03 වන දින රාත්‍රියේ පැවති සත්‍යග්‍රහයට පහරදුන් සිද්ධියේ තිදෙනෙක් (3) රිමාන්ඩ් කෙරේ

03 වන දින රාත්‍රියේ පැවති සත්‍යග්‍රහයට පහරදුන් සිද්ධියේ තිදෙනෙක් (3) රිමාන්ඩ් කෙරේ


03 වන දින රාත්‍රියේ පැවති සත්‍යග්‍රහයට පහරදුන් සිද්ධියේ තිදෙනෙක් (3) රිමාන්ඩ් කෙරේ

(04.02.2023 – 20:16 +0530 – sinhala.adaderana.lk)

75 වන නිදහස් දින උළෙලට විරෝධය පළ කරමින් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ඊයේ (03) රාත්‍රියේ පැවති සත්‍යග්‍රහය විසිරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය.

කෙසේවෙතත් මෙම සත්‍යග්‍රහයට තවත් නාඳුනන පිරිසක් පහරදී තිබූ අතර, අත්අඩංගුවට ගත් ඉන් තිදෙනෙකු (3) රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

‘කොහේ තියෙන නිදහසක්ද’ යන තේමාව යටතේ 75 වන නිදහස් දින උළෙලට විරෝධය පළ කරමින් ඊයේ (03) සවස මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් පැවැත්වුණි.

ඒ ගාලු මුවදොර අරගල ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වය.

ඊයේ (03) රාත්‍රියේ සත්‍යාග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණි පොලීසිය අධිකරණ නියෝගය ඉදිරිපත් කරමින් පිරිසට විසිර යන ලෙස දන්වා තිබුණි.

කෙසේවෙතත් පිරිස එම ස්ථානයෙන් ඉවත් නොවූ අතර රාත්‍රී 10 ට පමණ එම ස්ථානයට පැමිණි නාඳුනන පිරිසක් සත්‍යග්‍රහයේ නිතර වූවන් සමග ගැටුමක් ඇති කරගෙන තිබුණි.

එහිදී දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර එම අවස්ථාවේ පොලීසිය ඊට මැදිහත්වීමත් සමඟ තත්ත්වය නොසන්සුන් වුණි.

අනතුරුව අධිපීඩන ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය පියවර ගත්තේය.

සත්‍යග්‍රහයේ නිරත වූවන් එම ස්ථානයෙන් පළවා හැරීමට පොලීසිය කටයුතු කළ අතර කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් ඔවුන් ඉවත් වන තුරු බැටන් ප්‍රහාර එල්ල කර තිබේ.

එහිදී අරගලකරුවන් සිව් (4) දෙනෙක් පොලිස් භාරයට ගැනුණි.

අත්අඩංගුවට ගත් පිරිස අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (04) පස්වරුවේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි.

එහිදී ඔවුන් සිව් (4) දෙනාටම ඇප නියම වී තිබුණි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතීඥ නුවන් බෝපගේ සඳහන් කළේ,

“අද (04) දින පොලීසිය විසින් මෙම සත්‍යග්‍රහයට පහරදීමට පැමිණියා යැයි කියන තුන්දෙනෙකුත් (3) ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අයගෙන් ප්‍රශ්න කරද්දි පැහැදිලිව මතුවුණ කරුණු තමයි මීට සතියකට පමණ කලින් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස් වුණ පිරිසක්. මැත කාලීනව ඒ වගේ අපරාධවලට සම්බන්ධ වුණ පිරිසක් සංවිධානගතව මෙතනට ගෙනාව කියන එක නිශ්චිතව පැහැදිලි වුණා. ඒ අනුව එම පිරිසට ඇප ලබා දීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කළා.”

+

+++++++++++

අන්තරේට අධිකරණ නියෝගයක් – උතුරු නැගෙනහිරත් විරෝධතා

(04.02.2023 – 19:07 +0530 – hirunews.lk/sinhala)

මාර්ග අවහිර කරමින් මහජනතාවට පීඩාවක් සහ කරදරයක් සිදුවන ආකාරයට සාමකාමී නොවන උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝගයක් නිකුත් කළා.

ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු සහභාගි වන වෙනත් තැනැත්තන් වෙතයි.

මේ අතර, ‘නිදහසේ සත්‍යග්‍රහය’ නමින් සමාජ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන කිහිපයක පිරිසක් මරදාන – එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය ඊයේ (03) රාත්‍රියේ විසුරුවා හැරීමට පොලීසිය ජලප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

එහිදී කාන්තාවක් ඇතුලු හතරදෙනෙකු (4) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර, නිදහස් දින සැමරුමට විරෝධය දක්වමින් මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රය ඉදිරිපිටදී කතෝලික සභාවේ පියතුමන් සහ කන්‍යා සොහොයුරියන්ගේ ප්‍රධානත්වයෙන් අද (04) සාමකාමී විරෝධතාවක් පැවැත්වුණා.

එසේම, යාපනය විශ්වවිද්‍යාලය, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ එක්ව සංවිධාන කළ විරෝධතා පාගමනක් ද අද (04) යාපනයේදී පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත්, යාපනය – පන්නෙයි මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් යාපනයේ සිවිල් සංවිධාන ක්‍රියාකාරින් පිරිසක් නිදහස් දිනය සැමරීමට ද පියවර ගත්තා. ඊට සමාජ ක්‍රියාකාරි අරුන් සිද්ධාර්ථන් ද එක්ව සිටියා ෴


දියලුම මනාලි අනතුරේ – බලධාරින් මර නින්දේ

(04.02.2023 – 14:53 +0530 – hirunews.lk/sinhala)

මෙරට දෙවන (2) උසම දිය ඇල්ල ලෙස සැලකෙන දියලුම දිය ඇල්ල ආශ්‍රිත පරිසර පද්ධතියට මේ දිනවල විශාල පරිසර හානියක් සිදුවෙමින් පවතින බව වාර්තා වනවා.

එම ප්‍රදේශය තුළ මේ වන විට විශාල ගස් රාශියක් කපා දමා තිබෙන අයුරුද දැකගත හැකියි.

උසින් මීටර් 171 කින් යුත් දියළුම ඇල්ල මෙරට දිය ඇළි අතුරින් දෙවැනි (2) ස්ථානය හිමි කර ගන්නා සංචාරක ගමනාන්තයක්.

ලෝකයේ 361 වැනි උසම දිය ඇල්ල වන දියළුම පිහිටා ඇත්තේ කොස්ලන්ද වැල්ලවාය මාර්ගයේ.

දෙස් විදෙස් සංචාරක ආකර්ශනට නිබදව ලක්වන ස්ථානයක් වන දියලුම දිය ඇල්ල ආශ්‍රිත පරිසර පද්ධතිය තුළ විශාල වන විනාශයක් මේ වන විට සිදුවෙමින් පවතිනවා.

කපා දැමීමට හෝ ප්‍රවාහනයට අවසර නැති ඉතා දුර්ලභ ශාක රැසක්ම මෙලෙස කපා දමා තිබෙන අතර විශාල ගස් රැසක් කපා කොටස්කර එම ස්ථානයේම දමා ගොස් තිබෙන අයුරු දැකිය හැකියි.

මේ පිළිබද බලධාරීන් දැනුවක් කළද මේ වන තෙක් ඒ සදහා කිසිදු විසඳුමක් ලැබී නැතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

+


වසන්ත ඇතුළු නඩයට උසාවියෙන් තහනමක්

(04.02.2023 – 15:49 +0530 – hirunews.lk/sinhala)

මාර්ගය අවහිර වන ආකාරයට මහජනතාවගේ දෛනික කටයුතුවලට බාධා වන ආකාරයෙන් විරෝධතා, පෙළපාලි හා උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ මිරිහාන පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට කළ කරුණු දැක්වීමකින් අනතුරුවයි.

ඒ අනුව, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු සහභාගි වන්නන් වෙත මෙම නියෝගය නිකුත් කර තිබෙනවා ෴


ජපන් රජයෙන් ශ්‍රී ලංකා පොලිසියට පරිත්‍යාගයක්

(04.02.2023 – 16:15 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ යතුරුපැදි 150 ක්, වෑන් රථ හා කුඩා වර්ගයේ බස් රථ 74 ක් සහ සෝදිසි උපකරණ 115 ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සංකේතාත්මකව භාරදීම ජනාධිපති කාර්යාලයේ සිදු වුණා.

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටකෙයි ෂුන්සුකේ (Takei Shunsuke) විසින් මෙම උපකරණ භාරදීමට අදාළ ලියකියවිලි ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

වාහන නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සමග සුහද කතා බහක ද නිරත වුණා.

ශ්‍රී ලංකා පොලිසිය සිදුකරන විමර්ශන පහසු කිරීම සඳහා ජපාන රජය මෙම පරිත්‍යාගය සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි හිදෙකි ඇතුළු ජපාන නියෝජිත පිරිස සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා ෴


ගල් අඟුරු සංගමයේ සභාපතිගෙන් කංචනට ලියමනක්

(04.02.2023 – 16:33 +0530 – hirunews.lk/sinhala)

ලක්විජය ගල්අගුරු බලාගාරය වෙතින් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සදහා ගල්අඟුරු මිල දී ගැනීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස ලංකා ගල්අගුරු සමාගම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ලංකා ගල්අගුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර සදහන් කර ඇත්තේ ජනවාරි 30 සිට පෙබරවාරි 03 වනදා දක්වා ගත වූ කාලය තුළ ගල්අඟුරු සදහා ඩොලර් මිලියන 12.32 ක් හෙවත් රුපියල් බිලියන 4.56 ක මුදලක් අවශ්‍යව තිබූ බවයි.

ඉන් කොටසක් සැපයුම්කරුවන් වෙත ගෙවීමට හැකි වුව ද, තවත් නෞකා කිහිපයකට අත්තිකාරම් සහ හිඟ මුදල් ගෙවීමට ඇති බවයි ගල්අගුරු සමාගම අදාළ ලිපියෙන් දැනුම් දී ඇත්තේ.


ආණ්ඩුවේ අත්තනෝමතික බදු අයකිරීමට එරෙහිව ලබන 08 වැනි දා කොළඹදී දැවැන්ත විරෝධතාවක්

(04.02.2023 – 19:58 +0530 – lankaleadnews.com)

රජයේ අත්තනෝමතික බදු අයකිරීමට එරෙහිව ඉදිරි පියවර පිළිබදව සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සංවිධාන 40 ක් අද (04) කොළඹට රැස්විය.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සදහන් කළේ පෙබරවාරි මස 08 වැනිදා වෘත්තීය සංවිධාන හා වෘත්තීයවේදීන් එකතුකරගෙන අති දැන්ත විරෝධතාවක් කොළඹදී දියත් කරන බවය.

+


13 බලාත්මක කිරීම වැලැක්වීමට ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් කළ ප්‍රකාශයට ජාතියේ ප්‍රනාමය හිමි වෙනවා – ජයන්ත සමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණ

(04.02.2023 – 08:59 +0530 – lankaleadnews.com)

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින මොහොතක මහානායක හිමිවරුන් එයට එරෙහිව රට ජාතිය ආරක්ෂාකර ගැනීම සදහා පෙරට පැමිණීම වෙනුවෙන් දළදා මාළිගාව ඉදිරිපිටදී ‘ශ්‍රී ලංකාව බෙදීමට එරෙහි සන්ධානය’ විසින් ඊයේ (03) ප්‍රණාම පූජාවක් සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකාව බෙදීමට එරෙහි සන්ධානය සංවිධානය කර තිබූ තිබූ එම සත්‍යග්‍රහයට සහභාගි වෙමින් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 13 පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට දරන උත්සාහය පරාජය කිරීම සදහා එයට එරෙහිවූ ත්‍රයිනිකායික මහා සංඝරත්නයට දෙපා නමැද ප්‍රණාමය පුදකර සිටින බවයි.

13 බලාත්මක කිරීම වැළැක්වීමට ඉතිහාසයේ සිටම මෙරට ජනයා ඇස්, මස්, ලේ පූජාකළ බවත්, 87 දී එය බලාත්මක කිරීමේදී 60,000 ක් තරුණ ජීවිත එය සම්මත කිරීම වැළැක්වීමට පූජා කළ බවත්, 30 වසරක යුද කාලසීමාවේදී 30,000 ක යුද විරුවන් එයට ජීවිත පූජාකළ බවත් ඒ මහතා සදහන් කරයි.

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් 13 කිසිසේත්ම බලාත්මක නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇති පසුබිම තුළ මෙලෙස උන්වහන්සේලාට ප්‍රණාමය පුදකිරීමට පැමිණි බවද ජයන්ත සමර වීර මහතා මාධ්‍ය අමතමින් පැවසුවේය.

රටේ ආපදා තත්ත්වයක් නිර්මාණය වී ඇති මොහොතක මෙලෙස 13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට උත්සාහ දරන ජනාධිපතිවරයාගේ දුෂ්ඨ ක්‍රියාවට එරෙහිව දස දහස් ගණනින් ජනතාව ඒකරාශී වේවා යැයි ප්‍රාර්ථනා කරන බවද ඔහු වැඩිදුරටත් එහිදී පැවසුවේය.

++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *