වයඹ පළාත් ආණ්ඩුකාර කරන්නාගොඩ ඝාතන සැළැස්මක් ගැන CID පරීක්ෂණ

වයඹ පළාත් ආණ්ඩුකාර කරන්නාගොඩ ඝාතන සැළැස්මක් ගැන CID පරීක්ෂණ


වයඹ පළාත් ආණ්ඩුකාර කරන්නාගොඩ ඝාතන සැළැස්මක් ගැන CID පරීක්ෂණ

(10.02.2023 – 08:37 +0530 – hirunews.lk/sinhala)

වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ගේ ජීවිතයට තර්ජනයක් වන අයුරින් රහසිගත වීඩියෝ දර්ශන ලබාගැනීමේ සිදුවීමක් අනාවරණ වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ආණ්ඩුකාවරයා පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුවයි.

ආණ්ඩුකාරවරයාගේ කුරුණෑගල වැව රවුමේ පිහිටි නිල නිවස, කුරුණෑගල නගරයේ පිහිටා ආණ්ඩුකාර කාර්යාලයේ සිට නිල නිවස කරා ගමන් ගන්නා මාර්ගය මෙන්ම පෙර ගමන් රථය කිසියම් පිරිසක් විසින් වීඩියෝගත කර ඇති අතර, එම වීඩියෝවේ දර්ශන කිසියම් පුද්ගලයෙකු විසින් ආණ්ඩුකාරවරයාට ලබාදී තිබෙනවා.

මෙහි ඇති ආණ්ඩුකාර නිල නිවසට අදාළ වීඩියෝ දර්ශන ඊට යාබදව පිහිටා ඇති කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අයත් නිල නිවසේ සිට ලබාගෙන තිබීම විශේෂත්වයක්.

තමන් නිල නිවසේ නොසිටි අවස්ථාවක කිසිවෙකු විසින් මෙම දර්ශන ලබාගෙන ඇති බව කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ ආණ්ඩුකාරවරයා හමුවේ පිළිගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දුන්නද එය මන්දගාමීව සිදුවීම නිසා මේ පිළිබඳව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පොලිස්පතිවරයා වෙත දැනුම්දී තිබෙනවා.

ඒ අනුවයි අදාළ විමර්ශනය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇත්තේ. මෙම තත්වය සැළකිල්ලට ගෙන වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට ලබාදී ඇති ආරක්ෂාව මේ වනවිට දැඩි කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ ෴


වකුගඩු ජාවාරමේ සැකකරුවෙකු ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

(10.02.2023 – 09:25 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල – කොටා පාරේ පිහිටි පෞද්ගලික රෝහලක සිදුවූ බවට පැවසෙන වකුගඩු ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවෙකු විදෙස් ගතවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපල වෙත ඊයේ (09) රාත්‍රියේ පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මොහු අදාළ රෝහලේ සේවකයෙකු ලෙස පෙනී සිටිමින් දිළිඳු පවුල්වල පුද්ගලයින් මුලා කර මුදල් ලබාදෙන බව පවසා වකුගඩු ලබාගැනීමට තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බව සඳහන්.

ජංගම දුරකථන අමතර උපාංග අලෙවිකරුවෙකු වූ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සැකකරුට පසුගිය ජනවාරි 17 වනදා අධිකරණය විදේශ ගමන් තහනමක් පනවනු ලැබුවා ෴


මිට්සුබිෂී ලංකාව හැර යයි

(10.02.2023 – 10:47 +0530 – hirunews.lk/sinhala)

කීර්තිමත් ජපාන සමාගමක් වූ ‘මිට්සුබිෂී කෝපරේෂන්’ සමාගම ලබන මාසයේ දී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇති බව අද (10) ජාතික පුවත්පත් රැසක් වාර්තා කළා.

ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම අත්හිටුවීම සහ ජපානය මෙරට තුළ දියත් කිරීමට සැලසුම්කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීම වැනි ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීම මිට්සුබිෂී සමාගම මෙසේ ලංකාව අත්හැර යෑමට හේතුවී ඇති බවයි එම පුවත් වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර ජපානය සහ ලංකාව අතර පැවති මිත්‍රත්වය බිද වැටී ඇති බවත් එම මිත්‍රත්වය යළි ගොඩ නගා ගැනීම සදහා ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් දැඩි වෙහෙසක් දැරීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසන බවටත් කරුණු වාර්තා වනවා ෴

+

ශ්‍රී ලංකාවේ මිට්සුබිෂී පාරිභෝගිකයින් හට සුබ පණිවිඩයක්

(10.02.2023 – 20:14 +0530 – hirunews.lk/sinhala)

මෙරට වාහන පාරිභෝගිකයින් අතර වැඩි කතාබහකට ලක් වූ වාහන නිෂ්පාදන සමාගමක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන ජපානයේ මිට්සුබිෂී සමාගම විසින් විශේෂ නිවේදනයක් ලංකාවේ සිටින පාරිභෝගිකයින් වෙත නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ මිට්සුබිෂී වාහන බෙදාහැරීම සඳහා වන බලයලත් සමාගම වන ‘යුනයිටඩ් මෝටර්ස් ලංකා පෞද්ගලික සමාගම’ සඳහන් කරන්නේ, තම සේවා කටයුතු සැපයීම් අංශයෙන් මිට්සුබිෂී ශ්‍රී ලංකාවෙන් ඉවත් වුව ද, ජපානයේ ‘මිට්සුබිෂී මෝටර්ස් කෝපරේෂන්’ සමාගම සමග පවතින සබඳතා අවසන් නොවන බවයි.

ඒ අනුව ඉදිරියටත් මිට්සුබිෂී මෝටර් රථ, අමතර කොටස් සහ අලෙවියෙන් පසු සේවාවන් සුපුරුදු පරිදි සිදු කෙරෙන බවත් යුනයිටඩ් මෝටර්ස් ලංකා පෞද්ගලික සමාගම සිය නිවේදනය මගින් අවධාරණය කරනවා.


සත්ත්ව ආහාර සොරකම් කළ කන්ටේනර් රථ රියදුරෙකු අත්අඩංගුවට

(10.02.2023 – 11:14 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික සමාගමක් විසින් ආනයනය කරන ලද බහලුම්වල තිබූ සත්ත්ව ආහාර කිලෝග්‍රෑම් 3420 ක් සොරකම් කළ පුද්ගලයෙකු, කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (09) අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි මාදම්පේ ප්‍රදේශයේ පදිංචි කන්ටේනර් රථ රියදුරෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ සමාගම විසින් කිලෝග්‍රෑම් 30,932 ක් අඩංගු සත්ත්ව ආහාර බහලුම් 7 ක් මෙරටට රැගෙන විත් තිබෙනවා.

ඒවා කොළඹ වරායේ රේගු පරිශ්‍රයේ සිට අදාළ පෞද්ගලික සමාගම වෙත කන්ටේනර් රථවලින් ප්‍රවාහනය කරන අතරතුර මෙම සත්ත්ව ආහාර කිලෝග්‍රෑම් 3,420 සොරාගෙන ඇති බව සඳහන් ෴


දේශබන්දුට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකුට තවත් නඩුවක්

(10.02.2023 – 11:25 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ මැයි මස 10 වනදා ඇති වූ නොසන්සුන්තාවයේ දී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවෙකුට එරෙහිව අධිකරණ නියෝග කඩකිරීම සම්බන්ධයෙන් වෙනම නඩුකරයක් පවරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (10) නියෝග කළා.

ඒ, එහි සැකකරුවෙකු ලෙස නම් කර සිටි ‘මොහොමඩ් රිස්වි ඉස්මත්’ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිසි පරිදි පෙනී නොසිටීම සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

මෙහි දී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියේ මුස්ලිම් පල්ලියට ගිය පිරිසක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති සැකකරුවන් 25 දෙනා විවෘත අධිකරණයේ අද පෙනී සිටි බව හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියා ෴


උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය නො කපන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණය පිටුපායි

(10.02.2023 – 11:35 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.

ඒ අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල හමුවේ අද (10) යළි සළකා බැලූ අවස්ථාවේදීයි.

විදුලි කප්පාදුව සිදු වීම නිසා විභාගයට මුහුණ දෙන සිසුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවට දෙමව්පියන් පැමිණිලි කර ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම සිය පෙත්සමෙන් දක්වා තිබුණේ.

එම නිසා උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ බාධාවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස එමඟින් ඉල්ලා තිබුණා.

එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ මෙම පෙත්සම පවත්වාගෙන යාම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයින් දෙදෙනා (2) අනුමැතිය පළ කර නොමැති බවයි.

අදාළ පෙත්සමේ අන්තර්ගත කරුණු පදනම් විරහිත බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය අද (10) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ.

මේ අතර, 12 වන ගල් අගුරු නෞකාවේ ගොඩබෑම් කටයුතු අද (10) අලු‍යම ආරම්භ කෙරුණු බව ලංකා ගල්අඟු‍රු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර ප්‍රකාශ කළා.

තවත් ගල් අඟුරු රැගත් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති බවයි ඔහු කියා සිටියේ.

+

මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

(10.02.2023 – 14:51 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදු නොකරන ලෙස මානව හිමිකම් කොමිසම කළ විධානය කඩ කරමින් අපහාස කළ බවට, විදුලි බල මණ්ඩලය සහ එහි සභාපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයකට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) තීන්දු කළා.

පුරා දින දෙකක් (2) තිස්සේ දීර්ඝ කරුණු අධ්‍යයනයකින් අනතුරුව අද (10) දින සිය මෙම නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්නා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර සඳහන් කළේ මානව හිමිකම් කොමිසම ගොනුකළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය වී නොමැති බවයි ෴


පුංචි ඡන්දය කල් දාන්නැයි ඉල්ලූ පෙත්සම් විභාගය කල් යයි

(10.02.2023 – 12:44 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන මාර්තු මස 09 වැනි දින පැවැත්වීමට සැළසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය පෙබරවාරි මස 23 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

රටේ බරපතල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බරපතල කොන්දේසි පනවා ඇති මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට සමාජය තුළ මතයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දෙමින්, ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් පසුගියදා ගොනු කළ අදාල පෙත්සමේ පවතින දෝෂ සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ගනු ලැබුවා.

මේ අතර ඉහත කී පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් පෙත්සම් ගොනු කරනු ලැබූ පෙත්සම ද අද (10) විභාගයට ගැනුණා.

එහි දී අදාල පෙත්සම සලකා බලමින්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු මඩුල්ල විසින් ප්‍රකාශ කළේ, ජනතාවගේ අයිතියක් වන, සර්ව ජන ඡන්ද බලය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ, මැතිවරණ කොමිෂන් සභාවට වන බැවින් සහ මැතිවරණ කොමිෂන් සභාව නිසි ආකාරව පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව තම අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව යි.

ඒ අනුව එළඹෙන මාර්තු මස 09 වැනි දින පැවැත්වීමට සැළසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (10) උපදෙස් දෙනු ලැබුවා.

අදාල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය නීත්‍යනුකූලව පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම දැනටමත් භාරගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නියෝග අවශ්‍ය නොවන බවයි.

+


ඉන්දීය චන්ද්‍රිකාවක කොටස් ත්‍රිකුණාමල මුහුදේ

(10.02.2023 – 13:30 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය චන්ද්‍රිකාවක කොටස් ත්‍රිකුණාමලය මුහුදු තීරයට කඩාවැටී තිබෙනවා.

මේ බව අනාවරණ වී ඇත්තේ නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු වල නිරතව සිටි ධීවරයෙකු ධීවර දෙපාර්තමේන්තුවට කළ දැනුම්දීමත් සමඟයි.

ඉන්දීය අභ්‍යවකාශ නිරීක්ෂණ සංවිධානය අද (10) දිනයේ ‘පෝලා’ නැමති චන්ද්‍රිකාවක් කක්ෂ ගත කර තිබෙනවා.

මෙහි අබලි කොටස් මෙරට මුහුදු සීමාවට පතිත විය හැකි බවට ඉන්දියාව විසින් මෙරට නාවික හමුදාව ද දැනුවත් කර තිබූ බව සඳහන්.

එවැනි අබලි කොටස් කිහිපයක් මෙලෙස ත්‍රිකුණමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට පතිත වී ඇති බව සමුද්‍රීය නාවික ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට නිරීක්ෂණය වී ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඉන්දියාවේ ආන්ද්‍රාහි ශ්‍රී හාරිකොට් ප්‍රදේශයේදී අද (10) පෙරවරු 09:18 ට පමණ මෙම චන්ද්‍රිකාව කක්ෂ ගත කර ඇති අතර එය අඩු වියදමකින් නිෂ්පාදනය කරන ලද එකක් බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පෘථිවි උෂ්ණත්වය, සන්නිවේදන සහ විකිරණ සම්බන්ධතා පිළිබදව නිරික්ෂණය කිරීම මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ අරමුණ වී තිබුණා ෴


සුනඛ වන්ද්‍යාකරණය නවතී

(10.02.2023 – 13:38 +0530 – hirunews.lk/sinhala)

ජලභීතිකා රෝගය පාලනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සුනඛයින් සඳහා වන්ද්‍යාකරණ වැඩසටහන නවතා දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය හා පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි ප්‍රකාශ කළා.

මෙම වැඩසටහන හරහා සුනඛයන් හිංසනයට ලක්වන බව පවසමින් මෙරට පශු වෛද්‍ය සහ සත්ව ක්‍රියාකාරී සංගම් දැක්වූ විරෝධය හමුවේ මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *