වනාතමුල්ලේ මත් ජාවාරම වටලයි – හමුදා වෙඩි පහරින් තරුණියක් මරුට

වනාතමුල්ලේ මත් ජාවාරම වටලයි – හමුදා වෙඩි පහරින් තරුණියක් මරුට


වනාතමුල්ලේ මත් ජාවාරම වටලයි – හමුදා වෙඩි පහරින් තරුණියක් මරුට

(14.02.2023 – dinamina.lk)

යුද හමුදාවේ බුද්ධි අංශයේ දෙදෙනෙකු (2) ඊයේ (13) රාත්‍රී කාලයේදී බොරැල්ල වනාතමුල්ල, හල්ගහකුඹුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කට සම්බන්ධ නිවසකට ඇතුළුවීමකින් පසුව ඇතිවූ වෙඩි තැබීමකින් තරුණියක් මියගොස් ඇත.

වෙඩි වැදී මිය ගොස් ඇත්තේ අවුරුදු 25 ක් පමණ වයසැති එම නිවසේ ජීවත්වූ තරුණියක් බව බොරැල්ල පොලීසිය කියයි.

රැවුල් කොණ්ඩය වවාගෙන සිටි මෙම හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා (2) එම නිවසට ගොස් ඇතැයි කියනු ලබන්නේ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ඔත්තු බැලීමට යැයි ඔවුන් බොරැල්ල පොලීසියට පවසා තිබේ. අත්වැරදීමකින් තමන් සතුව තිබුණු පිස්තෝලය පත්තුවූ බව කියමින් ඔවුන් වෙඩි පත්තු වූ එම පිස්තෝලයද පොලීසියට භාර දෙමින් ඔවුන්ද පොලීසියට භාරවී ඇත.

තොරතුරු රැස් කිරීමට යැයි කියා එම නිවසට ගිය ඔවුන් ගිනි අවි පිටතට ගත්තේ ඇයි දැයි ගැටළුවක් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. වෙඩි පත්තුවීමකින් තරුණියක් මියගොස් ඇති බැවින් එම බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනාව (2) සැකපිට අත්අඩංගුවට ගත් බවද එම නිලධාරියා කීය.

මෙම බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා (2) බුද්ධි නිලධාරීන් බව නොදැන හල්ගහකුඹුර ප්‍රදේශයේ පුද්ගලයින් ඔවුන් දුව යන විට අල්ලා ගැනීමට පස්සෙන් පන්නා ඇති බව ද එම නිලධාරියා කීය. එහිදී මෙම බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනාව (2) ඒ අයට හසුවූයෙනම් ඔවුන්ගේ ජීවිතවලට පවා හානියක් වීමට තිබුණු ඉඩකඩ බොහෝ බව ද එම නිලධාරියා පැවසීය.

මෙම වෙඩි තැබීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.

~ ගයාන් කුමාර වීරසිංහ

+++++++

+

https://www.youtube.com/watch?v=JR9rCArwm1Y#t=5

+

(14.02.2023 – 17:31 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩ දී මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර සිදු වූ වෙඩි වැදීමකින් කාන්තාවක් මිය ගිය සිද්ධියට, අත්අඩංගුවට ගත් යුධ හමුදා සාමාජිකයන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ලබන 21 වැනි දා දක්වා යි.

ඊයේ (13) රාත්‍රියේ බොරැල්ල වනාතමුල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර මෙම වෙඩි වැදීම සිදු වුණා.

එහි ගිය ආරක්ෂක අංශ සාමාජිකයෙක්ගේ ගිනි අවියක් හදිසියේ ම ක්‍රියාත්මක වීම හේතුවෙනු යි අදාළ කාන්තාව ජීවිතක්ෂයට පත් වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ, එම ප්‍රදේශයේ ම පදිංචි 25 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් ෴

+


වරක් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික්, පොලිතීන් නිෂ්පාදන 07 කට තහනමක්

(14.02.2023 – 09:26 +0530 – hirunews.lk/sinhala)

වරක් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික්, පොලිතීන් නිෂ්පාදන 07 ක් ආනයනය, රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය ජුනි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව, එක් වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් බීම බට හා කැලතීමේ උපකරණ, ප්ලාස්ටික්වලින් නිර්මිත යෝගට් හැඳි ඇතුළුව වරක් භාවිත කර ඉවතලන පිඟන්, කෝප්ප (යෝගට් කෝප්ප හැර) හැඳි, ගෑරුප්පු සහ පිහි, ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික්වලින් නිර්මිත ඉඳිආප්ප වට්ටි මෙලෙස තහනම් වනු ඇති ෴


14-02-2023

+

+


ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දෝෂය යථා තත්වයට

(14.02.2023 – 09:44 +0530 – hirunews.lk/sinhala)

පරිගණක පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂය මේ වන විට යථා තත්වයට පත් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට වේලාව සහ දිනය වෙන්කරවාගත් පුද්ගලයින්ට අදාළ දිනයට පසු දිනයේ පැමිණ සිය විදෙස් ගමන් බලපත්‍රය ලබා ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මෙම දෝෂය හේතුවෙන් ඊයේ (13) දිනයට නිකුත් කිරීමට නියමිතව තිබූ විදෙස් ගමන් බලපත්‍ර ලබා දීමට හැකිවූයේ නැහැ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ඊයේ (13) දිනයේ දී විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට නියමිතව තිබු සියලු‍ දෙනා අද (14) දහවල් 12 න් පසුව බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණ සිය විදෙස් ගමන් බලපත්‍ර ලබා ගන්නා ලෙසටයි.

අද (14) දින පැමිණීමට හැකියාවක් නොමැති පුද්ගලයින්ට ඔවුන්ගේ විදෙස් ගමන් බල පත්‍රය නිවාස වෙත යැවීමට කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන් ම සිකුරාදා දින විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට නියමිතව තිබූ අයට සෙනසුරාදා දින එය ලබා ගැනීමේ හැකියාව පවතින බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ෴


ජපානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 38 ක ප්‍රදානයක්

(14.02.2023 – 09:46 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍යය සහ හදිසි සෞඛ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 38 ක ප්‍රදානයක් ලබාදීමට ජපානය තීරණය කර ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

මේ අතර, මහබැංකු පනත් කෙටුම්පත සදහා නීතිපතිවරයාගේ නිෂ්කාෂණය ලැබූ බවත් එය ගැසට් පත්‍රයේ පළ කර අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කරන බවද ඔහු සදහන් කළා.

මෙම මාසයේ ලැබෙන ආදායම්වලින් වැඩි මුදලක් පැහැර හැරිය නොහැකි අත්‍යවශ්‍ය කටයුතු සදහා පමණක් යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.

අද (14) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කළේ සෞඛ්‍ය, කෘෂීකර්ම කටයුතු ඒ අතරින් ප්‍රධාන බවයි ෴


ගමනාගමන පහසුකම් නොමැති වීමෙන් පවුල් 123 ක් දැඩි දුෂ්කරතාවයක

(14.02.2023 – 10:41 +0530 – hirunews.lk/sinhala)

නගරය වෙත පිවිසීමට මහා මාර්ගයක් නොමැතිකම නිසා ඇල මාර්ගයක් ඔස්සේ ඉතා දුෂ්කරව ගමන් කරමින් සිය ගමනාගමන පහසුකම් සපයා ගැනීමට පුරුදු වී සිටින ගම්වාසීන් ගැන පුවතක් වාර්තා වෙනවා.

ඒ, මන්නාරම, මඩුක්කරෙයි ප්‍රදේශයෙන්.

මේ හේතුවෙන්, පවුල් 123 කට අයත් පුද්ගලයින් 487 දෙනෙකු සිටින එම ගම්මානයේ ජනතාව සිය ගමනාගමන පහසුකම් සපයා ගැනීමේ දී දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.

පසුගිය දිනවල මන්නාරම පළාතට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමගම මේ වැසියන්ට අත්‍යාවශ්‍ය දේවල් ලබා ගැනීම සඳහා ගම්මානයෙන් පිටව යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි වාර්තා වෙන්නේ.

යුද සමයේ දී උන් හිටිතැන් අහිමි වීමෙන් පසුව 2019 වසරේ දී මේ පිරිස මන්නාරම, මඩුක්කරෙයි ගම්මානයේ යළි පදිංචි කොට ඇතත් ඔවුන්ට ගමනාගමන පහසුකම් සපයා ගැනීමට විකල්ප ක්‍රියා මාර්ගයක් ලබා දීමට නිලධාරීන් කටයුතු නොකිරීම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මල්වතු ඔයේ අතු ගංගාවක් වන අරුචි ගංගාව නිසා මන්නාරම මඩුක්කරෙයි ගම්මානය කොටස් දෙකකට බෙදී ඇති නමුත් එගොඩ හා මෙගොඩ යා කෙරෙන අන්දමේ ව්‍යාපෘතියක් මෙතෙක් සකස් වී නැහැ.

දැඩි ලෙස පීඩා විඳන මේ ගම්මානයේ ජනතාවට නගරයකට යාමට අවස්ථාවක් සැලසෙන පරිදි පාලමක් ඉදිකර දෙන ලෙසයි ගම්වැසියෝ අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+123%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගන්න පෙබරවාරියේ ආදායම

(14.02.2023 – 13:03 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ හිඟය පියවීමට අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම වෙනුවෙන් පෙබරවාරි මාසයේ සියලු රාජ්‍ය ආදායම යොදවන ලෙසට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

එමෙන් ම අත්‍යවශ්‍ය ඖෂධ සහ හදිසි සෞඛ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අමෙරිකානු ඩොලර් මිලියන 38 ක ප්‍රදානයක් ලබාදීමට ද ජපාන රජයේ එකඟත්වය පළකර ඇති බව අද (14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණ වුණා.

කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ මේ වසරේ ජුනි පළමුවැනිදා (2023.06.01) සිට ප්ලාස්ටික් ද්‍රව්‍ය තහනමක් ද බලපැවැත්වෙන බවයි.

+


ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා ETF විසින් අයදුම්පත් කැඳවයි

(14.02.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala)

2022 පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සක්‍රීය සාමාජිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා අයදුම්පත් කැඳවීමට සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එක් අයෙකුට රුපියල් පහළොස්දහස (15,000) බැගින් ශිෂ්‍යත්ව නවදහසක් (9000) මෙවරත් පිරිනැමෙන බවයි එම අරමුදල සඳහන් කළේ.

ඒ අනුව ඊට අදාළ අයදුම්පත් https://etfb.lk යන වෙබ් අඩවියෙන් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල මගින්ද ලබාගත හැකියි.

සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලබන මස 10 වනදාට පෙර ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන ලෙස සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය ඉල්ලා සිටිනවා ෴


ඡන්දය කල්දාන්නැයි ඉල්ලූ පෙත්සම තැපැල් ඡන්දට පෙර සළකා බලන්නැයි මෝසමක්

(14.02.2023 – 13:30 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා තැපැල් ඡන්ද විමසීම ආරම්භ කිරීමට පෙර විවෘත අධිකරණයේ කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබෙනවා.

පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු විසින් මෙම මෝසම ගොනු කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

මෙම පෙත්සම පසුගිය සිකුරාදා එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සලකා බැලු‍ අතර එහි වැඩිදුර සලකා බැලීම ලබන 23 වන දා තෙක් කල් දැමුණා.

එහෙත් තැපැල් ඡන්ද විමසීම ලබන 22 වන දා පැවැත්වීමට නියමිත බැවින් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 17, 20 හෝ 21 යන දිනවලින් එක් දිනයක් නියම කරන ලෙසයි අදාළ මෝසමෙන් ඉල්ලා ඇත්තේ.

වර්තමානයේ රට තුළ දැඩි ආර්ථික අර්බුධයක් නිර්මාණය වී ඇති බැවින් පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර ඇත්තේ විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර් විජේසුන්දර විසින් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *