අරණායක ත්‍රිපුද්ගල මරණයක් – පියා සහ දරුවන් දෙදෙනා

අරණායක ත්‍රිපුද්ගල මරණයක් – පියා සහ දරුවන් දෙදෙනා


අරණායක ත්‍රිපුද්ගල මරණයක් – පියා සහ දරුවන් දෙදෙනා

(06.02.2023 – 08:58 +0530 – hirunews.lk/sinhala)

අරණායක – ගොඩිගමුව ප්‍රදේශයෙන් ත්‍රිපුද්ගල මරණයක් වාර්තා වී තිබෙනවා.

පොලිසියට ලද තොරතුරකට අනුව ප්‍රදේශයේ පිහිටි අම්බලමක තිබී සියදිවි නසාගත් පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගැනුණා.

ඒ අසලම තිබී ජීවිතක්ෂයට පත්ව සිටි දරු දෙදෙනාගේ (2) ද සිරුරු සොයා ගැනුණා.

මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ පියා සහ දරුවන් දෙදෙනා (2) බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මියගිය පියාගේ වයස අවුරුදු 33 ක් වන අතර, මියගිය ගැහැණු දරුවාගේ වයස අවුරුදු 9 ක්. පිරිමි දරුවා හය (6) හැවිරිදි වියේ පසුවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර පවුල් ආරවුලක් මෙම සිද්ධියට හේතුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

++++++

අරණායක ඛේදවාචකයට මුල පවුල් ආරවුලක් බව හෙළි වෙයි

(06.02.2023 – 21:05 +0530 – hirunews.lk/sinhala)

අරණායක – පොල්අඹේගොඩ – ගොඩිගමුව ප්‍රදේශයේ දී පියා විසින් සිය දරු දෙදෙනා (2) ඝාතනය කොට ඔහු ද සිය දිවි හානි කරගෙන ඇත්තේ කලක සිට පවතින පවුල් ආරවුලක් හේතුවෙන් බවට දැනට පොලිසිය සැක පළ කරනවා.

ප්‍රදේශයේ අම්බලමක් තුළ තිබූ මෙම මළසිරුරු අද (06) උදෑසන සොයාගැණුනු අතර, මියගිය පියාගේ වයස අවුරුදු 33 ක්.

ගැහැණු දරුවා නව (9) හැවිරිදි වියේ පසු වන අතර මිය ගිය පිරිමි දරුවාගේ හය (6) හැවිරිදි වියේ පමණ වන බවයි පොලිසිය සඳහන් කළේ.

මිය ගිය පුද්ගලයා මීට මාස 2 කට පමණ පෙර අරණායක සිට සිය බිරිද සහ දරු දෙදෙනා (2) සමඟ තම උපන්ගම වන ගිරිඋල්ල ප්‍රදේශයට ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ කාන්තාව පෙරේදා (04) යළි අරණායක ප්‍රදේශයේ සිය නිවසට පැමිණ තිබුණේ ස්වාමියා සමඟ ඇති කරගත් ආරවුල් හේතුවෙන්.

අනතුරු ව සිය බිරිඳ කැඳවා ගෙන ඒම සඳහා මියගිය පුද්ගලයා සිය දරු දෙදෙනා (2) සමඟ ඊයේ (05) අරණායක නිවසට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු ඊයේ (05) දරුවන්ද යළි ගිරිඋල්ලේ පිහිටි සිය නිවස වෙත ගෙන ගොස් තිබුණා.

දරුවන්ගේ දෙමාපියන් අතර දීර්ඝ කාලයක සිට පවතින ආරවුල සම්බන්ධයෙන් පොලිසියට මීට පෙර පැමිණිල්ලක් ද ලැබී තිබූ අතර එය අද (06) විභාගයට ගැනීමට නියමිතව තිබූ බවයි ඥාතීන් ප්‍රකාශ කළේ.

ඒ සඳහා පෙනී සිටීම සඳහා පැමිණෙන ලෙසට පොලිසිය දරුවන්ගේ පියාට දැනුම් දීමක්ද සිදුකර තිබුණා.

එවන් පසුබිමකයි අදාළ පුද්ගලයා සිය දරුවන් දෙදෙනා (2) ඝාතනය කර තමන්ද මෙලෙස සිය දිවි හානි කර ගත්තේ.

+


‘බිට්කොයින්’ මෙරටට අර්බුදයට විසඳුමක් නොවෙයි – ආර්ථික විද්‍යාඥයින්

(06.02.2023 – 09:27 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ඩිජිටල් මුදල් ඒකකයක් වන ‘බිට්කොයින්’ වැනි නොපෙනෙන මුදල් ඒකකයක් මත විශ්වාසය තැබිය නොහැකි බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමය පවසනවා.

රටවල් කිහිපයක් එම ඩිජිටල් මුදල් ඒකකය භාවිත කළ ද එය මුද්‍රණය කරන පාර්ශ්වයක් හෝ එහි වගකීමක් දරන හෝ පරිපාලනය කරන නිශ්චිත අධිකාරියක් නොමැති වීම ගැටලු‍වක් බවයි එම සංගමයේ සභාපති සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති පූජ්‍ය මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙන එස්.ඩී.ආර්. හෙවත් විශේෂ පෙරගැණුම් හිමිකම් එවැනි අදෘශ්‍යමාන මුදල් ඒකකයක් වන අතර එය ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලබන බවත් ‘බිට්කොයින්’ සදහා එවැනි පිළිගැනීමක් නොමැති බවත් උන්වහන්සේ සඳහන් කළා.

ආර්ථිකය වශයෙන් බංකොලොත් වී ඇති ශ්‍රී ලංකාවට ඉන් මිදීම සදහා ඩිජිටල් මුදල් ඒකකයක් වන ‘බිට්කොයින්’ පුළු‍ල් ලෙස හදුන්වාදිය යුතු බවට ‘බිට්කොයින්’ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ඇමරිකාවේ ‘සිලිකන් වැලි’ පදනම් කරගත් බිලියනපති ආයෝජකයකු වන ‘ටිම් ඩ්‍රපෙර්’ විසින් යෝජනා කර තිබුණා.

ඒ ජාත්‍යන්තර ආර්ථික පුවත් සේවයක් වන ‘බ්ලූම්බර්ග්’ වෙබ් අඩවිය සමඟ සිදු කළ අදහස් දැක්වීමකදීයි.

කෙසේ වෙතත් දරුණු ආර්ථික අර්බුදයකින් පීඩා විඳින ලතින් ඇමරිකානු රාජ්‍යයක් වන එල්.සැල්වදෝරය ඊට පිළියමක් ලෙස පසුගිය කාලයේ දී ‘බිට්කොයින්’ හදුන්වා දුන්න ද එය සාර්ථක වූයේ නැහැ.

කෙසේ වෙතත් අද වන විට මෙරට තරුණ පරපුර ඩිජිටල් මුදල් ඒකකයක් වන ‘බිට්කොයින්’ ඉපයිමට වැඩි නැඹුරුතාවක් සහ පෙළඹවීමක් දක්වන අතර එම ඉපයීම් සිදු කරන ආකාරය පිළිබඳ ඉගැන්වීම් සිදු කරන සම්මන්ත්‍රණ ද බහුලව දැකිය හැකියි.

+


හෙරොයින් ජාවාරමට අනුබල දුන් කොස්තාපල්වරයෙකු ඇතුලු දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(06.02.2023 – 09:52 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ජාවාරමට අනුබලදුන් පොලිස් කොස්තාපල්වරයෙකු සහ ජාවාරම්කරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය, කෑගල්ල බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පිහිටි වයඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය අසළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පොලිස් කොස්තාපල්වරයා වරකාපොල පොලිසියට අනුයුක්තව සේවය කරන්නෙකු වන අතර, අනෙක් පුද්ගලයා තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 51 වන වියේ පසුවනවා.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින්වලට අමතරව යතුරුපැදියක්, ඒ.ටී.එම්. කාඩ්පත් හතක් (7), බැංකු ගිණුම් පොත් 4 ක්, සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ ලබාගැනීමේ කාඩ්පත් 3 ක් සහ ජංගම දුරකථන අටක් (8) ද සොයාගෙන තිබෙනවා.

මීට අමතරව විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු රාගම, තේ වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

30 හැවිරිදි මෙම පුද්ගලයා සන්තකයේ තිබී කේරළ ගංජා, හෑෂ්, කුෂ් සහ මත් මුද්දර සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴


කුරුණෑගල රාජ්‍ය බැංකුවේ ATM යන්ත්‍රයෙන් සොරාගත් මුදල රුපියල් ලක්ෂ 90 ක් බවට හෙළිවෙයි

(06.02.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala)

අලුත්වැඩියාවක් සිදුකරන මුවාවෙන් පැමිණ, කුරුණෑගල – ගැට්ටුවාන ප්‍රදේශයේ ATM යන්ත්‍රයෙන් සොරාගත් මුදල රුපියල් ලක්ෂ 90 ක් බවට අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හදුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි.

කුරුණැගල ගැට්ටුවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයේ තිබූ මුදල් සොරාගෙන ගොස් තිබුණේ පෙරේදා (04) දිනයේ දීයි.

එය පිහිටා තිබුණේ රාජ්‍ය බැංකුවෙන් වෙන්ව කුරුණෑගල දුම්රියපල ආසන්නයේ යි ෴


ඕමානයේ සුරක්ෂා නිවාසයක රඳවා සිටින කාන්තාවන් 17 කට හිරිහැර

(06.02.2023 – 13:39 +0530 – hirunews.lk/sinhala)

ඕමානයේ සුරක්ෂා නිවාසයක රඳවා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 17 දෙනෙකුට එහි පාලිකාවන් විසින් හිරිහැර කරන බවට හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

ඔවුන් මාස 4 ක පමණ කාලයක් මෙලෙස එහි රැදී සිටින බවයි වාර්තාවන්නේ.

තමන්ට නිසි ආකාරයෙන් ආහාරපාන හෝ නොලැබෙන අතර, එහිදී සුරක්ෂා නිවාසය භාරව සිටින පාලිකාවන් විසින් තමන්ට පහරදීම් ද සිදුකරන බවයි එම කාන්තාවන් කියා සිටියේ.

අප මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයන් විමසීමක් කළ අතර, එහි උසස් නිළධාරිනියක කියා සිටියේ මෙම කාන්තාවන් අදාළ සුරක්ෂා නිවාසයෙන් වෙනත් ස්ථානයකට මාරු කිරීමට කටයුතු කළ බවයි.

එහෙත් අදාළ කාන්තාවන් ඉවත් වීමට එකඟතාව පළ නොකිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ද ඇය කියා සිටියා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි එම නිලධාරිනිය තවදුරටත් කියා සිටියේ ෴


හිරු පුවතින් පසු ඉනාමළුව කරුණාරත්නගේ සිහින ඉටුවෙයි

(06.02.2023 – 13:45 +0530 – hirunews.lk/sinhala)

ආබාධිත දරුවන් තුන්දෙනෙකු (3) සමග පවතින ආර්ථික පීඩනයෙන් හෙම්බත් ව ජීවත්වන දඹුල්ල – ඉනාමළුව, රොටරිගම ප්‍රදේශයේ අසරණ පවුල පිළිබඳ ‘හිරු ප්‍රවෘත්ති’ සිදු කළ පුවත් අනාවරණය ඵල දරා තිබෙනවා.

ඒ එම අසරණ පවුලට පිහිට වීමට මනුසත්කම හඳුනන දානපතියන් දායක වීමත් සමගින්.

මෙම පුවත සැල වීමත් සමග කරුණාරත්න මහතාගේ පවුලට උදව් කිරීමට ‘ඔස්ට්‍රෙලියාවේ ගෝලීය කොංග්‍රසයේ’ දායකත්වය ඊට හිමිව තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකා පොලිසියේ සහාය ද ඔවුන්ට හිමිව ඇති බවයි දඹුල්ල අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඒ සමග ම කරුණාරත්න මහතාගේ පවුලට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාරපාන ආදිය වියළි සලාක වශයෙන් පරිත්‍යාග කිරීමට මෙම පිරිස් කටයුතු කර තිබුණා ෴


තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1500 ඉක්මවයි

(06.02.2023 – 17:41 +0530 – hirunews.lk/sinhala)

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1500 ඉක්මවා තිබෙනවා.

මෙම භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන 18 ක් සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ෴

+

තුර්කියේ නගර 10 ක් පුරා ගොඩනැගිලි 1,700 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බවයි තුර්කි උප ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ.

විදෙස් වාර්තා සඳහන් කළේ රික්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන 18 ක් සිදුව ඇති බවයි ෴

+

අද (06) උදෑසන ප්‍රබල භූමිකම්පාවක් සිදු වූ තුර්කියේ කහරමන්මාරස් පළාතේ එල්බිස්තාන් දිස්ත්‍රික්කයේ තවත් ප්‍රභල භූමිකම්පාවක් සිදු වී තිබෙනවා.

මෙම දෙවන (2) භූමිකම්පාව, රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබලත්වයකින් සටහන් වී තිබෙනවා.

තුර්කියේ කහරමන්මාරස් පළාතේ එල්බිස්තාන් දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ අද (06) උදෑසන භූමිකම්පාවේ අපිකේන්ද්‍රය පිහිටි ගාසියාන්ටෙප් (Gaziantep) සිට සැතපුම් 80 ක් පමණ උතුරු දෙසින්.

මෙම දෙවන (2) භූමිකම්පාව රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ එරට වේලාවෙන් පස්වරු 01:24 ට පමණ බවයි වාර්තා වන්නේ.

තුර්කියේ ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරියේ නිලධාරියෙකු පැවසුවේ මෙය කිසිසේත් “පසු කම්පනයක්” නොවන බවත් අද (06) උදෑසන හටගත් භූමිකම්පාව සහ මෙය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.

පළමු (1) භූමිකම්පාවෙන් පසු කහරමන්මාරස් ප්‍රදේශයේ අවම වශයෙන් මරණ 1000 ක් වත් සිදුව ඇති බවටයි එරට බලධාරීන් පවසන්නේ ෴

+

අද (06) උදෑසන ප්‍රබල භූමිකම්පාවක් සිදු වූ තුර්කියේ කහරමන්මාරස් පළාතේ විවිධ ස්ථානවල ශ්‍රී ලාංකිකයන් 9 දෙනෙකු සිට ඇති බව වාර්තා වනවා.

තුර්කි තානාපති ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම ශ්‍රී ලාංකිකයන් නව (9) දෙනා අතරින් අට (8) දෙනකු ම මේ වන විටත් සිය තානාපති කාර්යාලයය හරහා සම්බන්ධ කරගෙන ඇති බව යි.

ඔවුන් කිසිවකුටත් මෙම භූ කම්පනය හේතුවෙන් කිසිදු අනතුරක් සිදු වී නොමැති බවත් තුර්කි තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් ඔවුන් අතරෙන් එක් (1) පුද්ගලයෙකු පමණක් කඩා වැටුණු ගොඩනැගිල්ලක් තුළ සිට ඇති බවත් කෙසේ වෙතත් භූ කම්පනය සිදු වන අවස්ථාවේ ඔහු එම ගොඩනැගිල්ලෙන් පිට ව ගොස් සිටියා ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන තුරු පැහැදිලි කර ගැනීමක් සිදු කර ගැනීමට නො හැකි වී ඇති බවත් තුර්කි තානාපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියා.

අද (06) උදෑසන තුර්කියේ සිදු වූ මෙම බරපතළ භූමිකම්පාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 1500 ඉක්මවමින් ඇති බවයි තුර්කි ගලවා ගැනීමේ කණ්ඩායම් සඳහන් කරන්නේ.

වසර 100 කින් පමණ පසු කලාපය වාර්තා වූ බරපතළ ම භූමි කම්පාව මෙය වන අතර, එය රික්ටර් මාපකයේ 7.8 ක් ලෙසින් දැක්වුණා.

මෙම කම්පනයෙන් අනතුරු ව පසු කම්පන 18 ක් ඇති වී ඇති බව යි එරට ආපදා කළමනාකරණ බලධාරීන් පවසන්නේ.

එම පසුකම්පන සියල්ල ම රික්ටර් මාපකයේ ඒකක 4 ඉක්මවන තරමේ ප්‍රබල පසුකම්පන බව යි සඳහන් වන්නේ.

මේ අතර මෙම භූමිකම්පාවේ අපි කේන්ද්‍රය කිලෝමීටර් 24.1 ගැඹුරින් ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ (USGS) ආයතනය පවසන්නේ.

මේ අතර මෙම භූමිකම්පාවට පසු රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබලත්වයකින් යුත් තවත් භූමිකම්පාවක් තුර්කියේ කහරමන්මාරස් පළාතේ එල්බිස්තාන් දිස්ත්‍රික්කයේ සටහන් වී තිබෙනවා.

එල්බිස්තාන් දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ අද (06) උදෑසන භූමිකම්පාවේ අපිකේන්ද්‍රය පිහිටි ගාසියාන්ටෙප් (Gaziantep) සිට සැතපුම් 80 ක් පමණ උතුරු දෙසින් ෴

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *