අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතය අහිමිවූ තරුණ විද්‍යාඥයා

අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතය අහිමිවූ තරුණ විද්‍යාඥයා


අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතය අහිමිවූ තරුණ විද්‍යාඥයා

(04.02.2023 – 16:52 +0530 – sinhala.adaderana.lk)

සිය තෙමස් (3) වියැති කුළුඳුල් දරුවාගේ කිරි දානයට අවශ්‍ය මල් රැගෙන නිවස කරා පැමිණෙමින් සිටි පියෙකු ඉතා අවාසනාවන්ත ලෙස සිදුවූ රිය අනතුරකින් මියගොස් තිබේ.

සුඛෝපභෝගී මෝටර් රථයකින් අද (04) අලුයම් කාලයේ නිවසට පැමිණෙමින් සිටි ඔහු ගෝනපොල කුඹුක ප්‍රදේශයේදී අනාරක්ෂිත ලෙස දමා තිබූ මාර්ග බාධකයක ගැටි සිදුවූ අනතුරකින් එලෙස මියගොස් ඇත.

අනතුරින් මිය මියගොස් ඇත්තේ ගොනපොල කුඹුක නැගෙනහිර පදිංචි ‘නැනෝ තාක්ෂණ ආයතනයේ’ ජ්‍යෙෂ්ඨ පරීක්ෂණ විද්‍යාඥයෙක් වන ‘විමුක්ති ප්‍රසාද් ජයවීර’ නම් 37 හැවිරිදි පුද්ගලයෙකි.

කිරි දානය සඳහා අවශ්‍ය මල් රැගෙන ඒම සඳහා පිළියන්දල ප්‍රදේශයට ගොස් යලි නිවස කරා පැමිණෙමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ දී තිබේ.

කිසියම් සංවර්ධන කටයුත්තකින් පසු අනාරක්ෂිත අයුරින් තබා තිබූ මාර්ග බාධකයක් සහ කොන්ක්‍රීට් තට්ටුවක් මත මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය පවසයි.

අනතුරත් සමගම මෝටර් රථයේ වායු බැලුන් දෙක (2) ක්‍රියාත්මක වී ඇති අතර රථය මීටර් 100 ක් පමණ ඉදිරියට ඇදී ගොස් මාර්ගයේ මැද ඇති කොන්ක්‍රීට් කොටසේ ගැටී තිබේ.

මෝටර් රථයේ වායු බැලුන් ක්‍රියාත්මකවීමත් සමගම එයින් විසි වූ ප්ලාස්ටික් කැබැල්ලකින් ඔහුගේ ගෙල ප්‍රදේශය තදින් කැපී ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බවද වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

https://www.youtube.com/watch?v=V_h1xOh-DWM

+++++++++

++++++++

+


මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

(04.02.2023 – 14:43 +0530 – sinhala.adaderana.lk)

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක පිළිබඳව දැනුවත් කරමින් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ.

එම තොරතුරු පහතින් :


ෆේස්බුක් සාදයකදී තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක්

(04.02.2023 – 13:46 +0530 – sinhala.adaderana.lk)

නීතිවිරෝධි අයුරින් සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 34 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර උතුර පොලීසිය විසින් පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී අද (04) අලුයම එම වැටලීම සිදුකර තිබුණි.

ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් ඇතුළු පොලිස් කණ්ඩායමක් සිදුකළ එම වැටලීමේදී ගංජා, කුෂ් ආදී මත්ද්‍රව්‍ය සහ මත්පැන් බෝතල් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ එම සාදය අතරතුර තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් ද වාර්තා වී ඇති බවය.

සැකකරුවන් පිරිසක් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අනෙක් සැකකරුවන් දෙමව්පියන් ගෙන්වා පොලිස් ඇපමත මුදාහැරීමට කටයුතු කරන බවත් උසස් පොලිස් නිලධාරීයෙකු පැවසීය ෴


දෙබරු දෂ්ට කළ දරුවා මියයයි

(03.02.2023 – 22:18 +0530 – sinhala.adaderana.lk)

දෙබර දෂ්ට කිරීමකට ලක්වීමෙන් 12 හැවිරිදි දරුවෙකු ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

ඊයේ (02) මෙම දරුවා මිතුරෙකු සමග සියඹලා කැඩීමට යමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇත.

උහන කුමාරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි අදාළ දරුවා දෙබර දෂ්ට කිරීමෙන් පසුව අම්පාර රෝහලට ඇතුළත් කර තිබුණි.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී ඇත්තේ කිතුල් ගසක තිබූ දෙබර කූඩුවකට උකුස්සකු පහරදී එහි කොටසක් කඩාගෙන යෑමේදී ඉන් කැබැල්ලක් ගමන් කරමින් සිටි දරුවාගේ ඇඟට කඩාවැටීමෙන් මෙම දෙබර දෂ්ට කිරීම සිදුවී ඇති බවය ෴


අපස්මාරය, වකුගඩු හා පිළිකා ඖෂධ රැසක හිඟයක්

(04.02.2023 – 07:54 +0530 – hirunews.lk/sinhala)

රෝහල්වල තවදුරටත් අපස්මාරය, වකුගඩු බද්ධ කිරීම, ඇදුම රෝගය මෙන්ම පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ සහ එන්තත් වර්ග රැසක හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදින්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් අතුල අමරසේන හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ රිජ්වේ ආර්යා ළමා රෝහල, අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක මෙම ඖෂධ හිඟව පවතින බවයි ෴


අනුරාධපුර කුට්ටම් පොකුණේ කිඹුලෙක්

(04.02.2023 – 08:14 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – පූජා නගරයේ පිහිටි ඓතිහාසික කුට්ටම් පොකුණේ කිඹුලෙකු සිටින බවට වාර්තා වනවා.

දෛනිකව දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් වැඩි ප්‍රමාණයක් ගමන් කරන මෙම ස්ථානයේ කිඹුලෙකු සිටීමේ අවදානම හේතුවෙන් දැන්වීම පුවරු ප්‍රදර්ශනය කිරීමට ද පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සංචාරකයින්ට පූජා නගරයේ පිහිටි ඓතිහාසික කුට්ටම් පොකුණ භාවිත කිරීමට හෝ පොකුණට තුළට බැසීම සිදු නොකරන ලෙස දැනුම් දී තිබුණද, ඒ අසන්නයට සංචාරකයින් ගමන් කිරීම හේතුවෙන්, අනතුරක් සිදුවීමට ඇත්තේ දැඩි අවදානම් තත්වයක්.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් අනුරාධපුර – පූජා නගරය අයත්වන මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ඩී. සේනාරත්න ගෙන් විමසීමක් කර අතර එහිදී ඔහු සඳහන් කළේ, වනජීවී නිලධාරීන් සමඟ එක්ව හැකි ඉක්මනින් මෙම කිඹුලා ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

+


නිදහසට විරෝධය පා යාපනය සරසවියේ කළු කොඩි

(04.02.2023 – 09:12 +0530 – hirunews.lk/sinhala)

ජාතික නිදහස් දිනයට විරෝධය පල කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන කොඩි ගසේ හා ඒ අවට ස්ථාන කීපයක ම කලු කොඩි ඔසවා තිබෙන බව වාර්තා වනවා.

යාපනය විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය සංගමය උතුරු නැගෙනහිර පළාත් දෙකේ සියලු ම කඩ සාප්පු වසා දමා ශෝක දිනයක් ලෙස සලකන ලෙස ඉල්ලා ඇති අතර අද (04) දින පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන බවට ද නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

මේ අතර යාපනයේ සිට මඩකලපුව දක්වා විරෝධතා පාගමනක් යාපනය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කොට තිබෙනවා.

මේ අතරවාරයේ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය හා යුධ හමුදාව විසින් යාපනය කොටුවේ ජාතික ධජය ඔසවා දොරේ අප්පා ක්‍රීඩාංගණයේ දී නිදහස් උළෙලක් සංවිධානය කොට තිබෙනවා ෴


ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයක් 09 සහ 10

(04.02.2023 – 11:32 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 08 වනදා ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය ලබන 09 සහ 10 දිනවල පැවැත්වෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ (03) පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව ලබන 09 වනදා 09:30 ට පාර්ලිමේන්තුව රැස්වී පසුගිය සභා වාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ යෝජනා 51 ක් සඳහා අනුමැතිය ලබාගැනීමට ද නියමිතයි ෴


ලියාපදිංචි නොකළ දේශීය ඖෂධ අලෙවිකරුවන්ට වැඩ වරදී

(04.02.2023 – 13:55 +0530 – hirunews.lk/sinhala)

සිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග, දේශීය ඖෂධ නමින් වෙළඳපලේ අලෙවිකරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙකු වන වෛද්‍ය පී. හේවාගමගේ කියා සිටියේ විවිධ නම්වලින් බස්රථ සහ විවිධ ස්ථානවල මෙලෙස ඖෂධ අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.

එමෙන්ම වෙළඳසැල්වල ව්‍යාජ ඖෂධ නිෂ්පාදන අලෙවි කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස ද ඔහු ඉල්ලීමක් කළා ෴


පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනයක් අද (04) සහ හෙට (05)

(04.02.2023 – 14:19 +0530 – hirunews.lk/sinhala)

පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් වාලච්චේන කඩදාසි කර්මාන්තශාලා භූමියෙන් අක්කර 25 ක භූමි ප්‍රමාණයක් නව කර්මාන්ත පුරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාතාංශය පවසනවා.

පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශණයක් ඊයේ (03) ආරම්භ වූ අතර එම ප්‍රදර්ශනය අද (04) සහ හෙට (05) දිනයන්හිදී කොළඹ බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්වෙනවා.

වෙළඳ කුටි 145 කින් සමන්විත මෙහි මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන ප්‍රදර්ශණය කිරීමටත් අලෙවි කිරීමටත් අවස්ථාව හිමිව තිබෙනවා ෴


මහාමාර්ග අමාත්‍යාංශයේ කොන්ත්‍රාත්කරුවන්ගේ හිඟ මුදල් ගෙවා නිම කරන බව ඇමති බන්දුල කියයි

(04.02.2023 – 14:22 +0530 – hirunews.lk/sinhala)

මහාමාර්ග අමාත්‍යාංශය යටතේ මෙතෙක් මුදල් ගෙවා නොමැති කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු මුදල් සිංහල අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

අදාළ හිග මුදල් ගෙවා අවසන් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මගින් රුපියල් බිලියන 11.6 ක භාණ්ඩාගාර බැදුම්කරයක් ලබාදී ඇති අතර, එය වට්ටම් කිරීමෙන් අනතුරුව සියලුම ගෙවීම් කිරීමට කටයුතු කරන බවයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එතෙක් මුදලින් සියයට 40 ක කොටසක් සියලුම සමාගම් වෙත ගිණුම් ගත කිරීමට ද අමාත්‍යවරයා විසින් නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

එම සමාගම්වලට මාර්තු 30 වනදාට පෙර සියයට 30 ක මුදලක් ද ඉතිරි සියයට 30 ක කොටස සිංහල අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කිරීමට කටයුතු සූදානම් කර අවසන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *