මැතිවරණ කොමිසම රුපියල් මිලියන 770 ක් ඉල්ලයි

මැතිවරණ කොමිසම රුපියල් මිලියන 770 ක් ඉල්ලයි


මැතිවරණ කොමිසම රුපියල් මිලියන 770 ක් ඉල්ලයි

(05.02.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණයට මුදල් ලබා නොදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කිසිදු සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රුවන්වැල්ලේ අද (05) පැවති ජන හමුවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර පළාත්පාලන ඡන්ද විමසීමට අදාළ කාර්යයන් සඳහා පෙබරවාරි මාසය සඳහා පමණක් රුපියල් මිලියන 770 ක මුදලක් ලබාදෙන්නැයි මැතිවරණ කොමිසන් සභාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් කියා සිටියේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිතව මෙම ඉල්ලීම සිදුකළ බවයි.

එමෙන්ම තැපැල් ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය හෙට (06) හෝ අනිද්දා (07) ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා.

ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය මෙතෙක් ආරම්භ කර නොමැති බවත්, ඊට අදාළ සෝදුපත් බැලීම සිදු කෙරෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ ෴


ජාතික රෝහලේ සුළු සේවකයෙකු මත්පැන් සමඟ අත්අඩංගුවට

(05.02.2023 – 15:16 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයෙකු පොහොය දිනයේ නිවසේ මත්පැන් විකුණමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බුලත්සිංහල, ගෝවින්න – පහළ නාරගල ප්‍රදේශයේ පදිංචි මොහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්පැන් බෝතල් 20 ක් සමඟ බවයි පොලිසිය සඳහන් කළේ.

54 හැවිරිදි සැකකරු කලක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවට පොලිස් පරීක්ෂණවල දී හෙළිව තිබෙනවා ෴


රුපියල් බිලියන 05 ක් වටිනා බහාලුම් 88 ක් රේගුවේ සිරවෙයි

(05.02.2023 – 16:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට ආනයනය කර රේගුව විසින් රඳවා ගත් රුපියල් බිලියන 05 ක පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ සහ බහාලුම් 88 ක් පමණ වසර ගණනාවක් තිස්සේ වරායේ පර්යන්තවල සහ ගුදම් තුළ ස්ථානගතකර ඇති බව හෙළිව තිබෙනවා.

විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (03) එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී හෙළිව ඇත්තේ මේ හේතුවෙන් වරාය අධිකාරියට විශාල පාඩුවක් මෙන්ම ගුදම් හා පර්යන්තවල ඉඩඇහිරීම හේතුවෙන් පරිපාලන ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි.

මෙලෙස සිරවී ඇති භාණ්ඩ අතර 2015 වසරේදී රඳවා ගත් පුවක් බහාලුම් 12 ක්, 2019 වසරේදී රඳවා ගත් බාස්මතී සහල් බහාලුම් 39 ක්, 2020 වසරේ රඳවා ගත් ටයිල් බහාලුම් 15 ක්, 2013 වසරේ රඳවා ගත් වාහන අමතර කොටස් බහාලුම් 05 ක් වනවා.

ඊට අමතරව 2019 වසරේ රඳවා ගත් රෙදි පිළි සහ ලිපිද්‍රව්‍ය බහාලුම් 04 ක් මෙන්ම 2020 සහ 2021 වසරවල මත්පැන් සහ එතනෝල් බහාලුම් 04 ක් ද මේ අතර වන බවයි වාර්තා වන්නේ.

මෙම බහාලුම්වලින් බිම් ගාස්තු වශයෙන් රුපියල් මිලියන 2445 ක් වරාය අධිකාරියට අයවියයුතු බව එහි නිලධාරින් මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නා.

මීට අමතරව 2015 වසරේ සිට රඳවා ගත් බෙනස් සහ රේන්ජ්රෝවර් රථ දෙකක් (2) ඇතුළු මෝටර් රථ සහ ලොරි රථ 40 ක් පමණ වරාය අධිකාරිය පර්යන්තයේ දිරාපත් වන බවද හෙළිව තිබෙනවා.

වරාය අධිකාරියට ගුදම් ගාස්තු වශයෙන් රේගුව උපයාගත් මුදලින් අයකරගැනීමට නීතියෙන් ඉඩක් නොමැති බැවින් දිරාපත් වෙමින් තිබෙන භාණ්ඩ ඇතුළු බහාලුම් 88 ක් සතියක් ඇතුළත ඉවත්කිරීමට කටයුතු කරන ලෙසයි අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා උපදෙස් ලබාදී ඇත්තේ.


ගැටලුවක් නැහැ – පනත කියවා එන්නැයි උපයෝගිතා කොමිසමේ සභාපති කියයි

(05.02.2023 – 19:15 +0530 – hirunews.lk/sinhala)

දැනට පුරප්පාඩුව පවතින මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් කඩිනමින් පත්කරන්නේ නම් බාධාවකින් තොරව කොමිසමේ කටයුතු කරගෙන යාමට හැකි බව එහි සභාපති ජනක රත්නායක පවසනවා.

ඔහු කියා සිටියේ ඩග්ලස් නානායක්කාර කොමිසමේ සාමාජිකයෙකු ලෙස පත්කර ඇත්තේ නිසි ක්‍රමවේදය අනුව බවයි.

කෙසේ වෙතත් පත්වන නව සාමාජිකයන් මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත සහ විදුලිබල පනතද කියවා පැමිණිය යුතු බවයි සභාපතිවරයා කියා සිටියේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ මහාචාර්ය මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ පසුගිය සතියේ ඉල්ලා අස්වුණා.

කොමිසමේ සභාපති ජනක රත්නායකගේ අත්තනෝමතික ක්‍රියාකලාපය සහ වෘත්තිමයභාවයකින් තොරව කටයුතු කිරීම යන හේතු මත ඔවුන් එම ධුරවලින් ඉල්ලා අස්වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කළේ.

මේ අතර හෙට (06) විදුලි කප්පාදුව පැය 02 කට අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා ෴


ගම්පොළ බැංකු ටෙලර් යන්ත්‍ර කොල්ලයට හිටපු කොටියෙකුත් හවුල්

(06.02.2023 – dinamina.lk)

ගම්පොල නගරයේ පෞද්ගලික බැංකුවකට කඩා වැදී එහි ආරක්ෂක නිලධාරියා පුටුවක තබා ගැටගසා රුපියල් ලක්ෂ 76 කට අධික මුදලක් සමඟ මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය (සී.ඩී.එම්) කොල්ලකෑ කල්ලියේ පුනරුත්ථාපනය වූ ප්‍රබල එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු සිටින බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකයා අද-හෙටම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව පොලීසිය විශ්වාස කරයි. මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකයා එල්.ටී.ටී.ඊ.යේ හිටපු ඉදිරිපෙළ ක්‍රියාකාරියකු බව පෙනී යන බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

ඔහු කිලිනොච්චියේ පදිංචිකරුවෙක් බවට තොරතුරු මේ වන විට හෙළිවී ඇත.

මෙම කොල්ලයේ මහ මොළකරු ඇතුළු දෙදෙනෙක් (2) මේ වන විටත් අත්අඩංගුවට ගැනීමට ගම්පොල පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්ව ඇත. මෙම මහමොළකරුවා වසර 22 ක් යුද හමුදා විශේෂ බළකායේ සේවයේ නිරතව සිටියෙක් බව පොලීසිය කියයි. පන්නල ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් ඔහු මේ වන විට හදවත් රෝගයෙන් පෙළෙන බැවින් ප්‍රශ්න කිරීමේදී ඒ ගැනද විශේෂ අවධානයක් යොමු කිරීමට පොලීසියට සිදුවී ඇත.

මෙතෙක් කොල්ලකෑ සී.ඩී.එම්. යන්ත්‍රය සොයා ගැනීමට පොලීසියට හැකියාවක් ලැබී නැත. කුරුණෑගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම එම යන්ත්‍රය සොයා අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ ගියද මෙතෙක් එම යන්ත්‍රය සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත. සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම යන්ත්‍රය සොයා ගැනීමට හැකිවනු ඇති බවට පොලීසිය විශ්වාස කරයි.

ජනවාරි 25 වෙනිදා අලුයම් කාලයේදී කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයකින් පැමිණි සිව් (4) දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම බැංකු කොල්ලය සිදුකර තිබුණි. ඒ මෙරට ඉතිහාසයේ පළමු වරට මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රයක් පැහැර ගැනීමක් ද පොලිස් අපරාධ ලේඛන අතර සනිටුහන් කරමිනි. මෙම කොල්ලයෙන් පැය 04 කට පමණ පසු වෑන් රථය පේරාදෙණිය ගලහා හංදියේ දමාගොස් තිබියදී පොලීසියට හමුවී තිබුණි. එහි රියදුරුද දෑත් බැඳ වෑන් රථය අසල දමාගොස් තිබුණි. එම රියදුරු අරනායක පදිංචිකරුවෙකි. ගුවන් හමුදාවේ සේවයකර විශ්‍රාමික සෙබළෙක් වන ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණේ කුළී ගමනක් යන මුවාවෙන් වෑන් රථය පේරාදෙණියට ගෙන්වාගෙන තමාගේ දෑත් සහ දෑස් ගැටගසා වෑන් රථය පැහැරගෙන ගොස් නැවත වෑන් රථය සමඟ තමාව අතහැර ගිය බවය.

රියදුරුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඇතිවුණු පරස්පර සහ සැකයන් මත ඔහුව දින කිහිපයක්ම පොලිස් භාරයේ තබාගෙන විමර්ශන පවත්වන ලදී. ඒ අතර තුර අවස්ථා දෙකකදී (2) ඔහුට අයත් බැංකු ගිණුමකට වෑන් රථයේ කුළිය බව කියමින් රුපියල් ලක්ෂයක (100,000) මුදලක් කොල්ලකරුවන් විසින් බැරකර තිබුණි. එම මුදල් බැරකර ඇත්තේ අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු බව කියැවෙන යුද හමුදා විශේෂ බළකායේ සේවය කළ සෙබළාය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි බැංකුවක සී.ඩී.එම්. යන්ත්‍රයකින් ඔහු මෙම මුදල් බැරකර ඇති බව පොලීසිය හෙළිකර ගෙන තිබේ. ඔහු මුදල් තැන්පත් කරන අයුරු එම බැංකුවේ ඇති ආරක්ෂක කැමරාවල පවා සටහන්ව තිබී ඇති බවද කියැවේ.

කුළී ගමනක් යාම සඳහා යැයි සඳහන්කරමින් පේරාදෙණියට වෑන් රථය ගෙන්වාගත් බව රියදුරු පොලිසියට පවසා තිබුණි. එම ඇමතුම ලබාදුන් දුරකතන අංකය සහ බැංකුවට මුදල් තැන්පත් කළ බැංකු ශාඛාවේ දත්තයන් ඔස්සේ කළ විද්‍යාත්මක විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබුණි. කෙසේ වෙතත් රියදුරුගේ හැසිරීම සහ විමර්ශනවලින් පෙනී ගිය කරුණු මත වෑන් රථයේ රියදුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුගිය 30 වෙනිදා අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගත්තේය. එහෙත් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කෙරන ප්‍රශ්න කිරීම් හමුවේ මෙතෙක් මෙම රියදුරු මෙම කොල්ලයට සම්බන්ධ බවට තොරතුරු හෙළි නොවන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. එය එසේ වූවත් රියදුරු සම්බන්ධයෙන් විමර්ශන තවදුරත් සිදුකෙරන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ගම්පොල බැංකුවෙන් කොල්ලකෑ ‘මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය’ කේ.ඩී.එච්. වෑන් රථයේ දමාගෙන ගියද එය අතර මඟදී වෙනත් වාහනයක පටවාගෙන වෙනත් ප්‍රදේශයකට රැගෙන ගොස් ඇති බව ද මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇත. බැංකුවේ යන්ත්‍රය ගලවාගෙන රැගෙන යාමට කොල්කරුවන්ට හැකියාව ලැබී ඇත්තේ එම යන්ත්‍රය බිමට සවි වන්නට අල්ලා ඇති ඇණ හතරකින් (4) දෙකක් (2) පමණක් සවිකර තිබීමත් එම සවිකර ඇති ඇණද සවිමත් ලෙස තිබී නැති නිසා බවත් පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. කොල්ලකරුවන් ගම්පොල මෙම සී.ඩී.එම්. යන්ත්‍රයම කොල්ලකෑමට තීරණය කිරීමත් එම යන්ත්‍රයේ ඇණ නිසි ලෙස සවිකර නොතිබීමත් අතර යම් සම්බන්ධයක් තිබිය හැකි බව පොලීසිය සැක කරයි.

මෙම සැකයන් තහවුරුකර ගැනීමට මේ වන විට පුළුල්ව විමර්ශන පැවැත්වෙන බව පොලිස් තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය.

~ ගයාන් කුමාර වීරසිංහ


පියා, දියණිය සහ ඥාති පුත්‍රයෙකු දැදුරු ඔයට බිලි

(05.02.2023 – 20:12 +0530 – hirunews.lk/sinhala)

හලාවත – දැදුරු ඔය මෝයකට ප්‍රදේශයේ දිය නෑමට ගිය එකම පවුලේ පියා සහ දියණිය මෙන්ම ඥාති පුත්‍රයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් වුණා.

මීගමුව – දල්පොත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පියා, 6 හැවිරිදි දියණිය සහ 7 හැවිරිදි ඥාති පුත්‍රයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මීගමුවේ සිට පැමිණි ඔවුන් අද (05) හලාවත – එගොඩ උයන ඥාතියෙකුගේ නිවසට පැමිණ දැදුරු ඔය හරහා බෝට්ටුවකින් මෝයකටේ දිය නෑමට පැමිණ තිබෙනවා.

එහිදී ඔවුන් සැඩ පහරකට හසුවී දියේ ගිලී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මිය ගිය තුන්දෙනාට (3) අමතරව අවුරුදු 2 ක් පමණ වයසැති කුඩා දරුවෙකු සහ 36 හැවිරිදි පුද්ගලයෙකු ද දියේ ගිලීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර ඊයේ (04) පස්වරුවේ පයාගල – පැලපොල්වත්ත වෙරළ තීරයේ දියනෑමට ගිය හතරදෙනෙකු (4) ගෙන් එක් (1) අයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 23 හැවිරිදි මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴


‘ඩෑන් ප්‍රියසාද්’ගේ සහෝදරයෙකුගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සිවු දෙනෙකු අත්අඩංගුවට

(05.02.2023 – 22:55 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ ජූලි මස 25 වැනිදා වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ගුවන් පාළම යටදී ‘ඩෑන් ප්‍රියසාද්’ගේ සහෝදරයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සිවුදෙනෙකු (4) කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් එක් (1) සැකකරුවෙක් මිනිස් ඝාතන 3 කට සම්බන්ධ අයෙක් වන අතර ඝාතනයට යොදාගත් කඩු දෙකක් (2), ඝාතනය සඳහා ඔවුන් පැමිණි මෝටර් රථය ද සිය භාරයට ගත් බව පොලිසිය පැවසුවා ෴


දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

(06.02.2023 – 06:27 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ‘දර්ශන හඳුන්ගොඩ’ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (06) අලුයම මොහුව අත් අඩංගුවට ගැනුණේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදියි.

‘දර්ශන හඳුන්ගොඩ’ නමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදි කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුව අත් අඩංගුවට ගනු ලැබුවා.

+

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ ඇප මත මුදා හැර තිබෙනවා.

අද (06) දහවල් ඔහුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනිසුරුවරයා තීරණය කළේ ඔහුව ඇප මත නිදහස් කිරීමටයි.

අද (06) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගැනුණේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.

ඒ ඔහු ඩුබායි සිට යළිත් දිවයිනට පැමිණි අවස්ථාවේ දියි ෴


පැලවත්තේදී ව්‍යාපාරිකයාගේ ඝාතනයට ඇල්ලූ සැකකරුවන් අද (06) අධිකරණයට

(06.02.2023 – 08:35 +0530 – hirunews.lk/sinhala)

පැලවත්ත නිවසක නාන තටාකයේ තිබී සොයාගත් නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ මරණය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට (06) වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

මෙම සිද්ධියේ 27 හැවිරිදි ප්‍රධාන සැකකරු සහ 23 හැවිරිදි බිරිඳ ඊයේ (05) අත්අඩංගුවට ගත් අතර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මෙම ඝාතනය ඔහු විසින් සිදු කර ඇති බවටයි.

සමාජ මාධ්‍ය මිතුරු ජාලයක් හරහා තමන් අදාළ ව්‍යාපාරිකයා හඳුනාගත් බවත්, පළමුවරට එම ව්‍යාපාරිකයා හමුවුයේ පසුගිය 30 වනදා බවත් සැකකරු පොලිසියට සඳහන් කර තිබෙනවා.

පළමුව වෙනත් ස්ථානයකදී ව්‍යාපාරිකයා හමුවීමට කතිකා කර ගත්ත ද පසුව පැලවත්ත ප්‍රදේශයේ නිවස වෙත පැමිණීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ව්‍යාපාරිකයාගේ මෝටර් රථයෙන් ඔහු එම නිවසට ගොස් ඇති අතර එහිදී සැකකරු ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂයක (100,000) මුදලක් ඉල්ලා ඇති බව ද පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

ව්‍යාපාරිකයා එහිදී සඳහන් කර ඇත්තේ, තමන් සතුව එතරම් මුදලක් මෙම අවස්ථාවේ නොමැති බවයි.

මුදල් ලබා නොදීම හමුවේ යම් මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව ද පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සැකකරු ව්‍යාපාරිකයාට මුගුරකින් පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ව්‍යාපාරිකයා මියයාමෙන් අනතුරුව සැකකරු ඔහුගේ බැංකු කාඩ්පත් සහ මුදල් පසුම්බිය රැගෙන ව්‍යාපාරිකයාගේ මෝටර් රථයෙන්ම නිවසෙන් පිටව ගොස් තිබෙනවා.

එලෙස පිටව ගොස් ව්‍යාපාරිකයාගේ බැංකු කාඩ්පත භාවිත කර ඉන්දුනිසියාව වෙත යාමට ගුවන් ටිකට් පත් දෙකක් (2) මිල දී ගෙන ඇති අතර ගුවන් තොටුපළට ගොස් ආපසු පැමිණ ඇත්තේ එම අවස්ථාවේදීම වීසා ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

කෙසේ වෙතත් ආපසු පැමිණ මොවුන් නිවසක් ලබා ගැනීමට ව්‍යාපාරිකයාගේ බැංකු කාඩ් පතින් රුපියල් ලක්ෂ එකහමාරක (1,50,000) මුදලක් ද ඇතුළු තවත් රුපියල් ලක්ෂ 8 ක පමණ මුදලක් ලබාගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාස සිදු කළ විමර්ශනවල දී හෙළිව තිබෙනවා.

බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින නිවසක පිහිනුම් තටාකයේ තිබී එහි හිමිකරු වන අදාළ නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ මළ සිරුර සොයාගනු ලැබුවේ පසුගිය 02 වනදායි.

49 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුගේ බිරිඳ අද (06) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පැලවත්ත නිවසක නාන තටාකයේ තිබී සොයාගත් නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ තවත් පැය විසි හතරක (24) කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුගේ බිරිඳ අද (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමටද නියම කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 27 හැවිරිදි ප්‍රධාන සැකකරු සහ 23 හැවිරිදි ඔහුගේ බිරිඳ ඊයේ (05) අත්අඩංගුවට ගත් අතර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මෙම ඝාතනය අදාළ පුද්ගලයා විසින් සිදු කර ඇති බවටයි.

බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින නිවසක පිහිනුම් තටාකයේ තිබී එහි හිමිකරු වන අදාළ නිමි ඇඳුම් ව්‍යාපාරිකයාගේ මළ සිරුර සොයාගනු ලැබුවේ පසුගිය 02 වනදායි.

49 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴


වන නිලධාරියෙකුට පහර දුන් පුංචි ඡන්ද අපේක්ෂකයෙකු අල්ලයි

(06.02.2023 – 08:50 +0530 – hirunews.lk/sinhala)

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පහරදී ඔහුගේ රාජකාරියට බාධා එල්ල කළ බව කියන මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත් ව සිටින අපේක්ෂකයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී අන්දමින් වල්ලාපට්ටා කපා දමන පිරිසක් සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී මාදම්පේ – පනිරෙන්දාව රක්ෂිතයේ ආසන්නයේ ඊයේ (05) මෙම පහර දීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහරකෑමෙන් තුවාල ලැබූ වන සංරක්ෂණ නිලධාරියා මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය අදාළව සිදු කළ විමර්ශනවලදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මෙවර පළාත්පාලන ඡන්ද විමසීමේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් බිංගිරිය ප්‍රාදේශීය සභාවට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටිනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *