13 ට එකඟ වුනොත් හෙට සිට අපට ගෝනි ගනන් සල්ලි එනවා… – විමල් වීරවංශ

13 ට එකඟ වුනොත් හෙට සිට අපට ගෝනි ගනන් සල්ලි එනවා… – විමල් වීරවංශ


13 ට එකඟ වුනොත් හෙට සිට අපට ගෝනි ගනන් සල්ලි එනවා… – විමල් වීරවංශ

(05.02.2023 – 16:40 +0530 – lankacnews.com)

ජනාධිපතිවරයා දෙවැනි (2) වරටත් පාර්ලිමේන්තුව කල් දමනු ලැබුවේ ‘ලොකු පුටුවක’ යළි වාඩිවීමට යැයි පවසමින් ජනාධිපතිවරයාගේ සැබෑ වෑයම යටගැසීමට ඇතැමුන් උත්සාහ ගත්තත් ජනාධිපතිවරයා සූදානම් වන්නේ ‘දහතුන්වැනි (13) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම’ තම රාජාසන කතාවට ඇතුළත් කර එය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කරගෙන, තම බෙදුම්වාදී ගමනට සුජාතභාවය සාදා ගැනීමට යැයි ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අනාවරණය කර සිටියේය.

ඒ මහතා මෙසේ අනාවරණය කළේ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ‘රනිල් 13 බලාත්මක කර රට බෙදෙන හැටි’ මැයෙන් ප්‍රසිද්ධ දේශනයක් පවත්වමිනි.

එහිදී දීර්ඝ ලෙස කරුණු දැක් වූ ජානිපෙ නායකවරයා :

“දින 04 ක් පමණ රෝහල්ගතව සිටීමෙන් අනතුරුව තව දින 04 – 05 ක් විවේකීව සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබුණත් දින එකහමාරක (1½) විවේකයකින් පසු අපි මේ දේශනය සඳහා අවතීර්ණ විය යුතු යැයි කල්පනා කළේ මෙය තව දවසක් හෝ ප්‍රමාද කිරීම අපේ ජාතියේ ඇස් අන්ධ කරන්නවුන්ට වක්‍රාකාරව හෝ අනුබල දීමක් කියා අප විශ්වාස කරන නිසයි.

මේ අවස්ථාවේ මට සිහිපත් වෙනවා, ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ සියවස සමරන අවස්ථාව වන විට එමඟින් බිහි කළ දරුවා, ‘සමාජවාදී සෝවියට් සංගමය’ ජීවමානව පැවතුණේ නැහැ. අපේ රටේ වත්මන් පාලකයන් 75 වන නිදහස් සැමරුම අභිමානවත් අන්දමින් පවත්වන්න මේ දිනවල සූදානම් වෙනවා. රට දරුණු ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එසේ නිදහස් සැමරුම පවත්වන්න හදන මේ පාලකයන් ක්‍රියාත්මක කරමින් සිටින ක්‍රියාන්විතයේ ප්‍රතිඵලයක් හැටියට 80 වැනි නිදහස් සැමරුම හෝ ඊටත් පෙර නිදහස් සැමරුම් අපටත් සමරන්න වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය ජීවමානව නොමැති අවස්ථාවකදී ද? යන බරපතළ ප්‍රශ්නය පාමුලයි අප සිටින්නේ. මේ රටේ සහ ලෝකයේ සමාජ – ආර්ථික – දේශපාලන තත්ත්වයන් පිළිබඳව ගැඹුරු කියැවීමක් තිබෙන ඕනෑම කෙනෙකුට ඒ ප්‍රශ්නය මතුවෙනවා.

කාකයන් බහුල රටක්

‘මහාචාර්ය සුනිල් ආරියරත්නයන්’ සම්පාදනය කළ එක් කෘතියක් තිබෙනවා ‘දෙමළ ආත්තෝපදේශ’ කියා. එම කෘතියේ තිබෙනවා එක් ආත්තෝපදේශයක්, ‘කාකයන්ගෙන් තොර ගම පාපයන්ගෙන් තොර ගමකි’ කියා. එය අනෙක් පැත්තට කියවා ගත්තොත් ‘කාකයන්ගෙන් බහුල ගම පාපයන්ගෙන් බහුල ගමකි’. අද අපි ජීවත් වෙන්නේ ‘කපුටු කාක්’ පමණක් නොවෙයි, කාකයන් බහුල රටක. මේ රට අද ජාත්‍යන්තර කාකයන්, විවිධ රටවල න්‍යාය පත්‍රවලට ක්‍රියාත්මක කාකයන්, එවැනි දේශපාලනඥයන් බහුල රටක් වීම නිසා පාපයන්ගෙන් බහුල රටක් බවට ද පත් වෙලා. කාකයන් බහුල රටක පාපයන් බහුල වෙනවා වගේ, ආර්ථික අර්බුදය උත්සන්න වෙලාවක තමයි දුෂ්ට අභිමතාර්ථ සඵල කරගන්න පුළුවන් වෙන්නේ.

පෙරදිග – අපරදිග වෙනස

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කතා කිරීමට පෙර අපි අද ජීවත් වන්නේ කවර ආකාරයේ ලෝකයක ද, ඒ ලෝකයේ අපි ඉන්නේ කවරාකාරයේ තැනක ද? යන්න පළමුකොටම පැහැදිලි කිරීමට මම බලාපොරොත්තු වෙනවා. දේශගුණික වශයෙන් ලෝකය පෙරදිග සහ අපරදිග යනුවෙන් බෙදී තිබෙනවා. අපරදිගට හිරු පායන්නේ මාස හයක් හෝ ඊට මදක් අඩු හෝ වැඩි කාලයක් නිසා ඔවුන්ට හිම වැටෙන කාලය සඳහා ආහාර හා අනෙක් දේවල් රැස්කර තබා ගන්න සිදු වෙනවා. ඒ නිසා අපරදිග ඒ මාස 06 ස්වාර්ථය වෙනුවෙන් තමයි ගෙවන්නේ. අපරදිග මිනිසාට හිරු එළිය මාස හයක් පමණක් ලැබෙන නිසා ඔහුගේ හම සුදු වුණා. පෙරදිග මිනිසාට 365 දවසේම හිරු එළිය ලැබෙන නිසා ඔහුගේ හම කළු හෝ තලෙළු වුණා. සීතල වැඩි නිසා අපරදිග මිනිසාට ඇල්කොහොල්, සිගරට් උවමනා වුණා. අවශ්‍ය නැතත් ඔහු ඒවා පෙරදිග මිනිසාටත් අලෙවි කරන්න පෙළඹුණා. අපරදිග ජීවන රටාවත් ඊට අදාළව සැකසුණා. මා නරඹපු චිත්‍රපටයක තිබුණා මට මතකයි, සහෝදරයන් දෙදෙනකු සහිත යුරෝපා පවුලක, සීත ඍතුව කාලයේ වැඩිමහල් සොහොයුරාගේ කකුල කැඩෙනවා. මල්ලිට හැකියාවක් නැහැ, අයියාව බලාගන්න. ඔහු ඉන්නේ ස්වාර්ථය මත පදනම් වූ දුෂ්කර ජීවන අරගලයක. එහෙම දෙයක් සිදු වුණාම ඒ රටවල තිබුණු උත්තරය තමයි හිම කන්දක් උඩට ගිහින් අදාළ කෙනාව පහළට අත හරින එක.

පෙරදිග දැනුම් සම්භාරය

බ්‍රිතාන්‍යයන් අපට මිෂනාරි අධ්‍යාපනය ලබා දීමට පටන් ගත්තු කාලයේ ඔවුන් මූලික මිනිස් අවශ්‍යතා ලෙස ඉගැන්වූයේ ආහාර, ඉඳුම්හිටුම්, ඇඳුම්පැළදුම් යන ඒවා පමණයි. අපරදිග දැන සිටියේ එපමණයි. ඖෂධ කියා ජාතියක් ඔවුන් දැන සිටියේ නැහැ. අපරදිග ශාක විවිධත්වයක් නොමැති වීම ඊට හේතුවයි. එම නිසාම ශාක විවිධත්වය මත පදනම් වූ දැනුම් පද්ධතියක් ඔවුන්ට නැහැ. අපරදිගින් සොයාගන්න බැහැ පැරණි රෝහලක්. නමුත් මිහින්තලයෙන් සොයාගත්තා ලෝකයේ පැරණිම රෝහල; පැරණිම ශල්‍ය උපකරණ කට්ටලය. දේශීය වෛද්‍ය දැනුම් පද්ධතියක් අපරදිග බිහි වූයේ නැහැ. ඒ නිසා ඔවුන් ඒ කාලයේ කළේ යාච්ඤා කරපු එක. පෙරදිග මිනිසාට විවේකය තිබුණා. ඊළඟ මාස හය සඳහා මේ මාස හය මරාගෙන මැරෙන්න වුවමනා වුණේ නැහැ. ග්‍රහ තාරකා දෙස බලාගෙන ඔහු ජ්‍යොතිෂය බිහි කළා. පෙරදිග වෛද්‍ය දැනුම් පද්ධතියක් බිහි කළා. පරාර්ථය, සාමූහිකත්වය සහිත පවුල නැමැති ඒකකයට වටිනාකමක් දෙන සමාජයක් පෙරදිග බිහිවුණා. අපරදිග අම්මලා, තාත්තලා වයසට ගියාම රැකබලාගන්නා දරුවෝ හෝ අවුරුදු දාසයෙන් පසුව දරුවන් රැකබලාගන්නා අම්මලා, තාත්තලා ද නැහැ. අපරදිග ආචාරධර්ම බිහිවුණේ එහි පැවති තත්වය අනුවයි. නමුත් පෙරදිග කියන්නේ විශාල දැනුම් සම්භාරයක් බිහි කළ තැනක්. බුදුදහම බිහි වෙනවා, ධ්‍යාන වඩපු භික්ෂූන් වහන්සේලා, සෘෂිවරුන් පෙරදිගින් හමු වෙනවා. නමුත් පෙරදිග, ඒ දැනුම් සම්භාරය වෙළෙඳ භාණ්ඩයක් ලෙස හෝ අනෙකාගේ දෙයක් කඩාගන්න හෝ යොදාගත්තේ නැහැ.

කොල්ලකෑම : බටහිර ආවේණික ලක්ෂණය

මේ වෙනසත් සමඟ අපරදිග බිහිවූ චින්තනය තමයි නව ලිබරල්වාදය ලෙස මේ එන්නේ. ඉතිහාසය පුරා අපරදිගට සිදු වෙනවා, ආක්‍රමණ කරලා වෙන රටවල ධනය කොල්ල කන්න; උපායමාර්ගිකව වැදගත් ස්ථානවල සාරය උරා ගන්න. එහෙම තමයි ඔවුන්ට පවතින්න පුළුවන්. රෝම, ප්‍රංශ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඇතුළු ලෝක ඉතිහාසය තුළ බිහි වුණු අධිරාජ්‍යයන්ගේ අතිශය බහුතරය අයිති අපරදිගටයි. ඒකට හේතුව තමයි කොල්ලකෑමෙන් තොරව අපරදිගට පවතින්න බැරිකම. පසුගිය දිනවල රුසියානු ජනාධිපති ‘ව්ලැදිමීර් පුටින්’ මෙය කදිම ආකාරයට පවසා තිබුණා, ‘බටහිරයන්ගේ ආවේණික ගති ලක්ෂණය කොල්ලකෑම’ යනුවෙන්. අපරදිග අත, ලෝක පාලන බලය පවතින්නේ කවදා දක්වා ද, ඒ දක්වා අන්‍ය රාජ්‍යයන්, අන්‍ය ජාතීන්ගේ සම්පත් කොල්ලකෑම හා අත්පත් කරගැනීම ඔවුන්ගේ ධර්මයේ මූලික සිද්ධාන්තයක්.

නව ලිබරල්වාදය

ඉහත කී අපරදිග සහජාත ලක්ෂණය හෙවත් කොල්ලකෑම සහ අත්පත් කරගැනීමට අද කියනවා, ‘නව ලිබරල්වාදී වෙළඳපොළ ආර්ථික ක්‍රමය’ කියා. පරණ කොල්ලකෑම සහ අත්පත් කරගැනීමට දමා තිබෙන ‘දවටනය’ තමයි නව ලිබරල්වාදය කියන්නේ. මේ නව ලිබරල්වාදී ලෝක ආධිපත්‍යය තුළ අප වැනි රටවල් බලවත් අභියෝගයකට මුහුණ පා තිබෙනවා. නව ලිබරල්වාදය කියන්නේ ‘බලය ප්‍රාදේශීයකරණය විය යුතුයි. ආර්ථිකය සහ සංස්කෘතිය ගෝලීයකරණය විය යුතුයි’ කියලයි. ඒ අනුව මුළු පෘථිවි තලයේ සිටින මිනිස්සු එක් සංස්කෘතියකට අනුගත විය යුතුයි. නමුත් ආර්ථිකමය වශයෙන් කුඩා කැබලිවලට බෙදුණු දුර්වල රාජ්‍යයන් රැසක් පැවතිය යුතුයි. මේ නව ලිබරල්වාදී මූලෝපාය ඇතුළේ ලෝකයේ බොහෝ රටවල් එහි ඵලවිපාකවලට ගොදුරු වෙනවා. එමගින් රාජ්‍යයන් ඩැහැගැනීම අනවරතව සිදුවෙමින් තිබෙනවා.

ක්‍රස්තෝ සහෝදරයාගේ පැහැදිලි කිරීම

මේ පිළිබඳව මියයාමට ආසන්න කාලයේ කියුබාවේ හිටපු ජනාධිපති ‘ෆිදෙල් ක්‍රස්තෝ’ සහෝදරයා මෙසේ සඳහන් කළා. ‘මේ මොහොතේදී සමාජවාදය ගොඩනැගීම සඳහා අවශ්‍ය විෂයමූල සහ මනෝමූල සාධක යහපත් තත්වයේ පවතින බවට කිසිවකුට සහතික දිය නොහැකිය. මෙම මොහොතේදී ඊට වඩා ප්‍රමුඛතාවක් තිබෙන බව මගේ විශ්වාසයයි. මගේ තක්සේරුවේ හැටියට ලතින් ඇමරිකාවේ පැනනැගී ඇති අත්‍යවශ්‍ය සහ වැදගත්ම සටන වන්නේ ‘නව ලිබරල්වාදය’ පරාජය කිරීමයි. ඊට හේතුව අපි එසේ නොකළහොත් අපගේ ස්වාධීන රාජ්‍යයන් අතුරුදහන් වී ඒවා තුන්වැනි ලෝකයේ රටවල් ලෙස පැවැති තත්ත්වයටත් වඩා, යටත්විජිත රාජ්‍යයන් බවට පත්වීමයි.’ මේ කාරණය ඔබට මීට වඩා පැහැදිලි කරන්නේ කෙසේද, කියා මටත් පැහැදිලි නැහැ.

අල්වාරෝ ගාර්සියා ලිනේරා මැතිතුමාගේ පැහැදිලි කිරීම

ඒ වගේම බොලීවියාවේ උප ජනාධිපතිව සිටි ‘අල්වාරෝ ගාර්සියා ලිනේරා’ මැතිතුමා නව ලිබරල්වාදී මෙහෙයුමට ලක්වන රාජ්‍යයට අත්වන ඉරණම පිළිබඳව මෙසේ පෙන්වා දෙනවා. ‘නව ලිබරල්වාදයේ හඳුන්වාදීම විසින් රාජ්‍යය හැකිළවීමට සහ එය අංගවිකල කිරීමට, විශේෂයෙන් සාමූහිකත්වයට හෝ පොදු ධනයේ අදහස්වලට අනුව හොඳට හෝ නරකට හේතුවූ රාජ්‍යයේ හැඩය විකෘති කිරීමට හේතු වී තිබෙනවා. පරම්පරා දෙකකට, තුනකට, සතරකට හෝ වැඩි කාලයක් පුරා ඒකරාශී වූ සාමූහික ධනය අත්පත් කරගැනීමේ හා කාබාසිනියා කර දැමීමේ සංස්ථාපිත මතවාදය ක්‍රියාත්මක කරවීමේ අරමුණින් සාමූහිකත්ව හා පොදු ධනයක් ලෙස රාජ්‍යය පිළිබඳව පැවැති හැඟීම විනාශ කරලීමට නව ලිබරල්වාදය සැදීපැහැදී සිටිනවා.’ මේ පොදු තත්ත්වයට අදාළව තමයි අපිට අපේ රාජ්‍යයට වෙන්න යන දේ ගැන කතා කරන්න වෙන්නේ.

පෘතුගාලයේ එම්මානුවෙල් රජුගේ කියැවීම

නව ලිබරල්වාදී ව්‍යාපෘතියේදී අපේ රට ගැන විශේෂ අවධානයක් යොමු වන්නේ ඇයි? ඒ ගැන පැහැදිලි කරගන්න නම් 15 වන සියවසට යන්න වෙනවා. 15 වන සියවස අවසානයේදී පෙරදිගට පැමිණි පෘතුගීසීන් ඉන්දියාවේ ස්වකීය යටත් විජිත රැකගැනීම සඳහා ලංකාව යටත් කරගැනීම අනිවාර්ය කොට සැලකුවා. පෘතුගාලයේ ‘එම්මානුවෙල් රජු’ විසින් ඉන්දියාවේ ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා වූ ‘ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා’ට යැවූ ලිපියක මෙසේ සඳහන් වෙනවා. ‘අපට ලැබී ඇති ආරංචිවලින් පෙනී යන්නේ, පෙරළා එන ගමනේදී දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබුණොත් යුෂ්මතාට ඉන්දියාවේ වැදගත් රාජ්‍යයක් වන ලංකාවට පැමිණිය හැකි බවය. එය ධනයෙන් ආඪ්‍ය වන්නා සේම එයින් අපට ලද හැකි ලාභ ප්‍රයෝජන ද අතිමහත්ය. එහෙයින් යුෂ්මතා එහි පැමිණ බලකොටුවක් ගොඩනගා එහි ආරක්ෂාවට සෑහෙන තරම් නැව් හා හේවායන් නැවැත්විය යුතුය. අපට පෙනී යන තවත් කරුණක් නම් දිවයිනේ ඉතා කදිම කුරුඳු හා නොයෙක් වර්ගයේ මුතු ද ඇතුන් ද අගනා වූත් ලාභගත හැකි වූත් වෙනත් වෙළඳ භාණ්ඩයන් ද ලැබෙන හෙයින් හා එය බෙංගාලයේ වරායට හා මලක්කාවට ද කයාල් නම් ස්ථානයට ද ඉතා ආසන්නව පිහිටා තිබෙන හෙයින් ද මලක්කා සමුද්‍ර සන්ධිය හා බෙංගාල වරාය හා යනෙන නෞකා මාර්ගයේ පිහිටා තිබෙන නිසා කිසිම නැවකට එය නොදැක හෝ ඊට නොදැනුවත්ව යා නොහැකි හෙයින් හා ‘දූපත් දොළොස්දාහේ මුහුද’ට ඉතා ආසන්න හෙයින් ද එහි ගොඩනගන බලකොටුව ඉන්දියාවට ඉතා ආසන්න හෙයින් ද යුෂ්මතා අපේ නියෝගය පරිදි බලකොටුවක් තැනීමට සියලු පරිශ්‍රම දැරිය යුතු බවය. එපමණක් නොව, යුෂ්මතාගේ ප්‍රධාන වාසස්ථානය එය විය යුතු බව ද අපට පෙනේ. ඒ කරණකොටගෙන යුෂ්මතා සියලු දෙයෙහි මධ්‍යස්ථානය වන්නාක් මෙන්ම එයින් අපගේ මෙහෙයත් පෞද්ගලික වශයෙන් යුෂ්මතාත් දැනට වඩා ආනුභාව සම්පන්න වේ. උක්ත ප්‍රකාර යුෂ්මතාගේ ප්‍රධාන මධ්‍යස්ථානය මෙකී දිවයින කොට ගත් කල යුෂ්මතා පෙරදිග අප සතු සියලු බලකොටුවලට ද සියලු දෙයෙහි ද මධ්‍යස්ථානය වන හෙයින් එතැන් සිට අන් කිසිම තැනක සිටිනවාට වඩා හොඳින් සියලු කාර්යයන් නිසි මග යොදවන්නට හා ඒවාට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නටත් යුෂ්මතාට අවස්ථාව ලැබේ. එහෙයින් අපේ අභිමතය වන්නේ ද අපගේ රාජ නියෝගය වන්නේ ද යුෂ්මතා මෙය මුදුන් පැමිණවීමට ව්‍යාවෘත විය යුතු බවයි.’ මේ උපුටා ගැනීම අප සිදු කරන්නේ රෝහණ විජේවීර සහෝදරයාගේ ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’යන කෘතියෙන්.

ජෝන් කෙරීගේ තක්සේරුව

ඒ 15 වන සියවස අග භාගයේදී අපේ රට ගැන ඔවුනට තිබූ තක්සේරුව. මෑතකාලීනව සිදු කළ තක්සේරුවක් ද අපට දැකගත හැකියි, 2015 මැයි 03 වැනිදා කොළඹ ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේදී එවකට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ‘ජෝන් කෙරී’ සිදු කළ දේශනයකින්. පෘතුගාලයේ එම්මානුවෙල් රජු සිදු කළ කතාව එහිදී ජෝන් කෙරී වෙනත් විදිහකට කියා තිබෙනවා. ‘නුඹලාගේ රට පිහිටා ඇත්තේ අප්‍රිකාවේ, දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ මධ්‍ය ලක්ෂ්‍යයකය. ඉන්දියානු සාගරය, ලෝකයේ ප්‍රධානම වාණිජ ප්‍රවාහන මාර්ගයයි. ශ්‍රී ලංකාවට එහි ගැඹුරු වරායවල් සහ උපායමාර්ගික පිහිටීම නිසා නවීන ලෝකයේ ඉතා වේගයෙන් නැගී සිටින ඉන්දියානු ශාන්තිකර කලාපයේ නාභිය බවට පත්විය හැකිය. ශ්‍රී ලංකාව විසින් එම තත්ත්වය අත්පත් කරගැනීම සඳහා ඇමෙරිකාවට තමන් සතු ආර්ථික සහ ආරක්ෂක හැකියාවන් යොදාගනිමින් ප්‍රබල භූමිකාවක් ඉටු කළ හැකිය.’ ජෝන් කෙරීගේ තක්සේරුව ඒකයි. නව ලිබරල්වාදී ආධිපත්‍යයෙන් අප රට වැනි රටවලට පොදු තර්ජනයක් තිබෙනවා වගේම ලංකාවේ අපට ඒ තර්ජනය විශේෂයෙන් බලපාන්නේ ඇයි? යන ප්‍රශ්නයට පිළිතුරු ඉහත කී තක්සේරු දෙකෙහි තිබෙනවා. ප්‍රංශ විප්ලවයට එරෙහිව බ්‍රිතාන්‍යයන් එදා ලන්දේසීන් යටතේ තිබූ රටවල් අත්පත් කර ගත්තාට පසුව 1802 දී ‘ඒමියන්ස් ගිවිසුම’ නැමැති ගිවිසුමක් ගැහුවා. එම ගිවිසුමෙන් බ්‍රිතාන්‍යයන් එකඟ වුණා ලන්දේසීන්ගෙන් අල්ලාගත් හැම රටක්ම ආපසු දෙන්න. නමුත් රටවල් දෙකක් (2) දෙන්න බැහැ කීවා. එකක් ශ්‍රී ලංකාව, අනෙක ට්‍රිනිඩෑඩය. බ්‍රිතාන්‍යයන් මේ දෙකම (2) තියාගත්තෙ ආරක්ෂාවට ඉතා සංවේදී තැන් බව දක්වමින්. ඒක ඉහත කාරණා දෙක වැනිම තක්සේරුවක්.

ළමා ලපටි තර්ක

එල්ටීටීඊ එක හැදෙන්නේ, ඒකට කිරි පෙවෙන්නේ, එය පාවිච්චි කරලා ඉන්දු – ලංකා ගිවිසුම කියා එකක් බලහත්කාරයෙන් පැටවෙන්නේ අපේ රට අදටත් වඩා හෙට සුවිශේෂී වැදගත්කමකින් අනූන, උපායමාර්ගික පිහිටීමක ස්ථානගත රාජ්‍යයක් නිසයි. ඒ නිසා අපි මුලින්ම මේ සන්දර්භය තේරුම් ගන්න ඕනේ. නැතිනම් ‘ඒ රටවලට වෙන වැඩ නැතිව ඇති, මේ වගේ චූටි වෙළඳපොළක් තිබෙන රටක් අත්පත් කරගන්න’ වැනි එන්ජීඕ සරණ ගිය රතු කමිසධාරීන් ඉහත තත්ත්වයට එරෙහිව නඟන ළමා ලපටි තර්කවලටත් සමහරු යට වෙනවා.

පා.ච. අතුරු කතාව

පසුගිය කාලයේ ඇමරිකා එක්සත් ජනපදය බැලුවා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්(MCC) ගිවිසුම අත්සන් කිරීමට. මම මේ ගැන එක් දිනක් පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සිටින විට එකවරම ‘චම්පික රණවක’ මහත්තයා ප්‍රාදූර්භූත වෙලා, මගේ කතාවෙන් පස්සේ නැගිටලා මුලසුනෙන් වෙලාවක් ඉල්ලාගෙන කියනවා, ‘MCC එකේ තිඛෙන ත්‍රිකුණාමල වරායේ සිට කොළඹ වරාය දක්වා දිවෙන ආර්ථික කොරිඩෝව තිබෙන්නේ ලංකාවේ ජාතික භෞතික සැලසුමේ. ඒක හැදුවේ ‘විමල් වීරවංශ’ ඇමතිවරයාගේ කාලයේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කියා. මා විෂය භාර අමාත්‍යවරයා ලෙස සිටියදී ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සකස් කළ ලංකාවේ ජාතික භෞතික සැලසුම් දෙක හා ඊට අදාළ ක්‍රියාකාරී සැලසුම මම ගෙනාවා (අදාළ වාර්තා පෙන්වමින්). අපි ඕනෑම අයකුට අභියෝග කරනවා පිටුවක් ගාණේ බලලා එහෙම එකක් තිබෙනවා නම් පෙන්වන්න කියා. ‘චම්පික රණවක’ මෙගාපොලිස් ඇමැති වුණාට පසුව ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට ගිහින් මාස එකහමාරක් (1½) පමණ සිටියා. ආපසු ඇවිත් අර අප ඇමති කාලයේ සැකසූ ජාතික භෞතික සැලසුම ආයෙත් වෙනස් කළා. අන්න ඒකට නම් දැම්මා අර MCC ගිවිසුමේ තිබෙන ආර්ථික කොරිඩෝව. එයා ඒක කරලා ලැජ්ජා නැතුව පාර්ලිමේන්තුවේදී කියනවා, ‘ඒක කළේ විමල් වීරවංශගේ කාලයේදී’ කියා. මට මෙතෙක් කල් හිතුනේ නැහැ ‘පා.ච. රණවක’ කියන නම දැම්මේ ඇත්ත තේරුමින් කියා. ඒක අතුරු කතාවක් වුවත් ඒ MCC ගිවිසුම එන්නෙත් ශ්‍රී ලංකාවේ පිහිටීමේ තිබෙන වැදගත්කම නිසයි.

ප්‍රතිගාමියකුට සාධාරණයක්!

1987 ඉන්දු – ලංකා ගිවිසුම වුවත් ශ්‍රී ලංකාවට එන්නේ කවර සන්දර්භයක් තුළ ද කියා දැන් අපට පැහැදිලියි. ‘ජේ.ආර්. ජයවර්ධන’ගේ ඇමරිකානු ගැති විදේශ ප්‍රතිපත්තිය එක්තරා අන්දමකින් උත්තේජනයක් සැපයූවා ඉන්දියාවේ ආක්‍රමණශීලී ප්‍රවේශයට. ඒක හරි. නමුත් කොතරම් ප්‍රතිගාමියකුට වුව ද සාධාරණයක් කළ යුතු නම් එය කළ යුතුයි. ‘ජේ.ආර්. ජයවර්ධන’ ජනාධිපතිවරයා ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළ වකවානුවේ හැසුරුණු ආකාරය ඔහුගේ මුණුපුරා වූ ‘ප්‍රදීප් ජයවර්ධන’ විසින් රචිත ‘ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා – ජේ.ආර්. ජයවර්ධන යුගයේ නොපළ කතා’ කෘතියේ තිබෙනවා. මා තරමක් දිග වුවත් අදාළ කොටස උපුටා දක්වන්නම්. මේක අපට වැදගත් ‘ජේ.ආර්. ජයවර්ධන’ගේ බෑනන්ඩි කරන්න හදන වැඩේ තේරුම් ගැනීමට. ‘ප්‍රදීප් ජයවර්ධන’ මහතා ‘ජේ.ආර්. ජයවර්ධන’ ජනාධිපතිවරයා සමඟ ඉතාම සමීපව ඉඳිමින් ලත් අත්දැකීම් තමයි මෙසේ ලියා ඇත්තේ. ‘1987 මාර්තුවල රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් එතුමා තද තීරණ කිහිපයක් ගත්තා. එතකොට ‘ලලිත් ඇතුලත්මුදලි’ ආරක්ෂක ඇමති. මාර්තුවල රැස්වුණු ආරක්ෂක මණ්ඩලයේදී ජනාධිපතිතුමා කිව්වා, යාපනය ගිනිබත් කරන්න, කියලා. ත්‍රස්තවාදී ප්‍රශ්නයක් කාලයක් තිස්සේ ඇදි ඇදී ආවා. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් යාපනය තුළ සැඟවී පහර දීම් කළා. මේ නිසා එතුමා කිව්වා, යාපනය ගිනිබත් කරන්න; මම යාපනය නැවත ගොඩනගනවා, කියලා. ආරක්ෂක මණ්ඩල රැස්වීමෙන් පසු එතුමා ගෙදර ඇවිත් මේ කතාව කිව්වා, මම මෙහෙම ලලිත්ට කිව්වා කියලා. මේ තීරණය ගැනීමට එතුමාට හොඳ උපායශීලී දැක්මකුත් තිබුණා. එයා ලලිත්ට කියලා තිබුණා, ඉන්දියාවේ ලෝක් සභාව මේ දිනවල නිවාඩු. ලෝක් සභාව නැවත රැස්වීමට පෙර මෙය අවසන් කළ යුතුයි යනුවෙන්. මොකද ලෝක් සභාව නැවත රැස්වූ පසු මෙය ඉටු කිරීම ගැටළුවක් වන නිසා.’

ඉන්දියාවෙන් තද තර්ජනයක්!

නමුත් ‘ලලිත් ඇතුලත්මුදලි’ මහත්තයා ඒ විදිහටම ක්‍රියාත්මක වුණේ නැහැ. ඔහු කිව්වේ යුද හමුදාව මේකට සූදානම් නැහැ කියලයි. ඒ නිසා මෙම මෙහෙයුම මාස ගණනක් පහුවුණා. පසුව ‘ලලිත් ඇතුලත්මුදලි’ මහතා මේ අණ ක්‍රියාත්මක කළේ යාපනයට ගහලා නෙවෙයි වඩමාරච්චියට ගහලා. ලලිත්ගේ අදහස වූයේ පළමුව මෘදු ඉලක්කයට(Soft Target) පහර දිය යුතුයි, යන්නයි. මේක ජනාධිපතිතුමාගේ අදහසට පරස්පර විරෝධීයි. එතුමා කිව්වේ ත්‍රස්තවාදීන්ගෙ ඔළුවටම ගහලා මේක ඉවර කරන්න, ඉන්දියාව අවදිවීමට කලින් කියලයි. ‘ලලිත්’ කළේ ඒකෙ අනික් පැත්ත. වඩමාරච්චි සටන ගැන එදා ඉඳලා අද දක්වාම කියන්නේ එය සාර්ථක සටනක් බවයි. ඇත්තටම වඩමාරච්චි කියන්නේ ගොඩක් හිස් බිම් ප්‍රදේශයක්. ඉන් නැවතත් ඉන්දියාව අවදි වුණා. ලෝක් සභාව නැවතත් රැස් වන කාලේ. යුද ක්‍රියාදාම වැළැක්වීම වෙනුවෙන් ඔවුන් කටයුතු කරන්න පටන් ගත්තා. ඉන්දියාව ලංකාවට නැව් එව්වා. ගුවනින් ආහාර වැට්ටුවා. ඔහොම කරලා ඔවුන් අපට පෙන්වූවා ඉන්දියාවට ඕනෑ වෙලාවක ලංකාවට ඇතුළු වෙන්න පුළුවන් කියලා. ඇත්තටම ඉන්දියාව ලංකාව ආක්‍රමණය කරන්න සියලු දේවල් ලෑස්ති කරගෙනයි හිටියේ. මේ තත්ත්වය තුළ ජනාධිපතිතුමාට තීරණයක් ගන්න සිදුවුණා කළ යුතු සුදුසු දේ පිළිබඳව. මේ වෙලාවේ ඉන්දියාවේ තානාපති ‘ඩික්සිත්’ මහතා සම්බන්ධ වෙලා සාකච්ඡා ආරම්භ කළා. ‘ඩික්සිත්’ ජනාධිපතිතුමාට කියලා තිබෙනවා, එල්ටීටීඊ එකේ සෑම් මිසයිල (සෑම් 7) වගයක් ඉන්දියාවෙන් අල්ලා ගත්තා කියලා. මේ මිසයිල එල්ටීටීඊ එකට ගියොත් ලංකාවට ප්‍රශ්නයක් වෙයි කියලත් තියෙනවා. ඉන්දියාව නොකියා කිව්වා සෑම් මිසයිල ත්‍රස්තවාදීන්ට දෙනවා කියලා. සෑම් මිසයිල ත්‍රස්තවාදීන් සතු වුණොත් ගුවන් හමුදාවක් නැහැ කියලා අපට හිතන්න පුළුවන්. මොකද ඒ වන විට ලංකාවේ ගුවන් හමුදාවට සෑම් මිසයිලවලට ප්‍රතික්‍රියා දැක්වීමට අවශ්‍ය තාක්ෂණික ආයුධ තිබුණේ නැහැ; ඇත්තටම ඉන්දියාවෙන් තද තර්ජනයක් තිබුණා. මේ සාකච්ඡාවලදී මීට විසඳුමක් ලෙස දෙපාර්ශ්වයම ගිවිසුමක් අත්සන් කරමු, කියා ඉන්දියාවෙන් යෝජනාවක් ආවා. ඒ අනුව තමයි ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළේ’

මේ කෘතියෙන් වැඩිදුරටත් ‘ප්‍රදීප් ජයවර්ධන’ මහතා කියනවා ‘මේ ගිවිසුම පිළිබඳව විවිධ දෙය කතා කළත් කවුරුත් කතා නොකරන දෙයක් තියෙනවා. මේ ගිවිසුමට අනුව මුළු ත්‍රස්තවාදී ව්‍යාපාරයම නිරායුද කරන්න එදා ඉන්දියාව සහතික වුණා. ජනාධිපතිතුමාට ඕනෑ වූ ප්‍රධාන කාරණාවත් ඒකයි. අද මේ ප්‍රධාන අරමුණ ගැන කතා කෙරෙන්නේ නැහැ. බලය බෙදාහැරීම සහ උතුරු නැගෙනහිර එකතු කිරිම විශාල ප්‍රශ්න ලෙස එතුමා දැක්කේ නැහැ. ත්‍රස්තවාදීන් නිරායුද කිරීමෙන් ඒවා විසඳාගත හැකි බව එතුමා දැනගෙන හිටියා. උතුර සහ නැගෙනහිර එක් කරනවාට එතුමා විරුද්ධ වුණා. එතුමා කිව්වේ ඉන්දියාව කියන නිසා මම මේකට එකඟයි කියලයි. මේ තත්ත්වය නැගෙනහිර ජනතාවගේ ඡන්දයෙන් වෙනස් කරන්න පුළුවන් නිසාත් නැගෙනහිර මුස්ලිම් සහ සිංහල ජනතාව වැඩි නිසාත් එතුමා ඒ කොන්දේසියට බය නැතිව අත්සන් කළා’

පිය – පුතු ගැටුම

ඒ වගේම මෙහි තිබෙනවා ‘මෙම ගිවිසුමට මමත් විරුද්ධ වුණා. මගේ තාත්තත් විරුද්ධ වුණා.’ (ප්‍රදීප් ජයවර්ධන සහ රවී ජයවර්ධන) මගේ පියා සීයාට කතා නොකරන තත්ත්වයට පවා පත් වුණා. නමුත් පසුව මට තේරුණා ජනාධිපතිතුමාට මේ විකල්පය හැර අන් පිළිතුරක් තිබුණෙ නැහැ, කියා. නමුත් මගේ පියා තදින්ම විශ්වාස කළා මෙය නොකළ යුතු දෙයක් ලෙසට. එතුමා ඉන්දියාව විශ්වාස කළේ නැහැ. ඉන්දියාව මෙය කරන්නේ අපේ රටේ බලය අල්ලා ගැනීමේ පරමාර්ථයෙන් බවට එතුමා විශ්වාස කළා. තාත්තාට මිලිටරිමය ලෙස තද තීන්දු තිබුණේ. එතුමා විශ්වාස කළා යුද්ධ කරලා ත්‍රස්තවාදීන් පරාජය කරන්න පුළුවන් කියලා. නමුත් 1983 සිටම අපි දරුණු ලෙසට යුද්ධ කරගෙන ඇවිල්ලා තිබුණත් සාර්ථක වෙලා තිබුණේ නැහැ. ඒ නිසා ඉන්දු – ලංකා ගිවිසුම ගැන සීයා සිතුවේ යුද්ධය එකවර අවසන් කිරීමට ඇති එකම උපායමාර්ගය ලෙස.’

උතුරු – නැගෙනහිර යළි වෙන් කිරීම

මෙමගින් පෙනෙනවා ඉන්දු – ලංකා ගිවිසුම ‘ජේ.ආර්. ජයවර්ධන’ගේ තෝරා ගැනීමකට වඩා ඔහුට තෝරා ගැනීමට සැලැස්වූ දෙයක් හැටියට. ඉහත කී ආකාරයට ඉන්දු – ලංකා ගිවිසුම ආවා. ඒ ගිවිසුම ප්‍රකාරව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආවා. ඒ වගේම ඉන්දු – ලංකා ගිවිසුමෙන් උතුරු නැගෙනහිර දෙපළාත එක පළාතක් බවට පත්වුණා. ජනමත විචාරණයකින් ඒක බේරාගන්න පුළුවන් බව ‘ජේ.ආර්. ජයවර්ධන’ සිතුවත් ජනමත විචාරණයක් තියන්න බැරි වුණා. ඒ වගේම ඉන්දු – ලංකා ගිවිසුමෙහි ප්‍රධානම කොන්දේසිය වූ එල්ටීටීඊය නිරායුද කරන්නත් බැරි වුණා. ඉන් අවුරුදු 19 කට පසු අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා, උතුරෙන් නැගෙනහිර වෙන් කරන්න කියන ඉල්ලීම අරගෙන. ඒ සඳහා ‘ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමින් දයාශ්‍රී, ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. එල්. ගුණසේකර හා ජ්‍යෙෂ්ඨ නීතිඥ එච්. එල්. සිල්වා’ යන මැතිතුමන්ලා පෙනී සිටියා. අපි මේ මොහොතේදී එතුමන්ලාට අපේ ආචාරය පුද කර සිටිනවා. 2006 ඔක්තෝබර් 16 වැනි දින උතුර සහ නැගෙනහිර පළාත් දෙකක් (2) ලෙස පැවතිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණා. එවකට අගවිනිසුරු ධුරය දැරුවේ ‘සරත් නන්ද සිල්වා’ මැතිතුමන්. එතුමන් ජීවතුන් අතර සිටිනවා. මේ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥතුමන්ලා තිදෙනාම (3) අද දිවංගතයි. එසේම තීන්දුව දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලාගෙන් කිසිවකු හෝ ජීවතුන් අතර නොමැති වෙන්න පුළුවන්. ඒ සියලුදෙනා කෘතවේදීව සිහිපත් කරමින්, ඔවුන්ට අපගේ ගෞරවය, ප්‍රණාමය හා ආචාරය පුදකර සිටීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒක අපේ පරම යුතුකමක්.

ජාතියේ හිසට ඉහළින් භයානක කඩු තුඩක්!

කෙසේ වුවත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එන්නේ 1987 ඉන්දු – ලංකා ගිවිසුමට දාව උපන් අවජාතක දරුවෙක් හැටියට. ඒ ‘අවජාතක දරුවාගේ’ ඇතැම් අවයව ක්‍රියාත්මක වෙන්න එදා ඉඳන් අද දක්වාම ඉඩ ලැබුණේ නැහැ. එවැනි ඉතා තියුණු වැදගත්කමකින් යුත් අවයව ක්‍රියාත්මක කරන්න ඉඩකඩ හදන්නයි අද මේ ‘රනිල් වික්‍රමසිංහ’ ජනාධිපතිවරයා සූදානම් වන්නේ. එදා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග බැඳී පළාත් සභා ක්‍රමය ආවම, ‘දැන් ශ්‍රී ලංකාව ෆෙඩරල් ද? ඒකීය ද?’ කියා විවාදයක් ආවා. මේක ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගියා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය බෙදුණු තීන්දුවක් දුන්නා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සිටි පසුව වැඩබලන අගවිනිසුරු ධුරයට පත්වූ දිවංගත ‘රාජා වනසුන්දර’ මැතිතුමාට පළමුව අපේ ගෞරවය, ප්‍රණාමය හා ආචාරය පුද කරමින් එහිදී එතුමන් ලබාදුන් තීන්දුව ඔබගේ අවධානයට යොමු කරන්නම්. ’13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු ජාතියේ හිසට ඉහළින් එල්ලා ඇති භයානක කඩු තුඩකි. එය ගැට ගසා ඇත්තේ ඊට එරෙහිව පවතින ව්‍යවස්ථා බාධක නම් වූ ඉතා දුර්වල රැහැන් පටවලිනි. ව්‍යවස්ථා සංශෝධනයක් මගින් හෝ පරිපාලන ක්‍රියාමාර්ග මගින් එම රැහැන් පට කපා දැමීමට දිවිහිමියෙන් ඉඩ නොදිය යුතුය’ යන කරුණු එම තීන්දුවෙන් අවධාරණය කොට තිබුණා.

රැහැන් පට නොකැපූ ජනාධිපතිවරු 07 ක්

මේ රැහැන් පට තිබුණු නිසා තමයි අපට මෙතෙක් කලක් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇත්ත මුහුණ නොපෙනුණේ. මම විශ්වාස කරනවා, ‘ජේ.ආර්. ජයවර්ධන’ ජනාධිපතිවරයා මේ දුර්වල රැහැන් පට ටික හරි ඇති කළේ එමගින් හෝ ඉන්දියාවට යටත් වීමේ දී ශ්‍රී ලංකා රජයේ අවසන් පණ ඩිංග හෝ රැක ගැනීමට හැකි වෙතැයි කියා සිතලා, යනුවෙන්. ඒ නිසා පසුව ‘ජේ.ආර්. ජයවර්ධන’ ජනාධිපතිවරයා ගියේ නැහැ, මේ රැහැන් පට ටික කපන්න. ඉන්පසුව ආපු ‘රණසිංහ ප්‍රේමදාස’ ජනාධිපතිවරයා වෙනත් වරදක් කළා. මම ඒක පසුව කියන්නම්. නමුත් මේ රැහැන් පට කපන්න ගියේ නැහැ. ‘ඩී.බී. විජේතුංග’ ජනාධිපතිවරයා ද මේ රැහැන් පට ටික කපන්න ගියේ නැහැ. උග්‍ර ෆෙඩරල්වාදිනියක් වුවත්, සුදු නෙළුම් ව්‍යාපාර, පැකේජ් ගෙනාවත් ‘චන්ද්‍රිකා කුමාරතුංග’ ජනාධිපතිනිය ලේසියෙන් ඊළම දෙන ක්‍රමයක් වූ මේ රැහැන් පට කපන්න ගියේ නැහැ. ‘මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ’ යන ජනාධිපතිවරුන් කිසිවකුත් මේ රැහැන් පට කපන්න ගියේ නැහැ. ජනවරමින් ජනාධිපති ධුරයට පත්වූ කිසිවකුත් මේ රැහැන් පට කපන්න නොගියත් මෙලෝ ජනවරමක් නැති, පිං ජනාධිපති ‘රනිල් වික්‍රමසිංහ’ තමන්ගේ මාමාවත් නොකළ වැඩේ කරන්න හදනවා; ලක් මාතාවගේ ගෙල සිඳන්න, ජාතියේ අඛණ්ඩ පැවැත්ම අහිමි කරන්න හදනවා. මාතෘභූමිය, සීසීකඩ බෙදුණු, නව ලිබරල්වාදයේ කොල්ලකෑමට, අත්පත් කරගැනීමට අවශ්‍ය දඩබිම් කීපයක් බවට පත් කරන පාපකර්මයක් තමයි ‘රනිල් වික්‍රමසිංහ’ කරන්න යන්නේ. ‘එරික් සෝල්හයිම්’ රැගෙන එනවිට අපට හිතුණා, ‘ගොනා හදන්නේ පැල තවානට වැඩේ දෙන්න’ කියා.

13 අහෝසි කළ හැකි ක්‍රමය

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරනවා කීවාට පසුව තමන්ට එල්ල වන විරෝධය හමුවේ මා දුටුවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවසනවා, ‘කාට හරි 13 අහෝසි කරන්න ඕනේ නම් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පනතක් ගෙනෙන්න’ කියා. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන එන හැම පනතක්ම විවාදයට ගැනෙන්නේ නැහැ. ඒ පනත පවතින ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අනුමත කරන්න ඕනේ. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස එසේ ගෙන එන පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කළාම ඒක එතැනින් ඉවරයි. හැබැයි ‘රාජා වනසුන්දර’ මැතිතුමා විසින් මේ වැරැද්ද නිවැරදි කරන ක්‍රමය, ‘1987දී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් පසු පළාත් සභා පනත සම්මත කළ යුතු වුවත්, එම පනත් දෙකම (2) එකවර සම්මත කිරීම නිසා සම්මත කිරීමේ වරදක් සිදුව ඇති බැවින්, පාර්ලිමේන්තුවට ප්‍රකාශන පනතක් ඉදිරිපත් කිරීමෙන් ඒවා අහෝසි කළ හැක’ යනුවෙන් පෙන්වා දී තිබෙනවා.

ප්‍රකාශන පනතක් ගෙනත් වරද නිවැරදි කරන්න

වික්‍රමසිංහ මහත්තයෝ, පෞද්ගලික මන්ත්‍රී යෝජනා ගෙන එන්න කියා අපට කෙකර ගාන්න එපා. ඔයා හීලෑ කරගත් දේශපාලන ගොබ්බයෝ වගේ අපිත් ගොබ්බයි කියා හිතන්න එපා! ඔයා කරන්න හදන තක්කඩි වැඩේ අපි හොඳට දන්නවා. 13 වැනි සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න ඕනේ නම් ප්‍රකාශන පනතක් පාර්ලිමේන්තුවට ගෙනෙන්න කියා අපි අවධාරණය කරනවා. ඒ තීරණය ගත යුත්තේ ආණ්ඩුවයි. එවිට ඒ වැරැද්ද හෙට වුණත් නිවැරදි කරන්න පුළුවන්.

පියාණෝ කළ වරද මෙන්න

‘රණසිංහ ප්‍රේමදාස’ මැතිතුමා ව්‍යවස්ථා බාධක නම් වූ රැහැන් පට නොකැපුවාට, කළ වරදක් තිබෙනවා, කියා මා පැවසුවා. ඔහු 1988 දී ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් 16 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා. ඒ සංශෝධනයට අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල රාජ්‍ය භාෂාව දෙමළ භාෂාව කළා. මෙහි බරපතලකම බලන්න. පසුගිය දිනවල ඔබට මතක ඇති ‘කුරුන්දි විහාරයේ’ ප්‍රශ්නයට කොළඹින් ගිය නීතිඥ පිරිස ඉංග්‍රීසියෙන් කරුණු දැක්වීමට සැරසෙද්දී විනිශ්චයකාරවරයා ඔවුන්ට පවසා තිබුණා, ‘මෙහි අධිකරණ භාෂාව රාජ්‍ය භාෂාව වූ දෙමළ පමණයි. වෙනත් භාෂාවලින් කරුණු දැක්වීමට බැහැ’ කියා. ඉතින් ඒ නීතිඥ පිරිසට ආපසු හැරිලා එන්න වුණා. උතුරු නැගෙනහිර දෙමළ පමණක් වූවාට අනෙක් පළාත්වල සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා රාජ්‍ය භාෂා ලෙස පවතිනවා. ‘සජිත් ප්‍රේමදාස’ මැතිතුමාගේ පියාණෝ උතුරු නැගෙනහිරට දෙමළ පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කර දී තිබෙනවා. උතුරු නැගෙනහිරට එසේ රාජ්‍ය භාෂාව ලෙස දෙමළ පමණක් පැවතීමෙන් සිදුවන බරපතලම අනර්ථය අපි ඉදිරියේදී කතා කරමු.

රැහැන් පට කැපුවාම මොකද වෙන්නේ?

දැන් මේ ව්‍යවස්ථා බාධක නම් වූ රැහැන් පට කැපුවාම මොකද වෙන්නේ, කියා බලමු. මම එක උදාහරණයක් කියන්නම් වයඹ පළාත් සභාව පසුගිය කාලයේ සම්මත කරගත්තා පරිසර ප්‍රඥප්තියක්. ඒ අනුව වයඹ පළාතේ වෙනම පරිසර අධිකාරියක් පිහිටුවා තිබෙනවා. දැන් කොළඹ තිබෙන මධ්‍යම පරිසර අධිකාරියට බැහැ වයඹ පළාතේ පරිසර ප්‍රශ්නයට මැදිහත් වෙන්න. වයඹ පළාතේ පරිසර ප්‍රශ්නය අයිති එම පරිසර ප්‍රඥප්තිය අනුව වයඹ පළාත් පරිසර අධිකාරියට. ඒ තමයි එක ප්‍රඥප්තියකින් එක රැහැනක් කපා දමා ඇති අන්දම.

දැන් බලන්න ‘රනිල් වික්‍රමසිංහ’ ජනාධිපතිවරයා කියනවා පොලිස් බලය දෙනවා කියා. එවිට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් 09 ටම පළාත් පොලිස් කොමිසමක්, පළාත් පොලිසියක් බැගින් හැදෙනවා. පළාත් පොලිසියෙ නියෝජ්‍ය පොලිස්පතිවරයා මහඇමතිගේ අණ පිළිපදින්න ඕනේ. ඒ රැහැන කපපු ගමන් උතුරු පළාතේ පොලිස් ප්‍රඥප්තිය සම්මත කර ගන්නවා. ඊට පසු මහඇමතිට යටත් ආණ්ඩුකාරවරයකු පත් කරාවි. පොලිස් ප්‍රඥප්තිය එම ආණ්ඩුකාරවරයා අනුමත කළාම උතුරේ පොලිසිය හැදෙනවා. මධ්‍යම ආණ්ඩුවේ පොලිසිය ඊට පසුව කපුටන් එලවන්න වගේ වැඩකට යොදාගන්න වේවි. මෙතෙක් කලක් පළාත් පොලිසි නොහැදුණේ මීට පෙර සිටි කිසිදු රාජ්‍ය නායකයකු 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණත් ගැසට් කරලා පළාත් පොලිස් කොමිසම පත් කරන්න කටයුතු නොකරපු නිසයි. 75 වැනි නිදහස් දිනයේදී පුරාජේරු කතාවක් කරලා පිං ජනාධිපති ‘රනිල් වික්‍රමසිංහ’ සැරසෙන්නේ කවුරුත් නොකරපු ඒ වැඩේ කරන්නයි.

හතරගාතෙන් වැටි අභිමානය පෙන්වීම

අපි අද හතරගාතෙන් වැටිලා ඉන්න රටක්. රෝහල්වල බෙහෙත් ටික නැහැ. රෝගීන් මර ලතෝනි දෙනවා. මේ ජනාධිපතිවරයා එහෙම තිබියදී ‘කෆීර් යානා’ පෙන්වමින් 75 වන නිදහස් සැමරුමක් පවත්වමින් තමන්ගේ හීනමානය වහගන්න හදනවා. බොහෝ රටවල් අද චාම් විදියට නිදහස් දිනය සමරන ගමන්, ඒ වියදම රටේ සුබසාධනය වෙනුවෙන් යොදන බව පෙනෙනවා. අද මේ රට තිබෙන්නේ අභිමානයෙන් නිදහස සැමරිය හැකි තත්ත්වයක ද? මේ ආර්ථික අර්බුදය සමග ඇති වී තිබෙන විෂම මනස තමයි අද මේ මහා අපරාධය කරන්න යොදාගනිමින් තිබෙන්නේ.

පොලිස් බලතල ලැබුණාම

පළාත් 09 ට පොලිසි 09 ක් හැදුනාම අර දකුණු ඉන්දීය චිත්‍රපටවල පෙන්වන ආකාරයෙන්ම දේශපාලනතන්ත්‍රය හා පොලිසිය එකතුවී අපරාධ කරන තත්ත්වය වඩාත් තීව්‍ර වේවි. ඒ වගේම උතුරේ මේ තත්ත්වය වඩා භයානක වේවි. උතුරට පොලිස් බලතල දුන්නාම පොලිසි පාලනය කරන බලය යන්නේ වෙල්ලාල කුලයේ අයටයි. ඒ නිසා ඒ පොලිසිය 70% කට වඩා වැඩි පහළ කුලවල මිනිස්සු පීඩාවට පත්කරන පොලිසියක් බවට පත්වේවි. මේ තත්ත්වය තේරුම් ගැනීමට මම නිදසුනක් කියන්නම්. මම නිවාස ඇමති කාලේ නිවාස අධිකාරියේ මුලතිව් දිස්ත්‍රික් කළමනාකරු විශ්‍රාම ගියාම ඒ වෙනුවට දෙමළ භාෂාව හොඳින් දන්නා සිංහල අයෙක් මම මුලතිව් යැව්වා එතැන තත්ත්වය තේරුම් ගැනීමට. මාස දෙකකට පමණ පසුව මට අදාළ ආයතනයේ උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව සේවක පිරිසට ඇහෙන්න නිකමට කිව්වා ‘මෙයා මෙතැනට හරියන්නේ නැහැ. අයින් කරන්න ඕනේ.’ කියා. මෙන්න ඊට පස්සේ එම ආයතනයේ සේවක පිරිස් පෝලිමේ ඇවිත් කියනවා, ‘එයා හොඳ මහත්තයෙක්. එහෙම කරන්න එපා!’ කියලා. මම බැලුවා ඒකට හේතුව කුමක් ද කියලා. කලින් හිටපු දිස්ත්‍රික් කළමනාකරු වෙල්ලාල කුලයේ අයෙක්. එයා කෑවාම පිගාන හෝදන්න ඕනේ, වැසිකිළි ගියාම වතුර ගහන්න ඕනේ එතැන ඉන්න අඩු කුලේ සේවකයෙක්, අපි යවපු කෙනා ඒ වැඩ තනිවම කරගන්නවා. එතැන හිටපු සේවකයන්ට දැනුණා ඒ මනුස්සකම. ඒකයි එයාලා අපි යවපු කළමනාකරු මාරු කරනවා කීවාම පෝලිමේ ඇවිත් ‘ඒක කරන්න එපා!’ කිව්වේ. ඇත්ත කතන්දරේ තමයි උතුරේ සාමාන්‍ය ජනතාව යටපත් කරගෙන ඉන්නෙ සිංහලයා නොවෙයි, ඔය වෙල්ලාල බමුණු කුලය විසිනුයි. පොලිස් බලතල උතුරට දුන්නාම එය පාවිච්චි වෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයට පටහැනිව පමණක් නොවෙයි, උතුරේ වෙසෙන අවවරප්‍රසාදිත, අඩු කුලේ දෙමළ මිනිසාව පෙළන්නයි බොරු චෝදනා දාලා හිරේ දාන්නයි. සහජීවනයේ නාමයෙන් මේ ‘රනිල් වික්‍රමසිංහ’ උතුරේ හදන්න යන්නේ ඒ වගේ පාදඩ පොලිසියක්. අනික් පළාත්වලත් ‘යකාගෙ හැටියට විමානය හැදෙනවා’ වගේ මහ ඇමතිගේ හැටියට පොලිසිය හැදේවි.

ඉඩම් බලතල ලැබුණාම…

පසුගිය අයවැයෙන් ‘රනිල් වික්‍රමසිංහ’ ජනාධිපතිවරයා උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ තිබෙන මහවැලි ඉඩම් එම පළාත්වල ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් බෙදන ආකාරයට බලය දී තිබෙනවානේ. දැන් ඉඩම් බලතල දුන්නාම පළාත් 09 ට ඉඩම් ප්‍රඥප්ති හැදිලා පළාත් ඉඩම් කොමිසම බැගින් හැදේවි. යම් ඉඩමක් පුරාවිද්‍යා ඉඩමක් ද නැද්ද, රක්ෂිතයක් ද නැද්ද, ජල පෝෂක ප්‍රදේශයක් ද නැද්ද, ඒ සියල්ල තීරණය කරන්නේ පළාත් ඉඩම් කොමිසම මගින්. ඉඩම් විෂයට අදාළ පනතක් පාර්ලිමේන්තුව ගෙනාවොත් ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා, සියලුම පළාත්වල එකඟතාව එයට ලබාගන්න කියා. නමුත් ඉදිරියේදී ඉඩම් බලතල ලැබිලා එක් එක් පළාත එක් එක් ආකාරයේ ඉඩම් ප්‍රඥප්ති හදාගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ නැහැ, ‘පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව මේවා ක්‍රියාත්මක කරන්න’ කියා. උඩින් කරන එකට අතපය බඳිනවා. යටින් කරන එකට කිසිදු බාධාවක් සිදු කර නැහැ.

උතුරට ඉඩම් බලතල ගියාම සිදු වෙන දේ පිළිබඳව මම නිදසුනක් කියන්නම්. මම නිවාස ඇමැති කාලයේ මට වුවමනා වුණා කිලිනොච්චි ප්‍රදේශයේ නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කරන්න. මම ඒකට පාර අයිනේ ඉඩමක් ඉල්ලුවා. මාස දෙකක් (2) පමණ ගියා, හමුදාවත් උත්සහහ කළා ඉඩමක් ලැබුණෙම නැහැ. බැරිම තැන මම ඒ ආසන්නයේ හමුදා කඳවුරේ ප්‍රධානියාගෙන් ඇහුවා, ‘ඇයි මේ ඉඩම් නොලැබෙන්නෙ?’ කියා ඔහු පැවසුවා, ‘සර් මෙතැන ප්‍රශ්නයක් තිබෙනවා. මෙහෙ ඉඩම් එක එක කුලවලට වෙන් කරලා තිබෙන්නේ. පාර අයිනේ ඉඩම් වෙල්ලාල අයට වෙන් කරලා තිබෙන්නේ. සර්ගෙ ලැයිස්තුවේ ඉන්නේ අඩු කුලේ අය. එයාලට ඇතුළතින් තමයි වෙන් කරලා තියෙන්නෙ.’ කියලා. දැනටමත් එහෙම නම් පොලිස් බලතල වගේම ඉඩම් බලතල උතුරට දුන්නාමත් එය පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව පමණක් නෙවෙයි අවවරප්‍රසාදිත අඩු කුලයේ මිනිසාටත් රැහැනිවයි.

ඒ නිසා දැන් ඉතා පැහැදිලියි, ‘රනිල් වික්‍රමසිංහ’ මහත්තයා බොහෝම අහිංසක ලීලාවෙන් ‘මම මේ කරන්නේ ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන එක. මම ඊට වැඩි දෙයක් කරන්නේ නැහැ.’ යනුවෙන් ‘බබා පාට්’ දැම්මාට මේක ‘ජේ.ආර්. ජයවර්ධන’ගේ ‘වලටත් හෙනගහන’ මහා පාදඩ, පාපතර ක්‍රියාවක්. අපි අහනවා ජයවර්ධන ඥාති පරම්පරාවෙන් ‘මේ බෑනන්ඩියගෙ මේ රටේ, රාජ්‍යයේ ඉරණම සම්පූර්ණයෙන්ම පරදුවට තබන අවලස්සන භාවිතයට ඉඩ දී බලා ඉන්න තරම් ඔබලා නිවටුන් ද?’ කියා.

පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බවට…

‘සේනාධිරාජා එරෙහිව බන්දුසෝම නඩු තීන්දුව’ අරගෙන කියවන්න. එහි තිබෙනවා ‘ව්‍යවස්ථාවේ ඒකීය වගන්තිය එසේම තිබියදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම මගින් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කළ හැකිය.’ කියා. ඒ නිසා දැන් කවුරුත් රැවටෙන්න එපා! ‘ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්’ කියා ව්‍යවස්ථාවේ තිබූ පමණින් එය ඒකීය රාජ්‍යයක් වන්නේ නැහැ. දැන් මේ ‘රනිල් වික්‍රමසිංහ’ මහතා කරන්න යන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමයි; එමගින් ශ්‍රී ලංකාවේ පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීමයි. මේ රටේ මිනිස්සුන්ට එයට ඉඩදී නිහඩව බලා සිටිය හැකිද?

ඇත්ත අරගලකරුවාට ඇරයුමක්

අපි මේ මොහොතේ අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට දණ නමා නමස්කාර කරනවා. උන්වහන්සේලා අද තම ඓතිහාසික භූමිකාව ඉටුකරමින්, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට ජනාධිපති ‘රනිල් වික්‍රමසිංහ’ මහතා ගන්නා උත්සාහයට එරෙහිව සෘජු, විධානාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ථේරවාදී දහම සුරකින මේ බිම හැර වෙනත් බිමක් අපට නැහැ. ඒකත් සීසීකඩ බෙදලා පළමුව ලංකාව ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට පත්කර ගැනීමේ, ඉන්පසු දෙමළ ඊළම 30 වන ප්‍රාන්තය බවට පත් කර ගැනීමේ සැලසුමක් තමයි මේ ඉදිරියට යන්නේ. මෙහිදී නිහඬව සිටිය හැක්කේ හෘද සාක්ෂියක් නැති, මේ මාතෘභූමියේ ඓතිහාසික උරුමය ගැන නොදන්නා තකතීරුවකුට පමණයි. මේ අපරාධය සිදුවන විට කට අරිනවා නම් ඔහු ඇත්ත අරගලකරුවෙක්. හැබැයි මේ අපරාධයට විරුද්ධ අරගලයට ඩයස්පෝරාවෙන් ගෙවන්නේ නැහැ; ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා USAID හෝ NED වැනි ඔවුන්ගේ නියෝජිත ආයතනවලින් සල්ලි එන්නේ නැහැ. ඒ නිසා මේ අරගලයට යූ ටියුබර්ස්ලා, අරගලකරුවන් නැහැ.

සත්‍ය සෙවීමේ කොමිසමක්

ඒ අස්සේ ‘රනිල් වික්‍රමසිංහ’ මහත්තයා කියනවා, ඊනියා සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කරනවා කියා. සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කරන්නේ ආරක්ෂක හමුදාවලට තවදුරටත් පහර දෙන්න. දැනටමත් උතුරේ ආරක්ෂක හමුදා ප්‍රමාණය විශාල ලෙස අඩුකර තිබෙනවා. ආරක්ෂක ඇමති හැටියට ‘රනිල් වික්‍රමසිංහ’ මහත්තයා නියෝග කරලා තිබෙනවා, අක්කර 3000 කට සීමා වී සිටින උතුරේ ආරක්ෂක හමුදා තවදුරටත් සීමා කරන්න. මෙහෙන් ෆෙඩරල් රාජ්‍යය නිර්මාණය කරන ගමන් ආරක්ෂක හමුදාව දුර්වල කිරීමත් තව පැත්තකින් කරනවා.

පසුගිය ජනවාරි 15 වැනිදා ‘රනිල් වික්‍රමසිංහ’ මහතා පොංගල් සමරන්න උතුරට ගියානේ. එහිදී සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් රූපවාහිනි නාලිකාවලින් පෙන්වූයේ නැහැ ‘සහජීවනයට බාධා වෙයි’ කියලා. නමුත් මම එම වීඩියෝ දර්ශන දුටුවා. විශේෂ කාර්ය බලකා නිලධාරීන් ජනාධිපතිවරයාට රැකවල් යොදා ගෙන සිටිනවා. අතුරුදහන්වූවන්ගේ දෙමව්පියන් යැයි කියා ගත් පිරිසක් බාල්දිවලින් ගොම දියර ගෙනැවිත් ඔවුන්ගේ මුහුණුවලට ගහනවා. නමුත් ඔවුන් නිසොල්මනේ සිටිනවා. මෙහෙම ඉවසීමක් සිද්ධාර්ථ කුමාරයා බුදු වීමට පෙරුම් පුරන විටදීවත් තිබුණාද, කියා හිතෙන තරමට ඔවුන් ඉවසනවා. දැනටමත් එහෙමනම් මේ කියන රැහැන් පට කඩා දමා, ‘පූර්ණ ෆෙඩරල් රාජ්‍යය’ හදපුවාම එතැනින් එහාට කුමක් සිදුවේවිද?

රෝහණ විජේවීරලා බලන් ඉන්නවා

අපි අද ඉන්නේ ඉතාමත් බරපතළ අනතුරක් පාමුල. අනාගත පරපුර ඔවුන්ට මේ රට ගැන හැඟීමක් ඉතිරි වෙලා තිබුණොත් ප්‍රශ්න කරාවි, ‘මොකක්ද කළේ මේ වෙලාවේ?’ කියා. මියගිය රණවිරුවන්, ඉන්දු – ලංකා ගිවිසුම හේතුවෙන් මියගිය දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් ඇතුළු මියගිය සියලු මේ රටේ මිනිසුන්, විශේෂයෙන් ‘රෝහණ විජේවීරලා, උපතිස්ස ගමනායකලා, රංජිතම් ගුණරත්නම්ලා, නිෂ්මිලා’ නියපොතු ගලවද්දිත් වචනයක්වත් කියන්නේ නැතුව දස වද විඳලා, වදකාගාරවල මියගිය මිනිස්සු ඉන්න තැනක ඉඳන් මේ දෙස බලා ඉන්නෙ නැද්ද?

ලොකු ටොක්කක් ඕනෙ

මම අද දැක්කා, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය නියෝජනය කරන ආචාර්ය ‘හරිනි අමරසූරිය’ මැතිනිය ‘දි අයිලන්ඩ්’ පුවත්පතට පවසා තිබෙනවා, ’13 පූර්ණ වශයෙන් බලාත්මක කිරීමේ ප්‍රශ්නයක් නැහැ’ කියා. අනේ ‘විජේවීර’ සහෝදරයා ඉන්න තැනකින් ඇවිත් මෙයාලට ලොකු ටොක්කක් අනින්න. අද එයාලාට ශ්‍රී ලංකාව පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කළාට ප්‍රශ්නයක් නැහැ. අපිත් අද ’13 පූර්ණ වශයෙන් බලාත්මක කළාට කමක් නැහැ’ කියා පැවසුවොත් හෙට ඉඳන් අපේ පක්ෂයටත් මළුපිටින්, කරත්ත පිටින්, වාහන පිටින් සල්ලි එනවා. ඒ ස්ථාවරයට පොලා පනින්න විතරයි තිබෙන්නේ. නමුත් 60,000 කට අධික පිරිසක් දිවිදුන් අරගලයක, අතීත උරුමයක හෘදසාක්ෂියක් තිබෙන අපි, එන්ජීඕකාර බත්බැලයන් සමග නිදි වැදලා, උන්ගේ මතවාදය, වාසිය සඳහා කරපින්නා ගන්න සූදානම් නැහැ.

වෙනම රාජ්‍යයකට පාර කපා ගැනීම

පූර්ණ වශයෙන් ෆෙඩරල් රාජ්‍යයක් හදා ගත්තාට පසුව සිදු වෙන්නේ වෙනම රාජ්‍යයක් හදා ගන්න එක. ඒ සඳහා පුළුවන් තරම් මධ්‍යම රජයත් සමඟ ගැටෙනවා. නිදසුනක් ලෙස යම් ප්‍රඥප්තියක් මගින් උතුරේ වෙරළාරක්ෂක පොලිසියක් හදපුවාම එය නාවික හමුදාව සමග ගැටෙනවා කියා සිතන්න. ජාත්‍යන්තර අධිකරණයේ එක් නඩු තීන්දුවක් තිබෙනවා, ‘ඕස්ට්‍රේලියාව එරෙහිව පෘතුගාලය’ කියා. එම නඩු තීන්දුවෙන් කියනවා ‘යම් ප්‍රදේශයක ජනතාවට පරමාධිපත්‍යය බෙදී යන පරිදි බලය බෙදා ඇති අවස්ථාවක මධ්‍යම රජය එම බලතල ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙයි නම් එම ජනතාවට වෙන්ව යාමේ අයිතිය ඇත.’ කියා. මෙතැන පළමුවෙන් පෙර කී ව්‍යවස්ථා බාධක නම් වූ රැහැන් පට ටික කපාගෙන පූර්ණ ෆෙඩරල් රාජ්‍යය හදා ගන්නවා. එතැනින් සෑහීමට පත් නොවී ඉහත කී ගැටුම හදාගන්නවා. ‘අල් ජසීරා, CNN, BBC’ වැනි නාලිකා හරහා ගැටුම ටික කාලයක් ලෝකයේ අවධානයට යොමු කරවනවා.’ශ්‍රී ලංකාව නම් වූ ෆෙඩරල් රාජ්‍යයේ උතුරු පළාතේ ජනතාවට මධ්‍යම රජයේ හමුදාව මගින් දිගින් දිගටම සිදුවන පීඩාවන් හේතුවෙන් එම පළාත් සභා පාලනය ජාත්‍යන්තර අධිකරණය හමුවට යාමට සූදානම්’ යන මතය හදාගෙන අවසානයේ ජාත්‍යන්තර අධිකරණයට යනවා. එවිට ජාත්‍යන්තර අධිකරණය අප ඉහත පෙන්වා දුන් නඩු තීන්දුව ප්‍රකාරව අදාළ තීන්දුව දෙනවා.

ජාත්‍යන්තර අධිකරණය(ICJ) වෙත

අප ඉහත පෙන්වා දුන් ‘ඕස්ට්‍රේලියාව එරෙහිව පෘතුගාලය’ නඩු තීන්දුව අනුව යමින් ජාත්‍යන්තර අධිකරණය ‘ඉන්දුනීසියාවෙන්’ වෙන්ව ‘නැගෙනහිර ටිමෝරය’ට වෙනම රටක් හදා ගැනීමේ අවස්ථාව සලසා දුන්නා. ශ්‍රී ලංකාවට එරෙහිව කැනඩාවේ දිගටම සමූල ඝාතන සති රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන්නේ ඇයි ? ජාත්‍යන්තර අධිකරණයෙන් වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ඒවා වෙනම සුදුසුකම් වෙන නිසයි. අපි ඉහත පෙන්වා දුන්නා ‘රණසිංහ ප්‍රේමදාස’ ජනාධිපතිවරයා 16 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් උතුරු නැගෙනහිර රාජ්‍ය භාෂාව දෙමළ බවට පත්කර තිබෙන බව. එය ද ජාත්‍යන්තර අධිකරණය හමුවේ වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට වෙනත් සුදුසුකමක්. මේ සියල්ල සමඟ ‘නැගෙනහිර ටිමෝරය’ ගිය පාරේ යමින් අදාළ අධිකරණ තීන්දුව ලබා ගනීවි. ඊට පසුව තමයි දෙමළ ඊළම භෞතිකව ගොඩනැගෙන්න පටන්ගන්නෙ.

මෙතැනදී අපේ අවධානය ‘ඉන්දු – පැසිෆික් න්‍යාය පත්‍රය’ වෙත යොමුවිය යුතුයි. ‘ඉන්දු පැසිෆික් න්‍යාය පත්‍රය’ කියන්නේ ‘ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව’ එකතු වෙලා ‘ක්වැඩ්’ නම් සංවිධානයක් පිහිටුවාගෙන ඉන්දියානු සාගර කලාපය තුළ චීනයේ බලය වැඩෙන්න නොදී එම සාගර කලාපය ඔවුන්ගේ අණසක යටතේ පවත්වාගෙන යාම. එහෙම බලය පවත්වාගෙන යාමේදී ඔවුන්ට වැදගත්ම තැන තමයි ලංකාව.

අබාන්ස් භාරත් ප්‍රතිපත්තිය

ඒ වගේම එදා ඉන්දියාවේ තිබුණේ ‘සර්දාර් – පනික්කාර්’ ප්‍රතිපත්තිය. ඒ අනුව ශ්‍රී ලංකාව දුර්වල කරලා ගිවිසුම්වලින් ඈඳාගෙන පවත්වාගෙන යාම තමයි අරමුණ වුණේ. ඒ ප්‍රතිපත්තියෙන් ඉදිරියට ගිහිල්ලා ‘මහත්මා ගාන්ධි’ තුමාව ඝාතනය කරපු ‘නතුරාම් ගොඩ්සේ’ කියන උග්‍ර හින්දු අන්තවාදියා හදපු ‘අබාන්ස් භාරත්’ ප්‍රතිපත්තියයි අද තිබෙන්නේ. එමගින් කියැවෙන්නේ කවර අයුරින් හෝ ‘පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය වගේම බුරුමය’ එක්කර එක් භාරත දේශයක් ගොඩනැගීම.

RSS අභ්‍යන්තර ඉලක්කය

ඒ වගේම ඉන්දියාවේ තිබෙනවා ‘ආර්එස්එස් (RRS)’ නමැති සංවිධානයක්. ‘බීජේපී (BJP)’ කියන්නේ එම සංවිධානයේ දේශපාලන පක්ෂයයි. ‘ආර්එස්එස්’ කියන්නේ ලෝකය පුරා පැතිරුණු, ශ්‍රී ලංකාවෙත් එම නමින් නොතිබුණත් කාර්යාල පවතින, ඉන්දියානුවන්ගෙන් සැදුම්ලත් සංවිධානයක්. ‘ආර්එස්එස්’ සංවිධානයට ඉදිරි වසර කිහිපය තුළ වසර 100 පිරීමට නියමිතයි. එම සංවිධානයේ තිබෙන අභ්‍යන්තර ඉලක්කයක් තමයි තමන්ට අවුරුදු 100 පිරෙන විට ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කොට ගෙන තිබීම සහ කාශ්මීරය සම්පූර්ණයෙන් ඉන්දියාවේ ආධිපත්‍යයට නතු කරගෙන තිබීම.

මම දුටුවා පසුගිය දිනයක රූපවාහිනී සංවාදයකදී ‘අනුර දිසානායක ජනාධිපතිතුමන්’ගෙන්, සමාවෙන්න ‘වෙන්න ජනාධිපතිතුමන්ගෙන්’ 1987 ඉන්දු – ලංකා ගිවිසුමෙන් ඉන්දියාව කරපු දේ ගැන අහපුවාම එතුමා රාජ්‍යතාන්ත්‍රික විදිහට ඇඟ එහෙම හදාගෙන කියනවා,’ඒ සිදුවීමෙන් පස්සේ ‘ඩික්සිත්’ ඉන්දියාවේදී දේශනයක් කරනවා. ඒකෙදි ‘ඩික්සිත්’ කිව්වා, හැමෝම අහනවා ඇයි ලංකාව ආක්‍රමණය කළේ? කියා. අපි ඒ අයට කියන්න ඕනේ අන් සියලු දෙයට වඩා අපට අපේ ජාතික ආරක්ෂාව වැදගත්, කියා.’ එහෙම කියලා ‘අනුර දිසානායක’ මැතිතුමා නැවත කියනවා,’ඉන්දියාව විශාල වෙළඳපොළක්. අපි ඔවුන් සමග ආර්ථික, වෙළඳ, දේශපාලන සබඳතා තර කරගෙන යාලුවෝ වගේ යන්න ඕනේ’ කියලා. අපි කවුරුත් තරහා කරගන්න ඕනෙ නැහැ. නමුත් ඒ තර්කයට අනුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීනුත් හරිනේ. එයාලත් ඔවුන්ගේ ආරක්ෂක උවමනාවන් දිහා බලාගෙන අපව යටත් කර ගෙන ඇත්තේ. හෙට ඉන්දියාව ඇවිත් අපිව යටත් කළත් ඒකත් හරි. ‘සෝමවංශ අමරසිංහ’ සහෝදරයාට දාලා එන්න හිතෙන්න ඇත්තේ මේවා හින්දා වෙන්න ඇති.

ඉන්දු – පැසිෆික් න්‍යාය පත්‍රයේ කුලී හේවායෝ

හොඳින් තේරුම් ගන්න, දැන් ඔක්කොම වළල්ල එකට ඉන්නේ. දෙමළ පක්ෂ, මුස්ලිම් පක්ෂ කොහොමත් ඉන්නවා. ‘කිරිඇල්ල’ මහතා ‘සජබ’ මතය කියනවා, ’13 පූර්ණ වශයෙන් බලාත්මක කරන්න ඕනේ. මොකක්ද එතැන තිබෙන ප්‍රශ්නය ? ඒකට විරුද්ධ වෙන්නේ ජාතිවාදීන්’ කියා. ආචාර්ය ‘හරිනි අමරසූරිය’ මහත්මිය කියනවා ’13 පූර්ණ වශයෙන් බලාත්මක කිරීම ප්‍රශ්නයක් නැහැ. ඒක හරි’ කියා. තවම අඳ, ගොළු, බිහිරි ආකාරයට ඉන්න පිරිසකුත් ඉන්නවා. මැතිවරණ වේදිකාවේ දී ‘බස් තියන් – දෙබස් තියන්’ කියමින් වාද කළාට ‘ඉන්දු – පැසිෆික් උපායමාර්ගික උවමනාවේදී’ කට්ටිය සෙට් එක ඉන්නේ එකට. අපට දුක, 60,000 ක් මැරුණු, ලේ උරුමයක් තිබෙන පක්ෂයකුත් එන්ජීඕකාරයෝ රැලක් එකතු කරගෙන, බොරු නමක් දාගෙන මේ ‘ඉන්දු – පැසිෆික් න්‍යාය පත්‍රයේ’ තැරැව්කාරයෝ, කුලී හේවායෝ කරලා තිබීම ගැන.

ඉන්දියාවේ ඇතුළත කතා

අද ඉන්දියාවේ සල්ලි කොළයෙනුත් ක්‍රමයෙන් ‘මහත්මා ගාන්ධි’ හැලෙනවා. ඒ වෙනුවට ඉන්දියාවේ ‘බීජේපී’ පාලනය වර නගන්නේ ‘ගාන්ධිතුමාව’ ඝාතනය කරපු, ‘අබාන්ස් භාරත්’ ප්‍රතිපත්තිය හදපු ‘නතුරාම් ගොඩ්සේ’ව. ඉන්දියාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ‘ශිව්ශංකර් මෙනන්’ (Shivshankar Menon) ලියූ Inside the Making of India’s Foreign Policy කෘතියේ තිබෙන්නේ ‘ශ්‍රී ලංකාව කියන්නේ, සැතපුම් විසි ගණනක් ඇතුළත තිබෙන අපට යුද හෙලිකොප්ටර ගොඩබෑමට පුළුවන් යාත්‍රාවක්’ කියලයි. ඔවුන්ට අපව පෙනෙන්නේ ඒ ආකාරයට. ඒ යුද හෙලිකොප්ටර් ගොඩබාන යාත්‍රාව ඈඳාගන්නයි ඔවුනට ඕනේ. ඒ වගේම මේ වන විට ඉන්දියාව තීරණය කරලා තිබෙනවා මන්නාරම සහ ත්‍රිකුණාමලය ආශ්‍රිතව යමක් කමක් කළ හැකි දෙමළ ජනතාව ‘ඉන්දු – ශ්‍රී ලංකා ද්විත්ව රටවැසියන්’ කිරීමට. යම් ඈඳාගැනීමකදී මන්නාරම ඔවුනට ඉතා සමීපයි. ඔවුනට තිබෙන වැදගත්ම තැන් දෙක තමයි ත්‍රිකුණාමලය සහ මන්නාරම. ‘ශිව්ශංකර් මෙනන්’ගේ ඉහත කෘතියේම තමයි තිබෙන්නේ ‘එල්ටීටීඊ නායකයන් බේරාගන්න ඇමරිකාව නැවක් අරන් ආවා. අපි ඒකට ඉඩ දුන්නේ නැහැ.’ කියා ‘ගෝලීය දේශපාලන ගේම්’ එකක් නැත්නම් ඇමරිකාව නැවක් අරන් එන්නෙ නැහැනේ.

තක්කඩි දේශපාලනයට ඉඩක් නැහැ

රටේ ආර්ථික අර්බුදය විසින් හදපු ‘බඩේ ප්‍රශ්න’ නිසා ‘රටේ ප්‍රශ්න’ ගැන හිතන්න විදිහක් නැති වෙලාවක තමයි මේ රටේ ගෙල සිඳින්න පත් කළ ජනාධිපති ‘රනිල් වික්‍රමසිංහ’ සැරසෙන්නේ. ‘දිනේෂ් ගුණවර්ධන’ මැතිතුමාලාට දැන් සිද්ධ වෙනවා, ඔවුන්ගේ අතීත භාවිතය සහ වර්තමාන පැවැත්ම අතර යම් පරස්පරයක් තිබෙනවාද, නැද්ද කියා පෙන්වීමට. මම දැක්කා ‘රනිල් වික්‍රමසිංහ’ ජනාධිපති කරන්න අතත් ඔසවපු කෙනෙක් අපේ ජාතික සංවිධානවල නායකයන්, භික්ෂූන් වහන්සේලා සමඟ මහනාහිමිවරුන් බැහැදැකීමට යනවා. ගිහින් කියනවා, ‘රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 13 පූර්ණ වශයෙන් බලාත්මක කරන්න යනවනේ. ඒක නතර කර දෙන්න’ කියා. ආණ්ඩුව ඇතුළේ තවමත් ලැගගෙන ‘මෙන්න13 බලාත්මක කරනවෝ’ කියන්න ලජ්ජා නැද්ද? මේ වෙලාවේ ඒ තක්කඩි දේශපාලනයට ඉඩක් නැහැ.

එකා පිට එකා මැරුවත් මාතෘභූමිය වෙනුවෙන්…

මොනතරම් අනතුරුදායක වුවත් මේ 13 පූර්ණ වශයෙන් බලාත්මක කරන අපරාධය නවත්වන්න පුළුවන් සෑම පියවරක්ම අපි මේ මාතෘභූමිය වෙනුවෙන් ගන්නවා. එහෙම නොකළොත් අපි මෙතෙක් කළ දේවල් වතුරේ යනවා. සටන් විරාම ගිවිසුම, පැකේජය ආදී රට බෙදන්න ආපු සෑම උප්පරවැට්ටියක්ම පරාජය කරන්න අපට පුළුවන් වුණා. මිනිස් ජීවිත පුදලා ඒ සියල්ල නතර කරපු අපි මේ ‘වික්‍රමසිංහ’ කියන දේශපාලන පෙන්දාට ඉඩදී නිහඬව බලා සිටින්නේ නැහැ. එකා පිට එකා මැරුවත් මාතෘභූමිය වෙනුවෙන් අපි අපේ සටන කරන්න සූදානම්.

‘සුඩානයේ ඉරණම’ අපටත්

අපට මේ රට තවත් සුඩානයක් බවට පත්වීමට ඉඩ දෙන්න බැහැ. මට මතකයි මම ජවිපෙ ඉන්න කාලයේ ‘බිමල් රත්නායක’ සහෝදරයා ‘සුඩානයේ ඉරණම’ ගැන වෙනම පොතකුත් ලිව්වා. සුඩානය බෙදන්න කපුකම කළේ ‘එරික් සෝල්හයිම්’. ඔහු යම් රටකට ගියොත් යන්නේ මොකක් හරි කොඩිවිනයක් කරන්න. අද කතෝලිකයන් සහ මුස්ලිම්වරුන් දකුණු සුඩානය ඇතුළේ මරාගන්නවා. උතුරු සුඩානය ඇතුළෙත් මරාගන්නවා. දේශ සීමාවලත් මරාගන්නවා. රට දරිද්‍රතාවයේ පත්ලටම ඇද වැටෙනවා. එතැන තිබෙන තෙල් ළිං ටික බටහිර සමාගම් කොල්ලකනවා. මෙතැන අපටත් සමාන අත්දැකීමකට මුහුණ දීමට සිදුවෙනවා. උතුරු පළාත් සභාව වෙනම හදපුවාම කාවේරි සහ මන්නාරම් ද්‍රෝණිවල තිබෙන තෙල් සහ ගෑස් සම්පත අයිති වන්නේ මධ්‍යම ආණ්ඩුවට නොවෙයි පළාත් සභාවට. එවිට කාවේරි සහ මන්නාරම් ද්‍රෝණිවල තෙල් සහ ගෑස් සම්පතට බටහිරට වැඩේ දෙන්න ලේසියි. අපේ රට වගේ 23 ගුණයක් විශාල සාගර පත්ලක් අපට අයිතියි. නමුත් දැන් ඒ සාගර පත්ලත් එක් එක් පළාත් සභාවට බෙදන්න වෙනවා.

රාජාසන කතාවෙන් ගහන ගේම

සමහරු කියනවා, අපි භූතයෝ මවනවා කියලා. එහෙම හිතලා නිහඬව හිටියොත් විපත වුණාට පසුව ‘අනේ අර මිනිස්සු මේ ටික කිව්වනේ’ කියලා දුක් වෙලා වැඩක් නැහැ. ‘රනිල් වික්‍රමසිංහ’ ජනාධිපතිවරයාට සහ පොහොට්ටු නඩයට ‘සෞභාග්‍යයේ දැක්ම’ ක්‍රියාත්මක කරනවා හැර වෙන ජනවරමක් නැහැ. මට ඇහුණා ‘අනුර දිසානායක’ මහත්තයා කියනවා ‘රනිල් ලොකු පුටුවක වාඩි වෙන්න ඕනේ නිසා පාර්ලිමේන්තුව කල් දැමුවා’ කියලා. එහෙම සරල දෙයක් නෙවෙයි මෙතැන තියෙන්නේ. ‘රනිල් වික්‍රමසිංහ’ 75 වැනි නිදහස් සැමරුමේදී කියනවා ‘මම සහජීවනය වෙනුවෙන් 13 පූර්ණ වශයෙන් බල ගන්වනවා.’ කියලා. පාර්ලිමේන්තුවට ඇවිත් කරන්නේ රාජාසන කතාව, රාජාසන කතාව කියන්නේ රජයේ ප්‍රතිපත්තිය. එහිදී එයා කියනවා, ’13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කරලා මම ලංකාවේ ගෙල සිඳින්නේ මෙහෙමයි. මේ ව්‍යවස්ථා බාධක රැහැන් පට මෙහෙම කපනවා. අනෙක් ව්‍යවස්ථා බාධක රැහැන් පට මෙහෙම කපනවා. බයවෙන්න එපා මුකුත් වෙන්නේ නැහැ, ලංකාව ඒකීය රාජ්‍යයක් විදිහට තිබෙනවා’ කියලා. ඒක රාජාසන කතාව වුණාම විපක්ෂයෙන් බෙදීමක් ඉල්ලනවා. විවාදය අවසානයේ ඡන්දයක් එනවා. පොහොට්ටුවේ ඉන්නවානෙ කිසිම දේශපාලන දහමකින් පෝෂණය නොවුණු ‘මුදල පමණක් එකම දර්ශනය’ කර ගත්තු පිරිසකුත් බහුතරය හදාගන්න. අපි හිතනවා එයින් යම් පිරිසක් විරුද්ධ වෙලා බහුතරය නොහැදේවි කියලා. කෙසේ හෝ එම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් ඒක රජයේ ප්‍රතිපත්තිය වෙනවා. එය ක්‍රියාත්මක කිරීමට රජයේ නිලධාරීන් බැඳී සිටිනවා.

මොලේ අමාරුවට පාර්ලිමේන්තුව කල් දැම්මා ද?

ඒ නිසා මතක තියාගන්න, ‘රනිල් වික්‍රමසිංහ’ මොලේ අමාරුවට පාර්ලිමේන්තුව දෙවැනි වතාවට කල් දැම්මා නොවෙයි. රාජාසන කතාව කරලා, ඡන්ද විමසලා එය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කරගැනීමෙන් ඔහුගේ මේ බෙදුම්වාදී ගමනට ඕනේ කරන සුජාතභාවය හදා ගැනීමයි ඔහුගේ ඉලක්කය. අද ‘රනිල් වික්‍රමසිංහ’ තනි මන්ත්‍රී වුවත් ඉන්නේ ‘පොහොට්ටුකාරයන්’ ප්‍රාණ ඇපයට අරගෙන. ‘ඩයස්පෝරාවෙන්’ සල්ලි ගත්තු අරගලකාරයන් ‘පොහොට්ටුකාරයෝ’ මර බියට දැම්මා. ‘රනිල් වික්‍රමසිංහ’ හාමු ඒ මර බිය පාවිච්චි කරලා පළමුව අගමැති පුටුවට පැන ගත්තා. මර බිය තව වැඩි වුණාම ‘ගෝඨාභය’ ජනාධිපති දාලා ගියා. ඊට පස්සේ ‘රනිල් වික්‍රමසිංහ’ ජනාධිපති පුටුවට ආවා. ඊට පස්සේ අරගලකාරයන්ට නෙළලා කිව්වා, ‘ඔන්න මම නුඹලාගේ මර බිය තුරන් කළා’ කියලා. ඊට පස්සේ පොහොට්ටුකාරයෝ ටික ‘මර බිය තුරන් කළ ජනාධිපතිතුමනි, ඔබතුමා මේ රටට ඕනෙ විදිහට කෙළවන්න. ඒත් අපි ඔබ සමග සිටින්නෙමු’ කියලා ඉන්නවා. ලැජ්ජයි, හිරිකිතයි. ‘රට බේරාගත් නායකයා’ කියන පාඨය හිමි ‘මහින්ද රාජපක්ෂ’ මහත්තයාටනේ. ඒත් අද මේ ලක් මාතාවගේ ගෙළට වදමල් දමලා ගෙල සිඳීමට රැගෙන යන පෙරහැරේ ඉස්සරහින්ම ‘මහින්ද රාජපක්ෂ’ මැතිතුමා, ‘දිනේෂ් ගුණවර්ධන’ මැතිතුමා හා පොහොට්ටුවේ අනෙක් ‘ලොන්ත පෝල්ලා’ ටික රැගෙන යන්න ඔවුන්ගේ මර බිය තුරන් කළ ‘රනිල් වික්‍රමසිංහ’ සමත් වෙලා තිබෙනවා.

අපේ ජීවිත පවා අවසන් කළ හැකි වෙලාවක්!

මේක දුෂ්කර වෙලාවක්; සියලුදෙනාවම ‘ඉන්දු පැසිෆික් උපායමාර්ගික උවමනාව’ වෙනුවෙන් දිනාගෙන තිබෙන වෙලාවක්; තම උපායමාර්ගික වුවමනාව වෙනුවෙන් කවරක් සිදු කර හෝ ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමට හදන වෙලාවක්; අපේ ජීවිත පවා අවසන් කළ හැකි වෙලාවක්; සමහර වෙලාවට අපේ වාහනය වෙනත් වාහනයක හැප්පෙන්න පුළුවන් වෙලාවක්; ඒ තත්ත්වයට විදෙස් ඔත්තු සේවා මේ රට තුළ ක්‍රියාත්මක වෙන වෙලාවක්; ඉන්දු – පැසිෆික් උපායමාර්ගික උවමනාවට විරුද්ධ වන්නේ කවුද, ඒ අයව විනාශ කරන්න ඔවුන් නොකරන දෙයක් නැති වෙලාවක්. රනිල් වික්‍රමසිංහ මහත්තයෝ, ඉන්දු පැසිෆික් උපායමාර්ගික බලඇණියේ දේශීය තැරැව්කාර මහත්වරුනි, ඒත් අපි සූදානම් රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ලක් මාතාවගේ සුජාත දූපුතුන්ට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කිරීමට.(අත්පොළසන්)

පළල් ඒකාබද්ධ බලවේගයක් හදමු!

මේ මොහොතේ අපි උතුරේ බහුතර දෙමළ ජනතාවට ආදරයෙන් කියනවා, ‘අපි ඔබට විරුද්ධ නැහැ. 35% ක පමණ ජන පදනමක් තිබෙන වෙල්ලාල දේශපාලන බලයෙන් පීඩා විඳින ඔබ සමග ඕනෑම සමගි සන්ධානයකට එන්න අපි සූදානම්’ කියලා. ඒ වගේම අපි නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවට කියනවා, ‘ඔබට අද නැගෙනහිර පළාත කියලා වෙනම පළාතක ජීවත් වීමට පුළුවන් වී තිබෙන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඉහත කී කීර්තිමත් නීතිඥයන් කළ කැපවීම හේතුවෙන්. ඒ නිසා අප කිසිවකුත් උතුරු-නැගෙනහිර යළි ඒකාබද්ධ කරන ඉන්දු පැසිෆික් උපායමාර්ගික වුවමනාවට ඉඩදී නිහඩව සිටිය යුතු නැහැ. අපි නැගෙනහිර පළාත පමණක් නොවෙයි මුළු රටම එම උපායමාර්ගික උවමනාවෙන් මුදවා ගනිමු. අපි ඔබ සමග අත්වැල් බැඳ ගැනීමට සූදානම්’ කියා. මේක සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස්වල සමගිය, බැඳියාව ඉල්ලන වෙලාවක්. තක්කඩි දේශපාලන පක්ෂවල නායකයන් මොන විදිහට විකිණිලා තිබුණත් සාමාජික, සාමාජිකාවන් මේ රටට ආදරෙයි. ‘තමන්ගේ නායකයන් තමන්ගේ රට, ඉන්දු – පැසිෆික් න්‍යාය පත්‍රයෙන් එන දොළ පිදේනිවලට යට වෙලා පාවාදෙන්න හදනවා නම් ඉන් ගැලවිලා පළල් ඒකාබද්ධ බලවේගයක් ලෙස ඉදිරියට යන්න සූදානම් වෙන්න’ කියා අපි එම පක්ෂවල සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලනවා. ඒක අපි කළ යුතු දෙයක්. ලක් මාතාව අපෙන් ඉල්ලන දෙයක්.

‘උගත්, බුද්ධිමත් ඔබගේ වැටුපට වදින උපයන විට බද්දේ ප්‍රමාණයට ඔබ සංවේදී වෙනවා වගේම, ඊට එරෙහිව පාරට බහිනවා වගේම ඔබේ දරුවාට ඉන්න රටක් නැති කරන මේ වෑයමට එරෙහිවත් පාරට බහින්න, සටන් කරන්න’ කියා අපි මාතෘභූමියේ නාමයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම මේ ප්‍රශ්නය පිළිබඳ ඉතා සංවේදී ජනාධිපති නීතිඥ ‘මනෝහාර ද සිල්වා’ මැතිතුමා පවසා තිබුණා ‘විපක්ෂයේ කිසිවෙක් මේ පිළිබඳව මෙතෙක් කිසිම දෙයක් කතා කර නැහැ’ කියා. ඒක නිවැරදි කරන්න ඕනේ. මම ’13 පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට ජනාධිපතිවරයා ගන්න උත්සාහය’ පිළිබඳව ඉතාමත් දීර්ඝ ලිපියක් යැව්වෙ පසුගිය ජනවාරි 16 වැනිදායි. ඒ පිළිබඳව ජනමාධ්‍යයෙන් යම් ආකාරයකට ඉඩකඩක් ලැබී තිබුණා.

23 වැනි පැය

මේ තමයි ’23 වැනි පැය’. අපට මේක අනෙක් පැත්තට හරවන්න තව පැයක් තිබෙනවා. අපි කවුරුත් ඉදිරියේ තිබෙන්නේ අපේ රාජ්‍යය අහිමි කරවීමට එරෙහි සටනක්. මේ රාජ්‍යය අපට වගේම, සජබ, ජාජබ ඇතුළු සියලු පක්ෂවල සාමාජිකයන්ටත් ඕනේ. ඒ නිසා ජනාධිපති ‘රනිල් වික්‍රමසිංහ’ මහතාගේ මේ රට බෙදන සැලැස්මට පාර්ලිමේන්තුවේදී විරුද්ධ වෙන්න කියන බලපෑම 225 ටම සිදුකළ යුතුයි.

මේ පාපතර වෑයම පැරදවීම සඳහා අධිෂ්ඨානශීලීව පෙරට ඒමට ඔබ සැමට ධෛර්යය, ශක්තිය ලැබේවා!”

මෙහිදී පැමිණි පිරිස පිළිගැනීම ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි විද්වත්තු රැසක් සහභාගී වූහ.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් සරත් විජේසිරි, ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න, දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දීපාල් ගුණසේකර, දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්සිරි හේරත් යන මහත්වරු දේශපාලන මණ්ඩලය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

02-02-2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *