භීතියක් වූ පොඩ්ඩා – කරන්ට් කපනකම් ඉදලා රෑ මැද්දේ ගෙට පනිනවා (15.02.2023)

+


විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාවට PUCSL අනුමැතිය

(16.02.2023 – 09:02 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු ඉහළ නැංවීමට අදාළ මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය මේ වන විට ලංකා විදුලිබල මණ්ඩය වෙත ලැබී ඇති බව එහි සභාපති නලින්ද ඉලංගකෝන් පවසනවා.

‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමක දී ඔහු කියා සිටියේ ගාස්තු සංශෝධනයට ආදළ ප්‍රතිශතයන් අද (16) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බවයි.

ඒ අනුව තවදුරටත් විදුලි කප්පාදුවක් සිදු කරනවාද නැද්ද යන්න තීරණය ද අද (16) දිනයේ ප්‍රකාශට පත් කිරීමට නියමිතයි.

+++++++

මහජන උපයෝගීතා කොමිසමේ බහුතර සාමාජිකයින් ලබාදුන් අනුමැතියට යටත්ව, විදුලි ගාස්තු සියයට 66 කින් අද (16) සිට ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

එම අමාත්‍යාංශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ගාස්තු ඉහළ දැමීමත් සමග මේ දක්වා ක්‍රියාත්මක කළ විදුලි කප්පාදුව අද (16) සිට අවසන් කරන බවයි.

ඒ අනුව, ඒකක බින්දුවේ (0) සිට 30 දක්වා අය කෙරෙන ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 60 දක්වා මෙම ගාස්තුව 550 දක්වාත්, ඒකක 61 සිට 90 දක්වා ස්ථාවර ගාස්තුව 650 දක්වා ඉහළ යනු ඇති.

ඒකක 91 සිට 120 දක්වා වූ ස්ථාවර ගාස්තුව සහ ඒකක 121 සිට 181 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 1500 දක්වාත්, ඉහළ යන අතර, ඒකක 180 ට වැඩි ස්ථාවර ගාස්තුව නව සංශෝධනයට අනුව රුපියල් 2000 ක්.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අඩු ආදායම්ලාභී සහ අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන පිරිස් සඳහා ඉදිරියේදී සහන ලබාදීමට අපේක්ෂා කරන බවයි.

එසේම, ආගමික සහ රජයේ අධ්‍යාපන ආයතනය සඳහා සූර්ය පැනල ලබාදීමට කටයුතු කරන බව ඔහු කියා සිටියා.

++++++++

අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය විදුලි පරිභෝජන ගාස්තු මිල ඉහළ නංවා තිබෙනවා.

විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (16) පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කරනු ලැබුවා.

මිළ ඉහළ දමනුයේ ජනතාවට අඛණ්ඩව විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යාමට බවත් ඔහු සඳහන් කළා.

ඒ අනුව නව විදුලි බිල් ගාස්තුව වැඩි වන ආකාරය දෙගුණයකටත් (2) ඉහළ බවයි හිරු ප්‍රවෘත්ති සිදුකළ ගණනයේ දී පෙනී ගියේ.

සාමාන්‍ය නිවසක පරිභෝජනය කරන විදුලි ඒකක ගණන 30 ක් නම් පැවති ගාස්තුව මෙන් තුන් (3) ගුණයකටත් වඩා වැඩි මුදලකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව නව විදුලි බිල් ගාස්තුව ඒකක 30 ක් පරිභෝජනය කරන්නේ නම්, රුපියල් 1300 කින් ඉහළ යනු ඇති.

ඒ පැවති ගාස්තුව වූ රුපියල් 360 ද ඉක්මවමින්. මෙය 261% ක ප්‍රතිශතාත්මක වැඩිවීමක්.

ඒකක ගණන 60 ක් නම් පැවති විදුලි බිල් ගාස්තුව රුපියල් 780 සිට රුපියල් 2560 තෙක් ඉහළ ගොස් තිබෙනවා. මෙය ප්‍රතිශතාත්මකව ගණනය කළහොත් 228%කින් විදුලි බිල වැඩිවීමක්.

ඒකක 90 ක් වූ විදුලි පරිභෝජනයේ නව ගාස්තුව වන්නේ රුපියල් 3920 ක් වන අතර ඒකක 120 ක් නම් එය රුපියල් 6270 ක් දක්වා ඉහළ යනු ඇති.

++++++

ගල් අඟුරු ගන්නේ රුපියල්වලින් ද ? – ඇමතිගෙන් ‘ව්‍යවසායක සංසදය’ ප්‍රශ්න කරයි

(16.02.2023 – 20:18 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු ඉහල දැමීමෙන් පසු අඛණ්ඩව විදුලිය ලබාදිමට හැකිවන්නේ ගල් අගුරු සහ ඉන්ධන රුපියල්වලින් මිල දී ගන්නා නිසාදැයි ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගෙන් ප්‍රශ්න කරනවා.

එම සංසදයේ සභාපතිනි ටානියා එස් අබේසුන්දර මේ බව කියා සිටියේ කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

විදුලි බල මණ්ඩල එකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල්ද කොළඹ දි අද (16) මාධ්‍ය හමුවක් කැදවමින් සඳහන් කළේ බදු සංශෝධන හමුවේ අපහසුතාවට පත්ව ඇති ජනතාව විදුලි ගාස්තු ඉහළ නැංවීම නිසා තවදුරටත් පීඩාවට පත්වන බවයි.

මේ අතර, විදුලිබිල ඉහළ දැමීමත් සමඟ ආහාර ද්‍රව්‍ය, ඉදිකිරීම්, සන්නිවේදන සේවා, කර්මාන්ත හා නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර රැසක සැපයෙන සේවා මිලගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කෙටි ආහාර සහ ප්ලේන්ටි, කිරි තේ හැර ආපනශාලා මගින් අලෙවිකෙරෙන බත්, රයිස් සහ කොත්තු මිල සියයට 10 කින් ඉහළ දමන බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ.

කෙසේ වෙතත් බේකරි නිෂ්පාදන මිල සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

පාසල් දරුවන් භාවිත කරන ලිපිද්‍රව්‍ය මෙන්ම ඡායා පිටපත්, ප්‍රින්ට් අවුට් ඇතුළු සේවා මිලගණන්ද ඉහළ දමන බව ද සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා අද (16) පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළා.

එමෙන්ම විදුලිබිල ඉහළ යාමෙන් විවිධ කර්මාන්ත පිරිවැයද තවදුරටත් ඉහළ යන බැවින් ‘ලන්ච් ෂිට්’ ඇතුළු දේශිය නිෂ්පාදනයන් හි මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිලුක්ෂ කුමාර කියා සිටියා.

දැනටත් අර්බුදයට ලක්ව ඇති ඉදිකිරීම් ක්ෂේත්‍රය විදුලි බිල ඉහල යාමත් සමග තවදුරටත් බලපෑමට ලක්වන බව ඉදිකිරීම් සේවක සංගමයේ සභාපති සුපුන් අබේසේකර ප්‍රකාශ කළා.

ගාස්තු ඉහළ දැමීමත් සමග පරිභෝජනය අවම වීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයට අපේක්ෂිත ආදායම උපයා ගැනීමට නොහැකි වනු ඇති බවයි විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්. අතුල අද (16) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *