අද (15) සිට විදුලි ගාස්තුව 66% කින් ඉහළට

අද (15) සිට විදුලි ගාස්තුව 66% කින් ඉහළට


අද (15) සිට විදුලි ගාස්තුව 66% කින් ඉහළට

(15.02.2023 – 19:41 +0530 – hirunews.lk/sinhala)

විදුලිය ගාස්තු 66% කින් ඉහළ දැමීම සඳහා විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට කොමිසමේ බහුතර සාමාජිකයින්ගේ එකඟතාව පළ වූ බවට වන නිර්දේශය මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ තමා එකඟත්වය පළ කළේ 36% ක ගාස්තු සංශෝධනයකට පමණක් බවයි.

මේ අතර විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ කිසිදු තීරණයක් මේවන තෙක් තමන් වෙත ලැබී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා ‘හිරු ප්‍රවෘත්ති’ වෙත සඳහන් කළා.

ඒ අනුව විදුලිය කප්පාදුව නතර කිරීම සම්බන්ධයෙන් ද මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර ආදායමක් ලැබෙන පරිදි විදුලි ගාස්තුව සියයට 66 කින් ඉහළ දැමීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ඉල්ලා තිබුණා.

කොමිෂන් සභාව ඊයේ (14) දිනයේදී එය සමාලෝචනය කර විදුලි බිල සියයට 36 කින් එනම්, වාර්ෂිකව රුපියල් බිලියන 142 ක අතිරේක ආදායමක් ලැබෙන පරිදි අදාළ යෝජනාවට විකල්ප ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ සංශෝධන යෝජනාවට කොමිසමේ සෙසු සාමාජිකයින් වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර, සහ එස්.ජී. සේනාරත්න යන අය එකඟතාව පළ කර නොමැති බවයි වාර්තා වන්නේ.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ කොමිසමේ සෙසු සාමාජිකයින් තිදෙනා (3) අනුමැතිය දුන්නේ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ 66% ක ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව නොවෙනස්ව ක්‍රියාත්මක කිරීම සඳහා බවයි.

අත්තනෝමතික ලෙස විදුලි බිල ඉහළ දැමීමේ තීරණය වළක්වාලීම සඳහා පියවර ගන්නා බවද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පැවසුවා.

මේ අතර, මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ සහභාගීත්වයකින් තොරව එම කොමිසමේ සෙසු සාමාජිකයින් අද (15) නැවත වරක් රැස්වී තිබුණේ අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබාදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කිරීම සඳහායි.

ඒ සම්බන්ධයෙන් කොමිසමේ සාමාජික ඩග්ලස් නානායක්කාර මහතාගෙන් අප විමසීමක් කළා.

ඒ අනුව විදුලිබල මණ්ඩලය විසින් පසුගිය ජනවාරි 05 වැනිදා ඉදිරිපත් කළ ගාස්තු සංශෝධනය පෙබරවාරි 15 වැනිදා එනම් අද සිට ක්‍රියාත්මක කිරීමට කොමිෂන් සභාවේ බහුතර සාමාජිකයින්ගේ අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයාගේත් ඩග්ලස් නානායක්කාර සහ චතුරිකා විජේසිංහ යන කොමිසමේ සාමාජිකයින්ගේත් අත්සනින් යුතුව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.

ඊට කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සන ඇතුළත් වී නැහැ.

විදුලිබල මණ්ඩලය ජනවාරි 05 වැනිදා ඉදිරිපත් කළ යෝජනාවට අනුව ගෘහස්ත, සංචාරක, කර්මාන්ත මෙන්ම පූජනීය ස්ථාන යන ක්ෂේත්‍රවල විදුලි බිල සැලකිය යුතු ආකාරයෙන් ඉහළ යාමට නියමිතයි.

නව යෝජනා අනුව ඒකක 0 – 60 දක්වා කාණ්ඩය සඳහා පළමු ඒකක 30 ට රුපියල් 8 ක්ව පැවති ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ නැංවීමටත්, රුපියල් 120 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වා ඉහළ නැංවීමටත් යෝජිතයි.

ඒකක 31 – 60 දක්වා රුපියල් 10 ක්ව පැවති ඒකකයක මිල රුපියල් 37 දක්වා ඉහළ නැවීමටත් රුපියල් 240 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වා ඉහළ නැංවීමටත් යෝජනා කර තිබෙනවා.

ඒකක 60 ට වැඩි පරිභෝජනයක් සහිත කාණ්ඩය සඳහා 1 – 60 දක්වා පවතින රුපියල් 16 ක් වූ ඒකකයක ගාස්තුව රුපියල් 42 දක්වා ඉහළ දැමීමටත් රුපියල් 650 ක නව ස්ථාවර ගාස්තුවක් එක් කිරීමටත් යෝජිතයි.

ඒකක 61 – 90 දක්වා ඒකකයක ගාස්තුව රුපියල් 42 දක්වාද ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාද ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

ඒකක 91 – 120 දක්වා ඒකකයක ගාස්තුව සංශෝධනය නොකර ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වා ඉහළ දැමීමට යෝජිතයි.

ඒකක 121 සිට 180 දක්වාද ඒකකයක ගාස්තුව සංශෝධනය නොකර ස්ථාවර ගාස්තුව පමණක් රුපියල් 1500 ක් ලෙස සංශෝධනය කිරීමට යෝජිතයි.

ඒකක 181 ට ඉහළ කාණ්ඩයේ ඒකකයක ගාස්තුවද වෙනස් නොවන අතර ස්ථාවර ගාස්තුව රුපියල් 2000 දක්වා ඉහළ දැමෙනු ඇති.

ආගමික ස්ථාන සහ පුණ්‍යායතන සඳහා ඒකක 0-30 දක්වා ඒකකයක ගාස්තුව රුපියල් 30 දක්වා සහ ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත් ඒකක 31 සිට 90 දක්වා ඒකකයක ගාස්තුව රුපියල් 37 දක්වා සහ ස්ථාවර ගාස්තුව රුපියල් 550 ක් දක්වාද ඉහළ දැමීමට නව සංශෝධනයෙන් යෝජිතයි.

ඒකක 91-120 දක්වා ඒකකයක ගාස්තුව රුපියල් 42 දක්වාද ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාද ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

මේ අතර විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය ලබාදීමට කොමිසම ගෙන තිබු තීරණය සම්බන්ධයෙන් ද විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කළා.

+

+

උපයෝගිතා කොමිසමේ තීන්දුව තවමත් නැහැ – විදුලි කප්පාදුව එලෙසම

(15.02.2023 – 20:05 +0530 – hirunews.lk/sinhala)

විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන්, මහජන උපයෝගීතා කොමිසමේ කිසිදු තීරණයක් මේ දක්වා තම මණ්ඩලය වෙත ලැබී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, විදුලිය ගාස්තු 66% කින් ඉහළ දැමීම සඳහා වන විදුලිබල මණ්ඩලයේ යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් තිදෙනෙකු (3) එකඟතාව පළ කර ඇති බව අද (15) වාර්තා වුණා.

එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ තමා එකඟත්වය පළ කළේ 36% ක ගාස්තු සංශෝධනයකට පමණක් බවයි.

කෙසේ වෙතත්, විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධ මහජන උපයෝගීතා කොමිසමේ කිසිදු තීරණයක් මේ දක්වා තම මණ්ඩලය වෙත ලැබී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

ඒ අනුව, විදුලිය කප්පාදුව නතර කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර ආදායමක් ලැබෙන පරිදි විදුලි ගාස්තුව සියයට 66 කින් ඉහළ දැමීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ඉල්ලා තිබුණා.

කොමිෂන් සභාව ඊයේ (14) දිනයේදී එය සමාලෝචනය කර විදුලි බිල සියයට 36 කින් එනම්, වාර්ෂිකව රුපියල් බිලියන 142 ක අතිරේක ආදායමක් ලැබෙන පරිදි අදාළ යෝජනාවට විකල්ප ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ යෝජනාවට කොමිසමේ සෙසු සාමාජිකයින් වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර, සහ එස්.ජී. සේනාරත්න යන අය එකඟතාව පළ කර නොමැති බවයි වාර්තා වන්නේ.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේ කොමිසමේ සෙසු සාමාජිකයින් තිදෙනා (3) ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ 66% ක ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව නොවෙනස්ව ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය දුන් බවයි.

මේ අතර, මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ සහභාගීත්වයකින් තොරව එම කොමිසමේ සෙසු සාමාජිකයින් අද (15) නැවත වරක් රැස්වී තිබුණේ අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබාදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කිරීම සඳහායි ෴


සල්ලි ඉල්ලා මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යාංශයට අදත් (15) ලිපියක්

(15.02.2023 – 20:00 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින් මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කළ බව මැතිවරණ කොමිසම් සභාව පවසනවා.

එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා කියා සිටියේ පළාත්පාලන ඡන්ද විමසීමට රුපියල් මිලියන 300 ක මුදලක් අවශ්‍ය බව මීට පෙරද දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත්, මේ වනවිට ඉන් ලැබී ඇත්තේ රුපියල් මිලියන 100 ක මුදලක් පමණක් බවද ඔහු සඳහන් කළා.

මේ අතර, පැෆ්රල් සංවිධානය සඳහන් කළේ ඉතිහාසයේ පැවති මැතිවරණ වලදී කිසිදු මුදලක් නොගෙවා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මැතිවරණ කොමිසම ක්‍රියාකර ඇති බවයි.

+


හෙල්මට් පළඳින්නැයි උපදෙස් දුන් පියෙකු, හෙල්මට්වලින්ම පහරදී ඝාතනය කළ පාසල් සිසුන් තිදෙනාට (3) රැඳවුම් නියෝග

(15.02.2023 – 20:07 +0530 – hirunews.lk/sinhala)

ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරු පැදිවල ගමන් කරන ලෙස ලබා දුන් උපදෙස් නිසා ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස්, ආරක්ෂිත හිස් වැසුම් වලින්ම පහර දී එම පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පාසල් සිසුන් තිදෙනාට (3) මෙම මස 28 වනදා දක්වා රැදවුම් නියෝග ලබා දී තිබෙනවා.

ඒ අනුව, එම සිසුන් මාකොල පිහිටි ළමා රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගන්නා ලෙසටයි මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ.

ඊයේ වැලිපැන්න – අලුත්ගම මාර්ගයේ ගලමත්ත කුරුදිප්පිට පාරට හැරෙන මංසන්දිය අසළදී යතුරු පැදි දෙකකින් අධික වේගයෙන් ආරක්ෂක හිස් වැසුම් නොමැතිව ගමන් කරමින් සිටි සිසුන් පිරිසකටයි ඝාතනයට ලක් වූ පුද්ගලයා හිස් වැසුම් පළඳින ලෙස උපදෙස් ලබාදී තිබුණේ.

එහිදී ඊට උරණ වූ පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි මෙම සිසුන් ඔහුට හිසේ පැළදීමකින් තොරව තම අත්වල රඳවාගෙන තිබූ හිස් වැසුම් වලින් බරපතල ලෙස පහර දී තිබෙනවා.

34 හැවිරිදි එක්දරු පියෙකු වන ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්වුණා ෴


දේශබන්දුට එරෙහි සිතාසිය අභියාචනාධිකරණය අත්හිටුවයි

(15.02.2023 – 23:13 +0530 – hirunews.lk/sinhala)

අරගල කරුවන් විසින් ජනාධිපති මන්දිරයට අයූතු ලෙස ඇතුළු වූ අවස්ථාවේ දී එහි තිබී රුපියල් 1,78,00,000 අධික මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ල විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තාවකාලිකව අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන සිතාසිය පදනම් කරගෙන ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දින 14 කට බලපැවැත්වෙන පරිදි මෙම අතුරු නියෝග නිකුත් කර ඇති අතර අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සහ සේනක මහින්දවංශ ජයසිංහ යන අය වෙත ලබන 28 වනදා අධිකරණයේ කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

එමෙන්ම අදාළ පුද්ගලික පැමිණිල්ල ලබන 28 වනදා තෙක් කැඳවීමෙන් හෝ විමසීමෙන් වළකින ලෙසත් අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර සිටින්නේ සේනක මහින්දවංශ ජයසිංහ නැමැති වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ට හෙට (16) දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා ඉකුත් ජනවාරි මස 26 වනදා සිතාසියක් නිකුත් කර ඇති බවයි.

ජනාධිපති මන්දිරයේ තිබී මුදල් සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳව පොලිසිය විසින් විමර්ශනයක් සිදුකළ බවත් එම විමර්ශනවලදී තමන්ට එරෙහිව ප්‍රමාණවත් කරුණු කිසිවක් අනාවරණය නොවූ බවත් පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

එසේ තිබියදී තමන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන සිතාසිය පිළිගත් නීතිමය සිද්ධාන්තවලට පටහැනි ආකාරයෙන් නිකුත් කර ඇති බවත් ඒ තුළින් තමන්ට දැඩි අගතියක් සිදු වී ඇති බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා සිය පෙත්සමෙන් තුළින් සඳහන් කර තිබෙනවා.

එබැවින් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් නිකුත් කරන තුරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව දැනට නිකුත් කර තිබෙන සිතාසිය පදනම් කරගෙන තමන්ට එරෙහිව ඉදිරි පියවර ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කළ ලෙසත් ඔහු වැඩිදුරටත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා ෴


මැතිවරණ කොමිසමෙන් රජයේ මුද්‍රණාලයට පණිවිඩයක්

(16.02.2023 – 07:26 +0530 – hirunews.lk/sinhala)

මීට පෙර කිසිදු අවස්ථාවක ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබාදෙන ලෙසට රජයේ මුද්‍රණාලය විසින් ඉල්ලීමක් සිදුකර නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රජයේ මුද්‍රණ කටයුතු සිදුකිරීමට ඔවුන් බැඳී සිටින බවයි.

මැතිවරණය යනු රජයේ ක්‍රියාවලියක් බැවින් ඊට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීම අනිවාර්ය කරුණක් බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ එබැවින් මෙවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා මුදල් ඉල්ලා සිටීම අනුමත ක්‍රියාවක් නොවන බව එම කොමිසම සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *