අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140 ක තොග සම්පූර්ණයෙන්ම අවසන්

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140 ක තොග සම්පූර්ණයෙන්ම අවසන්


අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140 ක තොග සම්පූර්ණයෙන්ම අවසන්

(11.02.2023 – 18:58 +0530 – hirunews.lk/sinhala)

රෝගී ප්‍රතිකාර සේවා සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140 කට වැඩි ප්‍රමාණයක තොග මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් සංජීව කියා සිටියේ බාහිර රෝගී අංශ මගින් ලබාදෙන ඖෂධ රැසක් මේ අතරට ඇතුළත් බවයි.

ඒ අනුව, ඇස්ප්‍රීන්, ඉන්සියුලීන්, මෙට්ෆොමින් සහ මූලික වේදනා නාශක මෙන්ම කුඩා ළමයින්ට ලබාදෙන සිරප් වර්ග හිඟ වී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර, ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වීමට සැළසුම් කර ඇති ඖෂධවලින් සියයට 80 ක පමණ ප්‍රමාණයක් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නොමැති බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් සහ ඖෂධ හිගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොළඹ අද (11) පැවති ජන හමුවකට එක්වෙමින් මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා ෴


කල්පිටිය – කුඩාව වෙරළට තල් මසුන් 14 ක්

(11.02.2023 – 16:00 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය – කුඩාව වෙරළ තීරයට තල් මසුන් 14 දෙනෙකු ගොඩගසා තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ ඊයේ (10) රාත්‍රියේ මෙම වෙරළට ගොඩගසා ඇති බවට විශ්වාසය පළ කෙරෙන බවයි. ඉන් තිදෙනෙකු (3) ජිවිතක්ෂයට පත්ව තිබුණා.

තල් මසුන් 11 දෙනෙකු ආරක්ෂිතව දියඹට මුදා හැරීමට නාවික හමුදාව, වනජිවි නිලධාරින් මෙන්ම, ප්‍රදේශයේ ධීවරයන් කටයුතු කළා.

මෙම තල්මස් විශේෂය ‘ෆයිලට් වේල්ස්’ නමින් හඳුන්වන අතර, සමූහයක් ලෙස මුහුදේ සැරිසරන සත්ත්ව විශේෂයක්.

මේ අතර, තල්මසුන් මත නැගී කුඩා දරුවන් විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන ඡායාරූප ද අද (11) සමාජ මාධ්‍යයේ පැතිර ගිය අතර, එහිදී සත්ත්ව හිංසනය වැළැක්වීම සඳහා වැඩිහිටියන් දරුවන්ට මග පෙන්වීමේ වැදගත්කම අවධාරණය කර තිබුණා.

ගැඹුරු මුහුදේ ජීවත් වන තල්මසුන් මෙලෙස වෙරළට පැමිණීම සම්බන්ධයෙන් නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ උපුල් ලියනගේ ගෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ මෙම තල්මසුන් මෙලෙස ගොඩබිමට පැමිණීමට හේතුව කායික රෝග හෝ පරපෝෂිතයන්ගෙන් ඇති වූ බලපෑමක් හෝ භූ කම්පන තත්ත්වයක් විය හැකි බවයි.

+

(12.02.2023 – 07:31 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය – කුඩාව වෙරළ තීරයට ගොඩ ගැසූ තල්මසුන් අතරින් මියගිය තිදෙනාගේ (3) සිරුරු කල්පිටිය වනජීවි කෞතුකාගාරයට රැගෙන ඒමට කටයුතු කරන බව පුත්තලම වනජීවි කලාප සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ පවසනවා.

ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සුදුසු නියෝගයක් ලබාගෙන තල්මස් සිරුරු සංරක්ෂණ කටයුතු සඳහා කල්පිටිය වනජීවි කෞතුකාගාරයට රැගෙන එන බවයි.

එසේම, ඉල්ලීමක් ලැබුනහොත් ගිරිතලේ ප්‍රධාන වනජීවි කෞතුගාරයට තල්මසෙකුගේ සිරුරුක් ලබාදීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියා.

ඒ අනුව මියගිය තල්මසුන්ගේ පශ්චාත් මරණ අද (12) වනජීවි පශු වෛද්‍යවරයා විසින් සිදු කිරීමට නියමිතයි.

කල්පිටිය – කුඩාව වෙරළ තීරයට පෙරේදා ගොඩගැසූ තල්මසුන් 14 දෙනා අතරින් 11 දෙනෙකු ආරක්ෂිතව දියඹට මුදා හැරීමට නාවික හමුදාව, වනජිවි නිලධාරින් මෙන්ම, ප්‍රදේශයේ ධීවරයන් කටයුතු කළා.

මෙම තල්මස් විශේෂය ‘ෆයිලට් වේල්ස්’ නමින් හඳුන්වන අතර, සමූහයක් ලෙස මුහුදේ සැරිසරන සත්ත්ව විශේෂයක් ෴


තුර්කි – සිරියා භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට සහාය වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් උපකරණ තොගයක්

(11.02.2023 – 16:07 +0530 – hirunews.lk/sinhala)

තුර්කි – සිරියා භූ කම්පනයෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් සඳහා භාවිත කරන අති නවීන උපකරණ තොගයක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මෙරටින් පිටත්ව යාමට නියමිත යුද හමුදාවේ විශේෂඥ කණ්ඩායම් වෙත ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ආසියානු ආපදා පෙර සූදානම් මධ්‍යස්ථානය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබාදී තිබූ රුපියල් මිලියන 17 ක වටිනාකමකින් යුත් අති නවීන පුහුණු උපකරණ තොගයකින් කාණ්ඩ 47 කින් උපකරණ 448 ක් ඔවුන් මෙලෙස ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ ෴


පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට

(11.02.2023 – 16:40 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ නියෝග නොතකා අධි ආරක්ෂිත කලාපයකට පිවිස විරෝධතාවයේ නිරතවීම ඇතුළු චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (11) යාපනයේදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ප්‍රදේශයේ විරෝධතා නොපවත්වන ලෙසට අධිකරණ නියෝගයක් පනවා තිබියදී ඔවුන් විරෝධතාවයේ නිරත වෙමින් කලහකාරිව කටයුතු කිරීම හේතුවෙන්.

+

(12.02.2023 – 08:11 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ නියෝග නොතකා අධි ආරක්ෂිත කලාපයකට පිවිස විරෝධතාවයේ නිරතවීම ඇතුළු චෝදනා මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.

ඊයේ (11) රාත්‍රියේ යාපනය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුවන්ට ඇප නියම වූ බවයි යාපනය හිරු වාර්තාකරු සඳහන් කළේ.

යාපනය ප්‍රදේශයේ විරෝධතා නොපවත්වන ලෙසට අධිකරණ නියෝගයක් පනවා තිබියදී මෙම පිරිස කළහකාරීව හැසිරෙමින් ඊයේ (11) විරෝධතාවයේ නිරතවී තිබුණා ෴


උතුරේ අවතැන් වූ පවුල් 197 ක ඉඩම් ඔප්පු ප්‍රධානය කරයි

(11.02.2023 – 17:05 +0530 – hirunews.lk/sinhala)

උතුරේ අවතැන් වූ පවුල් 197 ක් සඳහා චෙක්පත් සහ ඉඩම් හිමිකම් ප්‍රදානය කිරීම අද (11) සිදුකෙරුණා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එය සිදුකෙරුණු බවයි.

මේ අතර, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ද අද (11) ජනාධිපතිවරයා එක්වුණා. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ රටේ ආර්ථික අර්බුදයේදී ණය උගුලෙන් ගැලවීම සඳහා ඉන්දියාව සහය ලබාදුන් බවයි.

සංහිදියාව, සංවර්ධනය සහ සංස්කෘතිය ප්‍රතිපත්තිය කොට ගෙන රට ඉදිරියට ගෙන යෑම රජයේ ප්‍රතිපත්තිය බව ද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ අතර, සංහිඳියාවෙන් පමණක් ආර්ථිකය ගොඩනැගිය නොහැකි බවත්, ආර්ථික සංවර්ධන වේගය රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීමේ ප්‍රමාණය මත බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ උතුරේ ගැටලු පිළිබඳ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

+


ශ්‍රී පාද වන්දනාවට විශාල පිරිසක්

(11.02.2023 – 18:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට හැටන් සහ රත්නපුර මාර්ගය ඔස්සේ ඊයේ (10) දින සිට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණිම නිසා ශ්‍රි පාද මාර්ගයේ වන්දනාකරුවන් දිගු පොලිම් වල රැදි සිටින බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.

හැටන් මාර්ගය ඔස්සේ 10 වන දින පස්වරුව සිටම දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවත්, එම වන්දනාකරුවන් හැටන් මාර්ගයේ සීත ගගුලේ සිට 11 වන දින අලුයම තෙක් ශ්‍රි පාද උඩ මළුව දක්වා යාමට දිගු පොලිම් වල රැදි සිටින බවයි පොලිසිය කියා සිටියේ.

මෙවැනිම වන්දනාකරුවන් පිරිසක් රත්නපුර මාර්ගය ඔස්සේද ශ්‍රි පාදය කරුණා කිරිම සදහා පැමිණිම නිසා මාර්ග දෙකේම මෙම තදබදය පවතින බව පොලිසිය පවසනවා.

හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් සිව්දෙනෙකු (4) සැකපිට අත්අඩංගුවට ගත් බවත්, එම සැකකරුවන් සන්තකයේ ගංජා, තිරු බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද දුම්වැටි සහ මත්වන ඖෂධ වර්ග තිබු බවත්, එම සැකකරුවන් අවු 20-30 වයස් කාණ්ඩවල පසුවන කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.

+


ගිනිඅවි උණ්ඩ 50 ක් රැගෙන ගුවන් තොටට ආ අමුත්තා

(11.02.2023 – 19:44 +0530 – hirunews.lk/sinhala)

ගිනිඅවි උණ්ඩ 50 ක් රැගෙන විදේශ ගත වීමට උත්සාහ කළ බේරුවල පදිංචි ව්‍යාපාරිකයෙකු සම්බන්ධයෙන් මේ දක්වා ගුවන්තොටුපල ආරක්ෂක අංශ නිලධාරින්, පොලීසිය දැනුවත් කර නොමැති බව අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

මෙම සිද්ධිය වාර්තා වී දැනට දින 13 ක් පමණ ගත වී තිබෙනවා.

ජනවාරි 29 වනදා කටුනායක ගුවන්තොටුපලේදී සිංගප්පූරුව බලා යාමට පැමිණි අදාළ ව්‍යාපාරිකයා සතුව තිබී මිලිමීටර් 9 ගිනි අවි උණ්ඩ 50 ක් සොයා ගෙන තිබුණ ද එම අවස්ථාවේදී අදාළ ව්‍යාපාරිකයා තමන් සතුව තිබූ බලපත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මුදා හැර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඒ අනුව, උණ්ඩ තොගය ව්‍යාපාරිකයා සමග පැමිණි රියදුරුට ලබාදී ව්‍යාපාරිකයාට සිංගප්පූරුව බලා යාමට ඉඩ සලසා දී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපල පොලීසිය දැනුවත් කර ඇත්ද යන්න සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගෙන් ද විමසීමක් කළා.

ඔහු කියා සිටියේ එවැනි දැනුවත් කිරීමක් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා නොවන බවයි.

එමෙන්ම, ගිනි අවි සඳහා ඉදිරිපත් කරන බලපත්‍රයට අනුව ළග තබා ගත හැකි වන්නේ උණ්ඩ 10 ක් පමණක් බව ද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරි පී.ඒ. ජයකාන්ත අද (11) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කර කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ගුවන්තොටුපල හා ගුවන්සේවා පෞද්ගලික සමාගමට දැනුම්දීමක් කර ඇති බවයි.

සිවිල් ගුවන්සේවා අධිකාරියේ කිසිදු නිලධාරියෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල තුල ආරක්ෂක රාජකාරිවල නිරත නොවන බවට ද අදාළ නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා.

+


රුපියල් 5000 හොර නෝට්ටු සමග මාට්ටු වුණු සරසවි සිසුන්

(11.02.2023 – 20:00 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු තුනක් (3) සන්තකයේ තබාගෙන සිටි බව කියන අම්පාර ඔලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු (2) සැකපිට අත්අඩංගුවට ගත් බව අක්කරෙයිපත්තු පොලිසිය පවසනවා.

පලතුරු වෙළඳසැලකින් පලතුරු මිලදී ගෙන ඒ වෙනුවෙන් රුපියල් 5000 ක මුදල් නෝට්ටුවක් ලබාදී ඇති බව පොලීසිය සඳහන් කරනවා.

මෙම මුදල් නෝට්ටුව ව්‍යාජ එකක් බව පලතුරු වෙළඳසැල අයිතිකරුට සැක සිතී ඔහු මේ බව පොලීසියට දැනුම්දී තිබෙනවා.

පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා (2) සැකපිට අත්අඩංගුවට ගෙන පරීක්ෂාකර බැලීමේදි ඔවුන් සන්තකයේ තිබී තවත් රුපියල් පන්දහසේ (5000) ව්‍යාජ නෝට්ටු දෙකක් (2) තිබී සොයා ගෙන තිබෙනවා.

වෙනත් පුද්ගලයකු විසින් මෙම මුදල් නෝට්ටු සැබෑ මුදල් නෝට්ටුවලට මාරුකර දෙන ලෙස පවසා තමන්ට ලබාදුන්බව සිසුන් දෙදෙනා (2) පොලීසියට පවසා තිබෙනවා.

රුපියල් 5000 හොර නෝට්ටු සැබෑ මුදල් නෝට්ටුවලට මාරු කර දීමෙන් පසු ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදුන් පුද්ගලයා ඒ වෙනුවෙන් කොමිස් මුදලක් ගෙවන බවට හෙළි වී ඇතැයි වාර්තා වනවා ෴


ශ්‍රී ලාංකික නාට්‍යවේදියකුට ඉන්දියාවෙන් විශේෂ ගෞරව සම්මානයක්

(11.02.2023 – 20:31 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ කල්කටා නුවර පැවති තුන් වන අන්තර්ජාතික ‘රංග සේනා’ නාට්‍ය උළෙලේදී ශ්‍රී ලාංකික තරුණ නාට්‍යවේදියකු වන දේවින්ද වික්‍රමසිංහ ට ‘රංග නාට්‍ය ශාස්ත්‍ර’ නැමැති සුවිශේෂී ගෞරව සම්මානයක් හිමි වී ඇති අතර , ඔහු එය රැගෙන අද ශ්‍රී ලංකාවට පැමිණියා.

මෙම නාට්‍ය උළෙල ඉකුත් 02/02 දින සිට 02/06 දින දක්වා ඉන්දියාවේ කල්කටා නුවර පවත්වා තිබූ අතර, එයට නේපාලය, ඉන්දියාව, පකිස්ථානය, ඉතාලිය යන රටවල නාට්‍යවේදීන් සිය නිර්මාණ ඉදිරිපත් කර තිබුණා.

‘මම අඩකුඹුයි’ යන නාට්‍යය දේවින්ද වික්‍රමසිංහ විසින් මෙම නාට්‍ය උළෙලට ඉදිරිපත් කර තිබූ අතර, එයින් අපගේ සිංහ කොඩියේ සිටින සිංහයා, එයින් බැස විත් සිදු කරන පාපෝච්චාරණයක් ලෙස මෙම නාට්‍ය නිර්මාණය කර තිබෙනවා.

මෙහි එක් රංග ශිල්පියෙකු පමණක් රංගනයෙහි යෙදෙන අතර විනාඩි 30 ක කාළයක් තුළ වේදිකාව තුළ දිග හැරෙනවා.

මෙම නාට්‍ය 2015 වසරේ ජාතික යෞවන සම්මාන නාට්‍ය උළෙලේදී හොදම නාට්‍ය ලෙස ජයග්‍රහණය හිමි කර ගෙන ඇති අතර , 2017 රාජ්‍ය නාට්‍ය උළෙලේදී ඇගැයීමට ද පාත්‍ර වී තිබෙනවා.

දේවින්ද වික්‍රමසිංහ කැළණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කළාව පිළිබඳ බාහිර කතිකාචාර්යවරයෙක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *